Thursday, October 20, 2011

කඨින චීවර පූජාව -(04) කොටස.

කඨින චීවර පූජාව -(04) කොටස මගින් වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ කුමක් නිසා ද? යන ගැටළුව හා කඨින චීවර පූජාව සිදුකෙරෙන අයුරු හා කඨින චීවරය ලබන භික්ෂුව ට ලැබෙණ වරප්‍රසාද හා එ හි සීමාවන් පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වේ.

වස් සමයේ භික්ෂූන් ට සිව්පසින් සංග්‍රහ කරන්නේ ඇයි?

භික්ෂු සංඝයා බොහෝ විට බුදුරදුන්ගෙන් කමටහන් ලබාගෙන එක්තැන් ව භාවනා කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මෙ ම වස් කාලය යි. තව ද, උන් වහන්සේලා ට සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් බණ අසමින් සිල් රකිමින් පෙහෙවස් සමාදන් වෙමින් දසපින් කිරියවත් කරමින් ලොවුතුරා සැප සාදාගැනීම ට ගිහි දායක පක්‍ෂයට ද, හැකියාව ලැබී ඇත.

 


මෙ ම කාරණය පැහැදිලි කෙරෙන නිදසුනක් ලෙසින් ඉදිරිපත් කළ හැකි අගනා කතා පුවතකි මේ...

"යං භික්ඛවේ සීලවන්තෝ පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිස්සාය විහරන්ති තත්ථ මනුස්සා තීහි ඨානේහි බහුං පුඤ්ඤං පසවති කායේන වාචාය මනසා" යනුවෙන් වදාළ පරිදි සිල්වත් පැවිද්දකු ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට වාසය කරන කල් හි එ හි ජීවත්වෙන මිනිස්සු සිතින් කයින් වචනයෙන් යන තිදොරින් බොහෝ පිං දහම් රැස් කර ගන්නේ ය. මෙ සේ ගිහි පැවිදි දෙපාර්ශවය අතර පැවති සමීප සබඳතාව මත ඔවුනොවුන් ගේ ජීවිතවල ගුණ දහම් වර්ධනයක් සිදු විය.

භාවනා කරනු පිණිස බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගත් එක්තරා සඟ සැට නමක් වස් විසීම සඳහා සුදුසු ස්ථානයක් සොයා යන්නේ කොසොල් රට "මාති" නම් වූ ගමක ට පිඩු සිඟා වැඩිය හ.



එ ම ගමේ ප්‍රධානියා වූ "මාතිය" නම් උපාසකයන් ගේ මෑණියෝ මෙ ම භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැහැදී -ඔබ වහන්සේලා මෙ ම වස් තුන්මස වැඩ වාසය කළහොත් ඔබ වහන්සේලා ට සිවුපසයෙන් උවැටැන් කරමින් මම ද තිසරණ පන්සිල් හි පිහිටා පොහොයෙන් පොහොය ට පෙහෙවස් ද, ආරක්ෂා කරන්නෙමි- යි ප්‍රකාශ කළා ය. තෙරුන් වහන්සේලා ද, මෙ ම සැදැහැවත් උපාසිකාව ගේ ආරාධනාව බාර ගත් හ. උපාසිකාව උන් වහන්සේලා ට වස් විසීම සඳහා සෙනසුනක් සකස් කර දුන්නා ය. සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් උන් වහන්සේලා ගේ දුක සැප නිරන්තරයෙන් සොයා බලන්නී ය.

දිනක් මෙ ම භික්ෂූන් වහන්සේලා දැක ගැනීම සඳහා පැමිණි මෙ ම උපාසිකාව තිලකුණු භාවනාවේ යෙදෙමින් සිටින උන් වහන්සේලාගෙන් තමන් ට ද, එ ම භාවනාව ප්‍රගුණ කළ හැකි බව අසා දැනගෙන උන් වහන්සේලාගෙන් ම උපදෙස් ලබාගෙන එ ම තිලකුණු භාවනාව ප්‍රගුණ කොට භික්ෂූන් වහන්සේලා ට ත් පෙරාතුව ම අනාගාමී ඵලය සමග සිවුපිළිසිඹියා හා ලෞකික අභිඥා උපදවා ගත්තා ය.

