Sunday, September 16, 2012

ඔබ ත් මෛත්‍රී බුදුන්හමුවේ නිවන් පතනවා ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෛත්‍රී සම්මා සම්බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ලිපියක් සකස් කරනමෙන් කිහිප දෙනෙක් ම ඉල්ලීම් සිදුකළ නිසා මේ ලිපිය සියලු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරමි. පසුගිය ලිපි ගණනාවකින් ම අතීත බුදුවරයාණන් වහන්සේලා පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බැවින් අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ ව ද, කරුණු මෙ සේ ඉදිරිපත් කරන්නට අදහස් විය.
පෙර  ඉදිරිපත් කළ අතීත බුදුවරයාණන් වහන්සේලා කිහිපනමක් පිළිබඳ සකස් කළ ලිපිපෙළ සඳහා මෙ ම සබැඳිය භාවිත කරන්න.

මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ පිළිබඳ මේ ලිපිය ඉදිරිපත් කරන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ලොව පවතින වකවානුවක බව අමතක නො කරමින් ලිපිය කියවන මෙන් ආරාධනා කරමි. 


මෙ ම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි.

මෛත්‍රී බුදුන් පහලවන කාලය 
මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.

මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)
මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි. 

මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.
අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.

මෙලොව පහළ වීම.
සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.

අභිනිෂ්ක්‍රමණය 
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක. 

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.  පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද,  ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.
 
ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන  කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.
 
මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක  (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.

අපි තවමත් සංසාරේ...
තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ උතුම් නිර්වාණය පසක් කරගන්නා බව ථෙරවාද සම්ප්‍රදාය යි. ඒ අනුව රහත් බෝධියෙන් නිවන් දකින්නට පෙරුම් පුරන සත්වයන් හට අනිවාර්යයෙන් මසම්මා සම්බුද්ධ ශාසනයක් මුණගැසිය යුතු ය. අතීතයේ ලොව අසංඛය ගණනින් බුද්ධ ශාසන පහල වූ බවත් අනාගතයේ ද, එ සේ ම පහල වන බව ත් බුදුරාජාණන් වහන්සේ වදාළ හ. සත්‍යය නම් අප විසින් ඒ අතීත සර්වඥයන් වහන්සේලා සියලුදෙනා ගේ ම සම්බුද්ධ ශාසනයන් මගහැරගෙන ඇති බව යි. අනාගතයේ පහල වන මෛත්‍රී බුදුරදුන් ගේ ශාසනයේ නිවන් දැකීම ඉතා පහසු කරුණක් නො වන වග අප අකමැත්තෙන් වුව ද, තේරුම් ගත යුතු ය. එ ම බුද්ධ ශාසනය පහල වන සමය වන විට අප ආත්මභාව ලක්ෂ කොටි ප්‍රකෝටි ගණනින් මැරී උපදීමට පුළුවන. නරක, තිරිසන්, ප්‍රේත, ආදී  ස්ථානවල උපත්තිය නො ලබන්නේ ය යි කිසි ම කෙනෙකු ට විශ්වාසයෙන් ප්‍රකාශයක් කල හැකි නො වේ. දෙව්ලොව බඹ ලොව උපදින සියලු දෙනා ද, මෛත්‍රී බුද්ධ ශාසනයේ පිහිට ලබා මගඵල ලබනවා ය යි කිව හැකි නො වේ. අනෙක් වැදගත් ම කරුණ වන්නේ කොතෙක් බුද්ධ ශාසන හමුවුව ද, රහත් බෝධිය සඳහා පාරමිතා සම්පුර්ණ කර නැති නම් එ ම පුද්ගලයා ට ඒ බුද්ධ ශාසනය තුළ නිවන් දැකිය නො හැකි බව ය. 
මේ මොහොතේ පවතින්නේ ද, බුද්ධ ශාසනයකි. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ නිවන් දැකිය නො හැකි වන්නේ ලොව්තුරු සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයින්, පච්චේක සම්බෝධිය ප්‍රාර්ථනය කරන බෝධිසත්වයන් සහ රහත් බෝධිය සඳහා පාරමී සම්පුර්ණ නො කළ පුද්ගලයන් සඳහා පමණකි. නමුත් රහත් බෝධිය සඳහා පාරමිතා පිරූ තැනැත්තන් අද ද, සිටිය හැකි ය. උත්සාහවන්ත වීමෙන්, වීර්යය කිරීමෙන් ඔවුනට නිර්වාණාවබෝධය ලබාගත හැකි වන්නේ ය. 

