Wednesday, February 1, 2012

ඵෙණුපමං කායමිමං විඳිත්වා.

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙ ම ලිපිය සඳහා මූලික කරගත් කරුණ වන්නේ රූපයේ තිබෙණ නිස්සාරවත් බව පිළිබඳ ව යි. "මට ආදරෙයි නම්..." ලිපි පෙළ තුළින් හා "කර්මය කරුමය ම නො වේ" ලිපිය තුළින් මේ පිළිබඳ කරුණු ද, සාකච්ඡා කළ නමුත් මේ පිළිබඳ තවදුර ට ත්, ගැඹුරින් සලකා ලිපියක් සකස් කිරීම ට කරුණු එක්රැස් ව තිබූ නිසා මෙ ම ලිපිය සකස් කරන්න ට යෙදුනි.

බුදු දහමේ පටිච්ච සමුප්පාද ධර්මය ට අනුව හේතු ඇති ව උපදින සියල්ල හේතු නිරුද්ධ වීම ත්, සමග ම විනාශ වී යන බව අප සියලු දෙනා හොඳින් ම දන්නා කරුණකි. එ සේ හේතුන්ගේ සමවායෙන්, එක්වීමෙන් හටගැනෙන සියලු දේ සංඛත ධර්ම ලෙස ත්, හේතුන්ගෙන් තොර ව ඇති වන සියලු දේ අසංඛත ධර්ම ලෙස ත්, අභිධර්මයේ බෙදා දැක් වේ. අසංඛත ධර්ම සඳහා නිවන නිදසුනකි. මෙ හි දී අප සාකච්ඡා කරන්නේ අසංඛත ධර්මයන් නො ව හේතු නිසා ඇති වූ සංඛත ධර්මයන් පිළිබඳ ව ය.

ඇරඹුමක් ලෙස පළමු ව රූපයේ ඇති වීම සාකච්ජා කර අනතුරු ව එ හි විනාශ වීම පිළිබඳ සාකච්ජා කරමු. මෙය ජීව විද්‍යාත්මක කරුණක් වුව ද, සැම ට තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කර ඇත.
මව ගේ කුස ට ඇතුළු වෙමු.
සංසේචනය
යම් දිනෙක පියා ගේ ශුක්‍රාණුවක් මව ගේ යෝනි මාර්ගය හරහා පිහිනා ගොස් පැලෝපීය නාලයේ ඉහළ කොටසේ දී මව ගේ ඩිම්බයේ පටලයන් බිඳ ගෙන ඩිම්බ න්‍යෂ්ටිය සමග ශුක්‍රාණුවේ න්‍යෂ්ටිය එක් වීමෙන් අප මෙ ලොව ට බිහි වීම ආරම්භ වන්න ට ඇත. මෙ සේ ඇතිවන රූපීය කොටස විද්‍යාවෙන් පැහැදිලි කරගත හැකි වුව ද, එ ම රූපීය කාය කොටස සමග විඤ්ඤාණය එක් වීම විද්‍යාවෙන් පැහැදිලි කළ නො හැකි ය. නමුත් රූපකාය ඇති වීම ත් සමග ම විඤ්ඤාණය මවු කුස ට ඇතුළු වන බව ත්, සත්වයා ගේ උපත සඳහා මෙ සේ විඤ්ඤාණය හා රූප කොටස් අනිවාර්යයෙන් ම එක්විය යුතු බව ත්, බුදු දහමේ දැක්වේ. ඒ අනුව ඩිම්බය හා ශුක්‍රාණුව යන සෛල දෙක එක් වීම ත්, විඤ්ඤාණය ඒ තුළ ට ඇතුළු වීම ත්, නිසා අප මෙ සේ අද සිටිනා තත්වය ට පදනම වැටෙන්න ට ඇත. සැබවින් ම මෙ හි දී සිදු වන්නේ පිය පාර්ශවයේ හා මවු පාර්ශවයේ ලක්ෂණ ගෙන යන ජාන සහිත වර්ණදේහ එකිනෙක මිශ්‍ර වී අලුත් කයක් ඇති වීම සඳහා අවශ්‍ය දත්තයන්, තොරතුරු ලබා දීම යි.

