Friday, January 6, 2012

මේ බුදුවරුන් ගේ දේශය යි.

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මේ වසරේ තීර්යක් වෙත ලියන්න ට යෙදෙන පළමු ලිපිය යි මේ. "මට ආදරෙයි නම්..." ලිපි පෙළේ හි අවසාන ලිපිය පල කිරීම මදකට ප්‍රමාද කර මේ ලිපිය පල කිරීම ට මා සිත් විය. මෙ ම ලිපියේ පළමු ව අවධානය යොමු කරන්නේ බුදුවරු සහ හෙළබිම අතර සම්බන්ධතාවය පිළිබඳ ව යි. ඉන්පසු මෙ රට ට බුදුවරු වැඩම කරවීම ට හේතු පිළිබඳ ව විද්‍යාවෙන් සොයාගෙන ඇති කරුණු සමග විස්තරයක් ඉදිරිපත් කෙරේ.

ඇත්තෙන් ම "ශ්‍රී ලංකාව බුදුන් ගේ දේශය යි" කිවහොත් එ හි නිවැරදි බව අඩු ය. ඒ පිළිබඳ ව මෙ ම ලිපියෙන් ගැඹුරින් සවිස්තර ව දක්වා ඇත. "ශ්‍රී ලංකාව බුදුවරුන් ගේ දේශය" වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙ රට ට වැඩම කරවූ නිසා ම නො වේ. මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ ආදී බුදුවරුන් පවා මේ දෙරණ ට වැඩමවා ඇත. ඒකාන්ත වශයෙන් ම සිරිලක තුළ බොධීන් වහන්සේලා ගේ දක්ෂිණ ශාඛා සහ ධර්මධාතු ශාසන ප්‍රතිෂ්ඨිත වන්නේ ය. තව ද, බුදු දහම අවසන් වන තුරු ම පවතින්නේ ද, මේ ශ්‍රී ලංකාව තුළ ම ය. අබුද්ධෝත්පාද කාලවල දී මේ භූමිය යක්ෂයින් විමාන කරගනියි. බුද්ධෝත්පාද කාලවල මනුශ්‍යයන් ට ම වාසභුමි වෙයි. 


මේ මහා භද්‍ර කල්පයේ පළමු බුදුරජ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ ගේ සමයේ ශ්‍රී ලංකාද්වීප වාසීහු ජ්වර රෝගයෙන් පෙළෙන්න ට විය. මේ නිසා ම ඕජද්වීප නම් විය. විශාලා මහනුවර තුන්බිය ඇති වූ සේ ම මහත් පීඩාකාරී වන්න ට විය. එකෙනෙහි කකුසඳ බුදුන් හා හතලිස්දහසක් පමණ පිරිස පිරිවරාගෙන දේවකූට (මිහින්තලාව)නම් පර්වතය ට අහසින් වැඩමකරවා "මා දුටු කෙනෙහි සියලු රෝග අන්තර්ධාන වේ වා" යි අධිෂ්ඨාන කළ සේක. එය අධිෂ්ඨානය පරිදි ම විය. මෙ කල අනුරාධපුරය එ කල අභය පුරය නම් විය. මහමෙව්නාව මහාතිත්ථ නම් විය. එ කල රජ අභය නම් විය. මේ අයුරින් කකුසඳ බුදුන් ගේ රාජ්‍යයෙන් මේ භූමිය පළමු වර ට පිදුම් ලැබී ය. වසර හතලිස්දහසක් සසුන පිහිටියේ ය.

කෝණාගමන බුදුන් ගේ සමයේ මේ දේශය හඳුන්වනු ලැබුවේ වර දීප නමිනි. එ කල් හි බැමිනිටියාසාය වැනි ම වූ මහත් දුර්භික්ෂයකින් මෙ රට වාසීහු පෙළෙන්න ට විය. එ කල් හි කෝණාගමන බුදුන් තිස්දහසක් පිරිවර සමග සුමනකූට පර්වතය (මිහින්තලය) මුදුන ට නැග "මේ දීපයේ මේ කෙනෙහි ම වැව් අමුණු පුරා වැසි වසී වා" යි අදිෂ්ඨාන කළ සේක. එය එ සේ ම විය. මහා මේඝයක් ඇති වී වැව් අමුණු දියෙන් පිරී ඉතිරී යන්න ට විය. එ කල මහමෙවුනාව හඳුන්වා ඇත්තේ මහා අනෝමා වන නමිනි. මෙ කල රජ සමිද්ධ නම් විය. ඒ පරිද්දෙන් කෝණාගමන බුදුන් ගේ සසුනෙන් ද, මේ හෙළදිව පිදුම් ලබා ඇත.  වසර තිසදහසක්‌ සසුන පිහිටියේ ය.

