Friday, June 22, 2012

ජීවිතය සුන්දර ද... මෙ තරම්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙ ම ලිපිය ඉදිරිපත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කර්ම සංකල්පය සහ ලොව පවත්නා අනෙකුත් මිත්‍යා මත අතර ඇති වෙනස හඳුනාගැනීම ට අත්වැලක් වශයෙනි. ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ දේශනා වන බුදුදහම ගෙන කෙ සේ නම් ජීවිතයේ සුන්දරත්වයක් කියන්න ද? නමුත් සියලු සතුන් ට තමා ලද අත්බවය තරම් වටිනා, තම පංචස්කන්ධය තරම් වටිනා දෙයක් ලොව නැත. කුඩා කුහුඹුවකු ගේ පටන් දැවැන්තයන් දක්වා ම මේ කරුණ සියලු පෘතග්ජන ජීවීන් ට පොදු ය. නමුත් එ සේ ලැබෙන ජීවිතය සමහර විට නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගැනීම ට අපහසු ආකාරයෙන් අංග ප්‍රත්‍යංග විකල ව උපදීම ට පුළුවන. සමහර විට ඒ සියලු අංග ප්‍රත්‍යංග නිසි ආකාරයෙන් පැවතුනත් ඒවා පාලනය කිරීම ට නිසි බුද්ධියක් වැඩී නො තිබෙන්න ට පුළුවන. එ සේ ත් නැති නම් නියමාකාරයෙන් ජීවත් වන්න ට නො දන්නවා විය හැකි ය. මේ කුමන හේතුව සඳහා වුවත් බුදුදහමින් පිළිතුරක් ඇත. මේ ලිපිය ඒ සඳහා ය.



ලොව පවතින සහ පැවතුනු මතවාදයන් පිළිබඳ පළමුවෙන් සංක්ෂේප වශයෙන් කරුණු දක්වමි. ගින්න, වර්ෂාව, හිරු උදාවීම හා බැසයාම, අකුණු ගැසීම වැනි තරමක් අද්භූත සිදුවීම් සිදුවන්නේ කුමක් නිසා දැ යි අතීතයේ සිටි මිනිසුන් සිතන්නට විය. එ සේ සිතන විට ඒවා ට පිළිතුරක් නො ලද අවස්ථාවේ ඒ සිදුවීම් සිදුවන්නේ එක ම දෙවිකෙනෙකු ගේ බලපෑමක් නිසා බව පිළිගන්න ට විය. සමහර පිරිසක් ගින්න ඇතිවීම සඳහා වෙනම දෙවියෙක්, සුළඟ ඇති වීම සඳහා තව ත් දෙවියෙක් ආදී වශයෙන් තිස්තුන්කොටියක් දෙවිවරු නම් කරගන්නා ලදී. එයින් සමහර දෙවිවරු බුදුදහම ට ඇතුළත් කිරීම ට උත්සාහ දැරුවද ඒ කිසිඳු මිථ්‍යා දෙවියෙක් බුදුදහමට අල්පමාත්‍ර වශයෙන් හෝ අදාළ වන්නේ නැත.


මීට අමතර ව මිනිසා, ලෝකය, ගස්වැල්, අනෙකුත් සතුන් ඇතිවූයේ කුමන ආකාරයෙන් දැ යි සිතූ මිනිසුන් එය ද, අවසානයේ දෙවියකු ට භාරකර නිහඬ වී ඇඟබේරා ගත් හ. මේ මතයන් සියල්ලක් ම එ දා සේ ම අද ත් ලෝකයා අතර ප්‍රසිද්ධ ම වැඩි ම දෙනා පිළිගන්නා මතය බව ට පත් ව ඇත. සමහර මිනිසුන් අන්ධ ව, ගොළු ව, බිහිරි ව, අත් පා අහිමි ව ඉපදීම සිදුවන්නේ කෙ සේ දැ යි විමසුවහොත් ඔවුන් ට දීම ට සිදුවන එක ම පිළිතුර "දේව කැමැත්ත" යන්න යි. එය ට හේතු දැක්වීම ට ඔවුහු අසමත් වෙති.