මොරුලාව
ඒ අයුරින් එක් වූ ශුක්‍රාණුව සහ ඩිම්බය එ තැන් පටන් ඉතා වේගයෙන් සෛලවල ට බෙදෙමින් පැලෝපීය නාලයේ පහළ ට ගමන් කරයි. මෙ සේ බෙදී කුඩා සෛල ගොනුවක් හෙවත් මොරුලාවක් සාදයි. එය තවදුර ට ත්, බෙදී තරලයකින් පිරි කුහරමය සෛල ගෝලයක් සාදයි (බ්ලාස්ට කොෂ්ඨය). මෙ සේ සෛල බෙදෙමින් සංසේචනයෙන් දින හත ත් දාහතර ත්, අතර පමණ ගත වූ විට මව ගේ ගර්භාෂයේ අධිරෝපණය වීම සිදු වේ. මව සමග සම්බන්ධ වීම සිදු වේ. ඒත් සමග ම සියලු ම පෝෂකයන්, වාතය පවා මව ගෙන් ලබා ගෙන වැඩීම තවදුර ට ත්, සිදු කරයි.
අපි දැන් මවු කුස තුළ ට යන්න යි සුදානම.

 

මාස තුනක දී....
ඉතා වේගයෙන් සෛලවල ට බෙදෙමින් පැවති කළලය මෙතැන් පටන් අපි භ්‍රෑණය නමින් හඳුන්වමු. සංසේචනයෙන් තුන්වන මාසය අවසානයේ දී භ්‍රෑණය (කුස තුළ වැඩෙන දරුවා) 7.5cm පමණ දිගින් හා 25-30g බරින් යුක්ත ය.  ඇස් හා නාසය පූර්ණ වශයෙන් වර්ධනය වී ඇත. නමුත් තවම ඇසිපිය හා වී ඇත. බාහිර කන්පෙති පිහිටයි. සාපේක්ෂ ව හිස විශාල වේ.

 

 
මාස හයක දී....
හයවන මාසය අවසානයේ දී භ්‍රෑණය 25-35cm පමණ දිගින් හා 550-700g බරින් යුක්ත ය. ඇසිපිය වෙන් ව ඇත. සම රැලි ගැසී ඇත. තවම ත්, හිස දේහය ට සාපේක්ෂ ව විශාල ව ඇත. මුහුණේ මානව ලක්ෂණ මතු වී ඇත. හිසකෙස් වැඩී ඇත. බොහෝ අස්ථි නිර්මාණය වී ඇත. දේහය සියුම් රෝමවලින් ආවරණය වී ඇත.

 

 
මාස නවයක දී....
ඉපදීම ට ආසන්නතම කාලය යි. නවවන මාසය අවසානයේ දී භ්‍රෑණය 50cm පමණ දිගින් හා 3kg පමණ බරින් යුක්ත වේ. හිසේ විශාල බව අඩු වී ඇත. සියලු ම අවයව පද්ධති හොඳින් විකසනය වී ඇත. දේහය වටා තිබූ සියුම් රෝම හැලී ඇත.

 