තෙවනු ව බුදු වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ සමයේ මේ භූමිය මණ්ඩ දීප නම් විය. එ කල මෙ හි රාජ්‍ය කළ රජුන්, යුවරජුන්, පුරෝහිතයන් එකිනෙකා මරා ගනිමින් සිව්රඟ සේනාවන්ගෙන් සන්නද්ධ ව යුද්ධ කරන්න ට විය. එය සන්සින්දුවනුවස් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසිදහසක් රහතුන් පිරිවරා මේ දෙරණ ට වැඩම කළ සේක. ශුභකූට පර්වතය ට (මිහින්තලය) වැඩම කළ උන්වහන්සේ එකිනෙකා ට කිසිවක් නො පෙනෙන සේ ඝනඅඳුරක් ඇතිවන ලෙස අදිටන් කළ සේක. ගිනිකඳු මෙන් දවාලන්න ට විය. යුද්ධය නතර කරන්න ට සමත් විය. එ කල රජ ජයන්ත නම් විය. මහමෙවුනා උයන මහාසාර උයන නම් විය. මෙ සේ කාශ්‍යප බුදුරජුන් ගේ සසුනෙන් ද, මේ දිවයින පිදුම් ලබා ඇත.  වසර විසිදහසක් සසුන පිහිටියේ ය.

මෙ හි වැදගත් ම කරුණ වන්නේ මේ මහා භද්‍ර කල්පයේ අවසාන වශයෙන් පහල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ද, මේ දිවයින ට වරක් දෙවරක් නො ව තෙවරක් ම වැඩමවීම යි. ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය ට පත් වී නව වන මස උරුවෙල් දැනවුව ට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ "මතු මා ගේ ශාසනය නිර්මල ව පිහිටන්නේ කොතැන දැ" යි,  බලා වදාරා එය ලංකාද්වීපයේ පිහිටන බව දක්නා ලදී. තව ද, එය දැන් යක්ෂයන් බොහෝ සෙයින් වෙසෙන යක්ෂ විමානයක් බව ද, දැන අනාගත ශාසන ප්‍රතිෂ්ඨාව ට ආධාර වන ලෙස දැන් ම එ හි වැඩම කළ යුතු බව සිතන සේක.  එ කළ මහා නාගවන නම් උද්‍යානයේ කඳවුරු බැඳ සිටි යක්ෂයන් වෙත අහසින් වැඩම කළ බුදුරදුන් ඔවුන් මේ දීපයෙන් ඉවත් කරන්න ට කටයුතු කළ සේක. 

ඉන් පසු ව සුමන සමන් දෙවියන් ආදී දෙවිවරු, වෘක්ෂ දෙවිවරු බුදුහු වෙත පැමිණ වැඳ නමස්කාර කළ සේක. එ විට බුදුහු ඔවුන් අරභයා ධර්ම දේශනා කර නිවන කරා මෙහෙයවූ සේක.  සුමන සමන් දෙවියන් සෝවාන් වූ බව සඳහන් වේ. මේ බුද්ධෝත්පාද කාලයේ ලක්දිව යක්ෂ වාසය නො වන පරිදි ත්, අප ට වැඳ පුදා ගැනීම ට ත්, පූජා වස්තුවක් දෙන මෙන් සමන් දෙවියන් ඉල්වූ කල බුදුහු කේශ ධාතු මිටක් ලබා දුන් සේක. මේ ලෙසින් අප ගෞතම බුද්ධ රාජ්‍යයෙන් සිරිලක පළමු වර ට පිදුම් ලැබී ය. 


