Tuesday, July 24, 2012

සඟ සසුනේ අපරිහානිය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයා ගේ අපරිහානිය සඳහා දේශනා කළ කරුණු සතලිස් එකක් ඇත. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කළ සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය අදවන තෙක් ම සුරක්ෂණය වූයේ මහසඟරුවනේ අපරිමිත කැපවීම නිසා ම ය. ඇතැම් කාලවල දී වැටකෙයියා ඉස්ම පානය කරමින් ද, නෙළුම් දඬු අමුවෙන් අනුභව කරමින් ද, උතුම් දම්කඳ රැකගන්නට සංඝරත්නය වීර්යය කළ බව ට ඉතිහාසයේ සඳහන් ව ඇත. කෙ සේ වුව ද, අදවනවිට අතීතයේ පැවතී සංඝ බලය හා සංඝයා ගේ සාමූහිකත්වය යම්පමණකින් පරිහාණිගත ව ඇති බව පැහැදිලි වන සත්‍යයකි. ගිහියන් ලෙස සංඝරත්නය වෙත අනුශාසනා කරන්න ට සුදුසු නො වන බව අප දනිමු. එ බැවින් එය බුදුරදුන් දේශනා කළ ධර්මය අනුව ගලපා බලමු.


භික්ෂුන් වහන්සේ ගේ අපරිහාණිය උදෙසා කරුණු සතලිස් එකක් බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ දේශනා කර ඇත. භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩවාසය කරන සමයේ අජාසත් රජු වැදෑ රජුන් ගේ රාජ්‍යය යටත් කරගැනීම පිණිස, වජ්ජින් ව විනාශ කිරීම පිණිස අන්‍යව්‍යසනය ට පත් කරන්නෙමි යි සිතූ හ. ඊට ප්‍රථම මගධ මහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණයා බුදුරදුන් සමග මේ පිළිබඳ සාකච්ඡා කර භාග්‍යවතුන් ගේ අදහස නිවැරදි ව දැනගන්නා ලෙස අජාසත් රජු නියම ලකරන ලදී.

බුදුරදුන් වෙත වස්සකාර බ්‍රාහ්මණතෙමේ එළඹ වැඳ නමස්කාර කර සතුටු සාමීචි කතා අවසන් කොට ඉහත කාරණය පිළිබඳ විමසා සිටියේ ය.
 

එ හි දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතූන් වහන්සේ ට පවන් සලමින් භාග්‍යවතූන් වහන්සේ ගේ පිටුපස වැඩ උන්නේ ය. එ විට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කොට, "ආනන්දය, වැදෑ රජුහු නිතර රැස්වන්නාහු ද, රැස්වීම් බහුල ව ඇත්තාහු ද, වැදෑ රජුහු සමගි ව රැස්වෙත් ද, සමගි ව නැගී සිටිත් ද, වැදෑ රජුහු සමගි ව කටයුතු කෙරෙත් ද, වැදෑ රජුහු නො පණවන ලද අලුත් නීති නො පනවත් ද, පණවන ලද නීති කඩ නො කරත් ද, පණවන ලද පුරාණ වජ්ජි ධර්මයන් දැඩිසේ ගෙන පිළිපදිද් ද, වැදෑ රජුහු පුරුෂාන්තර ගත වූ විවාහ වූ යම් ඒ කුලස්ත්‍රීහු වෙත් ද විවාහ නො වූ යම් ඒ කුල කුමරීහු වෙත් ද, ඔවුන්ට බලහත්කාරකම් නො කරත් ද, වැදෑ රජුහු ඔවුන් ගේ නුවර ඇතුළත වූ හෝ නුවරින් පිට වූ හෝ චෛත්‍යයෝ ඇත් ද ඒ චෛත්‍යාදීන්ට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, ඒ චෛත්‍යයන් පුදත් ද, කියා ද, ඒ චෛත්‍යාදීන්ට පෙර දුන්නාවූ ද, පෙර කරන ලද්දාවූ ද ධාර්මික පුද පූජා නො පිරිහෙලා කරත් ද, ඒ වැදෑ රජුහුගේ වැඳුම් පිදුම් කිරීම ට සුදුසු වූ මහණ බමුණන් නිවැරදි අන්දමින් ආරක‍ෂාව යහපත් ලෙස පිහිටුවන ලද්දේද, නො පැමිණියා වූ සිල්වත් ගුණවත් මහණ බමුණෝ තමන් ගේ රට ට එන්නාහු ද, පැමිණියා වූ මහණ බමුණෝ සැප සේ වාසය කරන්නාහු ද කියා ද, තා විසින් අසන ලද්දේ දැ යි" ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් ඇසූ සේක.

