Tuesday, June 5, 2012

දානයේ අනුසස් දැන දාන පාරමිතාව සපුරමු (03 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දානය සහ දානය පාරමිතාවක් කරගෙන සසරින් එතෙර වන අයුරු පිළිබඳ පෙර ලිපි ද්විත්වයෙන් බොහෝ කරුණු ඉදිරිපත් කළෙමි. දන් දීම සැම දෙනා ට ම කළ හැකි පහසු දෙයක් නො වේ. දන් දීමේ දී ඇතිවන අපහසුකම් කිහිපයක් ම ඇත. දුප්පත්කම, දන්දෙන විට වස්තුව ක්‍රමයෙන් අඩු වී යාම, දන් දියයුතු සුදුස්සන් නොමැතිකම ආදිය නිසා දන් දීම ට බාධාවක් වෙයි. නමුත් ඇතැම් විට දාන වස්තු තිබියදී දානය දෙන්න ට සිත නැමෙන්නේ නැති වන්නට පුළුවන. සුළු දෙයක් නො වටිනා දෙයක් දීම සැම ට කළ හැකි වුව ද, උසස් දෙයක් වටිනා දෙයක් තමා ට ප්‍රයෝජනවත් දෙයක් දීම බොහෝ දුර ට සිත දියුණු කරගත් නුවණ දියුණු කරගත් අය ට මිස අන්‍යයන් ට නො කළ හැකි ය. වටිනා දේ නො දී දාන පාරමිතාව සම්පුර්ණ කළ හැකි නො වේ. වටිනා උසස් දේ දන් දීම යුද්ධයක් කිරීම සේ අපහසු දෙයක් බව "දානං ච යුද්දං ච සමානමාහු" යනුවෙන් දක්වා තිබේ. යහපත් දේ කිරීම සඳහා වෙහෙසවීමක් කළ යුතු ම වන්නේ ය.


  • සබ්බ දානං ධම්ම දානං ජිනාති
ලාභ කීර්ති ප්‍රශංසා ආදී දේ ගැන අපේක්ෂාවක් නැති ව කරුණාව පෙරටු කරගෙන පින් පවු හඳුන්වා දීම වශයෙන් ධර්මය දේශනා කිරීම ධර්ම දානය වේ. සත්වයන් නිවන් මග ට පමුණුවමින් ආර්යසත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය යි. බණ නො අසන්නන් ට බණ ඇසීම ට සැලැස්වීම, ධර්ම කථිකයන් ලවා ධර්මය දේශනා කිරීම, බණ පොත් ලිවීම, මුද්‍රණය, මිලට ගෙන පූජා කිරීම, ධර්මය ඉගෙන ගන්නා අය ට පොත්පත් ආදිය සැපයීම ආදී ධර්මයේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය උදෙසා කළ හැකි කිනම් දෙයක් වුව ද, ධර්ම දානය ම වේ.

සියලු දානය අතරින් ධර්ම දානය අග්‍ර වේ.

"සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බ රතිං ධම්මරතිං ජිනාති
තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති"

ධර්මදානය සියලු දානයන් දිනන්නේ ය. ධර්ම රසය සියලු රසායන යටපත් කරන්නේ ය. ධර්මයේ ඇලීම සියලු ඇලීම් යටපත් කරන්නේ ය. තණ්හාව ක්ෂය කිරීමෙන් සියලු දුක් යටපත් කරන්නේ ය.

යමෙක් සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැති ව වදසිටින්නා වූ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයකි. ඒ අතිවිශාල ආමිෂ දානය ට වඩා එ තැන ට රැස් වූ පිරිස ට අනුමෝදනා වශයෙන් සතරපද ගාථාවකින් දහම් දෙසීම උතුම් ධර්ම දානයක් වන්නේ ය. ඒ මහා චීවර දානය එක් ගාථාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොලොස්වෙනි කලාව තරම් වත් නො වටිනා බව දක්වා තිබේ. තව ද, සක්වල පුරා වැඩසිටින බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා පාත්‍රා පුරා දෙන මහා ආහාර දානය ට ද, එ සේ ම පාත්‍රා පුරා දෙන මහා ගිලානප්‍රත්‍ය දානය ට ද, මහාවිහාර වැනි විහාර ලක්ෂ ගණනක් ඉදි කරවා, ලෝවාමහාපාය වැනි ප්‍රාසාද ලක්ෂ ගණනක් කරවා, පවත්වන මහා සේනාසන දානය ට ත් වඩා අනාථපිණ්ඩික සිටුතුමා කළ ජේතවනාරාම පරිත්‍යාගය ට ද, වඩා සතරපද ගාථාවකින් දහම් දෙසීම උතුම් බව දක්වා තිබේ. හේතුව ඉහත කී මහා දානයන් දෙන්නේ දහම් ඇසීම නිසා ම වන බැවිනි. දහම් නො ඇසුවේ නම් යටත් පිරිසෙන් කැඳ සැන්දක් පවා පින ට නො දෙන්නාහු ය. එ සේ හෙයින් ම සියලු දානයන් අතර ධර්ම දානය උතුම් ය.