කෙ සේ නමුදු අප ට මේ හමු ව ඇත්තේ දුර්ලබ බුද්ධෝත්පාදයකි. දුර්ලබ මනුසත්බවයකි. දුර්ලබ ක්ෂණ සම්පත්තියකි. එයින් නිසි පරිදි ප්‍රයෝජන ගතහොත් ඉක්මනින් ම සසර කෙටිකර ගැනීම ට හැකි වනු නො අනුමාන ය. 
තෙරුවන් සරණ යි!

18 comments:

  1. සාධූ! සධූ!! සාධූ!!!
    ඉතාම වටිනා ලිපියක්. මෛත්‍රී බුදුන් වහන්සේට අපහාස කරන මේ යුගයේ මේ ලිපිය ඒ ගැන දැනගන්න දුන්නාට ගොඩක් පින්. මෙපින් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා!!

    තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට උත්සහ කරනවාට වඩා ගොයුම් බුදු සසුනේ ම නිවන් දක්නට උත්සහ කරන්නෙ නම් වටී. හොඳ සටහනක්!

      Delete
    2. නමෝ බුද්ධාය!
      මම අහල තියනවා ලංකාවේ අවසන් රහතුන් වහන්සේ මලියදේව රහතුන් වහන්සේ කියල. ඉතින් එතැන ඉදන් උතුම් වූ රහත් බව ලැබූ කෙනෙකු ගැන සඳහනක් නැහැ. ඇත්තටම ඔබතුමා හිතනවද මේ කලියුගයේ නිවන් සම්පත් ලැබිය හැකි අය පහලවෙලා ඉන්නවා කියලා?

      වනවාසීව සීලය රක්ෂා කරන කෙනෙකුන්ට හැර, අද සමාජයේ මේ සම්පත්තිය ගිහින්ට ලැබිය හැකිද?

      ඔබතුමා පතන බෝධියකින් ගෞතම බුදු සසුනේම නිර්වාන සම්පත් උදාවේවා...
      තෙරුවන් සරණයි!

      Delete
    3. හිතවත් මිතුර,,ඒ අදහස සම්පුර්ණයෙන්ම වැරදියි,,දැනටත් ලංකාවේ රහතන් වහන්සේලා,රහත් මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නවා..මේ උතුම් ධර්මය වැඩ හිඳිනා කල් මේ ශාසනය රහතුන් ගෙන් හිස් වෙන්නේ නැහැ..ඒ නිසා නොපමාව කල් නොයවා මේ ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන්න..අවම වශයෙන් සෝවාන් පලයට හෝ පත් වෙන්න නොපමාව වීර්ය වඩන්න..
      තෙරුවන් සරණයි..

      Delete
  2. @ලහිරු.
    ඔබ නිවරදී යි. බුදුරාජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද, අප්‍රමාදී ව කටයුතු කරන ලෙස ය. වරක් උන්වහන්සේ පස් පිඩක් නියගට ගෙන පොලවේ හි පස් ප්‍රමාණය ත් නියගේ හි පස් ප්‍රමාණය ත් උපමා කරමින් දේශනා කළේ ද, මේ කරුණ පිලිබඳ ව ය.