වැදෑ රජවරුන් ඒ සියල්ල කරන බව ආනන්ද තෙරුන් වහන්සේ විසින් අසා තිබෙන බව ප්‍රකාශ කර සිටියේ ය..

"එ සේ නම් ආනන්දය, ඒ වැදෑ රජවරුන් ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය" යි කීවේ ය.

ස්වල්ප මොහොතකින් පසු භාග්‍යවතුන් වහන්සේ වස්සකාර නම් බ්‍රාහ්මණයාට කථා කොට, "බ්‍රාහ්මණය, මම එක කාලයක විසාලා මහ නුවර "සාරන්දද" නම් යක‍ෂයා ගේ වාසස්ථානයෙ හි කල චෛත්‍යයෙ හි වාසය කළෙමි. මම එ හි දී වැදෑ රජුන් හට පිරිහීමක් නො වන කරුණු හතක් දේශනා කළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් මේ නො පිරිහීම ට හේතුවන කරුණු සත වැදෑ රජුන් අත තිබෙයි ද වැදෑ රජුහු මේ නො පිරිහෙන ධර්ම සතෙහි යහපත් ලෙස පිහිටත් ද, පිහිටවන බවක් දක්නා ලැබෙත් ද, බ්‍රාහ්මණය, ඒ වැදෑ රජුන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුතු ය. පිරිහීමක් නො වේ ය" යි වදාළ සේක.

මෙ සේ වදාළ කල් හි වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූයේ ය. "භවත් ගෞතමයන් වහන්ස, ඒ එකී එකී නො පිරිහීමට හේතුවන කරුණින් යුක්ත වූ වැදෑ රජුන් ගේ වැඩි දියුණුව ම අභිවෘධිය ම බලාපොරොත්තු විය යුත්තේ ය. පිරිහීමක් නො වෙයි. ඒ කරුණු හතෙන් ම යුක්ත නම් කියනුම කවරෙ ද? භවත් ගෞතමයන් වහන්ස, මගධ රට රජ වූ අජාසත් රජ විසින් වැදෑ රජුන් සමග රන් රිදී ආදී වස්තුව යවා සංග්‍රහ කිරීමක් නැති ව ඔවුනොවුන් ගේ සමගිය නො බිඳ යුද්ධ නො කට යුතු ය. භවත් ගෞතමයන් වහන්ස, අපි බොහෝ කටයුතු ඇත්තෝ වෙමු. අවශ්‍ය කටයුතු ඇත්තම් හ. එ බැවින් දැන් අපි යම් හ යි කීයේ ය.

අනතුරුව සංඝ පිරිස ශාලාවට රැස්කර භික්ෂුන් සඳහා නො පිරිහෙන කරුණු සතලිස් එක වදාළන ලදී.
 

භාග්‍යවතුන් වහන්සේවැඩ සිටි ආසනයෙන් නැගිට ස්ථාන ශාලාවට එළඹියේ ය. එළඹ පණවන ලද ආසනයෙ හි වැඩ සිටිය හ. වැඩහිඳ භික්ෂූන්ට කථාකර "මහණෙනි, මේ අපරිහාණීය කරුණු සතක් දේශනා කරන්නෙමි. එය අසව්" කීවේ ය. "ස්වාමීන් වහන්ස, එය යහපතැ" යි භික්ෂූහූ උන් වහන්සේ ට උත්තර දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළ සේක.

