Thursday, October 18, 2012

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින්. (05 - කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. 

සත්වයන් තමන් කළා වූ කර්මයන් ට අනුරූප ව කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යන ස්ථානවල උපදිති. මෙයින් අපායන් සතර අයත් වන්නේ කාම භූමියට ය. මීට අමතර ව දිව්‍යලෝක සය සහ මනුලොව අයත් වන්නේ ද, කාම භූමි අතරට ම ය. අපායන් සතරක් ඇති බව පෙර සඳහන් කරන ලදී. නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, ඇසුර නිකාය ය, යනුවෙනි. ඇතැම් දෙනා අපායක් නැත, අපායන් ඇත්තේ මේ මිනිස් ලෝකය තුළ ම බව ආදී වශයෙන් මිථ්‍යා අදහස්වල එළඹ සිටිති. ඔවුන් ඒ සේ කියන්නේ අපායන් බොහොමයක් මිනිස් ඇසින් නො දැකිය හැකි බැවිනි. නමුත් අද වනවිට නුතන විද්‍යාවෙන් පවා සිදුකරන පරීක්ෂණවල දී අපාය යනු සංකල්ප මාත්‍රයක් නො වන බව පිළිගැනීමට ඔවුනට ද, සිදු වී ඇත. 

Monday, October 15, 2012

ධර්මදේශනය සහ ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් වන අයුරු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බෞද්ධ සියලු දෙනා ගේ උතුම් ම ප්‍රාර්ථනය, අධිෂ්ඨානය විය යුත්තේ සසරින් එතෙර වී උතුම් නිවන සාක්ෂාත් කිරීම යි. බෞද්ධ පමණක් නො ව අන්‍යාගමිකයන් ගේ අපේක්ෂාව වන්නේ ද, දුක නැති ස්ථානයකට පැමිණීම යි. එ සේ දුක නැති ස්ථානයකට පැමිණීම සඳහා විවිධ ආගම්වල විවිධ ක්‍රමවේද උගන්වති. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීම, යාඥා කිරීම, යාග කිරීම, බිලිපූජා ආදිය සිදුකිරීම ඒ අතර ප්‍රධාන වේ. මේ කිසිවක් බුදුදහම සමග සම්බන්ධ නැත. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීම ආදී කරුණු කිසිවක් බුදුරදුන් අනුදැනවදාළා නැත. ඒ බව නුවණ ඇත්තෝ නුවණින් සලකා බලත් වා!

සමතිස් පාරමිතා ධර්ම කල්ප අසංඛෙයිය ගණනින් සම්පුර්ණ කර බුදුවරයෙක් ලොව පහල වන්නේ සියලු සතුන් කෙරෙහි මහා කරුණාවෙන් නිර්වාණ මාර්ගය පෙන්වා දීම සඳහා ය.

Monday, October 8, 2012

සබ්බ දානං ධම්ම දානං ජිනාති.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තීර්යක් බ්ලොග් අඩවිය ආරම්භ කර අද දිනට හරියට ම වසරක් ගත වී ඇත. මෙ ම අඩවිය ආරම්භ කළේ ධර්ම රසය හා ධර්ම රතිය දන්නා පිරිස වෙනුවෙන් මා හට කළ හැකි පමණින් ධර්ම දානය සිදුකිරීම සඳහා ය. කිසිඳු ලාභ කීර්ති ප්‍රශංසා ආදියක් වෙනුවෙන් නො වේ. ඒ අනුව පසුගිය දින 365ක කාලය තුළ ලිපි 75ක් සම්පාදනය කර පළකරන්නට යෙදුණි. දසදහස් සංඛ්‍යාත පිරිසක් ඒවා පරිශීලනය කර ඇත. "තථාගතබ්බවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ" තථාගත ධර්ම විනය විවෘත වූයේ බබළයි. වැසුනේ නොම බබළයි.

Thursday, October 4, 2012

බුද්ධ පූජාවක් සකස් කළ යුතු නිවැරදි ම ආකාරය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බොහෝ බෞද්ධ නිවෙස්වල සේ ම සියලු විහාර ආරාමවල උදේ හවස බුදුරාජාණන් වහන්සේ උදෙසා විවිධ පුදසත්කාර සම්මානයන් සිදුකරති. නමුත් එය නිවැරදි ව පින් ලැබෙන ආකාරයෙන් සිදුකිරීම ට බොහෝ දෙනා නො දනිති. එ බැවින් ඇතැම් විට කුසලයක් කරගැනීමේ අදහසින් තබන බුද්ධ පූජාවෙන් අකුසලයක් සිදුවීමේ හැකියාව ද, ඇත. එ බැවින් බුද්ධ පුජාව නිවැරදි ව තබන අන්දම පිළිබඳ ව සහ බුද්ධ පූජාව පිළිබඳ ව බුදුරාජාණන් වහන්සේ ගේ අදහස කුමක් දැ යි විමසා බලමු.


බුද්ධ පූජාව පිළිබඳ බුදුන් ගේ ආකල්පය.

"යො කො ආනන්ද භික්ඛු වා භික්ඛුණී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්ම පටිපන්න්නෝ විහරති සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරොති මානෙති පුජෙති පරමාය පුජාය පටිපත්ති පුජාය".

Sunday, September 16, 2012

ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෛත්‍රී සම්මා සම්බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ලිපියක් සකස් කරනමෙන් කිහිප දෙනෙක් ම ඉල්ලීම් සිදුකළ නිසා මේ ලිපිය සියලු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරමි. පසුගිය ලිපි ගණනාවකින් ම අතීත බුදුවරයාණන් වහන්සේලා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බැවින් අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ව ද, කරුණු මෙ සේ ඉදිරිපත් කරන්නට අදහස් විය.
පෙර  ඉදිරිපත් කළ අතීත බුදුවරයාණන් වහන්සේලා කිහිපනමක් පිළිබඳ සකස් කළ ලිපිපෙළ සඳහා මෙ ම සබැඳිය භාවිත කරන්න.

මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ මේ ලිපිය ඉදිරිපත් කරන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලොව පවතින වකවානුවක බව අමතක නො කරමින් ලිපිය කියවන මෙන් ආරාධනා කරමි. 

