Saturday, April 14, 2012

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින් (04 - කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වාසනාවකට හෝ අවාසනාවකට හෝ අප  ගේ ඇස ට පෙනෙන්නේ පෙනිය යුතු දේවල් පමණයි. අප ට නො පෙනෙන දේ කොතරම් ඇති ද? මිනිසා ට පෙනීම ඇතිවන ක්‍රියාවලිය විද්‍යාවෙන් දීර්ඝ ලෙස විස්තර කළ හැකි නමුත් මෙය ඊට අවස්ථාව නො වේ. 

කෙටියෙන් කියතොත් ප්‍රේතයන්, දෙවියන් වැනි ජීවී කොට්ඨාස අපේ ඇසින් දැකිය නො හැකි වන්නේ අප ගේ ඇස් සංවේදී වන්නේ තරංග සංඛ්‍යාතය 400nm සිට 750nm පමණ පටු වූ දෘෂ්‍ය ආලෝකයේ සංඛ්‍යාතයන් සඳහා පමණක් වීම නිසා ය. 
ඒ පිළිබඳ තවදුරට ත් කරුණු අවශ්‍ය නම් මෙ ම ලිපිය ද කියවන්න. බොහෝ දෙනා මෙ වැනි දේ බැහැර කරමින් මිත්‍යාවන් බව ප්‍රකාශ කරන්නේ ද, මිනිස් ඇස ට නො පෙනෙන අතට අසු නො වන බැවිනි. අපේ ඇස්වලින් අපි දකින ඇතැම් ඒවා මිත්‍යාවකි. හොඳ ම උදාහරණය අපි කවුරුත් දන්නා මිරිඟුව. අපේ ඇස්වලින් ඇතැම් විට නො පෙනෙන දේ සත්‍යයකි. ප්‍රේත ලෝකය පිළිබඳ ව ද, දැනගත යුත්තේ ඒ අයුරිනි.

(01 - කොටස)
(02 - කොටස)
(03 - කොටස)

පෙර ලිපි ත්‍රිත්වයෙන් ප්‍රේත වස්තුවේ උරගවග්ගය, උබ්බරීවග්ගය සහ චුලවග්ගය යන කොටස් හි සඳහන් වන කතා පිළිබඳ විස්තර කෙරිනි. "ඇස  නො දුටු ලොවක තතු බොදු ඇසින්" ලිපි පෙළේ අවසන් ලිපිය තුළින් අප ඉදිරිපත් කරන්නේ ප්‍රේතවස්තුවේ මහාවග්ගයේ ඇතුළත් ප්‍රේතයින් පිළිබඳ ව ය.


අම්බසක්ඛර ප්‍රේතයාගේ කථාව

වැදැරජුන් ගේ විශාලා නම් වු නුවරක් ඇත්තේ ය. එ හි අම්බසක්ඛර නම් වු ලිච්ඡවී රජෙක් විය. ප්‍රේතයෙක් කී කාරනය දැනගනු කැමැත්තේ නුවරින් පිටත සිටි ප්‍රේතයකු දැක එතන දී ම ඔහු විචාළේ ය.

මොහු ට නිදීමක් ද හිඳීමක්ද නැත. ඉදිරි ගමනක් හෝ පසු ගමනක් හෝ නැත. ආහාරයක් ද පානයක් ද කඩා කෑමක් ද, වස්ත්‍ර පරිභෝගයක් ද ඉඳුරන් හැසිරවීමේ ආශාවක් ද නැත.


 

මොහුට පෙර අනුකම්පා ඇත්තා වු යම් ඤතීහු ද දැක ඇසූ යම් මිත්‍රයෝත් වූවාහු ද ඔව්හු තුමූ දැන් ඔහු දක්නට වත් නො ලබත්. ඒ ජනයා විසින් හැර දමන ලද ආත්මභාව ඇත්තේ ය. මළ අය ට මිත්‍රයෝ නො වෙත්. මිත්‍රයෝ වස්තු විනාශය ට පත් පුරුෂයා අත්හැර දමත්. ධනය දැක මිත්‍රයෝ පිරිවරත්. සම්පත් ඇත්තාහට බොහෝ වූ ම මිත්‍රයෝ වෙත්.

සියලු අපභෝග පරිභෝග වස්තුවෙන් පිරිහුනු ස්වභාව ඇති දුක්පත් වු ලෙයින් වැකුණ ශරීරය ඇත්තා වු ඇතුළත පැලුන ශරීර ඇත්තේ තණ අග රැඳුනා වු පිණිබිඳු මෙන් අද හෝ හෙට හෝ ජිවිතයාගේ නිරුද්ධය වෙයි.

පින්වත් යක‍ෂය, මෙබඳු ම වු ඉතාමත් දුක ට පත් වු කොසඹ හුලෙ හි නංවන ලද්දහු ට යලි පින්වත ජිවත් වෙව, ජීවිතය ම ශ්‍රේෂ්ඨය යි කවර කරුණකින් නුඹ කියන්නෙ හි ද?

9පින්වත් රජ මේ පුරුෂතෙම මගේ සහලේ නැයෙක් විය. මම පූර්ව ජාතිය සිහි කරමි. මොහු දැක ලාමක ස්වභාව ඇති මේ පුරුෂතෙම නරකයෙ හි නො වැටේ වා යි මට කරුණා සිතක් විය.

පින්වත් ලිච්ඡවී රජතුමනි, පව් කම් කලා වු මේ පුරුෂතෙම මෙයින් චුත ව ජනයන්ගෙන් උත්සන්න වු දරුණු ස්වභාව ඇති මහත් දුක් ඇති මහත් සන්තාප ඇති කටුකවු බිය උපදවන්නා වු මහා නරකයෙ හි උපදී. මෙතෙම ඒකාන්තයෙන් ම දුක් වු අයහපත් වු භයජනක වු ඒකාන්තයෙන් ම තියුණු දුක් ඇති මහා නරකයෙ හි නො වැටේ වා. ඒ මහා නිරය ට වඩා මේ හුල ම නොයෙක් කොටස් වු අනුසසින් උතුම් වෙයි.

මෙතෙම මා ගේ මේ වචනය අසා නිරා දුක ට පමුණුවන ලද්දෙකු සේ ප්‍රාණය හැර ලන්නේ ය. එ හෙයින් ජීවිතයා ගේ නිරෝධය මා විසින් කරන ලද්දේ නො වේ වා යි මම ඔහු සමීපයෙ හි දී නො කියමි.

පුරුෂයා පිළිබඳ මේ කාරණය මා විසින් දැනගන්නා ලදී. ඉදින් තෝ අපට අවකාශ දෙන්නෙහි නම් අනිකක් ද විචාරන්ට කැමැත්තෙමු. එයත් විචාරමි. ඒ පිළිබඳ අප ට නො කිපිය යුතු යි.

එ හි දී ඒකාන්තයෙන් මා ගේ ප්‍රතිඥාවක් විය. අප්‍රසන්නයාහට නො කීම වෙයි. අකමැත්තෙන් ඇදහිය යුතු වචන ඇත්තෙකැ යි කියා කැමති පරිද්දෙන් මා විචාරව. යම් සේ ඉවසිය හැකිනම් කියමි.

යක්ෂය, මම යම් කිසිවක් ඇසින් දක්නෙම් ද, මම ඒ සියල්ල එ සේ ම අදහන්නෙමි. එය දැක ඉදින් නොම අදහන්නෙම් නම් මට නිග්‍රහ කරව.

ඔබ ගේ මේ ප්‍රතිඥාතොමෝ මට සැබෑවේ වා දැනගනු කැමැත්තේ කෝප වු සිත් නැත්තේ මවිසින් කියනු ලබන ධර්මය අසා යහපත් ප්‍රසාදය ලබව. නුඹ විසින් අසන ලද්දා වු යම් ධර්මයක් වේ ද යම් සේ අන්‍යයාත් දන්නේ වේ ද, යම් සේ මා විසින් දන්නා ලදද සියල්ල මම කියන්නෙමි.

අලංකෘත වු ශෙවත වර්ණ වු අශ්ව යානාවකින් හුල උන්නහු ගේ හමුවට පැමිණෙ හි ය. මේ යහන අද්භූත ය. දැකුම් කළු ය. මේ කිනම් කර්මයක්හු ගේ විපාකය වේ ද?

වේසාලී නම් ඒ නගරයා ගේ මැද මඩයුත් මාර්ගයෙ හි වළක් විය. මම පහන් සිත් ඇති ව සුදු වු එක් ගව හිසක් ගෙන මඩ වලෙහි බහාලීමි.

මේ මත්තෙහි අපි ද සෙස්සෝ ද පාදයන් තබා ගමන් කළෙමු. මේ යහන අද්භූතය දැකුම් කළු ය. ඒ කර්මයා ගේ මේ විපාකය වෙයි.

යක‍ෂය, තොපගේ ශරීර වර්ණය සියලු දිසාවන් බබුළුවයි. ශරීර ගන්ධය ද සියලු දිග හමයි. සෘධිය ට පැමිණියේ මහත් ආනුභාව ඇත්තෙ හි ය. යළි නග්නයෙක් වෙහි ය. කවර කර්මයක්හු ගේ මේ විපාකය වේ ද?

ක්‍රෝධ නැත්තා වු නිති පහන් සිත් ඇති ව සිලුටු වචනයෙන් ජනයා කථා කරමි. ඒ කුශලකර්මයා ගේ ම මේ විපාකය වෙයි. මාගේ දිව්‍යමයවු ශරීර වර්ණය නිතර බබළයි. පැහැදුනු සිත් ඇති මම ධර්මයෙ හි සිටියවුන් ගේ ඓශ්චර්ය්‍ය ද ගුණකීර්තිය ද දැක, ගුණකීර්තනය ද කරමි. ඒ කුශල කර්මයා ගේ ම මේ විපාකය වෙයි. මාගේ දිව්‍යමය වු හරීර ගන්ධය නිතර හමයි.

ක්‍රීඩාව ප්‍රයෝජනකොට ඇත්තේ සිනා අදහස් ඇතිව දුෂ්ට සිත් නැති ව තොටෙ හි ජලස්නානය කරන්නා වු යහළුවන් ගේ ගොඩ තිබුණු වස්ත්‍රයක් ගෙන සැඟවීමි. ඒ හේතුවෙන් නග්නවුයෙමි. දුක් පැමිණීම ද ඇතිවිය. යමෙක්තෙම ක්‍රීඩා අදහස් ඇති ව පවක් කෙරේ ද ඕහට මෙබඳු වු කර්ම විපාකයක් කියත්. යමෙක් වනාහි ක්‍රීඩා අදහස් නැති ව ලෝභාදියෙන් දූෂිත වු සිත් ඇති ව පව් කෙරේ ද ඒ අකුශල කර්මයා ගේ කොපමණ විපාකයක් කියත් ද?

යම් මනුෂ්‍යයෝ දූෂිත මනෝ විතර්ක ඇත්තාහු කයින් ද, වචනයෙන් ද, කිලුටුවූවෝ වෙත් ද, ඔවුහු තුමූ ශරීරයා ගේ බිඳීමෙන් පරලොව දි නිසැක ව නරකය ට පැමිණෙත්. සමහරු වනාහි සුගතිය බලාපොරොත්තු වෙමින් දන්දිමෙ හි ඇලුනෝ පිළිකුල් වශයෙන් සලකන ආත්ම භව ඇත්තාහු ද, ඔවුහු තුමු කය බිඳීමෙන් පරලොව දී නිසැක ව සුගතිය ට පැමිණෙත්.

තා විසින් කුශලාකුශල කර්මයා ගේ මේ විපාකය කියන ලදී. එය මම කෙ සේ දැන අදහන්නෙමි ද? මම කිනම් නිදසුනක් දැක එය ප්‍රතිඥා කරන්නෙම් ද? නැවත කවර පණ්ඩිතයෙක් මට මේ කරුණ විශ්වාස කරවන්නේ ද?

කුශලාකුශල කර්මයා ගේ මේ විපාකය යි ප්‍රත්‍යක්ෂ වශයෙන් අදහාගනුව. කුශලාකුශල යන දෙවැදැරුම් කර්මය අවිද්‍යමාන කල් හී සත‍වයෝ සුගතිය ට ගියෝ හෝ වෙතැ යි යන කරුණ කෙ සේ වන්නේ ද?

මේ මිනිස් ලොව ද මනුෂ්‍යයෝ කුසලාකුසල කර්මයන් නො කරන්නාහු නම් සුගතිය ට ගියාවුහෝ දුගතිය ට ගියාවුහෝ සත‍වයෝ නො වන්නා හ. මිනිස් ලොව හින ප්‍රණීතයෝ ත් නො වන්නා හ.