    @වන වදුල.
    මලියදේව රහතන් වහන්සේගෙන් පසු ලංකාවේ එක ම රහතන් වහන්සේ නමක් වත් පහල වුයේ නැත යි හෝ පහලවන්නේ ද, නැත යි කීම ට නො හැකි ය. බුද්ධෝත්පාද කාලය අවසන් වන තෙක් පාරමී ධර්ම සම්පුර්ණ කර ඇති රහත් බෝධියෙන් නිවන් පතන උතුමන්ට නිවන් දැකීමේ හැකියාව පවතී. වර්තමානයේ ද, අනාගතයේ ද, ගෞතම බුද්ධ ශාසනයේ මගඵල ලාභීන් සිටිය හැකි ය. (මා කීවේ වර්තමානයේ මගපල ලැබූ බව ප්‍රචාරය කරගන්නා පිරිස ගැන නො වේ)

    ඇත්තෙන් ම වනවාසී ව සීලය ආරක්ෂා කරන කෙනෙකුට වුව ද, ඔහු භාවනා ප්‍රගුණ නො කරන්නේ නම්, ධර්මය ප්‍රගුණ නො කරන්නේ නම් මාර්ගඵල ලබිය හැකි වන්නේ නැත. වර්තමානයේ ඇති අතිධාවනකාරී සමාජ රටාවට ඔරොත්තු දීමට උවමනා බැවින් බොහෝ ගිහියන් ට භාවනා තබා වෙහෙර විහාරයකට යාමට, දානයක් පවා දීමට කාලවේලාවක් නොමැති තත්වයක් උද්ගත ව ඇත.

    නමුත් මෙ හි දී ප්‍රඥාව, සීලය සහ සමාධිය වදන ගිහි පිරිසක් සහ පැවිදි පිරිසක් සිටින බව ද, අමතක නො කළ යුතු ය. ඔවුන් මේ බුද්ධශාසනය තුළ මගඵල ලැබීම ට අධිෂ්ඨාන කරගෙන පරමිතා සම්පුර්ණ කර ඇති නම් දැනුදු ඔවූනට මගපල ලැබිය හැකි ය.
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
    Replies
    1. බුද්ධෝත්පාද කාලයක ඒ මග යන්න පුලුවන්.
      බොහොම පින්.
      තෙරුවන් සරණයි!

      Delete
  3. I am so impressed about this blog.I found this site out when I was browsing other Sinhalese sites. Oyathumata godak pinn....

    ReplyDelete
  4. සාදු සාදු සාදු

    ReplyDelete
  5. තෙරුවන් සරනයි

    ReplyDelete
  6. තියෙන සමහර එව්වා වැරදිය් මම හිතන්නේ. .. ... මම අහල තියෙන විදියටනම් ආයුෂ යන්නේ වැඩිම 80000. අනීක කල්ප විනාශය මෙන්න මේ කාලේ වෙනවා කියලත් නෑ . හැබැය් වෙන ආකාරය විස්තර වෙනවා . චක්කවත්තී සීහනාද සුත්රය එක ගැන ලස්සනට කියනවා. මේ කියල තියෙන කර්ම විපාක ගැනත් මගේ විශ්වාසයක්‌ නැහැ. මෙව්වා මෑත කාලේදී යොදා ගත්තු උපහැරණ වෙන්න පුළුවන්. මොකද බුද්ධ කාලීනව මෙහෙම පිළිම හොරකන් කරන්න යෙදුන කතා සිතන්න අමාරු නිසා. බුදූ රජාණන් වහන්සේ වදාල දෙයක් නොවදාළ බව පැවසීමත් නොවදාළ දෙයක් වදාළ බව පැවසීමත් මහත් වූ අකුසල් රැස්වෙන කරුණක් . එනිසා දෙයක් පල කරන්න කලින් ගොඩක් ඒ ගැන අප කව්රුත් සොයා බැලිය යුතු කරුණක් . තෙරුවන් සරණය් !