Tuesday, August 14, 2012

බුදුපිළිම වහන්සේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

"යො ධම්මං පස්සති සො මං පස්සති"  යමෙක් ධර්මය දකී ද, හේ මා දකී යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ධර්මය දැකීමට නම් අඩුම ගණනේ සෝවාන් ඵලයට හෝ පත් විය යුතු ය. අප ධර්මය කටපාඩමින් දැනසිටියද, වෙනත් අයට කියාදීමට හැකියාව තිබුණ ද, එය අවබෝධය ලෙස සැලකිය හැකි නො වේ. ධර්මාවබෝධය සඳහා කරුණු රාශියක් සම්පාදනය කරගත යුතු ය. නිර්වාණය පිණිස පාරමී ධර්ම සම්පුර්ණ කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ අයකුට නම් ධර්මාවබෝධය ලැබීම ට ඉඩකඩ තිබේ. එ සේ ධර්මාවබෝධය ලද තැනැත්තා ට ධර්මය තුළින් බුදුන් දැකිය හැකි බව ඉහත පාඨයේ අදහස ය.


බුදු පිළිම යනුවෙන් කියූ විට මටනම් එකවිට ම මතක් වන්නේ අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. නමුත් සමහර උදවිය සිතන්නේ බුද්ධ ප්‍රතිමාවක් යනු මැටිගොඩක්, ගල්ගොඩක්, කිසිත් නැති හිස් දෙයක් ලෙස ට ය.

Tuesday, July 24, 2012

සඟ සසුනේ අපරිහානිය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයා ගේ අපරිහානිය සඳහා දේශනා කළ කරුණු සතලිස් එකක් ඇත. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය අදවන තෙක් ම සුරක්ෂණය වූයේ මහසඟරුවනේ අපරිමිත කැපවීම නිසා ම ය. ඇතැම් කාලවල දී වැටකෙයියා ඉස්ම පානය කරමින් ද, නෙළුම් දඬු අමුවෙන් අනුභව කරමින් ද, උතුම් දම්කඳ රැකගන්නට සංඝරත්නය වීර්යය කළ බව ට ඉතිහාසයේ සඳහන් ව ඇත. කෙ සේ වුව ද, අදවනවිට අතීතයේ පැවතී සංඝ බලය හා සංඝයා ගේ සාමූහිකත්වය යම්පමණකින් පරිහාණිගත ව ඇති බව පැහැදිලි වන සත්‍යයකි. ගිහියන් ලෙස සංඝරත්නය වෙත අනුශාසනා කරන්න ට සුදුසු නො වන බව අප දනිමු. එ බැවින් එය බුදුරදුන් දේශනා කළ ධර්මය අනුව ගලපා බලමු.

Thursday, July 19, 2012

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ



"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"
අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය. අද දින ට (2012.07.19) උන්වහන්සේ ගේ එකසිය පහළොස්වන වන ජන්ම දිනය වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කරන්න ට යෙදුනි. 


රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් පහත දක්වා ඇත. මෙය නරඹා අනතුරුව ලිපිය කියවන ලෙස ආරාධනා කරමි.

Saturday, July 7, 2012

නත්ථි මෙ සරණං අඤ්ඤං

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වර්තමාන සමාජය තුළ ධර්මය අධර්මයෙන් වෙන්කර හඳුනාගැනීම සංකීර්ණ කටයුත්තක් බවට පත් ව ඇති ව තිබෙන බවක් විටෙක පෙනේ. ඒ අනුව ධර්මයේ වේශයෙන් අධර්මය සමාජය තුළ බලවත් කිරීමට උත්සාහ දරන මිථ්‍යා දෘෂ්ඨික පිරිස් බිහි වී ඇත. බුද්ධ වචනය පිළිබඳව නිරවුල් දැනුමක් නැති ඇතැම් පුද්ගලයින් ඕනෑම මොහොතක යමෙකු මේ තමයි ධර්මය යැයි කියු කල එය පිළිගනියි. අප කතාකරන්නේ නිර්මල බුදුදහම ට විවිධ මිථ්‍යා මත එක්වන සහ බුදුදහමේ නියම සාරය වියැකී යන කාලවකවානුවක සිට ය. බුදුන් දහම් සඟුන් සරණ යන තැනැත්තා බෞද්ධයකු ලෙස හැඳින්වීමේ වරදක් නැතත් බුදුන් දහම් සඟුන් සහ ඊට අමතර ව තවත් දේ සරණ යන තැනැත්තා බෞද්ධයකු ලෙස හැඳින්වීම උචිත නො වන බව අප ගේ අදහස යි. එ වැන්නන් තමන් ඉදිරියේ තිසරණය ම හෑල්ලුවට ලක්කළා වැනි ය.

Friday, July 6, 2012

ඔබ ත් උපාසකයෙක් ද? උපාසිකාවක ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ගිහි ජීවිතය ගතකරන ඔබ අප දෙපාර්ශවයට ම වැදගත් කරුණක් පිළිබඳ ව යි අද මාතෘකා කරන්නට යෙදුනේ. තෙරුවන් සරණ ගිය තැනැත්තා ට අද දවසේ "බෞද්ධයා" නමින් ව්‍යවහාර කරති. අතීතයේ "උපාසක" හෝ "උපාසිකා" යන නාමයන් භාවිත කර ඇත. මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ උපාසකයකු / උපාසිකාවක වීම සඳහා සපුරාගත යුතු ගුණධර්ම හා පිළිවෙත් පිළිබඳ බුද්ධ දේශනය යි. පළමු ව "බෞද්ධයා" "උපාසක" "උපාසිකා" ආදී වචන පිළිබඳ දැනුවත් වෙමු.

Wednesday, July 4, 2012

ලොව අතීතය හා අනාගතය බුදුඇසින්

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගධ රාජ්‍යයේ මාතුලා ජනපදයේ දී විසිදහසක් රහත්ඵලයෙ හි  පිහිටුවමින් අසූහාරදහසක් පිරිස ට මගඵල නිවන් අවබෝධ කරගැනීම පිණිස දේශනා කොට වදාළ චක්කවත්ති සිංහනාද සුත්‍ර දේශනාව කේන්ද්‍ර කරගනිමින් ඉහත මාතෘකාව සාකච්ජා කිරීම ට යි මේ සුදානම. මිනිසා ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව ක්‍රමයෙන් පිරිහී යන ආකාරය හා නැවත වර්ධනය වන ආකාරය පිළිබඳ මේ දේශනාවේ සවිස්තර ව විස්තර වේ.