  • පින් නො වන පව් සිදුවන දාන

විනය පරිවාර පාළියෙ හි අපුන්‍ය දාන පහක් ඇති බව දක්වා තිබේ. එ නම් මත්වතුර දීම, අනුන් ට බැලීම ට නැටුම් පැවැත්වීම, පුරුෂයන් ගේ නො මනා ක්‍රියා සඳහා ස්ත්‍රීන් දීම, දෙනුන් ට ගැබ් ගැන්වීම සඳහා ගොනුන් දීම, රාග චිත්‍රරූප ආදිය දීම යන මේ පහ තුළින් පව් සිදුවන්නේ ය. අද ලංකාවේ පවා විශේෂ පොහෝ දිනයන් හි දී ඇතැම් ප්‍රදේශවල මෙ වැනි දානයන් සිදුකරන බව අසන්නට ලැබීම කනගාටුදායක ය.

  • අසත්පුරුෂ දාන පහ

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මේ පිළිබඳ කරුණු දක්වා තිබේ.

(01) ප්‍රතිග්‍රාහකයන් ට සුව සේ වැළඳිය හැකි නො පරිද්දෙන් සකස් නො කොට, නො මනා කොට දෙන දානය.

(02) දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ගෞරවයකින් තොර ව දෙන දානය.

(03) සියතින් නො දී මෙහෙකරුවන් ආදීන් ලවා දෙවන දානය.

(04) නිතර නො දී නරක් වූ දෙයක් අහක දමන දෙයක් මෙන් ඉතා කලාතුරකින් දෙන දානය.

(05) මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැති ව දෙන දානය.

යන මේ දාන පහ අසත්පුරුෂ දාන වේ. දීම ට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද, රසයෙන් හා ඕජාවෙන් ද, යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුව ට ගෞරවාදර කිරීම ය. එ සේ නො කර ගල්කැට වැලිකැට සහිත ව ලුණුඇඹුල් නැති ව දානය පිළියෙළ කිරීම දාන වස්තුව ට අනාදර අගෞරව කිරීම ය.

දෙන කල් හි උතුම් වූ දීම ට සුදුසු ප්‍රතිග්‍රාහකයන් සොයා දිය යුතු බව බුදුන් අනුදැන වදාළ සේක. එය මෙ ම ලිපි පෙලේ පළමු ලිපියෙන් විස්තර කරන්නට යෙදුනි. දෙන දෙය කාහට ගියත් කමක් නැත යි දුටු කෙනෙකු ට දීම ප්‍රතිග්‍රාහකයන් ට අනාදර අගෞරව කිරීම ය.

ප්‍රතිග්‍රාහකයන් ගේ වැඩ පාළු කිරීමේ අරමුණින් බොහෝ දුර සිට ගෙන්වා සුළු දාන වස්තුවක් දීම, සිසිල් සෙවනේ කරදරයක් නැති ව දානය වළඳන භික්ෂුන් ට එය ට ඉඩ නො දී තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දානය අසත්පුරුෂ දාන සංඛ්‍යාව ට ම අයත් වේ.

දන් දෙන කල් හි දෙන දානය අසත්පුරුෂ දානයක් නො වී සත්පුරුෂ දානයක් ලෙස ම දීම කළ යුතු ය. දානය යහපත් වන්නේ ප්‍රතිග්‍රාහකයන් ට එයින් ප්‍රයෝජනයක්, යහපතක් වන අයුරින් දුනහොත් පමණි.

