Friday, June 15, 2012

ත්‍රිපිටකය සරල කිරීමේ අනුසස්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුදුන් පිරිනිවී දෙදහස් පන්සියවසක් ඉක්ම ගොසිනි. බුදුරදුන් අද ජීවමාන ව වැඩසිටියේ නැතත් උන්වහන්සේ පන්සාලිස්වසක් දේශනා කළ ධර්ම විනය අද ත් ලෝකයේ බබළයි. පන්සාලිස්වසක් දේශනා කළ උතුම් ධර්මය ප්‍රධාන වශයෙන් විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. "ආනන්දය, මා පිරිනිවන්පාන්නා වූ එක් බුදුවරයකු පමණයි.  මගෙන් පසු වැඩසිටින්නා වූ සුවාසූදහසක් බුදුවරුන් ඇත. ඒ මා විසින් දේශිත ධර්මස්කන්ධය යි".

සුවාසුදහසක්‌ ධර්මස්කන්ධය අතරින් 82,000 තරම් ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කර ඇත. තව ත්, ධර්මස්කන්ධ 2,000 බුද්ධකාලීන මහාරහතන් වහන්සේලා දේශනා කර ඇති බව දැක්වේ. එයින් ද, විනය පිටකය සහ සුත්‍ර පිටකය ධර්මස්කන්ධ 21,000 බැගින් අඩංගු ය. අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000 පවතී. 



ත්‍රිපිටකය ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ලංකාවේ පැවැත්වූ ධර්ම සංගායනාව අතිශය වැදගත් සන්ධිස්ථානයකි. දුර්භික්ශාදී දේ හේතුවෙන් අනාගතයේ ථෙරවාද බෞද්ධ ධර්ම සම්ප්‍රදාය විනාශ වීම ට ඉඩ නො තබා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නිසා අදටත් ධර්මරත්නය ලොව පවතී. මෙ හි දී සඳහන් කළ යුතු කරුණු කිහිපයක් ම ඇත. ඊට ප්‍රථමයෙන් මෙ ම කෙටි දර්ශන පෙළ නරඹන ලෙස ආරාධනා කරමි.




ත්‍රිපිටක පිළිබඳ අද ඇතැම් දෙනා සැක පහල කරගනිති. බුද්ධ දේශනාව ම ත්‍රිපිටකයේ ඇති දැ යි විමසති. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ට දායක වන්නේ මහාවිහාරයේ වැඩවිසූ රහතන් වහන්සේලා බව මතක්කර දීම ට කැමැත්තෙමි. නික්ලේශී රහත් උතුමන් ට බුද්ධ ධර්මය විකෘති කිරීම ට කිසිසේත් උවමනාවක් නැත.

බුද්ධ දේශනාවේ නියම හරය දක්වන්නට ප්‍රඥප්ති භාෂාවේ වචන හිඟ බව අපි පිළිගනිමු. අද වනවිට ත්‍රිපිටකය භාෂා කිහිපයකින් ම පරිවර්තනය වී ඇත. ධර්මය තමන් ගේ ස්වකීය මව් භාෂාවෙන් ඉගෙනීම ට බුදුරදුන් අනුදැන වදාළා ඇත. එ නමුත් ධර්මය වෙනස් කිරීම සඳහා හෝ අඩුවැඩි කොට දැක්වීම කිසිසේත් අනුමත කර නැත.

සිංහල භාෂාව ට පරිවර්තනය වූ ත්‍රිපිටක ය යි හැඳින්වෙන පරිවර්තන කිහිපයක් ම අද ඇත. නුදුරු අනාගතයේ තව ත් පරිවර්තන නිර්මාණය කෙරෙනු ඇත. එ ම පරිවර්තන අතරින් සරල සිංහල ත්‍රිපිටක පරිවර්තන ඉතා පහසුවෙන් ධර්මය තේරුම් කරගැනීම ට ඉවහල් වන බව සාමාන්‍ය බොදුජනයා විශ්වාස කරති.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැනගෙන ම දෝ මෙ සේ සංයුක්ත නිකායේ ඕපම්ම සංයුක්තයේ මෙ ලෙස දේශනා කර තිබේ.

"මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල් හි එ තැන ට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැන ට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එ හි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය."

