Friday, May 25, 2012

අනෝමදස්සී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සොභිත බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අපමණ පිරිවර ඇති  තේජස් ඇති  යටහත් කළ නො හැකි අනොමදස්සී නම් සම්බුදුරජතෙම විය. උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ  කාම, රූප, අරූප, යන තුන් භවයන් නසා  දෙවි මිනිසුන් ට පැවැත්ම ට විරුද්ධ වූ මග දෙසූ සේක.

උන්වහන්සේ සාගරය මෙන් නො කැළඹිය හැක්කේ ය.  අහස මෙන් කෙළවරක් නැත්තේ ය.  මහාමේරු පර්වතය මෙන් නො ළං විය හැක්කේ ය.

දෙතිස් මහා පුරුෂ ලක‍ෂණ  අසූ අනූ ව්‍යංඤජන ආදියෙන් මල් පිපුණු සල් ගසක් මෙන් බබළයි. සත්ත‍වයෝ ඒ බුදුරදුන් දැකීමෙන් ද, පිණාගියාහු වෙත්.  ඒ සත්ත‍වයෝ දහම් දෙසන බුදුරදුන් ගේ වචන අසා නිවන ට පැමිණෙත්.

ඒ කාලයෙ හි උන්වහන්සේගේ ධර්මවබෝධය සමෘධවූයේ වැඩුනේ ද විය.   පළමුවන දම් දෙසුමෙ හි දී කෝටි සියයක් සත්ත‍වයෝ ධර්මවබෝධය කළ හ. ඉන් පසු ද, ධර්මවබෝධය වන දහම් වැසි වස්නා දෙවන දම් දෙසුමෙ හි දී, අසූ කෝටියක් දෙනා ධර්මවබෝධය කළ හ.

ඉන්මතු ත්, දහම් වැසි වස්නා කල් හි ද එයින් ජනයන් ට සංග්‍රහ කරන කල් හි ද,  සැත්තෑ අට කෝටියක් සත්ත‍වයන් ට තුන්වන ධර්මවබෝධය විය.

මහඍෂී වූ ඒ අනෝමදස්සී සම්බුදුරදුන් ට ෂට් අභිඥාවන්ගෙන් බලය ට පැමිණි අරහන්ත ඵල විමුක්තියෙන්  රැස්වීම් තුනක් වූ හ. ඒ කාලයෙ හි තාදී ගුණ ඇති,  සන්සුන් සිත් ඇති,  මද හා මෝහ පහ කළ අටලක‍ෂයක් පමණ රහතුන් ගේ පළමු රැස්වීම විය. කෙලෙස් රහිත  කෙලෙස් දූලි නැති කළ  සන්සුන් සිත් ඇති  තාදී ගුණයෙන් යුත් සත්ලක‍ෂයක් රහතන් වහන්සේලා ගේ දෙවන රැස්වීම විය. කෙලෙස් තැවූ  රාගාදී ගිනි නිවීම කළ  ෂට් අභිඥාවන්ගෙන් බලය ට පැමිණි  හය ලක‍ෂයක් රහතන් වහන්සේලා ගේ තුන්වන රැස්වීම විය.

Pictureමම ඒ කාලයෙ හි මහත් ආනුභාව ඇති,  නොයෙක් කෝටි ගණන් යක‍ෂයන් වසඟ කිරීමෙහි දක‍ෂ යක් සෙනෙවියෙක් වීමි. ඒ කාලයෙ හි ද, මහඍෂී වූ ඒ උතුම් බුදුරදුන් වෙත එළඹ සඟුන් සහිත ලෝනාහිමියන් ට ආහාර පාණයෙන් සංග්‍රහ කළෙමි.

ඒ කාලයෙ හි පිරිසිදි ඇස් ඇති ඒ අනෝමදස්සී මුනික්ෂ ද, මෙතෙම යක් සෙනෙවි මෙයින් අපමණ කපෙ හි අසංඛ්‍ය කල්පයෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද,කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය.   පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. "කෝලිත" ද,  "උපතිස්ස" ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   "ආනන‍ද"නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. "ඛෙමා" ද,  "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ
අනෝමදස්සී බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. එ පරිද්දෙන්ම අපි හැමදෙන මේ සුමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

ඒ බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දසපැරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුවෙමි.

අනෝමදස්සී ශාස්තෘන් වහන්සේ ගේ උපන් නුවර "චනන්දවතී" නම් විය. පියතෙම "යසවන්ත" නම් රජ ය. මවු තොමෝ "යශොධරා" නම් වූවා ය. ඒ අනෝමදස්සී බුදුරජතෙම බුදුවන් ට පෙර අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී ය.   "සිරී" ය,  "උපසිරී" ය "වඩ්ඪ" ය යන උතුම් තුන් පහයක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි. බිරිඳ "සිරිමා" නම් වූවා ය. පුත් තෙම "උපවාරණ" නම් විය.

ජිනරාජතෙම සතර පෙර නිමිති දැක  රන්සිවි ගෙයකින් මහාබිනික්මන් කළේ ය. නො අඩු දසමසක් ප්‍රධාන වීර්යය කළේ ය. මහාවීර වූ ඒ අනෝමදස්සී මහමුනිඳු තෙම බඹහු විසින් අයදනා ලද්දේ සුදස්සන නම් උයනෙ හි දී දම්සක් පැවැත්වී ය.

අනෝමදස්සී ශාස්තෘන් වහන්සේ ට "නිසභ" ද,  "අනොම" ද, යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. "වරුණ" නම් උපස්ථායකයෙක් වීය. "සුන‍දරී" ද,  "සුමනා" ද, යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය කුඹුක් ගස ය යි කියනු ලැබේ. "නන්දිවඩ්ඪ" ද,  "සිරිවඩ්ඪ" ද, යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ.   "උප්පලා" ද,  "පදිමා" ද, යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ. මහමුනිඳු පනස් අට රියනක් උස් විය.  උන්වහන්සේ ගේ ශරීර කාන්තිය උදා හිරු මෙන් නිතර පැතිරී යයි.
 

ඒ කාලයෙ හි අවුරුදු ලක‍ෂයක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක. සෝවාන් ආදී මගඵලවලින් හෙබි දහම් ඇති බුදුසසුන කෙලෙස් කිලුටු නැති  රාගාදිය නැති කළ  තාදී ගුණයෙන් යුත්  රහතුන් කරණකොටගෙන බැබළුනේ ය.

අපමණ පිරිවර ඇති ඒ ශාස්තෘන් වහන්සේ ද, ඒ අසම වූ ශ්‍රාවක යුග ද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ සිස් වූවාහු නො වෙත් ද?
පස්මරුන් දිනූ අනෝමදස්සී ශාස්තෘන් වහන්සේ "ධම්මාරාම" හි දී පිරිනිවි සේක. එ හි ම උන්වහන්සේ ගේ ජිනථූපය දාගැබ විසිපස් යොදුනක් උස් ව බඳීන ලදී.

[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, අනෝමදස්සී බුද්ධවංශය] 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...