Thursday, February 16, 2012

නිවන කරා.... (02 - කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පෙර ලිපියෙන් ඉදිරිපත් කළ කරුණු සංක්ෂිප්ත ව සිහිපත් කරමින් මේ ලිපිය අරඹමි. නිවන් යන්නේ ඇයි, සංසාරය, බුද්ධෝත්පාද කාලයක පවා නිවන ට පත් නො විය හැකි බාධක, මේ මහාභද්‍ර කල්පයේ බුදුවරු සහ නිවන ට පත් වියහැකි තත්ව පිළිබඳ විස්තර එ ම ලිපියෙන් සාකච්චා කරන්න ට යෙදුනි. මෙ ම ලිපියෙන් මූලික ව අවධානනය යොමු කරන්නේ නිවන පිළිබඳ මුලික ප්‍රවේශයක්‌ ලබා ගැනීම සහ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ව යි.


නිවනේ නිත්‍ය බව....
ලෝකයේ සංඛත සහ අසංඛත ධර්මයන් ලෙස කොටස් දෙකක් ඇත.  නිවන හේතු නිසා ඇති නො වන බැවින් සංඛත ධර්මයන් ගය ට අයත් වේ.  හේතු නිසා ඇති වන සියල්ල හේතුවල විනාශ වීම ත්, සමග ම විනාශ වේ. නමුත් නිවන එ සේ නො වන බැවින් නිත්‍ය වේ.

නිවන යනු කුමක් දැ යි පළමු ව විමසීම ට පෙර එ හි භාෂාමය අරුත තේරුම් ගනිමු. නිර්වාණය ලෙසින් සංස්කෘත බසින් ද, නිබ්බාන යනුවෙන් පාලි බසින් ද, හැඳින්වෙන්නේ නිවන ම ය.  

නි + වාන = නිබන = නිබ්බාන ලෙසින් නිර්මාණය වී ඇති අතර මෙ හි "නි" යනු නික්මීම යි. "වාන" යනු තෘෂ්ණාව යි. තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන් නික්මීම නිවන වේ.  නිවන ට පත් වීම ට හැකි අවස්ථා තුනක් පිළිබඳ ථෙරවාදී බුදුසමයේ විස්තර කෙරෙනවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ සහ රහත් තත්වය ට පත් වීමෙන් නිවන ට පත් විය හැකි ය. මේ තුන් ආකාරයෙන් කුමන හෝ ආකාරයක ට නිවන් අවබෝධ කර ගත්ත ද, නිවනේ නිත්‍ය බව, ස්වභාවය කිසි ම අයුරකින් වෙනස් නො වේ.

ආර්ය සත්‍යය.
සංසාර දුකින් නිදහස් වීම පිණිස අවබෝධ කළ යුතු සත්‍ය හතරක් පිළිබඳ බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. මේ ආර්ය සත්‍යය අවබෝධය නිවන් අවබෝධය ම වේ.

1. දුක්ඛ සත්‍යය (දුක නමැති ආර්ය සත්‍යය)
2. දුක්ඛ සමුදය සත්‍යය (දුක් හට ගැනීම නමැති ආර්ය සත්‍යය)
3. දුක්ඛ නිරෝධ සත්‍යය (දුක නැතිවීම නමැති ආර්ය සත්‍යය)
4. දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය (දුක නැතිවිමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය.)

දුක්ඛ සත්‍යය 
දුක කියන්නේ කුමක් ද කියල බුදු රජාණන් වහන්සේ ඉතාමත් ම විස්තරාත්මක ව අප ට පෙන්වලා දිලා තියෙනවා. "මහණෙනි, තථාගතයන් වහන්සේ දුක හැටියට හැදින්වූයේ කුමක් ද? එ නම් ඉපදීම දුකකි. ජරාවට පත් වීම ද, දුකකි. රෝගපීඩා වැළදීම ද දුකකි. මරණය ට පත් වීමද දුකකි. සෝක වැළපීම කායික මානසික දුක් දොම්නස් ආදිය විදින්න ට සිදුවීම ද දුකකි. ප්‍රියයන්ගෙන් වෙන් වීම ද දුකකි. අප්‍රියන් සමග එක් වීම ද දුකකි. කැමැති වූ යමක් ඇද්ද ඒ දෙය නො ලැබීම ද, දුකකි. හකුළා කිව්වොත් පංච උපාදානස්කන්ධය ම දුකකි"
  • ඉපදිම දුකකි.
ඉපදීම දුකයි කියන කාරණය බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය තුළින් ම නුවණින් විමසා ඉපදීම දුකක් කියල තේරුම් ගන්න කල් බොහෝ දෙනෙක් කැමැති වෙන්නේ ආයෙ ආයෙමත් ඉපදි ඉපදී මේ සංසාරේ දිගින් දිග ට ගමන් කිරීම ට යි.

