Tuesday, October 18, 2011

කඨින චීවර පූජාව - (02) කොටස.

කඨින චීවර පූජාව (01)  කොටසේ දී වස් සමාදන් වීම සඳහා බලපෑ සමාජීය හේතු සහ කඨින චීවර පූජාවේ ආරම්භය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර මෙ ම (02) කොටස මගින් බලාපොරොත්තු වන්නේ කඨින චීවර පූජාවේ අනුසස් පැහැදිලි කිරීම ය.


කඨින චීවර පූජාවේ අනුසස්.

 
"කඨින" යන්නෙ හි අදහස ස්‌ථිර සාර ය යන්න ය. තද ගතිය, නො සෙල්වෙන ගතිය, නො කැඩෙන, නො බිඳෙන ගතිය යන විවිධ අර්ථ ගෙන දෙයි. කඨින චීවර පුජාව අටමහා පින්කම් අතරින් එකකි. මෙ හි අනුසස් මහ පොළොව මෙන් කිසි කලෙක ත් කම්පා නො වෙයි. මහ මෙර මෙන් අධික සුළඟ ට නො සැලෙයි. ඒකඝන වජ්‍ර පර්වතය මෙන් නො
බිදිය හැකි වෙයි. ඉතා ගරු කුසල කර්මයකි. මහා මේරු පර්වතය, පෘථිවිය, දියමන්තිය වැනි සාර භාර වස්‌තු මෙන් කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසලය ද, බලසම්පන්න ය. යමෙක්‌ මහා බලගතු පාපකර්ම කර නැත්නම් (ආනන්තරීය පාපකර්ම)  කඨින චීවර පූජාවේ අනුසස්‌ ඉක්‌මනින් ම ලැබෙන බව දැක්‌ වේ. 


මනුෂ්‍ය සම්පත අතර ඉහළම සැප ළඟා කර ගත හැකි කුසලයක්‌ ලෙස කඨින චීවර පූජාව පිළිබඳ මහා නාගිත අපදානයෙ හි විස්‌තර වේ. සක්‌විති සැප, සක්‌දෙවි පදවි ලැබීම ට තරම් වාසනා සම්පත් ඇති කුසලකර්මයකි. යමෙක්‌ මෙම පින්කම සිදු කරන්නේ නම් කිසිදු දිනෙක දුගතියක නූපදින බව ට සාක්‍ෂි නාගිත අපදානයෙන් ප්‍රකාශිත ය. 

පෙර ජාතියක නාගිත නම් තෙර කෙනෙක් කඨින සිවුරක් සඟන ට පුදා ලද සැප සම්පත් මෙ සේ සඳහන් කොට ඇත.

"මම මෙයින් අනු එක් කල්පයක ට පෙර බුදු පාමොක් මහ සඟන ට කඨිනයක් පිදුවෙමි. ඒ කුසල බලයෙන් මහා කල්ප තිහක් දුගතියක ට නො පැමිණියෙමි. අටලොස් කල්පයක් ම දෙව්ලොව සිත් අලවා වාසය කළෙමි. තිස් හතර වාරයක් ශක්‍ර සම්පත් වින්දෙමි. එක් ඉදි කටු ඇසක ට තිස් හය වාරයක් බැගින් සක් විති සම්පත් ලැබුම ට හේතු සම්පත් ඇති වූව ත් සසර එ පමණ කල් නො සිටි හෙයින් අසූ හය වාරයක් සක්තිවි රජ සිරි වින්දෙමි. උපනුපන් හැම තැනක දී ම කඨින දානයේ ආනිශංස වශයෙන් සියලු සම්පත් ලැබ ඉතා සුවසේ කල් ගෙවූවෙමි. දෙව් මිනිස් ලොව හැර අන් කිසි දුගතියක කවර දා වත් නූපන්නෙමි. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, දෙකුලය හැර අනික් කිසි කුලයක කවර දා වත් නූපන්නෙමි. මුළු පොළව සුදු කසී සළුවෙන් වසන්න ට තරම් පොහොසත් කෙනෙක් වූයෙමි. මේ කඨින චීවර දානයේ ආනිසංසයෙන් මම දෙව්ලොව උපන් කළ දෙවියන් අතර ද, මනුලොව උපන් කළ මිනිසුන් අතර ද, ඉතා ප්‍රිය මනාප කෙනෙක් වූයෙමි. අවසාන වශයෙන් මම එ ම කඨින චීවර දානයේ ආනිශංසයෙන් අමාමහ නිවන් ද, ලබා ගත්තෙමි" යි නාගිත හිමියෝ බුදුරදුන් ඉදිරියේ ප්‍රකාශ කළ හ.


සසර ගමනේ දී බලවත් ආත්ම භාව ලැබීම, ශක්‍ර සම්පත් චක්‍රවර්තී රාජ සම්පත් ලබන්න ට කඨින පිංකම ඉවහල් වූ බව බෞද්ධ කතා පුවත්වල දක්‌න ට ලැබේ.

කඨිනානිශංස බුදු දහමේ විස්තර වන්නේ මෙ සේ ය.
                                  


"යාවතා සබ්බ පරික්බාරේ
 සංඝස්ස සතතං දදෙ
 ඒකස්ස කඨින දානස්ස
 කාලං නාග්ඝති සෝළසිං"

යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලා ට අවශ්‍ය කරන සියලු පිරිකර හැම දා ම නිරතුරු ව පූජා කිරීමෙන් ලැබෙන ආනිශංසය ත්, කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිශංස ත්, අතර සොළොස් කලාවෙන් කලාවක් නො වටින ගුණයක පරතරයක් ඇත. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලැබේ. 

"ගිරිරාජ සමංරාසිං
සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළිසිං"
ලොව ඇති උසස් ම වර්ගයේ වස්ත්‍රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරුවලින් මහමෙර උස ට ගොඩ ගසා පූජා කළ ත්, කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිශංසත් එක්ක ගත් විට දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් නො වටින්නේ ය. 


එයින් අදහස් කරන්නේ මහමෙර උස ට සිවුරු පූජා කරනවා ට වඩා කඨින චීවරයක් පූජා කිරීම බලසම්පන්න බව ය.


"යාවතා සබ්බ දානානි
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං"

ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්න ත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නො වේ. කඨින දානයකින් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා බල සම්පන්න වේ.

"යාවතා පඤ්ච හේ සජ්ජං
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං"

මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්න ත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එය ට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලබා දෙයි.

"සබ්බ දානං දදන්තේන
අස්මිං පුථුවි මණ්ඩලෙ
සංඝස්ස දින්නං කඨිනං අග්ගං
බුද්ධෙන වණ්ණිතං"

මේ මිහිපිට දෙන දන් අතරින් සංඝයා ට දෙන ලද කඨින දානය ම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබේ.

"මානුසිකාච සම්පත්ති
දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති
සබ්බමේතේන ලබ්භති"

මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීම ට මෙ ම කඨින පූජාවක ආනිසංසවල ට බලයක් ඇත.

මේ අනුව කඨින චීවර පූජාවේ අනුසස් මහත්ඵල ය. එ මෙන් ම දුර්ලබ ය.
කඨින චීවර පූජාව -(03)සමග සබැඳේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...