දෙවනු ව අප බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වන වස නැවත මේ දිවයින ට වැඩම කළ සේක.  ඒ මිණිපලඟක් වෙනුවෙන් චුලෝදර හා මහෝදර නා රජ සොයුරන් ගේ ආරවුල සංසිඳුවා දම් ඇස පහල කරවීමේ අරමුණ ඇති ව ය. ඔවුන් යුධ වදින්න ට සැරසෙන ස්ථානය ට අහසින් වැඩම කළ බුදුරදුන් නොයෙක් පෙළහර පා ගැටුම නවතා නාගසේනාව ට ධර්මය දේශනා කළ සේක. ඔවුන් ධර්මයේ පිහිටියේ ය. නාගයන් විසින් මිණිපළඟ බුදුන් ට පුජා කළ අතර දිව්‍යභෝජනයක් ද, පිළියෙළ කර පූජා කරන ලද බව දැක් වේ. මතු මා දුටු සේ වඳින ලෙස වදාරා මිණිපලඟ නාගයන් ට ම දී දෙවන වර ට ධාතු ප්‍රතිෂ්ඨාව සිදු කළ සේක. 

තෙවන වර බුද්ධත්වයෙන් අටවන වස පන්සියයක් මහරහතන් වහන්සේලා සමග කැලණිය ට වැඩම කළ සේක. කැළණි ගඟ තුළ ද, පාද ලාංජනයක් පිහිටුවන ලදී. නාගයන් බුදුන් ට සිදු කරන පුජාවන් දුටු සමන් දෙවිඳුන් දෙව් පිරිස් සමග පර්වතයෙන් බැස සමන්තකුට පර්වතයේ ද, සිරිපා සටහනක් පිහිටුවන මෙන් ආරාධනය කරන ලදී.

සමනොළ කන්දෙ හි සිරිපා පිහිටුවන ලද අතර දිවාගුහාව ආදී ස්ථාන කිහිපයක ම සමවත් සුවයෙන් වැඩසිටි සේක. අනුරාධපුරය ට වැඩම කර දකුණු මහාසෑය පිහිටන තැන ය, මහමෙවුනා උයන මැද ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටන තැන ය, ලෝවාමහාපාය පිහිටන තැන ය, ථූපාරාමය පිහිටන තැන ය, රුවන්වැලි සෑය පිහිටන තැන ය,ආදී වශයෙන් අනාගතයේ ඉදිවන්න ට නියමිත පුජනීය භුමීන් වෙත වැඩම කර වදාළ සේක. මෙ පරිද්දෙන් සිරිලක තෙවන වර ට ද, බුද්ධරාජ්‍යයෙන් පිදුම් ලැබීම ට භාග්‍යවන්ත විය. 

මෙතෙක් සඳහන් කළ කරුණුවල සංක්ෂිප්තය දැක්වුවහොත් මේ මහා භද්‍ර කල්පයේ මෙතෙක් පහල වූ කකුසඳ, කෝණාගමන, කස්සප, ගෞතම, යන සතර බුදුවරුන්ගෙන් ම මේ භුමිය පාරිශුද්ධ භාවය ට පාත්‍ර වී ඇති බව පෙනෙන කරුණ යි. තව ද, උන්වහන්සේලා ගේ ශාසනය අවසාන වන තෙක් ම ජීවමාන ව පවතින්නේ ද, මේ දිවයින තුළ බව පැහැදිලි වේ.

බුදුවරු ලොව පහල වන්නේ අවුරුදු සියයක ට, දහසක ට, දසදහසක ට, නො වේ. ඒ නිසා ම උන්වහන්සේලා උපදින තැන, මව පියා, ආදිය පිළිබඳ ව කරුණු නුවණින් විමසා අනතුරු ව ඉපදීම සිදු කරයි. උන්වහන්සේලා සියලුදෙනා ම භාරතයේ ඉපදීම ට ද, හේතු ඇත. බුදුදහම ඉතා ශීඝ්‍රයෙන් ජනතාව කරා සම්ප්‍රේෂණය වීම සඳහා මගධ, කෝසල, වැනි විශාල රාජ්‍යයන් සමන්විත භාරතය සුදුසු වන්නේ ය. බුද්ධෝත්පත්තීන් භාරතය තුළ ම සිදු වීම ට මෙය එක් හේතුවකි. 

මේ දේශය එ නම් සිරිලක තුළ ම බුදුදහම ජීවමාන ව වැඩිකලක් රැඳීම ට අනිවාර්ය වශයෙන් හේතු තිබිය යුතු ය. බුදුවරුන් සතරදෙනෙක් ගෙන් ම පිදුම් ලැබීම ට නම් යම් විශේෂයක් තිබිය යුතු ය. බුදුරදුන් දේශිත පරිදි බුදුදහම ලොවින් අන්තර්ධාන වන්නේ අන්‍යාගමික බලපෑම මත හෝ පඨවි ආදී ධාතුවල සිදුවන විපර්යාසයන් නිසා හෝ නො වන බව දේශනා කර ඇත. 

