Saturday, November 5, 2011

සිරිපා සටහනක අසිරිය

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී පාද ලාංඡන පිළිබඳ ව මෙ හි දී මා ඔබ ට කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වේ. 

සිරිපා කරුණා කරන්නේ ඇයි?

බුදුරජාණන් වහන්සේ ගේ සර්වඥ ධාතූන් වහන්සේලා ට සේ ම ශ්‍රී පාද සටහන්වල ට වන්දනමාන කිරීම තුළින් අප්‍රමාණ කුසල් රැස්කරගත හැකි බව පළමුවෙන් ම කිව යුතු ය. මෙ සේ බුදුරජාණන් වහන්සේ උතුම් සිරිපා සටහන් බුද්ධ අධිෂ්ඨානය මගින් පිහිටුවා ඇත්තේ සියලු දෙව් මිනිසුන් ට උන්වහන්සේ ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට බව මෙ ම ලිපිය කියවීමෙන් අවබෝධ වනු ඇත.

යම් දිනක බුදුසසුන සම්පූර්ණයෙන් ම ලොවින් අන්තර්ධාන වන්නේ ද, එ නම් ධාතු පරිණිර්වානය සිදුවන්නේ ද, එ විට ම මෙ ම සිරිපා සටහන් අන්තර්ධාන වේ.
වැඩිදුර කියවීම :- බුදු සසුනේ අවසානය සිදුවන අයුරු  [බුද්ධ රශ්මි] 

බුදුන් ගේ සිරිපාවල ඇති සුවිශේෂත්වයන් මොනවා ද? 

බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි සුපතිට්ඨිත පාද ඇති බව. එ නම් මනා ව මසින් පිරි, සම ව පිහිටා ඇති බව යි. අප ඇවිදින විට පාදයන් මුළු පොළොවේ ම ස්පර්ශ වන්නේ නැත. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් සම්පූර්ණයෙන් ම පොළවේ ස්පර්ශ වේ. මෙය බුදුරජාණන් වහන්සේලා ට පිහිටන මහාපුරුෂ ලක්ෂණයකි. එ සේ ම උන්වහන්සේ ගේ සිරිපතුල්වල දසදහසක් නිම්වළලුවලින් යුතු චක්‍ර ලකුණු පිහිටා ඇති අතර එය වටා එකසියඅටක් මංගල ලකුණු පිහිටා තිබූ බව මහාපුරුෂ ලක්ෂණ පිළිබඳ දේශිත දේශනාවන් හි සඳහන් වේ. තව ද, උන්වහන්සේ ගේ ශ්‍රී පාදය සාමාන්‍ය මිනිසුන් ගේ පාදයන් ට වඩා බෙහෙවින් වෙනස් ය. උන්වහන්සේ ට පාදයේ දිගු විලුඹක් පිහිටා තිබූ අතර එකහා සමාන දිගින් යුක්ත දිගු ඇඟිලි පිහිටා තිබූ බව ත්, සඳහන්.


එ සේ ම තව ත්, වැදගත් කරුණක් සඳහන් කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ පියවර තබමින් වැඩම කරන විට උන්වහන්සේ ගේ සිරිපා සටහන් මහපොළොව මත නො පිහිටයි. බුදුරජාණන් වහන්සේ පොළොව මත පාදය තබා ඔසවනවාත් සමග ම ඒ සිරිපතුල් සටහන පොළොවෙන් මැකී යන්නේ ය. එය ට හේතුව වන්නේ උන්වහන්සේ ගේ අධිෂ්ඨානය යි. එ නම් අපා, දෙපා, සිව්පා, ආදී කෙලෙස් සහිත සතුන් ට මෙ ම සිරිපතුල් සටහන් නො පෑගේ වා! යන්න ය. 

එ සේ නම් මාගන්ධියා ගේ මව්පියන් බුදුරදුන් සිටින තැන ට පියවර සටහන් ඔස්සේ පැමිණියේ කෙ සේ දැ යි යන ප්‍රශ්නය යමෙකු ට ඇති විය හැකි ය. සාමාන්‍යයෙන් බුද්ධ අධිෂ්ඨානය නිසා පාදය ඔසවනවා ත් සමග ම සිරිපා සටහන් පොළොවෙන් මැකී යයි. එ නමුත් යමෙකු ට ධර්මාවබෝධය පිණිස පියවර සටහන් පොළොව මත පිහිටවිය යුතු නම් බුද්ධ අධිෂ්ඨානය මත යම් කාලයක් සිරිපා සටහන් පොළොව මත පිහිටන්නේ ය.

