Thursday, December 22, 2011

මට ආදරෙයි නම්.....(02 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

"මට ආදරෙයි නම්......" 01 කොටස ඔබ කියවන්න ට ඇති සිතමි. එය කියවූ පසු ව බොහෝ දෙනෙක් "මට" ආදරය නො කරන්න තීරණය කරන්න ට ඇත. නමුත් සමහර දෙනා මට තවම ත්, ආදරේ බව මම දනිමි. මට ආදරේ වුණ ත්, මට ආදරේ නැත ත්, මෙ ම ලිපියත් කියවා තවදුර ට ත්, කරුණු තේරුම ගන්න ට කියා මා ආරාධනා කර සිටිනවා.  ඒ නිසා ම පසුගිය ලිපිය අවසාන කරන්න ට යෙදුනු තැනින් ම මේ ලිපිය අරඹන්න ට මා සිත විය. මෙ ම ලිපියේ දී බොහෝදුර ට සාකච්ජා කෙරෙන්නේ
සිරුරේ ඇතුලත පිහිටි කොටස්වල තිබෙන පිළිකුල් බව පිළිබඳ ව ය. මෙය මී පැණි මෙන් රසවත් ලිපියක් නම් නො වේ. ඒ නිසා ම මෙ හි දක්වන්න ට යෙදෙන රුපසටහන් පෙර ලිපියේ දී දැක්වූ සුන්දර ඒවා ට වඩා බොහෝදුර ට වෙනස්, පිළිකුල් සහගත ඒවා ය. අප ගේ ශරීරය ත්, මෙ සේ ම පිළිකුල් ය, යි සිතාගෙන අවබෝධයෙන් යුතු ව ලිපිය කියවිය යුතු බව සිහිපත් කළ යුතු ම වේ.

නහර
අපේ ශරීරයේ රුධිරය ගමන් කරන්නේ  ධමනි, ශිරා, ආදී නහර නමැති නාල පද්ධතියක් තුළිනි. නහර සාමාන්‍යයෙන් සුදු පැහැයෙන් යුතු ය. මුළු ශරීරයෙහි ම ඇටසැකිල්ල වෙළා ගෙන ඇට සම්බන්ධ කරමින් නහර පිහිටා ඇත. සම ත්, අස්ථි ත්, අතර දැලක් ආකාරය ට නහර පිහිටා තිබේ. ඇතැම් විටක මෙ ම නහරවල ඇතුළත බිත්තියේ කොලෙස්ටරෝල් වැනි ද්‍රව්‍ය තැන්පත් වී අවහිර වීම සිදු වේ. මේ නිසා නහර තුළ පීඩනය වැඩි වී ඒවා පුපුරා යයි. තවත් විටෙක සිරුර තුළ ගැටගැසීම සිදු වේ. වයස ට යන විට සමහර නහර සිහින් වීම ද සිදු වේ. මගේ සිරුර පුරා ආහාර ද්‍රව්‍ය, අපද්‍රව්‍ය, ආදී විවිධ ද්‍රව්‍ය එහා මෙහා ගෙනයන්නේ "මගේ නහරවලින්" බව සිතිය යුතු ය. මෙ ම රූපයේ මෙන් ම මගේ ඇඟ පුරා ම මේ පිළිකුල් සහගත නහරවලින් පිරී ඇති බව සිතිය යුතු ය. 

