Saturday, October 22, 2011

කුමට ද කුසල ට කම්මැලි වන්නේ.

මෙ ම මාතෘකාව මා තෝරාගනු ලැබුවේ වෙනත් හේතුවක් නිසා නො ව සසර ගමනේ දී අප අතින් කොතරම් අකුසල් සිදු න්නේ ද? ඒවා කුමන අයුරින් අප පසුපස පැමිණ  විපාක දෙන්නේ ද? යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීම ට ය. 

"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං"

සියලු පව්වලින් වැළකීම ත්, කුසල් උපදවා ගැනීම ත්, සිත දියුණු කර ගැනීම ත්, සියලු බුදුවරුන් ගේ අනුශාසනාව වේ.

නමුත් සසර ගමන අති දීර්ඝ ය. එ හි දීර්ඝත්වය කොතරම් ද යත් මෙ ලොව තමන් ට මවක් නො වූ පියෙක් නො වූ සහෝදර සහෝදරියක් නො වූ අයෙක් සොයා ගැනීම ඉතා අපහසු බව බුදුරජාණන් වහන්සේ උපමාවක් ලෙස දේශනා කර ඇත. එයින් ම සසරේ අතිදීර්ඝ බව කොතෙක් දැ යි නිගමනය කළ හැකි ය.

සසර ගමන පටන් ගත් කෙළවරක් නො පෙනේ. එ මෙන් ම සසර සැරිසරන සියලු සතුන් අතින් කුසල් අකුසල් සිදු වේ. ඒවායේ විපාක ද, ඔවුන් ම විඳියි. සසරේ අවසන් භවය ගෙවන රහතන් වහන්සේලා ට පවා අකුසල විපාක ලැබේ. මුගලන්  මහරහතන් වහන්සේ සොරුන්ගෙන් පහර ලැබුවේ ද, සීවලී කුමරු සත්වසරක් ම මව්කුස විසුවේ ද, චක්කුපාල තෙරුන් ගේ දෙනෙත් අන්ධ වූයේ ද, පෙර කළ කර්මයන් ගේ විපාකයන් නිසා ය. ගවයා පසුපස පැමිණෙන කරත්ත රෝදය මෙන් කුසලාකුසල කර්මයන් අප පසුපස පැමිණේ.

එ පමණක් නො ව බුදුරජාණන් වහන්සේ ට පවා කර්මයන් පල දුන් බව ඛුද්දක නිකායේ සඳභන් වේ. ඒ පිළිබඳ ව මෙ හි දී සවිස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වේ.

අනවතප්ත විල පිහිටා ඇත්තේ ඉතා සුන්දර ප්‍රදේශයක ය. ඒ විල අසල විශාල ගල්තලාවකි. බුදුරජාණන් වහන්සේ තම භික්ෂු සංඝයා පිරිවරා ගෙන එ ම ගල්තලාව මත වැඩසිටිමින් පව් කිරීමේ විපාක පෙන්වා දෙමින් පවෙන් මිදීම ට කිසිවකු ට ත් නො හැකි බව තම ජීවිත කතාවෙන් ම නිදසුන් ගෙන භැර වදාළ සේක. 

කර්මය.

එක්තරා කාලයක කෙවුල් (ධීවර) දරුවෙක් ව විසීමි. එක් දිනක් අනෙක් කෙවුල් මිනිසුන් සමග මසුන් මරණ ස්ථානයක ට ගියෙමි. මරණ ලද මසුන් රැසක් දැකීමෙන් අප්‍රමාණ සතුටකට පත් විය. මා සමග ගිය අන්‍යයෝ ද, එ සේ ම සතුට ට පත් විය.

විපාකය.

මේ හේතුවෙන් බුද්ධත්වයෙන් පසු තඳ හිසරදයකට ගොදුරු වීමි.

කර්මය.

එක් ආත්ම භාවයක මම දක්ෂ වෛද්‍යවරයෙක් වෙමි. එක් සිටු පුත්‍රයකු ට වෙදකම් කළෙමි. ඉක්මනින් ම ඔහු සුවපත් විය. එ නමුත් ලැබිය යුතු මුදල නො දී හේ මා රැවටී ය. එයින් මා කෝපය ට පත් ව විරේකයක් දී පීඩාව ට පත්කර ඉන්පසු විශාල ධනයක් ගෙන සුවපත් කළෙමි. 
විපාකය.

මේ හේතුවෙන් ලෝහිත පක්ඛන්දිකා නම් වූ ලේ අතීසාරය පශ්චිම ආත්මභාවයේ වැළඳුනි.
 

එය පිරිනිවන් පෑම ට ද, මූලික විය.


කර්මය. 

