Wednesday, February 8, 2012

නිවන කරා....(01 - කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

අද මාතෘකා කරගත්තේ උතුම් නිවන පිළිබඳ ව ය.  මේ පිළිබඳ ව දීර්ඝ ව සාකච්ජා කෙරෙන බැවින් ලිපි කිහිපයකින් ම කරුණු ඉදිරිපත් කිරීම ට මම  අදහස් කරමි. බෞද්ධයකු වීමේ පරමාර්ථය වන්නේ ද, නිවන ය. පළමු ව අප ට නිවනක් අවශ්‍ය ඇයි? , නිවන ලැබීම ට සුදුසු පුද්ගලයන් හා ඒ සඳහා සැපිරිය යුතු අවශ්‍යතා යන කරුණු තුන පිළිබඳ මේ ලිපිය තුළින් විමසා බලමු.




නිවන් යන්නේ ඇයි.
ලෝකය දුක මත පිහිටා ඇති බව බුදුරදුන් දේශනා කර ඇත. ඒ දුක නිසා අප හැඬූ කඳුළු මේ මහසයුරේ දිය ට වඩා වැඩි බව දේශනා කර ඇත. එය උපමාවක්‌ නො වන බව අප අවබෝධ කරගත යුතු ය. මිනිසත් බව ලබා සිටින අප යම් හේතුවක් නිසා පණුවකු වී උපන්නා ය යි සිතමු. එ විට නැවත මිනිසත් බව ලබාගැනීම ට බොහෝ කාලයක් ගත වන්නේ ය. පණු ආත්මභාවයන් හි ඉපදෙමින් මැරෙමින් විපාක විඳ අවසාන වූ විට යම් හෝ කුසල ධර්මයක් නිසා ඊට වඩා තරමක් උසස් ආත්මභාවයක් ලබා ගනියි. එ හි ද, පෙර සේ ම ඉපදෙමින්, මැරෙමින් විපාක විඳ අවසානයේ නැවත වෙනත් ආත්මභාවයක් කරා යයි. මේ අයුරින් සුළු හෝ කුසල් දහම් වඩමින් සසර පැමිණෙන්නේ නම් බොහෝ කලක ට පසු  නැවත සුගතියේ උපතක් කරා යා හැකි ය. 

නමුත් මෙ වැනි දුගතියක ඉපදීම ට සිදු වුවහොත් කුසල් කිරීමේ හැකියාව ඉතා අල්ප ය. මේ නිසා ම දුර්ලභ කරුණු හයෙන් එකක් ලෙස ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.  තව ද, මිනිසත් බව ලබා ගැනීම ද, දුර්ලභ කරුණකි. ඉන්ද්‍රියයන් ගේ අවිකලභාවය නැති වීම ද, දුර්ලභ කරුණකි. ජඩ නො වීම ද, කෙළතොළු හා ගොළු නො වීම ද ලොව දුර්ලභ ය.  පින් දහම ට කැමැත්තෝ ලොව දුර්ලභ ය.

සසරේ දිග....
 
"මහණෙනි, අවුරුදු සියයක ට වතාව බැගින් අර විශාල ගල් පර්වතය පිස දමද්දි ඒ හේතුකරගෙන ඒ ගල් පර්වතය ගෙවිලා අවසන් වෙලා යන කාලයක් එනවා. නමුත් කල්පය ගෙවිල අවසන් වෙන්නේ නෑ". මේ උපමාවට අනුව බලද්දි අප ට හිතාගන්න ට පුඵවන් කල්පය කියන්නේ අවුරුදුවලින් කොයි තරම් විශාල කාලයක් ද යන වග. ඒ වගේ කල්ප සියයක ට ම බුදු රජාණන් වහන්සේලා හත් නමයි මේ ලෝකය ට පහළ වෙලා තියෙන්නේ. 
ඒකෙන් අප ට හිතාගන්න පුඵවන් බුදු රජාණන් වහන්සේ නමක් ලෝකය ට පහළ වෙනවා යි කියන කාරණය කොයි තරම් දුර්ලභ කාරණයක් ද, කියන එක. එය ද, දුර්ලභ කරුණු සයෙන් එකකි. එ මෙන් ම තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නා වූ තැනැත්තේ ලොව දුර්ලභ ය.