"නින්නං ඨානං උන්නමති ගච්ඡන්තේ ලෝක නායකේ 
උන්තං ච සමයං හෝති පඨවි ච අචේතනා" 
තථාගතයන් වහන්සේ ගේ සිරිපතුල් පොළොව මත තබන විට පොළොවේ උස් තැන් පහත් වී පහත් තැන් උස් වී පොළොව සම මට්ටම ට පත් වී සම්බුදු සිරිපතුල පිළිගන්න ට පොළොව සකස් වන්නේ ය. 

"පාසාණා සක්ඛාරා චෙව කඨලා ඛාණු කණ්ඨකා
සබ්බේ මග්ගා විවජ්ජෙන්ති ගච්ඡන්තේ ලෝකනායකේ.
"
තථාගතයන් වහන්සේ ගේ සිරිපතුල් පොළොව ට ළං කරනවා ත් සමග ම පොළොව මත ඇති ගල්කැට, මැටි කැට, ආදිය හා උල් කටු ආදී සියල්ල ම පොළොවෙන් ඉවත් වී පාදය තබන්න ට සූදානම් වන තැන පිරිසිඳු වන්නේ ය.

විවිධ ස්ථාන කිහිපයක සිරිපා සටහන් පිහිටවූ බව සඳහන් වේ. බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවූ සිරිපා සටහන් සතරක් මෙලොව පවතී. 


සමන්තකූඨයේ සිරිපා සටහන.

සම්බුද්ධත්වයෙන් නවමසක් ගිය තැන බුදුරදුන් මහියංගනය ට වැඩම කළ බව සඳහන් වේ. 

නාගයන් අතර ඇති වූ ආරවුලක් සංසිඳුවා, දෙවියන් උදෙසා සිදුකළ ධර්ම දේශනයකින් සුමන සමන් දෙවියන් සෝතාපත්තිය ට පත් විය.

දෙවන වතාවේ දී නාගදීපය ට ද, තෙවන වතාවේ දී කැලණිය ට ද, බුදුරදුන් වැඩම කළ සේක.

එ ම අවස්ථාවේ දී දෙවියන් විසින් "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස. දෙවියන් වන අප ට වන්දනමාන සිදු කිරීම ට පූජනීය සලකුණක් සමන්තකූඨයේ පිහිටුවන සේක් වා!" ය යි ඉල්ලීමක් සිදු කළේ ය.


සමන්තකූඨ පර්වතය
සුමන සමන් දෙවියන් විමාන කරගෙන සිටින සමන්තකූඨ පර්වතය මුදුනේ දෙව්මිනිසුන් ට වන්දනා කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ප්‍රථම සිරිපා සටහන පිහිටුවන ලදී. සිරිපාද කඳු මුදුන ට අහසින් වැඩම කළ බුදුරදුන් සමන්තකූඨ පර්වතය මුදුනේ පිහිටි ගල්තලාවක එක්තරා ස්ථානයක බුද්ධ අධිෂ්ඨානයෙන් මැටි පිඬක් සේ කළුගල මෙලෙක් කොට දහසක් නිම්වළලු සහිත චක්‍ර ලකුණු සියල්ල පිහිටන අයුරින් උතුම් සිරිපා සටහන වසර පන්දහසක් යන තෙක් ම නො මැකී පවතී වා! යන අධිෂ්ඨානයෙන් යුතු ව ප්‍රථම සිරිපා සටහන පිහිටුවන ලදී.
 
බුදුන් පිරිනිවූ තැන පටන් වසර පන්දහසක් ගතවන තුරු මෙ ම සිරිපා සටහන නො මැකී පවත්නා අතර සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එකට එක් ව පිරිනිවන් පාන අවස්ථාවේ දී සිරිපා සටහන් ද, නො පෙනී යන්නේ ය.

මක්කම විහාර භූමියේ සිරිපා සටහන.
බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය.

