නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මරසෙන් පරදවා උතුම් බුදුබව ට පැමිණි සේක් සත්තවයන් ට අනුකම්පාකොට දම්සක් පැවැත්වූ සේක.
සිඛී මුනිඳු දම්සක් පවත්නා කල් හි කෝටි සියක් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය.
නැවත ද මිනිසුන් ට උතුම් වූ ගුණයෙන් උතුම් වූ ඒ බුදුරජුන් දම් දෙසන කල් හි කෝටි දහසක් දෙනෙකුන් ට දෙවන ධර්මවබෝධය වී ය.
දෙවියන් සහිත ලෝකයා ට යමාමහ පෙළහර දක්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.
මහර්ෂී වූ සිඛී බුදුරජුන් ට ද, තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති කෙලෙස් කිලිටු නැති කළ රහතන් වහන්සේලා ගේ සන්නිපාත තුනක් වූ හ.
ලක්ෂයක් භික්ෂූන් ගේ පළමු රැස්වීම වී ය. අසූ ලක්ෂයක් භික්ෂූන් ගේ දෙවන රැස්වීම වී ය.
ජලයෙ හි වැඩෙන ලද පියුමක් මෙන් නො තැවරුනා වූ සැත්තෑ දහසක් භික්ෂූන් ගේ තුන්වන සමාගමය වී ය.

මම බොහෝ උතුම් පිළි ද, අපමණ පිළි සහල් ද පූජාකොට, සරසන ලද ඇත් යානයක් බුදුරජුන් ට පිදුවෙමි. ඇත් යානය අගයකොට සඟනට කැප බඩු පිරිනැමූයෙමි. මගේ සිත සතුටින් නිතර දැඩිකොට එළඹ සිටී.
ඒ සිඛී බුදුරජතෙම ද, මේ අරින්දව රජතෙම මෙයින් තිස් එක්වන කපෙ හි බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
ප්‍රධන් වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.
මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය. පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. "කෝලිත" ද, "උපතිස්ස" ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. "ආනනද"නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. "ඛෙමා" ද, "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි.
අසම වූ, මහඍෂී වූ ඒ බුදුරදුන් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.
ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ සිඛී ජිනරාජයන් ඉඳීන් මුදන්නෙමු නම් මතු කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.
මම ඒ බුදුරජුන් ගේ වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි වතක් ඉටුයෙමි.
මහර්ෂී වූ බුදුරජු ගේ නුවර "අරුණවතී" නමි. පිය තෙම "අරුණවන්ත" රජ ය. වැදූ මව "පභාවතී" නම් වූවා ය.
ඒ බුදූරජතෙම අවුරුදි සත් දහසක් ගිහිගෙයි වාසය කළේ ය. "සුවනද" ය, "ගිරි" ය, "වහන" ය යන උතුම් තුන් ප්‍රාසාද තුනක් වූ හ.
මනා ව සරසන ලද පිරිවර අඟනෝ විසිහතර දහසකි. බිරිඳ "සබ්බකාම" නම් වූවා ය. පුත් තෙම "අතුල" නම් වී ය.
සිඛී පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කළේ ය. අට මසක් මුළුල්ලෙ හි ප්‍රධාන වීර්යය කළේ ය.
මහා වීර්ය ඇති නරදෙටු සිඛී නා හිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ, මිගදාය නම් නගරයෙ හි දී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ සිඛී බුදූරදූන් ට ද, "අහිභූ" ද, "සම්භව" ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම "ඛේමංක" නම් වී ය.
"මඛිලා" ද, "පදිමා" ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක "ඇටඹ රුක" ය යි කියනු ලැබේ.
"සිරිවඩ්ඪ" ද, "නනද" ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. "චිත්ත" ද, "සුගුත්ත" ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.

ඒ සිඛී බුදුරජුන් ගේ ද බඹයක් තැන් පැතිර පවතින බැබළිමක් ඇති කයින් නික්මෙන ප්‍රභාවෝ රෑ දවල් නිතර තුන් යොදුනක් පමණ දිශානුදිශාවන් හි පැතිරෙත්.
මහර්ෂී වූ ඒ සිඛී බුදුරජුන් ට අවුරුදු සැත්තෑ දහසක් ආයුෂ වී ය. උන්වහන්සේ ඒතාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.
දහම් වැසි වස්වා දෙවියන් සහිත ලෝ වැස්සන් තෙමා ඒ නිවන ට පමුණුවා ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ පිරිනිවි සේක.
අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත් දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?
සිව්සස් අවබෝධ කළ සිඛී මුනිඳු "දිස්ස" නම් ආරාමයෙ හි පිරිනිවි සේක. එ හි ම උන්වහන්සේ ගේ උතුම් සෑය තුන් යොදුනක් උස් වීය.
[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, සිඛී බුද්ධවංශය]
No comments:
Post a Comment