යම්හෙයකිනුත් මිනිස් ලොව දී මනුෂ්‍යයෝ කුශලාකුශල කර්මයන් කෙරෙත් ද, එහෙයින් සුගතිය ට ගියා වු හෝ දුගතිය ට ගියා වු හෝ මිනිස් ලොව හීන ප්‍රණීත බව ද වන්නේ ය.

සැපයා ගේ ද දුඛයා ගේ ද මිදිම ට සුදුසු වු කර්මයන් ගේ දෙවැදෑරුම් විපාකය දැන් කියත්. ඒ දෙවියෝ ඉඳුරන් හසුරුවත්, අඥණයෝ ඒ දෙක නො දක්නාහු නිරයා දී දුක ට පැමිණෙත්. තමා විසින් පෙර කරන ලද්දා වු කුශල කර්මයෝ මට නැත්තාහු ද, යළි වස්ත්‍ර ද සෙනසුන් ද ආහාරපාන ද දී පින් ලබන්නේ ද, එබන්දෙකු ත් මට නැත් ද, ඒ හේතුවෙන් නග්නවුයේ වෙමි. දුක් පැවතුම් ද ඇත්තේ විය.

ප්‍රේතය, යම් කරුණකින් හෝ වස්ත්‍ර ලබන්නෙ හි ද කිසිකරුණක් වන්නේ ද, ඉදින් කාරණයක් ඇත්නම් ඇදහිය යුතු වු මෙය මට කියව. හේතු සහිත වචනය අසමි.

මේ සමිපයෙ හි ධ්‍යන කරණසුළු සිල්වත් අර්හත් වු ක්ලෙශයන්ගෙන් මිදුනා වු ඉන‍ද්‍රිය සංවරයෙන් යුක්ත වු රක‍ෂා කරන ලද ප්‍රාතිමොක්ෂ සංවර ශිලය ඇති සිහිල් වු අග්‍රඵලය ට පැමිණියා වු කප්පින නම්වු භික්ෂු නමක් ඇත. මෘදු වු දාන ශීලීවු යහපත් වචන ඇත්තා වු යහපත් මුහුණ ඇති මනා ව දත් ආගම ධර්මය ඇති පමණ දැන කථා කරන පින්කෙත් වු මෛත්‍රී විහරණ ඇති දෙව්මිනිසුන් ට දක‍ෂිණාර්හ වු කප්පිනක නම් භික‍ෂු නමක් ඇත. සන්සුන් කෙලෙස් ඇති පහ වු මිත‍ථ්‍යා විතර්ක දුම් ඇති නිදුක් වු ආශා රහිත වු සර්ව භවදුකින් මිදුනා වු පහකරන ලද රාගාදී හුල් ඇති අහංකාරය රහිත වු අවංක වූ කෙලෙස් නැත්තා වු ක්ෂය කරන ලද සියලු ප්‍රපඤ්ච ඇති ත්‍රිවිද්‍යාව ට පැමිණියා වු ඤණයෙන් දීප්තිමත් වු කප්පිනක නම් භික්ෂු නමක් ඇත. ප්‍රකට නො වු දැක ද සුව සේ නො දතහැක්කා වු කප්පිනක නම් වු භික්ෂුනමක් ඇත. වජ්ජින් අතර උන්වහන්සේ ට දන්නෙකැ යි ව්‍යවහාර කරත්. ලෝකයෙ හි යක්ෂ භූතයො ද තෘෂ්ණා රහිත වු සුන්දර ශීලාදී ගුණවත් වු ඒ භික්ෂුව දනිත්. ගුණකියා හැසිරෙත්.

තෝ උන්වහන්සේ ට එක වස්ත්‍ර යුග්මයක් හෝ වස්ත්‍ර යුග්ම දෙකක් හෝ මා උදෙසා ඉදින් දෙන්නෙ හි නම් ඒ වස්ත්‍රයෝ පිළිගන්නා ලද්දෝ වන්නාහු නම් මනා පිළි ඇති මා ද තෙපි දක්නාහු.

කවර පෙදෙසක වසන්නා වු ශ්‍රමණයන් වහන්සේ අපි දැන් ගොස් දක්නෙමු ද ? ඒ කවරෙක් තෙම අප ගේ සැකය ද ඒ විචිකිත්සාව ද දෘෂ්ටි නමැති කටු ද, පහරකන්නේ ද?

කපිනච්චනා ප්‍රදෙශයෙ හි හුන්නා වු සත්‍ය නාම ඇති ආශ්චර්ය්‍ය වු ස්වකීය කෘත්‍යයෙ හි අප්‍රමත්ත වු මේ කප්පිනක භික්ෂුතෙම බොහෝ දෙවියන් විසින් පිරිවරණ ලදුව දැහැමි කථා දැන් කියයි.

මම එ සේ කරන්නෙමි. දැන් ශ්‍රමණයන් වෙත ගොස් වස්ත්‍ර යුග්මයකින් හන්දවන්නෙමි. ඒ වස්ත්‍රයෝ පිළිගන්නා ලද්දෝ වන්නාහු නම් වස්ත්‍රයෙන් සැරසුනා වු නුඹ ද දක්නෙමු.

පින්වත් ලිච්ඡවී රජ නො කල් හි පැවිද්දෙකු වෙත නො පැමිණේ වා යි ආයාචනා කරමි. යුෂ්මතුන් ගේ මේ ධර්මය නො වේ. එ හෙයින් ම සුදුසු කල් හි ඒ තන් හි ම රහසිගත ව හුන් තෙරහු බලව.

ඒ ලිච්ඡවි රජතෙම එ සේ ය යි කියා දාස සමුහයා විසින් පිරිවරණ ලදුව එ හි ගියේ ය. ඒ නුවර ට පැමිණ සිය නිවසෙ හි විසීම ට පැමිණියේ ය.

ලිච්ඡවී රජතෙම ඉක්බිති සුදුසු කාලයෙ හි ගෘහ කත්‍යයන්කොට ජලස්නානයකොට කා බී යහපත් කාලය ලැබ පරීක්ෂාකොට පෙට්ටියෙන් වස්ත්‍ර යුග්ම අටක් ගෙන්වී ය.

ඒ රජතෙම ඒ පෙදෙසට පැමිණ සන්හුන් සිත් ඇති පිණ්ඩපාතයෙන් පෙරලා වැඩමවු නැවතුනා වු සිහිල් වු රුක් මුල වැඩහුන්නා වු ඒ ශ්‍රමණයන් වහන්සේ දුටුවේ ය.
 

ඔහු වෙත පැමිණ නිරෝගි බව ද පහසු විහරණය ද විචාළේ ය. ස්වාමීනි, මම විශාලාමහනුවර ලිච්ඡවි රජවෙමි. අම්බසක්ඛර නම් වු ලිච්ඡවි රජ ය යි මා දනීත් ය යි කීයේ ය.

ස්වාමීනි, මා ගේ යහපත් වු මේ වස්ත්‍ර යුග්ම අට පිළිගනු මැනව. ඔබ වහන්සේ ට දෙමි. යම් සේ මම සතුටු සිත් ඇතිවන්නෙම් ද, ඒ කරුණෙන් ම මෙ තැනට පැමිණියෙමි.

ශ්‍රමණයෝ ද බ්‍රාහ්මණයෝ ද තොප ගේ නිවස දුරින් ම දුරුකරත්. නුඹ ගේ ගෘහ සමීපයේ දී පාත්‍රයන් බිඳීත්. නැවත සඟල සිවුරුද ඉරා දමත්. නැවත පා නැමැති කෙටේරිවලින් සමහර ශ්‍රමණයන් හිස යටිකුරු ව හෙලත්. තා විසින් කරන ලද මෙබඳු වු වෙහෙස ට පැවිදි වු ශ්‍රමණයෝ පැමිණෙත්.

තෝ තණ අගින් තෙල් බිඳක් වත් නුදුන්නෙ හි ය. මුළාවුවහු ට මාර්ගයවත් නො කියෙ හි ය. අන‍ධයා ගේ දණ්ඩතෙම හැරගත්තෙ හි ය. මෙබඳු වු තද මසුරු වු නො හික්මුනා වු තෝ නැවත කවර ගුණයකින් කුමක් දැක අප සමග සංවිභාග කෙරෙහි ද?

ස්වාමීනි, නුඹ වහන්සේ යමක් කියන සේක් ද, එය මම පිළිගනිමි. ක්‍රීඩා අදහස් ඇති ව දූෂිත වු සිත් නැති ව ශ්‍රමණයන් ට ද බමුණන් ට ද වෙහෙස කළෙමි. ස්වාමීනි, මෙය ද මා හට පව් ද වෙයි.

ක්‍රීඩා සිතින් පව්කම් රැස්කොට ප්‍රේතයෙක් තෙම අසම්පූර්ණ භොග ඇති යෞවනයෙන් යුක්ත වු තරුණයෙක් වූයේ නග්න භාවයට හිමි වි දුක්විඳීයි. ඊට වඩා අතිශයින් දුකක් මොහු ට කෙ සේ නම් වේ ද?

ස්වාමීනි, ඔහු දැක සංවේග වීමි. ඒ හේතුවෙන් මම නුඹ වහන්සේ ට වස්ත්‍ර දානය දෙමි. ස්වාමීනි වස්ත්‍ර යුග්ම අට පිළිගනු මැනව. මේ පින් ප්‍රේතයා ට පැමිණෙත් වා!

දන්දීම නොයෙක් ප්‍රකාරයෙන් ඒ කාන්තයෙන් පසස්නා ලදී. දෙන්නා වු ද නුඹ ට  ක්ෂය නො වන ස්වභාව ඇති වේ වා. නුඹ ගේ වස්ත්‍ර යුග්ම අට පිළිගනිමි. ප්‍රේතයා ට මේ දක‍ෂිනාවෝ පැමිණෙත් වා!

ඒ ලිචzඡවි රජ තෙමේ ඉන්පසු මුව සෝදාගෙන තෙරණුවන් ට වස්ත්‍ර යුග්ම අට දී ඒ වස්ත්‍රයෝද පිළිගන්නා ලද්දෝ ද වෙත් වා, වස්ත්‍රයෙන් සැරසුනා වු ප්‍රේතයා ද දකී වා.

සඳුන් සුනු ගල්වන ලද්දා වු ආජානෙය අසුපිට ට නැංගා වු උතුම් රූ ඇති මනාකොට හැඳගත් වස්ත්‍ර ඇති ව සැරසුන වු ජනයා විසින් පිරිවරණ ලද්දා වු මහත් යක‍ෂ සෘධියෙන් පැමිණියා වු ඔහු දුටුවේය.

ඒ ලිච්ඡවි රජතෙම ඔහු දැක සතුටු සිත් ඇති ව ඔද වැඩි සිත් ඇතිව තුටු පහටු සිත් ඇති ව අතිශය භාග්‍යසම්පන්න ශරීර ඇති ව සංදෘෂ්ටික වු කර්මය ද මහත් කර්ම විපාකය ද සියැසින් ප්‍රත්‍යක‍ෂ කොට දැක ඔහු වෙත පැමිණ මෙය කීයේ ය. මහණ බමුණන් ට දානය දෙන්නෙමි. මා ගේ දන් නො දිය යුතු වු කිසි වස්තුවක් නැත්තේ ය. යක්ෂය තෝ ද මට බොහෝ උපකාර වුයෙ හි ය.

ලිච්ඡවිය, නුඹ ද මට එක් කොටසක් වු වස්ත්‍ර දානය දුන්නේ ය. මේ දානය හිස් නො වෙයි. අමනුෂ්‍ය වු ඒ මම මනුෂ්‍ය වු නුඹ සමග ම සාක්ෂි කරන්නෙමි.

යක‍ෂය, මට යහපත් ගති ඇත්තෙක්ද නෑයෙක්ද පිහිටක් ද මිත්‍රයෙක් ද වෙහි ය. නැවත දෙවියෙක් ද වෙහි ය. මම ඇඳීලි බැඳ යාඤා කරමි. නුඹ නැවත ත් දැකීම ට කැමැත්තෙමි.

ඉදින් තෝ අශ්‍රධාවත් වන්නෙහි නම් තද මසුරු ස්වභාව ඇත්තෙ හි නම් මිත‍ථ්‍යා ප්‍රතිපන්න සිත් ඇති වන්නෙ හි නම් ඒ හේතුවෙන් ම මා දැකීම ට නො ලබන්නෙ හි ය. නුඹ දැක ද කථා ද නො කරන්නෙමි.

ඉදින් තෝ කුශල ධර්මයෙ හි ගෞරව ඇත්තේ වන්නෙ හි නම් දන්දිමෙ හි ඇලුනේ වී නම් ශරීරයෙ හි ආදීනව සලකන්නේවී නම් මහණ බමුණන්ට පැන් සැළක් මෙන් වන්නෙහි නම් මෙ සේ ඇති කල් හි මා දක්නට ලබන්නෙ හි ය.

