Wednesday, July 4, 2012

ලොව අතීතය හා අනාගතය බුදුඇසින්

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගධ රාජ්‍යයේ මාතුලා ජනපදයේ දී විසිදහසක් රහත්ඵලයෙ හි  පිහිටුවමින් අසූහාරදහසක් පිරිස ට මගඵල නිවන් අවබෝධ කරගැනීම පිණිස දේශනා කොට වදාළ චක්කවත්ති සිංහනාද සුත්‍ර දේශනාව කේන්ද්‍ර කරගනිමින් ඉහත මාතෘකාව සාකච්ජා කිරීම ට යි මේ සුදානම. මිනිසා ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාව ක්‍රමයෙන් පිරිහී යන ආකාරය හා නැවත වර්ධනය වන ආකාරය පිළිබඳ මේ දේශනාවේ සවිස්තර ව විස්තර වේ.

මිනිසුන් වශයෙන් කොතරම් තාක්ෂනය අතින් දියුණුවක් ලබා සිටියද අද වනවිට මිනිසා ගේ පරමායුෂ අවුරුදු 70ක් පමණ දක්වා අඩු වී ඇත. එ කළ නො තිබූ ලෙඩරෝග අද උත්සන්න වී ඇත. සමහර ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම පවා මෙතෙක් සොයාගෙන නැත. ඇතැම් ලෙඩරෝග සඳහා ප්‍රතිකර්ම කර සුව කළ නො හැකි ව තිබේ.
මේ සියලු කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇතැ යි කිවහොත් ඔබ ඇතැම් විට පුදුම වනු ඇත. පළමුවෙන් ම මෙ ම ත්‍රිපිටක දේශනාව මනා අවබෝධයෙන් කියවන්න. ධර්ම දේශනය මැනවින් ශ්‍රවණය කරන්න.



Chakkawaththi Sinhanada Suththa 20 Pages


සක්විති රජවරුන් පිළිබඳ දේශනා වන බැවින් මේ දේශනාව චක්කවත්තී සීහනාද සුත්‍රය ලෙස නම් කර ඇත. කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු විසිදහස ට තිබූ පරමායුෂ ක්‍රමයෙන් අඩු වී ගොස් දස වර්ෂය ට අඩු වී නැවත අසංඛ්‍ය දක්වා පරමායුෂ වර්ධනය විය. නැවත එය අවුරුදු අසංඛ්‍ය දක්වා අඩු වූ කාලයේ දඹදිව "දළ්හනේමි" නම් සක්විති රජෙක් පහල විය. අවුරුදු දහස් ගණනක් චක්‍රවර්ති සැප සම්පත් වින්දනය කරන්නට යෙදුනි. ස්වකීය චක්‍රරත්නය තිබුණු තැනින් මඳක් සෙලවී ඇති බව සේවකයකු මගින් දැනගත් පෙර “දළ්හනේමි “ නම් චක්‍රවර්ති රජතුමෝ රජය දරුවනට පවරා දී පැවිදි බිමට පත් වූහ. ඔහුගේ රජයට පූර්ව විදේහය, අපර ගෝධානය, උතුරුකුරු දිවයින, දඹදිව යන සතර මහා දිවයින් ද අයත් විශාල පෙදෙසක් අයත් විය. ඔහු පැවිදි වී සත් දිනක දී චක්‍රරත්නය ද නො පෙනී යන තැනට පත්විය. “ දළ්හනේමි” සක්විති රජුට පුතුන් දහසකි. එවකට මිනිස් ලොව පරමායුෂ අවුරුදු අසූදහසකි. රජු පුතුනට අවවාද කළේ චක්‍ර රත්නය දැනට අතුරුදන් වී ඇතත් “ දස සක්විති වත් “ පුරන්නට පටන් ගත් කල එය යළි ප්‍රාදුර්භූත වන බව ය. ඔවුන් දස සක්විති වත් සපුරන්නට වී නොබෝ කලකින් යළි සරුසාර රාජ්‍යයක් උදාවන්නට විය.ඔවුන් නො පිරිහෙළා සම්පූර්ණ කළ යුතු සම්පූර්ණ කරන ලද "දස සක්විති වත්" නම්

