නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
ධම්මදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සිද්ධත්ථ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහස ට නැගී හිරු යම් සේ ද, එ සේ වී ය.
උන්වහන්සේ ද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක් දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.
අසම තෙද ඇති ඒ සිද්ධත්ථ බුදුරදුන් ගේ ද ධර්මාභිසමය තුනක් වූ හ. කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මවයබෝධය වී ය. නැවත ද භිමරථ නම් නුවර දහම් දෙසූ සේක් ද, එ කල් හි අනුකෙලක් සත්නට දෙවන ධර්මාවබෝධය විය. සිද්ධත්ථ බුදුරජතෙම වෙභාර නම් උතුම් නුවර දී දහම් දෙසූ සේක් ද, ඒ කාලයෙ හි අනූ කෝටියක් දෙනෙකුන් ට තුන්වන ධර්මාවබෝධය වී ය.
දෙපා ඇති සත්තවයන් ට උතුම් වූ ඒ බුදුරදුන් ට ද තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති කළ රහතන් වහන්සේලා ගේ සන්නිපාත තුනක් වූ හ. කෙලෙස් කිලුටු නැති ඒ රහතන් වහන්සේලා ගේ රැස්වීමෙ හි මේ තුන්තැන් ය. කෝටි සියයක් දෙනෙකුන් ගේ ද, කෝටි අනූවක් දෙනෙකුන් ගේ ද, කෝටි අසූවක් දෙනෙකුන් ගේ ද රැස්වීම් වූ හ.
මම ඒ කාලයෙ හි උසස් තෙද ඇති, සතුරෙකු විසින් යටපත් කළ නො හැකි, අභිඥා බලයෙන් එකඟ වූ සිත් ඇති මංගල නම් තවුසෙක් වීමි.
මම දඹ ගසින් ගෙඩියක් ගෙනවුත් සිදුහත් බුදුරදුන් ට පිදුවෙමි. සම්බුදුරජ තෙම එය පිළිගෙන මේ වචනය වදාළ සේක. උසස් වූ කෙලෙස් තැවීම් ඇති, ජටාමඬුලු දරණ මේ තාපසයා බලව. මෙතෙම මේ කල්පයෙන් අනූහතරවන කල්පයෙ හි බුදුවන්නේ ය.
ප්‍රධන් වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.
මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය. පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. "කෝලිත" ද, "උපතිස්ස" ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. "ආනනද"නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. "ඛෙමා" ද, "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ සිද්ධත්ථ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.
ඒ සිද්ධත්ථ බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.
මහර්ෂී වූ සිදුහත් බුදුරදුන් ගේ උපන් නුවර "වේභාර" නම් වී ය. පියරජ තෙම "උදෙන" නම් වී ය. වැදූ මව "සුඵස්සා" නම් වූවා ය.
බුදුරජතෙම අවුරුදු දස දහසක් බුදුවන්ට පෙර ගිහිගෙයි විසී ය. "කෝකාස" ය, "උත්පල" ය, "කෝකනද" ය යි උතුම් ප්‍රාසාද තුනක් වූ හ.
මනා ව සරසන ලද පිරිවර අඟනෝ සතලිස් අට දහසකි. ප්‍රසිද්ධ වූ බිරිඳ "සුමනා" නම් වූවා ය. පුත් තෙම "අනූපම" නම් වී ය.
සිද්ධත්ථ ජිනරාජතෙම සතර පෙර නිමිති දැක සිවිකා (දෝලා විශේෂයක්) යානයකින් මහබිනික්මන් කළේ ය. නො අඩු දසමසක් මුළුල්ලේ ප්‍රධන් වීර්යය කළේ ය.
මහාවීර වූ, සිදුහත් ලෝනාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, "මිගදාය" නම් උතුම් නුවරෙ හි දී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂී වූ සිදුහත් බුදුරදුන් ට, "සම්බල" ද, "සුමිත්ත" ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම "රෙවත" නම් විය. "සීවලා" ද, "සුරාමා" ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝ රුක "කිණිහිරි" ගස ය යි කියනු ලැබේ. "සුප්පිය" ද, "සමුද්ද" ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. "රම්මා" ද, "සුරම්මා" ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

දීපංකර ආදී බුදුවරයන් හා සම වූ අසමාන වූ තමහට සමාන පුද්ගලයෙකු නැති පසැස් ඇති ඒ බුදුරජ ද, අවුරුදු ලක්ෂයක් ලෝකයෙ හි වැඩ සිටි සේක.
පිරිසිඳු ආලෝකයක් දක්වා, සව්වන් පුබුදු කරවා, සමවතින් බබුළුවා, ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
මුනිවර වූ සිදිහත් බුදුරජතෙම අනෝමාරාමයේ දී පිරිනිවි සේක. එ හි ම උතුම් සෑය සිව් යොදුනක් උස් වී ය. උස් ව බැන්දේ ය.
[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, සිද්ධත්ථ බුද්ධ වංශය]
No comments:
Post a Comment