ඇට
අපේ  සිරුරේ ඇට තුන්සියයක් පමණ ඇත. මීට අමතර ව දත් තිස්දෙකක් ඇත. පිළිකුල් සුදු පැහැයෙන් යුතු ය. මුළුමහත් ශරීරයෙහි ම පිහිටා ඇත. මේවා සෑදී ඇත්තේ ද, සෛලවලින් නිසා යම කාලයක දී දිරාපත් වේ. ශක්තිය අඩු වේ. වයසට ගිය පුද්ගලයන් ගේ කොන්ද කුදු වී ඇති බව ඔබ දැක ඇත. ඇතුළතින් ඇටමිඳුලූවලින් ද, උඩින් මස්වලින් ද, අගින් හා මුලින් ඇටවලින් ම ද, පිරිසිඳී ඇත. ඇට බොහෝ විට මස්වලින් වට වී තිබෙන නිසා ම එ හි පිළිකුල් බව තව තව ත්, වැඩි වී ඇත. "මගේ සිරුරේ ඇති ඇටකැබලි" ද, මෙ ලෙසින් පිළිකුල් සහගත, ජරා ජීර්ණ වනසුලු බව සිහිතබා ගත යුතු ය.
ඇටමිඳුලු
ඇට අභ්‍යන්තරයෙ හි පිහිටි ඇටමිඳුලු වර්ණයෙන් සාමාන්‍යයෙන් සුදු පැහැති ය. මේවා තුළ රුධිර සෛල නිපදවන අතර ඒ නිසා ම මෙය බොහෝ සෙයින් පිළිකුල් ය. මෙ ම රුපය දෙස බැලීමෙන් එ හි පිළිකුල් බව මනා ව විද්‍යමාන වනු ඇත. "මගේ ඇට මිදුළු" ද, මෙ සේ ම බව අවබෝධ කරගත යුතු ය.


වකුගඩු 
වකුගඩු යුගල මඳ රතුපැහැයෙන් යුතු ය. බෝංචි බීජ හැඩති ය. මෙ මගින් සිරුරේ ඇති අපද්‍රව්‍ය පෙරා වෙන් කර මුත්‍රා නිපදවයි. වකුගඩු තුළ රුධිර නාල හා මුත්‍ර වාහිනී පිහිටන අතර නිරන්තරයෙන් ම මුත්‍රා නිපදවන නිසා ඉතා අපිරිසිඳු ය. "මගේ වකුගඩු" ත්, මෙ වැනි ම වන බව දත යුතු ය.  

හදවත
තව ත්, පිළිකුල් සහගත අවයවයකි. මෙය  රතු පැහැති ය. උරකුහරය මධ්‍යයෙ හි පිහිටා ඇත. මෙය හෘත් පේෂිවලින් සෑදී තිබේ. රුධිරයෙන් සැම විට ම හෘදය පිරි ඇත. අප ජීවත් ව සිටින තුරාවට මෙය ක්‍රියාකාරිත්වයේ පවතී. "මගේ හදවත" මෙ සේ ඉතා පිළිකුල් බව සිහිපත් කල යුතු ය.

අක්මාව
අක්මාව තද රතු දුඹුරු පහැති ය. විශාල අවයවයකි. මෙය තුළ ද, රුධිර නාල, පිත්ත ප්‍රණාල හා වසා කේශනාලිකා පවතී. අක්මාව තුළ පෝෂක ද්‍රව්‍ය ගබඩා කරන අතර රුධිර සෛල බිඳවැටී විනාශ වීම ද සිදු කරයි. මෙ හි ක්‍රියාකාරිත්වය කොතරම් ද, යත් මෙ හි නිපදවන තාපය නිසා මුළු සිරුරේ ම උෂ්ණත්වය වැඩි වීම සිදු වේ. මීට අමතර ව අක්මාවෙන් යුරියා යුරික් අම්ල ආදී බොහෝ අපද්‍රව්‍ය සාදයි. මේ නිසා අක්මාව තව තව ත්, පිළිකුල් වේ. "මගේ අක්මාව" ත්, මෙ සේ පිළිකුල් ම ය. 

දලබුව
ප්ලුරාව (pleura) නමින් හැඳින්වෙන දලබුව අප ගේ පපුව ප්‍රදේශයේ පිහිටයි. සම ත්, පෙනහැලි ත්, අතර පෙනහැලි වටා වටකරමින් මෙය පිහිටයි. මෙය පටලයක් වැනි ය. දලබුව වර්ණයෙන් සුදු පැහැති ය. අපේ දේහය ට වාතය ඇතුළු වන විට මෙ ම පටලය ඇදේ. මේදමය කොටස්වලින් සෑදී ඇති මෙය අතිශයින් ම පිළිකුල් සහගත් ය. පෙනහැලි වටකර ඇති "මගේ ප්ලුරාව" ත්, මෙ සේ පිළිකුල් සහගත බව අවබෝධ කරගත යුතු ය.