බුදුහාමුදුරුවෝ අපි ත් දකින්නැති - බණ ත් අහන්නැති ඒ කාලේ...
විපස්සි බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරද්දි සමහර විට අපිත් මනුෂ්‍ය ජීවිත ලබල ම ජීවත් වෙලා ඉන්න ඇති. නමුත් අපි ඒ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන පෘතග්ජන භාවයෙන් නිදහස් වීම ට මහන්සි ගත් බව ට සාධක නැහැ. අපි ඒ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කිරීම පිණිස මහන්සිගත්තා නම් සතර අපායේ වැටි වැටි මෙච්චර කල් මේ සංසාරේ එන්න විදිහක් නැහැ. මිනිස් ලෝකයේ එච්චර දීර්ඝ ආයුෂක් තිබෙන කාලවල දී පවා අප ට බැරිවෙලා තියෙනවා මේ ධර්මය අවබෝධ කර ගන්න. ක්ෂණ සම්පත්තියේ තිබෙන දුර්ලභ බව බුදු රජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් වන අක්ඛණ සුත්‍රයේ දී පෙන්වා දුන්නා. 


බුදු රජාණන් වහන්සේ වදාළ බුද්ධ ශාසනයක් ලෝකයේ පවතින කාලෙක සතර අපායේ වැටි වැටී යන මේ සංසාරික සත්වයන් නිරයේ නිරි සතුන් අතර ඉපදිලා ඉන්නවා නම් ඒ කෙනා ට බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව අහිමි ව යන්නේ ය.  නිරයේ උපදින නිරි සතුන් ට පවතින්නේ දුෂ්ඨක්ෂණයකු යි.


කල්ප ගාණක් නිදා ගන්න පුළුවන්........
බුදු රජාණන් වහන්සේ පෙන්වලා දුන්නා බුදු කෙනෙක් ලෝකය ට පහළ වෙලා සංසාර දුකින් නිදහස් වෙන ආකාරය ගැන කියැවෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරගෙන ගිය ත් අසඤ්ඤ තලයේ උපත කරා යන සත්වයන් ට ද, ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන වග. අසඤ්ඤ තලය යනු කල්ප දෙතුන් සියය ආයුෂ තියෙන සත්ව ලෝකයක්. ඒ ලෝකයේ උපදින සත්වයන්ට කිසි ම හඳුනා ගැනීමක් විඳීමක් නැහැ. අසඤ්ඤ සමාධිය නිසා සකස් වෙච්ච කර්ම විපාකය ට අනුව තාවකාළික ව ඔවුන් ඒ ලෝකය තුළ ජීවත් වෙනවා. ඒ කර්මයේ ආයුෂ අවසන් වෙද්දි අරමුණක් පහළ වන විට ඒ ලෝකයෙන් චුත වෙලා කර්මානුරූප වඑක්කෝ නිරයේ උපත කරා  යනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ, පෙරේත ලෝකයේ උපත කරා යනවා. සමහර විට කළාතුරකින් මිනිස් ලෝකයේ උපත කරා එන්නත් පුඵවන්. මේ තමයි අසඤ්ඤ ලෝකයේ උපදින සත්වයන් ගේ ස්වභාවය.



මන්දබුද්ධික යි, ගොළු යි, බිහිරි යි.
ඊ ළඟට ඔබට මෙහම හිතෙන්න පුළුවන්. "බුද්ධ ශාසනයක් පවතින යුගයක කොහොම හරි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තොත් නම් හරි... ධර්මය අවබෝධ කරලා සංසාර දුකින් නිදහස් වෙන්න පුඵවන් වෙයි.." කියල. නමුත් මනුෂ්‍ය ජීවිත ලබා උපදින හැම කෙනෙකු ට ම බුද්ධ ශාසනයක් ලෝකයේ පැවතුනත් ධර්මය අවබෝධ කරල සංසාර දුකින් නිදහස් වෙන්න අවස්ථාක් නැහැ. බුදු රජාණන් වහන්සේ පෙන්වලා දුන්නා බුද්ධ ශාසනයක් ලෝකයේ පවතින යුගයක සමහරු මනුෂ්‍ය ලෝකයේ උපත කරා ත් එනවා. ඒ ධර්මය ඇසෙන මායිමේ ඉපදිලත් ඉන්නවා. 

නමුත් උපතින් ම මන්ද බුද්ධික යි. ඒ කෙනා ට මේ ධර්මය කෙරෙහි සිහිය පිහිටුවාගන්න බැහැ. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න පුළුවන්කමක් නැහැ. නුවණ මද යි. බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා අන්න ඒ කෙනාටත් ධර්මය අවබෝධ කර ගන්න අවස්ථාවක් නැති බව.