සත්වයන් උපදින ආකාරයන්
1. අන්ඩජ (බිත්තර ඇතුළින් උපදින සත්වයන්.)
2. ජලාබුජ (මව්කුසවල් තුළින් උපදින සත්වයන්, මව් කුසින් උපදින්නේ මිනිස්සු විතරක් නෙමෙයි. බොහෝ තිරිසන් සතුන් ඉපදෙන්නෙත් මව්කුසවල් තුළිනුයි.)
3. සංසේදජ (තෙත් පරිසරයවල් ඇසුරු කරගෙන උපදින සත්වයන්.)
4. ඕපපාතික (කර්මානුරූපව ඕපපාතික ශරීර ඇතුව උපදින සත්වයන්)

සත්වයන් උපදින මේ ආකාර හතරින් මව් කුසින් ඉපදුනත්, බිත්තරයක් ඇතුළින් ඉපදුනත්, තෙත් පරිසරයකින් ඉපදුනත්, එහෙමත් නැත්නම් ඕපපාතික ව ඉපදුනත් ඒ ඉපදීම දුකක් ම යි. ඒ හැම සත්වයෙක් තුළ ම ඉපදිලා තියෙන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ආයතන හයක්. එහෙමත් නැත්නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධයක්. දැන් ඔබ තමන් තුළින් බලන්න තමන් ට ඉපදිලා තියෙන්නේ මොනවද? කියල. තමන්ට ඉපදිලා තියෙන්නෙත් ඔය කියපු ඇස් කණ් ආදී ආයතන හයකුත්, ඒ ආයතන හය මුල්වෙලා හට ගන්න පංච උපාදානස්කන්ධයකුත් විතරයි. ඉපදීම දුකක් ය කියන කාරණය යථාර්ථයෙන් ම දැක අවබෝධ නො කළ නිස යි අවිද්‍යා සහගත සත්වයා ආයෙ ආයෙමත් ඉපදි ඉපදී මේ සංසාරේ දිගින් දිග ට ම යන්න කැමති වන්නේ.

බුදු රජාණන් වහන්සේ වදාළා "ඒ ඒ සත්වයන් ගේ, ඒ ඒ සත්ව ලෝකවල යම් උපතක් ඇද්ද, සත්වයන් ගේ යම් හට ගැනීමක් ඇද්ද, මව් කුස තුළ බැස ගැනීමක් ඇද්ද, විශේෂ උපතක් ඇද්ද, පංච උපාදානස්කන්ධයන් ගේ පහළ වීමක් ඇද්ද, ඇස, කණ, නාසය, දිව, කය, මනස ආදී ආයතනයන් ගේ ලැබීමක් ඇද්ද සත්වයන් ගේ ඉපදිම යනු මෙය යි" හැම සත්ව කොට්ඨාසයක් ඇතුළත් වන ආකාරයට බුදු රජාණන් වහන්සේ ඉපදීම කියන කාරණය නිර්වචනය කර ඇති බව ඔබ ට අවබෝධ විය යුතු ය.

අනාගාමී ඵලයට පත් වුන ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කළා -මම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉතුරු කෙලෙස් ටික එහේදි ප්‍රහාණය කරලා පිරිනිවන් පානවා- කියා. මේ සිතුවිල්ල දැක්ක බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂුවට කථාකරලා ලස්සන උපමාවකින් අවවාද කළා. බුදු රජාණන් වහන්සේ ඇහුවා "භික්ෂුව, අසුචි ගොඩක් තිබුණත්, පොඩ්ඩක් තිබුණත් ගඳේ වෙනසක් තියෙනව ද?" කියල. -නැහැ- කිව්වා.

