Friday, June 8, 2012

පින සහ කුසලය දෙකක් ද? එකක් ද?

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින සහ කුසලය  පිළිබඳ මෑත කාලයේ බොහෝ ගිහි පැවිදි උභය පාර්ශව අතර වාද විවාදයන් සහ තර්ක විතර්කයන් ට නැගි මාතෘකාවකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ත්‍රිවිධාකාරයෙන් පාරමිතා පුරා සම්‍යක් සම්බුද්ධත්වය ට පත් අප තිලෝගුරු අමාමෑනී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ මැනවින් දේශනා කළ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ ගැඹුර වැඩි නිසා දෝ අදවන විට ඇතැම් නුවණ දුබල විවිධ උදවිය ට එය වැටහෙන්නේ වැරදි ආකාරයෙනි. ධර්මය සහ අධර්මය තේරුම් ගත නො හැකි ව සරු නිසරු දෙය වෙන් ව දැකිය නො හැකි ව ඔවුන් අන්‍යයන් ද, ඔවුන් ගේ මතයන් කරා ඒකරාශී කරගැනීම අද බොහෝසෙයින් දක්නා ලැබීම සමස්ත බෞද්ධ ජනයා ට ම ඛේදවාචකයකි.

අන්‍යාගමික බලපෑම් හෝ ස්වභාවික ආපදා ආදිය නිසා බුදුදහම ලොවින් අන්තර්ධාන වන්නේ නැති බව ත් බෞද්ධ නාමයන් අලවාගත් උදවිය ගේ නො මනා ක්‍රියා නිසා ම අනාගතයේ බුදුදහම ලොවින් අන්තර්ධාන වන බවත් අප පෙර ලිපියක දීර්ඝ ලෙස විස්තර කරන්න ට යෙදුනි. බුදුදහම ට සිදුවන අන්‍යාගමික බලපෑම් සඳහා කතාකරන්න ට දහස් සංඛ්‍යාත පිරිසක් සිටියද බෞද්ධයන් කියා කියන ඇතැම් උදවියගෙන් සිදුවන ශාසනාන්තර්ධානය සඳහා කතා කරන පිරිස ඉතා අඩු වීම තව ත් එක් ඛේදවාචකයකි.

කෙ සේ නමුත් මේ මාතෘකාව තෝරාගෙන ලිපියක් පල කළ යුතු ය යි අප ට සිතුනේ බොහෝ දෙනා කළ ඉල්ලීමක් සලකා බලා ය. මීට පෙර දානයන් පිළිබඳ ලියූ ලිපි පෙළ අවසානයේ ද, මේ පිළිබඳ විස්තරයක් කළ නමුත් එය ප්‍රමාණවත් නො වන නිසා මේ ලිපිය සකස් කරන්නට යෙදුනි.

ලිපියේ සංක්ෂිප්තය මෙ ම වීඩියෝවේ අන්තර්ගත වේ.
video
පින සහ කුසලය අර්ථ වශයෙන් දෙකක් බව එක් මතයකි. 'පින' ලෞකිකාර්ථයෙන් සිදුකරන යහපත් කටයුතු බව ත්, 'කුසලය' ලෝකෝත්තර නිවන පිණිස  සිදුකරන යහපත් කටයුතු බව ත් පැහැදිලි කරති. අනෙක් මතය මීට‍ ඉඳුරා ම විරුද්ධ ය. පින සහ කුසලය අර්ථ වශයෙන් දෙකක් නො වන බව එයින් කියවේ. මේ දෙක ම සත්‍ය විය නො හැකි බව ඕනෑ ම අයකු ට වැටහේ. මෙයින් එක් මතයක් සත්‍ය වන අතර අනෙක් මතය සම්පුර්ණ අසත්‍යයකි. නිවන ට බාධාවක් වන නිර්මල ශ්‍රී සද්ධර්මය පිළිබඳ සැක දුරුකිරීම මේ ලිපියේ අරමුණ යි.

මහා කාරුණික බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාළ ධජග්ග සුත්‍රයේ සංඝ රත්නයේ ගුණ පිළිබඳ දැක්වෙන ස්ථානය පිළිබඳ අවධානය යොමු කරන්න.
"අථ සංඝං සරෙය්‍යාථ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං"

