Saturday, April 14, 2012

සුරකිමු පන්සිල්

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස  
මේ මාසය සඳහා සකස් කෙරෙන අවසාන ලිපිය මෙය යි. මේ මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් සකස් කරන ලෙස ඉල්ලා සිටි නිසා ම මෙය සකස් කරන්නට යෙදුනි. 

තෙරුවන් සරණ ගිය පමණින් ම යමෙක් බෞද්ධයකු වන්නේ ද? නමට තෙරුවන් සරණ නො යා සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ යන්නේ නම් පමණක් ඔහු බෞද්ධයකු ලෙස හැඳින්වීම උචිත බව මා ගේ අදහසයි. බුද්ධාදී රතනත්‍රය සත්වයා ට මහත් පිහිටක් වන බව අවිවාදාත්මක ය. නමුත් මිත්‍යාදෘෂ්ටියෙන් වැසුනු සිත් ඇති බොහෝ දෙනා රතනත්‍රය සුළුකොට සලකා දෙවියන් ගේ පිහිට සොයති. තුණුරුවන් සරණ ගිය බෞද්ධයා උපාසක නමින් හැඳින් වේ.
බෞද්ධ ගිහි සමාජයේ පුරුෂ පක්ෂය උපාසක නමින්ද ස්ත්‍රී පක්ෂය උපාසිකා නමින් ද හැඳින්වෙන බව අපි දනිමු. බෞද්ධ ගිහි සමාජය විසින් පිළිපැදිය යුතු මූලික ආචාර ධර්ම පද්ධතියක් වේ. එය පන්සිල් නමින් හැඳින්වෙන ශික්ෂා පද පහ යි.


1 ප්‍රාණඝාතයෙන් වැලකීම

2 නුදුන්දේ ගැනීමෙන් වැලකීම

3 කාම මිත්‍යාචාරයන් වැලකීම

4 බොරුකීමෙන් වැලකීම

5 රහමෙර පානයෙන් වැලකීම               යන ශික්ෂා පදපහ වේ.

පංචශීලය නමින් හැඳින්වෙන මෙයින් පුද්ගලයා ත් සමාජය ත් දූෂිත තත්ත්වය ට පත්කරන දුසිරිත් පහකින් වෙන්කිරීම පංචශීලයෙන් අපේක්ෂා කෙරේ. බුදු දහමේ ඉගැන්වෙන සෑම ආචාර ධර්මයක් ම වාගේ කරුණාව හා මෛත්‍රීය පදනම් කොටගෙන ඇත.

කරුණාව නම් සමාජයේ දුකින් පෙලෙනවුන් සුඛිත මුදිත කිරීමේ අදහසයි. මෙත්‍රීය නම් මුළු සමාජයම මිත්‍රත්වයෙන් සැලකීමයි. මෙම කරුණා මෛත්‍රී ගුණ දෙක මනුෂ්‍යය සමාජයට පමණක් නොව තිරිසන් සත්ත්ව වර්ගයා වෙතද විහිදුවාලිය යුත්තකි. පංසිල්වල මූලික අපේක්ෂාව වනුයේ පුද්ගලයා තමා කෙරෙහි සමාජය කෙරෙහිත් සකල සත්ත්ව වර්ගයා කෙරෙහිත් කරුණාවෙන් හා මෛත්‍රියෙන් ක්‍රියාකරන්නෙලකු බවට පත්කිරීමයි.

පන්සිල් නො රක්නා පුද්ගලයා ඉවත දමා තිබෙන යකඩ කැබැල්ලක් බඳු ය. එ ම යකඩයේ හටගන්නා මලකඩ නිසා ම කාලයා ගේ ඇවෑමෙන් විනාශය ට පත්වන යකඩ කැබැල්ල සේ ම පන්සිල් නො රක්නා පුද්ගලයා ද තමා අතින් සිදුකරගන්නා දුසිරිත් නිසා ම තමා ම විපත ට පත් කරයි. පන්සිල් නො රකින පුද්ගලයා මෙ සේ වරද ට පෙලඹී යසසින් පිරිහෙයි. මෙලොව ත් පිරිහී පරලොව ත් පිරිහේ.

මේ කරුණු පිළිබඳ මෙ ම ලිපියෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරේ.

පන්සිල් රැකිය යුත්තේ කුමක් නිසා ද?