නුඹ දැක ද කථාකරන්නෙමි. යුෂ්මතා ට යහපතක් වේ වා යමකු නිමිති කොට සාක්ෂි කළෙමු ද? හුල සිටි පුරුෂයා වෙත යාම හේතුකොට යයි සිතමු. මේ පුරුෂයා ද හුලෙන් වහා මුදව.

ඒ අපි එකිනෙකා සාක්ෂි කළෙමු ද හුල හිඳීන මේ තෙමේ ද වහා මිදුනේ වී නම් හෙතෙම සකස් කොට කුශල ධර්මයන් මනා සේ කරමින් ඒ නිරාදුකිනුත් මිදෙන්නේ ය.

අන් තැනෙක විනන්ද යුතු වු අකුශල කර්මයක් වන්නේ ය. එහු හා සමග ම සුදුසු කාලයෙ හි කප්පින්නක තෙරුන් වෙත පැමිණ හිඳ දාන සංවිභාග කොට ස්වමුඛයෙන් ම විචාරව.

හෙතෙම නුඹ ට මේ කරුණ කියන්නේ ය. ඒ භික්ෂුව මෙ තෙම පැමිණ දැනගනු කැමැත්තේ දූෂිත නො වු සිත් ඇති ව විචාරව. බහුශෘත වු හෙතෙම යුෂ්මතා විසින් අසන ලද්දා වු නැවත නො අසන ලද්දා වු ද සියලු කුශල ධර්මය දත් පරිද්දෙන් කියන්නේය.

ඒ රජතෙම එ හි දී අමනුෂ්‍යයා සමග රහසින් කථා කොට සාක්ෂිකොට ගෙන ලිච්ඡවීන් ගේ සමීපය ට ගියේ ය. නැවත ඒ ලිච්ඡවි රජතෙම රැස් ව හුන්නා වු පිරිස ට මෙ සේ කීයේ ය.

පින්වත්නි, මා ගේ එක වචනයක් අසත් වා. වරයක් යදින්නෙමි. කැමතිවන ලද අර්ථය ලබන්නෙමි. ශරීර දඬුවම් ඇති හුල තිබු පුරුෂතෙම රජු කෙරෙහි ඇලුන ස්වභාව ඇත්තේ ය. යම් දිනක පටන් හුල හිඳුවන ලද්දේ ද මේ තාක් විසි රැයක් පමණ විය. නොම ජීවත් වෙයි, මළේ ද නො වේ. මම ඔහු දැන් මුදවන්නෙමි. සමුහයා කැමති පරිද්දෙන් අනු දනීවා මොහු ද අනිකා ද වහා මුදනු මැනව. එ සේ කරන්නා වු ඔබ ට කවරෙක් නම් නො කරව යි කියන්නේ ද. යම් සේ දන්නෙ හි ද එ සේ කරනු මැනව. රුචි පරිද්දෙන් සමුහයා අනුදනී.

ඒ රජතෙම ඒ පෙදෙස ට පැමිණ හුල සිටි පුරුෂයා වහා මිදවීය. යහළුව, බිය නො වෙ ව යි කියා ද ඔහු ට කීයේ ය. වෙදුන් ද එළවා තැබී ය.

කරුණු දැනගනු කැමති වු ලිච්ඡවි රජතෙම සුදුසු කාලයෙ හි ඔහු හා සමග කප්පින්නක තෙරණුවන් වෙත පැමිණ දාන සංවිභාග කොට ඉදිරියෙහි හිඳ එ සේ ම උන්වහන්සේ අතින් විචාලේ ය.

හුල හිඳුවන ලද කළ රුදුරුකම් අත්විඳින ලද සිරුරු දඬුවම් ඇති මිනිස් තෙමේ රජුකෙරෙහි ඇලුම්ගති අත්තෙක. යම් දිනක හේ හුල හිඳුවන ලද නම් එ දා පටන් අද දක්වා විසිරැයක් පමණ ඉක්ම ගියේ ය.

ස්වාමිනි මා විසින් ගොස් දැන් ඒ පුරුෂතෙම මුදවන ලදී. මේ යක්ෂයා ගේ වචන මැ යි. යම් හේතුවකින් හෙතෙම නරකයට නො යන්නේ ද, කිසියම් කරුණක් වන්නේ ද?

ස්වාමීනි, ඉඳීන් කරුණක් ඇත්තේ නම් කියනු මැනවි ඇදහිය යුතු වු හේතු යුක්ත වචනය අසමු. මෙ හි දි කළ ඒ කර්මයා ගේ විපාකය නො විඳ වැනසීමක් ද ගෙවීමක් ද නැද් ද?

ඉඳීන් හෙතෙම කුශල කර්මයෙ හි මනා ව හැසිරෙන්නේ නම් සකස්කොට දිවා රාත්‍රී දෙකෙ හි අප්‍රමාද වන්නේ නම් හෙතෙම ඒ නිරා දුකින් මිදේනනේ ය. අකුශල කර්මය අන් තැනක දී වින්ද යුතු වන්නේ ය.

ස්වාමීනි, ඒ පුරුෂයා ගේ මේ අර්ථය දැනගන්නා ලදින් දැන් මට ද අනුතම්පා කළ මැනව බොහෝ නුවණැතියන් වහන්ස යම් සේ මම නිරය ට නො යන්නෙම් ද, එ සේ මට අනුශාසනා කරනු මැනව. අවවාද කරණු මැනව.

පහන් සිත් ඇති ව අද ම බුදුන් ද, ධර්මය ද, ආර්ය්‍ය සංඝයා ද, පිහිට කොට යන්න. එ සේ ම ශික‍ෂාව, පිළිබඳ වු පද පස ද කඩ නො කොට සමාදන් වෙව.

ප්‍රාණාතයෙන් වහා වෙන් වෙව. ලෝකයෙ හි නුදුන් දෙය දුරුකරව. මත්පැන් බොන්නෙක් නො වෙව. බොරු නො කියව. ස්වකිය භාර්යාව සමග සතුටු වෙව, නිරවද්‍ය වු සැපවිපාක වු, ආර්ය්‍ය වු මේ උත්තම අෂ්ටාංගයෙන් යුක්ත වු උපොසථ ශීලය ද සමාදන් වෙව.
 

සිවුරුද, පිණඩපාත ද, ගිලන්පස ද, බොහෝ පිරිකර ද සෙනාසන ද ආහාර ද, පාන වර්ග ද, කෑයුතු දෑ ද, වස්ත්‍ර හා සෙනසුන් ද විශේෂයෙන් ප්‍රසන්න සිතින් යුක්ත ව සෘජු ව පිළිපන්නවුන් විෂයෙ හි දෙව, සිල්වත් වු පහකළ රාග ඇති බහුශෘත වු භික්ෂුන් ද, ආහාර පාන වර්ගයෙන් සතප්ප ව, සෑම කල් හි පින් වැඩෙයි.

මෙ සේ ම කුශල කර්මයන් මනා ව කරමින් සකස් ව රෑ දාවල් අප්‍රමාද වුවාහු තෝ ඒ නිරා දුකින් මිදෙව. අකුශල කර්මය අන්තැනක දී වින්ද යුතු වන්නේ ය. බුදුන් ගේ සස්නෙ හි ඇලුනා වු සිල්වත් වු බහුශෘත වු රහත් වු භික්ෂුන් ට ද දෙමි. සිව් පසය දීම කඩ නො කරමි.

මෙබඳුවු අම්බසක්ඛර නම් ලිච්ඡවි රජතෙම එ කල් හි විසාලා මහනුවර ශ්‍රධාවත් වු, මෘදු සිත් ඇති එක්තරා උපාසකයෙක් විය. උපකාරකාරී වූයේ භික්ෂුසංයා ට ද සකස් කොට උපස්ථාන කළේ ය.

හුල හුන් පුරුෂයා ද නිරෝගී ව නිදහස් ව හැසිරෙන්නේ සුවපත්වුයේ උතුම් කප්පිනක නම්වු භික්ෂුව වෙත අවුත් පැවිද් දට පැමිණියේ ය. දෙදෙන ම පැවිදිවිමේ ඵලයන් ට පැමිණියාහු ය.

සත්පුරුෂයන් ගේ ආශ්‍රය කරුණු දත්තා වු සත් පුරුෂයන් ට මෙබඳු මහත් ආනිසංස ඇතිවෙයි. හුල සිටි පුරුෂතෙමේ අර්හත් ඵලය ද, අම්බසක්ඛර තෙමේ වනාහි සෝවාන් ඵලය ද ලැබූයේ ය.



සෙරිස්සක ප්‍රේත කථාව
එ කල සෙරිස්සක දෙව් පුතු ගේ ද, වෙළඳුන් ගේ ද මරුකතර දී යම් එක්වීමක් වී ද, එය අසවු. එතැන් හි දී ඔවුනොවුන් අතර ඇති වූ යම් කතා පුවතක් ඇති වී නම් එය ද, තෙපි සියල්ලෝ ම අසවු.

සෙත්ව්‍යා නුවර යම් ඒ පායාසි නම් රජෙක් වී ද, හේ මැරී බුමාටූ දෙවියන් ගේ සහභාවය ට ගියේ යසපිරිවර ඇති ව උපනි. ඒ සේරිස්සක නම් දෙව්පුත් පිරිවර දෙවියන් සමග සතුටු වෙමින් තෙමේ නො මිනිස් වූයේ ම සිය විමනෙ හි සිට වෙළඳ මිනිසුන් දැක මෙ සේ කී ය.

සියදිවි ඇති වේ ද, නැති වේ දැ යි උපන් භය ඇති නැටුවා වූ සිත් ඇති මිනිසුනි. ජීවිතය ගැන සැක උපදවන වනයක මෙන් නිතර යක්බූපිසසුන් හැසිරෙන මිනිසුන් ට අගෝචර වූ සුව සේ යා නො හැකි, කන බොන දෑ කිසිත් නැති, අතිශය දුර්ගම වූ මේ මරුකතර මැද ඵල ජාතියකුදු නැත. මුල් ජාතියකුදු නැත. දර ද, නැත. රත් වූ උණු වූ හා දරුණු වූ පස් ද, හැර අහරක් කොයින් ලැබේ ද?

රළු බොරළු සහිත නිරුදක බිම් පෙදෙසක් වූ රත් වූ යකබලක් වැනි වූ කිසි සැපතක් නැති නරකයක් වැනි වූ දිගු කලක පටන් දරුණු වූ පිසාචාදීන් ට ආවාසයක් වූ මේ භුමි ප්‍රදේශය පුරාණ තවුසන් විසින් ශාප දුන් තැනක් මෙනි.

 

එ හෙයින් තොප කුමන කරුණකින් මේ පෙදෙස ට ආවාහු ද? කිනම් වස්තුවක් සොයා ආවාහු ද? යම්කිසි වස්තු ලෝභයකින් හෝ සතුරු බියකින් මෙ හි ආවාහු ද? නො එ සේ නම් මං මුලා වූවහු ද? 

අපි අඟුමගධ දෙ රට වැසි ගැල් සාත්තුවෝ වම් හ. බොහෝ වෙළඳ බදු ගැල් හි පටවාගෙන වැඩි ලාභ පතමින් සින්දු සහ සොවීර රටවල ට වෙළඳාම පිණිස යන්නෙමු. දිවාකල පවසා ඉවසිය නො හැකි වූ අප සියල්ලෝ ම රිය අදනා ගවයන්ට අනුකම්පා කරම් හ. දහවල එකතැනක ලැගුම් ගෙන මේ වේගයෙන් ගමන් කරන්නේමෝ රෑ නො කල් හි මහමග ට පිළිපන්නෝ වම් හ.

ඒ නො මග ගියා වූ වැරදුනු මං ඇති පැනැස නැති හෙයින් අන්ධ වූ ඒ අපි එහෙයින් ම ආකුල වූවෝ වම් හ. අතිශයින් දුර්ගම වූ වනයේ මේ මරුකතර මැද මුළා සිත් ඇතියමෝ යා යුතු දිශාව නො දනුම් හ.

යක්ෂය, පෙර නො දුටු විරූ මේ උතුම් විමන ද, ඔබ ද, දැක මින් මතුයෙ හි ද, අපි දිවි ලබනු කැමති ව සිතුම් හ. ඔබ දැක ප්‍රීතියෙන් ඔද වැඩුණු සිත් ඇත්තෝ වම් හ.

තෙපි වස්තු සොයන්නෝ මහමුහුදින් එතෙර ද මේ වැනි මරුකතරවල් ද, වේවැල් අල්ලා යා යුතු මංවල ද, කණු සිටුවා යා යුතු මංවල ද, ගංගා පර්වත නිසා විෂම වූ භූමිවල ද, ඒ වස්තු හේතුවෙන් නොයෙක් දිග ඇවිදින්නාහු ය.