සංඝ රත්නය ලෝකයා ට අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රය බව ධජග්ග සුත්‍රයේ එ ලෙසින් ම දේශනා වී තිබේ. එ නම් සංඝ රත්නය කෙරෙහි යමක් පූජා කිරීමෙන් නිවන සාක්ෂාත් කළ හැකි බව ය. එ සේ නො වන්නේ නම් පින් කිරීමෙන් නිවන ලද නො හැකි නම් භවගාමී පිණිස පැවතී පින නිෂ්ඵල වී යා යුතු ය. ථෙරවාදී බුදුදහමේ කිසි ම තැනක එ වැන්නක් සඳහන් වන්නේ නැත. සරල ව ම කියතොත් මහසඟරුවන යනු සසරින් එතෙර වීම පිණිස, භාවගාමීත්වයෙන් එතෙර වීම පිණිස වීර්යය වඩන උතුමන් ය. උන්වහන්සේලා මගපෙන්වන්නේ දිව්‍යලෝක සම්පත් වැළඳවීම පිණිස නො ව කෙලෙස් නසා නිවන ට පත් වීම පිණිස ය.

යම් කුසල කර්මයක් හෙවත් පුණ්‍ය කර්මයක් සිදුකර "ඉදං මෙ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හොතු" ලෙස ප්‍රාර්ථනා කිරීම ථේරවාදය ට අනුව සිදු වේ. එ නම් 'ආශ්‍රව(කෙලෙස්) දුරු කර නිවන ට පත් වීම පිණිස මේ පින වේ වා' යන්න යි. පින්කම් නිවන සඳහා උපකාරී වන්නේ නැතිනම් "ඉදං මෙ කුසලකම්මං ආසවක්ඛයා වහං හොතු" ලෙස කලින් සඳහන් කළ ගාථාපාඨය වෙනස් විය යුතු නො වේ ද? එයින් ම මේ පද දෙක සමානාර්ථ බව තරමක නුවණැති අයකුට වුව ද, අවබෝධ කරගත හැකි ය.

දීඝ නිකායේ මහාපරිනිබ්බාන සුත්‍රයේ "කත පුඤ්ඤෝසි ත්වං ආනන්ද, පධානමනුයුඤ්ජ ඛිප්පං හොහිසි අනාසවො" ලෙසින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. 'ආනන්දය, තොප පින් කරන ලද්දෙ හි ය. ප්‍රධන් වීර්යය වඩනු. වහා රහත් වන්නෙ හි ය.' එ හි සිංහල අර්ථය යි. මේ උතුම් ශක්ත්‍යානුබල සහිත බුද්ධ වචනය සිහි කිරීමෙන් ම ආනන්ද තෙරුන් කල් නො යවා ම රහත් වූ සේක. මේ උතුම් බුද්ධ වචනය වෙනස් කර තමතමන් ට වැටහී ඇති පරිදි පින, කුසලය විග්‍රහ කරනවුන් අඩු ගණනේ පව, අකුසලය හඳුනන්නේ දැ යි අපි නො දනිමු.

තථාගතයන් වහන්සේ භවය නො ව නිවන ම වර්ණනා කළ බව දනිමු. බුදුරදුන් ජීවමාන ව වැඩසිටි යුගයේ දී පවා ඇතැම් දෙනා පින ට බියක් දැක්වූ හ. එ බැවින් "මා භික්ඛවේ, පුඤ්ඤාණං භායිත්ථ" ලෙසින් වදාළ සේක. 'භික්ෂුනි, පින ට බිය නො වෙව' යනුවෙනි. පින සසර දිගුකර, නිවන සඳහා දායක නො වේ නම් නිවන ම වර්ණනා කළ බුදුරදුන් මෙ සේ දේශනා කරයි ද? 

චේතනාව කර්මය ට මුල් වන බව  දනිමු. එ නම් කුසල් කිරීම හෝ පින් කිරීම හෝ සඳහා ද, චේතනාව මුල් වේ. අභිධර්මයේ සිත් අසූනවයක් විස්තර වේ. එ හි සිත් අතර කුසල් කිරීම ට ත්, පින් කිරීම ට ත් ඇත්තේ එක ම කුසල් සිතක් පමණි. පින් කිරීම ට වෙනම පින් සිතක් දක්වා නැත. මේ කරුණ අභිධර්මය අනුව තවදුර ට ත් විමසා බැලිය හැකි ය. කුසල් හෝ පින්කම් හෝ සිදුකරන විට කාමාවචර භූමිවල ඉතා බහුල ව පහල වන සිත් අටක් දේශනා කර ඇත.

සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංස්කාරික සිත
සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංස්කාරික සිත
සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංස්කාරික සිත
සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංස්කාරික සිත
වශයෙනි. දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේසනං, ධම්ම සවනං, දිට්ඨිජ්ජුකම්ම යන දස පුණ්‍යක්‍රියා අනුව මේ සෑම සිතක් ම දස ආකාර වේ. ඒ අනුව කාමාවචර කුසල් සිත් 80 කි.
පින එකක් ය, කුසලය එකක් ය, කියන්නේ නම් මේ දක්වන ලද සිත්වල යම් හෝ වෙනසක් තිබිය යුතු ය. 'සෝමනස්ස සහගත' යනු දානාදී කුසල් සිදුකරන විට සිතේ ඇතිවන සොම්නස ය. 'උපේක්ඛා සහගත' යනු එ ම අවස්ථාවන් හි ඇතිවන මධ්‍යස්ථ බව ය. 'ඥාන සම්ප්‍රයුක්ත' යනු බුද්ධාදී උතුමන් කෙරෙහි, කුසලාකුසල කර්මඵල ආදිය පිළිබඳ ඇති දැනීම ය. 'ඥාන විප්‍රයුක්ත' යනු එ හි විරුද්ධාර්ථය ය. 'අසංස්කාරික' යනු කිසිවෙක් ගේ මෙහෙයවීමකින් තොර ව සිදුකිරීම යි. 'සසංස්කාරික' යනු කිසිවෙක් ගේ මෙහෙයවීමක් මත ඒ කුසලය කිරීම යි. කරන දෙය ට පින් කියා කීව ද, කුසල කියා කීව ද, ඇතිවන්නේ මේ සිත් ය. දිව්‍යලෝකවල, මනුෂ්‍යලෝකවල සැපසම්පත් විඳීම සඳහා කරන දේ ට මේ මේ සිත ය යි ද, නිවන සඳහා කරන දේ ට මේ මේ සිත ය යි ද, සිත් කොටස් දෙකක් නැත. එයින් ම මේ කරුණ වචන දෙකක් මිස අර්ථ දෙකක් නො වන බව මනා ව පැහැදිලි වේ.

"දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු" ලෙස දීඝ නිකායේ සංගීති සුත්‍රයේ විස්තර වේ. දානය පමණක් නො ව ශීලය පමණක් නො ව භාවනා ද, පුණ්‍යකර්මයක් බව විස්තර වේ. පුණ්‍යකර්ම නිවන පිණිස ලෝකෝත්තර අර්ථය පිණිස ක්‍රියා නො කෙරේ නම් භාවනාව පවා පුණ්‍යක්‍රියා ලෙස දැක්වීම සාධාරණ නො වේ. එයින් ද, පින සහ කුසලය අර්ථ වශයෙන් එකක් ම බව සනාථ වේ.

එ සේ නම් ලෝකෝත්තර නිවන සහ ලෞකික සැප සම්පත් පිණිස කරන දේ පින ට ත් කුසලය ට ත් දෙක ට ම අයත් නම් ඒ දෙකෙ හි වෙනසක් නැති ද? වෙනසක් ඇත. ඒ පිළිබඳ මේ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න.

පින (කුසලය) වට්ටගාමිනී හා විවට්ටගාමිනී වශයෙන් දෙවැදෑරුම් වේ. වට්ටගාමිනී කුසලය යනු භව - සැප අපේක‍ෂා කරමින් භව - සැප ලබනු පි‚ස සිදු කරන කුසල් (පින්) ය. විවට්ටගාමිනී කුසලය යනු භවනිරෝධය හෙවත් නිවන සාක‍ෂාත් කිරීම පිණිස සිදු කරන දාන - ශීල - භාවනා ආදි කුසල (පුණ්‍ය) ධර්මයෝ ය.

ත්‍රිපිටකයෙන් මේ කරුණ තහවුරු කිරීම ට තව ත් උදාහරණ ඕනෑතරම් ඇත. තේරුම් ගැනීම ට බුද්ධියක් ඇති මනුසතෙක් නම් මෙය ද, හොඳ ට ම ප්‍රමාණවත් ය. පින සහ කුසලය අර්ථ වශයෙන් දෙකක් බව කියන උදවිය සහ භික්ෂුන් වහන්සේලා එවැන්නක් ඉදිරිපත් කරන්නේ තම තමන් පාට පාට කණ්නාඩි පැළඳ  සිටින නිසා මිස ත්‍රිපිටකයෙන් හෝ උදාහරණයක් දක්වා නො වන බව කිව යුතු ය.


එ දා මෙන් ම අද ත් නිර්මල ශ්‍රී සද්ධර්මය කියා පවසමින් ධර්මය විකෘති කරන උදවිය බොහෝ ය. ඔවුන් ගෙන් ශාසනය ට සිදුවන විපත නැතිකර ගැනීම සඳහා එක්වීම කාලීන අවශ්‍යතාවයකි. මහත් පිනකි. මහත් කුසලයකි. 
තෙරුවන්  සරණ යි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...