අතීතයේ ලොව පහල වූ ඵුස්ස බුදුරදුන් ගේ සමයේ මම සංසාර දෝශය නිසා නරක ඇසුර කරණකොට අනුවණකම් ද, කළෙමි. දිනක් ඵුස්ස බුදුරදුන් ගේ ශ්‍රාවකයන් වහන්සේලා මධුරාහාරපාන සහිත ව සුවඳ ඇල් හාලේ බත් වළඳන අයුරු දැක -මේ මුඩු මහණෝ සුවඳ ඇල් හාලේ බත් වළඳති. මොවුන් ට මේවා සුදුසු නැත. තොපි යව හාලේ බත් කාපියව්- ය යි කියමින් අපහාස කළෙමි.

විපාකය.

මේ හේතුවෙන් බුද්ධත්වයෙන් පසු මම වේරඤ්ජාවේ උදය බමුණා ගේ ආරාධනයෙන් වස් විසුවෙමි. එහෙත් එ ම තුන්මස ම දන් පිණිස ආහාරපාන නො ලද බැවින් එ ම තුන්මස ම වැළඳුවේ යව හාල් නැමති ඉතා රළු බාල වර්ගයේ සහල් වර්ගයකි.

කර්මය.

එක් ආත්ම භාවයක මම වෙළඳ කුලයක උපත ලද මිටි අයෙක් වීමි. එහෙත් ශරීර ශක්තිය හොඳින් ලබා සිටියෙමි. එකල දඹදිව මහා පතල කීර්තියක් ඉසිලූ මල්ලවපොර කරුවෙක් මා විසූ නගරය ට පැමිණ සියලු මල්ලවපොර කරුවන් පරදවා ජය ගෙන ආපසු යන්න ට සූදානම් වන විට මම එ හි ගොස් ඔහු සමග මල්ලවපොරයක් කර ඔහු බිම පෙරළා ඔහු ගේ කොඳුඇටය ද, බිඳදමා ජය ගත්තෙමි.

විපාකය.

මේ හේතුවෙන් බුද්ධත්වයෙන් පසු දැඩි කොන්දේ ආබධයකින් පීඩා විඳීමි. එ ම නිසා එක ම ඉරියව්වකින් දිගු කාලයක් ධර්මය දේශනා කළ නො හැකි විය. ඇතැම් විට එය උත්සන්න වූ විට දහම් දෙසීම අගසව්වන් ට පවරා ගඳකිළිය ට ගොස් විවේක ගත්තෙමි.

කර්මය.

අතීතයේ ලොව පහල වූ සබ්බාභිභූ බුදුරදුන් ගේ සමයේ මම උන්වහන්සේ ගේ ශ්‍රාවක නන්ද තෙරුන් වහන්සේ ට -මොහු සොරෙකි, දුශ්ශීලයෙකි,- ආදී වශයෙන් අපවාද කරන ලදී.

විපාකය.

ඉතා දීර්ඝ කාලයක් නිරාදුක් විඳ මිනිසත් බව ලද බොහෝ අවස්ථාවල දී අස්ථාන චෝදනා ලැබුවෙමි. ඒ කර්ම විපාකයන් තවම ත් ඉතිරි ව තිබී සම්බුදු පදවිය ලැබූ මේ ආත්මභාවයේ ද, විපාක දුන්නේ ය. චිංචිමානවිකාව විසින් -මහා ශ්‍රමණය, ඔබ මහජනයා ට දහම් දෙසන්නේ ය. ඔබ ගේ ශබ්දය මිහිරි ය. ඔබ ගේ තොල් ඉතා ලස්සන ය. ඔබ ගේ රූපය කෙතරම් සුන්දර ද, මම ත් එය ට රැවටුනා. දැන් ම ගේ කුසේ සිටින්නේ ඔබේ දරුවා ය. ම ගේ සූතිකාගාර පහසුකම් සැලැස්විය යුතු බව නො දන්නේ ද,- ආදී වශයෙන් නින්දා කළේ ද, මේ නිසා ය.
කර්මය.

එක් ආත්ම භාවයක මම ත්‍රිවේදය පරතෙර ට දත් බහුශෘත පඬිවරයෙකි. පන්සීයක් පමණ තරුණ පිරිස ට වේදය කියා දෙමින් වනවාසී ව ජීවත් වූයෙමි. එ ම ප්‍රදේශය ට පංචාභිඥා ලාභී තවුසෙක් පැමිණියේ ය. ඔහු දුටු මා තුළ ඊර්ෂ්‍යාවක් ඇති ව මම ඔහු ට බැණවැදුනෙමි. -මොහු සොරෙකි, තක්කඩියෙකි- ය යි චෝදනා කළෙමි. මහජනයා ට ද, මොහු කම්සැප විඳිනා කුහකයකු බව හඳුන්වා දුනිමි.

විපාකය.

මේ හේතුවෙන් මම බොහෝ කල් අපාගත ව හිඳ ශේෂ වූ කර්මයෙන් සුන්දරී ගේ මරණය වෙනුවෙන් ම ගේ ශ්‍රාවකයෝ ද, මම ද, අස්ථාන චෝදනා ලැබුවෙමි.
කර්මය.