බුදුරජාණන් වහන්සේ පිහිට කර ගත් ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි කර්ම හා කර්මඵල පිළිබඳ විශ්වාසය ඇති කරගනියි. චේතනාත්මක ව අප කයින් කරන වචනයෙන් කියන සිතින් සිතන දේ කර්මය යි. ඒ අනුව කර්මය, කායකර්ම, වචීකර්ම, මනෝකර්ම වශයෙන් ත්‍රිවිධ වේ. චේතනාත්මක ව සිදු කරන කුසල අකුසල කර්ම අනුව ඊට අනුරූප වන විපාකයක් ජනිත වීම කර්ම නියාමය යි. කෙනෙකු සිදු කරන කර්මවලින් ඇතැම් කොටසක් මේ ජීවිතයෙහි දීම විපාක දෙන අතර එයට "දිට්ඨධම්මවේදනීය කර්මය" ය යි කියනු ලැබේ. කෙනෙකු සිදු කරන කර්මවලින් තවත් කොටසක් අනතුරු ජීවිතයෙහි දී විපාක දෙන අතර එයට "උපපජ්ජවේදනීය කර්ම" ය යි කියනු ලැබේ.කෙනෙකු සිදු කරන කර්මවලින් තව ත් කොටසක් මතු දෙවන ජීවිතයෙහි පටන් පරිනිර්වාණය දක්වා විපාක දෙන අතර එයට "අපරාපරියවේදනීය කර්ම" ය යි කියනු ලැබේ. ඒ අනුව චේතනාත්මක ව සිදු කරන කුසල අකුසල කර්ම වඳ නො වන බවත් අවස්ථාවලත් කල් හි විපාක දෙන බවත් ධර්මයට අනුව පැහැදිලි ය.

මීට පෙර ඉදිරිපත් කරන්නට යෙදුනු ප්‍රේත වස්තුවේ කථාවලින් පවා මෙ ම කර්මානුරුපී ව විපාක දෙන බව වටහා ගත හැකි වේ.

එ නිසා කයින් වචනයෙන් දුශ්චරිතයන් හි යෙදෙන්නවුන් ට අවස්ථානුකූල ව එහි දුක් විපාක ලැබෙන බැවින් එ ම දුශ්චරිතයන්ගෙන් වැළකීම මෙ ලොව පරලොව දෙලොව සැප ලැබෙන මගක් වේ.

සතුන් මැරීමාදි දුශ්චරිතවලින් වැළකිය යුත්තේ ඒ නිසා ය.එ සේ ම නිවන්මග වන ආර්යෂ්ටාංගික මාර්ගයෙ හි පදනම ද ශීලය යි. එ නිසා මෙ ලොව පරලොව දුක් අකමැති ලෞකික ලෝකෝත්තර සැප කැමති සත්පුරුෂයෝ දුශ්චරිත දුරු කොට සිල්වත් ජීවිතයක් ගත කළ යුතු ය. පන්සිල් හි අන්තර්ගතවන සංවරය, ධර්මානුකුල ව මෙන් ම ලෝක සම්මතය අනුව ද ඇති කර ගන්නා මුලික හා අවම සංවරය යි. මෙ ම සංවරයෙන් තොර වුවෝ ධාර්මික ලෝකයා අතර ද පිළිකුල් කටයුතු වෙති.

පන්සිල් වනාහි කයින් සහ වචනයෙන් සිදු වන මෙම දුශ්චරිත පසෙන් වැළකීමයි. එ නම්

1. පරපණ නැසීමෙන් වැළකීම (පාණාතිපාතා වේරමණී)
2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම (අදින්නාදානා වේරමණී)
3. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම (කාමේසු මිච්ඡාචාරා වේරමණී)
4. බොරු කීමෙන් වැළකීම (මුසාවාදා වේරමණී)
5. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරයමජ්ජපමාදට්ඨානා වෙරමණී)

මෙ ම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලය යි. පන්සිල් හොඳින් රැකීම ට නම්, මෙ ම දුශ්චරිත සිදුවන අයුරු ද වටහා ගත යුතු ය. ඒ මෙ සේ ය.

  • ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදු වන අයුරු

1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු බව දැනීම
3. මරණ චේතනාව
4. මරණ උපක්‍රමය
5. එම උපක්‍රමයෙන් මරණය සිදුවීම

ප්‍රාණඝාතයක් සිදුවීම ට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.

  • අදත්තාදානය සිදු වන අයුරු. (සොරකම)

1. අන්සතු වස්තුවක් වීම
2. අන්සතු වස්තුවක් බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරකම් කිරීමේ උපක්‍රමය
5. තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම

සොරකමක් සිදුවීමට මෙ ම කරුණු පහ සම්පූර්ණ විය යුතු ය.
 