උපතේ සිට ළමා කාලය දක්වා...
මෙතෙක් අප කතා කළේ අප ට කිසිවක් මතක නැති අවධි කිහිපයක් පිළිබඳ ව යි. දැන් අපි ගමන් කරන්න ට සූදානම් වන්නේ අප ට යාන්තමින් හෝ මතකයක් ගොඩනැගෙන කාලයක ට යි. කිනම් හෝ දවසක අප සියලු දෙනා ඉපදීමේ දුක විඳින්න ට ඇත. එ දා පටන් ආහාරයෙන් පෝෂණය වෙමින් ක්‍රමක්‍රමයෙන් කායික, මානසික දියුණුවක් ලැබූ අප ඔබ සියලු දෙනා විටින් විට රෝගාබාධයන් ට ද, ගොදුරු විය. එ විට ඇතිවන පීඩාකාරී බව, දුක්විඳි ආකාරය, දෙමව්පියන් මුහුණ දෙන අසහනකාරී බව පිළිබඳ ඔබ ට ත්, මට ත්, අත්දැකීම් ඇතුවාට සැකයක් නැත.  කාලය ත් සමග ම සිරුරේ ප්‍රමාණය, හැඩය, රූපය වෙනස් වන්නට විය.

තරුණ කාලයේ දී....
හොඳ නරක තේරුම් ගන්න ට හැකි මනසක් සහ කායික ශක්තියෙන් පිරිපුන් සිරුරක් තරුණ වියේ දී ඔබ ට ත්, මට ත්, ලැබී ඇත. ළමා වියේ තිබූ ශරීරයේ හැඩය, ප්‍රමාණය වෙනස් වී තරුණ විය ට එළඹෙන විට බොහෝ දෙනා ශරීරයේ ලස්සන ගැන සිතන්න ට පටන්ගනී. ලස්සන වැඩිදියුණු කරගන්න ට උත්සාහ කරයි. අනිත් අය සමග සංසන්දනය කර තමන් ලස්සන ම කෙනා බව පෙන්වන්න ට උත්සාහ කරයි. මේ සියලු දේ ඔබ මා නො කළ ත්, මෙයින් කිහිපයක් හෝ සිදු කළ බව නම් සහතික යි.

දැන් අප මාතෘකාව ට පිවිසෙමු. සුන්දර තරුණ වියේ සිටි සමහර දෙනා ඒ තරුණ වියේ දී ම මහළු වී ඇත යි කිවහොත් ඔබ පිළිගන්නවා ද? බොහෝ විට තරුණ බව හෝ මහලු බව හඳුනාගන්නේ කෙනෙකු ගේ රූපය දෙස බැලීමෙනි. අපි වගේ ම මැය ත්, කාලයක් තමන් ගේ සිරුර ලස්සන කරගන්න ට, ලස්සන දැක සතුටු වන්නට ඇත. මේ වියට්නාමයෙන් වාර්තා වූ සිදුවීමකි. ඇය 2008 වනවිට අතිශයින් රූමත් කාන්තාවක වූවා ය. එවකට ඇගේ වයස අවුරුදු 21 කි. දිනක් ඇය ගත් මුහුදු මාළු ආහාරයක් විස වී ඇගේ මුහුණේ හම හැකිලෙන්න ට පටන්ගත්තේ ය. දැන් ඇගේ වයස අවුරුදු 70 පමණ වන කාන්තාවක ට සමාන වන බව පහත ඡායාරූපය දෙස බැලීමෙන් ඔබ ට පෙනෙනු ඇත. ඇය තමා ජීවත් වූ වියට්නාමයේ බෙන් ට්‍රේ පළාතේ හමේ රෝග පිළිබඳ විශේෂඥයන් වෙත ගියත් ඇය ගේ රෝගය ට ප්‍රතිකාරයක් නො වී ය.

වයස අවුරුදු 21 දී
වයස අවුරුදු 23 දී
වෛද්‍යවරුන් එය හැඳින්වූයේ Lipodystrophy  නම් වූ අතිදුර්ලභ සින්ඩ්‍රෝමයක් ලෙස ය. ඒ රෝගයෙන් සිදුවන්නේ හමේ උඩ තට්ටුව ඉක්මනින් වියපත් වීම ය. එ හි දී හම හැකිළී මහලු විය ට පත් වේ. දෑස වටා ඇති හම ත් මුහුණේ හම ත් සිරුරේ මුළු හම ත් හැකිලෙන්න ට පටන් ගැනීම මේ රෝගයේ ලක්ෂණයන් ය. මේ රෝගය ට ගොදුරු වූවන් ට ඒ සඳහා තව ම ප්‍රතිකාරයක් සොයාගෙන නැති බව පැවසේ. කොතරම් සුන්දර රූපයක් ඇය ට හිමි වුව ද, ඒ රූපය ම විරූපී වන්නට ගත වූයේ දින ගණනක් පමණි. සුරූපී බව විරූපී වූ විට ඇතිවන තත්වය කෙබඳු වේ ද? රූපයේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න ට මෙය එක් සත්‍ය උදාහරණයක් පමණි. නමුත් ඇය ගේ ජීවිතයට මෙය කොතෙක් බලපානු ඇති ද?
[සිළුමිණ පුවත්පත]