එ සේ අන් රටවල ට පැමිණ එ රට වැසි මිනිසුන් දක්වමින් යන්නාහු ය. එ බඳු තොප විසින් දුටු හෝ ඇසූ අසිරිමත් කරුණක් ඇතිනම් එය අප ට කියවූ. දරුවනි අපි එය අසම් හ. 

පින්වත් දෙව් කුමර, හැම අයුරින් මිනිස් ඉසුරු ඉක්ම ගිය ඔබ ගේ මේ ඉසුර ට වඩා අප විසින් ඇසුවිරූ හෝ දුටුවිරූ හෝ පුදුමයක් නොමැත. අපි ඔබ ගේ මේ උසස් වූ සිරුරු සැපත හා විමන්සැපත දැක පිනායම් හ.

බොහෝ වූ මලින් ගැවසුණු බොහෝ වූ හෙලපියුම් ඇති පොකුණු අහසේ ගලාබසී. විමන්වට මේ රුක් ද, නිතර ඵලබර ව පවතී. ඉතා මනහර සුවඳ ද, හමන්නේ ය. මේ පහයේ වෛඩුර්ය මසාරගල්ල ලෝහිතංක ශිලාප්‍රවාලාදියෙන් අටැස් සොලසැස් වූ ද, සියගණන් ටැම් නැගුනාහු වෙති. මේ ටැම් රශ්මියෙන් බබළයි. ඒ ටැම් මතුයෙහි දහසක් ටැම් ඇති අසමාන වූ ආනුභාවයෙන් යුත් මනහර වූ මේ විමන පිහිටා ඇත. මෙය සත්රුවනින් මනහර ය. රන්මුවා වේදිකාවෙන් යුක්ත ය. මත්තෙ හි බබළන රන්පටින් මොනවට වසන ලද්දේ ය. මේ ඔබ ගේ විමන ඔප් නැගු දඹරනින් බබළයි. අතිශයින් දර්ශනීය ය. රන්මුවා මේ විමන තුළ ආහාරපාන බොහෝ වෙයි. අප්සර සමුහයා විසින් තෙපි පිරිවරණ ලද්දාහු ය. නිතර වයෙන මිහිඟු බෙර ඈ පසඟතුරු ගොසින් එකනින්නාද වෙයි. නොයෙක් දෙවියන් තුති ගී කියා නමස්කාර කෙරෙත්. යම් සේ වෙසවුණු රජ නලිනී නම් පොකුණේ රමණය කෙරේ ද, එ සේ ම නන්දෙවඟණන් විසින් පිරිවරණ ලදුව ඔවුන් විසින් පුබුදුවමින් මනහර වූ උතුම් වූ මේ පහයෙ හි නො සිතිය හැකි සියලු දෙව් සැපතින් යුතු ව සතුටු වහු.

ඔබ දෙවියෙක් ද, නො එ සේ නම් යක්ෂයෙක් ද, නැතහොත් සක්දෙවිඳු ද, එ සේ ත් නො වේ නම් මනුෂ්‍යයෙක් දැ යි කියමින් ඒ සාර්ථවාහ වෙළෙන්දෝ යක්ෂය ඔබ කවරෙක් දැ යි අප ට කියව යි ඔහුගෙන් ප්‍රශ්න කරති.

වෙලන්දුනි, මම වූ කලී මේ මරුකතර බිම් පෙදෙසක සැඟවී සිටින සේරිස්සක නම් දිව්‍ය පුත්‍රයෙක්මි. වෙසවුණු රජු ගේ අවවාදය පිළිපදින මම මේ පෙදෙස පාලනය කරමි.

පින්වත් දෙවව්කුමර, තොප ගේ මේ දෙව්ඉසුරු සැප ඉබේ පහල වූවක් ද? නැතහොත් කිසි කෙනෙකුන් විසින් කලකට පමණක් දුන් දෙයක් ද? නො එ සේ නම් තමන් විසින් ම පහල කරගත් දෙයක් ද? එ සේ ත් නැති නම් දෙවියන් දෙන ලද ද?

මා ගේ මේ ඉසුරු ඉබේ ලැබුනේ ද නො වේ. යම් කෙනෙකුන් දුන් දෙයක් ද නො වේ. මා විසින් උපදවන ලද්දක ද නො වේ. දෙවියන් දෙන ලද්දාකුත් නො වේ. පෙර මා කළ පින් බලයෙන් මේ පැහැය මට ලැබුණි.

ඔබේ වෘත සමාදානය කිමෙක් ද? බ්‍රහ්මචර්යාව කිමෙක් ද? මැනවින් පුරුදු කළ කිනම් කර්මයක විපාකයක් වේ ද? මේ විමන කෙ සේ ලද ද?

මම පෙර පායාසී නම් රාජන්‍යයෙක් වීමි. යම් කලක මම කොසොල් රට රාජ්‍ය කළෙම් ද, එ කළ මම නාස්තික දෘෂ්ටියෙන් යුත් මසුරු වූ ලාමක ස්වභාව ඇති උච්චේදවාදියෙක් වීමි.

එ කල කුමාරකාශ්‍යප නම් ශ්‍රමණයෙක් විය. උන්වහන්සේ බොහෝ ඇසුපිරුතැන් ඇති විසිතුරු ලෙස කතා කරන උසස් නැණවත් කෙනෙකි. උන්වහන්සේ එ කල මට ධර්ම කතාවක් කළ හ. මගේ සියලු මිසදිටු ද, පහකළ හ. මම උන්වහන්සේ ගේ ඒ දම් අසා උපාසකත්වය ප්‍රකාශ කළේමි. පනිවායෙන් වෙන් වුයෙක්‌ වීමි. ලොව නුදුන් දෙය ගැනීම දුරු කළෙමි. මත්පැන් නො බොන්නෙක් වීමි. බොරු නො කියමි. සිය බිරිඳගෙන් පමණක් සතුටු වෙමි.

මා ගේ වෘත සමාදානය එය වේ. මා ගේ බ්‍රහ්මචර්යාව ද එය වේ. මැනවින් පුරුදු කරන ලද කර්මයෙ හි මේ විපාක යි. අලාමක වූ ඒ පුණ්‍යකර්ම හේතුකොට මා විසින් මේ විමන ලද.

නුවණැති මිනිසුන් යම් සත්‍යයක් කීහු නම් ඒ පඬිවරුන් ගේ වචනය වෙනස් නො වේ. කළ පින්කම් ඇත්තේ යම් යම් තැනක යේ නම් ඒ ඒ තැන් හි කැමති සැප ලබා සතුටු වෙයි.

යම් යම් තැනක ශෝක කිරීම හා විලාප කීම ද, වධ බන්ධන හා විපත් ද, වේ නම් පව්කම් ඇතියේ ඒ ඒ තැන ට ම යයි. හේ කිසිකලක දුගතියෙන් නො මිදෙ.

පින්වත් දෙව්කුමර, තොප ගේ පිරිවර ජනයා ද මේ මොහොතෙ හි සොවින් මුළා වූ ස්වරූප ඇත්තේ ය. ඔවුන් ගේ සිත වඩදිය මෙන් කැලඹුණේ ය. මේ ජනයා ගේ ත තොප ගේ ත් දොම්නස කවර කරුණකින් ඇති වී ද?

මිතුරනි, මහරිඋපවනයෙන් මේ දිව්‍ය සුගන්ධයෝ හාත්පස හමා යති. එ සේ හමන ඒ සුගන්ධයෝ මේ විමන සුවඳ ගන්වමින් දිවා රෑ දෙකේ හි අඳුර දුරු කරම්න් හමත්.

අවුරුදු සියයක්හු ගේ ඇවෑමෙන් මේ මහරිගස්වල එක එක මහගෙඩි පැසී ගිලිහී වැටෙයි. එයින් මිනිසුන් පිළිබඳ අවුරුදු සියයක් ම ඉක්ම ගියේ ය යි දැනේ. යම් දිනක් මම මෙ හි උපනෙමි නම් එ තැන් පටන් මම අවුරුදු පන්සීයක්‌ මේ විමනෙ හි සිට ආයු හා පින් ගෙවීමෙන් මින් චුත වන්නෙමි යි දැක ඒ සොවින් ම මුලාවට පත් වීමි.

එබඳු පින්වතෙක් අසමාන දෙව්විමනක් හා දීර්ඝ ආයුෂයක් ලබා කෙ සේ නම් ශෝක කරන්නේ ද? යමෙක් වනාහි මන්දායුෂ්ක ව උපන්නාහු නම් මදපිනැති ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු ය.

තෙපි ප්‍රිය වචනයක් මට කිහු නම් ඒ කීම තොප ට සුදුසු වූවක් ම ය. මට එය අවවාදයක්‌ ද වෙයි. ඒ අනුව මම පිළිපදිමි. යහළුවනි, තෙපි වූ කලී මවිසින් රක්නා ලද්දහු ය. යම් මගකින් තෙපි යන්නට කැමැත්තාහු නම් ඒ මගින් සැප සේ යවු.

දෙව්කුමර, ධනාර්ථි වූ අපි ධනවෘද්ධිය පතමින් සින්ධු සෝවීර රටවලට ගොස් දැන් ඔබ කළ පිළින අනුව පිරිපුන් පරිත්‍යාග ඇතියමෝ මහත් වූ සේරිස්සක නම් පුජාවක් කරන්නෙමු.

වෙලඳුනි, සේරිස්සක නම් උත්සව පුජාවක් නො කරවූ. තෙපි යමක් කියවු නම් ඒ සියල්ල ම සිදු වන්නේ ය. පව්කම් දුරුකරවු. දානාදී කුසල් දහමෙ හි යෙදීම ට ඉටා ගනිවු.

මේ පිරිසෙ හි උපාසකයෙක් ඇත. හේ බහුශෘත ය, ශීල වෘතයෙන් යුක්ත ය. ශ්‍රද්ධාවත් ය, පරිත්‍යාගශීලී ය, සුපේශල ය, විචක්ෂණ ය, ලද දෙයින් සතුටු වෙයි. කම්පල අදහන නුවණින් යුක්ත ය. හේ දැන දැන බොරු නො කියන්නේ ය. අනුන් වැසීම ට නො සිතන්නේ ය. සමගි වූවන් වෙන් කරන පිසුණු නො කියන්නේ ය. මොලොක් සිලිටි වදන් තෙපලන්නේ ය.

ඒ උපාසක ගෞරව සහිත වූයේ සුවච වූයේ විනීත වූයේ අලාමක වූයේ උප්කාසක අධිශීලයෙන් විශුද්ධ ය. අරි පැවතුම් ඇති හේ මව ද, දැහැමින් පෝෂණය කරයි.

ඒ උපාසක තෙම තමා හේතුකොට නො ව මාපියන් සඳහා ම වස්තු සොයති යි සිතමි. හේ මාපියන් ඇවෑමෙන් නිවන ට නැමුණු සිතැත්තේ සසුන් බඹසර හැසිරෙන්නේ ය.

සෘජු වු අවංක වූ කපට නො වූ මායා රහිත ඒ උපාසක කිසි ලෙසකින් රැවටීම් වචනයක් නො කියන්නේ ය. එ බඳු වූ කුශල ධර්ම කරන සුළු හේ කෙ සේ නම් දුක ලබන්නේ ද?

ඒ උපාසක නිසා ම තොප හමුවෙහි මම තෙමේ ම ප්‍රකට කරන ලද වෙමි. එ හෙයින් වෙළඳුනි, තෙපි ධර්මය ම බලවු. ඉඳින් තෙපි ඒ උපාසක නැති ව මෙ හි පැමිණියාහු නම් මේ මරුකතර මංමුළා ව පිළිසරණක් නැති ව අළු වන්නාහු ය. වනසේන්නාහු ය, කිසිවෙකු විසින් යම් කිසිවෙක් නින්දා වශයෙන් කියද්දී හේ නො සැලී සිටී. එ හෙයින් සත්පුරුෂයෙකු හා එක්වීම සැප වන්නේ ය.

දෙව්කුමර, යම් උවසුවකු ට අනුකම්පාවෙන් තෙපි පැමිණියාහු නම් අපි ද, ඔහු දකිනු කැමැත්තෙමු. හේ කවරෙක් ද, කිනම් කර්මයක් කෙරේ ද, නම කුමක් ද? ඔහු ගේ ගෝත්‍රය කීම? තෙපි යමෙකුට ප්‍රිය කරවූ නම් ඔහු ට ලාභයක් ම ය.

