Thursday, May 31, 2012

ගෞතම බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
මේ කාලයෙ හි ශාක්‍ය කුලය වඩනා ගෞතම බුදුරජ වූ මම ප්‍රධාන වීර්යය කොට සම්බෝධිය ට පැමිණියෙමි.

බඹහු විසින් අයදනා ලද්දේ දම්සක් පැවැත්වූයෙමි. අටළොස් කෝටියක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය. ඉන් පසු ද දෙවි මිනිසුන් ගේ රැස්වීමේ දී දහම් දෙසන කල් හි ගණනින් නො කිය හැකි දෙනෙකු ට දෙවන ධර්මාවබෝධය වී ය. මෙ හි දී ම මම මේ කාලයෙ හි දී මාගේ පුතු ට අවවාද කෙළෙම් ද, ඒ කාලයෙ හි ගණනින් නො කිය හැකි  දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී ය.

Wednesday, May 30, 2012

කාශ්‍යප බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
කෝණාගමන නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි සිවුසස් අවබෝධ කළ දෙපා ඇති සතුන් ට උතුම් වූ බැබළීම් ඇති කරන නමින් කාශ්‍යප නම් වූ දහම්රදතෙම පහල විය.

හැරදමන ලද කුලගෙය ද, මූල නම් අපමණ ධන රාශිය ද, බොහෝ ආහාර පාන ද, සිත් පුරා යාචකයන් ට දන් දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල් හි කෝටි විසි දහසක් දෙනෙකුන් ට පළමුවන ධර්මාවබෝධය වී ය.

කොණාගමන බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
කකුසඳ බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ ලොව ට උසස් වූ නරදෙටු "කෝණාගමන" නම් ජිනරාජතෙම පහල විය.

දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධිය ට පැමිණි සේක.

කොණාගමන නම් ලෝනාහිමිඳු දම්සක් පවත්වන කල් හි කෝටි තිස් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. මිසදිටු වාද මැඩීමෙ හි ලා පෙළහර කරන කල් හි ද කෝටි විසි දහසක් දෙනෙකුන් ට දෙවන ධර්මවබෝධය වී ය.


කකුසඳ බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
වෙස්සභූ බුදුරදුන් ට මෑතභාගයේ ද්වීපදොත්තම වූ අප්‍රමේය ගුණ ඇති ළඟාවිය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුදුන් වහන්සේ පහල විය.

සියලු පාරමිතාවන් ගේ කෙළවර ට පැමිණියාහු. භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් සම්බෝධිය ට පැමිණිය හ.

කකුසඳ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි සතලිස්කෙලදහසක් සත්නට පළමු ධර්මාභිසමය විය. අන්තරීක්ෂ අවකාශයේ යමාමහ පෙළහර කොට තිස්කෙලදහසක් දෙව්මිනිසුන් ට ධර්මාවබෝධය කරවීය. නරදෙව් තෙම යක්ෂයාහට සිව්සස් දෙසීමේ දී උන්වහන්සේ ගේ තුන්වන ධර්මාභිසමය ගණනින් අසංඛෙය විය.

Tuesday, May 29, 2012

වෙස්සභූ බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
එ ම මණ්ඩ නම් කල්පයෙ හි අසම වූ තමා ට සමාන පුද්ගලයෙක් නැත්තා වූ  නමින් වෙස්සභූ නම් වූ ලෝනා හිමිඳු උපන් සේක.

ඒ කාලයෙ හි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේ ය යි දැන සසර බැඳුම සිඳගෙන ඇත් රජෙකු මෙන් බුදුබවට පැමිණි සේක.

වෙස්සභූ බුදුරදුන් දම්සක් පවත්වන කල් හි කෝටි අසූ දහසක් දෙනෙකුන් ට  පළමුවන ධර්මාවබෝධය වී ය. ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙ හි සැරිසරා වැඩිය කල් හි කෝටි සැත්තෑදහසක් දෙනා ට  දෙවන ධර්මවබෝධය වී ය. උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් යමාමහ පෙළහරක් කළ සේක.   දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙ හි දෙවි මිනිස්සු රැස්වු හ. පෙර නො වූ විරූ,  ලොමු දැහැගන්නා වූ මහ පුදුමය දැක සැට කෝටියක් දෙවියෝ ද මිනිස්සු ද සිවුසස් අවබෝධ කළාහු ය.

සිඛී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 
විපස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සම්බුදු වූ දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ "සිඛී" නම් ජිනරාජතෙම වී ය.