අනතුරුව සඟ සැට නම මාර්ග ඵලාවබෝධය ලබා ගැනීම ට ප්‍රමාද කුමක් නිසා දැයි දිවසින් බලන්නේ උන් වහන්සේලා ට සප්පාය ආහාර පාන නොමැතිකම ඊට හේතුව යැ යි දැන ගනී. එ තැන් පටන් මාතික මාතා උපාසිකාව දිවසින් බල බලා ඒ ඒ භික්ෂූන් ට කැමැති සප්පාය භෝජන පිළියෙළ කොට පිළිගැන්නුවා ය. ඒ හේතුකොට ගෙන එම සඟ සැට නම නොබෝ දිනකින් ම සිවුපිළි සිඹියාපත් රහත්බව ලබා ගත් හ.

මෙ ම කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙන්නේ වස් කාලය ගිහි පැවිදි දෙපාර්ශවය ට ම ඉතා අර්ථවත්, ආගමික පරමාර්ථයන් සඵල කර ගත හැකි කාල වකවානුවක් වන බව යි.

ඒ අනුව අද දක්වා ම විශේෂ වස් සමයේ ගිහියන් විසින් පැවිදි පාර්ශවය ට සිව්පසින් සංග්‍රහ කරයි.
කඨින චීවර පූජාව සිදුකෙරෙන අයුරු.


කඨින චීවරයක්‌ ලබා ගැනීම සඳහා පිළිපැදියයුතු විනයානුකූල චර්යා පද්ධතිය ඉතා ප්‍රවේශමෙන් හා කැපවීමෙන් යුක්‌ත ව සිදු කළ යුත්තකි. එ ම චීවරය පූජා කරන විට ද, විනයානුකූල පුද සිරිත් සමුදායක් පවතී. කඨින පූජාව සිදුකළ හැක්‌කේ එක්‌ වර්ෂයක්‌ තුළ එක්‌ වරක්‌ පමණකි. මෙ කී හේතූන් දෙස අවධානය යොමු කිරිමේ දී කඨින පූජෝත්සවය විහාරස්‌ථානයක වර්ෂයක්‌ තුළ සිදුකෙරෙන පින්කම් අතර වඩාත් උත්කර්ෂවත් ම පින්කම ලෙස ද, සැලකිය හැකි ය.

ඒ අනුව කඨින පූජා උත්සවය හා සමගාමී ව පෙරහැර පූජා නැටුම්, තොරණ සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සාංඝීක දාන පූජා, කප්රුක්‌ පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදුකෙරේ. ඒ ඒ පළාත් හා ආවේණික වූ ලක්‍ෂණ අනුව එ ම පූජා චාරිත්‍රයන් හි විශේෂත්වයක්‌ දැකිය හැකි ය.


පුරාතන යුගයේ පටන් ම කඨිනය සඳහා වැඩමවන භික්ෂුන් ට කැඳ බත් ආදිය පිරිනැමීමෙන් සංග්‍රහ කිරිම ට දායකයෝ හුරුපුරුදු වී සිටිය හ. එය දායක පක්‍ෂයේ යුතුකමක්‌ සේ ද, සැලකූ බව සමන්තපාසාදිකා විනයට්‌ඨකථාවෙන් පැහැදිලි වේ. පශ්චාත් කාලීන ව එ ම චාරිත්‍රය වඩාත් දියුණු වී කඨිනය සඳහා වැඩමවන භික්‍ෂූන් ට සංඝගත දක්‍ෂිණාවක්‌ පිළිගැන්වීම අනිවාර්ය අංගයක්‌ බව ට පත්විණැ යි විශ්වාස කිරීම සහේතුක ය.

