Friday, January 3, 2014

අසිරිමත් ධාතු පෙළහර. (03-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව පළමු ලිපියෙන් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, දෙවන ලිපියෙන් දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කරන ලදී. 

මෙ ම ලිපියෙන් අනෙකුත් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබේ.
  • ලලාට ධාතූන් වහන්සේ 
  • අකු ධාතූන් වහන්සේලා
  •  ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
  • කේශ ධාතූන් වහන්සේලා 
  • නඛ ධාතූන් වහන්සේ 
  • ඌර්ණ රෝම ධාතු
  • භින්න ධාතු



ලලාට ධාතූන් වහන්සේ

නො විසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නළල් තලයේ පිහිටි අස්ථිය යි. ධාතු බෙදීමේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙ හි "මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ" යි කියා අනුදැන වදාරා තිබුණි. ඒ අනුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මැදිහත් වී ලලාට ධාතුව මල්ල රජවරුන්ගෙන් ලබා ගෙන තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් වෙත ලලාට ධාතුව "නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙ හි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේ ය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙ හි කූටාගාර ශාලාවෙ හි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙ හි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ"  යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක. 

මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිළිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙ හි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එ හි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූ හ. 

මෙ සේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූ හ. ඒ සමයෙ හි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එ හි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වී ය.  

ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද, ගෝඨාභය රජු ද, ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජු ය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එ ම බුද්ධ ප්‍රතිමාවේ නලල් තලයෙ හි තැම්පත් කළේ ය. තැන්පත් නා ලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙ හි තැන්පත් කරවා එ ම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේ ය. 

එ තැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් අද දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. 


අකු ධාතූන් වහන්සේලා 

අකු ධාතු දෙනම ද, නො විසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටය යි. පාලි භාෂාවෙන් අකු ඇටයට "අක්ඛකට්ඨි" යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් "අක්ෂකාස්ථි" යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි. සර්වඥ අකු ධාතු දෙනමගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේ ය. පසු ව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක්දෙව් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක්දිවට පැමිණිය හ. 

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කළේ ය. මේ ස්ථූපය ථූපාරාම මහා සෑය ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසු ව ඉදි වූ පළමු ස්ථූපය මෙය යි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද, පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටිය හ. එ පමණක් නො ව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද, කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද, කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද, තැන් පත් කර තිබුනේ ථූපාරාම මහ සෑය පිහිටා ඇති ස්ථානයේ ම බව සඳහන් වේ.

දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙ හි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත. මෙ සේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා ඇත.

 

ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ 

කොඳු ඇට පෙලේ ඉහලින් ම ඇති අස්ථි සත "ග්‍රෙවී කශේරුකා" නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස හදුන්වයි.  

බුද්ධ ශරීරය ආදාහනය කරන කල් හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ " සරභූ " නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූදහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙන අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද, සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළ හ.

වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේ ගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙ හි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කළ හ. 
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කරවී ය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවී ය. 

කේශ ධාතූන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේ ගේ හිස කෙස් “කේශ ධාතු” යනුවෙන් හඳුන්වනු ලැබේ. කේශ ධාතු ඉතා තද නිල්වන් ව දක්ෂිණාවර්තව (දකුණට කැරකැවී මනාකොට බුදු හිසෙහි තැන්පත් ව ඇත. නරසීහ ගාථාවන්හි අට වැනි ගාථාවේ පළමු පදයේ දී “අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො” යනුවෙන් සර්වඥයන් වහන්සේ ගේ හිසකෙස්වල ස්වභාවය දක්වා ඇත.