 කොතරම් සුන්දර රූපයක් ඇය ට හිමි වුව ද, ඒ රූපය ම විරූපී වන්නට ගත වූයේ දින ගණනක් පමණි. සුරූපී බව විරූපී වූ විට ඇතිවන තත්වය කෙබඳු වේ ද? රූපයේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න ට මෙය එක් සත්‍ය උදාහරණයක් පමණි. නමුත් ඇය ගේ ජීවිතයට මෙය කොතෙක් බලපානු ඇති ද?

මේ රූපයේ අනිත්‍යතාවය පෙන්වන තව ත් එක් උදාහරණයකි. මෙය වෙනිසියුලාවෙන් හමු වූ වාර්තාවකි. නමින් ඇනා ඒක්වල් (Anna Ekvall) නම් වූ මේ කාන්තාව අද අප කතා කරන මේ මොහොත වන විට සිය ජීවිතය ට සමු දී ඇත. 1983 වසරේ උපන් ඇනා බුදුන් සරණ යාම ට තරම් භාග්‍යවත් කාන්තාවකි. වයස අවුරුදු 17 වනවිට එ නම් 2000 වසරේ දී වෙනිසියුලානු රූ රැජින තරඟයේ කිරුල ඇය ට හිමි විය. එ ම කිරුල හිමි කරගත් එක ම බෞද්ධ කාන්තාව වන්නේ ද, ඇය යි. ඇය 2007 වසරේ දී විවාහ වූ අතර 2009 වසරේ දී මිරැන්ඩා නම් එක ම දියණිය බිහි කළා ය. නමුත් ඇය ට පියයුරු පිළිකාවක් බව 2010 වසරේ දී සොයා ගැනුනු අතර 2011 වසරේ දෙසැම්බර් මාසයේ දී ටෙක්සාස් හි හූස්ටන් රෝහලේ දී ඇය මෙ ලොවින් සමුගත්තා ය. මියයන විට ඇගේ වයස අවුරුදු 28 විය.
රුවින් අග තැන්පත් වුව ත්, ඒ කොතරම් කෙටි නිමේෂයක ට දැ යි මෙයින් පැහැදිලි වන කරුණකි. රූපයේ වෙනස් වීම කොතරම් වේගවත් ද? රූපය කොතරම් නිසරු දැ යි මේ තුළින් මනා ව අවබෝධ වනු ඇත. රූපයේ දිරන බව, රූපයේ මායාකාරී බව මේ උදාහරණය තුළින් විද්‍යමාන වනු ඇත.
දැන් අපි තරුණ වියෙන් නික්මී මැදිවිය තුළ ට ඇතුළු වෙමු.


මැදිවිය තුළ දී....
මේ ගැන ලියන්නේ මා සතු අත්දැකීම්වලින් නම් නො වේ. මා තවම මැදි විය ට පත් වී නැත. තරුණවියේ තිබූ කාය ශක්තීන් නැති වී රූපය අවලස්සන වන මෙ වැනි සමයක රූපය ට තිබූ ඇල්ම, ආශාව, ක්‍රමක්‍රමයෙන් අඩු වී ගෙන යයි. නමුත් රූපයේ සුන්දරත්වය තවම ත් සම්පුර්ණයෙන් නැති වී නොමැත. 