"මහණෙනි, යම්තාක් කල් භික්ෂූන් නිතර රැස්වන්නාහු වෙත් ද, බොහෝ සෙයින් රැස්වන්නාහු වෙත් ද, සමගි ව රැස්වන්නාහු වෙත් ද, සමගි ව නැගී සිටින්නාහු ද, සමගි ව සංඝයා විසින් කටයුතු වූ පොහෝ කිරීම් ආදී කර්ම කරන්නාහු ද, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්දක් නො පණවයි ද, පණවන ලද ශික්ෂා ධර්මය කඩ නො කරන්නාහු ද, පණවන ලද පරිදිවූ ශික්ෂා පදයන් සාමාදන් ව නො පිරිහෙලා රක්නාහු ද, බොහෝ දවස් ගැන දන්නා වූ පැවිදි වූ බොහෝ කල් ඇති සංඝයා ගේ පිය තනතුරෙ හි සිටියා වූ සංඝයා ඒ ඒ ශාසන වැඩවල ට පමුණුවන හෙයින් සංඝ නායක වූ ඒ ස්ථවිර භික්ෂූහූ වෙත් ද, උන් වහන්සේලාට සත්කාර ගරුබුහුමන් කරන්නාහු ද, උන් වහන්සේලා පුදන්නාහු ද, උන් වහන්සේලා ගේ ධර්මානුශාසනාදිය ඇසිය යුතු ලෙස ම සිතන්නාහු ද, නැවත ඉපදීම ඇති කරන්නා වූ උපන් තෘෂ්ණාව ගේ වසඟයට නො පැමිණෙත් ද, ආරණ්‍යවල වාසයට කැමැත්තෙන් සිටින්නාහු වෙත් ද, භික්ෂූහූ නො පැමිණියා වූ සිලවත් සබ්‍රහ්මචාරීහු එන්නේනම් ඉතා යෙහෙකැ යි ද පැමිණියා වූ සබ්‍රහ්මචාරීහු පහසුයේ වාසය කරන්නාහු නම් ඉතා යහපතැ යි ද තම තමන් ගේ සිත් තුළ ම එළඹ සිටුවා වාසය කෙරෙත් ද, මහණෙනි, යම්තාක් කල් මේ පිරිහීම නැති කරන ධර්ම හත භික්ෂූන් කෙරෙහි පවත්නාහු ද, මේ ධර්ම හත කෙරෙහි භික්ෂූහූ දක්නා ලැබෙත් ද, ඒ භික්ෂූන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය" යි දේශනා කළ සේක.

"මහණෙනි, තව ත් පිරිහීම නැති කරන කරුණු සතක් දේශනා කරන්නෙමි."
 

"මහණෙනි, භික්ෂූහූ යම්තාක් කාලයක් සිවුරු පිරිකර මැසීම, හැඳීම ආදී කර්මාන්තයන් හි ඇලී වාසය නො කරත් ද, කර්මාන්තයන් හි වැඩි වශයෙන් යෙදී බැඳී වාසය නො කරත් ද, ස්ත්‍රීන් ගේ ගුණකීම ආදී වූ වැරදි වූ බොහෝ කථාවෙහි ඇලෙන්නාහු නො වෙත් ද, බොහෝ කථාවෙ හි යෙදිනාහු නො වෙත් ද, බොහෝ කොට නිදාගැනීම් ඇත්තෝ නො වෙන්නාහු ද, නින්දෙ හි ඇලුනෝ නො වෙන්නාහු ද, නින්දෙ හි නො යෙදුනෝ වන්නාහු ද, සමූහයා පරිවරාගෙන රංචු ගැසී වාසය කිරීමක් නැත්තෝ වන්නාහු ද, සමූහයා කෙරෙහි ඇලුනෝ නො වන්නාහු ද, ජන සමූහයා කෙරෙහි ඇලීම් වශයෙන් නො යෙදුනාහු ද, තමන් තුළ නැත්තා වූ ගුණ ඇඟවීම් වශයෙන් ළාමක වූ පව් අදහස් ඇත්තෝ නො වන්නාහු ද, පව් අදහස් ඇත්තන් ගේ ආශ්‍රයට නො පැමිණියාහු වෙත් ද, පාප මිත්‍රයන් ඇත්තෝ නො වන්නාහු ද, පාපී යහඵවන් ඇත්තෝ නො වන්නාහු ද, පාපයන් කෙරෙහි නැමීම් ඇලීම ඇත්තෝ නො වන්නාහු ද, භික්ෂූහු යම්තාක් කල් අර්හත් ඵලයෙන් මෙහා ස්වල්ප මාත්‍ර වූ විශේෂ අධිගමයකින් අවසානයට නො පැමිණෙන්නාහු ද, යන මේ නො පිරිහෙන කරුණු හත යම්තාක් කාලයක් භික්ෂූන් අතර තිබෙයි ද, මේ පිරිහීම නැති කරන ධර්මයන් හත කෙරෙහි භික්ෂූන් පිළිපදිනු දක්නා ලැබේ ද, මහණෙනි, ඒ භික්ෂූන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය" යි. දේශනා කළ සේක.