සම්භව යන නමක් ඇති පනාව හා කතුර නිසා ජීවත්වන කරනවෑමියෙක් වූ යම් උපාසකයෙක් වේ ද, හේ තොප ට වතාවත් කරන්නෙකැ යි ඔහු දනිවු. හේ සුපෙශ්ලයෙකි. එ හෙයින් ඔහු ට අවමන් නො කරවූ.

දෙව්කුමර, තෙපි යමෙකු ගැන කියාහු නම් අපි ඔහු දනිමු. හේ මෙ බන්දෙකැ යි අපි ඔහු නො දත්තෙමු. දේවිය, තොප ගේ උදාර වූ වචන අසා අපි ද ඔහු ට බුහුමන් කරන්නෙමු.

මෙ ම ගැල්සමුහයේ ළදරු වූ ද මහලු වූ ද, මධ්‍යම වූ ද, යම් මිනිස් කෙනෙක් වෙත් ද, ඔහු හැම දෙන ම මෙ විමන ට නගිත් වා. තද මසුරෝ පිනෙ හි විපාක දකිත් වා.

එ හි දී සියලු වෙළෙන්දෝ "මම පළමුකොට" "මම පළමුකොට" යි කපුවා පෙරටු කොට ශක්‍රයා ගේ තව්තිසා භාවන ට මෙන් දෙව්විමන ට නැගුනා හ.

එ හි දී සියලු වෙළෙන්දෝ "මම පළමුකොට" "මම පළමුකොට" යි දන්වා සිටිය හ. ඔහු පනිවායෙන් දුරු වූ හ. ලොව නුදුන් දෙය දුරු කළ හ. මත්පැන් නො පූ හ. බොරු නො කී හ. සිය බිරිඳගෙන් ම සතුටු වූ හ.

ඒ සියලු දෙනා මෙ හි දී "මම පළමුකොට" "මම පළමුකොට" යි උපාසක බව නිවේදනය කොට දෙවියාගේ ආනුභාවයෙන් අනුමත වූ වෙළඳ පිරිස නැවත නැවත සතුටු වෙමින් ගියෝ ය.

ධනාර්ථි වූ ඔවුහු ධනවෘද්ධිය පතන්නාහු සින්ධු සොවීර දේශය ට ගොස් අදහස් පරිදි කළ වෙළඳාම් ඇතියහු පිරිපුන් ලාභ ඇතියහු නිරුපද්‍රිත ව පැළලුප් නුවර ට පෙරලා ආවාහු ය.

ඔවුන් සුව සේ සිය නිවෙස්වල ට ගොස් අඹුදරුවන් සමග එක් වූවාහු සතුටු සිත් ඇති ව සේරිස්සක නම් වූ මහත් පූජාවක් කළ හ.

ඔවුහු සේරිස්සක නම් වූ ආවාසයක් ද, කළාහු ය. සත්පුරුෂයන් ගේ සේවනය මෙ බඳු වෙයි. දැහැමි ගුණයන් සේවනය ද, මෙ බඳු වෙයි. දැහැමි ගුණයෙන් සේවනය ද, මහත්ඵලදායක වෙයි. එක උපාසකයකු නිසා සියලු සත්වයෝ සුවපත් වූවෝ ය.


නන්දක ප්‍රේත කථාව

සුරට්ඨ දේශය ට අධිපති වු පිංගලක නම් රජෙක් විය. මෞර්ය රජුන් ට උපස්ථානය ට ගොස් සුරට්ඨ දේශය ට ආපසු පැමිණියේ ය.

රජතෙම මධ්‍යාහ්ණයෙ හි වු උෂ්ණ කාලයෙ හි මගට පැමිණියේ ය. මොලොක් බිම ඇති සිත් කලුවු ප්‍රේතයා විසින් මවන ලද මාර්ගය දුටුයේ ය. රජතෙම රියැදුරා ඇමතුවේ ය. රියැදුරු මේ මග සිත්කලු ය, නිර්භය ය, සුවගෙන දෙයි. උවදුරු රහිත ය, මේ මගින් යව, මේ ගමනින් සුරට්ඨ දේශය සමීපයෙ හි වෙමු.

සුරට්ඨ රජතෙම සිවුරඟ සෙනග සමගින් ඒ මගින් ගියේ ය. තැතිගත් ස්වභාවය ඇති පුරුෂයෙක් සුරට්ඨ දේශාධිපතියා ට මෙය කියේ ය. භයජනක වු ලොමු දැහැගත්තා වු නපුරු මගක ට පිවිසියේ වෙමු. ඉදිරියෙ හි මාර්ගය දක්නා ලැබේ. පස්සෙන් නො දක්නා ලැබේ ම ය.

ප්‍රේතයන් ගේ සමිපයෙ හි වු නපුරු මග ට පිවිසියෝ වෙමු. ප්‍රේතයන් ගේ ගඳ හමයි. දරුණු වු ශබ්දය ඇසෙ යි.

කළකිරුණු සූරට්ඨාධිපති රජතෙම රියැදුරු ට මෙය කී ය. භයජනක ලොමු දැහැගත්තා වු නපුරු මගකට පැමිනියෝ වෙමු. ඉදිරියෙ හි මග පෙනේ. පසුමග නො පෙනේ.

ඇත් කඳට නැගී සිව් දිග බලන්නේ සිත් කළු වු සෙවනින් යුක්ත වු නිල්වන් වලාකුල් සමාන සොභාමත් නුගරුකක් දුටුයේ ය. රජතෙම රියැදුරා ඇමතුයේ ය.  මහත් වු නිල් වලාකුලක් බඳු නිල් පාට මහත් ව පේන මෙය කුමක් ද?

මහරජ්ජුරුවනි සෙවනින් යුත් නිල්වලාකුලකට සමාන කළු වැසිවලාකුලක් වැනි එය නුගරුකෙකි.

 

සුරට්ඨාධිපති රජතෙම මහත් වු නිල්වලාකුලක් බඳු කළු පාට ඒ රුක යම් තැනෙක් හි දක්නා ලැබේ ද ඒ දෙස ට පිටත් ව ගියේ ය. රජතෙම ඇත් කඳීන් බැස රුක වෙත පැමිනියේ ය. ඇමතියන් පිරිවරා ජනයා සහිත වු රජතෙම රුක් මුල හුන්නේ ය.

පැනින් පිරුණා වු බඳුනක් ද, සතුට උපදවන මිහිරි කැවුම් ද දුටුවේ ය. දිව්‍ය වර්ණ ඇති සියලු අබරණින් සැරසුනා වු පුරුෂයෙක් ද සුරට්ඨ දේශය ට අධිපති රජු වෙත පැමිණ මෙය කීයේ ය.

මහරජ නුඹගේ ගමන නපුරු ගමනක් නො වෙයි. නුඹ ගේ පැමිණීම යහපත් පැමිණීමක් වෙයි. රජතෙම පැන් පානය කෙරෙ වා. කැවුම් වළඳනු මැනවි.

ඇමතියන් සහිත පිරිවර ජනයා සහිතවු සුරට්ඨ අධිපති රජතෙම නා කැවුම් කා පැන් බී මෙය මෙ සේ කියේ ය. නුඹ දෙවියෙක් වෙහි ද? ගාන්ධර්වයෙක් ද නොහොත් පුරින‍දද නම් වු ශක්‍රයා වෙහි ද, නො දන්නා වු අපි නුඹ විචාරමු. ඹබ කෙ සේ දනිමු ද?

මහරජ මම දෙවියෙක් නො වෙමි. ගාන්ධර්වයෙක් ද නො වෙමි. පුරින‍දද නම් ශක්‍රයා ද නො වෙමි. සුරට්ඨ නුවරින් මෙ හි පැමිණි ප්‍රේතයෙක් වෙමි.

නුඹ පෙර සුරට්ඨ දේශයේ දී කෙබඳු සිල්වතෙක් වුයෙ හි ද, කෙබඳු හැසිරීම් ඇතිවුයෙ හි ද, නුඹ ගේ කෙබඳු බ්‍රහ්මචර්යාවක් හේතු කොට ගෙන නුඹ ට මේ ආනුභාවය ඇතී වී ද?

සතුරන් දමනය කරන සුලු රට වර්ධනය කරන මහරජ මෙය අසනු මැනවි. ඇමතියෝ ද පිරිවර ජනයෝ ද පුරෝහිත බමුණු තෙම ද මා කියන දේ අසත් වා. දේවයන් වහන්ස, මම පව් සිත් ඇති විපරීත දැකුම් ඇති සිල් නැත්තා වු තද මසුරු වු මහණ බමුණන් ට පරිභව කරන්නා වු සුරට්ඨ වැසි පුරුෂයෙක් විමි. මම දන්දෙන්නවුන්ට අනුන්ට ද උපකාර කරන්තවුන් ට ද අනතුරු කරන්නෙක් ව දන් දෙන බොහෝ ජනයා වැළැක්වීමි. දානයා ගේ මතු විපාකයක් නැත, සිලයන් හික්මීමේ විපාකයෙක් නම් කොයින් ද, සිරිත් විරිත් හි හික්මවන ආචාර්ය්‍යයෙක්නම් කොයින් ද, නො දැමුනහු කවරෙක් දමනය කරන්නේ ද? සත්වයෝ ඔවුනොවුන් සම සමයෝ වෙත්. වැඩි මහල්ලන් හෝ පුණ්‍යයක් නම් කොයින්ද, බලයක් හෝ විර්යයක් නැත. නැගී සිටියා වු පුරුෂ පරාක්‍රමයක් කොයින් ද, දාන විපාකයක් නම් නැත. ක්‍රෝධාදී පව් රැස් කළ වෛර ඇති පුද්ගලයා පිරිසිදු නො කරයි. මනුෂ්‍යතෙමේ නියම ලැබීම වශයෙන් ලැබිය යුතු දේ ලබයි. මවෙක් ද පියෙක් ද සොහොයුරෙක් ද නැත. මෙ ලොවින් මතු ලෝකයක් නැත. මහා දානයක් නැත. දුර සිට එලවන ලද සත්කාරයක් ද නැත. මොනවට තබන ලද්දකුත් නැත්තේ ය. යමෙකුන් පුරුෂයෙකු නසන්නේ ද, අන් පුරුෂයකු ගේ හිස සිඳීන්නේ ද කිසිවෙක් තෙම කිසිවෙකු නො නසයි. පඨවිව ආදි සප්ත ධාතුන් ගේ සිදුරු අතරෙහි අවිය ප්‍රවේශ වනු විනා සත්වයා නො මැරෙයි.

ජිවය තෙම සිඳ බිඳ ලියහැකි නො වේ. කිසි දවසක පැති අටක් ද කිසි දවසක බෝලයක් සේ වට මඩුලු ද වෙයි. යොදුන් පන්සියක් උස ද වෙයි. කවරෙක් තෙම ජීවය සිඳීන්න ට සුදුසු ද?

යම් සේ වෙලීමෙන් කළ නූල් ගුලියක් වෙළුම් ලිහෙමින් හැරීම වශයෙන්  දැමු කල් හි වෙලුම් හරිමින් යේ ද එ සේ ම ඒ ජීවය තෙම වෙළුම් හරිමින් යයි.

යම් සේ ගෙයින් නික්ම තව ත් ගෙයක පිවිසේ ද එ සේ ම ඒ ජීවයම අන් සිරුරකට පිවිසෙයි. යම් සේ ගමින් පිට වුවෙක් අනික් ගමක ට ප්‍රවිෂට වේ ද, එ සේ ම ඒ ජිවය අනික් ශරීරයකට ඇතුල් වේ. යම් අන්ධ බාලයෝ ත් වෙත් ද යම් පණ්ඩිතයෝ ත් වෙත් ද ඹවුහු මහා කල්ප සූවාසු ලක්ෂයක් මුළුල්ලෙ හි ම සසර ඔබමොබ ඉපදීම් වශයෙන් ගෙවා දුක් කෙළවර කරන්නාහු ය.

සුවදුක් ද්‍රෝණයකින් හෝ පැසකින් හෝ මණින ලද්දක්හු මෙන් යථොක්ත කාල පරිච්ඡෙදයෙන් පමණ කරන ලද හ. ජින භූමියෙ හි සිටියෙක් සියල්ල දනී. අන් ප්‍රජා තොමෝ අතිශයින් මුළාවෙයි.

පෙර මෙ බඳු දෘෂ්ටි ඇත්තෙක් විමි. අතිශයින් මුළාවුවෙක් ද මෝහයෙන් වැසුනෙක් ද මිථ්‍යා දෘෂ්ටි ඇත්තෙක් ද සිල් නැත්තෙක් ද තද මසුරෙක් ද පරිභව කරන්නේක් ද විමි.