මිනිසුන් වශයෙන් කොතරම් තාක්ෂනය අතින් දියුණුවක් ලබා සිටියද අද වනවිට මිනිසා ගේ පරමායුෂ අවුරුදු 70ක් පමණ දක්වා අඩු වී ඇත. එ කළ නො තිබූ ලෙඩරෝග අද උත්සන්න වී ඇත. සමහර ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම පවා මෙතෙක් සොයාගෙන නැත. ඇතැම් ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම කර සුව කළ නො හැකි ව තිබේ.

Tuesday, June 26, 2012

බෝසතුන් ගෙවූ සවසරක දුෂ්කරක්‍රියාවේ නො දුටු පැතිකඩ.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පෙර බෝසත් අවධියේ දී පුරා වසර හයක් දුෂ්කරක්‍රියා කළ බව නො දන්නා බෞද්ධයකු නැතිතරම් ය. නමුත් ඒ දුෂ්කරක්‍රියාව සිදුකළ ආකාරය හෝ ඊට හේතුව කුමක් දැ යි දන්නේ අතලොස්සක් බොදුනුවන් පිරිසකි. එ බැවින් මෙවන් ලිපියක් ලිවීම උචිත බව හැඟුනි. මින් පෙර ලිපියක ද, මේ පිළිබඳ සඳහන් කරන්නට යෙදුනු නමුත් දීර්ඝ විස්තරයක් ගෙන ඒම ට හැකියාවක් නො ලැබුණි. බොහෝ සාහිත්‍ය ග්‍රන්ථවල මේ පිළිබඳ විවිධාකාරයෙන් විස්තර ඉදිරිපත් කර තිබුන ද, මේ පිළිබඳ අප විස්තර ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ඇති සුත්‍ර දේශනාවලින් පමණකි. 

Friday, June 22, 2012

ජීවිතය සුන්දර ද... මෙ තරම්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙ ම ලිපිය ඉදිරිපත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කර්ම සංකල්පය සහ ලොව පවත්නා අනෙකුත් මිත්‍යා මත අතර ඇති වෙනස හඳුනාගැනීම ට අත්වැලක් වශයෙනි. ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ දේශනා වන බුදුදහම ගෙන කෙ සේ නම් ජීවිතයේ සුන්දරත්වයක් කියන්න ද? නමුත් සියලු සතුන් ට තමා ලද අත්බවය තරම් වටිනා, තම පංචස්කන්ධය තරම් වටිනා දෙයක් ලොව නැත. කුඩා කුහුඹුවකු ගේ පටන් දැවැන්තයන් දක්වා ම මේ කරුණ සියලු පෘතග්ජන ජීවීන් ට පොදු ය. නමුත් එ සේ ලැබෙන ජීවිතය සමහර විට නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගැනීම ට අපහසු ආකාරයෙන් අංග ප්‍රත්‍යංග විකල ව උපදීම ට පුළුවන. සමහර විට ඒ සියලු අංග ප්‍රත්‍යංග නිසි ආකාරයෙන් පැවතුනත් ඒවා පාලනය කිරීම ට නිසි බුද්ධියක් වැඩී නො තිබෙන්න ට පුළුවන. එ සේ ත් නැති නම් නියමාකාරයෙන් ජීවත් වන්න ට නො දන්නවා විය හැකි ය. මේ කුමන හේතුව සඳහා වුවත් බුදුදහමින් පිළිතුරක් ඇත. මේ ලිපිය ඒ සඳහා ය.

Thursday, June 21, 2012

දවාලට දකින හීන.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
 
රාත්‍රී නින්දේ දී සිහින නො දකින ලද අයෙක් ලොව නැතැ යි සිතමි. ඒ සෑම දෙනා ම දවල් ට ත් හීන දකිනවා ය යි කිවහොත් ඔබ විශ්වාස කරන්නේ ද? උදෑසන අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යනතෙක් මේ පංචස්කන්ධයෙන් අප කොතරම් දේ සිදුකරන්නේ ද? කොතරම් රූප දකින්නේ ද? කොතරම් නම් ශබ්ද ඇසෙන්නේ ද? ආඝ්‍රාණය, රසය, ස්පර්ශය කොතරම් විඳින්නේ ද? මේ එකක්වත් මෙ පමණකැ යි අප ට ගණනින් ගත නො හේ. මා එ සේ කියන්නේ ඇයි?

Friday, June 15, 2012

ත්‍රිපිටකය සරල කිරීමේ අනුසස්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුදුන් පිරිනිවී දෙදහස් පන්සියවසක් ඉක්ම ගොසිනි. බුදුරදුන් අද ජීවමාන ව වැඩසිටියේ නැතත් උන්වහන්සේ පන්සාලිස්වසක් දේශනා කළ ධර්ම විනය අද ත් ලෝකයේ බබළයි. පන්සාලිස්වසක් දේශනා කළ උතුම් ධර්මය ප්‍රධාන වශයෙන් විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. "ආනන්දය, මා පිරිනිවන්පාන්නා වූ එක් බුදුවරයකු පමණයි.  මගෙන් පසු වැඩසිටින්නා වූ සුවාසූදහසක් බුදුවරුන් ඇත. ඒ මා විසින් දේශිත ධර්මස්කන්ධය යි".

සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය අතරින් 82,000 තරම් ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කර ඇත. තව ත්, ධර්මස්කන්ධ 2,000 බුද්ධකාලීන මහාරහතන් වහන්සේලා දේශනා කර ඇති බව දැක්වේ. එයින් ද, විනය පිටකය සහ සුත්‍ර පිටකය ධර්මස්කන්ධ 21,000 බැගින් අඩංගු ය. අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000 පවතී. 

බුදුසසුන වසර පන්දහසක් පවතී ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එ සේ නම් සසුනට ද, එ ම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. සම්බුදු දහම පිළිබඳව කිසිදු අවබෝධයක්, එහි ගැඹුරක් නො දත් අයෙක් පවා, සද්ධර්මයේ ආයු කාලය කෙතෙක් දැ යි කීමට හොඳින් දනිති. බොහෝවිට ධර්ම දේශනාවන් හි දී බහුතරයක් දේශකයන් වහන්සේලා ද, පවසන්නේ බුද්ධ ශාසනය වසර පන්දහසක් කල් පවතින බව යි. බහුතර බෞද්ධයන් ද, එය විනිශ්චයකින් තොර ව ම පිළිගනිති.

