Thursday, May 23, 2013

එන්න... ධර්මය දකින්න...

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

වසර එකහමාරකට ආසන්න කාලය තුළ මෙ ම බ්ලොග් අඩවිය ඔස්සේ දහම් ලිපි අසූවකට ආසන්න ප්‍රමාණයක් බොහෝ දෙනා ගේ හිතසුව පිණිස පළකළෙමු. අද දින පළකරන්නට යෙදෙන මේ ලිපියේ අරමුණ වන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පිළිබඳ හැඳින්වීම සහ පරිගණක මාධ්‍යයෙන් පහසු පරිහරණය සඳහා නිමවූ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සහිත මෘදුකාංග පද්ධතිය පිළිබඳ ඔබ දැනුවත් කරවීම යි.



අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස්වසක් මුළුල්ලේ ලෝක සත්වයා ගේ හිත පිණිස ත්, සුව පිණිස ත්, වදාළ උතුම් ධර්මස්කන්ධය ත්‍රිපිටකය තුළ අන්තර්ගත ව පවතියි. ත්‍රිපිටකය විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. එ මෙන් ම ධර්ම විනය වශයෙන් ද, බෙදීමක් දැක්විය හැකි ය. එ හි දී ධර්ම කොටස ලෙස සැලකෙන්නේ සුත්‍ර හා අභිධර්ම පිටක යි. විනය ලෙස විනය පිටකය ගැනේ. 


සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය අතරින් 82,000 තරම් ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කර ඇත. තව ත්, ධර්මස්කන්ධ 2,000 බුද්ධකාලීන මහාරහතන් වහන්සේලා දේශනා කර ඇති බව දැක්වේ. එයින් ද, විනය පිටකය සහ සුත්‍ර පිටකය ධර්මස්කන්ධ 21,000 බැගින් අඩංගු ය. අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000 පවතී. 


  • විනය පිටකය
භික්ෂු භික්ෂුණියන් සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදි කොට ගත් දෑ විනය පිටකයේ අඩංගු ය.  මෙ හි භික්ෂු භික්ෂුණියන් සඳහා නියෝග පනවා ඇති බැවින් විනය පිටකය "ආණා දෙසනා" ලෙස හදුන්වනු ලබයි.

1.පාරාජිකා පාලි
2.සංඝාදිසේස
3.පාචිත්තිය පාලි
4.භික්ඛුනී විනය
5.මහාවග්ග පාලි
6.චුල්ලවග්ග පාලි
7.පරිවාර පාලි
8.පාථිමොක්ඛ




  • සූත්‍ර පිටකය
    සූත්‍ර පිටකය තුළ ප්‍රධාන ලෙස සූත්‍ර ධර්ම අඩංගු කොට ඇත. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද සූත්‍ර දේශනා මෙ හි ඇතුළත් වේ. එ ම නිසා සූත්‍ර පිටකය ඇති දේශනා "වෝහාර දේශනා" යැ යි හදුවනු ලබයි. සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකින් සමන්විත ය.

    1. දීඝ නිකාය
    2. මජ්ඣිම නිකාය
    3. සංයුක්ත නිකාය
    4. අංගුත්තර නිකාය
    5. ඛුද්දක නිකාය




    • අභිධර්ම පිටකය
      බුදුරදුන් ගේ ගැඹුරු ම ධර්ම දේශනා ඇතුලත් වනුයේ අභිධර්ම පිටකයේ ය. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳ ව ඉතා ගැඹුරු පැහැදිලි කිරීම් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. සම්මුති ලෝකයෙන් බැහැර දේ පිළිබද කතා කර ඇති නිසා අභිධම්ම පිටකය ට “පරමත්ථ දේසනා‍” යැ යි කියනු ලැබේ. මෙ හි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

      1.  ධම්මසංගණිප්පකරණය
      2.  විභංගප්පකරණය
      3.  කථාවත්ථුප්පකරණය
      4.  පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
      5.  ධාතුකථාප්පකරණය
      6.  යමකප්පකරණය
      7.  පට්ඨානප්පකරණය





      විවිධ යුගවල දී ඇති වූ අවශ්‍යතා අනුව ධර්ම සංගායනා පවත්වා වළගම්බා රාජ්‍ය සමයේ දී මාතලේ ආලෝක විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නට යෙදුනි. ඒ අනුව එතෙක් මහසඟරුවන දිවිහිමියෙන් රක්ෂා කරමින් කටපාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ධර්මය අද දක්වා ම සුරක්ෂණය විය.

      අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ, ආදී බුද්ධපුත්‍රයන් වහන්සේලා විසින් වසර විස්සකට අධික කාලයක් දැරූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස පාළි ත්‍රිපිටකය සහ ඊට සමගාමී ව සිංහල අර්ථය ද, නිරුපනය වන පරිදි  බුද්ධජයන්ති ත්‍රිපිටකය සකස් විය. හුදෙක් ම මෙය බුද්ධ භාෂිතය ට අනුකූල වන පරිද්දෙන් ම අර්ථ විකෘති කිරීමකින් තොර ව සකස් කිරීමට ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රයත්න දරා ඇත.

      එ බැවින් එ ම උතුම් කාර්යයේ අරමුණ තවදුරට ත් සාක්ෂාත් කිරීමේ අදහසින් අප විසින් විශාල පරිශ්‍රමයක් දරා බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවන් හි ඇති සියලු ධර්ම කොටස් ඉතා ක්‍රමානුකුල ව පෙලගස්වනු ලැබී ය. මේ නිසා අවශ්‍ය ඕනෑ ම සුත්‍රධර්ම කොටසක් ඉතා පසසුවෙන් ත්‍රිපිටකය තුළින් සොයාගැනීමේ හැකියාව සහ කියවීමේ හැකියාව පවතී.

      මෙ ම පද්ධතිය සම්පූර්ණයෙන් ම නො මිලයේ බාගත කර ගැනීම සඳහා දැනට පහත දක්වා ඇති යොමු භාවිත කළ හැකි ය. සමස්ත පද්ධතිය 5.5 GB පමණ ප්‍රමාණයක් යුක්ත වේ.


      මෙය සම්පූර්ණයෙන් නො මිලයේ ලබාදෙන සේවාවක් වන අතර කිසිවකු ට ත් විකිණීමේ අවසරය ලබා දී නොමැත. කිසිවකුට ත් විකිණීමට නො හැකි අන්දමින් සකස් කර ඇත. මිලකළ නො හැකි උතුම් ධර්ම රත්නය බොහෝ දෙනා ට හිත සුව පිණිස නිවන් මග ට උපකාරවත් වනු පිණිස මෙ ලෙසින් ධර්ම දානයක් වශයෙන් පුජාකරන්නෙමු.

      තෙරුවන් සරණ යි!

      12 comments:

      1. අනේ හරිම ලස්සනයි.
        පුලුවන් නම් මගේ බ්ලොග් එකත් කියවලා කමෙන්ට් එකක් දාන්න.

        ReplyDelete
      2. හොඳ වැයමක්.එකට ගොඩක් පින් සිදුවේවා. කරුණු පැහැදිලි කිරීමේ අදහසින් තමයි මේක අහන්නේ.දැනට අන්තර්ජාලය තුල තිබෙන ඒ.පි. ජයසුරිය විද්වතාණන් විසින් සකස් කර ඇති ත්‍රිපිටක පරිවර්තනයත්,(එය මම දෛනිකව වාගේ පරිහරණය කරනවා) ඔබ තුමාගේ ප්‍රකාශනයත් අතර වෙනසක් තියෙනවාද?

        ReplyDelete
      3. අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ, ආදී බුද්ධපුත්‍රයන් වහන්සේලා විසින් වසර විස්සකට අධික කාලයක් දැරූ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පරිගණකය ඔස්සේ ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි මෘදුකාංගයක් තමයි අපි නිර්මාණය කළේ. ඔබ සඳහන් කළ ත්‍රිපිටකයේ ඇතැම් ධර්ම කරුණු සහ ඇතැම් කොටස් අඩු බව මේ දෙක ම එකිනෙක සංසන්දනය කර බැලීමෙන් ඔබට පෙනෙනු ඇත. එ මෙන් ම එ හි දැක්වෙන ත්‍රිපිටකය තවමත් සම්පූර්ණයෙන් ම පාළි සහ සිංහල බසින් සකස් කිරීම සිදුවී නැත. ඔබට පරිපුර්ණ, අංගසම්පුර්ණ නිවැරදි බුදුදහම පිළිබද අධ්‍යනය සඳහා වන හොඳ ම මග බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව වන බව යි මගේ අදහස.

        තෙරුවන් සරණ යි!

        ReplyDelete
        Replies
        1. පිළිතුරට ගොඩක් ස්තුතියි,

          මා ඔබ දැක්වූ උපදෙස් අනුව down load කර ගන්න ගියත් මා අසාර්ථක උනා.mozilla firefox මා down load කර ගත්තා. pdf ම ළඟ දැනටමත් තියෙනවා. සුත්‍ර පිටකය down load කලත් එක විවෘත උනේ නැහැ. මා භාවිතා කරන්නේ vindow 7 ultimate . මේක හරියට බ ගන්න මට උදව් කරනවාද?