බුදු රජාණන් වහන්සේ වදාළා ඉපදීම දුක යි කියන කාරණය එක් වතාවක් ඉපදුණත් දුක යි කියලා. බුදු රජාණන් වහන්සේ විසින් ඉපදීම දුකක් ය කියලා පෙන්නලා දුන්න කාරණය කොයි තරම් සත්‍යයක් ද?

උපන්නා වූ සත්වයන් ගේ ස්වභාවය තමයි ජරාවට පත් වීම. අපි ගත්තොත් කෙනෙක් මව් කුසෙන් උපදින කොට ම ඒ කෙනා ගේ සම රෝස පෙති වගේ සියුමැලි යි. මේ දරුවා ටිකෙන් ටික ලොකු මහත් වෙලා ළමා වයස ට එනවා. තරුණ වයස ට එනවා. ඊට පස්සේ ටිකෙන්
ටික තරුණ වයස මෝරලා මැදි වයස ට එනවා. දැන් අර ළමා කාළයේ තිබුණ, තරුණ කාලේ තිබුණ ශරීරය නෙමෙයි දකින්න ට තියෙන්නේ. දැන් ටිකෙන් ටික කළු පාටට තිබුණ කෙස් ටික සුදු වෙවී ගැලවි ගැලවී යනවා. දත් ටික එකින් එක වැටි වැටී යනවා. හම ටිකෙන් ටික ගොරෝසු වෙලා රැළි වැටෙන්න පටන් ගන්නවා.
 

වයස ට යද්දි හම රැළි වැටිලා නහර වැල් මතුවෙලා අතපය හරියට වේලිච්ච උණ බට වගේ ඇකිළිලා යනවා. කොණ්ද කුදු ගැහෙනවා. තව දුර ට ත් වයස ට යද්දි මේ ශරීරය ඇවිද ගන්න බැරි මට්ටම ට දුර්වල වෙලා එක තැන ම මළ මුත්‍රා කරගෙන ඉන්න මට්ටම ට පත් වෙලා වේලිච්ච දර කඳක් වගේ ඇඳගෙන වැටෙනවා. මෙන්න මේ කාරණය මේ ලෝකේ උපදින හැම සත්වයෙකුට ම උරුම වූ පොදු ධර්මතාවයක්.
කියවන්න ~ ඵෙණුපමං කායමිමං විඳිත්වා

කෙනෙකු ට හිතෙන්න පුළුවන් ජරාව ට පත් වෙනවා කිව්වම මනුස්සයන් විතරයි ජරාව ට පත් වෙන්නේ කියල. තිරිසන් ලෝකයේ තිරිසන් සත්තු ජරාවට පත් වෙලා දුක් විඳීන ආකාරය. මෙ ම වීඩියෝව තුළින් නිරුපණය වන්නේ ද, මේ කරුණ පිළිබඳ ව ය.



බුදු රජාණන් වහන්සේ පෙන්වලා දුන්නා දෙවියන් බ්‍රහ්මයන් ආදී ඕපපාතික ව උපදින සත්වයන්ට පවා මේ ජරාව ට පත් විම පොදු ධර්මතාවයක් කියලා. දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු ජරාවට පත් වෙන ආකාරය ගැන ඛුද්දක නිකායේ පුබ්බනිමිත්ත සුත්‍රයේ  සදහන්. බුදු රජාණන් වහන්සේ වදාළා දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරුන් ජරාවට පත් වෙද්දි දෙවියන් ගේ දිව්‍යමය ශරීරවලින් මෙබදු ලක්ෂණ පහල වන බව.

1. දෙවියන් පැළඳගෙන සිටින දිව්‍ය මල්මලා පර වී යාම.
2. දිව්‍ය සළුපිළි කිලිටි වී යාම
3. දෙවියන් ගේ දිව්‍යමය ශරීරවලින් දහඩිය වැගිරීම.
4. දිව්‍යමය ශරීරවල තිබෙන පැහැපත් බව වී දුර්වර්ණ වී යාම
5. දිව්‍ය විමානවල සිත නො ඇලීම.