මාසයකින් මෙහා මාගේ කාලක්‍රියාව වන්නේ ය. මම ඒ කාන්තයෙන් කටුක වු නරකයෙ හි වැටෙන්නෙමි. ඒ නිරයේ කොන් සතරක් ඇත්තේ ය. සිවු දොරක් ඇත්තේ ය. පමණ කරන ලදුව කොටස් වශයෙන් මොනවට බෙදන ලද්දේ ය. යකඩ පවුරකින් වට කරන ලද්දේ ය. යකඩ පියනකින් වසන ලද්දේ ය. ඒ අවිචිමහනිරයා ගේ යකඩින් කළ බිම ගිනි දැලින් දිලිසුනේ ය. හාත්පස නැගි මහත් ගිනි දැලින් නිරන්තරයෙන් යුක්ත ය. හැම කල් හි පහත් පස යොදුන් සියයක් තැන පැතිර සිටී. මහරජ, අවුරුදු ලක්ෂයක් ඉක්මගිය කල් හි එතනින් ශබ්දයක් ඇසෙයි. සියක් කොටස් වු අවුරුදු කෝටියක් වෙති. මෙය එ හි ආයු පරිච්ඡදය යි.

යම් සත්ව කෙනෙක් අවුරුදු කෝටි ලක්ෂයක් මුළුල්ලෙ හි නරකයෙ හි පැසෙත්. ඔවුහු මිථ්‍යා දෘෂ්ටිකයෝ ද දුස් සීලයෝ ද ආර්යපවාද කළෝ ද වෙත්. මම ඒ මහ නිරයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනා විඳීන්නෙමි. මවිසින් කළ පාප කර්මයා ගේ විපාකය එ හෙයින් මම බොහෝ සේ ශොක කරමි.

රට වඩන සතුරන් දමනය කරන මහරජ එය අසව. මහරජ නුඹ ට යහපතක් වේ වා. මාගේ උත්තරා නම් දියණිය, කුශල කර්මය කරයි. නිති පංච සීලයෙ හි උපොසථ සීලයෙ හි ද ඇලුනී වෙයි. හික්මුනි ද දාන සංවිභාග ඇත්තී ද බොහෝ දෑ දෙන්නී ද පහ වු මසුරු මළ ඇත්තී ද වෙයි. අන්කුලයක යෙහෙලියක් වුව ත් ශික‍ෂාවක් කඩ නො කරන සුළු ය. ශාක්‍යමුනි වු සම්බුදුන් ගේ උපාසිකාවක් විය.

යට හෙලන ලද ඇස් ඇති සිහි ඇති රකින ලද ඉඳුරන් ඇති මනා ව හික්මුනා වු සිල්වත් වු භික්ෂුනමක් ගම ට පිඬු පිණිස වැඩියේ ය. මහ රජ නුඹ ට යහපතක් ම වේ වා. ගෙපිළිවලින් වඩිමින් ඒ ගෙදර ට වැඩියේ ය. උත්තරා තොමෝ ඒ භික්ෂුව දුටුවේ ය.

එ තොමෝ පැන් පිරූ බඳුක් ද විචිත්‍ර වු කැවිලි ද දුනි. ස්වාමීනි මගේ පිය තෙම කළුරිය කළේ ය. ඕ හට මේ පින පැමිණේ වා.

දක‍ෂිණාව පින්දිම ට අනතුරුව විපාක උපන්නේ ය. වෙසමුනි රජ යම් සේ ද එ සේ මම කාමයෙන් සමෘධ ව සැප විඳීමි.

සතුරන් දමනය කරන රට වර්ධනය කරන මහරජ, දෙවියන් සහිත ලෝකයා හට සර්වඥතෙම අග්‍ර ය යි කියනු ලැබේ. පින්වත් රජ තුමනි, පුත්‍ර දාරාවන් සහිත ව බුදුන් සරණ කොට යව. රජ ආර්ය අෂ්ටාංගික නිවන් පදය ස්පර්ශ කරන්න. ඒ සමග ධර්මය සරණ කොට යව.
ආර්යමාර්ගය ට පිළිපන්නේනෝ සිව් දෙනෙක් වෙති. ඵලයෙ හි සිටියහු සිව් දෙනෙකි. මේ සංඝතෙම සෘජු ය, ප්‍රඥශීලයන් ගෙන් යුක්ත ය. පින්වත් රජතුමනි ඒ සංඝයා සරණ කොට යව.

සතුන් මැරීමෙන් වහා වෙන්වෙව හි ලෙව් හි නුදුන් දෙය දුරුකරව. මත්පැන් බොන්නෙක් නො වව. බොරු නො කියව. සිය බිරිඳ සමග සතුටු වෙව.

යක්ෂය නුඹ මට වැඩ කැමැත්තෙහි ය. පින්වත් දෙවිය තෙපි මට හිත කැමැත්තෙහි ය. නුඹ ගේ වචනය කරමි. නුඹ මගේ ආචාර්යයා වෙහි ය.

මම බුදුන් සරණ කොට යමි. බුදුන් ගේ නිරුත්තර වු ධර්මය ද සංඝයා ද පිහිට කොට යමි.

සතුන් මැරීමෙන් වහා වෙන්වෙමි. ලෙව්හි නුදුන් දෙය දුරු කරමි. මත් පැන් නො බොන්නෙක් වෙමි. මුසාවාද නො කියමි. සිය බිරිඳ සමග සතුටු වෙමි.

බුදුන් ගේ සස්නෙ හි ඇලුනේ ලාමක බොල් මිථ්‍යා දෘෂ්ටිය මහත් වාතයෙ හි පිඹ හරිමි.  සැඩ පහර ඇති නදියෙ හි හෝ පා කර හරිමි. වමනය කෙරෙමි.

සූරට්ඨ අධිපති රජතෙම මෙය කියා ලාමක දාෂ්ටියෙන් වැළකී බුදුන් ට වැඳ පෙරදිග ට අභිමුඛ ව රිය ට නැගුනේ ය.





 රේවතී ප්‍රේතිය ගේ කථාව

ඉතා පවිටු ස්වභාව ඇති දන් නොදෙන සුළු රෙවතිය, යම්හෙයකින් තිට නිරය ට යාම පිණිස දොර නො වසන ලද ද එහෙයින් හුන් තැනින් වහා නැගි සිටුව දුකට පැමිණෙව නිරා දුකින් සමවෙහි නිරි සත්තු යම් නිරයක කෑගසත් ද එහි ති පමුණුවන්නෙමු නොහොත් දමන්නෙමු.

මෙ සේ ත් කියා ලේ වන් ඇස් ඇති මහත් වු යම දූතයන් සමාන ඒ යක්ෂයෝ දෙදෙන වෙන වෙනම අත් අල්වා ගෙන දිව්‍ය සමූහයාවෙත රේවතිය පැමිණ වූ හ.

සිත් කළු වු ද දහසක් රැසින් දිළිසෙන හිරු විමනක් බඳු රන් දැල් වසා සිටි යහපත් හිරු මඩලක් සේ බබළන බොහෝ දෙවඟනන් ගෙන් ගැවසි ගත් අර විමන කාගේ ද?

සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුරු ඇති දෙවඟනෝ විමන ඇතුලත පිටත දෙපසින් හොබවත් ඒ විමන හිරු මඩලක් සේ පෙනෙයි. දෙව්ලොව ට පැමිණි කවරෙක් මේ විමනෙ හි සතුටු වේ ද?

බරණැස් නුවර මසුරු නො ව දානපති ව දන් දුන්නා වු බුද්ධාදී තුරුනුවන්හී පහන් සිතැති නන්දිය නම් උවසුවෙක් විය. ඕ හට දහසක් රැසින් දිලිසෙන හිරු මඩලක් සේ බබළන දිව්‍යාංගනා සමූහයෙන් ගැවසිගත් මේ විමන පහල විය.

සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද සිරුර ඇති දිව්‍යාංගනා සමූහයා විමන් දෙපස හොබවත්. එය හිරු මඩලක් සේ පෙනේ. ඒ නන්දිය තෙම දෙව්ලොවට පැමිණියේ විමනෙ හි සතුටු වෙයි.

මම ඒ නන්දියා ගේ බිරින්ද වීමි. ගෙයි සිටියා වීමි. ඔහු ගේ සියලු වස්තුව ට ස්වාමී දුවක් වීමි. දැනුදු ස්වාමියා ගේ විමනෙ හි සිත් අලවමි. ඒ නරකය දැකීම ට වත් නො පතමි.

ඉතා ලාමක ස්වභාවය ඇති රේවතිය මේ තිගේ නිරය යි. තී විසින් මිනිස් ලොව දී පින්කම් නො කරන ලද්දේ ය. ති වැනි මසුරු මළයෙන් යුත් අනුන්ට ක්‍රෝධ අපදවන ලාමක ස්වභාව ඇත්තේ දෙවියන් ගේ සහභාවය නො ලබයි.
 

මලමූත්‍රවලින් හා මහත් පණුවන්ගෙන් ගැවසීගත් දුගඳ හමන මේ අසූචි වැළකීම දක්නා ලැබේ ද. මෙ සේ දුගඳ හමන අසූචි වළ කුමක් ද?

මේ සංසවක නම් නරකය වෙයි. සියක් පුරුෂ ප්‍රමාන ගැඹුරු ය. යම් නරකයක අවුරුදු දහසක් ආයුෂ නම් එ හි රේවතිය නුඹ පැසෙන්නේ ය.

කයින් හා වචනයෙන් ද, මනසින් ද කිනම් අකුශලයක් මවිසින් තරන ලද්දේ ද, සියක් පුරුෂ ප්‍රමාණ වු සංසවක නම් අසූචි නරකය කවර අකුශලයක් හේතුකොට ගෙන මවිසින් ලබන ලද්දේ ද,

මහණුන් ද, බමුණන් ද, අන් යදියන් ද මුසාවාදයෙන් වංචා කෙළෙහි ය. පාපය තා විසින් කරන ලදී.

රේවතිය, ඒ අකුශල හේතුවෙන් සත් පුරුෂ පුමාණ ගැඹුරු වු සංසවක නම් නිරය තී විසින් ලබන ලදී. තී එහි අවුරුදු දාහක් පැසෙන්නෙ හි ය. ති ගේ අත් ද කපත්, පා ද කපත්, කන් ද කපත්, නාසය ද කපත්, තව ත් කවුඩු රැළ එක් රැස් ව පෙරළෙමින් කති.

සත්වයෝ යම් කුශලයක් කොට සුවපත් වෙත් ද පසුතැවිලි නො වෙත් ද, එබඳු දන් දීමෙන් ද සම හැසිරීමෙන් ද හික්මිමෙන් ද, ඉන‍ද්‍රිය දමනයෙන් ද බොහෝ කුසල් කරන්නෙමි. මා මිනිස් ලොවට පමුණුවන්නාහු නම් මැනවි.

තී පෙර කුසල් නො කොට ප්‍රමාද ව දැන් කුමක් පිණිස හඬයි ද? තමන් කළ අකුශල කර්මවිපාකය තී මවිඳීන්නෙ හි ය.

මෙ සේ මා විසින් විචාරන ලද්දා වු කවරෙක් දෙව් ලොවින් මිනිස් ලොව ට ගොස් බහා තබන ලද දඬු ඇති ගුණවතුන් කෙරෙහි දන්දෙව, වස්ත්‍ර, සෙනසුන්, ආහාර පාන වර්ග දන් දෙව යි කියන්නේ ද, තී වැනි මසුරු ස්වභාව ඇති අනුන්ට ද්වේෂ කරන සුලු ලාමක ස්වභාව ඇති පුද්ගලයා දෙවියන් ගේ සහභාවය නො ලබා යයි කියන්නේ ද?

ඒ මම මෙතනින් මිදී ගොස් මිනිසත් බව ලබාගෙන යදියන් බස් දන්නා සුලු ව සීලයෙන් යුක්ත ව දන්දීමෙන් ද මනා පැවැත්මෙන් ද සීල සංයමයෙන් හා ඉන‍ද්‍රිය දමනයෙන් ද යුක්ත ව ඒ කාන්තයෙන් බොහෝ පින් කරන්නෙමි.

පුෂ්පාරාම ඵලාරාමයන් රෝපනය කරන්නෙමි. යා නො හැකි තන් හි ඒදඬු පාලම් දමන්නෙමි. පිරිසිදු සිතින් ළිං පැන් පොකුණු ආදිය කරවන්නෙමි.


පක්ෂය සම්බන‍ධ යම් අටවකක් වීනම් එ දා ද තුදුස්වක ද පසළොස්වක ද වස් කාලයෙ හි ද අෂ්ටාංගයෙන් යුක්ත උපොසථ සිලය සමාදන් වන්නෙමි. නිත්‍ය පංචශීලයෙ හි හික්මෙන්නෙමි. පිහිටන්නෙමි. මා විසින් මේ අපා දුක තමන් ම දක්නා ලදී. දන්දීමෙහි පහ නො වන්නෙමි.
 

