Monday, October 8, 2012

සබ්බ දානං ධම්ම දානං ජිනාති.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තීර්යක් බ්ලොග් අඩවිය ආරම්භ කර අද දිනට හරියට ම වසරක් ගත වී ඇත. මෙ ම අඩවිය ආරම්භ කළේ ධර්ම රසය හා ධර්ම රතිය දන්නා පිරිස වෙනුවෙන් මා හට කළ හැකි පමණින් ධර්ම දානය සිදුකිරීම සඳහා ය. කිසිඳු ලාභ කීර්ති ප්‍රශංසා ආදියක් වෙනුවෙන් නො වේ. ඒ අනුව පසුගිය දින 365ක කාලය තුළ ලිපි 75ක් සම්පාදනය කර පළකරන්නට යෙදුණි. දසදහස් සංඛ්‍යාත පිරිසක් ඒවා පරිශීලනය කර ඇත. "තථාගතබ්බවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ" තථාගත ධර්ම විනය විවෘත වූයේ බබළයි. වැසුනේ නොම බබළයි.
තථාගත ධර්මය ලොව ට ම විවර කරන්නට කළ මේ ධර්ම දානය වෙනුවෙන් මා හට උපකාරවන්ත වන අම්මා, තාත්තා සහ පවුලේ සැමදෙනා ද, මිතුරු මිතුරියන් සියලු දෙනා ද, ලිපි සම්පාදනයේ දී උපකාරවන්ත වන සියලු මුලාශ්‍ර සකස් කළ පිරිස ද, ලිපි කියවු ඔබ සියලු දෙනා ද, ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන පිණිස ම ඒකාකාර ව මේ පුණ්‍ය ශක්තීන් පාරමිතාවක් වේ වා! කියා ප්‍රාර්ථනා කරමින් අද මාතෘකාව ට පිවිසෙමු.


දහම තුළින් බුදුන් දකිමු.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක ගේ පහළ වීම දුර්ලභ කරුණකි. එ ම දුර්ලභ අවස්ථාව අපට හමුවී ඇති බැවින්, අප විසින් එ ම අවස්ථාවෙන් ප්‍රයෝජන ලැබිය යුතු ම ය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, දේහකාය සම්පත්තියෙන් අපට දකින්නට මේ ජීවිතයේදී නො හැකි වුවත්, ධර්මකාය සම්පත්තියෙන් මේ ජීවිතයේ දැක ගත හැකි ය. එය බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවට ද මනා ව ගලපා ගත හැකි ය. එ නම් "යමෙක් ධර්මය දකින්නේ ද, හෙතෙම භාග්‍යවතුන් වහන්සේ දකින්නේ ය" යනුවෙනි.


සැබෑ ම ධර්ම දනය කුමක් ද?

 
සියලු ම ආමිස දානයන් අභිබවමින් ධර්ම දානය ජය ගන්නේ ය. සැබවින් ම ධර්ම දානය යනු කුමක් ද? ලාභ කීර්ති ප්‍රශංසා ආදිය ගැන අපේක්ෂාවක් නැති ව කරුණාව පෙරදැරි කරගෙන පින්පව් හඳුන්වා දීම වශයෙන් ධර්මය දේශනා කිරීම ධර්ම දානය යි. සත්වයන් නිවන් මග ට පමුණුවනු පිණිස ආර්ය සත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානයකි. ධර්මකථිකයන් ලවා ධර්මය ධර්මය කියවීම ද, ධර්මය නො අසන්නන් සඳහා ධර්මය ඇසීමට සැලැස්වීම ද, ධර්ම පොතපත ලිවීම, ලියවීම, මුද්‍රණය කිරීම, මිලට ගෙන පුජා කිරීම, ධර්මය ඉගෙන ගන්නා පිරිස සඳහා පොතපත සපයාදීම ද, ධර්මයා ගේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්මය උගන්වන ගුරු ශිෂ්‍ය දෙපිරිස ට උපකාර කිරීම ද, පුස්තකාල ආදිය ඉදිකිරීම ද, ධර්මයා ගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය වෙනුවෙන් කළ හැකි කිනම් දෙයක් වුව ද, එය ධර්ම දානයක් ම වන්නේ ය.