මෙ ම ප්‍රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ "සුනාපරන්ථ" හෙවත් "යෝනකපුරය" යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්‍රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්‍රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය.

"පුණ්න, ඒ ප්‍රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත."

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය."

"ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?"

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය."

"ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?"

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය."

"ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?"

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය."

මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්‍රචාරය කිරීම ට අවසර ලබාදුනි.

ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්‍රහ පිණිස එ ම ප්‍රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ  හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය.
මක්කම
ඒ අනුව දෙවන සිරිපා සටහන මකුලක මක්කම විහාරය ආශ්‍රිත නදිය අසල පිහිටුවන ලදී. එ ම සිරිපා සටහන් වර්තමානයේ බෞද්ධ ජනයා ට වැඳපුදා ගැනීම ට අවකාශ නො ලැබුණ ද, දසදහස් ගණන් මිනිසුන් ගේ වන්දනමානය ට පාත්‍ර වන බව කිව හැකි ය.





නර්මදා නදී තීරයේ සිරිපා සටහන.

              ඉන්දියාවේ නර්මදා නදිය                            
බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවූ තුන්වන සිරිපා සටහන පිහිටා ඇත්තේ නර්මදා අසල පිහිටි ගල් තලාවක ය. නර්මදා නදිය පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය දේශය තුළ ය.
මකුලක මක්කම විහාරය මත උතුම් සිරිපා සටහන පිහිටුවා ආපසු පැමිණෙන විට නර්මදා නදී තීරය අසළ නතර වී විවේක ගන්නා ලදී. එ ම නදිය ට අදිගෘහිත වූ නාගයන් එය දැක බුදුරදුන් වෙත වැඩමකර ආගිය තොරතුරු කතා කළේ ය. බුදුරදුන් එ තැනින් වැඩම කිරීම ට සූදානම් වන විට නාග ලෝකයේ අප ට ත්, වන්දනමාන කිරීම ට පූජනීය වස්තුවක් ලබා දෙන්න ය යි ඉල්ලූ විට බුදුරදුන් ගලා යන නර්මදා නදී තීරයේ එක්තරා ගල්තලාවක් මත බුද්ධ අධිෂ්ඨානයෙන් තෙවන සිරිපා සටහන පිහිටුවන ලදී. මිනිස් ලොව අප ට එ ම සිරිපා සටහන වන්දනමාන කිරීම ට නො හැකි වුව ද, නාග ලෝකයේ තවමත් මහත් වූ පුද සත්කාරයන් ලබමින් නාගයන් විසින් එය ආරක්ෂා කරගෙන සිටිනු ඇත.

සච්චබද්ධ පර්වතයේ සිරිපා සටහන.

නර්මදා නදී තීරයේ සිරිපා සටහන පිහිටුවීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ දකුණු ඉන්දියාවේ සච්චබද්ධ පර්වතය මුදුන ට අහසින් වැඩම කරන ලදී. එ හි විශාල පිරිසක් සහිත ව වාසය කළ සච්චබද්ධ නම් තාපසයා වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් පහදවාගෙන ධර්මය දේශනා කරන ලදී. ඔවුන් සියල්ල ම රහත්ඵලය ට පත් විය.

සච්චබද්ධ පර්වතයේ සතියක පමණ කාලයක් වැඩසිටි බුදුරදුන් ජේතවනාරාමය වෙත වැඩම කිරීම ට සූදානම් විය. එ හි දී සච්චබද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් වන්දනමාන සිදුකිරීම ට පූජනීය වස්තුවක් ලබා දෙනමෙන් ඉල්ලූ විට බුදුරජාණන් වහන්සේ සච්චබද්ධ පර්වතයේ පිහිටි කළුගලක් මත සිව් වන සිරිපා සටහන පිහිටුවන ලදී.

මෙ ම සිරිපා සටහන්වල ට අමතර ව විවිධ ස්ථානවල සිරිපා සටහන් ඇතිබව වාර්තා වේ.

කෙ සේ නමුත් මා උත්සාහ කළේ සිරිපා සටහන්වල ට වන්දනමාන කිරීම තුළින් කුසල් රැස්කර ගත හැකි බව අවබෝධ කර දීම ය.