1. රට වැසියන් ආරක්ෂා කිරීම
2. රටේ බල සේනාව ධර්මයෙහි පිහිටුවීම
3. රජ පරපුරේ අය ධර්මයෙ හි පිහිටුවීම
4. රාජ්‍ය තන්ත්‍රයේ පිරිස ධර්මයෙ හි පිහිටුවීම
5. රාජ්‍ය තුළ බ්‍රාහ්මණ ජනයා ධර්මයෙ හි පිහිටුවීම
6. සියලු ජානපදිකයන් ධර්මයෙ හි පිහිටුවීම
7. රාජ්‍යයෙ හි මහණ, බමුණන් ආරක්‍ෂා කිරීම
8. දිළින්දන් ට ධනය බෙදාදීම
9. සිව්පාවුන් හා පක්‍ෂීන් ද ආරක්‍ෂා කිරීම
10. සිල්වත් මහණ බමුණන්ගේ අවවාද උපදේශ පිළිගෙන දැහැමි ව රාජ්‍ය පාලනය කිරීම

දස සක්විති වත් මෙ සේ සපුරා ගත වූ කාලය යළි චක්‍ර රත්නය ඇතුළු සියලු සම්පත් පහළ ව දැහැමෙන් සෙමෙන් රජය පාලනය වන්නට විය. සත්වන රජතුමා දක්වා සියලු දෙන පංචශීලය මුල්කොට ඇති යහපත් පිළිවෙතින් රට පාලනය කරන අයුරු ඉගෙන එ සේ කළ ද, අටවන සක්විති රජු විසින් සක්විති වත් කඩ කරන ලදී. එතැන් පටන් යළි රජයේ පරිහානිය ද වේගවත් වන්නට විය. රජතුමා ගේ අනුවණ පිළියමද ඊට රුකුලක් විය.

රජයෙන් ධනය නො ලැබෙන නිසා නිර්ධනීහු සොරකම් කරන්නට පටන් ගත් හ. මුල දි සක්විති රජතුමා සොරුන් ගෙන්වා සොරකම් කළේ ධනය නැති නිසා ඔවුනට ධනය බෙදා දෙන්නට විය. මෙ සේ සොරකම ධනය ලැබීමේ මගක් වග වටහා ගත් බොහෝ දෙනා ඉන් පසු සොරකමට ඇබ්බැහි වූ හ. රජයෙන් මුදලක් ලබාගැනීමේ උපාය මාර්ගය ලෙස බොහෝ දෙන සොර වූහ. සොරුන් වැඩිවන්නට වූ හෙයින් රජතුමා සොරුන් අල්වා හිස ගසා දමන්නට පටන් ගත්තේ ය. මෙය රටේ මහත් කලබලයකට හේතු විය.

ක්‍රමයෙන් සොරකම පමණක් නො ව රජය ට විරුද්ධ කැරලි කෝලාහල ද පටන් ගත් අතර සොරකම, ප්‍රාණඝාතය පමණක් නො ව බොරුකීම, පරදාරසේවනය, අධර්ම රාගය, විෂම ලෝභය ආදි දුශ්චරිත ද වැඩිවිය. මේ හේතුන් නිසා ඉතා වේගයෙන් ආයුෂ පිරිහෙන්නට විය. මුලදී අසූදහසක්ව තිබූ ආයුෂ හතලිස්දහස, විසිදහස, දසදහස ආදී වශයෙන් අඩුවෙමින් පරමායුෂ අවුරුදු දහයක්ක් විය.
 
සියලු රසනීරස විය. අග්‍රභෝජනය කුරක්කන් පමණක් විය. මිනිසා ගේ ආයුෂ අවුරුදු දහයක් පමණ වූ කාලයේ මෘග සංවර්ෂාව ඇති වී ශස්ත්‍ර අන්තර කලාපය ද බිහිවී (ආයුධයෙන් ඇන කොටා ගන්නා කාලය) පරිහානියේ පත්ලට ම මිනිසා කිඳී යන්නට විය. අග්‍රභෝජනය කුරක්කන් වුව ද එයත් කලක් යන විට නැතිවන්නට විය.

මෙ සේ කලක් ගත වන විට මිනිසාට තමන් ගේ වැරැදි ක්‍රියා කලාපය වැටහී යෑම නිසා යළි ක්‍රමයෙන් සකස් වන්නට වෙයි. පරමායුෂ ද ක්‍රමයෙන් වර්ධනය වන්නට වෙයි.

මෙ හි දැක්වෙන මිනිසා ගේ පරමායුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු දහය දක්වා අඩු වී යන ආකාරය යි. ආයුෂය අවුරුදු එ පමණ එ පමණ ප්‍රමාණයක් වන ආකාරය මෙ සේ පැහැදිලි කළ නමුත් සමහර දෙනා මෙය අතිශෝක්තියක් ය යි සිතා ඉවත දමනු ඇත. නමුත් මෙ ම ක්‍රියාවලිය සත්‍යවශයෙන් ම සිදු වූ සිදුවන හා සිදුවෙමින් පවත්නා ක්‍රියාවලියක් බව දත යුතු ය.