දන් දීමේ එක් පරමාර්ථයක් වන්නේ අනුන් ට පහසුවක් ඇති කිරීම ය. භික්ෂුන් වහන්සේලා සියගණන් ගෙන්වා දානයන් දීම අද බොහෝ සෙයින් සිදුකරති. එ හි වරදක් නැත. නමුත් ප්‍රතිග්‍රාහක පාර්ශවය ට එයින් සිදු වන කරදර, අලාභ, හානි ආදිය පිළිබඳ කල්පනා නො කර දීම ගැන පමණක් කල්පනා කර දෙන එ වැනි දානයන් තුළින් පව් මිස පින් රැස් වන්නේ ම ය.

  • අසත්පුරුෂ දානයේ විපාක

ඉහත විස්තර කළ පරිදි දන් දුන් උදවිය ට විපාක වශයෙන් දුන් දානය සේ ම අයහපත් වූ භවභෝග ලැබේ. මදුරුවන්, මීයන්, වෙයන්, මකුණන්, වැනි සතුන් ගෙන් නිතර කරදර ඇති වන්නේ ය. නිවාස ආදිය ප්‍රතිසංස්කරණය කරන්න ට කරන්නට තව තව ත් කැඩී බිඳී විනාශ වන්නේ ය. ගවාදී සතුන්, සොරුන්, ජලය අඩුවැඩි වීම ආදියෙන් කරදර බහුල වන්නේ ය. අකීකරු අඹුදරුවෝ ලැබෙන්නේ ය. යහපත් ප්‍රනීත ආහාරපාන, ය්යහපත් රථවාහන, ඇඳුම් ආදිය ලැබුනත් ඒවා පරිහරණය කිරීම සඳහා සිත්වන්නේ නැත. මේ අසත්පුරුෂ දානයන් හි විපාක වේ.

  • දන් නො දීමේ වරද
මේ ලිපිය කියවන උදවිය දන් දීම නිසා පව් රැස් කරගන්නේ කුමක් නිසා දැ යි සිතා දන් නො දී සිටීම ට ඉටාගත හැකි ය. එය එ සේ නො වේ. දන් නො දීම තමා ට ම වලක් කපා ගැනීමක් බඳු ය.

"යස්සෙව භීතො න දදාති මච්ජරි තදෙව දදතො භයං ජිගච්ජා ච පිපාසා ච යස්ස භායති මච්ජරි
තමෙව බාලං ඵසති අස්මිං ලොකෙ පරම්හි ච"

මසුරා යමකට බියෙන් නො දේ ද, නො දීමෙන් ඔහු ට වන බිය ද, එය ම ය. සාගින්න, පිපාසාව යන යමකට මසුරා බිය වේ ද, එය ම ඒ බාලයා ට මෙ ලොව දී ද, පරලොව දී ද, දන් නො දීම නිසා පැමිණේ.

එ සේ නම් බෞද්ධයන් ලෙස දන් දිය යුත්තේ කෙ සේ දැ යි විමසා බැලීම වැදගත් වේ. බෞද්ධයන් පමණක් නො ව අන්‍යාගමිකයන් ද, දන් දෙති. අබුද්ධෝත්පාද කාලවල දී ද, දන් දීම සිදුකළ හැකි ය. එයින් සැප විපාක ද, ඇති වේ. නමුත් බෞද්ධයන් වශයෙන් අප සියල්ලන් ගේ ම පරම අධිෂ්ඨානය විය යුත්තේ මේ ලෞකික සැප නො ව උතුම් ලෝකෝත්තර සැප වූ නිවන ය. ඒ සඳහා පාරමිතා වැඩෙන අයුරින් දන් දියයුතු ආකාරය පෙර ලිපියෙන් විස්තර කරන ලදී. එ ම නිවන පිණිස දෙන දාන සිතිවිලි නිසා සිතේ චිත්තාලංකාරය සහ චිත්තපරිෂ්කාරය යන ධර්මතා වැඩෙන අයුරින් දන් දිය යුතු ය. චිත්තාලංකාරය යනු සිතේ අකුසල් සිතිවිලි දුරු වී බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම ය. චිත්තපරිෂ්කාරය යනු ඒ කුසල් සිත පිරිවරාගෙන බෝධිපාක්ෂික ධර්ම වැඩීම යි. දානය දීම ට පෙර, දෙනවිට හා දුන් පසු සිතේ සොම්නස් සහගත සිතිවිලි, ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රී සහගත බව, වීර්යය, සමාධිය යන කරුණු ඒ ඒ මොහොතේ සිහියෙන් යුතු ව පවතින්නේ ය. ඒ අනුව පාරමිතා සම්පුර්ණත්වය සඳහා උපනිශ්‍රය වන කුසලයක් සේ ම බෝධිපාක්ෂික ධර්ම වැඩෙන කුසලයක් සේ ම සතර සතිපට්ඨානය ද, වැඩෙන කුසල කර්මයක් බව ට මේ දානය පත් කර ගැනීමේ හැකියාවක් ඇති බව ඔබ සැම දෙනා ට ම වැටහෙන කරුණකි.