වයස අවුරුදු 17 දී
වයස අවුරුදු 33 දී
මෙය ද, වෙනිසියුලාවෙන් ම වාර්තා වූ සිදුවෙමකි. මේ වන විට ඇය ගේ වයස අවුරුදු 33 පමණ වේ. Jacqueline Saburido නම් ඇය ධනවත් පවුලක එක ම දරුවා විය. ඇය ට වයස අවුරුදු 18 දී මෙ ම ඛේදවාචකය ට මුහුණ දෙන්න ට සිදු විය. ඒ හේතුවෙන් දැන් මදි වියේ පසුවන ඇගේ ස්වරූපය අතිශය ඛේදවාචකයකි. බීමත් ව රිය පැදවූ පුද්ගලයකු නිසා සිදු වූ රිය අනතුරකින් ඇය දිවි ගලවාගත් නමුත් ඇය ගේ ශරීරය මුළුමනින් ම පාහේ පිලිස්සී ඇත. මේ වනවිට ඇය සැත්කම් 120 ට පමණ භාජනය වී ඇත. රූපයේ අනිත්‍යතාව මෙයින් ද, පිළිබිඹු වේ.

මහළු වියේ දී..... 
මහළු සමය වනවිට රූපය සම්පූර්ණයෙන් ම දිරාපත් වී රූපය ට තිබෙණ ආශාව, ආදරය, නැති වී යයි. සමේ සිනිඳු බව, මෘදු බව නැති වී රළු බව ඉස්මතු වේ. සමේ ඇදුනු ස්වභාවය නැති වී ගොස් සම රැලි වැටෙයි. බොහෝ විට දත් හැලී යයි. ඇතැම් විට කොන්ද කුදු වී කෙළින් සිටගැනීම ට පවා නො හැකි වේ. මෙතෙක් කල් ආදරයෙන් රැකබලා ගත් රූපයේ අවසාන කාලය මේ අයුරිනි. 

 නමුත් මේ උදාහරණය දෙස බලන්න. "කර්මය කරුමය ම නො වේ" ලිපියෙන් මෙය ඉදිරිපත් කළ ද, නැවත වරක් ඉදිරිපත් කරන්නේ රූපයේ නිසරු බව පෙන්වීම සඳහා ය. මේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සිදුවෙමකි. නමින් කරුණාවතී නම් මැය ගේ වයස අවුරුදු 60ක් පමණ වේ. මැය ට වැළඳී ඇත්තේ ඉතා දුර්ලබ රෝගයකි. රෝගය වන්නේ මුහුණේ මාංශපේශි දිය වී යාම යි.
කලක ට පෙර සිටි අයුරු සහ වර්තමාන තත්වය අතර වෙනස කොතරම් දැ යි මේ ඡායාරූප තුළින් ඔබ ට වැටහෙනු ඇත. රූපයේ යථාර්තය නම් මෙය යි. 
රූපය නිර්මාණය වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන සතරමහා භූතවලිනි. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ක්ෂණයක් පාසා වෙනස් වේ. එ බැවින් මේවා හේතු කරගෙන උපන් රූපය ද, ක්ෂණයක් පාසා වෙනස් වේ. බුදු දහමේ ත්‍රිලක්ෂණයෙන් කියවෙන අනිත්‍යතාවය නම් මෙය යි. රූපයේ වෙනස් වීම කොතරම් වේගවත් දැ යි තත්පර, මිලිතත්පරවලින් මැනීම අපහසු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය ට චිත්තක්ෂණ දාහතක කාලයක ට වරක් රූප කලාප වෙනස් වේ. තව ත් මෙය පැහැදිලි කළහොත් සිතේ ඇතිවන චෛතසිකයන් ගේ උප්පාද, ඨිති, භංග කියන තත්වය ට පත් වන්න ට ගත වන්නේ යම් කාලයක් ද, ඒ කාලය මෙන් දාහත් වාරයක දී රූපයන් ගේ වෙනස්වීමක් ඇති වන්නේ ය.
 