කේශ ධාතු නිදන් කර ලොව මුල්වරට ස්තූපයක් තැනුවේ බුදුරදුන් බුදුවීමට ත් පළමුව යි. සිද්ධාර්ථ ගෞතම කුමරු ගිහිගෙය හැරදමා අනෝමා නදී තීරයේ දී මගුල් කඩුවෙන් තම කෙස්වැටිය කපා “ඉදින් ඒකාන්තයෙන් ම මම බුදුවෙනවා නම් මේ කෙස්වැටිය අහසෙහි රැදේ වා! බුදු නො වේ නම් මේ කෙස්වැටිය බිම වැටේ වා !” යි කියා අදිටන් කර අහසට විසි කළේ ය. එකෙණෙහි ඒ හිස කෙස් යොදුනක් තරම් වූ ඉහළ අහසට පැන නැගී සිටියේ ය. මෙය දුටු සක්දෙව් රජු රන් කරඬුවකින් කේශ ධාතු පිළිගෙන තව්තිසා දෙව්ලොවට ගොස් සිළුමිණ නම් මහා සෑයක් මවා කේශ ධාතු කරඬුව සෑය තුළ තැන්පත් කර පුද සත්කාර කළේ ය. මේ බව ජාතක අටුවා නිදාන කථාවේ දැක් වේ.
බුදුරදුන් බුද්ධත්වයෙන් සත් වැනි සතිය “රාජායතන” නම් කිරිපලු රුක මුල වැඩ සිටිය හ. ඒ සතිය අවසානයේ දී තපස්සු භල්ලික වෙළඳ දෙබෑයෝ කිරිපලු රුක මුල වැඩ සිටි බුදුරදුන් දැක උන්වහන්සේ වෙත එළැඹ බැදපු සහල් පිටි සහ මී පැණි යොදා කළ අග්ගලා පිළිගැන්වූ හ. බුදුහු සතරවරම් දෙව්රජ දරුවන් පිළිගැන්වූ ගල් පාත්‍ර සතර එකක් කොට ඉන් දන් පිළිගෙන වළඳා අන්තයෙ හි වෙළඳ දෙබෑයන්ට දහම් දෙසූ හ. දේශනාවසානයේ දී තපස්සු භල්ලික වෙළඳ දෙබෑයෝ බුදුන් දහම් සරණ ගිය හ. ලොව මුල් වතාවට බුදුන් දහම් සරණ ගිය උපාසකයින් බවට පත් වූයේ මේ දෙදෙනා ය. පසු ව තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු සිරිපා වැඳ ඇඳිලි බැඳගෙන “ස්වාමීනි, අපට වන්දනා කිරීමට කිසියම් පූජනීය වස්තුවක් ලබා දුන මැනවැ” යි කියා ඉල්ලා සිටිය හ. බුදුහු දක්ෂිණ ශ්‍රී හස්තයෙන් තමන් වහන්සේ ගේ හිස පිරිමැද කේශ ධාතු ලබා දුන් හ.
ඔවුහු බුදුරදුන් ලබා දුන් ඒ කේශ ධාතු අට මිට මහත් වූ ගෞරවයෙන් යුතු ව පිළිගෙන තම ජාතභූමිය වූ අසිතංජන පුරයට ගොස් කේශ ධාතුවලින් කොටසක් නිදන් කර නුවර දොරටුව අසල ස්තූපයක් කළ හ. සෑම පොහෝ දිනයක ම මේ කේශ ධාතු සෑයෙන් නිල් පැහැති ආලෝක ධාරා විහිදේ. මේ බව අංගුත්තර නිකායට්ඨකථාවේ දැක් වේ. මෙ හි සඳහන් අසිතංජන පුරය ගන්ධාර දේශයට අයත් නුවරකි.
පසුව මේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ මුහුදු මාර්ගයෙන් වෙළඳාමේ යන කල්හි බුදුරදුන් ලබා දුන් ඒ කේශ ධාතුවලින් කොටසක් ගෙණ ලක්දිවට පැමිණ තිරියායේ කඳු ගැටයක් උඩ පිහිටි ගල් තලාවක් මත කේශ ධාතු කරඬුව තැන්පත් කළහ. තැන්පත් කර ආහාර අනුභව කර යන කල්හි කේශ ධාතු කරඬුව තිබූ තැනින් සෙලවීමට නොහැකිව “මේ උතුම් ස්ථානයකැ”යි සිතා පස් ගල් ආදියෙන් කේශ ධාතු කරඬුව වසා කුඩා ස්තූපයක් තනා ඒ සෑයට මල්, සුවඳදුම් පුදා ගිය හ. මේ ස්තූපය අද ත් තිරියායේ දක්නට ඇත. එය “ගිරිහඬු සෑය” නම් වේ. කේශ ධාතු ස්තූපයේ ආරක්ෂාවට පසු කාලයේ දී අලංකාර ගෘහයක් තනා ඇත. එ හි නටබුන් අදත් දක්නට ලැබේ. 

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බුරුම රටට (මියෙන්මාරයට) ද පැමිණ කේශ ධාතුවලින් කොටසක් නිදන් කර ස්තූපයක් තනා ඇත. අද ඒ ස්තූපය හඳුන්වන්නේ “ස්වේදගෝන් මහා සෑය” යන නමිනි. රන් ආලේප කර ඇති මේ මහා සෑය බුරුමයේ රැංගුන් නුවර පිහිටා ඇත. මේ හැරුණු විට බුරුමයේ තවත් පුරාණ ස්තූප කිහිපයක කේශ ධාතු තැන්පත් ව ඇතැ යි සැලකේ. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ද පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ද සර්වඥ කේශ ධාතු තැන්පත් කර තැනූ ස්තූප කිහිපයක් ගැන හියුං සියං වාර්තාවේ සඳහන් ව ඇත. 