 
සබ්බ දානං ධම්ම දානං ජිනාති.

දානයන් අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. යමෙකු ට සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩසිටින්නා වූ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ට කෙසෙල් ගොබ සේ මෘදු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චිවර දානයකි. ඒ අතිවිශාල ආමිෂ දානය ට වඩා එ තැන ට රැස් වු පිරිස ට අනුමෝදනා වශයෙන් සතරපද ගාථාවකින් දහම් දෙසීම උතුම් ය. ඒ මහා චීවර දානය එක් ගාථාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොලොස්වෙනි කලාව තරම් වත් නො වටිනා බව දක්වා තිබේ.

තව ද, සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩසිටින්නා වූ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ට පාත්‍රා පුරා දෙන මහා ආහාර දනය ට ද, එ සේ ම පාත්‍රා පුරා දෙන මහා ගිලානප්‍රත්‍යය දනය ට ද, මහාවිහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝහප්‍රාසාදය වැනි ප්‍රාසාද ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සෙනසුන් දානය ට ත් වඩා, ජේතවනාරාමය සඳහා අනාථපින්ඩිකයන් විසින් කළ පරිත්‍යාගය ට ත් වඩා, සතර පද ගාථාවකින් දහම් දෙසීම උතුම් බව දක්වා තිබේ.


ඒ අන් කරුණක් නිසා නො වේ. එ බඳු චීවර දාන, ආහාර දාන, ගිලන්පස දාන, සෙනසුන් දාන ආදිය දෙන්නේ ද, දහම් ඇසීම නිසා බැවිනි. මේ සත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙන් කැඳ සඳක් පවා පිනට නො දෙන්නාහු ය. එ බැවින් සියලු ම දානයන් ට වඩා ධර්ම දානය උතුම් වේ.


සබබ දානං ධම්ම දානං ජිනාති
සබබ රසං ධම්ම රසං ජිනාති
සබබ රතිං ධම්ම රතිං ජිනාති
තණහක්ඛයො සබබ දුක‍ඛං ජිනාති

ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධර්ම රතිය (ධර්මයට ඇති ඇල්ම) සියලු රතින් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය සියලු දුක් දිනන්නේ ය.


නිවන් දැකීමේ දොරටු පහ (විමුක්තායතන ශීර්ෂ පංචකය)



විමුක්තිය ලබන්නා වූ ක්‍රම වේදයන් පහක් විස්තර කරන්නා වූ අංගුත්තර පංචක නිපාතෙයහි "විමුත්තායතන" සූත්‍රයෙ හි නිවන ලබන ක්‍රම පහක් පිළිබඳ දේශනා වේ. ධර්මශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ඣායනාව, ධර්ම සම්මර්ෂණය හා භාවනාව නිවන් දොරටු වශයෙන් එ හි සඳහන් වේ. මෙයින් පළමු කරුණු සතර ම පාහේ ධර්ම දානමය කුසල කර්මය මත සිදුවන බව පැහැදිලි ය. පස්වැනි ක්‍රමවේදය භාවනාමය පුණ්‍ය කර්මය ප්‍රගුණ කිරීමෙන් සාර්ථක වන බව ද එ හි සඳහන් වේ.

බුද්ධ ධර්මය ට කොපිරයිට් දමන්න එපා.