මිත්‍යා දෘෂ්ටිය
බුදු රජාණන් වහන්සේ පෙන්වලා දුන්නා බුද්ධ ශාසනයක් පවතින කාලෙක කෙනෙක් මනුෂ්‍ය ජීවිතයක් ලබනවා නමුත් ඒ කෙනා නියත මිත්‍යා දෘෂ්ටික යි. එයා පින් පව් විශ්වාස කරන්නේ නැහැ. මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. ඕපපාතික ව සත්වයන් ලෝකයේ උපදිනවා කියල පිළිගන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා ධර්මය ඇහෙන මායිමේ මිනිස් ජීවිතයක් ලබලා ඉපදිලා හිටිය ත් නියත මිත්‍යාදෘෂ්ටිය තුළ බැසගෙන ඉන්න කෙනා ට බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාව, ක්ෂණ සම්පත්තිය අහිමි වෙලා යනවා. දැන් බලන්න නියත මිත්‍යාදෘෂ්ටිය කියන්නේ කොයි තරම් භයානක දෙයක් ද, කියලා. ඒ කෙනා ට සම්පූර්ණයෙන් ම ධර්මය අවබෝධ කර ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා.

ප්‍රත්‍යයන්ත දේශය 
අක්ඛණ සූත්‍රයේ දි බුදු රජාණන් වහන්සේ පෙන්වලා දුන්නා බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මය දේශනා කරද්දි, සංසාර දුකින් නිදහස් වෙන මාර්ගය පෙන්වලා දෙද්දි, ඒ කෙනා නුවණ කල්පනා ව ඇතිව මිනිස් ජීවිතයක් ලබලා උපදිනවා. නමුත් එයා ඉපදිලා ඉන්නේ ධර්මය ඇහෙන්නේ නැති ප්‍රදේශයක. ඒකට කියනවා ප්‍රත්‍යයන්ත දේශය කියල. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මිනිස් ජීවිත ලබා ඉපදිලා ඉන්න මිනිසුන් ගෙන් කියෙන් කී දෙනා ට ද ධර්මය මාත්‍රයක් හරි අහන්න ලැබෙන්නේ. බෞද්ධයෙක් වෙලා ඉපදුණ ත් බොහෝ දෙනෙකුට ජීවිතය අවබෝධ කරන ධර්මය අහන්න ට ලැබෙන්නේ නැහැ.

මෙතෙක් කියා සිටියේ ධර්මාවබෝධය ලබා උතුම් නිවන සඳහා අවශ්‍ය  අංගයන් පිළිබඳ ව ය.

මේ මහාභද්‍ර කල්පය යි.
මහා භද්‍ර කල්පයක් යනු බුදුවරු පස නමක් ලොව පහල වන කල්පය යි. මීට පෙර තිබේ මණ්ඩ කල්පය තුළ සිඛී හා වෙස්සභු යන බුදුවරු දෙදෙනා වහන්සේ පමණක් ලොව පහල විය.  ඒ අන්ධකාර කල්ප තිහ අවසන් වූ පසු අපි ජීවත් වෙන මේ මහා භද්‍රකල්පය උදා විය. මේ මහා භද්‍රකල්පයේ මුලින් ම පහළ වූයේ කකුසඳ බුදු රජාණන් වහන්සේ යි. කකුසඳ බුදු රජාණන් වහන්සේ පහළ වෙන විට මේ ලෝකෙ මිනිසුන් ගේ ආයුෂ අවුරුදු හතළිස් දහසක් ව පැවතුණා. 
ඒ බුදු රජාණන් වහන්සේ ත් පිරිනිවන් පා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගත වූ පසු මිනිස්සුන් ගේ ආයුෂ ක්‍රමයෙන් අඩු වෙවී අඩු වෙවී ඇවිත් අවුරුදු තිස්දහස දක්වා අඩු වෙච්ච කාලෙක තමයි කෝණාගමන බුදු රජාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. කෝනාගමන බුදුරජාණන් වහන්සේත් සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ සත්වයන් ට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කර, සම්බුදු කෘත්‍ය අවසන් කර පිරිනිවන් පාන්න ට යෙදුනි.  කෝණාගමන බුදු රජාණන් වහන්සේ ගේ බුද්ධ ශාසනය ත් ශ්‍රාවකයන් අතින් අතුරුදහන් වෙලා ගිහින් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුනු පසු මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු විසිදහස දක්වා ක්‍රමයෙන් අඩු වන්න ට විය.  ඒ කාලෙදි කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ ත් මේ ලෝකය ට පහළ විය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේත් සම්බුදු කෘත්‍ය අවසන් කරල පිරිනිවන් පෑ පසු කාලයක් යද්දි ඒ බුද්ධ ශාසනය ත් ලෝකයෙන් අතුරුදහන් වෙලා ගියා. ඒ විදිහට අවුරුදු විසිදාහ ට තිබුණු මිනිස් ලෝකේ ආයුෂ ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙවී ඇවිල්ලා මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු එකසිය විස්ස දක්වා අඩු වුන කාලෙක තමයි අපි සරණ යන ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකය ට පහළ වෙන්නේ.  