කවරදාකවත් ඔබ සිතුවාද බුදුදහම වසර පන්දහසක් කල් පවතින බව කීවේ කවුද? කොතැනදී ද? කියා. බහුතරයක් බෞද්ධයන් සිතන්නේ මෙය බුද්ධ දේශනාවේ ම සඳහන් ව ඇති බව යි.

Friday, June 8, 2012

පින සහ කුසලය දෙකක් ද? එකක් ද?

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින සහ කුසලය  පිළිබඳ මෑත කාලයේ බොහෝ ගිහි පැවිදි උභය පාර්ශව අතර වාද විවාදයන් සහ තර්ක විතර්කයන් ට නැගි මාතෘකාවකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ත්‍රිවිධාකාරයෙන් පාරමිතා පුරා සම්‍යක් සම්බුද්ධත්වය ට පත් අප තිලෝගුරු අමාමෑනී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ මැනවින් දේශනා කළ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ ගැඹුර වැඩි නිසා දෝ අදවන විට ඇතැම් නුවණ දුබල විවිධ උදවිය ට එය වැටහෙන්නේ වැරදි ආකාරයෙනි. ධර්මය සහ අධර්මය තේරුම් ගත නො හැකි ව සරු නිසරු දෙය වෙන් ව දැකිය නො හැකි ව ඔවුන් අන්‍යයන් ද, ඔවුන් ගේ මතයන් කරා ඒකරාශී කරගැනීම අද බොහෝසෙයින් දක්නා ලැබීම සමස්ත බෞද්ධ ජනයා ට ම ඛේදවාචකයකි.

Tuesday, June 5, 2012

දානයේ අනුසස් දැන දාන පාරමිතාව සපුරමු (03 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දානය සහ දානය පාරමිතාවක් කරගෙන සසරින් එතෙර වන අයුරු පිළිබඳ පෙර ලිපි ද්විත්වයෙන් බොහෝ කරුණු ඉදිරිපත් කළෙමි. දන් දීම සැම දෙනා ට ම කළ හැකි පහසු දෙයක් නො වේ. දන් දීමේ දී ඇතිවන අපහසුකම් කිහිපයක් ම ඇත. දුප්පත්කම, දන්දෙන විට වස්තුව ක්‍රමයෙන් අඩු වී යාම, දන් දියයුතු සුදුස්සන් නොමැතිකම ආදිය නිසා දන් දීම ට බාධාවක් වෙයි. නමුත් ඇතැම් විට දාන වස්තු තිබියදී දානය දෙන්න ට සිත නැමෙන්නේ නැති වන්නට පුළුවන. සුළු දෙයක් නො වටිනා දෙයක් දීම සැම ට කළ හැකි වුව ද, උසස් දෙයක් වටිනා දෙයක් තමා ට ප්‍රයෝජනවත් දෙයක් දීම බොහෝ දුර ට සිත දියුණු කරගත් නුවණ දියුණු කරගත් අය ට මිස අන්‍යයන් ට නො කළ හැකි ය. වටිනා දේ නො දී දාන පාරමිතාව සම්පුර්ණ කළ හැකි නො වේ. වටිනා උසස් දේ දන් දීම යුද්ධයක් කිරීම සේ අපහසු දෙයක් බව "දානං ච යුද්දං ච සමානමාහු" යනුවෙන් දක්වා තිබේ. යහපත් දේ කිරීම සඳහා වෙහෙසවීමක් කළ යුතු ම වන්නේ ය.

Sunday, June 3, 2012

දානයේ අනුසස් දැන දාන පාරමිතාව සපුරමු (02 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අද ඇතැම් භික්ෂුන් වහන්සේලා ගෞතම බුදුසසුනේ නිවන් දක්කවමින් භාවනා මධ්‍යස්ථාන රට පුරා පවත්වාගෙන යති. ඇතැම් විට හොඳින් මුදල් හම්බකර ගනිති. ඇතැම් භික්ෂුන් වහන්සේලා සෝවාන් ආදී මාර්ගඵලවල ට පත් වූ බව ද, පැවසීම සාමාන්‍ය කරුණක් වී තිබේ. නමුත් ඒ සියලු දෙනා ට ගෞතම බුදුසසුනේ නිවන් දැකිය හැකි ද?

නිවන සඳහා භාවනාව අත්‍යවශ්‍ය ය. එ මෙන් ම සිල්වත් බව, දානාදී පාරමිතා සම්පුර්ණ කර සිටීම, බෝජ්ජංග සත වැඩීම ආදී කරුණු රැසක් ද, සම්පුර්ණ විය යුතු ය. සිතු පමණින් බවුන් වැඩු පමණින් නිවන් දකින්නේ නම් බුදුවරයකු ගේ පහල වීමක් ලොව ට අවශ්‍ය වන්නේ ද, නැත.

Friday, June 1, 2012

දානයේ අනුසස් දැන දාන පාරමිතාව සපුරමු (01 කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මතු ඵල ලබා ගැනීම සඳහා කරන සෑම දෙයකින් ම උසස් ඵල ලැබිය හැකි වන්නේ ඒ දෙය පිළිබඳ මනා දැනුම ඇති ව කරන තැනැත්තා ට ය. කරන දෙය ගැන නිවැරදි අවබෝධයක් නැති ව කරන්නහු ගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිෂ්ඵල වේ. එයින් යම් ඵලයක් ලැබුන ද, එය මහන්සිය ට හෝ වියදම ට නො සරිලන අල්ප ඵලයකි. වරදවා සිදුකරන ප්‍රතිකාරයෙන් සමහර විට රෝගියා මියයන්නාක් මෙන් නො දැන කරන වැඩවලින් සමහර විට විපතක් ද, සිදු විය හැකි ය.

Thursday, May 31, 2012

ගෞතම බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
මේ කාලයෙ හි ශාක්‍ය කුලය වඩනා ගෞතම බුදුරජ වූ මම ප්‍රධාන වීර්යය කොට සම්බෝධිය ට පැමිණියෙමි.