අතීතයේ ලොව පහල වූ කාශ්‍යප බුදුරදුන් ගේ සමයේ මම ජෝතිපාල නම් මානවකයෙක් ව උපන්නෙමි.  මා මිත්‍ර ඝටීකාර විසින් බුදුරදුන් දැකීම ට යෑම සඳහා මට කතා කළේ ය. එ විට මම -මොන බුදුන් ද,  බුදුවරු කොහි ද,  ඔය බුදුන් දැකීම ට යෑම වැඩක් නැත,- ය යි කීවෙමි.

විපාකය.
එ ම කර්මය ට විපාක වශයෙන් බුදු වූ ආත්ම භාවයේ පුරා අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කිරීම ට සිදුවිය.
කර්මය.
එක් ආත්ම භාවයක මම හස්ත්‍යාරෝහකයෙක් ව උපන්නෙමි. දිනක් පිඬු පිණිස මහමග වඩිනා පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක බිය ගැන්වීමේ අදහසින් උන්වහන්සේ ගේ ඉදිරිය ට ඇතු මෙහෙයවීමි.
විපාකය.
එ ම කර්මය ට විපාක වශයෙන් බුදු වූ ආත්ම භාවයේ රජගහනුවර පිඬු පිණිස හැසිරෙන විට නො හික්මුනු නාලාගිරි හස්ති රාජයා මා ඉදිරිය ට එළඹියේ ය. 
කර්මය.
එක් ආත්ම භාවයක මම අසත්පුරුෂ ඇසුර නිසා මත්පැන ට ගිජු වූ රජෙකු විය. දරුණු සාහසික ගති ඇත්තෙකු වීමි. කිසිඳු වරදක් නො කළ අහිංසක මිනිසුන් පිරිසක් කඩුවෙන් දෙපලු කර මරා දැමුවෙමි.

විපාකය.

එ ම කර්මය ට විපාක වශයෙන් මම බොහෝ කල් අපාගත ව හිඳීමි. 
 
ඒ කර්ම විපාකයන් තවම ත් ඉතිරි ව තිබී සම්බුදු පදවිය ලැබූ මේ ආත්මභාවයේ ද, විපාක දුන්නේ ය.
දෙව්දතුන් ගල පෙරළීම නිසා පාදයේ පිටිපතුලේ කැටි වූ ලේ පිට කිරීම පිණිස ශල්‍යකර්මයක් කිරීම ට සිදු විය. ජීවක වෛද්‍යවරයා එ ම කාර්යය මෙත් සිතින් යුතු ව සියුම් සැතක් කර සිවිය පලා කැටි වූ ලේ ඉවත් කළේ ය.



මෙ ම අකුසල් කර්ම විපාකවලින් මිදීම ට කිසිවෙකු ට නො හැකි ය.

අද අද එයි මරු පින් කර         ගන්නේ
කෙලෙස ද හෙට මරු නේති යි    සිතන්නේ
කිකල ද මහසෙන් මරු කැප       වන්නේ
කුමට ද කුසල ට කම්මැලි         වන්නේ

සසර සැරිසරන අප කොතරම් අකුසල් කර ඇත් ද? කොතෙක් වරක් නිරය ට වැටී ඇත් ද? 
එ බැවින් අප උත්සාහ ගත යුත්තේ සරු නිසරු දෙය අවබෝධ කරගෙන කුසලයන් කිරීම හා නිවන සාක්ෂාත් කර ගැනීම ය.

තෙරුවන් සරණ යි!

6 comments:

  1. සාරධර්මයෙන් පිරි සමාජයක් වෙනුවෙන් මෙවන් දෙයක් කරන්නා වූ ඔබට අපේ ප්‍රණාමය. ‍තෙරුවන්සරණයි!

    ReplyDelete
  2. තීර්යක්
    අප ගේ නවතම වෙබ් අඩවිය ට එවූ පළමු අදහස වෙනුවෙන් ස්තුතියි. සාරධර්මයෙන් පිරි සමාජයක් වෙනුවෙන් ඔබ ගේ වෙබ් අඩවිය තුළින් ඉටුවන මෙහෙය ප්‍රශංසනීය යි.

    මෙ ම වෙබ් අඩවිය පිළිබඳ පෞද්ගලික ව අදහස් දැක්වූ සැම ට ත්, ස්තුතියි.

    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  3. meka kiyewwama bayath hithenawa. buduhamuduruwanuth me widiyata apaye hitiyanam apa gana kawara kathawak da? ma oba athulu, lowa sama denatama akusal durala ,kusal wadeematath, niwan dakeematath me pina ekanthayen ma hethu we wa.....

    ReplyDelete
  4. ගොඩක්ම හොද දෙයක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...