දැන් බුදුදහම අනුව කරුණු විමසා බලමු. යමෙක් කුමන ආකාරයෙන් උපදින්නේ දැ යි තීරණය වන්නේ කර්මය අනුව ය. සත්වයා කර්මය ම ආහාරකොට ඇත්තේ ය යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. යහපත් කුසල කර්ම නිසා සුගතිය ට ත් අයහපත් අකුසල කර්ම නිසා දුගතිය ට ත් පත්වන බව සියලු දෙනා දන්නා කරුණකි. ඛුද්දක නිකායේ විමාන වත්ථුව හා පේත වත්ථුව කියවීමෙන් ඒ බව හොඳින් වැටහේ.


පෙර සඳහන් කළ පරිදි මිනිසත් භවයක් ලැබීම ට තරම් හැකියාවක් පැවතුන ද ඇතැම් කර්ම විපාක නිසා එය ට බාධා පැමිණ අන්ධ, ගොළු, බිහිරි, අත්පා අහිමි, ආදී වශයෙන් උප්පත්තීන් සිදුවිය හැකි ය. අංගුත්තර නිකායේ ආනිසංස වග්ගයේ පාතුභාව සූත්‍රයේ මේ ආකාරයෙන් දේශනා කර ඇත.


"මහණෙනි, සදෙනකුන් ගේ පහල වීම ලොව දුර්ලභ ය. කවර සදෙනකු ගේ ය යත්, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන් ගේ පහල වීම ලොව් හි දුර්ලභ වෙයි, තථාගත ප්‍රවිදිත ධර්ම විනය දෙසන පුද්ගල ලොව් හි දුර්ලභ වෙයි, ආර්යස්ථානයේ ඉපැත්ම ලොව් හි දුර්ලභ වෙයි, ලොව් හි ඉන්ද්‍රියයන් ගේ අවිකලභාවය දුර්ලභ වෙයි, ලොව් හි කුසල ධර්මඡන්දය දුර්ලභ වෙයි, මහණෙනි, මේ සදෙනා ගේ පහල වීම දුර්ලභ වෙයි".


සියලු අංගප්‍රත්‍යයන්ගෙන් යුක්ත ව මිනිසත්බවක් ලැබෙන්නේ නම් එය ඉතා දුර්ලභ අවස්ථාවක් බව එයින් පැහැදිලි වේ. මිනිසත්බව ලබන මිනිසුන් අතරින් නැවත මිනිසත් භවයක උපදින්න ට හැකිවන්නේ ඉතා ස්වල්ප දෙනෙකු ට පමණයි. අනෙක් සියල්ලෝ ම බොහෝ විට නරක, තිරිසන්, ප්‍රේත, අසුර ලොව් හි උප්ප්පත්තිය ලබති.


අතපය, ඇස කන ආදිය හොඳින් ඇති මිනිසුන් ට වඩා ඒවා නිසි ආකාරයෙන් නො පිහිටා ඇති උදවිය පිළිබඳ ලිපියේ ඉතිරි කොටසින් වැඩි අවධානයක් යොමු කරමු.


මෑත කාලයේ බිහි වූ අග්‍රගන්‍ය කලා කෘතියක් වන මෙය එක් වරක් හෝ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. 


මේ ගීතය ගායනා කරන මේඛලා ගමගේ සහ රංගන දායකත්වය සපයන සියලු දෙනා විවිධ ආබාධවලින් යුක්ත පිරිසක් බව ඔබ දන්නවා ද? මේඛලා ගේ ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ය. ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ට ඇතුල් වන්නෙ සංගීතය ට ඇති ලැදියාව නිසා ම සංගීත උපාධිධරයකු වීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඈ උපතින් ම ගෙන ආ අන්ධකාරය නිසා ඇය ට ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න ට ලැබෙන්නේ නැත. ඒත් උපාධිධාරියෙකු වීමේ සිහිනය අත්නොහරින ඈ අවසානයේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ගෞරව උපාධියක් ඇගේ නම ඉදිරියෙන් සනිටුහන් කරගන්න ට සමත් විය. මෙ වැනි ආබාධවලින් පෙලෙන මිනිසුන් ගැන සමාජයේ වැඩි කතාබහක් ඇති නො වුනත් සමාජයේ මිනිසුන් ට ඔවුන් අමතක වී ගියත් ඔවුන් ද, මම ඔබ වැනි ම දුර්ලභ මිනිසත් භවයක් ලැබූ, අප මෙන් ම ජීවතය ජීවත්කිරීම ට කැමති පිරිසක් බව කිව යුතු ම ය. 