දානය නිසා සතරසතිපට්ඨානය වැඩෙන ආකාරය පිළිබඳ තවදුර ට ත් කියතොත් දානයක් දෙන අවස්ථාවේ කයින් සිදුකරන වැඩ සිහියෙන් යුතු ව සිදුකිරීම නිසා කායානුපස්සනාව වැඩෙයි. දානානිසංස සිහිකරමින් තෙරුවන් ගුණ සිහිකරමින් සිහියෙන් යුතු ව සොම්නස් සහගත සිතිවිලි පැවතීම නිසා වේදනානුපස්සනාව ද, වැඩෙයි. එ මෙන් ම දානය දෙන විට සිතේ ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රී සහගත බව, වීර්යය, සමාධිය යන කරුණු වැඩීම සිදු වේ. මේ නිසා ධම්මානුපස්සනාව ද, වැඩෙයි. සිතේ සිහියෙන් යුතු ව කුසල් සිත් පවතින බැවින් චිත්තානුපස්සනාව ද, වැඩෙයි. මේ අනුව දානය දෙන විට ත්, දානය වළඳවන විට ත්, දානය දුන් පසු ත්, ඇතිවන කුසල් සිතිවිලි නිසා සතර සතිපට්ඨානය වැඩෙයි.

එ මෙන් ම දානයක් දෙන අවස්ථාවල උපන් අකුසල් යටපත් වී නූපන් කුසල් මතු වීම ත්, උපන් කුසල් වැඩිදියුණු වීම ත් සිදු වන්නේ ය.

එ මෙන් ම දානය නිසා සෘධිපාද සතර ද, වැඩීම සිදු වේ. දානය දීම සඳහා බලවත් කැමැත්තක් හෙවත් (ජන්ද)ඇති විය යුතු ය. නැතිනම් අකමැත්තෙන් දන්දීම කළ හැකි නො වේ. දානය දීම ට බලවත් කුසල් සිතිවිලි (චිත්ත) පහල විය යුතු ය. කුසල් සිදුකිරීම ට උත්සාහයක් අවශ්‍ය ම් වේ. දානයක් දීම ට ද එය පොදු බැවින් සිතේ උත්සාහයක් (වීර්යය) ඇති විය යුතු ය. බලවත් අවබෝධයෙන් (වීමංසා) දානය පිළියෙළ කර දීම සිදු වේ. මේ අනුව ඡන්ද, චිත්ත, විරිය, විමන්සා යන සෘධිපාද සතර ද, දානය නිසා වැඩිදියුණු වන බව වැටහෙනු ඇත. මේ සියල්ල සිතේ අලංකාරය හා සිතේ පරිෂ්කාරය වේ.

එ පමණක් නො ව සිතේ ඉන්ද්‍රිය ධර්ම පහ ද, දානය අනුව වැඩීම සිදු වේ. ඒ කෙ සේ ද යත් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වීම හා දානයේ අනුසස් මෙනෙහි කිරීමාදිය නිසා සිතේ ශ්‍රද්ධාව වැඩිදියුණු වේ. එය ශ්‍රද්ධා ඉන්ද්‍රිය යි. ලෝභය යටපත් කරන වීර්යය පහල වීම ද, දානය නිසා සිදු වන බැවින් විරිය ඉන්ද්‍රිය ද, ඇති වේ. කුසල් කිරීමේ සිත තුළ එළඹ සිටි සිහියෙන් යුතු වූ බැවින් සිහිය වැඩිදියුණු විය. එය සති ඉන්ද්‍රිය යි. දානය පිළිබඳ සිතන චිත්තවීථියක් පාසා සිතේ එකඟ බව වැඩිදියුණු වන්නේ ය. එය සමාධි ඉන්ද්‍රිය යි. මේ සඳහා අවබෝධයක් ඇති වීම සිදු වූ බැවින් ප්‍රඥා ඉන්ද්‍රිය ද, පහල විය. මෙ සේ දානය දීම තුළ ඉන්ද්‍රිය ධර්ම පහ ද, වැඩීම සිදු වේ. මෙය ද, චිත්තාලංකාරය හා චිත්තපරිෂ්කාරය ම වේ.