  • මරණය දුකකි.
මරණය දුකක් කියන කාරණය නම් බොහෝ දෙනෙකු ට තේරෙනවා. උපන්නා වූ හැම සත්වයෙක් ම මරණයට පත් වෙනවා. මරණයෙන් වැළකිලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ නැහැ. මරණය නමැති දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ දුක අවබෝධ කරල මිසක් නො මැරී ජීවත් වෙන්න පුළුවන් ක්‍රම ගැන පර්යේෂණ කරල නෙවෙයි. උපන්නා වූ සත්වයන් නොයෙකුත් හේතු නිසා මරණයට පත් වෙනවා. වයස ට යාම, අනතුරු, ලෙඩදුක් ඇති වීම වැනි දේවල් නිසා මරණය ට පත් වන බව එදිනෙදා ජීවිතයෙන් පවා  ඕනෑ තරම් නිදසුන් හමු වෙනවා.

මේ ආකාරයෙන් ඉතිරි කරුණු පිළිබඳ ව ද, සිතිය යුතු ය. ඒ සියල්ල පිළිබඳ විස්තර ඉදිරිපත් කළහොත් ලිපි ගණනාවක් ම ලිවීම ට තරම් කරුණු ඇත.

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය.
බුදු රජාණන් වහන්සේ දුක හට ගැනීම හැටියට පෙන්වලා දුන්නේ තණ්හාවේ හට ගැනීම යි.

"මහණෙනි, අවිද්‍යාවෙන් වැසුනු තණ්හාවෙන් බැදුනු ඇවිදින්නා වු සැරිසරන්නා වු සත්වයා ගේ මේ සංසාරය නො දක්නා ලද අග ඇත්තේ වේ ද මුල් කොනත් නො දකියි ද එ හෙයින් මහණෙනි මෙ සේ තොප විසින් දුක් අනුභවකරන ලදි. දැඩි දුක් අනුභවකරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහාණනි, මේ සියලු සංසකාරයන් කෙරෙහි. කලකිරීම ට සුදුසු ම ය. නො ඇලීම ට සුදුසු ම ය. ඔවුන්ගෙන් මිදිම සුදුසු ම ය."
(මජ්ජිම නිකාය~දුග්ගත වග්ගය)

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය.

"මේ ලෝකයේ ප්‍රිය ස්වරූපයෙන් යුතු මිහිරි ස්වරූපයෙන් යුතු දේ කෙරෙහි හට ගත්තා වූ යම් තණ්හාවක් ඇද්ද, ඒ තණ්හාව ඉතිරි නැති ව නො ඇල්මෙන්, ඉතිරි නැතිව මුළුමණින් ම නිරුද්ධ කර දැමීමක් වේ ද (අසේසවිරාගනිරෝධා) අත්හැර දැමීමක් වේ ද (චාගෝ) දුරින් ම දුරු කර දැමීමක් වේ ද (පටිනිස්සග්ගෝ) ඒ තණ්හාවෙන් නිදහස් වීමක් වේ ද (මුත්ති) ඒ කෙරෙහි ආලය රහිත වීමක් වේ ද (අනාලයෝ) එය දුකෙ හි නිරුද්ධ වීම වේ."

දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් මෙය හඳුන්වයි.බෞද්ධ සියලු දෙනා මේ පිළිබඳ කරුණු දන්නා නමුත් එය ජීවිතය ට එක් කර නො ගැනීම නිසා විශාල ලෙස පරිහානිය ට පත් ව ඇත. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ සංක්ෂිප්ත වශයෙන් මෙ සේ ය.

1. සම්මා දිට්ඨි
ජීවිතාවබෝධය පිණිස උපකාර වන චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කර ගත් අවබෝධ ඥානය.

2. සම්මා සංකප්ප
කාම සංකල්පනාවලින් තොරව, ව්‍යාපාද සංකල්පනාවලින් තොරව, හිංසා සංකල්පනාවලින් තොර ව, ජීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරය ට කල්පනාව හැසිරවීම යි.

3. සම්මා වචා
බොරු කීමෙන් වැළකිලා, කේලම් කීමෙන්, පරුෂ වචන කීමෙන්. හිස් වචන කීමෙන් වැළකිලා ජීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරයට කථා බස් කිරීම.