    ReplyDelete
    Replies
    1. තෙර්රුවන් සරණ යි!
      මිතුර, මිනිසුන් ගේ සන්තානවල ගුණධර්ම වැඩිදියුණු වන කල ආයුෂ ප්‍රමාණය ද, වැඩි වේ. ඒ ගැන ඔබ අසා ඇත යි සිතමි. නමුත් ආයු ප්‍රමාණය 80000 න් සීමා නො වේ. උදාහරණ පැවසුවහොත් දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ ආයුෂ් ප්‍රමාණය අවුරුදු 100000 (ලක්ෂ 1). කොන්ඩඤ්ඤ,අනෝමදස්සී,පදුම,පදුමුත්තර,අත්ථදස්සී,ධම්මදස්සී,සිද්ධත්ත,තිස්ස යන සර්වඥයන් වහන්සේලා ගේ ආයුෂ ද, අවුරුදු ලක්ෂය බැගින් ය. අවුරුදු 80000 වැඩි ආයු ප්‍රමාණ මිනිසුන් ට පැවති කාල ඇති බව එයින් පැහැදිලි වන්නට ඇත. (වැඩිදුර කියවීම - ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි)

      තවත් දෙයක් කිවයුතු යි. මෙය "ලොව්තුරු බුදුවරු" ලිපියේ ද, කියන්නට ඇති බව මතකයක් ඇත. සම්මා සම්බුදුවරු බුද්ධකෘත්‍යය සඳහා මිනිසුන් ගේ පරමායුෂ අවුරුදු 120-100000 ත් අතර කාලය තුළ පමණක් පහල වේ. ආයුෂ 100000 ට වඩා වැඩි කාලවල දී හෝ 120 ට වඩා අඩු කාලවල දී බුදුවරු පහල නො වේ. පංච මහා විලොකනයේ දී කාලය යනුවෙන් අංගයක් හැඳින්වෙන්නේ ද, මෙය යි.

      මේ ලිපියේ කියවෙන දේ චක්කවත්තී සීහනාද සුත්‍රය සමග 100% එකඟයි. මහාභාද්‍රකල්පයේ පහළවන අවසාන සර්වඥයන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බව ඔබ පිළිගත යුතු ය. එ සේ නම් කල්ප විනාශය සිදු වී මුළු සක්වල ම විනාශ වන කාලය උදා වන්නේ මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් පසු ව බව ද, පිළිගත යුතු යි නේද.?

      අනෙක් කරුණ කුසල් කරන්නෝ සුගතිගාමී වන බව සහ අකුසල් කරන්නෝ දුගතිගාමී වන බව අමුතුවෙන් කිව යුතු ද? නමුත් එ ම කරුණු කිහිපය බුදුන් වදාළ කරුණක් බව කොතැනක වත් දක්වා නැත. නමුත් එය බුදුන් වදාළ ධරයට එකඟ ය. ඒ බව ඔබ ම විමසන්න. එයින් අදහසක් ලබා දීම පමණක් සිදු කර ඇත.

      අවසන් වශයෙන් මෙ වැනි ලිපි මා හිතුමතේ පල නො කරමි. මුලාශ්‍ර ලෙස බොහෝ විට ත්‍රිපිටක ග්‍රන්ථ ද, අතිරේක වශයෙන් තව ත්, පිළිගතහැකි ධර්ම ග්‍රන්ථ කිහිපයක් හා ධර්ම දේශනාවන් ද, යොදාගන්නා බව කිව යුතු යි.