"එ සේ මැ මහණෙනි, අනාගතයෙ හි මෙ බඳු භික්‍ෂූහු වෙති. කෙබඳු ද යත්, යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති,  කන් යොමු නො කෙරෙති, වටහා ලනු සඳහා සිත ද නො දෙති, ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති."

"එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්‍යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්‍ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්‍රාවකකාලික වූ සුත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති, කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති, එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්‍රකාශ කරන්නා වූ, ශුන්‍යප්‍රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ."

අද දක්නට ඇති සරල ත්‍රිපිටක පරිවර්තන ද, පැලුණු බෙරයට ඇණ යෙදීමක් වැනි ය. අවසානයේ පැරණි බෙරකඳ අතුරුදහන් වන්නා සේ කාලෙන් කාලෙට භාෂාවක පරිහානියත් සමග ම ත්‍රිපිටකය ද, අලුත් වෙමින් සරල වෙමින් පරිහානි වන්නේ ය. මෙ හි ඇති බැරෑරුම්කම වන්නේ කාලයත් සමග මෙ සේ පරම්පරා කිහිපයක් පුරාවට ත්‍රිපිටකය සරල බව ට පත් වූ විට අවසානයේ ඉතා මිහිරි කාටත් වැටහෙන සුරංගනා කතාවක් ඉතිරි වී ත්‍රිපිටකයේ අර්ථාන්විත බව අන්තර්ධාන වීම යි.

එ මෙන් ම අදවන විට ඇතැම් ගිහියන් පමණක් නො ව භික්ෂූන් වහන්සේලා ය යි කියාගන්නා උදවිය ද, අභිධර්ම පිටකය අතහැර දෙපිටකය ට බැස තිබේ. ඔවුන් පවසන්නේ අභිධර්ම දේශනය බුද්ධ දේශනාවක් නො වන බව යි. සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින් ම තව ත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැ යි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය වන අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම විශාල අකුසල කර්මයක් සේ ම නිර්මල බුදුදහම ට සිදුකළ විශාල විනාශයකි. ජිනචක්‍රය ට පහර දීමකි. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ මෙ සේ දේශනා කර ඇත. "මහණෙනි, තථාගතයන් ට දෝෂාරෝපණය කරන දෙදෙනෙකි. තථාගතයන් වහන්සේ නො දෙසන ලද්ද දෙසන ලද්දක් ය යි කියන්නා හා තථාගතයන් වහන්සේ දෙසන ලද්ද නො දෙසන ලද්දක් ය යි කියන්නා ය."

කෙ සේ වෙතත් සසුනට ද, අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. ධර්මය තිබුණ ත් විනයය තිබුණ ත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්‍රකට කරුණකි. අවසාන වශයෙන් දැනට ඇති ත්‍රිපිටක පරිවර්තන අතරින් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පෙළ, පෙළ දහම ට අනුකුල ව සකස් කරන ලද්දක් බව පැවසිය හැකි ය.

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං!
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ දේසනං!
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාවකං!

තෙරුවන් සරණ යි!

20 comments:

  1. බොහොම හොඳ ලිපියක්..පාලි දැනුම මද කම නිසා මමත් ත්‍රිපිටක සිංහල පරිවර්ථනයක් කියවමින් ඉන්නෙ.මටත් දෙපාරක් හිතන්න සලස්වපු ලිපියක්.බොහොම පින්

    ReplyDelete
  2. ත්‍රිපිටකය තේරෙන සිංහලයට පරිවර්තනය කිරීමෙන් වෙන හානියක් නැත.
    හානිය වෙන්නේ වැරදි දෙයක් පර්වර්තනය කලොත්ය.