4. සම්මා කම්මන්ත
සතුන් මැරීමෙන් වැළකිලා, සොරකම් කිරීමෙන් වැළකිලා, වැරදි කාම සේවනය යෙදීම ආදී කායික ව සිදු වන දුසිරිත් ක්‍රියාවලින් වැළකිලා ඡීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරයට කායික ක්‍රියා පැවැත්වීම.

5. සම්මා ආජීව
ජීවත් වීම පිණිස සිදු කරනු ලබන මිත්‍යා ආජීවයෙන් වැළකිලා යහපත් ක්‍රමවලින් ආදායම් උපයමින් ජීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරයට යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම.

6. සම්මා වායාම
ජීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරයට අකුසල ධර්මයන් බැහැර කරමින් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස බලවත් උත්සාහයක්, වීරියක් ඇති කර ගැනිම.

7. සම්මා සති
ජීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරයට සතර සතිපට්ඨානය කෙරෙහි යොමු කරන ලද බලවත් සිහියක් පවත්වා ගැනීම.

8. සම්මා සමාධි
ජීවිතාවබෝධව පිණිස උපකාර වන ආකාරයට සිතේ එකඟ බවක් ඇති කර ගැනීම.


ආර්ය අෂ්ඨාංගික මාර්ගය ට ඇතුල් වෙන්න තියෙන්නේ සම්මා දිට්ඨියෙනුයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ ව සත්‍ය ඥානය ට පැමිණි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ට මුලින් ම පැමිණි කෙනා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ලෙස හඳුන්වනවා. "සෝත" කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ට යි. "ආපන්න" කියන්නෙ පැමිණීම ට යි.  ආර්ය අෂ්ඨාංගික මාර්ගය ට පැමිණෙන්න  සෝතාපන්න විය යුතු යි.


සංයුත්ත නිකායේ මග්ග සංයුක්තයේ ඇතුළත් වන විරද්ධ සූත්‍ර දේශනාවේ දී බුදු රජාණන් වහන්සේ වදාළා යම් කිසි කෙනෙක් මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වරද්දා ගන්නවා නම් ඒ කෙනා මනාකොට දුක් ගෙවාදමන මේ නිවන් මාර්ගය ම වරද්දවා ගත්ත කෙනෙක් බව. එ බැවින් අරිඅටඟි මග පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇතිකර ගැනීම පළමු ව සිදු කළ යුතු ය.

දුක, දුක ට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය සත්‍ය සතර පිළිබඳ ව විස්තරයක් මෙ ම ලිපියෙන් ඉදිරිපත් කළ අතර මීළඟ ලිපි තුළින් නිවන පිළිබඳ කරුණු තවදුර ට ත් විමසා බැලේ.

තෙරුවන් සරණ යි! 


මුලාශ්‍ර වූ ග්‍රන්ථයන්:- 
  1. "මේ ජීවිතයේ දී ම මග ඵල ලබන මග"  (පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි)

6 comments:

  1. masoya soya siti karunu tikak adamata kiyawanna \lebuna onata godak pin putha meveni godak dharma karunu reskaragenimatath ewa thawa thawa liya prechareya kirimatath obata thawa thwath dhairyaya saha shakthiya lebewa.
    anty millagahawatta
    .

    ReplyDelete
    Replies
    1. මෙය කියවා යමක් එක් කරගන්නා ඔබ සැම ට ත්, උතුම් චතුරාර සත්‍ය අවබෝධය පිණිස ම මෙය හේතු වේ වා!
      අප ගේ නවතම වෙබ් අඩවිය ට පිවිසිමෙන් ධර්ම දේශනා සහ තව ත් බොහෝ ධර්ම කරුණු ජීවිතය ට එක් කරගත හැකිවනු ඇත.
      http://buddharashmi.buddhistculture.net/
      තෙරුවන් සරණ යි!

      Delete
  2. mema vatina karunutika liyapu obata godak pin....

    ReplyDelete
  3. meweni ilpi digatama liyanna obata shakiya lebewa ,obata triviada rathnaye pihiti

    ReplyDelete
  4. meweni lipi nokadawa pala karanna obata trivida rathnaye pihitai

    ReplyDelete
  5. ඔබට තෙරුවන් සරණයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...