  • කාම මිථ්‍යාචාරය සිදුවන අයුරු. (කාමයන්හි වරදවා හැසිරීම)

1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

කාමයන් හි වරදවා හැසිරීම ට මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

  • මුසාවාදය සිදු වන අයුරු. (බොරු කීම)

1. කියන කරුණු බොරු අසත්‍යයන් වීම
2. අන්‍යයන් රැවටීමේ චේතනාව
3. එය ඇඟවීම
4. එයින් අසන්නා මුළාවීම

බොරුකීම සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

  • සුරා පානය සිදු වන අයුරු.

1. සුරා ආදි මත්ද්‍රව්‍යයක් වීම
2. මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව
3. ඒ සඳහා උත්සාහ කිරීම
4. මත්ද්‍රව්‍ය ශරීරගත වීම

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙ ම කරුණු සම්පූර්ණ විය යුතු ය.

පන්සිල් රැකීමේ අනුසස්

මෙ ම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා/උපාසිකාව සිල්වතෙකු/සිල්වතියක වේ. බොහෝ දෙනෙකු යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් කිරීම ට උත්සාහවත් වන්නේ ඉන් තමා ට ලැබෙන ප්‍රයොජන සලකාගෙන ය. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකු ට එයින් බොහෝ ආනිසංස ලබා ගත හැකි වෙතත් වැඩිදෙනෙක් එ ම ආනිසංස නො දන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීම ට උනන්දු නො වෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නෙකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.

1. සිල්වත් ශ්‍රාවකයා නො පමා බව නිසා බොහෝ භෝග ලබයි.
2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැගේ.
3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹෙ ද හෙතෙම විශාරද ව ම එළඹෙයි.
4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නො වී කලුරිය කරයි
5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තව ද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයා ට වෙන වෙනම ලැබෙන ආනිසංස පිළිබඳ ව පරමත්‍ථජෝතිකා නම් වූ ඛුද්දකපාඨ අට්ඨකථාවෙ හි මෙ සේ සඳහන් වේ.

ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මනා අඟපසඟින් යුතු ව ඉපදීම ආරෝහපරිනාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම,පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසුදු බව, ශුරභාවය, මහාබල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට පි‍්‍රය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, පි‍්‍රය මනාප වූවන්ගෙන් වෙන් නො වන බව, දීර්ඝායුෂ්ක බව යනා දී ආනිසංස ලැබේ.

නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම නිසා මහාධනවතෙකු වීම, බොහෝ භවභෝග සම්පත් ලැබීම, ප්‍රමාණ කළ නො හැකි තරම් සම්පත් ලැබීම, නො ලද සම්පත් ලැබීම, ලද සම්පත් විනාශ නො වීම, කැමති වන සම්පත් වහා ලැබීම, තමා ගේ සම්පත් රජුන්, සොරුන්, අපි‍්‍රයයන් විසින් පැහැර ගත නො හැකි වීම මෙන් ම ගින්නෙන් ජලයෙන් විනාශ නො වී, අන්‍යයන් ට සාධාරණ නො වන ධනය ලැබීම, ලොව උතුම් කෙනෙකු වීම, තමා ට අසවල් දෙය නැතැ යි කියන බව නො දැනීම, සැප සේ විසීම යනා දි ආනිසංස ලැබේ.

කාමයන් හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙ හි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රීපුරුෂයන් ට ඔවුනොවුන් පි‍්‍රය වීම යනා දි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

බොරුකීමෙන් වැළකීම නිසා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, මිහිරි වදන් ඇති බව, මනා සුදුවන් දත් ඇති බව, තරබාරු නො වීම, වඩාත් කෘශ නොවීම. වඩාත් උස් නො වීම, වඩාත් මිටි නොවීම, සැප පහස ඇති බව, මානෙල්මල් සුවඳ හමන මුඛයක් ඇති වීම, කීකරු පරිවාර පිරිසක් ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙළුම්පතක් මෙන් මෘදු තුනි රතුවන් දිවක් ඇති වීම, නො සන්සුන් නොවීම, චපල (ස්ථිර වචන නැති) නො වීම යනාදි ආනිසංස ලැබේ.