එ පමණ ද, නො වේ. දානය නිසා සිතේ බලධර්ම පහ ද, වැඩෙයි. ඒ මෙ සේ ය. මේ කුසලය කිරීමේ දී අචල ශ්‍රද්ධාවක් ත්‍රිවිධ රත්නය කෙරෙහි ම පහල වන බැවින් ශ්‍රද්ධා බලය ඇති වේ. ලෝභය, කුසීත බව යටපත් කරමින් සිත දානය සඳහා නැඹුරු කරවන වීර්යයක් හට ගන්නා බැවින් වීර්යය බලය ද, වැඩෙයි. යටපත් නො වන සිහියක් පවතින හෙයින් සති බලය ද, වැඩේ. දානය දෙන විට සිතේ විසිරීමක්‌ ඇති නො වන බැවින් සති බලය වැඩෙයි. මෝහයෙන්, අඥානකමින් යටපත් නො වන නුවණක් වැඩෙන බැවින් ප්‍රඥා බලය පහල වේ. මේ පංච බලය ම් කුසල් කිරීමේ දී, දානය දීමේ දී ඇතිකර ගත හැකි ය. මෙය ද, චිත්තාලංකාරය හා චිත්තපරිෂ්කාරය වේ.

එ පමණක් නො ව බෝජ්ජංග ධර්ම ද, දානය තුළින් වැඩිය හැකි ය. නමුත් දානයේ අරමුණ ඒ සඳහා පැවතීම අත්‍යවශ්‍ය වේ. දානය දෙනවිට ඇතිවන සිහිය සතිසම්බෝජ්ජංගය නම් වේ. ඒ සඳහා පහල වන නුවණ ධම්මවිජයසම්බෝජ්ජංගය නම් වේ. ඒ නුවණ සඳහා යෙදෙන උත්සාහය විරියසම්බෝජ්ජංගය වන්නේ ය. සිතේ පවත්නා ප්‍රීතිය ප්‍රීතිසම්බෝජ්ජංගය නම් වේ.  ඒ සිතේ පවතින කායපස්සද්දි හා චිත්තපස්සද්දි යන දෙක ම පස්සද්දිසම්බෝජ්ජංගය වන්නේ ය. එ විට පහල වන කුසල් සිතේඑකඟ බව සමාධිසම්බෝජ්ජංගය නම් වේ. චිත්ත චෛතසිකයන් හි ඇති වන උපේක්ෂාව උපේක්ඛාසම්බෝජ්ජංගය වන්නේ ය. එ බැවින් දානය තුළින් බෝජ්ජංග සත ද, වැඩෙන බැවින් සිතේ චිත්තාලංකාරය ත් චිත්තපරිෂ්කාරය ත් ඇති වේ.