 
වස්‌ පවාරණය කළ භික්‍ෂූන්ට චීවර පූජා කරන දිනයේ අලුයම ඒ සඳහා ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ විහාරස්‌ථානය ට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රය යි. ඇතැම් අවස්‌ථාවක දී ඒ වෙනුවෙන් අතිඋත්කර්ෂවත් පෙරහරක්‌ පවත්වනු දැකිය හැකි ය. මෙ ම පෙරහර සඳහා කැපකරු දායක පක්‍ෂයේ ශක්‌තිය අනුව අලි ඇතුන්, හේවිසි, තූර්යවාදන, නැටුම් ආදී විවිධ සංස්‌කෘතිකාංග එක්‌වන බැව් පෙනේ. මෙ ම කඨින පෙරහැර සංචාරය කරනුයේ භික්‍ෂුන් වස්‌ විසූ ආරාමය ට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙනි. මෙ ලෙස තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහැර අලුයම විහාරස්‌ථානයට ළඟාවෙයි. කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවීම කඨින පෙරහැර විහාරස්‌ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකිණි. මෙ සේ මහත් උත්සවාකාරයෙන් වැඩම කරවූ කඨින වස්‌ත්‍රය පිළිගන්නා භික්ෂූහු දායක පක්‍ෂයෙ හි ද, අභිමතය පරිදි එ හි කඩ කපා කඨින චීවරය සකස්‌ කරති. පුරාතන යුගයේ දී විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් කඨිනය ගෙත්තම් කිරීම සිදු කෙරිණි. එ හි දී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම ආදී කටයුතු සියතින් ම සිදු කිරීමට මහත් රුචිකත්වයක්‌ දැක්‌වූ හ. කඨිනය සකස්‌ කිරීම, පූජා කිරීම ඇතිරීම යන සියල්ලක්‌ ම එක්‌ දිනක්‌ තුළ සිදුකළ යුතු වෙයි.




කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්‌ත්‍රයක්‌ නම් සෝදා පිරිසිදු කොට පඬු පෙවීම සිදු කළ යුතු ය. මේ සඳහා සිවුරු රෙද්දක්‌ භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම් වස්‌ සිවුරෙහි කොණක්‌ සේදීම පුරාතන චාරිත්‍රය යි. මෙ ම විශේෂ අවස්‌ථාවන් හි දී හේවිසි, හොරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද, පුරාතනයේ සිදුකෙරිනි. මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේලා සකස්‌ කර ගත් කඨින චීවරය කඨින පූජා මණ්‌ඩපයෙ හි උසස්‌ ආසනයක තැන්පත් කෙරෙයි. අනතුරු ව එ හි රැස්‌ වූ භික්ෂුන් ට කඨින චීවරය පූජා කිරීම දායකකාරකාදීන් විසින් සිදු කළ යුතු ය. එ හි දී පෞද්ගලික ව නො ව උභතෝ සංඝයා ට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තිය යි. ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂුහු කඨින චීවරය සඟ සතු කොට තමන් අතුරෙන් එය ලැබීම ට සුදුසු භික්ෂුවක තෝරා විනයානුකූල ව එය පැවරීම සිදු කරති. කඨින චීවරයක්‌ සඟ සතු කිරීම ට යටත් පිරිසෙයින් උපසපන් භික්ෂුන් පස්‌ නමක්‌ වත් වැඩ සිටිය යුතු ය. විනය කර්මයක් මගින් පවරනු ලබන එක ම වස්තුව වන්නේ ද, කඨින චීවරය යි.

මෙ සේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබා ගත් භික්ෂුව එ හි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටු කළ යුතු ය. මොණර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක්‌ සිවුරේ එක්‌ කොනක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත් කොළයක්‌ සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්‌ත්‍රයක්‌ කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස්‌ කෙරෙයි. කඨින පූජා චාරිත්‍ර සියල්ලක්‌ ම නිමවීමෙන් පසු ව කඨිනත්ථාරක භික්ෂුව විසින් කඨිනානිසංස ධර්ම දේශනාවක්‌ ද, පවත්වනු ලැබීම සාම්ප්‍රදායික සිරිත යි.

කඨින වස්‌ත්‍රය සඟසතු කිරීමත් සමග ම අවශේෂ පූජා භාණ්‌ඩ සියල්ලක්‌ ද, ස්ඟසතු වස්‌තූන් බව ට පත්වෙයි.

කඨින චීවරය ලබන භික්ෂුව ට ලැබෙණ වරප්‍රසාද.