ධර්ම දානය සිදුකරන සියලු ප්‍රඥාවන්තයින්ගෙන් කරන ඉල්ලීමක් මෙ සේ සටහන් කරමි. මෙ ම බ්ලොග් අඩවිය ආරම්භ කළ සමයේ මා විසින් ද, මෙය ට කර්තෘ අයිතිවාසිකම් දමා තිබුණි. එය ට එක ම හේතුව මේ ධර්මය කිසිවකු විසින් හෝ උපුටාගනීවී කියන බිය නිසා නො වේ. ධර්මය විකෘති කර පලකරාවී යන අදහස නිසා ය. බ්ලොගය ආරම්භ කළ මුල් සමයේ මා වෙත ලැබුණු එක් ඊ ලිපියකින් එක් මහත්මයකු විසින් මේ පිළිබඳ තිබු වැරදි වැටහීම මා කෙරෙන් ඉවත් කරවීය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ට අප කර්තෘ අයිතිවාසිකම් දැමීම ඉතා නොමනා ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුනි. ඉන්පසු අද දක්වා ම මේ බ්ලොගයේ පලකළ ලිපි සියල්ල සඳහා කිසිඳු කර්තෘ අයිතිවාසිකමක් ඇතුළත් කළේ නැත. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කළ ධර්මය ට කර්තෘ අයිතිවාසිකම් දැමුවේ නම් කුමක් වේ දැ යි මෙ හි දී සිතිය යුතු කරුණකි. එ සේ නම් මේ අයුරින් ලිපි සකස් කිරීමතබා ධර්ම ග්‍රන්තයකුදු කිසිවකුටත් පලකළ නො හැකි වන්නේ ය. තුන්කල් දක්නා නුවණක් ඇති බුදුන් වහන්සේ එ සේ නො කළේ එ සේ කිරීමෙන් කිසිඳු පලක් නො වන බැවිනි. සියලු සංස්කාරයෝ අනිත්‍යය බැවිනි.

බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යය ලක්ෂණය අනුව සියලු සංස්කාර ධර්මයෝ විනාශ වී යන බව දේශනා කර ඇත. ධර්මය ද, එ සේ ම ය. කලක් යන විට වෙනස් වී විකෘති වී අවසානයේ සම්පුර්ණයෙන් ම ලොවින් අන්තර්ධාන වී යන්නේ ය. දැනුදු එ හි පෙරනිමිති දක්නා ලැබේ. නිර්මල සද්ධර්මය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතී. එ සේ නමුත් බුද්ධ ධර්මයේ සඳහන් වන කරුණු සියල්ල ම සැමකාලය ට ම වලංගු සංසිද්ද්ධීන් බව ද, තේරුම් ගත යුතු ය. 

ධර්ම දානය නියම ධර්ම දානයක් වශයෙන්, සසර ගමන නැවතීම ට පාරමිතාවක් වශයෙන් සිදුකිරීම ට යමෙකු වෙහෙස වන්නේ නම් ඔහු හෝ ඕ හට මේ කියු කරුණ ඉතා වැදගත් වනු ඇතැ යි සිතේ.

සියලු සතුන් කෙරෙහි මෙත් කරුණාදිය පෙරටු කරගනිමින් සිදුකෙරෙන මේ උතුම් ධර්ම දානමය කුසල බෙලෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් ලැබීම ට හේතු වේ වා!
තෙරුවන් සරණ යි!

7 comments:

  1. ජය වේවා !!!! ලස්සන යහපත් වෑඩක්.....

    ReplyDelete
  2. නමෝ බුද්ධාය! මමත් මේ පින අනුමෝදන් වෙමි! සාධු! සාධු!සාධු!

    ReplyDelete
  3. May triple gem bless you!
    Keep up the good work
    -Sam-

    ReplyDelete
  4. සියලු සත්වයන් කෙරෙහි මෙත් කරුණාදිය පෙරටු කරගනිමින් සිදුකෙරෙන මේ උතුම් ධර්ම දානමය කුසල බෙලෙන් ඔය දරුවට යහපතක්ම සිදු වේවා

    ReplyDelete
  5. මමත් මේ පින අනුමෝදන් වෙමි! සාධු! සාධු!සාධු!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...