එ පමණක් ද නො වේ. දානය තුළින් ආර්යෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කර නිවන කරා ගමන් කිරීමේ හැකියාව ද, පවතී. මේ කුසලයන් සිදුකරන විට පවතින අවබෝධය යම් පමණකට දුක්ඛ සත්‍යය දැනගැනීම ට ත්, සමුදය සත්‍යය ප්‍රහාණය කිරීම ට ත්, නිරෝධ සත්‍යය සාක්ෂාත් කිරීම ට ත්, මාර්ග සත්‍යය වැඩිදියුණු වීම ට ත් හේතු වන බැවින් එය සම්මා දිට්ඨි නම් වන්නේ ය. දන් දීම සඳහා අකුසල් සිතිවිලි ඉවත් වී කුසල් සිත වැඩීම සිදුවන බැවින් සම්මා සංකප්පය ද, වැඩිදියුණු වන්නේ ය. මුසාවාදයෙන්, කේලමින් තොර වූ, සම්පප්‍රලාපයෙන් තොර වූ, පිසුණු බසින් තොර වූ යහපත් වූ වචන කතා කරන බැවින් සම්මා වාචා ද, වැඩෙයි. ඒ මොහොතේ ප්‍රනඝාතයෙන් තොර ව අදත්තාදානයෙන් තොර ව කාමමිත්‍යාචාරයෙන් තොර ව කුසලක්‍රියාවක් සඳහා ම කය හසුරවන බැවින් සම්මා කම්මන්තය ද, වැඩෙයි. දානය දෙන අවස්ථාවේ හුස්මගැනීමේ පටන් සියලු දේ සිදුකරන්නේ පිරිසිඳු සිතින් බැවින් ඒ අනුව සම්මා ආජීවය ද, පහල වේ. නූපන් කුසල් උපදින බැවින්ද, උපන් කුසල් වැඩිදියුණු වන බැවින් ද, නූපන් අකුසල් නූපදින බැවින් ද, උපන් අකුසල් ඉවත් ව යන බැවින් ද, ඒ සඳහා යොදන වීර්යය සම්මා වායාම නම් වන්නේ ය. මේ අවස්ථාවේ සිහියෙන් යුතු ව සිටීම නිසා සම්මා සති නම් වූ මාර්ගාංගය ද, වැඩෙන්නේ ය. පංච නීවරණ ධර්ම යටපත් කර කුසල  විතක්ක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල එකාග්ගතා යන අංගවලින් සමන්විත වන බැවින් සම්මා සමාධිය ද, සිතේ වැඩෙන්නේ ය. මෙය ද, චිත්තාලංකාරය ත් චිත්තපරිෂ්කාරය නම් වේ.

එ බැවින් බෞද්ධයා ගේ කුසල් කිරීමේ පරමාර්ථය විය යුත්තේ දිව්‍යලෝකයේ යාම හෝ සැපසම්පත් ලබා ගැනීම නො ව නිවන පිණිස ම බව තේරුම් ගන්න ට අවශ්‍ය ය. යම් හෙයකින් මෙයින් මට ධනය ලැබේ වා කියා, මට චක්‍රවර්ති සැප ලැබේ වා, මට ධනය, බලය, කීර්තිය ආදී දේ ලැබේ වා කියා සිතුවහොත් එ හි දී සිතේ අලංකාරය හෝ සිතේ පරිෂ්කාරය ඇති වන්නේ නැත. එ හි දී  ඇතිවන්නේ සසර දික්කරන කුසල විපාකයන් පමණකි. ඒ කුසලය නිසා පාරමිතා හෝ ඉන්ද්‍රිය ධර්ම හෝ බලධර්ම හෝ බෝජ්ජංග ධර්ම හෝ මාර්ගාංග හෝ සතිපට්ඨානය හෝ නො වැඩෙන්නේ ය.  ඒවා වට්ටගාමිණී කුසල් ලෙස හඳුන්වයි.

අද කාලයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා හා ඔවුන් සරණ යන්නවුන් වරදවා ගන්නා පින සහ කුසලය දෙකක් වන බව සඳහා ද, මෙ හි දී පිළිතුරක් දීම වටින්නේ ය යි සිතේ.

මේ කරුණ අභිධර්මය අනුව තවදුර ට ත් විමසා බැලිය හැකි ය. කුසල් හෝ පින්කම් හෝ සිදුකරන විට කාමාවචර භූමිවල ඉතා බහුල ව පහල වන සිත් අටක් දේශනා කර ඇත.

සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංස්කාරික සිත
සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංස්කාරික සිත
සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංස්කාරික සිත
සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංස්කාරික සිත
උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංස්කාරික සිත

වශයෙනි. දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්ම දේසනං, ධම්ම සවනං, දිට්ඨිජ්ජුකම්ම යන දස පුණ්‍යක්‍රියා අනුව මේ සෑම සිතක් ම දස ආකාර වේ. ඒ අනුව කාමාවචර කුසල් සිත් 80 කි.