අරුත් නො දැන බුදුන් ට මල් දසදහස් ගණනකින් පූජෝපහාර පැවැත්වුව ද, අරුත් දැන බුදුන් ට එක් මලකින් පූජෝපහාර දැක්වීම ඊට වඩා මහත් වූ ආනිශංස ගෙන දෙයි. එ සේ ම අරුත් නො දැන සියක් වතාවක් සිරිපා වන්දනා කළ ද, අරුත් දැන නියමාකාරයෙන් සිත පිහිටුවා සිදුකරන එක් සිරිපා වන්දනාවක් ඊට වඩා මහත් ආනිශංස ගෙන දෙයි. 










එ බැවින් බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත වූ ගුණයන් ට මම නමස්කාර කරමි, මා ගේ නමස්කාරය වේ වා! යනුවෙන් අවබෝධයෙන් යුතු ව වැඳීමෙන් විශාල කුසල ශක්තියක් ජනිත වනු ඇත. ඒ කුසල ශක්තීන් ගේ බලය නිවන පිණිස ම වේ වා! 


[මෙ ම ලිපිය සකස්  කිරීමේ දී මූලික ව ම දායක වූයේ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් රචිත "සර්වඥ ධාතු පෙළහර" නම් ග්‍රන්ථය යි.] 

6 comments:

  1. තිළිණ, සම්පූර්ණයෙන්ම ලිපිය කියැවීමට නොහැකි වුවත් බලා යාමේදී දුටු යම් දෙයක් බවසමි. ගෞතම බුදු රදුන්ගේ සතර ශ්‍රි පාදයම පිහිටා තියනේනේ ශ්‍රි ලංකාව තුල යැයි පවසමි. මා මෙසේ කීවාට ඔබ පිළිනොගන්නා බව දනිමි. නමුත් සැබෑ ශ්‍රි ලංකාවේ සැබෑ ඉතිහාසය ගවේෂණය කරන්නෙක් ලෙස බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවත් සිරිපතුල් සියල්ල ලංකාවේ පිහිටි බවත් පවසමි.මින් මක්කම යන්න පුත්තලම් ප්‍රෙද්ශයේ පිහිටා ඇති බව ඉතිහාස ගවේෂක ජයන්තපතිර ආරච්චි මහතා විසින් සාක්ෂි සහිතව පෙන්වා ඇත.
    යක්ඛ ගෝත්‍රිකයන් හා සම්බන්ධව බුදුදහම ගැන විශාල දැනුම් සම්භාරයකින් යුක්ත මානෑවේ විමලරතන හාමුදුරුවන් වහන්සේ මෙම සිරිපතුල් 3ක්ම ලංකාවේ පිහිටා ඇති බව තහවුරු කරගෙන ඇති අතර අනික් සිරිපතුලත් ලංකාවේම පිහිටා ඇති බව පවසනු ලැබේ.( මානෑවේ විමලරතන හාමුදුරුවන්ගේ යූ ටියුබයේ වීඩියෝ බලන්න)
    ලංකාවේ තිබෙන්නා වු බුදුදහම වූ කලී අටුවා ආචාරී විදේශිය භික්ෂුන් වහන්සේලා විසින් ලියන පාලි බුදුදහමකි. මා එසේ පවසන්නේ බුද්ධඝෝෂ හිමි, මහානාම හිමි වැනි විදේශිය හාමුදුරුවන් ලංකාවට ඇවිත් කුමණත්‍රණකාරීව හෙළ අටුවා පාළියට හරවා හෙළ ග්‍රන්ථ ගිනිතබා විනාශ කිරීමයි.
    අද සිටින බොහෝමයක් බෞද්ධයන් හාමුදුරුවන් කියෙන එක පිළිගන්නා කොඨ්ටාශයක් මිස තමන්ගේ උත්සහයෙන් බෞද්ධ පොත පත පරිශිලනය කරන්න් නොවේ. නමුත් අතීතයේ හෙල අටුවා, හෙළ බසින් බෞද්ධ පොත පත තිබියදී අපට සිටියේ දැන උගත්, බුද්ධිමත් මුතුන් මිත්තන්. අධ්‍යාත්මය දියුණු, කායික ශක්තියටත් වඩා මානසික ශක්තියෙන් වැඩ කල මුතුන් මිත්තන්.
    මේ නිසා සැබෑ බුදුදහම සොයා යෑමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඔබ ලාෆින් බුද්ධා රූපය සම්බන්ධව කිසියම් අදහසක් දක්වා ඇති බව මම දුටුවා. චීන කතාවට පෙර තිබෙන්නා වූ මෛතී බෝසතුන් හා සම්බන්ධ කතාව ඔබ අසා ඇත්නම් ඔබේ ඒ අදහස වෙනස් වේ යැයි මම සිතමි.
    බුදු දහම යනු ගෞතම බුදුන් වහන්සේ පමණක් දේශනා කල ධර්මය නොවේ. මෙම විශ්වයේ පහල වු අසංඛෙය බුදුන් වහන්සේලා දේශනා කල, ඉදිරියේ පහල වන්නා වූ බුදුන් වහන්සේලා දේශනාකරන්නා වූ ධර්මයයි.
    මහායාන සංකල්ප මගින් බුදුදහම දේව වාදයකට ඇද යන බව සමහරුන් කීවත් එය එසේ නොවේ.මහායානයේ ඉගැන්වීම බුද්ධයානයයි. එය ශ්‍රාවකයානය හෝ පසේබුදු යානය නොවේ. මන්ද බුදුන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර, අවබෝධ කරගෙන නිර්වාණය ලබාගැනීමට වඩා බෝධිසත්වයානයට එලැඔ, පාරමිදම් පුරා, කල්ප ගණනින් පෙරුම් පුරා සර්වඥතා ඥානය ලබාගෙන බුද්ධත්වයට පත්ව නිර්වාණයට එැලැඹිමයි. මේ ගැන සාකච්චා කල යුතු, කිව යුතු කරුනු බොහෝමයි.
    අවශ්‍ය නම්
    www.facebook.com/dazunE මගින් මා හා සම්බන්ධ වන්න.
    නාම් ම්යෝහෝ රෙන්ගේ ක්යෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම කරුණු කිහිපයක ට මා එකඟ වෙනවා. ශ්‍රී ලංකාව තුල සිරිපා සටහන් එකක ට වැඩි ගණනක් තිබිය හැකි ය. මා දන්නා තරමින් කැලණි ගඟ පතුලේ ද, සිරිපා සටහනක් පිහිටන බව සඳහන්. නමුත් මම හිතනවා බුදුරජාණන් වහන්සේ ගේ සිරිපා සටහන් මෙ ලොව 4ක් නො ව ඊට වැඩි ගණනක් පැවතිය හැකි බව. ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් රචිත "සර්වඥ ධාතු පෙළහර" ග්‍රන්ථයේ ද, ඒ පිළිබඳ ව කරුණු සඳහන්. මානෑවේ විමලරතන හාමුදුරුවන් වහන්සේ විකිපීඩියා ලිපියක මෙ සේ සඳහන් කර තිබේ.
      [නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි]
      මෙ රට නර්මදා නදිය කියා නදියක් මා දන්නා තරමින් නැත. නමුත් නර්මදා නදිය කියා නදියක් ඉන්දියාවේ ඇති බව අසා තිබේ. අප සතර දළදා කියා කීව ද, අනෙක් දළදා වහන්සේලා ද, තවමත් දිව්‍යලෝක ආදියේ හි වැඩ සිටින්නේ ය. ඒ අනුව සිරිපා සටහන් ද, කිහිපයක් තිබිය හැක. මහායාන බුදුදහමේ පොතපත තුළින් ද, සිඉපා සටහන් කිහිපයක් ගැන ම කියවේ.

      දෙවන කරුණ සමග නම් එකහෙලා ම විරුද්ධ යි. සිදුහත් මෙ රට උපන්නෙක් නම් බුද්ධත්වය ට ආසන්න ම සාක්ෂිය වන ශ්‍රී මහා බෝධිය ඉන්දියාවේ පවතින්නේ පවතින්නේ කෙ සේ ද? ලංකාවේ ඉපදී, ලංකාව අතහැර ඉන්දියාව ට භාවනා කරන්න ට ගියේ ද? එ සේ විය නො හැක.