ප්ලීහාව
බඩදිව, ඇලදිව නමින් ද, මෙය හැඳින් වේ. තද රතු පැහැයෙන් යුක්ත ය. දිවක් වැනි මසින් යුතු කොටස නිසා මෙය ට ඉහත නම් ද, භාවිතා කරයි. මගේ ඇඟේ ඇති "මගේ ප්ලිහාව" ද, මෙ සේ ම පිළිකුල් ය. 

පෙණහැලි
හදවත ට ත්, අක්මාව ට ත්, ඉහළින් සහ ඉදිරියෙන් පෙණහැලි දෙකක් පිහිටයි. රතු පැහැයෙන් යුක්ත වන අතර රුධිර නාල සෑම තැනක ම පිහිටා ඇත.  සිරුර තුළ ට වාතය ඇතුළු වන විට මෙය ඇදී වාතයෙන් පිරෙයි. මෙය සම්පූර්ණයෙන් ම දිගහැරියහොත් මීටර ගණනක දිගින් හා පළලින් යුතු වේ. රුධිරයෙන් නිතර ම මේ හරහා ගමන් කරන නිසා පිළිකුල් බැවින් යුතු වේ. ජීවිත කාලය තුළ ම නො කඩවා ක්‍රියාත්මක වන "මගේ පෙනහැලි" ද, මේ සේ පිළිකුල් බව සිහි කළ යුතු ය. 


මෙ ම ලිපිය තුළින් සහ මීට පෙර ලිපියෙන් අප සලකා බැලුවේ අපේ සිරුර, එ නම් "මම" කියලා සිතාගෙන සිටින මේ දෙතිස් කුණපයන්ගෙන් යුතු සිරුරේ කොටස් පහලවක් පිළිබඳ ව පමණි. දැන් තවදුර ට ත්, මේ මගේ සිරුර බොහොම ලස්සනයි, පිරිසිඳු යි, කියලා සිතන්න ට ඔබ ට හැකි ද? හිත ට එකඟ ව පිළිතුරක් දුනහොත් තමන් ට තමන් ගැන ම මහත් වු පිළිකුල් බවක් සිතෙනු ඇත. පිළිකුල් සහගත සිරුර පයින් හෝ ස්පර්ෂ කිරීම ට මම නො කැමති බව බුදුරදුන් මාගන්ධියා ට දේශනා කළේ මෙ ම පිළිකුල් සහගත සිරුර ට ඇලී සිටීමෙන් කිසිඳු ඵලයක් නැති බව අවබෝධ කරවීම ට ය. සිරුරේ නිස්සාරත්වය නම් මෙය යි. ඉතිරි කුණප කොටස් පිළිබඳ ව ඉදිරි ලිපිවලින් සාකච්ජා කිරීම ට මා බලාපොරොත්තු වේ.
තෙරුවන් සරණ යි!

4 comments:

  1. මේ අපි දුවන රේස් එකෙන් ටිකකට නැවතිලා හිතන්න ඉඩ සලස්වල බොහෝ පින්

    ReplyDelete
  2. ithiri tikath ikmanin palakarana thuru api balasitimu

    ReplyDelete
  3. godaaak pin me karapu upakarayata ,,mama godaaak kal me wage photos nathuwa bhawanawa karaganan amaruwen hitiye :D

    ReplyDelete
  4. බොහොම පිං නිති පිං වැඩෙන්නේ මෙවැනි ක්‍රියාවක් තුලිනි 🙏 නිරන්තරයෙන් ලියන්න තෙරුවන් සරණයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...