          Delete
      4. 01. මුලින් ම ඔබ BJTS Setup කියන එක අරගෙන install කරගන්න.

        02. සුත්‍රපිටකයේ ඇති ෆයිල් ක්‍රියාත්මක වන්නේ Win rar මෘදුකාංගය මගින් නිසා එය ද, පරිගණකයේ ස්ථාපනය කරගත යුතු ය.

        03. සුත්‍රපිටකයේ කොටස් 18කට වෙන්කර දක්වා ඇත්තේ එක ම ගොනුවකි. මේ නිසා එය විවෘත කිරීමට හෝ ස්ථාපනය කිරීමට හෝ පෙර සියලු කොටස් (සුත්‍ර පිටකයේ නම් කොටස් 18යි, විනය පිටකයේ නම් කොටස් 5යි, අභිධර්ම පිටකය නම් කොටස් 07යි) බාගත කරගෙන ස්ථාපනය කළ යුතු ය.

        මේ පිළිබඳ යම් ගැටලුවක් ඇතිවුවහොහ් අප වෙත පෞද්ගලික ව දන්වන්න.
        email - thiryak@live.com

        තෙරුවන් සරණ යි!

        ReplyDelete
      5. ජාතක කතා ත්රිපිටකය තුල අන්තර් ගත කොටසක්ද ? නැද්ද ? යන්න ගැන සඳහනක් කරන්න පුලුවන්ද

        ReplyDelete
        Replies
        1. ජාතක කතා ත්‍රිපිටකය තුළ අන්තර්ගත යි. ඛුද්දක නිකායේ අන්තර්ගත කොටස් 15 අතරින් "ජාතකපාලි" එක් කොටසකි. නමුත් පන්සියපනස් ජාතක පොත් වහන්සේ ත්‍රිපිටකයට අන්තර්ගත ග්‍රන්ථයක් නො වේ. එය කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨ කතාව අනුව ලියැවුවකි. මා සිතන පරිදි ඔබ අසන්නේ පන්සීය පනස් ජාතක පොත් වහන්සේ පිළිබඳ ව විය යුතු ය. එය ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථයක් නො වුවත්, ත්‍රිපිටකානුසාරයෙන් ලියා ඇති ග්‍රන්ථයක් බව කිව යුතු ය.

          Delete
        2. ගොඩක් පින් දුන්න පිළිතුරට . ඇත්තටම මම විමසුවේ පන්සීය පනස් ජාතක පොත් වහන්සේ ගැන . මොකද මම ශ්‍රද්ධාවෙන් බුද්ධත්වය අදහන නිසා ත්‍රිපිටකය තුල ඇති සැමදේම සත්‍ය ලෙස ශ්‍රද්ධා මුලිකව පිලිගන්නවා .
          නමුත් ඇතැම් අවස්ථා වල භික්ෂුන් පවා ජාතක කතා කතාන්දර පමණක් කියල වදාරනවා . ඒ නිසයි මේ දේ විමසුවේ .
          දැන් මට හොදටම පැහැදිලියි ජාතක කතා (550) , ත්‍රිපිටකය හා සංගත බව .
          ගොඩක් ස්තුති මේ දුන්නු පිළිතුරට .
          බොහෝ දෙනාගේ සැක දුරු කරනු පිණිස පන්සීය පනස් ජාතක පොත් වහන්සේ කතන්දර පමණක් නොවන බවට හේතු කරන සහිත ලිපියක් පල කරනවා නම් ඔබට සසර දුකින් මිදීමට එකත් කුසල් පාරමිතාවක් වේවි

          Delete
      6. link එකෙන් download කරන්න බැහැ

        ReplyDelete
        Replies
        1. http://tripitaka.thiryak.org/
          කරුණාකර මෙ ම යොමුව භාවිත කරන්න.

          තෙරුවන් සරණ යි!

          Delete
      7. ධම්ම පදය ත්‍රිපිටකයේම කොටසක්ද

        ReplyDelete
      8. ධම්මපදය ත්‍රිපිටකයේ ම කොටසකි. එය සුත්‍රාන්ත පිටකයේ, ඛුද්දක නිකායේ ග්‍රන්ථ 15 අතරින් එකකි. සුත්‍රාන්ත පිටකයේ 18 වන ග්‍රන්ථය වශයෙන් ද, බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 24 වන ග්‍රන්ථය වශයෙන් ද, එය ත්‍රිපිටකය තුළ අන්තර්ගත වේ.

        http://www.thiryak.org/introduction-of-tripitaka.html

        ReplyDelete

      Related Posts Plugin for WordPress, Blogger...