මරසෙන් පරදවා උතුම් බුදුබව ට පැමිණි සේක් සත්ත‍වයන් ට අනුකම්පාකොට දම්සක් පැවැත්වූ සේක.

සිඛී මුනිඳු දම්සක් පවත්නා කල් හි කෝටි සියක් දහසක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය.

විපස්සී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ඵුස්ස බුදුරදුන් ට පසු කාලයෙ හි පසැස් ඇති සියලු සතුන්ට උතුම් වූ නමින් විපස්සී නම් බුදුරජතෙම ලෝකයෙ හි උපන් සේක.

සියලු අවිද්‍යාවන් නැතිකර දමා උතුම් සම්බුදු බව ට පැමිණි සේක් දම්සක් පැවැත්වීම ට බන්ධුමතී නුවර ට වැඩිය සේක.

ලොව ට නායක වූ බුදුරජතෙම දම්සක් පවත්වා බාල සොහොවුරු ඛණ්ඩකුමාර ද,  පුරොහිත බමුණු පුත් තිස්ස ද යන දෙදෙනා ට සිව්සස් අවබෝධ කරවී ය.   ගණනින් නො කිය හැකි අපමණ සත්ත‍වයන් ට පළමු ධර්මාවබෝධය වී ය.

Monday, May 28, 2012

ඵුස්ස බුද්ධ වංශය

 නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

එ ම මණ්ඩ කල්පයෙ හි දෙවි මිනිසුන් ගේ අනුශාසක වූ තමහට වඩා උතුමෙක් නැති උපමා රහිත අසමසම වූ "ඵුස්ස" නම් බුදුරජතෙම වී ය.

ඒ ඵුස්ස නම් බුදුරජතෙම ද, සියලු මොහඳුරු නසා ලෝභ නමැති මහ අවුල ලිහා දමා දෙවියන් සහිත ලෝකයා සතප්පවමින් අමාදියෙන් වැස්සේ ය.  

ඵුස්ස බුදුරජුන් දම්සක් පවත්වන කල දී කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මාවබෝධය වී ය. අනූ ලක‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්මවබෝධය වී ය. අසූ ලක‍ෂයක් දෙනෙකුන්ට තුන්වන ධර්මවබෝධය වී ය.

තිස්ස බුද්ධ වංශය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සිදුහත් බුදුරදුන් ට අනතුරු ව පසු කාලයෙ හි අසම වූ තමහට සමාන පුද්ගලයෙක් නැති අපමණ තෙද ඇත්තා වූ  බොහෝ පිරිවර ඇති ලෝනාහිමි තිස්ස නම් බුදුරජ ලොව පහළ විය.

අනුකම්පා ඇතිසේක්  මහා වීර්යය ඇති සේක්  පසැස් ඇති සේක් මොහඳුරු නසා දෙවියන් සහිත ලෝකයා හොබවා ලෝකයෙ හි උපන් සේක.

ඒ තිස්ස නම් බුදුරදුන් ගේ ද ඍධිය අසම ය. සීල හා සමාධිය ද අසමාන ය.   උන්වහන්සේ සියලු ධර්මයන් හි පරතෙරට පැමිණ දම්සක් පැවැත්වූ සේක.

සිද්ධත්ථ බුද්ධ වංශය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

ධම්මදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි සිද්ධත්ථ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහස ට නැගී හිරු යම් සේ ද,  එ සේ වී ය.

උන්වහන්සේ ද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතර කරවන සේක්  දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.

අසම තෙද ඇති ඒ සිද්ධත්ථ බුදුරදුන් ගේ ද ධර්මාභිසමය තුනක් වූ හ. කෝටි ලක්ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මවයබෝධය වී ය. නැවත ද භිමරථ නම් නුවර දහම් දෙසූ සේක් ද, එ කල් හි අනුකෙලක් සත්නට දෙවන ධර්මාවබෝධය විය. සිද්ධත්ථ බුදුරජතෙම වෙභාර නම් උතුම් නුවර දී දහම් දෙසූ සේක් ද, ඒ කාලයෙ හි අනූ කෝටියක් දෙනෙකුන් ට තුන්වන ධර්මාවබෝධය වී ය.

Saturday, May 26, 2012

ධම්මදස්සී බුද්ධ වංශය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

එ ම මණ්ඩ නම් කල්පයෙ හි මහා යසස් ඇති ධම්මදස්සී නම් බුදුරජ තෙම මොහඳුර නැතිකොට දෙවියන් සහිත ලෝකයෙ හි අතිශයින් බැබළී ය.