මේ බුදුවරු දෙදෙනෙක් අතර කාල පරතරය ආසන්න වශයෙනි. එ සේ නම් අප මේ සසර තුළ කොපමණ වාරයක් ඉපදී ඉපදී මාරි මැරී පොළොව ට පස් වන්න ට ඇති ද? කොතරම් දුක් ප්‍රමාණයක් විඳින්න ට ඇති ද? නමුත් තවම ත් අපි ඒ සසර කතරේ ම යි.

මෙතේ බුදුන් හමුවේ නිවන් පතනා මෝඩයන් ට....
නැවත මේ බුදුසසුන අන්තර්ධාන වී මෙත් බෝසතුන් පහල වන සමයේ මිනිසුන් ගේ පරමායුෂ අවුරුදු 80,000 වන්නේ ය. එය සිදු වන්නේ දැනට තිබෙන ආයුෂ ක්‍රමයෙන් අඩු වී අවුරුදු 10 තෙක් අඩු වූ පසු නැවත ක්‍රමයෙන් ආයුෂ වැඩි වී යාමෙනි.  
මේ තරම් කාලයක් තුළ අප කොතැනක නම් ඉපදේවි ද? කොතැනක නම් නුපදී ද, යි කිව හැක්කේ කා ට ද? එ සේ නම් මේ බුද්ධෝත්පාද කාලය තුළ මිනිසත් භාවයක් ලබා, ක්ෂනසම්පත්ති ආදීන්ගෙන් ද, සමත් ව සිටින අප නිවන සඳහා පියවරක් හෝ තැබිය යුතු යි. මේ ලිපි පෙළ ඒ සඳහා ය.


ප්‍රඥාව ලබන මග.....    සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය.
ප්‍රඥාව ලබන්න මුල් වෙන මූලික ම කරුණු දෙකක් බුදුරජාණන් වහන්සේ  පෙන්වල් දෙනවා.  සද්ධර්ම ශ්‍රවණය ත්, යෝනිසෝමනසිකාරයත් කියන කාරණා දෙක. සද්ධර්ම ශ්‍රවණය කියන කාරණය අප ට ලැඛෙන්නේ කල්‍යාණ මිත්‍රයන් නිස යි. ඒ කියන්නේ ඒ කරුණා බාහිරින් අපි ට ලැඛෙන දේවල්. යෝනිසෝමනසිකාරය කියන්නේ ධර්මය ට අනූකුල ව නුවණින් විමසීමේ හැකියාව යි. ඒ හැකියාව තමන් විසින් ම තමන් ගේ ජීවිතයේ ඇති කරගත යුතු යි. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනා ධර්මය ට අනූකුල ව තමන් ගේ ජිවිතය ගොඩනගාගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් ආර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ. දවසක් බුදු රජාණන් වහන්සේ ගෙන් ආලවක යක්ෂයා විමසුවා, "කථංසු ලභතේ පඤ්ඤං" ප්‍රඥාව ලබන්නේ කොහොම ද? .

ඒ වෙලාවෙ බුදු රජාණන් වහන්සේ පිළිතුර දී වදාළේ,
"සද්දානෝ අරහන්තං ධම්මං නිබ්බානං පත්තියා සුස්සුතා ලභතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛනෝ"
බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා විසින් පෙන්වා දෙනු ලබන ධර්මය ශ්‍රද්ධාවෙන් අසාගෙන ඒ ධර්මයට අනුකූල ව අප්‍රමාදී ව යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් කටයුතු කිරීමෙන් ප්‍රඥාව ලැබෙන බව ය. එ නම් චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය තුළින් නිවන ට පත් වීම යි.


ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය.
යමෙකු ට ලැබෙන අතිශයින් දුර්ලභ තත්වයකි ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය. සද්ධර්මශ්‍රවනයෙන් තොර ව බුද්ධත්වය ලබා ගන්නා අතර සංසාරික සත්වයා දුකින් මිදවීම පිණිස ධර්මය දේශනා කිරීම සම්බුදුකෘත්‍යය වේ. මේ සඳහා අනිවාර්යයෙන් ම වෙනත් සම්මා සම්බුදුවරයෙකුගෙන් නියත විවරණ ලැබිය යුතු ය. එ තැන් පටන් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක්, අසංඛ්‍ය කල්ප ලක්ෂ අටක් හෝ අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයක් දස පාරමිතා පාරමිතා, උපපාරමිතා සහ පරමත්තපාරමිතා වශයෙන් ත්‍රිවිධාකාරයෙන් වැඩිය යුතු ය. සම්මා සම්බුදුවරුන් ද, පාරමිතා පුරන කාලසිමා අනුව ආකාර තුනකි. පෙර සඳහන් කළ අයුරින් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් පාරමිතා පුරන බෝසත්වරු බුද්ධත්වය ලැබූ පසු ප්‍රඥා අධික බුදුවරු ගණය ට අයත් වේ. අසංඛ්‍ය කල්ප ලක්ෂ අටක් පාරමිතා පුරා බුදුබව ට පත්වන විට ශ්‍රද්ධා අධික බුදුවරු ලෙස හැඳින්වේ. අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයක් පාරමිතා පුරා බුදුබව ට පත්වන විට වීර්යය අධික බුදුවරු ලෙස හැඳින්වේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අතරින් ප්‍රඥා අධික බුදුවරු ගණය ට අයත් වේ. මතු බුදුවන මෙත්බුදුන් අසංඛ්‍ය කල්ප ලක්ෂ දහසයක් පාරමිතා පුරා වීර්යාධික බුදුවරයකු ලෙසින් මතු බුදු වන්නේ ය. මේ සම්මාසම්බුද්ධත්වය පිළිබඳ ව ය.


පසේ බුද්ධත්වය.
සම්මාසම්බුද්ධත්වය ට පමණක් දෙවැනි වන උතුම් පදවියකි. පසේ බුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ ද, සද්ධර්මශ්‍රවනයෙන් තොර ව ය. නමුත් ධර්මය දේශනා කිරීමේ හැකියාව පසෙබුදුවරුන් ට නැත. පසේබුද්ධත්වය සඳහා අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක් තුළ පාරමිතා සහ උපපාරමිතා පිරිය යුතු ය.  තව ද, පසේබුදුවරු එකවර විශාල සංඛ්‍යාවක් ලොව පහල වන බව ඉසිඟිලි සුත්‍රය තුළින් පැහැදිලි වේ. සම්මාසම්බුදුවරයකු ගේ ශාසනය ලොව පවතින සමයක පසේබුදුවරු පහල නො වන බව ද, දක්වා තිබේ. 

අරහත්වය.
මෙය ශ්‍රාවකත්වයෙන් ම එ නම් සද්ධර්මශ්‍රවනයෙන් ම ලැබෙන අවබෝධය යි. මේ සඳහා පාරමිතා සම්පුර්ණ කළ යුතු නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැත. පාරමිතා ආකාර තුනෙන් පාරමී කොටස පමණක් සම්පුර්ණ කර අරහත්වය ට පත් විය හැකි ය. අරහත්වය ට පත් උතුමන් ට ද, ධර්මය දේශනා කිරීමේ හැකියාව පවතී.