      Delete
  7. මේ ශ්‍රී ලංකාව තුල ඒ ගෞතම බුද්ධ වචනය,ඒ උතුම් ධර්ම රත්නය තවමත් එලෙසින් වැඩ හිඳිනවා සේම,අප්‍රකටව දැනටත් නික්ලේශී උතුම් මහා රහතන් වහන්සේලා වැඩ හිඳින සේක.මහා රහත් තෙරණින් වහන්සේලා වැඩ හිඳින සේක.අෂ්ට සමාපත්තීන්,ෂඩ් අභිඤ්ඤා උපදවූ මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩ හිඳිනා සේක.එහෙත් කිසිවකුට රුප ස්කන්ධයක් දැකීමෙන් ඒ හා බැදුණු ඒ පුද්ගලයාගේ නාම ස්කන්ධයේ වෙනසක් දැකිය නොහැකි හෙයින් මහා රහතන් වහන්සේලා හඳුනා ගත නොහැක.ශුන්‍යාගාර ,වන ලැහැබ වල ඒ උතුම් මහා රහතන් වහන්සේලා වැඩ හිඳිනවා පමණක් නොව,ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා සැමට මනා ලෙස කමටහන් ලබාදීමද සිදු කරනා සේක.
    මම දන්නා බොහෝ දෙනා මේ උතුම් ධර්මයෙන් කිසි ප්‍රයෝජනයක් මේ කාලයේදී ලබා ගන්නට නොහැකි යැයි පවසමින් ආමිස පුජාවට පමණක් තැන දෙමින් ඇති උතුම් විදර්ශනා මාර්ගයෙන් ඈත් වෙමින් කටයුතු කරමින් සිටී.මේ නාම රූපයන් මගේම ලෙස ආත්ම කොට දකිමින් සංසාරයේ අනේක දුක් අනුභව කරන්නට සැරසෙන ඔවුන් මේ උතුම් ධර්ම මාර්ගයට ගැනීමට හැකි යම් දෙයක් කරන්නේ නම් එය ඉතා උතුම් කාර්යයක් ලෙස සලකමි.නිය පොත්තට ගත් පස් ස්වල්පයක් මහා පොලවේ පස් හා සංසන්දනය කල නොහැකි සේ මේ කෝටි ගණනක් වූ මිනිසුන් යැයි සලකන සත්ව සමුහය අතරින් නැවත සුගතියක උපදිනු ලබන්නේ ඉතා සුළු පිරිසක් පමණි.යටත් පිරිසෙන් සෝවාන් ඵලය වත් ලබා ගැනීමට නොහැකි වූ බොහෝ පෘථග්ජන පිරිස මේ සංසාරයේ තවත් කොපමණ කල්ප ගණනක් මේ ජාති,ජරා ආදී දුක් අනුභව කරන්නේ දැයි නිශ්චිතව කිව නොහැක.

    ප.ලි.