අපමණ තේජස් ඇති ඒ ධම්මදස්සී බුදුරදුන් ගේ දම්සක් පැවැත්මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනෙකුන් ට පළමු ධර්මභිසමය වී ය.

යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම සඤ්ජය නම් තාපසයා හික්මවූ සේක් ද,   අනූ කෝටියක් දෙනෙකුන් ට දෙවන ධර්මවයබෝධය වී ය.

අත්ථදස්සි බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

එ ම මණ්ඩ කල්පයෙ හි නරශ්‍රේෂ්ඨ වූ අත්ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්දකාරය නසා උතුම් සම්බෝධිය ට පැමිණියාහු ය. මහබඹහු විසින් අයදිනා ලද්දේ දම්සක් පැවැත්වූ හ. දසදහසක් සක්වල දෙවියන් සහිත ලෝකයා අමයෙන් සැතැප්වූ සේක.

ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද, ධර්මාවබෝධයන් තුනක් විය. කෙලලක්ෂයක් සත්නට පළමුවැනි ධර්මාවබෝධය වී ය.

පියදස්සී බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


සුජාත බුදුරදුන් ට පසු කාලයෙ හි,  ලෝනාහිමි වූ සතුරන් විසින් නො ළංවිය හැකි,  අසමසම වූ,  මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජතෙම වී ය.

අපමණ යසස් ඇති ඒ පියදස්සී බුදුරජතෙම හිරු මෙන් බබළයි.   සියලු මොහඳුර නසා,  දම්සක් පැවැත්වී ය. 
උතුම් තෙද ඇති ඒ පියදස්සී  බුදුරදුන් ගේ ද ධර්මභිසමය  තුනක් වූ හ.  පළමු වන ධර්මවබෝධය කෝටි ලකක්ෂයක් දෙනා ට වීය. සුදස්සන නම් දෙව්රජ මිසදිටුව කැමති වී ද, ශාස්තෘන් වහන්සේ ඔහු ගේ මිසදිටුව පහකරවමින් දම් දෙසූ සේක් ද, ඒ කාලයෙහි මහත් වූ,  අසම වූ මහාජනයා ගේ රැස්වීමක් වීය.

Friday, May 25, 2012

සුජාත බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

එ ම මණ්ඩ කල්පයෙ හි සිංහයෙකු ගේ හනුවකට බඳු හනුවක් ඇති දෙටු ගවයකු ගේ කඳ ට බඳු සම වට  කඳට ඇති  අපමණ තෙද ඇති සතුරන් විසින් ළංවිය නො හැකි සුජාත නම් බුදුවරයෙක් වී ය.

සඳ මෙන් නිමල් වූ හිරු මෙන් ප්‍රතාප ඇති බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මෙසේ බබළන සේක.

සම්බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධිය ට පැමිණ සුමංගල නුවර දී දම්සක් පැවැත් වී ය.

සුමේධ බුද්ධ වංශය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.


පියුමතුරා බුදුරදුන් ට පසු කාලයෙ හි සතුරෙකු ට නො ළං විය හැකි, උසස් තෙද ඇති,  සියලු ලෝකයා ට උතුම් වූ  සුමේධ

පහන් නුවන් ඇති  පිරිපුන් මුව ඇති  ගුණයෙන් මහත් වූ,  අවංක වූ,  බබළන සිරුරක් ඇති  සියලු සතුන් ට වැඩ සිදුකරන  බොහෝ දෙනා සසර බැඳුමෙන් මුදවාලූ සේක.

යම් කලක බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධියට පැමිණ,  සුදස්සන නුවරෙ හි දී දම්සක් පැවැත්වී ද උන්වහන්සේ ගේ ඒ දම්දෙසුමෙ හි දී ධර්මාවබෝධවීම් තුනක් වූ හ.

පදුමුත්තර බුද්ධ වංශය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. 

නාරද බුදුරජුන් ට පසු කාලයෙ හි බුදුබව ට පැමිණි දෙපා ඇති සතුන්ගෙන් උතුම් වූ නො කැළඹුනු සයුරකට බක්ඳු උපමා ඇති පදුමුත්තර පියුමතුරා ජිනරාජයන් වහන්සේ විය.

යම් කල්පයක එක සම්බුදුවරයන් වහන්සේ නමක් උපදී ද,  ඒ කල්පය ම මණ්ඩ කල්පය වෙයි.   කුසල් ඇති ජන සමූහයා ඒ කාලයෙ හි උපදී.