නිවන් දැකීම හා නිවන් දක්කාගෙන යාම.
අප ට කැමති වෙලාවක කැමති බෝධියකින් නිවන් දැකිය නො හැකි බව සමහර දෙනා වටහාගෙන නැති බව පෙනෙන්න ට ඇති කරුණකි. ඒ සඳහා පාරමිතා ධර්මයන් නියමිත කාලයක් සපුරා තිබීම, බෝධිපාක්ෂික ධර්ම දියුණුකරගෙන සිටීම, සසර තුළ භාවනා වඩා ඇතිකරගෙන තිබෙන පුරුද්ද වැනි දේ අනිවාර්යවශයෙන් බලපානු ලබයි. ගොවියෙක් සත්මසකින් ඵල නෙලිය හැකි වී වර්ගයක් වපුරයි නම් ඔහු ට අනිවාර්යයෙන් ම ඵල නෙලිය හැකි වන්නේ සත්මසක් ගත වූ පසු ය. වැඩියෙන් ජලය යෙදුව ද, පොහොර වැඩියෙන් එකතු කළ ද, සත්මසක ට පෙර ඵල නෙලිය හැකි වන්නේ නැත. නමුත් මාස හතක් වනතෙක් ඔහු එය ට අවශ්‍ය සාධක එක් කරමින් කුඹුර රැකබලාගත යුතු ය. ඒ අයුරිනි නිවන් දැකීම. අප ට හදිස්සි වූ පමණින් නිවන් යාම ට නො හැකි ය. නමුත් අප නිවන සඳහා තබන පියවරක් පියවරක් පාසා ම එය නිවන සඳහා අප කැඳවාගෙන යයි. නිවන පිණිස ම උපනිශ්‍රය වේ. එ සේ නම් බුදුරදුන් වැඩසිටි සමයේ සියලු මිනිසුන් නිවන සාක්ෂාත් කළ යුතු ය. නමුත් එය එ සේ නො වන්නේ ඊට අවශ්‍ය ගුණධර්ම සපුරා නො තිබීම නිසා බව ඔබ ට අවබෝධ වනු ඇත. එ බැවින් කිසිවකු ට නිවන් දක්කාගෙන යාම ට නො හැකි බව ත්, ඒ සඳහා තමන් ම උත්සාහවත් වියයුතු බව ත්, කිව හැකි ය.


මෙ ම ධර්මදේශනාව ශ්‍රවනය තුළින් ඒ පිළිබඳ ව මනා ව අවබෝධ වනු ඇත.
[ මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි.]

නිත්‍ය වන නිවන සඳහා පෙන්වා දී ඇති මග, චතුරාර්ය සත්‍යය හා සංයෝජනයන්ගෙන් මිදෙන විට ඇති වන සෝවාන්, සකදාගාමී, අනාගාමි, රහත් තත්වයන් පිළිබඳ මීළඟ ලිපිවලින් කරුණු  ඉදිරිපත් කෙරේ.
තෙරුවන්  සරණ යි!

මුලාශ්‍ර වූ ග්‍රන්ථයන්:- 
  1. "මේ ජීවිතයේ දී ම මග ඵල ලබන මග"  (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි)
  2. "නිර්වාණ විනිශ්චය" (අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි)

3 comments:

  1. 2550 X 20,000 = 850,000
    60
    මේ බුදුවරු දෙදෙනෙක් අතර කාල පරතරය ආසන්න වශයෙනි. එ සේ නම් අප මේ සසර තුළ කොපමණ වාරයක් ඉපදී ඉපදී මාරි මැරී පොළොව ට පස් වන්න ට ඇති ද? කොතරම් දුක් ප්‍රමාණයක් විඳින්න ට ඇති ද? නමුත් තවම ත් අපි ඒ සසර කතරේ ම යි.

    මේ සියළු ගණනය කිරීම් ඉතා කුඩා සංඛ්‍යයා,
    මේ ඔබේ වැටයීම් නේ, ඒ නිසා ඒවා හරි කියල හිතන්න එපා,
    ඔබ හිතන විදිහට ආයුෂ අඩු වෙන්නෙ නෑ,
    ඒ නිසා කිසිවිටක බුදු මුවින් නොකී දෑ එක්කර ඔබේ වටිනා කාර්යයේ අගය අඩු කරගන්න එපා!
    නිරතුරු දහමම බෙදන්ට ඔබට සවිය ලැබේවා!
    තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණ යි! මිතුර,
      එය වැරදි බව මම ද, පිළිගනිමි. එ බැවින් එය ඉවත් කරන ලදී.
      වරද පෙන්වාදීම වෙනුවෙන් ඔබ ට බොහොම පින්.
      තෙරුවන් සරණ යි!

      Delete
    2. සාදු සාදු මිත්‍රයා, වරද වරද වශයෙන් වටහා ගැනීම දියුණුවට හේතු වෙනවා,
      හැකි නම් සංයුත්ත නිකාය දෙකේ අනමතග්ග සංයුත්තයේ ඇති දේශනා ටික මේ සඳහා යොදාගන්න,
      ඒවා කියවන විට මහත් සංවේගයක් උපදිනවා, සසර ගැන බය උපදිනවා,

      Delete

Related Posts Plugin for WordPress, Blogger...