      ලාෆින් බුද්ධා ප්‍රතිමා බැලු බැල්මට පෙනෙන කරුණ වන්නේ බුදුවරයකු ට තබා බෝධිසත්වයකු ට වුව ද, උචිත හැඩරුවක් නැති බවයි. තව ද, බුද්ධත්වයෙන් ම පමණක් නිවන ට පත් වන්නේ නම් අප නිවන ට පත් වන්න ට තව ත් කොතරම් කල ගත වෙයි ද? බුදුවරයෙක් පිරිනිවී බුදුවරයෙක් පහල වන්න ට කොතරම් කාලයක් ගත වේ දැ යි අමුතුවෙන් කිව යුතු නැත.

      සිරිපා සටහන් පිළිබඳ ව තව තව ත්, කරුණු රැස් විය යුතු බව මගේ අදහසයි. මේ ලිපියෙන් මා බොහෝදුර ට බලාපොරොත්තු වුයේ සිරිපා හි අසිරිය පිළිබඳ ව යි. ඒ තුළින් සැදැහැසිත් ඇති කරගෙන වන්දනාමාන කිරීම තුළින් ජනිත වන කුසලය නිවන පිණිස ම උපනිශ්‍රය වන ආකාරය ට යි.
      තෙරුවන් සරණ යි!

      Delete
    2. අප උපන් මේ හෙලබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි!!

      මේ පිලිබද කිසිවෙකු විශ්වාස කල යුතු නැත

      සියල්ලෝම මේ පිලිබද දැන ගෙන දැක ගත යුතුය.

      මේ සියලු බුදුවරයන් වහන්සේලා පහල වන දේශයම වේ.