මෙ සේ ඔබමොබ පෙරළෙමින් විලාප කියමින් හඬන රේවතිය පා උඩුකුරු ව හිස යටිකුරුව සිටින සේ සංසවක නම් නරකයෙ හි හෙලූහ.

මම පෙර මිනිස් ලොව දී තද මසුරු තැනැත්තියක් ද මහණ බමුණන් ට පරිභව කරන්නියක් ද විමි. බොරුවෙන් හිමියා වංචාකොට දැන් මම දරුණු ස්වභාව ඇති සංසවක නම් නරකයෙ හි පැසෙමි.



උච්ඡු ප්‍රේතයා ගේ කථාව

ස්වාමීනි, මද නො වු කුශල විපාක වු මහත් වු ඒ මේ උක් වනය මට පහළ වෙයි. මෙය දැන් මාගේ පරිභෝගය ට නො පැමිණෙයි. කුමන අකුශලයක විපාක දැ යි කියනු මැනවි. ඒ මම කිසි උක් රසයක් පරිභෝග කිරීමට වෑයම් කෙරෙම් ද ප්‍රයොග කරම් ද වැනසෙමි. මම කපනු ලබමි. දුබල ඇති ව බැගැපත් ව අතිශයින් විලාප කියමි. කෙබඳු අකුශල කර්මයක්හු ගේ මේ විපාකය ද.
 

ස්වාමිනි, මම නැසුනු ආසා ඇති ව නොහොත් ශක්ති නැති ව බිම වැටෙමි. අව්වෙන් රත් වු මත්ස්‍යයකු මෙන් පෙරළෙමි. අඬන්නා වු මාගේ කඳුළු ගලයි. කෙබඳු අකුශල කර්මයක්හු ගේ මේ විපාකයෙක් දැ යි කියව.

ස්වාමිනි, මම බඩසයින් පෙළුනෙමි, ක්ලාන්තවූයේ ද පිපාසා ඇත්තේ ද උගුර තොල් තලු ඉතාමත් වියලුනේ කිසි සැපතක් නො විඳීමි. කෙ සේ නම් උක්රස අනුභවය ලබන්නෙම් දැ යි මේ කාරණය ඔබගෙන් විචාරමි.

තෝ පෙර පූර්ව ජන්මයෙහි මනුෂ්‍ය වුයේ තමා අකුශල කර්මයක් කෙළෙහි ය. මම මේ කාරණය තට කියමි. තෙමේ කාරණය අසා දනුව.

තෝ උක් දන්ඩක් කමින් ගියේ ය. තාගේ පිටිපසින් පුරුෂයෙක් ද ලුහුබැඳ ගියේ ය. හෙතෙමේ ද එය පතමින් කථා කළේ ය. තෝ ඕහට කිසිවක් නො කිවෙහි ය.

හෙතෙමෙ ද කථා නො කරන්නා වු තා ඇයැදියේ ය. ආර්යය, උක් දන්ඩක් දෙව යි තට කීයේ ය. තෝ ඕ හට පිටිපසින් උක් දන්ඩක් දුන්නෙහි ය. ඒ කර්මයාගේ මේ විපාකය වෙයි.

එබැවින් තෝ පිටුපසින් උක් දඬු ගනුව ගෙන යැපෙනතාක් කව. එයින් ම තෝ සතුටු සිත් ඇති වන්නෙහි ය. සතුටු වූයේ ද ඔදවැඩියේ ද ප්‍රමුදිතවූයේ ද වන්නේ ය.

ඒ ප්‍රේත තෙම ගොස් පිටිපසින් ගත්තේ ය. එය ගෙන පමණතෙක් කෑවේ ය. හෙතෙම එයින් සතුටු සිත් ඇති විය. තුටුවූයේ ද ඔදවැඩියේ ද ප්‍රමුදිතවූයේ ද විය.



කුමාර ප්‍රේත කථාව
හිමාලය වනයා ගේ එක් පසෙකින් සැවැත් නම් නුවරක් ඇත්තේ ය. එ හි රජ පුත් වූ කුමරුවෝ දෙදෙනෙක් වුවාහු ය යි මා අසන ලදී.

සිත් ඇලවිය යුතු කාමයන් හි ඉතාමත් කාම ගුණාස්වාද, වශයෙන්  සතුටුවන සුලුවූ වර්තමාන සැප මාත්‍රයෙ හි ගිජු වූ ඔවුහු තුමූ මතු සැපය නො බැලුවාහු ය.

ඔහු දෙදෙනා මේ මිනිස් බවින් චුත ව පරලොව ප්‍රේත ලෝකය ට පැමිණියෝ වූ හ. ඔවුහු තුමූ තමන් ගේ පෙර දුශ්චරිතය  දැන අදෘශ්‍යමාන ව මේ සැවැත් නුවර සමිපයෙ හි කෑ ගසත්.

බහුශෘත දක්ෂිනාර්භයන් ඇති කල් හි දාන වස්තුව පැමිණ සිටි කල් හි තමන් ට සැප එල වන්නා වූ ස්වල්ප වූ ද පිනක් කරන්න ට ඒකාන්තයෙන් නො හැකි වීමු.

අපි යම් පව්කමකින් රාජ කුලයෙන් චුත ව සා පිපාසා දුකින් මඩනා ලද ප්‍රේත ලෝකයෙ හි උපන්නෙමු. ඊට වඩා ලාමක දෙයක් නම් කුමක් වන්නේ ද?

මෙ ලොව දී යම් යම් දේ හිමිවූවෝ එ හි කිසිවකටත් අහිමියෝ වෙත්. මිනිස් බැව් හි උසස් වූ ඒ මිනිස්සු ප්‍රේත විෂයෙ හි පහත් ව සා පිපාසා දුකින් යුක්ත ව හැසිරෙත්.

මිනිස් තෙම ඉසුරු මදයෙන් වූ දෝෂය මෙ සේ දැක ඉසුරුමදය හැරපියා ස්වර්ගය ට ගියෙක් වන්නේ ද සප්‍රඥව ඒ මිනිස් තෙම ශරීරයාගේ බිඳීමෙන් ස්වර්ගය ට පැමිණෙයි.



රාජ පුත්‍ර ප්‍රේත කථාව
පූර්ව ජන්මයෙ හි කරන ලද අකුසල කර්මයන් ගේ විපාකය තෙම අන්ධ බාලයන් ගේ සිත මනරම් රූප හේතුවෙන් ද, ශබ්ද හේතුවෙන් ද, රස හේතුවෙන් ද ගන්ධ හේතුවෙන් ද, ස්පර්ෂ හේතුවෙන් ද මැඩලන්නේ ය.

බොහෝ වූ නෘත්‍යය ගීතය කාම රතිය හා ක්‍රීඩාව උයනෙ හි විඳ රජගහ නුවර ට පිවිසෙන්නේ ය.
 

මහර්ෂී වූ දැමුණු සිත් ඇති අර්හත්ඵල සමාධියෙන් සන්හුන් වූ ආසා ඇත්තා වූ ලජ්ජා සහිත වූ  පාත්‍රය ට ගත් ආහාරයෙ හි සතුටු වූ සුනෙත්ත නම් පසේ බුදුන් දුටුවේ ය. රාජ පුත්‍රතෙම ඇතුපිටින් බැස ස්වාමිණි, භික්ෂාව ලබන ලද දැ යි ඇසී ය. උන්වහන්සේ ගේ පාත්‍රය ගෙන ඉතා උස්කොට ඔසවා තද භූමිප්‍රදේශයක පාත්‍රය දමා බිඳ සිනාසෙමින් මදක් ඉවත් ව සිටියේ ය. මහණ මම කිතව රජුගේ පුත්‍රයා වෙමි.මට කුමක් කරන්නෙ හි ද?

දරුණු වූ ඒ අකුශල කර්මයාගේ විපාකය කටුක විය. කරන ලද දරුණු පව් ඇති රාජ පුත්‍ර තෙම නරකයෙ හි පිහිටියේ යම් විපාකයක් විඳී ද සූවාසු දහස් සයක් ම එහෙයින් ම නහුත ගණන් අවුරුදු නරකයෙ හි ඉතාමත් දුකට පැමිණියේ ය. අඥාන රාජ පුත්‍ර යා උඩුකුරුව වම් ඇලයෙන් හා දකුණු ඇලයෙන් යුක්ත ව ද , උඩුකුරු පා ඇති ව ද සිටියේ ද බොහෝ කලක් මුළුල්ලෙහි නිරයෙ හි පැසුණේ ය.

කරන ලද දරුණු පව් ඇත්තේ නොයෙක් හවුරුදු දහස් ගණන් මුළුල්ලෙ හි ද, අවුරුදු සමූහයක් මුළුල්ලෙ හි ද, නහුත ගණන් මුළුල්ලෙ හි ද, ඉතාමත් දුක ට පැමිණියේ ය. අපරාධීන් කෙරෙහි මෙත් සිතැති මනා පැවතුම් ඇති ඍෂීහු වෙත වරදවා පව්කම් කරන පුද්ගලයෝ මෙබඳු වූම ඉතා දුක් ඇතිව පැසෙත්.

ඒ රාජ පුත්‍රයා නරකයෙ හි අවුරුදු ගණනක් මුළුල්ලෙ හි බොහෝ දුක් විඳ එයින් චුත වූයේ සා පිපාසායෙන් මැඩුනා වූ ම ප්‍රේතයෙක් විය. යමෙක් මෙ සේ ඉසුරුමදයෙන් වූ, දෝෂය දැක ඉසුරුමදය හැරපියා යටත් පැවැත්ම ට අනුව ජීවත් වේ ද, බුදුන් කෙරෙහි ගෞරව සහිත වේ ද, නුවණැති හෙතෙම මේ ආත්මයෙ හි දී ම පැසසිය යුතු වේ.මරණින් මතු දෙව්ලොව ට පැමිණෙයි.

මෙ සේ භාග්‍යවතුන් වහන්සේ රාජපුත්‍ර ප්‍රේතකථා වස්තුවෙන් එතැන් හි රැස් වූ මහජනයා ට සංවේග උපදවා පසු ව චතුස්සත්‍ය ධර්මය දේශනා කළ සේක.දෙසුන් කෙළවර බොහෝ ජනයා සෝවාන් ඵලාදිය ට පැමිණියා හ.



ගුථඛාදක  ප්‍රේථ කථාව 

කවරෙක් අසූචි වලෙන් නැගී බැගෑපත් ව ම සිටින්නෙ හි ද, පව්කම් ඇත්තා නිසැක ව කවරෙක් දැ යි තේරුම් ගන්නේ ද? කිම,

ස්වාමිනි, මම පව්කම් කොට මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගිය යමලොව ට අයත් දුගී ප්‍රේතයෙක්මි.

කයින්, වචනයෙන්, මනසින් තොප කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන්  මේ දුක ට පැමිණියාහු ද?

ඊර්ෂයා සිත් ඇති කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරුසිත් ඇති සිල්වතුන් ට පරිභව කරන්නා වූ මා ගේ ගෙදර තෘෂ්ණාවෙ හි බැඳුනා වූ මා ගේ ආවාසයෙ හි නිත්‍ය වාසී භික්ෂූවක් විය.

මම ඒ මහන ගේ කීම අසා ප්‍රියශීල භික්ෂූන් ට නින්දා කළෙමි. ඒ කර්මයා ගේ විපාකයෙන් මෙයින් ප්‍රේත ලෝකය ට ගියෙමි.

තට මිත්‍ර ස්වරූපයෙන් කුළුපග වූ ක්‍රියාවෙන් අමිත්‍ර වූ යම් මහණෙක් වී ද  ඒ දුශ්ප්‍රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයි ද ?

පවිටු සමාචාර ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයා ගේ හිස මුදුනේ ම මම දැන් සිටිමි. හෙතෙමේ ද ප්‍රේත ලෝකය ට පැමිණියේ මාගේ ම මෙහෙකරුවෙකු විය.

ස්වාමීනි, සෙස්සෝ යම් අසූචියක් හෙලත් ද ඒ අසූචි මාගේ භෝජනය වෙයි. මම ද වනාහි යම් අසූචියක් පහකරම් ද එය කෑමෙන් ඒ ශ්‍රමණ ප්‍රේතයා දිවි පවත්වයි.



ගුථඛාදක ප්‍රේතිය ගේ කතාව
 


අසූචිවලෙන් නැගී බැගෑපත් ව ම සිටින්නෙ හි ද, පව්කම් ඇත්තා නිසැක ව කවරෙක් දැ යි තේරුම් ගන්නේ ද? කිම,

ස්වාමිනි, මම පව්කම් කොට මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගිය යමලොව ට අයත් දුගී ප්‍රේතයෙක්මි.