බඹහු විසින් අයදනා ලද්දේ දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය. ඉන් පසු ද දෙවි මිනිසුන් ගේ රැස්වීමේ දී දහම් දෙසන කල් හි ගණනින් නො කිය හැකි දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය වී ය. මෙ හි දී ම මම මේ කාලයෙ හි දී මාගේ පුතු ට අවවාද කෙළෙම් ද, ඒ කාලයෙ හි ගණනින් නො කිය හැකි  දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.

Wednesday, May 30, 2012

කාශ්‍යප බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
කෝණාගමන නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි සිවුසස් අවබෝධ කළ දෙපා ඇති සතුන් ට උතුම් වූ බැබළීම් ඇති කරන නමින් කාශ්‍යප නම් වූ දහම්රදතෙම පහල විය.

හැරදමන ලද කුලගෙය ද, මූල නම් අපමණ ධන රාශිය ද, බොහෝ ආහාර පාන ද, සිත් පුරා යාචකයන් ට දන් දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල් හි කෝටි විසි දහසක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය.

කොණාගමන බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
කකුසඳ බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ ලොව ට උසස් වූ නරදෙටු "කෝණාගමන" නම් ජිනරාජතෙම පහල විය.

දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කොණාගමන නම් ලෝනාහිමිඳු දම්සක් පවත්වන කල් හි කෝටි තිස් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. මිසදිටු වාද මැඩීමෙ හි ලා පෙළහර කරන කල් හි ද කෝටි විසි දහසක් දෙනෙකුන් ට දෙවන ධර්මවබෝධය වී ය.


කකුසඳ බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
වෙස්සභූ බුදුරදුන් ට මෑතභාගයේ ද්වීපදොත්තම වූ අප්‍රමේය ගුණ ඇති ළඟාවිය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුදුන් වහන්සේ පහල විය.

සියලු පාරමිතාවන් ගේ කෙළවර ට පැමිණියාහු. භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් සම්බෝධිය ට පැමිණිය හ.

කකුසඳ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි සතලිස්කෙලදහසක් සත්නට පළමු ධර්මාභිසමය විය. අන්තරීක්ෂ අවකාශයේ යමාමහ පෙළහර කොට තිස්කෙලදහසක් දෙව්මිනිසුන් ට ධර්මාවබෝධය කරවීය. නරදෙව් තෙම යක්ෂයාහට සිව්සස් දෙසීමේ දී උන්වහන්සේ ගේ තුන්වන ධර්මාභිසමය ගණනින් අසංඛෙය විය.

Tuesday, May 29, 2012

වෙස්සභූ බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
එ ම මණ්ඩ නම් කල්පයෙ හි අසම වූ තමා ට සමාන පුද්ගලයෙක් නැත්තා වූ  නමින් වෙස්සභූ නම් වූ ලෝනා හිමිඳු උපන් සේක.

ඒ කාලයෙ හි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේ ය යි දැන සසර බැඳුම සිඳගෙන ඇත් රජෙකු මෙන් බුදුබවට පැමිණි සේක.

වෙස්සභූ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන් ට  පළමුවන ධර්මාවබෝධය වී ය. ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙ හි සැරිසරා වැඩිය කල් හි කෝටි සැත්තෑදහසක් දෙනා ට  දෙවන ධර්මවබෝධය වී ය. උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් යමාමහ පෙළහරක් කළ සේක.   දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙ හි දෙවි මිනිස්සු රැස්වු හ. පෙර නො වූ විරූ,  ලොමු දැහැගන්නා වූ මහ පුදුමය දැක සැට කෝටියක් දෙවියෝ ද මිනිස්සු ද සිවුසස් අවබෝධ කළාහු ය.

සිඛී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
විපස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ "සිඛී" නම් ජිනරාජතෙම වී ය.

මරසෙන් පරදවා උතුම් බුදුබව ට පැමිණි සේක් සත්ත‍වයන් ට අනුකම්පාකොට දම්සක් පැවැත්වූ සේක.

සිඛී මුනිඳු දම්සක් පවත්නා කල් හි කෝටි සියක් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය.

විපස්සී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ඵුස්ස බුදුරදුන් ට පසු කාලයෙ හි පසැස් ඇති සියලු සතුන්ට උතුම් වූ නමින් විපස්සී නම් බුදුරජතෙම ලෝකයෙ හි උපන් සේක.

සියලු අවිද්‍යාවන් නැතිකර දමා උතුම් සම්බුදු බව ට පැමිණි සේක් දම්සක් පැවැත්වීම ට බන්ධුමතී නුවර ට වැඩිය සේක.

ලොව ට නායක වූ බුදුරජතෙම දම්සක් පවත්වා බාල සොහොවුරු ඛණ්ඩකුමාර ද,  පුරොහිත බමුණු පුත් තිස්ස ද යන දෙදෙනා ට සිව්සස් අවබෝධ කරවී ය.   ගණනින් නො කිය හැකි අපමණ සත්ත‍වයන් ට පළමු ධර්මාවබෝධය වී ය.

Monday, May 28, 2012

ඵුස්ස බුද්ධ වංශය

 නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

එ ම මණ්ඩ කල්පයෙ හි දෙවි මිනිසුන් ගේ අනුශාසක වූ තමහට වඩා උතුමෙක් නැති උපමා රහිත අසමසම වූ "ඵුස්ස" නම් බුදුරජතෙම වී ය.

ඒ ඵුස්ස නම් බුදුරජතෙම ද, සියලු මොහඳුරු නසා ලෝභ නමැති මහ අවුල ලිහා දමා දෙවියන් සහිත ලෝකයා සතප්පවමින් අමාදියෙන් වැස්සේ ය.  

ඵුස්ස බුදුරජුන් දම්සක් පවත්වන කල දී කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. අනූ ලක‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය. අසූ ලක‍ෂයක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.

තිස්ස බුද්ධ වංශය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සිදුහත් බුදුරදුන් ට අනතුරු ව පසු කාලයෙ හි අසම වූ තමහට සමාන පුද්ගලයෙක් නැති අපමණ තෙද ඇත්තා වූ  බොහෝ පිරිවර ඇති ලෝනාහිමි තිස්ස නම් බුදුරජ ලොව පහළ විය.