පදුමුත්තර භාග්‍යවත්හු ගේ පළමුවන දම් දෙසු මෙ හි දී කෝටි ලක‍ෂයක් දෙනා ට ධර්මවබෝධය වීය. ඉන්පසු ද දහම් වැසි වස්නා කල සත්ත‍වයන් තැවෙන කල් හි තිස්හත් ලක‍ෂයක් දෙනාට දෙවන ධර්මවබෝධය වීය.

නාරද බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

පදුම බුදුරජුන් ට පසුකාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අසම වූ  සමාන පුද්ගලයෙක් නැති නමින් "නාරද" නම් වූ සම්බුදු රජතෙම වී ය. ඒ නාරද බුදුරජතෙම සක්විති රජු ගේ ළයෙ හි වැඩුණු ආදරණීය දෙටුපුත් ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම් උයනට එළඹියේ ය.

ඒ උයනෙ හි ලෝකයෙ හි ප්‍රසිද්ධ ව දැකුම්කළු හොඳින් වැඩුණු මහත් පිවිතුරු රත්තොටිල ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේ ය. ඒ තොටිල ගස මුල දී වජ්‍රයකට බඳු තියුණු වූ පමණ කළ නො හැකි සර්වඥතාඥානය උපනි.  ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් සියලු සංස්කාරයන් විමසීම කළේ ය.

පදුම බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අනොමදස්සී බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සත්ත‍වයන් ට දෙව් මිනිසුන් ට උතුම් වූ ගුණයෙන් අසම වූ,  තමා ට සමාන පුද්ගලයෙක් නැති,  නමින් "පදුම" නම් සම්බුදුරජ තෙම විය. උන්වහන්සේ ගේ ද, ශීලය අසම ය. සමාධිය ත් කෙළවරක් නැත. උතුම් සර්වඥතාඥානය නොහොත් ෂඩ් අසාධාරණ ඥානය ද, අසංඛ්‍ය ය.  විමුක්තිය ද, උපමා රහිත ය. අසම තෙද ඇති,  ඒ පදුම බුදුරජහු ගේ දම්සක් පැවැත්මෙ හි මහත් මොහඳුර දුරු කරන ධර්මවබෝධ තුනක් වූ හ.

සම්බුදදුරජතෙම පළමුවන ධර්මවබෝධයෙ හි දී කෝටි සියයක් දෙනා ට සිවුසස් අවබෝධ කරවීය.

අනෝමදස්සී බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සොභිත බුදුරදුන් ට පසු කාලයෙ හි දෙපා ඇති සතුන් ට උතුම් වූ අපමණ පිරිවර ඇති  තේජස් ඇති  යටහත් කළ නො හැකි අනොමදස්සී නම් සම්බුදුරජතෙම විය. උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ  කාම, රූප, අරූප, යන තුන් භවයන් නසා  දෙවි මිනිසුන් ට පැවැත්ම ට විරුද්ධ වූ මග දෙසූ සේක.

උන්වහන්සේ සාගරය මෙන් නො කැළඹිය හැක්කේ ය.  අහස මෙන් කෙළවරක් නැත්තේ ය.  මහාමේරු පර්වතය මෙන් නො ළං විය හැක්කේ ය.

Monday, May 7, 2012

සෝභිත බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


රේවත බුදුරදුන් ට පසු කාලයෙ හි එකඟ වූ සන්සුන් සිත් ඇති  අසම වූ  තමාහට සමානයෙක් නැති සෝභිත නම් ලෝහිමි බුදුරජතෙම පහල විය.

ඒ ජිනරාජතෙම ස්වකීය භවනයෙ හි දී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබව ට පැමිණ දම්සක් පැවැත්වූ සේක. දම්සක් දෙසුමෙ හි දී උඩින් භවාග්‍රය තෙක් ද, යටින් අවීචිය තෙක් ද,  මේ අතර එක පිරිසක් විය. සම්බුදුවරතෙම ඒ පිරිසෙ හි දම්සක් පැවැත්විය. ගණන් නො කළ හැකි පිරිසක ට පළමුවන ධර්මාවබෝධය විය.

Saturday, May 5, 2012

රේවත බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සුමන බුදුරදුන් ට පසු කාලයෙ හි උපමා රහිත,  සමාන කෙනෙක් නැති,  අසම වූ, උතුම් වූ, පස් මරුන් දිනූ රේවත නම් බුදුවරතෙම වීය.