පෙර ද, සඳහන් කළ පරිදි අද වනවිට අතීතයේ දී ට වඩා රෝගාබාධයන් ඉතා බහුල වී ඇති බව හොඳින් ම පෙනෙන සත්‍යයකි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වයස් භේදයකින් තොර ව ම බොහෝ දෙනා ට ඇත. තාක්ෂණික ව කොතරම් දියුණු ය යි කියුවද, මේ ලෙඩරෝග සම්පුර්ණයෙන් ම සුවකළ නො හැකි ව තිබේ. පරමායුෂ අවුරුදු 10 වනවිට මිනිස් ලොව ගිතෙල්, මීපැණි, උක්සකුරු ආදී ප්‍රණීත ආහාරපාන ආදිය අන්තර්ධාන වී මාංශ භක්ෂණය සඳහා ම නැඹුරු වන බව ඉහත දේශනාවේ පැහැදිලි ව දේශනා කොට ඇත. එය අද දිනට ගලපා බැලුවහොත් දියවැඩියාව ඇති උදවිය ට සීනි, පැණි ආදී ආහාර ගැනීමෙන් වැලකී සිටින ලෙස ත්, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි දේ ඇති උදවිය ට ලුණු ආහාරය ට ගැනීමෙන් වලකින ලෙස ද, වෛද්‍යවරු නිර්දේශ කරති. එයින් වටහා ගතයුතු කරුණ වන්නේ අනාගතයේ දී ද, මිනිසා ට මේ ආකාර වූ ලෙඩරෝග වැළඳීම නිසා ප්‍රණීත ආහාරපාන ගත නො හැකි ව ඒවා සියල්ල ලොවින් තුරන් ව යන බව යි. මේ ආකාරයෙන් සලකු විට අනෙකුත් කරුණු ද, අතිශෝක්තියක් නො වන බව හොඳින් ම වැටහෙනු ඇත.
 
දැන් අප ජීවත් වන්නේ අතීතයේ හෝ අනාගතයේ හෝ නො ව වර්තමානයේ ය. වර්තමානය තුළ ජීවත්වෙමින් තමා ට වැඩපිණිස කටයුතු කරගැනීම ට සියලු දෙනා උත්සාහවත් විය යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා, පුරමින් පිළිවෙත් පිරිය යුතු ය. බෞද්ධයන් සියලු දෙනා ගේ පරම චේතනාව හා අරමුණ වන නිවන පිණිස මෙය ද, පාරමිතාවක් වේ වා!

තෙරුවන් සරණ යි!

1 comment:

  1. ඔබට පින්, මිනිසුන් මෙවන් සූත්‍ර දැකිය යුතුය.
    දිගටම ලිපි ලිවීමට ආසිරි පතමි.
    මිනිසුන් මාංශ අනුඹවයට නොවේ නැඹුරු වෙන්නේ,
    එනම් එකල රසවත් වූ ආහාරය වූ ඇල් හාලේ බත් හා මස්,
    නොව දැන් මිනිස්සූ වන අප කන්නේ රළු වූ රතු බත් හා කොළ ජාති වැනි ඒවාය.
    ඒ ලෙඩට බිය නිසාවෙනි.
    දැනටමත් අපි මුදවපු කිරි වල රසවත්ම කොටස වන යොදය ඉවත් කර කන්නෙමු.
    පැනි රස කෑමට ආසා වුනත්හ් නොකන්නෙමු.
    ඒ රෝගයන් නිසාය.
    මේවා සිදු විය යුතු දේවල්ය,
    මක් නිසාද බුදු සමිඳුන් වදාල දෙයක් වෙන අයුරකින් නොවන නිසාය.
    එසේම මේ කිඅන්නා සේම ආහාර වල රසය ද අතුරුදන් වෙමින් පවතී,
    අතීතයේ තිබූ ආහාරා වල රසවත් බව දැන් නැතැයි මිනිසුන් කියන්නේ ඒ නිසාය.
    කළ යුතු එකම දෙය නම් මේ ඝෝරවූ සසරින් මිදීමට වෙර දැරීමයි.
    ඒ සඳහා ඔබට මේ කරන ධර්ම දාන පින උපකාර වේවා!
    තෙරුවන් සරණයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...