අනුකම්පා ඇතිසේක්  මහා වීර්යය ඇති සේක්  පසැස් ඇති සේක් මොහඳුරු නසා දෙවියන් සහිත ලෝකයා හොබවා ලෝකයෙ හි උපන් සේක.

ඒ තිස්ස නම් බුදුරදුන් ගේ ද ඍධිය අසම ය. සීල හා සමාධිය ද අසමාන ය.   උන්වහන්සේ සියලු ධර්මයන් හි පරතෙරට පැමිණ දම්සක් පැවැත්වූ සේක.

සිද්ධත්ථ බුද්ධ වංශය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

ධම්මදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සිද්ධත්ථ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහස ට නැගී හිරු යම් සේ ද,  එ සේ වී ය.

උන්වහන්සේ ද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්  දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.

අසම තෙද ඇති ඒ සිද්ධත්ථ බුදුරදුන් ගේ ද ධර්මාභිසමය තුනක් වූ හ. කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මවයබෝධය වී ය. නැවත ද භිමරථ නම් නුවර දහම් දෙසූ සේක් ද, එ කල් හි අනුකෙලක් සත්නට දෙවන ධර්මාවබෝධය විය. සිද්ධත්ථ බුදුරජතෙම වෙභාර නම් උතුම් නුවර දී දහම් දෙසූ සේක් ද, ඒ කාලයෙ හි අනූ කෝටියක් දෙනෙකුන් ට තුන්වන ධර්මාවබෝධය වී ය.

Saturday, May 26, 2012

ධම්මදස්සී බුද්ධ වංශය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

එ ම මණ්ඩ නම් කල්පයෙ හි මහා යසස් ඇති ධම්මදස්සී නම් බුදුරජ තෙම මොහඳුර නැතිකොට දෙවියන් සහිත ලෝකයෙ හි අතිශයින් බැබළී ය.

අපමණ තේජස් ඇති ඒ ධම්මදස්සී බුදුරදුන් ගේ දම්සක් පැවැත්මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මභිසමය වී ය.

යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම සඤ්ජය නම් තාපසයා හික්මවූ සේක් ද,   අනූ කෝටියක් දෙනෙකුන් ට දෙවන ධර්මවයබෝධය වී ය.

අත්ථදස්සි බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

එ ම මණ්ඩ කල්පයෙ හි නරශ්‍රේෂ්ඨ වූ අත්ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්දකාරය නසා උතුම් සම්බෝධිය ට පැමිණියාහු ය. මහබඹහු විසින් අයදිනා ලද්දේ දම්සක් පැවැත්වූ හ. දසදහසක් සක්වල දෙවියන් සහිත ලෝකයා අමයෙන් සැතැප්වූ සේක.

ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද, ධර්මාවබෝධයන් තුනක් විය. කෙලලක්ෂයක් සත්නට පළමුවැනි ධර්මාවබෝධය වී ය.

පියදස්සී බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


සුජාත බුදුරදුන් ට පසු කාලයෙ හි,  ලෝනාහිමි වූ සතුරන් විසින් නො ළංවිය හැකි,  අසමසම වූ,  මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජතෙම වී ය.

අපමණ යසස් ඇති ඒ පියදස්සී බුදුරජතෙම හිරු මෙන් බබළයි.   සියලු මොහඳුර නසා,  දම්සක් පැවැත්වී ය. 
උතුම් තෙද ඇති ඒ පියදස්සී  බුදුරදුන් ගේ ද ධර්මභිසමය  තුනක් වූ හ.  පළමු වන ධර්මවබෝධය කෝටි ලකක්ෂයක් දෙනා ට වීය. සුදස්සන නම් දෙව්රජ මිසදිටුව කැමති වී ද, ශාස්තෘන් වහන්සේ ඔහු ගේ මිසදිටුව පහකරවමින් දම් දෙසූ සේක් ද, ඒ කාලයෙහි මහත් වූ,  අසම වූ මහාජනයා ගේ රැස්වීමක් වීය.

Friday, May 25, 2012

සුජාත බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

එ ම මණ්ඩ කල්පයෙ හි සිංහයෙකු ගේ හනුවකට බඳු හනුවක් ඇති දෙටු ගවයකු ගේ කඳ ට බඳු සම වට  කඳට ඇති  අපමණ තෙද ඇති සතුරන් විසින් ළංවිය නො හැකි සුජාත නම් බුදුවරයෙක් වී ය.

සඳ මෙන් නිමල් වූ හිරු මෙන් ප්‍රතාප ඇති බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මෙසේ බබළන සේක.

සම්බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධිය ට පැමිණ සුමංගල නුවර දී දම්සක් පැවැත් වී ය.

සුමේධ බුද්ධ වංශය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.


පියුමතුරා බුදුරදුන් ට පසු කාලයෙ හි සතුරෙකු ට නො ළං විය හැකි, උසස් තෙද ඇති,  සියලු ලෝකයා ට උතුම් වූ  සුමේධ

පහන් නුවන් ඇති  පිරිපුන් මුව ඇති  ගුණයෙන් මහත් වූ,  අවංක වූ,  බබළන සිරුරක් ඇති  සියලු සතුන් ට වැඩ සිදුකරන  බොහෝ දෙනා සසර බැඳුමෙන් මුදවාලූ සේක.

යම් කලක බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධියට පැමිණ,  සුදස්සන නුවරෙ හි දී දම්සක් පැවැත්වී ද උන්වහන්සේ ගේ ඒ දම්දෙසුමෙ හි දී ධර්මාවබෝධවීම් තුනක් වූ හ.

පදුමුත්තර බුද්ධ වංශය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. 

නාරද බුදුරජුන් ට පසු කාලයෙ හි බුදුබව ට පැමිණි දෙපා ඇති සතුන්ගෙන් උතුම් වූ නො කැළඹුනු සයුරකට බක්ඳු උපමා ඇති පදුමුත්තර පියුමතුරා ජිනරාජයන් වහන්සේ විය.

යම් කල්පයක එක සම්බුදුවරයන් වහන්සේ නමක් උපදී ද,  ඒ කල්පය ම මණ්ඩ කල්පය වෙයි.   කුසල් ඇති ජන සමූහයා ඒ කාලයෙ හි උපදී.

