Monday, December 5, 2011

රාහු,කේතු,රවි,සඳු,කුජ~බුධ,ගුරු,කිවි සහ සෙනසුරු, බුදු දහම ට අදාළ ද? නැද්ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මේ වැනි ලිපියක් ඉදිරිපත් කරන්න ට මම කාලයක් බලාසිටිය ද, දැන් ඒ සඳහා නියම කාලය උදා වී ඇතැ යි සිතමි. පසුගිය කාලයේ ඇති වූ "සෙනසුරු මාරුව" බොහෝ මාධ්‍යයන් හි ඉතා ජනප්‍රිය මාතෘකාවක් වූ බව ට සැකයක් නැත.

අතීතයේ සිට ම මිනිසුන් ඉර,හඳ,තාරකාදිය පිළිබඳ විවිධාකාරයෙන් සෙවීම් සිදුකළේ ය. ඒ අනුව විවිධ මතයන් ගොඩනැගුනි. හිරු,සඳු ලෝකය පාලනය කරන බව සිතූ ඇතැම් අය සූර්යග්‍රහණයන්, චන්ද්‍රග්‍රහණයන් වැනි තරමක් විශේෂිත අවස්ථාවල දී ඊට යාගහෝම,බිලි පූජා ආදිය පැවැත්වූ බව ඔබ දන්නා කරුණකි. 



තරු දෙස බලා තාරකා යම් රටාවක ට පිහිටන බව සිතූ ඇතැම් අය ඒ සඳහා මිනිස්, සත්ව ආදී රූපවල ට ඒවා ආදේශ කර එ ම තරු රටාවල ට ඒ ඒ භාෂාවලින් ඊට නම්ගම් පවා ලබා දුනි. නමුත් තාරකා දෙකක් අතර දුර ආලෝක වර්ෂ ගණනක් බව දැන් විද්‍යාවෙන් පවා තහවුරු කරගෙන ඇත.  ඇතැම් තාරකාවලින් වර්තමානයේ පෘථිවිය කරා එන ආලෝක ධාරාව මීට වසර ගණනාවක ට පෙර නිකුත් වූ ආලෝකයන් ය. ඒ නිසා ඇතැම් විට වර්තමානයේ එ ම තාරකාවන්ගෙන් සමහර ඒවා ආලෝකය විමෝචනය නො කරන කළු කුහර තත්වය ට වුව ද, පත්වීම ට හැකියාව පවතී. ඉහතින් දක්වා ඇත්තේ තාරකාවක් ඇති වීමේ සිට විනාශ වීම දක්වා සිදුවන දීර්ඝ ක්‍රියාවලියේ සංක්ෂිප්තය යි. 

හේතුඵල වාදය ට අනුව බුදුරදුන් මෙය දේශනා කළේ මීට වසර දෙදහස් ගණනක ට පෙර දී ය. විශ්වයේ ඇති ඕනෑ ම ස්කන්ධයක් සහිත අංශුවක ට ආකර්ෂන  බලයක් ඇතිබව විද්‍යාවෙන් මෑතක දී සොයාගෙන ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ කරුණු තවදුර ට ත්, වැටහෙනු ඇත. මේ කියා සිටියේ අතිරේක කරුණකි.
ග්‍රහ තාරකාවන් ආදිය ආශ්‍රිත ව ගොඩනැගුණු තව ත්, එක්තරා විෂයකි ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය. නමුත් මෙ ම ලිපියෙන් පැවසෙන්නේ එ ම ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හෝ තාරකා රටාවන් පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ව නො වේ.  එ ම ශාස්ත්‍රයන් පිළිබඳ ව බෞද්ධ විවරණය පිළිබඳ ව ය.

දැන් මාතෘකාව ට එළඹෙමු. "ස්වාමීනි, ඒ ඒ අය ගේ ජීවත් වීම ට හේතු වූ බොහෝ ශිල්පයන් වෙයි. ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේ ම තමා විසින් දැකිය හැකි ශිල්ප ඵලයන් නිසා ජීවත් වෙති. ස්වාමීනි, එ මෙන් ම මේ භවයේ දී දැකිය හැකි විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්න ට ඔබ වහන්සේ ට හැකි ද?" ය යි අජාසත් රජු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ ප්‍රකාශ කළ කල් හි බුදුරදුන් මෙ සේ වදාළන ලදී. (කොටස් කිහිපයක් පමණි)

සමහර මහණ බමුණෝ යාගහෝම ආදී හේතුවෙන් සමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, ළාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුනේ නම් මෙය ද, ඔහු ගේ එක් ශීලයකි. 