නඛ ධාතූන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ ගේ නියපොතුවලට “නඛ ධාතු” (නිය ධාතු) යනුවෙන් කියනු ලැබේ. බුදුරදුන්ට සිනිඳු වූ තඹ පැහැති නියපොතු විය. කේශ ධාතු මෙන් ම නඛ ධාතු නිදන් කර ස්තූප තැනීමට ආරම්භ වූයේ බුදුරදුන් ජීවමානව වැඩ සිටින සමයේ දී ය.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල මෙන් ම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් දෙකේ ද බුදුරදුන් ගේ කේශ ධාතු මෙන් ම නඛ ධාතු නිදන් කර තැනූ ස්තූප පිහිටා තිබූ බව හියුං සියං වාර්තාවේ සඳහන් වේ.

අනුරාධපුර නගරයේ “නකා වෙහෙර” නම් වූ පුරාණ ස්තූපයක් දක්නට ඇත. මේ ස්තූපය චතුරශ්‍රාකාර ය. ගඩොලින් බැඳ තිබේ. ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේ ගේ නිය ධාතු තැන්පත් ව ඇතැයි සැලකේ. මේ ධාතු ස්තූපය කිසිවෙකු ගේ අවධානයක් නැති ව වල් බිහි වී දිනෙන් දින ම විනාශ වෙමින් පවතී.

බුදුරදුන් ගේ නඛ ධාතු තැන්පත්ව ඇති මහා ස්තූපයක් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඒ දීඝවාපි මහා සෑය යි. සද්ධාතිස්ස මහ රජතුමා (ක්‍රි.පූ. – 137 - 119) විසින් කර වූ මේ මහා ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේ ගේ වම් ශ්‍රී හස්තයේ නිය ධාතු තැන්පත් ව ඇතැ” යි සැලකේ. නිය ධාතු තැන්පත් ව ඇති දීඝවාපි මහා සෑය අතීතයේ නක වෙහෙර, නඛා වෙහෙර යනුවෙන් ද ප්‍රකට ව තිබුණි.

බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සමනල කඳු මුදුනේ වම් සිරිපා සටහන පිහිටුවා දිවා විහරණය කොට ඉන් පසු දීඝවාපියට වැඩම කර පන්සියයක් මහ රහතුන් ද සමගින් මෙහොතෙක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි බව මහාවංශයේ සඳහන් වේ. නඛ ධාතු තැන්පත් කර දීඝවාපි ස්තූපය තනා ඇත්තේ බුදුරදුන් ප්‍රධාන පන්සියයක් මහ රහතුන් සමවත් සුවයෙන් වැඩ සිටි එම ස්ථානයේ ය.


ඌර්ණ රෝම ධාතු

තථාගතයන් වහන්සේ ගේ සිරසෙ හි දකුණට නැමී ඇති කේශ ධාතු “ඌර්ණ රෝම” ධාතු නම් වේ. උද්දග්ගලෝම නම් වන මෙය මහාපුරුෂ ලක්ෂණයන් තිස්දෙක අතරින් එකකි. බුඳුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතු නිදන් කොට ක්‍රි.ව 18 දි මහානාග රජු විසින් මිහින්තලයේ සේළ චෛත්‍යය කරවා ඇත.


භින්න ධාතු

භින්න ධාතු යනු කුඩා කුඩා කොටස්වලට කැඩී, බිඳී වෙන් වී ගිය බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ අස්ථි ධාතුන් ය. බුදුරදුන් ගේ අදිටනට අනුව ලලාට ධාතුව ය, අකු ධාතු දෙනම ය, සතර දළදාවන් ය යන මේ මහා ධාතු සත කොටස්වලට නො කැඩී, නො බිඳී, නො විසිරී එ ලෙසින් ම ඉතිරි විය. ශ්‍රී ශරීරයේ අනෙක් සියලු අස්ථි කුඩා කුඩා කැබලිවලට බෙදී වෙන් වී ගියේ ය.

විසිරුණු ධාතුන් ගේ ප්‍රමාණ හා වර්ණ ගැන මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කතාවේ ද සඳහන් ව ඇත. බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු රන්වන් පැහැයට හුරු ය. කඩසහල් තරමේ ධාතු මුතු පැහැති ය. අබ ඇට තරමේ ධාතු සමන් කැකුළු පැහැති ය. මෙ ම ධාතූන් වහන්සේලා අපමණ දෙව් මිනිසුන් ගේ වන්දනාවට ද,  පූජාවට ද, පාත්‍ර වෙමින් අද දිනයේ ද, ලොව විවිධ ස්ථානයන් හි වැඩසිටින්නේ ය.

තෙරුවන් සරණ යි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...