පදුමුත්තර භාග්‍යවත්හු ගේ පළමුවන දම් දෙසු මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනා ට ධර්මවබෝධය වීය. ඉන්පසු ද දහම් වැසි වස්නා කල සත්ත‍වයන් තැවෙන කල් හි තිස්හත් ලක‍ෂයක් දෙනාට දෙවන ධර්මවබෝධය වීය.

නාරද බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

පදුම බුදුරජුන් ට පසුකාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ  සමාන පුද්ගලයෙක් නැති නමින් "නාරද" නම් වූ සම්බුදු රජතෙම වී ය. ඒ නාරද බුදුරජතෙම සක්විති රජු ගේ ළයෙ හි වැඩුණු ආදරණීය දෙටුපුත් ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේ ය.

ඒ උයනෙ හි ලෝකයෙ හි ප්‍රසිද්ධ ව දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේ ය. ඒ තොටිල ගස මුල දී වජ්‍රයකට බඳු තියුණු වූ පමණ කළ නො හැකි සර්වඥතාඥානය උපනි.  ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කළේ ය.

පදුම බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අනොමදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සත්ත‍වයන් ට දෙව් මිනිසුන් ට උතුම් වූ ගුණයෙන් අසම වූ,  තමා ට සමාන පුද්ගලයෙක් නැති,  නමින් "පදුම" නම් සම්බුදුරජ තෙම විය. උන්වහන්සේ ගේ ද, ශීලය අසම ය. සමාධිය ත් කෙළවරක් නැත. උතුම් සර්වඥතාඥානය නොහොත් ෂඩ් අසාධාරණ ඥානය ද, අසංඛ්‍ය ය.  විමුක්තිය ද, උපමා රහිත ය. අසම තෙද ඇති,  ඒ පදුම බුදුරජහු ගේ දම්සක් පැවැත්මෙ හි මහත් මොහඳුර දුරු කරන ධර්මවබෝධ තුනක් වූ හ.

සම්බුදදුරජතෙම පළමුවන ධර්මවබෝධයෙ හි දී කෝටි සියයක් දෙනා ට සිවුසස් අවබෝධ කරවීය.

අනෝමදස්සී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සොභිත බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අපමණ පිරිවර ඇති  තේජස් ඇති  යටහත් කළ නො හැකි අනොමදස්සී නම් සම්බුදුරජතෙම විය. උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ  කාම, රූප, අරූප, යන තුන් භවයන් නසා  දෙවි මිනිසුන් ට පැවැත්ම ට විරුද්ධ වූ මග දෙසූ සේක.

උන්වහන්සේ සාගරය මෙන් නො කැළඹිය හැක්කේ ය.  අහස මෙන් කෙළවරක් නැත්තේ ය.  මහාමේරු පර්වතය මෙන් නො ළං විය හැක්කේ ය.

Monday, May 7, 2012

සෝභිත බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


රේවත බුදුරදුන් ට පසු කාලයෙ හි එකඟ වූ සන්සුන් සිත් ඇති  අසම වූ  තමාහට සමානයෙක් නැති සෝභිත නම් ලෝහිමි බුදුරජතෙම පහල විය.

ඒ ජිනරාජතෙම ස්වකීය භවනයෙ හි දී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබව ට පැමිණ දම්සක් පැවැත්වූ සේක. දම්සක් දෙසුමෙ හි දී උඩින් භවාග්‍රය තෙක් ද, යටින් අවීචිය තෙක් ද,  මේ අතර එක පිරිසක් විය. සම්බුදුවරතෙම ඒ පිරිසෙ හි දම්සක් පැවැත්විය. ගණන් නො කළ හැකි පිරිසක ට පළමුවන ධර්මාවබෝධය විය.

Saturday, May 5, 2012

රේවත බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සුමන බුදුරදුන් ට පසු කාලයෙ හි උපමා රහිත,  සමාන කෙනෙක් නැති,  අසම වූ, උතුම් වූ, පස් මරුන් දිනූ රේවත නම් බුදුවරතෙම වීය.

ඒ රේවත බුදුරජහු ද, බඹහු විසින් අයදනා ලද්දේ,  පඤ්චස්කන්ධයන්ගේ හා අටළොස් ධාතුන් ගේ විභාග කිරීම ඇති, භවාභවයන් ගේ මනා පැවැත්ම කරන ධර්මය ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ගේ දහම් දෙසුමෙ හි දී අභිසමය (ධර්මාවබෝධය) තුනක් වූ හ.   පළමු ධර්මාවබෝධය ගණනින් නො කිය හැකි ය. යම් කලෙක රේවත මුනිඳු තෙම "අරින්දව"  නම් රජු හික්මවී ද,  එ කල් හි කෝටි දහසක් දෙනා ට දෙවන ධර්මාභිසමය විය.

සුමන බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මංගල බුදුරදුන් ට පසු කාලයෙ හි සියලු ධර්මයෙන් අසම වූ,  සියලු සත්වයන් ට උතුම් වූ,  සුමන නම් ලෝකනායක තෙම විය. ඒ කාලයෙ හි ඒ සුමන බුදුරජහු ද මෙඛල නම් නුවර දී චතුරාර්ය සත්‍ය ධර්ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.

ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බොධිය ට බුදුබව ට පැමිණ නිවන් නමැති නුවරක් මැවී ය.   ඒ දහම් නමැති පුරයෙ හි උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී ය. ඒ වීථියෙ හි සෝවාන් ආදී සතර පැවිදි ඵලයන් ද,  සිව්පිළිසිඹියාවන් ද,  ෂඩ් අභිඥවෙන් ද, අට සමවත් ද පැතිර වීය.

Friday, May 4, 2012

මංගල බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

කොණ්ඩඤ්ඤ නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි මංගල නම් ලෝකනායකයන් වහන්සේ ලොකයෙ හි මෝහ නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක. සෙසු ජිනරාජයන් ට වඩා පැතිරුණා වූ ද, උන්වහන්සේ ගේ අසමාන වූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනා ගේ ආලෝකය යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.