කඨින සිවුර ලත් භික්ෂුනම ට වරප්‍රසාද පහක් හිමි වෙයි. මේ ආනිශංස ලැබෙන්නේ ඉල් මස අවසානයේ පටන් මාස හතරක් එ නම් මැදින් පුර පසළොස්වක දක්වා ය.

අනාමන්තවාර කඨිනානිශංස.



මෙ හි දී ආරාමයක වසන භික්ෂූන් හට නො කියා අරමින් පිට ව යා හැකි ය. 
සාමාන්‍ය සිරිත වන්නේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් වැඩවසන විහාරස්ථානයක ධර්ම චාරිකාවක හෝ වෙනත් කටයුත්තක් සඳහා පිට ව යන්නේ නම් නේවාසික ස්වාමීන් වහන්සේලා ට දන්වා අවසර ගෙන පිටත් වීම ය.

එ සේ අවසර නො ගෙන සේනාසන උපචාරය ඉක්මවා වඩින අඩ යොදුනක් මානයෙන් පාචිත්තිය ආපත්ති සිදු වන බව සඳහන් වේ.

නමුත් කඨින චීවරය ලබන භික්ෂුව ට මාස පහක් ගතවනතුරු  මෙ ම පාචිත්තිය ආපත්තිය සිදු නො වේ.



අසමාදානචාර කඨිනානිශංස. 

උපසපන් භික්ෂූන් තුන් සිවුර ම ළඟ තබා ගත යුතු ය. එක් අරුණක් හෝ එයින් වෙන් ව සිටියේ නම් නිස්සග්ගිය ඇවත සිදු වේ. එ ම සිවුර නැවත ලබා ගැනීම ට විනය කර්මයක් සිදුකළ යුතු ය.

නමුත් කඨින චීවරය ලබන භික්ෂුව ට මාස පහක් ගතවනතුරු  මෙ ම නිස්සග්ගිය ආපත්තියෙන් නිදහස් ව තුන් සිවුරෙන් කැමති සිවුරක් විහාරස්ථානයේ සුරක්ෂිත ව තබා වැඩම කිරීම ට අවසර ලැබේ.


ඝන භෝජන කඨිනානිශංස.

භික්ෂූන් වහන්සේලා සිවුනමක් හෝ ඊට වැඩි ගණනක් වෙසෙන විහාරයක දායකයන් පැමිණ භෝජනයේ නාමයෙන් (පංච භෝජන) දානයක ට ආරාධනා කළ විට භික්ෂූන් වහන්සේ එ ම ආරාධනාව පිළිගත් විට ම දුෂ්කට ආපත්ති සිදු වේ. එ ම දානය වළඳන විට පිඬක් පිඬක් පාසා ම පාචිත්තිය ආපත්ති සිදු වේ.

නමුත් කඨින චීවරය ලබන භික්ෂුව ට මාස පහක් ගතවනතුරු අකැප ආහාර පවා කැප වේ. මෙ ම ආපත්තිවලින් නිදහස් වේ.


යාවදත්ත චීවර කඨිනානිශංස.

උපසපන් භික්ෂූන් ළඟ තබාගන්නා රියනක් දිග වියතක් පළල රෙදි කැබැල්ලේ සිට සියලු වස්ත්‍ර  අධිෂ්ඨාන කර තබාගත යුතු ය. එ සේ අධිෂ්ඨාන නො කර තබාගන්නා සියලු වස්ත්‍ර නිසඟ වේ. අකැප වේ. වස්ත්‍ර ගණන ට ආපත්ති සිදු වේ.

නමුත් කඨින චීවරය ලබන භික්ෂුව ට මාස පහක් ගතවනතුරු අධිෂ්ඨාන නො කර කැමතිතාක් සිවුරු ළඟ තබාගෙන භාවිත කළ හැකි ය.


යෝචතත්‍ර චීවරුප්පාද කඨිනානිශංස.

යම් විහාරයක ට සාංඝික සිවුරු පූජා කළ විට එ ම සිවුරු සියලු නේවාසික භික්ෂූන් ට සාධාරණ ය.