රහමෙර (මත්ද්‍රව්‍ය ) භාවිතයෙන් වැළකීමෙන් අතීත අනාගත වර්තමාන යන තුන්කල්හිම කළ යුතු කටයුතුවල දී වහා වැටහෙන සුලු බව, සෑම කල් හි මනා සිහියෙන් යුතු වීම, උමතු නොවීම , ඥානවන්ත වීම, අලස නොවීම, අඥාන නො වීම, කෙලතොලු නො වීම, මත් නොවීම, ප්‍රමාද නො වීම, මුළා නො වීම, තැති නො ගැනීම, එකටෙක නො කිරීම, ඊර්ෂා නො කිරීම, සත්‍යවාදි බව, කේලාම් නො කීම, පරුෂවචන නො කීම, නිරර්ථකවචන නො කීම, දිවාරාත්‍රී මැලි නොවීම, කෘතඥ වීම, මසුරු නො වීම, ත්‍යාගශීලි වීම, සිල්වත් වීම, ඍජු වීම, ක්‍රෝධ නො කිරීම, පාපයට ලජ්ජා වීම, පාපයට බිය වීම, ඍජු වූ (නිවැරදි ) දෘෂ්ටියෙන් යුතු වීම, මහාප්‍රාඥයෙකු වීම, නුවණැත්තෙකු වීම, පණ්ඩිතයෙකු වීම, අර්ථානර්ථ දැනගැනීමෙහි දක්‍ෂ වීම යනාදි බොහෝ ආනිසංස ලැබේ.

මෙ වැනි මහත් වූ ආනිසංසයක් පන්සිල් සුරැකීම නිසා අත්වන්නේ ය. එ මෙන් ම මේ ශික්ෂා පද සියල්ල එකිනෙක බැඳී ඇති අයුරු ද තේරුම් ගෙන පන්සිල් ආරක්ෂා කළ යුතු වේ. මෙයින් එක් සිකපදයක් හෝ කැඩෙන්නේ නම් අනෙක් සිකපද ද කැඩීම ඉතා ඉක්මනින් සිදුවන බව මනසින් කල්පනා කළ හැකි ඕනෑ ම අයකු ට තේරුම් ගැනීම අපහසු නො වේ.

සැම දා පන්සිල් සමාදන් විය යුතු ද? 

බෞද්ධයන් ලෙස කුමන වැදගත් කටයුත්තක් ආරම්භ කළ ත් ත්‍රිවිධරත්නයේ ගුණ සිහි කර පන්සිල් සමාදන් ව ආරම්භ කිරීම සිරිත ය. වරක් පන්සිල් සමාදන් වූවකු ගේ ශීලය සිකපදයක් කැඩෙනතුරු කොතෙක් කල් හෝ පවත්නේ ය. ඒ නිසා නැවත පන්සිල් සමාදන් වුවත් නො වුවත් සිකපද කදෙනතුරු ඔහු සිල්වතෙකි. ඉහත සඳහන් කළ පන්සිල් රැකීමෙන් ඇතිවන කුසලයන් නිරන්තරයෙන් ඇති නො වේ. ශීලය තුළින් කුසල් වැඩෙන අවස්ථා දෙකක් ඇත. එකක් නම් සිකපද සමාදන් වන අවස්ථාව යි. අනෙක් අවස්ථාව තමන් ට ප්‍රාණඝාතාදී අකුසල කිරීම සඳහා අවකාශ සැලසුණු විට එය නො කර හැරීම යි. "වරක් සමාදන් වූ ශීලය ඇතිනම් නැවත නැවත නැවත සමාදන් වන්න ට වුවමනා නැත. එයින් ප්‍රයෝජනයක් නැත ය" යි කියන්නේ කුසලාකුසල පිළිබඳ නිවැරදි ව නො දන්නා බැවිනි. දිනකට කිහිප වරක් පන්සිල් සමාදන් වුවත් එයින් වැඩක් මිස අවැඩක් සිදු නො වේ. 

පන්සිල් පමණක් නො ව අටසිල් දසසිල් ආදීකොට ඇති ඕනෑ ම ශීලයක් සමාදන් ව එය නියමාකාරයෙන් ආරක්ෂා කරයි නම් එ මගින් පුද්ගලයා තුළ ශීලය වර්ධනය වේ. ආර්යාෂ්ඨාංගික මාර්ගයේ ගමන්කර අවසානයේ නිවන සාක්ෂාත් කරගැනීම සඳහා විර්යය වදන බෞද්ධයා ප්‍රථමයෙන් ම සම්පුර්ණ කළ යුත්තේ ශීලය යි. එ බැවින් ශීලයේ අගය වටහාගෙන ශීලය ආරක්ෂා කිරීම තුළින් පාරමිතා ධර්ම වැඩී ඒ තුළින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන ට පත් වීම පිණිස ම ශීලය හේතු වේ වා! 

තෙරුවන් සරණ යි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...