ඒ බුදුරදහු ද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ නමැති) අඳුර නැති කරත්. අසම වූ බුදුබව ට පැමිණ පළමුවන දම්දෙසුමෙ හි දී (දෙවි මිනිසුන්) කෝටි සියක් දහසක ට පළමුවන වර ධර්මාවබෝධය විය.

Wednesday, May 2, 2012

කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දිවකුරු බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති,  අපමණ පිරිස් ඇති,  පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. උන්වහන්සේ ඉවසීමෙන් පොළව ට බඳු උපමා ඇත්තේ ය.  සීලයෙන් සාගරය ට බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහස ට බඳු උපමා ඇත්තේ ය.

බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස ඉන්ද්‍රිය, බල, බොජඣංග,  මග්ග, සච්ච යන මොවුන් ප්‍රකාශවන දහම් දෙසති. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල් හි කෝටි ලක‍ෂයක්

Tuesday, May 1, 2012

දීපංකර බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සරණංකර බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. තථාගතයන් වහන්සේ කිසිවකු සරණාගමණයෙ හි ද,  කිසිවකු පන්සිල් හි ද,  අනිකකු දස සිල් හි ද, යෙද වී ය. ඒ දිවකුරු මුනික්ෂ  තෙම කිසිවකුහට ශ්‍රාමණ්‍යය යි කියන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසයි. කිසිවෙකුහට අසම දහම් වූ සිවු පිළිසිඹියාවන් දෙසයි. නරදෙටුතෙම කිසිවකුහට උතුම් අට සමවත් දෙයි.   කිසිවකුහට ත්‍රි විද්‍යාවන් ද,  ෂඩ් අභිඥාවන් ද දෙයි. මහමුනිඳු තෙම ඒ ක්‍රමයෙන් ජන සමූහයා ට අවවාද කරයි. එහෙයින් ලෝක නායක දිවකුරු මුනිඳුන් ගේ සස්න පැතිර වීය.

ලොව්තුරු බුදුවරු

නමෝ තසස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේලා පිළිබඳ  ව මේ වෙසක් මාසය පුරාවට දිනකට එක් ලිපිය බැගින් ඉදිරිපත් කරන්නෙමි. අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි. 

Saturday, April 14, 2012

සුරකිමු පන්සිල්

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස  
මේ මාසය සඳහා සකස් කෙරෙන අවසාන ලිපිය මෙය යි. මේ මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් සකස් කරන ලෙස ඉල්ලා සිටි නිසා ම මෙය සකස් කරන්නට යෙදුනි. 

තෙරුවන් සරණ ගිය පමණින් ම යමෙක් බෞද්ධයකු වන්නේ ද? නමට තෙරුවන් සරණ නො යා සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ යන්නේ නම් පමණක් ඔහු බෞද්ධයකු ලෙස හැඳින්වීම උචිත බව මා ගේ අදහසයි. බුද්ධාදී රතනත්‍රය සත්වයා ට මහත් පිහිටක් වන බව අවිවාදාත්මක ය. නමුත් මිත්‍යාදෘෂ්ටියෙන් වැසුනු සිත් ඇති බොහෝ දෙනා රතනත්‍රය සුළුකොට සලකා දෙවියන් ගේ පිහිට සොයති. තුණුරුවන් සරණ ගිය බෞද්ධයා උපාසක නමින් හැඳින් වේ.
බෞද්ධ ගිහි සමාජයේ පුරුෂ පක්ෂය උපාසක නමින්ද ස්ත්‍රී පක්ෂය උපාසිකා නමින් ද හැඳින්වෙන බව අපි දනිමු. බෞද්ධ ගිහි සමාජය විසින් පිළිපැදිය යුතු මූලික ආචාර ධර්ම පද්ධතියක් වේ. එය පන්සිල් නමින් හැඳින්වෙන ශික්ෂා පද පහ යි.

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින් (04 - කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වාසනාවකට හෝ අවාසනාවකට හෝ අප  ගේ ඇස ට පෙනෙන්නේ පෙනිය යුතු දේවල් පමණයි. අප ට නො පෙනෙන දේ කොතරම් ඇති ද? මිනිසා ට පෙනීම ඇතිවන ක්‍රියාවලිය විද්‍යාවෙන් දීර්ඝ ලෙස විස්තර කළ හැකි නමුත් මෙය ඊට අවස්ථාව නො වේ. 

කෙටියෙන් කියතොත් ප්‍රේතයන්, දෙවියන් වැනි ජීවී කොට්ඨාස අපේ ඇසින් දැකිය නො හැකි වන්නේ අප ගේ ඇස් සංවේදී වන්නේ තරංග සංඛ්‍යාතය 400nm සිට 750nm පමණ පටු වූ දෘෂ්‍ය ආලෝකයේ සංඛ්‍යාතයන් සඳහා පමණක් වීම නිසා ය. 

Wednesday, April 11, 2012

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින් (03 - කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

ප්‍රේතයින් සඳහා හන්දියක් හන්දියක් ගානේ පෙරේත තටු පිදීම කිසිඳු ඵලක් නැති ක්‍රියාවක් බව මේ ලිපිපෙළ  කියවූවා නම් ඔබ ට අනිවාර්යයෙන් අවබෝධ විය යුතු ය. ප්‍රේතයන් සඳහා පින් පමණක් පැමිණවිය හැකි වන්නේ ය. නමුත් සියලු ම ප්‍රේත කොටස්වල ට පින් අනුමෝදන් විය නො හැකි බව ත්, පින් අනුමෝදන් විය හැක්කේ පරදත්තුපමජීවී නම් ප්‍රේත කොටස ට පමණක් බවත් දේශනාකොට ඇත. නමුත් පමුණුවන පින් අපතේයාමක් හෝ පින් පමුණුවන තැනැත්තන් ට එය නිෂ්ඵල වීමක් සිදු වන්නේ නැත.  

පෙර ලිපි දෙකෙන් ඉදිරිපත් කළේ ප්‍රේතවස්තුව ට අයත් උරගවග්ගය සහ උබ්බරීවග්ගය ට ඇතුළත් කර ඇති ප්‍රේතයින් පිළිබඳ ව ය. මෙ ම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ  ප්‍රේතවස්තුවේ චුල්ලවග්ගයේ ප්‍රේතයින් පිළිබඳ ව ය.
Related Posts Plugin for WordPress, Blogger...