නමුත් කඨින චීවරය ලබන භික්ෂුව ට මාස පහක් ගතවනතුරු යම් විහාරයක ට සාංඝික සිවුරු පූජා කළ විට එ ම සිවුරු සියල්ල කඨින චීවරය ලද භික්ෂුව ට හිමි වේ.

කඨින චීවරය ලබන භික්ෂුව තමන් වහන්සේ ට ලැබුණු සියලු පිරිකර නේවාසික භික්ෂූන් ට බෙදා දී තව ත් කුසලයක් කර ගැනීම ට මෙ මගින් අවකාශ සැලසී ඇත.


මෙ ම වරප්‍රසාද පහ යම් භික්ෂුවක ට හිමිවන්නේ විවිධ අකටයුතුකම් ඒ හරහා සිදුකිරීම ට නො ව නිර්වාණගාමී ප්‍රතිපදාවේ පහසුවෙන් හැසිරීම සඳහා ම ය.

කඨින චීවරය ලබන භික්ෂුව ට ලැබෙණ වරප්‍රසාදවල අහිමි විය හැකි අයුරු.

මෙය කඨිනුද්ධාරය නම් වේ. මෙය ට කරුණු අටක් අයත් ය.

පක්කමනන්තිකා.

කඨිනය ලද භික්ෂූන් වහන්සේ නැවත නො එන පරිදි කඨින සිවුර ගෙන විහාරයෙන් පිට ව යාම.

නිට්ඨානන්තිකා.

කඨිනය ලද භික්ෂූන් වහන්සේ වස්ත්‍රය ගෙන අන් තැනක දී සිවුර නිම කොට ආපසු නො එන බව සිතීම.

සන්නිට්ඨානන්තිකා.
කඨිනය ලද භික්ෂූන් වහන්සේ වස්ත්‍රය ගෙන අන් තැනක දී සිවුරක් නො කරන බව ත්, ආපසු විහාරස්ථානය ට නො එන බව සිතීම.

නාසනන්තිකා.

කඨිනය ලද භික්ෂූන් වහන්සේ අන් තැනක දී සිවුර මසන විට විනාශ වී යාම.

සවණන්තිකා.
කඨිනය ලද භික්ෂූන් වහන්සේ ආපසු විහාරස්ථානය එන්න ට සිතා බැහැර ගොස් සිවුර කරවූ ස්වාමීන් වහන්සේ සිය කඨින බලය සංඝ සම්මුතියෙන් අවසන් කළ බව ඇසීමෙන්.

ආසවච්ඡේදිකා

අත්ථාරක ස්වාමීන් වහන්සේ එ ම කඨිනය ලැබීම නිසා එ ම විහාරය ට ලැබෙණ සිවුරු ආදිය බලාපොරොත්තුවෙන් යුතු ව වෙනත් විහාරස්ථානයක ට වැඩිය ද, එ හි දී සිතූ පරිදි සිවුරු නො ලැබීම නිසා ඒ පිළිබඳ ආශාව අත්හළ නිසා.
සීමාතික්කන්තිකා.
ආපසු විහාරස්ථානය එන්න ට සිතා බැහැර ගොස් සිවුර මසාගෙන එන විට අතරමග දී හේමන්ත ඍතුව(චීවර කාලය) අවසන් වීම.

සඟුඛිහාරා

ආපසු විහාරස්ථානය එන්න ට සිතා බැහැර ගොස් සිවුර මසාගෙන පැමිණ සෙසු ස්වාමීන් වහන්සේලා සමග සිටියදී චීවර කාලය අවසන් වී කඨින බලය අවලංගු වීම.
 
ස්වාමීන් වහන්සේලා මෙ සේ විශාල ශික්ෂාපද ප්‍රමාණයක් ආරක්ෂා කරන බැවින් මහාමේරු පර්වතය ට වඩා සිවුරු පූජා කිරීමක ට වඩා කඨින වස්ත්‍ර පූජාව මහත්ඵල වන්නේ ය.

කඨින චීවර පූජාව -නිමි-.

1 comment:

  1. ayye oyata godak pin.oya me karana danuwath kireema godak watinawa.mama punchi kale idala katina pinkam walata sahabagi wunath oyagen lipiyen nodana hitapu godak de danagaththa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...