භාග්‍යවතුන් වහන්සේ නන්දා නම් හික්මුනු භික්ෂුණිය ට මේ ගාථාවලින් නිතර අවවාද කරති."නන්දාවෙනි, ජරාවෙන් ලෙඩ වූ කුණුවලින් අපවිත්‍ර වූ කුණු වූ මේ ශරීරය බලව. රාගාදී වශයෙන් නො ගෙන භාවනා කරව. ඉතිරි සහිත මානය දිරු කරව. එ සේ මානය නැතිකිරීමෙන් සන්සුන් ව හැසිරෙව."
(කුද්ධක නිකාය - නන්දා ථෙරී ගාථා)
මේ මගේ මුහුණ, මේ මගේ කොණ්ඩය, මේ මගේ ඇස්, ආදී ලෙස යමෙක් රූපය තදින් ම ඇලී වාසය කෙරේ නම් රූපයේ දිරීම තුළ ඔහු මහත් දුක ට පත් වන්නේ ය. 

එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ පූර්වාමයෙ හි මිගාරමාතු ප්‍රාසාදයෙ හි වැඩ සිටි සේක.  එ කල් හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙ හි විවේකයෙන් නැගී සිටියේ හිරු රැසින් පිට තවමින් බැස යන අව්වෙහි වැඩ සිටියේ වෙයි. එ කල් හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැන ට පැමිණියේ ය.  පැමිණ භාග්‍යවතුන් වහන්සේ ට වැඳ භාග්‍යවතුන් වහන්සේ ගේ අත් පා අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේ ට මෙ සේ කී ය.  ස්වාමීනි, අසිරිමත් ය.  ස්වාමීනි අද්භූත ය. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ඡවිවර්ණය පෙරමෙන් දැන් පිරිසිදි නැත.  පැහැපත් නැත.  සියලු ශරීර අවයව ලිහිල් ව රැලි නැගී ඇත්තේ ය.  සිරුර ඉදිරිය ට නැමී ගියේ ය.  චක්ඛුඉන්ද්‍රිය, සොතඉන්ද්‍රිය,ඝානඉන්ද්‍රිය, ජිව්හාඉන්ද්‍රිය, කායඉන්ද්‍රිය, යන ඉන්ද්‍රියයන් ගේ වෙනස් බවක් දක්නා ලැබේ.

"ආනන්දය, යෞවන භාවයෙ හි ජරා ස්වභාවය ද, නිරොගි බැව් හි ලෙඩවන ස්වභාවය ද, ජීවත් වීමෙ හි මරණ ස්වභාවය ද, මෙ සේ වෙයි.  දැන් එ පමණ ඡවිවර්ණය පිරිසිදි නැත.  පැහැපත් නැත.  සියලු ශරීර අවයව ලිහිල් ව රැලි නැගී ඇත්තේ ය.  කය ඉදිරිය ට නැමුණේ ය.  චක්ඛුඉන්ද්‍රිය, සොතඉන්ද්‍රිය, ඝානඉන්ද්‍රිය, ජිව්හාඉන්ද්‍රිය, කායඉන්ද්‍රිය, යන ඉන්ද්‍රියයන් ගේ වෙනස් බව ද, දක්නා ලැබේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.  මෙය වදාරා නැවත මෙ සේ ද වදාළ හ."

"එ පමණ සිත් අලවන ශරීරය ජරාව විසින් මඩන ලදි.  දුර්වර්ණ කරන ලාමක ජරාවට නින්දාවේ වා. යමෙක් අවුරුදු සියයක් ජීවත්වේ ද, හෙතෙම ද, මරණය කෙළවරකොට ඇත්තේ ය.  මාරයා කිසිවකු අත් නො හරින්නේ ය.  සියල්ල ම මැඩ පවත්වන්නේ ය."