    ReplyDelete
  8. මෙසේ මිනිසුන් අධ්‍යාත්මික ලෙස පිරිහී ඇත්තේ මා දකින ආකාරයට නම් නිර්වාණය පිනිස වන ධර්ම දේශනා මේ කාලයේ දුලභ වීමය.බොහෝ විට රුපවාහිනී ආදියේ වුවද පෝය දිනවලට විකාශනය වන ධර්ම දේශනා පුද්ගලයන් ලෞකික ලෙස ඔසවා තැබීමට ඉවහල් වන දේශනාය.නැතහොත් සුත්‍ර පිටකයේ ඇති දේශනාවක් නැවත දේශනා කිරීම පමණි.මේ සංසාරයේ බිය ජනක බව,දුක් සහිත බව පෙන්වා දෙමින් උතුම් අරහත් මාර්ගය වෙත යොමු කරන දේශනා දුලබය.මේ සංසාරයේ දුක පෙන්වාදී,පෘථග්ජන මිනිසුන්ව අඩුම තරමින් නාම රූප නිරෝධය තුලින් දකින උතුම් සෝවාන් ඵලය හෝ වෙත යොමු කරන දේශනා නිතර පුවත්පත් තුලින් හෝ දකින්නට ඇත්නම් එය බොහෝ දෙනාගේ හිත සුව පිණිස වනු ඇත.ධර්ම ග්‍රන්ථ අතරින් මේ කාලයේ නිර්වාණය පාදක කොට ලියවුනු වැදගත්ම ග්‍රන්ථ ලෙස මා නම් දකින්නේ පරම පුජනීය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ සමුහය පමණි.
    එහෙයින් වඩ වඩාත් නිර්වාණය පාදක කොට ලියවුනු ග්‍රන්ථ හා දේශනා වූ දහම් කරුණු අලලා වැඩි වැඩියෙන් ලිපි පල කරන ලෙස ඉල්ලා සිටිමි.සිදුකරන ලද දේශනාවක් ඇසු පමණින්ම සෝවාන් ඵලයට පත් වන ආකාරයේ මනා ලෙස අර්ථ,ධම්ම,නිරුක්ති හා පටිභාන පටිසම්භිධාවෙන් ධර්මය දේශනා කරන දේශක මහ රහතන් වහන්සේලා මේ රටේ දැනටත් වැඩ හිදියද ඒ උතුමන්ගේ ධර්මය ප්‍රචලිත වීමට තරම් ඒ උතුමන් වහන්සේලා හෝ ඒ දේශනා ප්‍රසිද්ධ නොවේ.ප්‍රසිද්ධ දේශක ස්වාමින්වසන්සේලා නිර්වාණය අලලා දේශනා නොකරන්නේ උන්වහන්සේලාගේ කිසිදු පැකිලීමක් නිසා නොවිය යුතුය.ඒ උතුම් මහා සංඝ රත්නයද මේ ශාසනය ආරක්ෂා කර දෙමින් මිනිසුන්ව යහපත් මාර්ගයට ගැනීමට මහත් වූ උත්සහයක් ගන්නවා විය යුතුය.නිර්වාණය පාදක වූ දේශනා එනම් මුලික වශයෙන් යටත් පිරිසෙන් සෝවාන් මාර්ගයට වත් යොමු කිරීමට තරම් ගැඹුරු දේශනාවක් සිදු කිරීමට නම් මේ ඒ මාර්ගයට පිවිසුණු උතුමෙක් විය යුතුය..එබඳු උතුමන් ඉතා විරලය.කොළඹ සිට ගාල්ලට යන මාර්ගය නිසි ලෙසම දැන ගැනීමට නම්,ඒ මාර්ගයේ යාමට නම් ඒ ගැන උපදෙස් ලබා ගත යුත්තේ සිතියමක් බලා මාර්ගය කියා දෙන්නෙකුගෙන් නොව,ඒ මාර්ගයේ ගමන් කොට ගාල්ලට ගිය පුද්ගලයෙකුගෙන්ම ය.එසේම මේ නාම-රූප නිරෝධය තුලින් දකින උතුම් ශාන්ත සෝවාන් සුවය ලබා ගැනීමට දේශනා කල හැක්කේ සුත්‍ර පිටකය හොඳින් අද්‍යනය කල කෙනෙකුට නොව ඒ නාම රූප නිරෝධය අත් විඳි උතුමකුට පමණක්මය..

    ප.ලි.