කයින්, වචනයෙන්, මනසින් තී කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන්  මේ දුක ට පැමිණියාහු ද?

ඊර්ෂයා සිත් ඇති කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරුසිත් ඇති සිල්වතුන් ට පරිභව කරන්නා වූ මා ගේ ගෙදර තෘෂ්ණාවෙ හි බැඳුනා වූ මා ගේ ආවාසයෙ හි නිත්‍ය වාසී භික්ෂූවක් විය.

මම ඒ මහන ගේ කීම අසා ප්‍රියශීල භික්ෂූන් ට නින්දා කළෙමි. ඒ කර්මයා ගේ විපාකයෙන් මෙයින් ප්‍රේත ලෝකය ට ගියෙමි.

තී ට මිත්‍ර ස්වරූපයෙන් කුළුපග වූ ක්‍රියාවෙන් අමිත්‍ර වූ යම් මහණෙක් වී ද  ඒ දුශ්ප්‍රාඥයා මරණින් මතු පරලොව කෙබඳු දුගතියකට පැමිණෙයි ද ?

පවිටු සමාචාර ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයා ගේ හිස මුදුනේ ම මම දැන් සිටිමි. හෙතෙමේ ද ප්‍රේත ලෝකය ට පැමිණියේ මාගේ ම මෙහෙකරුවෙකු විය.

ස්වාමීනි, සෙස්සෝ යම් අසූචියක් හෙලත් ද ඒ අසූචි මාගේ භෝජනය වෙයි. මම ද වනාහි යම් අසූචියක් පහකරම් ද එය කෑමෙන් ඒ ශ්‍රමණ ප්‍රේතයා දිවි පවත්වයි.


ගණ ප්‍රේත කථාව 

තෙපි නගනහු ය. කෘශ ය. ඉල්පුණු නහර හා උස් ව නැගුණු ඉලඇට ඇත්තාහු ය. දුර්වර්ණ රූප ඇති තෙපි කවරහු ද?
 

ස්වාමීනි, අපි යාම ලොව උපන් ප්‍රේතයෝ වෙමු. පව්කම් කොට මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියේ වෙමු.

කයෙන්, වචනයෙන්, සිතෙන් කිනම් පවක් කරන ලද ද? කිනම් කර්මයක විපාකයන් මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියා වේ ද?

 

ගංතළා, ඇළ, දිය නහන තොටුපොළවල මිනිසුන් ට අමතක ව ගිය දෑ ලැබීමේ ලෝභයෙන් පෙළුණු සිතින් අඩමසක් පමණ කල් ආහාර සොයා ඇවිද්දෙමි. මහණ බමුණන් එළඹ සිටි කල් හි මසුරු මළින් යුතු ව අඩමස්සක් පමණවත් කිසිවකු ට නො දෙමින් ධනය රැස් කළම් හ. දියයුතු දාන වස්තු ඇති කල් හි ත් තමනට පරලොව දී පිහිටවන පිනක් නො කළම් හ.

පවසින් පෙළුණු අපි නදියකට පැමිණෙමු නම් ඒ නදීතොමෝ දියෙන් හිස් බව ට් පෙරලෙන්නේ ය. උෂ්ණ කාලයෙ හි සෙවනකට පැමිණේ නම් එ තැන ට පෙරළා අව්ව පැමිණේ. ගිනිවන් වූ වාතය ද අප සිරුරු දවමින් හමා යයි.

වහන්ස, මේ දුක ට ද, මෙයින් අන්‍ය වූ මෙය ට වඩා දරුණු දුකකට ද අපි සුදුසු වම් හ. අපි සාදුකින් පෙලෙන්නේමෝ අහරෙ හි ගිජු ව නොයෙක් යොදුන් ගණන් ආහාර සොයා යම් හ. අහරක් නො ලබා ම නවතිමු. අප ගේ පින් නැති බව ආශ්චර්‍යය ය. වෙසෙසින් පෙළුණු මුසපත් වූ අපි භ්‍රාන්ත වූවාහු බිම ඇදවටෙන්නෙමු. උඩුකුරු ව වැටුනාහු විසිරුණු අවයව ඇත්තාහ. එයින් යටිකුරු ව වැටෙමු. ඒ ගියගිය තැන වැටුනා වූ ද, ඒ අපි ළය ට ද, හිස ට ද, ගසාගනිමු.

වහන්ස, මේ දුක ද, මෙය ට වඩා ළාමක වූ අනෙක් දුකකට ද අපි සුදුස්සම් හ. දෙයධර්මය ඇති කල් හි ත් තමහට පිහිට වන පිනක් නො කළෙමු.

ඒ අපි මෙ ලොවින් චුත ව ගොස් මිනිස් ලොව උපතක් ලබා යදින්නන් ගේ වදන් දන්නා සුළු ව සීල සම්පන්න ව ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමු.



පාටලිපුත්‍ර ප්‍රේත කථාව

තී විසින් නරකයෙ හි වූවෝ ද තිරිසන්නු ද ප්‍රේතයෝ ද අසුරයෝ ද යළි මනුෂ්‍යයෝ ද දෙවියෝ ද දක්නා ලද්දාහු ය. තමා ගේ කර්ම විපාකය තෙමේ ම දුටුවේ ය. තී කිසිවෙකු විසින් නො දක්නා ලදුව පැළලුප් නුවර ට පමුණුවන්නෙමි. එ හි ගොස් කුශල ක්‍රියා කරව.

යක්ෂය නුඹ මට වැඩ කැමැත්තෙක් වෙහි ය. දෙවිය නුඹ මට හිත කැමැත්තෙක් වෙහි ය. එ හෙයින්  මම ඔබ ගේ අවවාද වචන කරමි. නුඹ මා ගේ ආචාර්ය ද වෙහි.

මා විසින් නරකයෙ හි වූවෝ ද තිරිසන්නු ද ප්‍රේතයෝ ද අසුරයෝ ද යළි මනුෂ්‍යයෝ ද දෙවියෝ ද දක්නා ලද්දාහු ය. මා ගේ කර්ම විපාක මම ම දුටිමි. බොහෝ පින් කරන්නෙමි.


අම්බරුක්ඛ ප්‍රේත කථාව
 

තාගේ මේ පොකුණ ද අතිරම්‍ය වෙයි. සමතලා වූ මනා තොටුපල් ඇත්තේ මහත් දිය ඇත්තේ ද වෙයි. මනාව පිපි මල් ඇත්තේ ද  බමර සමූහයාගෙන් ගැවසුණේ ද වෙයි. තොප විසින් මේ මණරම් පොකුණ කෙ සේ ලබන ලද්දේ ද?

තා ගේ මේ අඹ උයන ඉතා මණරම් වෙයි. පල දරයි. මනා ව පිපි මල් ඇත්තේ බඹර සමූහයාගෙන් ගැවසුනේ වෙයි. තා විසින් මේ විමන කෙ සේ ලබන ලද්දේ ද?

මා ගේ දුව විසින් ඒ දෙන ලද දාන හේතුවෙන් ඉදුනු අඹ හා පැන් ද, කැඳ ද, සිහිල් සෙවන ද එ හි දී මට ලැබෙයි.දානයා ගේ ද, ඉන්ද්‍රිය දමනයා ගේ ද, සීල සංයමයා ගේ ද, මෙ ලොව ම වූ විපාකය මෙ සේ බලව. මම ස්වාමීන් ගේ ගෙදර දාසියෙක් වී නැවත යෙහෙළියක් වී නැවත ස්වාමි දුවක් ද වීමි.



අක්ඛරුක්ඛ ප්‍රේත කථාව
යම් දාන වස්තුවක් දායක තෙම දේ ද, එය ම විපාක භාවයෙන් නො වෙයි. දානය දෙන්නේ ම ය. දී මෙ ලොව දුක ඉක්මවයි.ඒ දාන හේතුවෙන් දෙව්ලොව සැපත ට නොහොත් තමන් හා අනුන් ය යි දෙවැදෑරුම් හිත සැපය ට පැමිණෙයි. පුබුදුවයි, පමා නො වව. දන් දීමෙ හි උත්සුක වව්.



භොගසංහාර ප්‍රේත කථාව

අපි යුක්ති වශයෙන් ද අයුක්තියෙන් ද වස්තු සම්පත් රැස් කළෙමු. ඒ වස්තුව සෙස්සෝ පරිභෝග කරත්. අපි මහත් දුක ට හිමිවූවෝ වෙමු.



සෙට්ඨිපුත්ත ප්‍රේත කථාව
 

ලොහොකුඹු නිරයෙ හි පැසෙන්නා වූ අප ට සැට දහසක් අවුරුදු සැම ලෙසින් පිරුණාහු ය. කවර කලෙක කෙළවර වන්නේ ද?

නිදුකාණෙනි , මාගේ ද, තාගේ ද දුක් විඳීමේ කෙළවරක් නැත්තේ ය. අවසනක් කොයින් ද කෙළවර දක්නා නො ලැබේ. එ පරිද්දෙන් ම පව්කම්  මා හා තා විසිනුත් කරන ලදී.

යම් බඳු අපි දාන වස්තු ඇති කල් හි කිසිවක් නො දුනිමු. ගර්හිත ජීවිතයක් ඇති ව ජීවත් වීමු. දාන වස්තු ඇති කල් හි තමහට පිහිටක් අපි නො කෙළෙමු.

ඒ එ සේ මැ යි. ඒ මම මෙයින් සැවගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලී ව නොයෙක් යාචකයන් ගේ වදන් දක්නා සුළු ව සිල්වත් ව ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමි.



සෙට්ඨිපුත්‍ර ප්‍රේත කථාව
 

තෝ උතුම් ස්වභාව ඇත්තෙකු මෙන් ද භ්‍රාන්ත වූ මුවෙක මෙන් ද, කුමක් හෙයින් ඔබමොබ දුවන්නෙ හි ද? නිසැක ව පව්කම් ඇත්තෙකි. කුමක් හෙයින් ඉතා නාද කරමින් හැසිරෙන්නෙහි ද?

ස්වාමිනි, මම යමලොව උපන් දුක ට පත් ප්‍රේතයෙක්මි. පව්කම් කොට මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියෙමි. 

මාගේ හිසෙ හි  සැටදහසකට නො අඩු යකුළු සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මා ගේ  හිස් මුදුන බිඳිත්.

කයින්, වචනයෙන්, සිතින් තා කිනම් පවක් කරන ලද ද? කිනම් කර්මයක විපාකයෙන් මේ දුක ට පැමිණෙයි ද?

වැඩුඉඳුරන් ඇති රුක්මුල වැඩහුන් භාවංඅක කරන කිසි ලෙසකිනුත් බිය නැත්තා වූ සුනේත්‍ර නම් වූ පසේ බුදුන් මම දුටුවෙමි.

උන්වහන්සේ ගේ හිස ගල් විදුම් පහරින් හිස පැළුවෙමි. ඒ අකුශල කර්ම විපාක හේතුවෙන් මෙබඳු දුක ට පැමිණියෙමි.

මාගේ හිසෙ හි  සැටදහසකට නො අඩු යකුළු සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු මා ගේ  හිස් මුදුන බිඳිත්.

නින්දිත පුරුෂය තට සුදුසු වූ කරුණෙන් ම තා ගේ හිස නො අඩු යකුළු සියලු දිසාවෙන් වැටෙත්. ඒ යකුළු තා ගේ හිස් මුදුන බිඳිත්. එය තා ගේ කර්මය ට අනුරූප ව සිදුවන්නකි.
 
මහාවග්ගය නිමි. පෙතවත්ථුපාලි නිමි.


මෙ සේ නිම වූයේ ඛුද්දක නිකායේ ප්‍රේතවස්තුව යි. සමාජයේ සුලබ ව දක්නට ලැබෙන ප්‍රාණඝාතය, අදත්තාදානයාදී අකුසලයන් හි විපාක කෙබඳු වේ දැ යි පවුකමින් දුක්වින්දින්නවු ගේ ම මුවින් ප්‍රකාශ වීම ප්‍රේතවස්තුවේ දැක්වෙන කථාවන් හි විශේෂත්වය යි. මෙ හි කතාවස්තු පනස්එක ම කොටස් සතරකින් ත්‍රිපිටකය ට අනුව ම කිසිම කොටසක් වෙනස් නො කර අඩුවැඩි නො කර එ ලෙසින් ම දැක්වීමි. මෙ හි ඇති හරය බොහෝ දෙනා දකිත් වා! එ සේ දැක තිසරණයේ පිහිටත් වා! උතුම් නිවන පිණිස ම වීර්යය කරත් වා!

තෙරුවන් සරණ යි!


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...