ලොව කොතෙකුත් රටවල් ඇති ද? ඒ අතරින් ස්වභාවික විපත් අඩු ම රටක් ලෙස ත්, සියලු සම්පත්වලින් පෝෂිත රටක් ලෙස ත්, ශ්‍රී ලංකාව හැඳින්විය හැකි ය. තව ද, සමකාසන්න ව ඇති හෙයින් වසර පුරා ම හිරුරැස් ද, මේ බිම ට පතිත වේ.  මේ නිසා සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය ව පවතින්න ට ශ්‍රී ලංකාව ට හැකි ය. තව ද, දූපතක් ලෙස පිහිටීම නිසා සතුරු ආක්‍රමණ සිදුවීමේ හැකියාව ද, අවම ය.
 
මේ හැරුණු විට තව ත් එක් වැදගත් කරුණක් ඇත. පෘථිවියේ කිසිඳු ස්ථානයක නොමැති පරිදි අධික ව ශ්‍රී ලංකාව ආශ්‍රිත ප්‍රදේශයේ ගුරුත්ව බලපෑම අඩු බව නුතන විද්‍යාවෙන් සනාථ කර ඈත. මෙ ම රූපසටහන දෙස හොඳින් බලන්න. ශ්‍රී ලංකාව ආශ්‍රිත තද නිල් පැහැති ප්‍රදේශයෙන් කියවෙන්නේ ඒ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණය ඉතා අඩු බව යි. 

මේ  අනුව ගම්‍ය වන කරුණ වන්නේ ආකාශ වස්තුන් එ නම් උල්කාපාත හා ඒ ආදී වස්තුන් පෘථිවිය වෙත පැමිණ යම්හෙයකින් පෘථිවිය ට කඩා වැටුන ද, ශ්‍රී ලංකාව ආශ්‍රිත ප්‍රදේශයේ ගුරුත්ව බලය අඩු බැවින් ශ්‍රී ලංකාව ට කඩා වැටීමේ සම්භාවිතාව අඩු බව යි. එ නම් ශ්‍රී ලංකාව ආශ්‍රිත ප්‍රදේශය ස්වභාවික ව ම ආරක්ෂා වී ඇති බව යි. ඒ අනුව ඉපදීම ට වාසය කිරීම ට මේ පෙදෙස සුදුසු ම පෙදෙස ලෙස මේ ආශ්‍රිත පෙදෙස හැඳින්විය හැකි ය. සියලු බුදුවරු මේ ප්‍රදේශය ආශ්‍රිත ව ඉපදීම ට ද, මෙය හේතුවක් විය හැකි ය. 

තව ද, ශ්‍රී ලංකාව පෘථිවිය නිර්මාණය වී ඇති භූ තැටි අතර නො පිහිටා තිබීම හේතුවෙන් භුමිකම්පාවලින් සිදුවන බලපෑම ඉතා අල්ප වේ.  ජපානය, ඉන්දුනීසියාව ආදී රටවල් නිරන්තර භුමිකම්පා හා සුනාමි තත්වවල ට ගොදුරු වන්නේ මෙ ම භූ තැටි අතර පිහිටීම හේතුවෙනි. භූ තැටි එකිනෙක සාපේක්ෂ ව චලනය වන විට භූ කම්පන ඇති වේ. පහත රූපසටහනේ දම් පැහැයෙන් භූ තැටි ද, රතු පැහැයෙන් අධික ව භූ කම්පන සිදුවන ප්‍රදේශ ද, දක්වා තිබේ. 

මේ පිළිබඳ ව තවදුර ට ත් කරුණු අවශ්‍ය නම් මෙය ද, කියවන්න.


මේ අනුව බුදුවරු පහල වන්න ට පෙර පස්මහා බැලුම් බැලීම ද, සත්‍ය වන බව තව දුර ට ත්, තහවුරු වේ. තව ද, බුදුරදුන් ගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපය තුළ ආරක්ෂා වීම ට ඇති ඉඩකඩ ද, ඉතා ඉහල බව පැහැදිලි වේ. 

"මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභ ය. කවර සයක් ද යත්, තථාගත වූ, අර්හත් වූ සම්මා සම්බුදුන් ගේ පහළවීම ලොව දුර්ලභ ය. තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නා වූ තැනැත්තේ ලොව දුර්ලභ ය. ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභ ය.  ඉන්ද්‍රියයන් ගේ අවිකලභාවය ලොව දුර්ලභ ය. ජඩ නො වීම ද, කෙළතොළු හා ගොළු නො වීම ද ලොව දුර්ලභ ය.  පින් දහම ට කැමැත්තෝ ලොව දුර්ලභ ය. මහණෙනි, මේ සයක පහළවීම ලොව දුර්ලභ ය." 
 
කෝටි හත්සියය ඉක්මවන මිනිසුන් පිරිසක් අතරින් බුද්ධෝත්පාද කාලයක ශ්‍රී ලංකාව වැනි රටක ඉපදී ඇත්තේ එයින් කොපමණ අල්ප පිරිසක් ද? එයිනුත් අංගවිකල ආදී තත්වවලින් තොර පින් දහම ට කැමති වන්නන් සංඛ්‍යාව සමස්ත ලෝක ජනයා ගෙන් කොපමණ ප්‍රතිශතයක් ද? සිතන්න....

මේ බුදුවරුන් ගේ දේශය යි. ගෞතම බුදුරදුන් ගේ ශාසනය ලොව විරාජමාන ව වැඩසිටින මේබුද්ධෝත්පාද කාලයේ ඉතා දුර්ලබ මිනිසත් භාවය ලද අප නිවන කරා පියවරක් හෝ තබන්න ට ලැබූ නව වසරේ අදිටන් කළ යුතු ය. 
තෙරුවන් සරණ යි!
ප්‍රධාන මූලාශ්‍ර - මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පුජාවලිය
කැලණි විහාරයේ සිතුවම් - www.lanka.com 



8 comments:

  1. ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි

    ReplyDelete
  2. thina obata thwath dura Yamata
    thunuruwange asherwadaya wewa
    ,millagahawatththa anty.

    ReplyDelete
    Replies
    1. ඔබ සැම ට බොහොමත් ම ස්තුතියි. ඔබ අප සියලු දෙනා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන ට පත් වන්න ට මෙයින් ජනිතවන යම් හෝ කුසලයක් ඇති නම් ඒ කුසල් බලය නිවන පිණිස ම උපනිශ්‍රය වේ වා! සසර කෙටිකර ගනිත් වා!
      තෙරුවන් සරණ යි!

      Delete
  3. great work! keep it up

    ReplyDelete
  4. your site is great !!!!

    oyata budu sarani

    ReplyDelete
  5. ප්‍රශාන්86April 3, 2013 at 11:30 AM

    දිගටම ලියන්න. ආශ්‍රිත ග්‍රන්ථ අන්තර්ජාලයෙන් කියවිය හැකි තැනුත් යොදනවා නං අපිට වැඩිදුර දැනගන්න පුළුවන්.

    ReplyDelete
  6. මහා කාරුණික වූ සර්‍වඥයන් වහන්සේ අකාරුණික ලෙස මෙරට සිටි යකුන්ව එළවා මිනිසුන්ට මෙය භාර කරයිද? අපක්‍ෂපාති තථාතයෝ එබන්දක් කරාවිද? එසේ නම් ආළවක වකාව විමානෙන් පන්නා දමා හත්ථාලවකලෙන් වන අනාගත ශාසන ශුභ සිද්ධිය වෙනුවෙන් ඒ ඇමතීන්ට අලව් නුවර භාර දිය යුතු නේද? එසේ නොකළ සර්‍වඥයෝ ලංකාවේ යක්කු තම නිජ බිමෙන් එළවා දමාවිද තම ශාසන වාසිය තකා?මෙරට යකුන් සිටියේ නැත.යක්‍ෂ ගෝත්‍රික මිනිසුන් කොටසක් සිට ඇත. තථාගතයෝ ඒ අයව දමනය කරන ලදී.

    ReplyDelete
  7. අන්ද මන්ද වී නිස්කාරන කරා දුවන මිනිසුන් සිටින මේ වගේ කලෙක, ඔබ කරන මෙහෙවරට ඔබ පතනා බෝධියෙන්ම සත්‍යාවබෝධය ලැබේවා...!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...