"මහණෙනි, තව ත් නො පිරිහෙන ධර්ම හතක් දේශනා කරන්නෙමි."

"මහණෙනි, භික්ෂූහූ යම්තාක් කාලයක් ශ්‍රද්ධා ඇත්තෝ වන්නාහු ද, පව් කිරීමෙ හි ලජ්ජා ඇත්තෝ වන්නාහු ද, පාපයට භය ඇත්තෝ වන්නාහු ද, බොහෝ ඇසූපිරූ තැන් ඇත්තෝ වන්නාහු ද, පටන් ගත් වීර්යය ඇත්තෝ වන්නාහු ද, එළඹ සිටි සිහි ඇත්තෝ වන්නාහු ද, නුවණ ඇත්තෝ වෙත් ද, මහණෙනි, ඒ භික්ෂූන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය" යි දේශනා කළේ ය.

"මහණෙනි, පිරිහීම නැති කරන අපරිහානිය වෙනත් ධර්ම හතක් දේශනා කරන්නෙමි."

මහණෙනි, යම්තාක් කල් භික්ෂූහූ සතිසම්බොජ්ජංගය (බෝධියට අංගවන සිහිය) වඩන්නාහු ද, ධම්මවිජය සම්බොජ්ජංගය (බෝධියට අංගවන නුවණ) වඩන්නාහු ද, වීරිය සම්බොජ්ජංගය (බෝධියට අංගවන වීර්යය) වඩන්නාහු ද, ප්‍රීති සම්බොජ්ජංගය (බෝධිය ට අංගවන ප්‍රීතිය) වඩන්නාහු ද, පස්සධි සම්බොජ්ජංගය (බෝධියට අංගවන සංසිඳීම) වඩන්නාහු ද, සමාධි සම්බොජ්ජංගය (බෝධියට අංගවන සමාධිය) වඩන්නාහු ද, උපේක්ඛා සම්බොජ්ජංගය (බෝධියට අංගවන උපේක‍ෂාව) වඩන්නාහු ද, මහණෙනි, ඒ භික්ෂූන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය" යි දේශනා කළේ ය.

"මහණෙනි, වෙනත් පිරිහීම නැති කරන ධර්ම හතක් දේශනා කරන්නෙමි."
 

"මහණෙනි, භික්ෂූහූ යම්තාක් අනිත්‍ය සංඥාව වඩන්නාහු ද, අනාත්ම සංඥාව වඩන්නාහු වෙත් ද, අසුභ සංඥාව වඩන්නාහු වෙත් ද, ආදීනව සංඥාව වඩන්නාහු වෙත් ද, විරාග සංඥාව වඩන්නාහු වෙත් ද, නිරෝධ සංඥාව වඩන්නාහු වෙත් ද, මහණෙනි, ඒ භික්ෂූන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය" යි දේශනා කළේ ය.

"මහණෙනි, පිරිහීම නැති කරන වෙනත් ධර්ම හයක් දේශනා කරන්නෙමි."