(සංයුක්ත නිකාය - ජරාභිමද්දන සූත්‍රය)

උදාහරණයන් දක්වමින් අප කරුණු ඉදිරිපත් කළේ රූපයේ අනිත්‍යතාව, නිසරු බව, පිළිබඳ ව ය. මෙ වැනි දේ සඳහා හෙට දින ඔබ ට, මට මුහුණ දෙන්න ට සිදු නො වේ ය යි කාට නම් කිව හැකි ද? එ සේ නැතත් අප යම් දිනක මේ අයුරින් ජරාව ට පත්වන්නේ ය. 

මේ පිළිබඳ සිතමින්, හඬමින් සිටින්න ට කියා හෝ ලස්සන රූපවල ට  වෛර කරන්න ට කියා හෝ නො වේ. අප සියලු දෙනා ට සිතේ ගතේ වාරුවක් නැති සමයක් උදා වේ වි. නමුත් අප ට පුළුවන් කාලයේ දී විශේෂයෙන් තරුණ හා මැදි වියේ දී ම ධර්මය ට නැඹුරු වී කටයුතු කිරීම තුළ සංසාරයෙන් එතෙර වන්න ට පියවරක් හෝ තැබිය හැකි වන්නේ ය. මේ භවයේ නිවන ට පත් වන්න ට නො හැකි වුව ත්, යම් දිනක ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන ට පත් වන්න ට එය ම අත්වැලක් වනු ඇත. පාරමිතාවක් වනු ඇත. නිවන පිණිස ම උපනිශ්‍රය වනු ඇත.

ඵෙණුපමං කායමිමං විඳිත්වා
මරිච්චධම්මං අභිසම්බුදානෝ
ජෙත්වාන මාරස්ස පපුප්ඵකානි
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ 
  

(ධම්මපදය - පුප්ඵ වග්ගය)

කය පෙණ පිඬක් වැනි ය යි දැන, මිරිඟුවක් බඳු ය යි වටහා ගෙන, මාරයා ගේ පැවැත්ම ට හේතු වන කෙලෙස් ධර්ම සහමුලින් ම සිඳ දැමූ රහතුන් මාරයා ගේ වසඟ ට හසු නො වී නිවන ට යන්නේ ය.

තෙරුවන් සරණ යි!

6 comments:

  1. බොහෝ කරුණු විවිධ පැතිකඩයන් ඔස්සේ මාතෘකාවට අනුගතවෙන ආකාරයට සකස් කරලා තියෙනවා. මේ වෙබ් අඩවියෙන් මම බොහෝ දේවල් ජීවිතයට එකතු කරගන්නවා. ඔබට පින්!

    ReplyDelete
  2. වටිනා ලිපියක්. ගොඩක් වටිනවා. මගේ කලින් දාපු comment එක පල වුනේ නැහැ. ඒ ගැන ත්, ටිකක් බලන්න.

    ReplyDelete
    Replies
    1. මීට‍ පෙර ත් මෙ වැනි තත්වයක් ඇති වී තිබුණා. මම හිතන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය අවම මට්ටමක ඇති විට හෝ Blogger හි යම් දෝශයක් නිසා මේ තත්වය ඇතිවන බව යි. අදහස් පල කළ පසු ව නැවත වරක් මෙ ම පිටුව Reload කර බලන්න.
      තෙරුවන් සරණ යි!
      අදහස් දක්වා ඇති සැම ට ත් ස්තුතියි.

      Delete
  3. අපි ලස්සනයි කියන අපේ රූපය අවලස්සන වෙලා යන්න ගත වෙන්නේ කොතරම් නම් අඩු කාලයක්ද?
    ඇත්තටම අනිත්‍ය ගැන මතක් කරන වටිනා ලිපියක්.
    ඔබට තෙරුවන් සරණයි!

    ReplyDelete
  4. TRIPLE GEM BLESS YOU THILINA.

    ReplyDelete
  5. ape ayata noterena deyath okai

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...