පින එකක් ය, කුසලය එකක් ය, කියන්නේ නම් මේ දක්වන ලද සිත්වල යම් හෝ වෙනසක් තිබිය යුතු ය. 'සෝමනස්ස සහගත' යනු දානාදී කුසල් සිදුකරන විට සිතේ ඇතිවන සොම්නස ය. 'උපේක්ඛා සහගත' යනු එ ම අවස්ථාවන් හි ඇතිවන මධ්‍යස්ථ බව ය. 'ඥාන සම්ප්‍රයුක්ත' යනු බුද්ධාදී උතුමන් කෙරෙහි, කුසලාකුසල කර්මඵල ආදිය පිළිබඳ ඇති දැනීම ය. 'ඥාන විප්‍රයුක්ත' යනු එ හි විරුද්ධාර්ථය ය. 'අසංස්කාරික' යනු කිසිවෙක් ගේ මෙහෙයවීමකින් තොර ව සිදුකිරීම යි. 'සසංස්කාරික' යනු කිසිවෙක් ගේ මෙහෙයවීමක් මත ඒ කුසලය කිරීම යි. කරන දෙය ට පින් කියා කීව ද, කුසල කියා කීව ද, ඇතිවන්නේ මේ සිත් ය. දිව්‍යලෝකවල, මනුෂ්‍යලෝකවල සැපසම්පත් විඳීම සඳහා කරන දේ ට මේ මේ සිත ය යි ද, නිවන සඳහා කරන දේ ට මේ මේ සිත ය යි ද, සිත් කොටස් දෙකක් නැත. එයින් ම මේ කරුණ වචන දෙකක් මිස අර්ථ දෙකක් නො වන බව මනා ව පැහැදිලි වේ. ලෞකිකාර්ථයෙන් සිදුකරන පින් හෙවත් කුසල් වට්ටගාමිණී පින් හෙවත් වට්ටගාමිණී කුසල් ලෙස ද, ලොකොත්තරාර්ථය පිණිස සිදුකරන පින් හෙවත් කුසල් විවට්ටගාමිනී පින් හෙවත් විවට්ටගාමිනී කුසල් ලෙස හැඳින්වේ. නමුත් ලෝකොත්තරාර්ථයෙන් සිදුකරන දේ කුසල් බව ත් ලෞකිකාර්ථයෙන් සිදුකරන දේ පින් බව ත් කියන උදවිය පිළිබඳ අප ට කියන්න ට ඇත්තේ තම තම නැණ පමණින් විමසා බලා කටයුතු කරගන්නා ලෙස ය.මේ පිළිබඳ ඉදිරි ලිපියකින් තවදුර ට ත් කරුණු ඉදිරිපත් කෙරේ.

අබුද්ධෝත්පාද කාලයේ දෙන මහාදානවල ට වඩා බුද්ධෝත්පාද කාලයේ දෙන එක බත් හැන්ද විපාක ගෙනදුන් අයුරු මේ ලිපි කිහිපයෙන් ඉදිරිපත් කරන්න ට යෙදුනි. දානයේ ආනිශංස වැඩිවන ලෙස දන් දියයුතු ආකාරය පිළිබඳ ව ද, ඉදිරිපත් කරන්න ට යෙදුනි. පාරමිතා පිරෙන ලෙස දන් දිය යුතු අයුරු, දානය නිසා සතිපට්ඨානය, ඉන්ද්‍රියධර්ම, බලධර්ම, බෝජ්ජංග, මග්ගංග වැඩෙන අයුරු ද, විස්තර කරන්න ට යෙදුනි. මෙය ද, දුර්ලබ බුද්ධෝත්පාද කාලයකි. තමහට වැඩකමත්තෝ තිසරණයේ පිහිටා කටයුතු කරත් වා!

මෙ ම ලිපි පෙළ ඉදිරිපත් කිරීම සඳහා රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ ගේ "බෞද්ධයා ගේ අත්පොත" සහ "පාරමිතා ප්‍රකරණය" යන ග්‍රන්ථ දෙක මහත්සේ උපයෝගී විය. එ මෙන් ම මහාකම්මට්ඨානාචාර්ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ දානය පිළිබඳ දේශනා කළ ධර්ම දේශනා කිහිපයක් ද, මහෝපකාරී විය. එ ම ධර්ම දානයන් ද, කෘතඥපූර්වක ව සිහිපත් කරමි.

තෙරුවන් සරණ යි!

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...