සමහර මහණ බමුණෝ මෙන් ලක්ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුනේ නම් මෙය ද, ඔහු ගේ එක් ශීලයකි.

සමහර මහණ බමුණෝ මෙන් චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ, යනාදියේ විපාක කීමේ පහත් විද්‍යාවන් හේතුකොට ළාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුනේ නම් මෙය ද, ඔහු ගේ එක් ශීලයකි.

සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේ ය, මනා වැසි නැති වන්නේ ය, ආදී ලෝකය ට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙනීම ය, යි කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුනේ නම් මෙය ද, ඔහු ගේ එක් ශීලයකි.

සමහර මහණ බමුණෝ ශාන්තිකර්ම කිරීම, මන්ත්‍ර කිරීම, භුරි කර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීම, පුරුෂයා පණ්ඩකයකු කිරීම, ආදී කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුනේ නම් මෙය ද, ඔහු ගේ එක් ශීලයකි.

ඉහත සඳහන් කළේ දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ කොටසකි. 


බෞද්ධ ය, යි කියන ඇතැම් උදවිය පමණක් නො ව ඇතැම් භික්ෂූන් වහන්සේලා ය, යි කියාගන්නා චීවරධාරීන් ද, මේ අනුව වත්මන් සමයේ බුද්ධ වචනය පසෙකින් තබා ඉහතින් සඳහන් කළ ක්‍රියාවන් හි යෙදෙන බව අවිවාදයෙන් යුතු ව පිළිගත යුතු ය. එ තැනින් නො නැවතී මෙ වැනි දේ බුදු දහම ට ද" එක් කිරීම දක්නට ලැබෙණ අනෙක් කරුණ ය.


මෙය භික්ෂූන් වහන්සේලා උදෙසා බුදුරදුන් දේශනා කළ ද, ගිහියන් ට ද, අදාළත්වයක් ඇති බව ඔබ ට වැටහිය යුතු ය. බුදුරදුන් මෙ සේ දේශනා කළේ කුමක් නිසා දැ යි සිතන අයකු ට වැටහිය යුතු කරුණ වන්නේ නිර්වාණගාමී මාර්ගයේ ගමන් කිරීම ට මෙ ම කරුණු වැදගත් නො වන බව ත්, නිවන සඳහා එය බාධාවක් වන බව ත්, ය. මෙ ම ශාස්ත්‍රයන් හි, විද්‍යාවන් හි සත්‍යතාවයක් තිබිය හැකි නමුත් ඒ සියල්ල බුදු දහම ට අයත් නො වන ඉතා පහත් විද්‍යාවන් ලෙස බුදුරදුන් දේශනා කළේ මේ නිසා බව වටහා ගත යුතු ය.


සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් සියල්ල ම සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්ම ට එක සේ බලපානු ලබයි. මෙයින් එක් ග්‍රහලොවක් හෝ නොමැති වුවහොත් ගුරුත්ව බලපෑම් වෙනස් වී පෘථිවිය විනාශ වීම ට වුව ද, ඉඩ ඇත. නමුත් එක් එක් පුද්ගලයා ගේ ක්‍රියාකලාපයන්,  සිතුම් පැතුම් හෝ කර්මයන් ගේ විපාක දීම් ආදිය ග්‍රහ තාරකාවන් මත රඳන බව කිවහොත් එය නිවැරදි නො වන බව මා ගේ අදහස යි. තමන් කළ කර්මවල වගකීම කිලෝමීටර ලක්ෂ ගණන් දුර සිටින ග්‍රහ වස්තු මත පැටවීම නො මනා ක්‍රියාවක් බව වැටහෙනු ඇත.