"මගේ සිහිනය" නමින් පසුගිය දා පැවැත්වූ චීන රංගනය අටපට්ටම වැඩසටහන ඔස්සේ ලංකාව ම දැකගන්න ට ඇත. එය සජීවී ව නරඹන්න ට ද, ඇතැම් දෙනා වාසනාවන්ත වන්නට ඇත.

මේ රංගනය සිදුකරන සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් නො ව අසාමාන්‍ය විවිධ අවශ්‍යතාවන් මත පෙළෙන පිරිසක් බව දැනටමත් ඔබ දන්නවා ඇත. තමන් ගේ ආබාධය ගැන නො සලකා දක්ෂතාවය, කැපවීම, හැකියාව එක්තැන් කරමින් රංගනයේ යෙදෙන මේ පිරිස අතපය ඇස් කන් හොඳින් තිබෙන පිරිස ට මහත් වූ ආදර්ශයකි.


උපතින් අන්ධකාරය අතදරා පැමිණෙන මේ හැම දෙනා අද වන විට තම ජීවිතය ම ආලෝකමත් ව සුන්දර ව ගෙවන බව නම් පැහැදිලි ය. කුමන ආගමක් කුමන දර්ශනයක් පිළිගත්ත ද, මේ හැම දෙනා කිසිවකු ට අත නො පා ජීවත්වීම ට සමත්වීම ම කොතරම් ජයග්‍රහණයක්‌ ද? අතපය හතර හොඳින් ඇති, කිසි අඩුවක් නැති සමහර උදවිය ගතකරන ජීවිත දෙස බැලූ විට මේ අය කොතරම් ආදර්ශ සම්පන්න ද?

දැන් නැවතත් බුදුදහම වෙත යොමුවෙමු. බෞද්ධ කර්ම සංකල්පයේ සුවිශේෂීත්වයක් වන්නේ තමා කර්මයේ වහලෙකු නො වන බව පෙන්වාදෙන බැවිනි. ප්‍රාග් බෞද්ධ යුගයේ දී ද, කර්මය කර්ම ඵල විශ්වාස කළ පිරිසක් සිටියද ඔවුහු සියල්ල කර්මයෙන් වන බව හා කර්මය කිසිසේත් වෙනස් කළ නො හැකි බව ප්‍රකාශ කර සිටිය හ.  එය ඒ ආකාරයෙන් වන්නේ නම් අපාගතවන සියලු සතුන් අපායේ ම සිටිය යුතු ය. සුගතිගාමී වන සියලු සතුන් සුගතියේ ම සිටිය යුතු ය. නමුත් එ සේ වන්නේ නැත. 

උතුම් වූ ත් දුර්ලභ වූ ත් මනුෂ්‍ය සම්පත්තිය, බුද්ධෝත්පාදය, අවිකල බව, බුදුදහම ඇසෙන පෙනෙන මානයේ උප්පතිය ලැබීම, ධර්මය ඇසීම හා කියවීම ට ඇති කැමැත්ත යන මේ කරුණු සියල්ල අප විසින් සම්පාදනය කරගෙන ඇත. නැවත අප ට මෙ වන් මනුසත්බවක් ලැබේ දෝ නො ලැබේ දෝ කියා කිවහැකි කිසිවෙක් නැත. එ බැවින් ම නො පමාව ව ආර්ය සත්‍යය අවබෝධය පිණිස ම වීර්යය කළ යුතු ය. 

 
සියලු දෙනා පතන බෝධියකින් උතුම් නිවන අවබෝධය පිණිස ම මෙ ම ධර්ම දානය ද, හේතු වේ වා!
තෙරුවන් සරණ යි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...