"මහණෙනි, භික්ෂූන් යම්තාක් කල් එකට මහණ දම් පුරන්නන් කෙරෙහි ඇති තැන ද, නැති තැන ද මෛත්‍රීයෙන් යුත් කාය කර්ම ඇති ව සිටින්නාහු ද, මෛත්‍රියෙන් යුත් වචන කියන්නාහු ද, මෛත්‍රී සිත් පිහිටුවා සිටින්නාහු ද, භික්ෂූහූ යම්තාක් කල් යම් දැහැමින් ලබන ලද ධාර්මික ලාභ වෙත් ද, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබුණ දෙයක් වුව ත් සිල්වත් වූ එකට මහණදම් පුරණ භික්ෂූන් වහන්සේලා සමග බෙදා හදා ප්‍රයෝජන ගන්නෝ වන්නාහුද, කඩ නො වූ පැල්ලම් නැති කැලැල් නැති තණ්හාව ට වහල් නො වූ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද වැරදි හැඟීම නැති සමාධිය පිණිස පවත්නා යම් ශීලයක් ඇත්තේ ද, එ වැනි ශීලයෙන් සමාන ව එකට මහණදම් පුරන්නන් සමග ඇති තැන ද, නැති තැන ද වාසය කරත් ද, භික්ෂූ ගේ යම්තාක් කල් ක්ලේශ නැති කරන උතුම් නිර්වාණය පිණිස පවතින හරි දැකීමක් වේ ද, එ වැනි දැකීමෙන් සමාන ව ඇති තැන ද, නැති තැන ද එකට මහණදම් පුරන්නන් සමග වාසය කරන්නාහු ද, මහණෙනි, ඒ භික්ෂූන් ගේ වැඩි දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීමක් නො වේ ය යි" දේශනා කළෝ ය.
 
මෙතෙක් දැක්වුයේ මහාපරිනිබ්බාන සුත්‍රයේ අප ගේ මාතෘකාව සඳහා අදාළ ධර්ම කොටස ය. පහතින් දක්වා ඇත්තේ සම්පුර්ණ මහාපරිනිබ්බාන සුත්‍රය යි.

Mahaparinibbana Sutta (78 Pages) pdf

වර්තමාන සඟ පරපුර මෙ ම අපරිහාණියේ ධර්ම කොතෙක් දුරට පිළිපදින්නේ දැ යි අප නො දනිමු. මෙය පමණක් නො ව මුළුමහත් අභිධර්ම පිටකය ම පිළි නො ගන්නා, සුත්‍ර පිටකයේ ද, විවිධ කොටස් ප්‍රතික්ෂේප කරන භික්ෂුන් වහන්සේලා අද බිහි ව ඇත්තේ කාගේ අවාසනාවකට දැ යි නො දනිමු. බුද්ධ දේශිතය ප්‍රතික්ෂේප කරන්න ට තරම් ඔවුහු ප්‍රඥාවන්ත වුයේ කෙ සේ දැ යි අප නො දනිමු. අකලට බුදුවරු, මගඵල ලැබුවෝ සහ බුද්ධ චරිතය පවා විකෘති කරන පුද්ගලයන් බිහි ව ඇත්තේ කුමක් නිසා ද?
 

බුදුසසුන තව ත් කාලයක් නිර්මල ව ආරක්ෂා විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය වැදගත් ම දෙය වන්නේ අන්‍යාගමික මතවාද වැළැක්වීම සඳහා පියවර ගැනීම හා අන්‍යාගමිකයන් නිර්දය ලෙස විවේචනය කිරීම නො ව අපේ සංඝ රත්නය ආරක්ෂා කරගැනීම බව ප්‍රඥාවක් ඇත්තෙකු ට නම්  දැනිය යුත්තේ ය.  මෙතෙක් කලක් සසුන ආරක්ෂා වූයේ ද, සංඝරත්නය නිසා ය.

සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණවලින් සමන්විත සඟ පරපුරක් පහල වේ වා! යන්න ප්‍රාර්ථනය කරමින් මෙ ම ලිපිය මෙතෙකින් නිමා කරමු.
බුදුදහම බොහෝ කලක් ආරක්ෂා වෙත් වා!
තෙරුවන් සරණ යි!

1 comment:

  1. කාලීන වැදගත්කමක් \ඇති ලිපියක්. ඒත් මේ කරුණු තේරුණත් නොතේරුණු ආකාරයට ඉන්න එක තමා ගැටළුව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...