    ReplyDelete
  9. මමද මට තේරෙන කලක සිට බොහෝ දේශක උතුමන්ගේ දේශනා ඇසුවෙමි.එහෙත් ආලෝකය ආලෝකය යැයි සිතා කණමැදිරි එළියක්‌ පස්සේ ගමන කල කෙනෙකුට සුර්යාලෝකය මනා කොට ලැබූ විට නියම ලෙස ආලෝකය යනු කවරක් දැයි දැකගත් සේ උතුම් මහා රහතන් වහන්සේ කෙනෙකු යටතේ මේ උතුම් ධර්මය ගැන කුඩා හෝ එහෙත් සාමාන්‍ය පුද්ගලයෙකුට සිතා ගත නොහැකි වූ ප්‍රමාණයකට තේරුම් ගැනීමට මට වාසනාව උදා විය...
    ඔබතුමන්ගෙන්ද මා ඉල්ලා සිටින්නේ මනා කොට නිර්වාණය අරමුණු කරමින් දේශනා කරන අප්‍රකට උතුමන් වඩ වඩාත් සොයා යමින් උන්වහන්සේලා දේශනා කරන ඒ උතුම් අකලංක ශ්‍රී සම්බුද්ධ වචනය මාධ්‍ය හරහා ලෝ වැසි සැමට ගෙනයාමට උත්සහ කරන ලෙසයි.එයින් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඇති තවත් බොහෝ දෙනා මේ උතුම් ධර්ම මාර්ගයට ගෙන මේ ජීවිතයේදීම උතුම් වූ මාර්ග ඵලයක් ලබා ගැනීමට යොමු කිරීමට හැකි වනු ඇත.එසේ ඔබතුමන් හට කල හැක්කේ නම් එය ඔබට මහත් වූ කුසලයක්ද වනු ඇත.ඔබතුමා මාධ්‍ය ආයතනයක රැකියාව කරන හෙයින් මෙබඳු දෙයක් කිරීමට උත්සහ කරන ලෙස ඉල්ලා සිටීමට සුදුසුම පුද්ගලයා ලෙස මම ඔබතුන්ව දකිමි.මා හදිසියේම ඔබතුමන්ට මෙසේ ලිපියක් එවන්නේ එහෙයිනි.

    ඔබතුමා මොනයම් ආකාරයකින් හෝ ධර්ම මාර්ගයේ ගමන ගන්නේ දැයි දැකීමට මට නොහැක.එහෙත් ඔබතුමා කරන මේ ධර්ම දානය ඔබතුමාට මතු භවයක හෝ මේ භවයේදීම යටත් පිරිසෙයින් දහසක් නයින් පතිමණ්ඩල අති උතුම් සෝවාන් ඵලය හෝ ලබා ගැනීමට උපනිශ්‍රය වේවායි මම ප්‍රර්ථනා කරමි.
    තෙරුවන් සරණයි...උතුම් ධර්මාවබෝධයම වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබ ප්‍රකාශ කර ඇති ආකාරයට ම වර්තමාන සමාජයේ බොහෝවිට ධර්ම දේශකයන් වහන්සේලා ද, ලෞකික ලෙස ඔසවා තැබීමට ඉවහල් වන දේශනා හෝ සරල සූත්‍ර දේශනා පමණක් බොහෝවිට මාතෘකා කරගනිමින් ධර්ම දේශනා පවත්වති. සාමාන්‍ය ජනයාට ගැඹුරු ධර්ම කරුණු නො වැටහෙන්නේ ය යන මතයක් ද, සමාජගත ව ඇති නිසා විය හැකි ය. කෙ සේ නමුත් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට, පිළිවෙත් සම්පූර්ණ කිරීමට මම, ඔබ ඇතුළුව සමස්ත සියලු බෞද්ධයන් ම අප්‍රමාදී විය යුතු ය. එය බුදුන් ගේ ද, අනුශාසනාවකි.

      මා සිතනා අන්දමට උතුම් සද්ධර්මය පිළිබඳ, ත්‍රිපිටක ධර්මය පිළිබඳ සාමාන්‍ය බෞද්ධ ජනයා තුළ නිසි අවබෝධයක්, දැනීමක් නොමැතිකම නිසා ම ඔවුන් පිළිවෙත් මග ආමිසයට පමණක් සීමා කරති. මේ ධර්මයේ ඇති ගැඹුරු බව, හරය ඔවුහු වටහා නො ගනිති. එයට පිලියමක් වශයෙන් ගැඹුරු දහම් කරුණු දේශනා නො කිරීම හෝ ත්‍රිපිටක ධර්මය සරල කිරීම වැනි දේ අපට අනුමත කළ නො හැකි ය.