ඒ රේවත බුදුරජහු ද, බඹහු විසින් අයදනා ලද්දේ,  පඤ්චස්කන්ධයන්ගේ හා අටළොස් ධාතුන් ගේ විභාග කිරීම ඇති, භවාභවයන් ගේ මනා පැවැත්ම කරන ධර්මය ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ගේ දහම් දෙසුමෙ හි දී අභිසමය (ධර්මාවබෝධය) තුනක් වූ හ.   පළමු ධර්මාවබෝධය ගණනින් නො කිය හැකි ය. යම් කලෙක රේවත මුනිඳු තෙම "අරින්දව"  නම් රජු හික්මවී ද,  එ කල් හි කෝටි දහසක් දෙනා ට දෙවන ධර්මාභිසමය විය.

සුමන බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මංගල බුදුරදුන් ට පසු කාලයෙ හි සියලු ධර්මයෙන් අසම වූ,  සියලු සත්වයන් ට උතුම් වූ,  සුමන නම් ලෝකනායක තෙම විය. ඒ කාලයෙ හි ඒ සුමන බුදුරජහු ද මෙඛල නම් නුවර දී චතුරාර්ය සත්‍ය ධර්ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.

ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බොධිය ට බුදුබව ට පැමිණ නිවන් නමැති නුවරක් මැවී ය.   ඒ දහම් නමැති පුරයෙ හි උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී ය. ඒ වීථියෙ හි සෝවාන් ආදී සතර පැවිදි ඵලයන් ද,  සිව්පිළිසිඹියාවන් ද,  ෂඩ් අභිඥවෙන් ද, අට සමවත් ද පැතිර වීය.

Friday, May 4, 2012

මංගල බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

කොණ්ඩඤ්ඤ නම්  බුදුරදුන් ට පසු කාලයෙ හි මංගල නම් ලෝකනායකයන් වහන්සේ ලොකයෙ හි මෝහ නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක. සෙසු ජිනරාජයන් ට වඩා පැතිරුණා වූ ද, උන්වහන්සේ ගේ අසමාන වූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනා ගේ ආලෝකය යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.

ඒ බුදුරදහු ද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් (මෝහ නමැති) අඳුර නැති කරත්. අසම වූ බුදුබව ට පැමිණ පළමුවන දම්දෙසුමෙ හි දී (දෙවි මිනිසුන්) කෝටි සියක් දහසක ට පළමුවන වර ධර්මාවබෝධය විය.

Wednesday, May 2, 2012

කොණ්ඩඤ්ඤ බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

දිවකුරු බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති,  අපමණ පිරිස් ඇති,  පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. උන්වහන්සේ ඉවසීමෙන් පොළව ට බඳු උපමා ඇත්තේ ය.  සීලයෙන් සාගරය ට බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහස ට බඳු උපමා ඇත්තේ ය.

බුදුරදහු හැම කල් හි සියලු සතුන් ට හිත පිණිස ඉන්ද්‍රිය, බල, බොජඣංග,  මග්ග, සච්ච යන මොවුන් ප්‍රකාශවන දහම් දෙසති. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල් හි කෝටි ලක‍ෂයක්

Tuesday, May 1, 2012

දීපංකර බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සරණංකර බුදුරදුන් ට පසු කාලයෙ හි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නො හැකි ගුණ ඇති,  ළංවිය නො හැකි නම් වූ ලෝකනායක බුදුවරයෙක් විය. තථාගතයන් වහන්සේ කිසිවකු සරණාගමණයෙ හි ද,  කිසිවකු පන්සිල් හි ද,  අනිකකු දස සිල් හි ද, යෙද වී ය. ඒ දිවකුරු මුනික්ෂ  තෙම කිසිවකුහට ශ්‍රාමණ්‍යය යි කියන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙසයි. කිසිවෙකුහට අසම දහම් වූ සිවු පිළිසිඹියාවන් දෙසයි. නරදෙටුතෙම කිසිවකුහට උතුම් අට සමවත් දෙයි.   කිසිවකුහට ත්‍රි විද්‍යාවන් ද,  ෂඩ් අභිඥාවන් ද දෙයි. මහමුනිඳු තෙම ඒ ක්‍රමයෙන් ජන සමූහයා ට අවවාද කරයි. එහෙයින් ලෝක නායක දිවකුරු මුනිඳුන් ගේ සස්න පැතිර වීය.

ලොව්තුරු බුදුවරු

නමෝ තසස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.


තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේලා පිළිබඳ  ව මේ වෙසක් මාසය පුරාවට දිනකට එක් ලිපිය බැගින් ඉදිරිපත් කරන්නෙමි. අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි. 
Related Posts Plugin for WordPress, Blogger...