සියලු සතුන් ට විඳින්න ට සිදුවන සැප දුක් පිළිබඳ ව මා පෙර ලිපි දෙකකින් ම කරුණු ඉදිරිපත් කරන්න ට යෙදුණි. ග්‍රහයින් කර්මය සඳහා බලපාන්නේ ය යි සිතන්නේ නම් එ ම ලිපි දෙක ත්, කියවා මෙය කියවන්න. [කියවන්න]


තොදෙය්‍ය බ්‍රාහ්මණයා ගේ පුත්‍රයා වූ සුභ මානවකයන් බුදුරදුන්ගෙන් මෙ සේ විමසන ලදී.
"භවත් ගෞතමයනි, යම් හෙයකින් මිනිස් ව උපන් මනුෂ්‍යයන් ගේ ම උස් පහත් බවක් දක්න ට ලැබේ. ඊට හේතු කවරේ ද? භවත් ගෞතමයනි, ස්වල්පායුෂ ඇති මිනිසුන් දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇති මිනිසුන් දක්නා ලැබෙත්. රෝගාබාධ සහිත මිනිසුන් දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ සහිත මිනිසුන් දක්නා ලැබෙත්. අවලක්ෂණ මිනිසුන් දක්නා ලැබෙත්. ලක්ෂණ මිනිසුන් දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තා වූ මනුෂ්‍යයන් දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තා වූ මනුෂ්‍යයන් දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයන් දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයන් දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයන් දක්නා ලැබෙත්. නුවණ ඇති මනුෂ්‍යයන් දක්නා ලැබෙත්. භවත් ගෞතමයනි, යම් හෙයකින් මිනිස් ව උපන් මනුෂ්‍යයන් ගේ ම උස් පහත් බවක් දක්න ට ලැබේ. ඊට හේතු කවරේ ද?" යි විමසූ කල බුදුරදුන් මෙ සේ දේශනා කරන ලදී. 


මානවකය,  සත්වයෝ කර්මය ම තමන් අයත් දෙය කොට ඇත්තා හ. කර්මය ම දායාද කොට ඇත්තා හ. කර්මය ම නෑයන් කොට ඇත්තා හ. කර්මය උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේ ය.

මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍ර වූ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙ හි, වැනසීමෙ හි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බව ට පැමිණියේ, සතුන් මරන්නේ වේ ද, හෙතෙම සම්පූර්ණ කළා වූ මෙ සේ සමාදන් වූ, ඒ මෙ ම කර්මය හේතුකොට ගෙන ශරීරයා ගේ මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථානයක නො කැමැත්තෙන් වැටෙනා නිරයෙ හි උපදියි.

මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍ර වූ ලේ තැවරුණු අත් ඇත්තේ නැසීමෙ හි, වැනසීමෙ හි යෙදුනේ, සියලු ප්‍රාණීන් කෙරෙහි කරුණා නැති බව ට පැමිණියේ, සතුන් මරන්නේ වේ ද, මේ පැවැත්ම ස්වල්පායුෂ පිණිස හේතු වෙයි.

මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැළකී, බහා තබන ආයුධ දඬු මුගුරු ඇත්තේ, ලැජ්ජා ඇත්තේ,  කරුණාව ට පැමිණියේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරන්නේ, මේ පැවැත්ම  හේතුකොට ගෙන ශරීරයා ගේ බිඳීමෙන් මතු යහපත් සැපයෙන් යුක්ත වූ දිව්‍ය ලෝකයෙ හි ඉපදීම පිණිස හේතු වෙයි.

ඉඳින් මිනිසත් බව ට පැමිණේ ද, යම් යම් තැනක ට පසු ව උපදී ද, දීර්ඝායු ඇත්තෙක් වෙයි. මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වැළකී, බහා තබන ආයුධ දඬු මුගුරු ඇත්තේ, ලැජ්ජා ඇත්තේ,  කරුණාව ට පැමිණියේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරන්නේ, මේ පැවැත්ම  හේතුකොට ගෙන දීර්ඝායු පිණිස හේතු වෙයි.



මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතින්,කැටයකින්,දණ්ඩකින් හෝ ආයුධයකින් හෝ පහර දෙන්නේ, හිංසා කරන ස්වභාව ඇත්තේ හෙතෙම සම්පූර්ණ කළා වූ මෙ සේ සමාදන් වූ, ඒ මෙ ම කර්මය හේතුකොට ගෙන ශරීරයා ගේ මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථානයක නො කැමැත්තෙන් වැටෙනා නිරයෙ හි උපදියි. නිරයෙ හි නූපදී නම් ඉඳින් මිනිසත් බව ට පැමිණේ නම් බොහෝ රෝග ඇත්තේ වෙයි. අතින්,කැටයකින්,දණ්ඩකින් හෝ ආයුධයකින් හෝ පහර දෙන්නේ, හිංසා කරන ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග ඇත්තේ වෙයි.

මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේශය බහුල කොට ඇත්තේ කිපෙන සුළු බව වේ ද, සුළු දෙයක් කියන ලදුව ගැටේ ද, කිපේ ද, විරුද්ධ වේ ද, කෝපය ත්, ද්වේශය ත්, නො සතුටු බව ත්, පහල කෙරේ ද, හෙතෙම සම්පූර්ණ කළා වූ මෙ සේ සමාදන් වූ, ඒ මෙ ම කර්මය හේතුකොට ගෙන ශරීරයා ගේ මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථානයක නො කැමැත්තෙන් වැටෙනා නිරයෙ හි උපදියි.  නිරයෙ හි නූපදී නම් ඉඳින් මිනිසත් බව ට පැමිණේ නම් අවලක්ෂණ වූවෙක් වෙයි.

මානවකය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මෝහ සහගත සිත් ඇත්තේ වේ ද, අනුන් ගේ ලැබීම්, සත්කාර, ගරුබුහුමන්, වැඳීම්, පිදීම් ය යන මේවා කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නේ ද, ඊර්ෂ්‍යාවෙන් කිපෙන්නේ ද, හෙතෙම සම්පූර්ණ කළා වූ මෙ සේ සමාදන් වූ, ඒ මෙ ම කර්මය හේතුකොට ගෙන ශරීරයා ගේ මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ස්ථානයක නො කැමැත්තෙන් වැටෙනා නිරයෙ හි උපදියි. නිරයෙ හි නූපදී නම් ඉඳින් මිනිසත් බව ට පැමිණේ නම් අල්පේශාක්‍ය ඇත්තෙක් වෙයි.

මානවකය සත්වයෝ කර්මය ම තමන් අයත් දෙය කොට ඇත්තා හ. කර්මය ම දායාද කොට ඇත්තා හ. කර්මය ම නෑයන් කොට ඇත්තා හ. කර්මය උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේ ය" යි දේශනා කරන ලදී.



මෙය මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ කොටසකි. බොහෝ විට විඳින්න ට සිදුවන විපාකයන් තමන් ගේ ම ක්‍රියාවන් හි ප්‍රතිවිපාකයන් බව ඔබ ට දැන් අවබෝධ වනු ඇත. කෙ සේ නමුත් රාහු, කේතු ආදීන් ගේ ගමන් මාර්ගයන් ට ඔබ ලද මේ වටිනා මිනිස් ජීවිතය භාර කරන්නේ ද, නැතිනම් ලද දුර්ලබ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන සසර ගමන මොහොතකින් හෝ අඩු කරගන්නේ දැ යි තීරණය ඔබ ට භාර ය.

සියලු දෙනා සරු නිසරු දෙය වෙන් ව දැකීම තුළින් නිවන ම වේ වා!
තෙරුවන් සරණ යි!

4 comments:

  1. වටිනා ලිපියක්. හැම බෞද්ධයෙක් ම කියවිය යුතු වටිනා කරුණු රැසක් තියෙනවා. දිගට ම ලියන්න.
    ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete
  2. thlina putha melipi liya thawath ayata kiyawimata ida salaswana me pin balen oba prarthena kerannau yam bodhiyak veda ema bodhiyen amamaha nirwana labagenimata hethu wewaa...!!!!!!!!!!!!!1
    millagahawatta anty.

    ReplyDelete
  3. ඔබට බොහෝම පින්. මම අද ඔබ නිස ලොකු දෙයක් දැන ගත්තා... මගේ හිතට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක් විසදුනා. මම නැවත වරක් ඔයාට පින් දෙනවා. මේ දේ අපි අනිත් අයටත් කියලා දෙමු. මිනිස්සුන්ගෙ ඇස් පාදමු. මේ දේ ඉදිරියට කරගෙන යාමට ඔබට තුනුරුවනේ අශිර්වදය ලැබේව!!!

    ReplyDelete
  4. Mema karunu ape minisun kyava vatahagen Budu Dahamata Anuwa sasara gamana adu kara ganna pindaham karana wanam itha hondai. Evagema Obathuma visin mema daham gatalu pilibanda vistara mese sadahan kara idiripath kereem gana Obata bohoma pin. Kelakoti varsha ganak Jeevath venna mama prarthana karami. Theruwan Saranai.

    Nandasiri Dayarathna Perera,
    Doha,Qatar,
    00974 55339105

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...