      http://hmherath.blogspot.com/2012/11/blog-post_16.html

      Delete
  2. සිදුහත් උප්පතිය ලංකාවේ සිදු වූ බවට අවශ්‍ය නම් සාක්ෂි ඇසුරෙන් පෙන්වා දිය හැක. ජය ශ්‍රි මහා බෝධිය ඉන්දියාවේ පවතින බව කියන නමුත් එය ගෞතම මුනිදුන් පිටදුන් බෝධියමට බවට සාක්ෂි කවරේද?
    බුදු වරයෙක් ලොව පහල වීමට පෙර පස්මහ බැලුම් බලන බව ඔබත් මමත් දන්නා සත්‍යකි. ඒ අනුව කාලය දීපය දේශය කුල මව යන කාරණා සැලකිල්ලට ගැනීම මොලොව පහලවන්නා වූ සියළු බුදුන්ට පොදු වූ සත්‍යකි.
    මින් දෙවැන්න සලකා බලමු. දෙවැන්න යනු දීපයයි. දීපය යනු දිවයිනකි. නමුත් ඉන්දියාව ගත් කල අර්ධද්වීපයකි. අර්ධද්වීපයක බුදු වරයෙක් පහල වන්නේ නැත. බුදුන් වහන්සේට පෙරසිට පැවත එන්නා වූ කාලයේ සිටම ඉන්දියාම හැදින්වූයේ මහා භාරතය, නැතහොත් භාරතය නමිනි. ඉන්දියානු ඉතිහාසය විමසා බලන්න ජම්බුද්වීපය කියා කිසිම විටක සදහන් වනවාද කියා.
    ජම්බුද්වීපය = දඹදිව (අද බුදුන් වහන්සේගේ පුජනීය ස්ථාන නැරඹිමට කියා කිසිදු කෙනෙක් ඉන්දියාවේ යන බව කියනවාද? නැත)
    දඹය = හෙළ (මහ ගිරි දඹ යනු මහා හෙල් මුදුනක් බවයි)
    එනම් දඹ දිව යනු හෙලදිවයිනටම කියන බෞද්ධ නාමයයි.
    අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට ගොස් බුද්ධගයාව බෙරා ගන්නා තෙක්ම ඉන්දියාවේ හාමුදුරුවරු හිටිය බව පෙන්විය හැකිද?
    මෙතන සිදු වූ දේය පොත පත කියැවීමෙන් හෝ, අදට තියෙන බෞද්ධ ග්‍රන්ථ කියැවීමෙන් ඉලෙන ගත නොහැක. මෙම මම සදහන් කරපු කාරණා ගවේෂණාත්මකව, පුස්කොල පොත් ඇසුරෙන්, සෙල්ලිපි ඇසුරෙන්, මහා පිරුවානා පොත් වහන්සේ තුලින් සොයා ගත් කරුණු.
    බුදුන් උපන් දේශය හෙළ දිවයිනයි. අය ඉන්දියාවේ ඉපදුනා යැයි සනාථ කිරීමට සාක්ෂි 10 ක් ඇති නම් ලංකාවේ උපන් බවට සාක්ෂි 100කට වැඩියි.
    මහායානය පිළිබදව ඔබගේ අදහස පිළිබදව මම පුදුම නොවෙමි. නමුත් නිර්වාණය යනු පහසුවෙන් ලගා කරගත හැකි දෙයක් නොවේ. එය ලබා ගැනීම බුදුන් දැක නිවන් දැකීම තුලින් වුවද කල හැකි බව මමද පිළිගනිමි. නමුත් හොදට හිතන්න සහෘදය,
    බුද්ධත්වය ලැබීමට බෝධිසත්ව පිළිවෙත් පිළිපැදිය යුතුය. බෝධිසත්ව පිළිවෙත් පුරා සාරා අසංඛයේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා වූ සර්වඥතා ඥාණය ලබාගැනීම අරහත් බාවයට හෝ පසේ බුදුවරයෙක් වීමට වඩා උතුම් කාරණාවකි.
    සංසාරයේ සිටින්නා වූ දුක්විදින සත්වයන් දුකින් මිද වීමට බුදු බව පාර්ථනය ඉතා උතුම් කරුණකි.
    මේ වැනි යුගයක බෞද්ධාගම ගැන දන්නා ඔබ වැනි තරුණයන් හදුනා ගැනීම වාසනාවකි. නමුත් බුදු දහම යනු දර්ශනයකි.
    මා ඔබගෙන් ඉල්ලනේ තව දුරටත් ගවේෂණය කරන ලෙසයි. බුදුන් වහන්සේ දේශනා කල ලෙසටම මම කීවාට පිළිගන්න එපා. ඔබ කියවන පොත පත තුල තිබුණාටද පිළිගන්න එපා. හැම දේ දෙසම විමසිලිලෙන් බලන්න.
    බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව මමත් මෑතක් වන තෙක් විශ්වාස කල කරුණක් නෙවේ.අශෝක අධිරාජ්‍යා විසින් බුදුන් වහන්සේගේ දේශයේ ආකෘති ඉන්දියාවේ විවිධ තැන්වල කරවූ බව මම අසා තිබේ. ඔබත් මේ රටේ බහුතර බෞද්ධයන් පිරිසක් ඒ කාරණය හේතුවෙන් එසේ පවසන්නේ යැයි මම විශ්වාස කරමි.
    මහින්දාගමනය සම්බන්ධවද මාගේ ගවේෂණයේදී යම් පරස් පරතාවයන් මතු වූ බව පැවසිය යුතුයි.
    අපි අද විශ්වාස කරන්නා වූ බුදුදහම ග්‍රන්ථාරූඩයත් සමග වෙනස් වන්නට පටන්ගත් බව සදහන් කල යුතුය. බුදුන් වහන්සේ නිතරම දේශනාකරන ලද්දේ ධර්මය කටපාඩමින් නැත හොත් ධාරණයෙන් පවත්වාගෙන යා යුතු බවය.
    ඔබගේ උනන්දුව තව දුරටත් ගවේෂණාත්මක කරන ලෙස ඉල්ලමි. අද තියෙන පොත පතින් නොව පැරණි, පොත පතින් කාරණා සොයන ලෙස ඉල්ලමි.
    බුදුසරණයි

    ReplyDelete
  3. buduradun siripa satahan thabuwa yai kiyana thana (sachchabadda) athi pinthuraye thibena satahana daksha galwaduweku kotapu ekak kiyala mata hithenne. eyata hethuwa lesa mage tharkaya wanne kisiyam keneku yamthanaka satahanak thabuwoth ethana udata issila pimbenta nohakiya viyayuththe yatata ebeemai.papadamak wage udata enne kohomada? enisai mama kiyanne sachchabadda sirpathul lakuna daksha nirmaana karuwekuge wadak kiyala.mama
    kg/gmf

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...