      සාමාන්‍ය ජනයා වෙත ධර්මය සමීප කළ හැකි එක ම ආකාරය වශයෙන් මම දකින්නේ ත්‍රිපිටක ධර්මය පහසුවෙන් පරිශීලනය කළ හැකි අන්දමින් ක්‍රමවත් ව සකස් කිරීම පමණකි. අධික කාර්යබහුල වුවත් මේ වනවිට එය මා විසින් සකස් කරමින් පවතී. http://tripitaka.thiryak.org

      අප විසින් අන්තර්ජාලයේ පලකරනු ලබන ලිපි සහ වෙනත් දෑ සඳහා ත්‍රිපිටකය, රේරුකානේ චන්දවිමල හිමියන් ගේ ග්‍රන්ථ, නා උයනේ අරියධම්ම හිමියන් ගේ ධර්ම දේශනා ආදිය පදනම් කරගනිමින් ය. අප ද, ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඇති කාලයෙන් කොටසක් මේ වෙනුවෙන් වෙන් කරන්නේ එක් අයකු හෝ ධර්ම මාර්ගයේ ගමන් කරතැයි බලාපොරොත්තුව ඇති ව ය.

      සියලු දෙනාට උතුම් ධර්මාවබෝධයම වේවා!
      තෙරුවන් සරණ යි!

      Delete
    2. හිතවත් මිතුර,,ඔබ තුමන් ඉස්මතු කල කරුණ පැහැදිලිවම ඇත්තයි..
      මමද අදහස් කලේ වර්තමානයේ ප්‍රසිද්ධ දේශක වහන්සේලා එසේ ඉදිරිපත් කරන්නේ මහජනයාට තේරුම් ගැනීමට නොහැකි යයි සිතා විය යුතු බවයි..එහි වැරැද්ද හෝ නිවැරැද්ද මට පෙන්වා දීමට නොහැකියි,,මන්ද අති උතුම් මහා සඟ රත්නයට එයින් යම් කිසි චෝදනාත්මක බවක් එල්ල වනු ඇතැයි මට හිතෙන නිසා.

      වර්තමානයේ පවා සෝවාන්,සකෘදාගාමී, අනාගාමී.අරහත් මාර්ග හා පල අවබෝධ කර ගත උතුමන් වැඩ හිඳිනවා,,එයින් අදහස් වෙන්නේ ඕනෑම කලක මේ උතුම් ධර්ම රත්නය වැඩ හිඳිනවා නම්,,ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාභී අයට ධර්මය අවබෝධ කල හැකි බවයි..
      මමත් ධර්මය සොයා යන කාලයේ මුලදී මගේ ගුරුවරයන් ලෙසට සැලකුවේ පරම පුජනිය රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ ය..උන්වහන්සේගේ ධර්ම කරුණු වලින් මම ඒ කාලයේ ලොකු පන්නරයක් ලබා ගත්තෙමි..අති පුජනිය න උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ගැනද මම අසා තියෙනවා..ඉතින් එබඳු උතුමන්ගේ දේශනා පදනම් කොට ගනිමින් මේ ආකාරයට ලිපි පල කිරීම අතිශයින් ප්‍රජෝයනවත්ය..

      මේ කුසලයෙන් ඔබට උතුම් වූ ධර්මාවබෝධයම වේවා,,නිවනින්ම සැනසෙත්වා..
      තෙරුවන් සරණයි..

      Delete
  10. ඉතාමත් වටිනාකමක් ඇති ලිපියක් .

    ReplyDelete
  11. මෛත්‍රි බුදුන් වහන්සේ ගැන තමන් පොත් පත් කියවා අධික මානයකින් බලන්න එපා මා මේ කියන දේ...මෛත්‍රි බොසතාණන් වහන්සේ ගැන විකිපිඩියාහී මහා කරුණු විශාල ප්‍රමාණයක් දක්වා තිබෙනවා, එ කරුණු ටික බැලුවම මෙ කරුණු හා සාපෙක්ශව මදි වගෙයි මට හිතෙන්නේ. ගිහිලම බලන්නකො.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...