    ReplyDelete
    Replies
    1. මීට අවුරුදු 100ට 200ට විතර කලින් තිබුණු සිංහල භාෂාව නො වේ අද ඇත්තේ. මීට අවුරුදු 1000ට විතර කලින් තිබූ භාෂාව ද, නො වේ අද ඇත්තේ. අද ඇත්තේ අද ඇති ව්‍යවහාර මාත්‍රයකි. භාෂාව ශීඝ්‍රයෙන් වෙනස් වේ. අද අප ට තේරෙන බසින් ත්‍රිපිටකය සරල කළා නම් අනාගතයේ ද, අනාගත භාෂා රටාව ට ගැලපෙන ලෙස එ දා ට මේ අද සකස් කළ ත්‍රිපිටකය තවදුරටත් සරල කර පරිවර්තනය කරනවාට සැකයක් නැත. එක ම උදාහරණයක් පෙන්වන්නම්.
      "අප්‍රමාදී" එ දා භාවිත කළ වචනය යි. "නො පමාව" සරල ත්‍රිපිටක වදන යි. "පරක්ක්කු නො වීම" හෙට ත්‍රිපිටකයට භාවිත වන වචනය වුවහොත් පාඨකයා ට කියන සිංහල හරියට ම නො තේරී යාමේ අවකාශ ඉතා ඉහල ය. අවසානයේ ඔහු වචන පෙළක් කියවා ගොස් ගන්නා අර්ථය වෙනම ම දෙයකි.

      අප ගේ භාෂා දැනුම දුර්වල වූවා කියා හෝ භාෂාවේ දුර්වල බව හෝ වචන හිඟකම නිසා ත්‍රිපිටකය සරල කිරීමෙන් වන හානියක් නැතැ යි කිව නො හැකි ය. භාෂාව එකකි. බුදුදහමේ පරමාර්ථය එකකි. පරමාර්ථය වචනවලින් ප්‍රකාශ කරන විට පරෙස්සම් විය යුතු ය. යමෙකු ගේ භාෂා ඥානය හීන නම් එය ඔහු ගේ ප්‍රශ්නයක් මිස භාෂාවේ ප්‍රශ්නයක් නො වේ.

      සියලු බුදුවරු ධර්ම දෙශනය සඳහා පාලි භාෂාව යොදාගන්න ට මේ කරුණ ද, හේතුවක් වන්නට ඇත. පාලි භාෂාව අදටත් එ දා තිබූ අයුරින් ම අඩුවැඩියක් නැති ව පවතී.
      තෙරුවන් සරණ යි!

      Delete
    2. ඔබේ කතාවේත් යම් සත්‍යයතාවක් තිබේ,
      සරළ කිරීම සීමාවක් සහිතව කළ යුතුය,
      එහෙත් සමහර පරිවර්තන වල ඇති වචන ඒකාලයේ හිටිය සාමාන්‍යය පුද්ගලයෙකුටවත් තේරුනාදැයි සැක සහිතය.
      ඒ නිසා සරළ වචන භාවිතය මනා සිහි නුවණකින් යුතුව කළ යුතු යැයි සිතමි.
      කෙසේ වුවද පිරිසිදු ත්‍රිපිටකය පාලියෙන් සහ සිංහලෙන් යන දෙකෙන්ම ආරක්ෂා කර ගත යුතු යැයි මම සිතමි.
      විය යුතු වැදගත්ම දෙය නම් දහමේ වටිනාකම ආරක්ෂා වීමත්, සියළු දෙනාට වැටහෙන පරිද්දෙන් ධර්මය ඇසීමට ලැබීමත්ය.
      එයට සිදු විය යුතු වැදගත්ම දේ මිනිසුන්ට පිරිසිදු ධර්මය මනාව විස්තර කොට භික්ෂූන් වහන්සේ විසින් දේශනා කිරීමයි.
      අතීතයේ සිදු වූයේ එයයි, එකල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ නොවී පැවතිනි.
      එහෙත් අවශ්‍ය්ය දේ සිදු වුනි, ඒ නිසා මාර්ගඵල ලාභීන් බිහි වුනි,
      එසේ නම් වරද ඇත්තේ ත්‍රිපිටකය ලියවී ඇති ආකාරයේ නොවේ.
      දැනට වුවත් ත්‍රිපිටකය බොහෝ දෙනා කියවන්නේ නැත,
      එයට බොහෝ දෙනාට වෙලාවද නැත,
      ඒ නිසා කියවන අයට සරලව තේරුම් ගැනීමට සීමාන්තිකව වැදගත් විදිහට සරළ කළ පොත් තිබීම සුදුසුය.
      කළ යුතු වැදගත්ම දේ මේ ධර්මය මහත් විශ්වාසයෙන් පුරුදු කිරීමය,
      එවිට ඉබේම ශ්‍රද්ධාව ඇති වේ,
      මක්නිසාද ඕනෑම කෙනෙක්ට දෙයක් වටිනා වීමට එයින් යමක් ලැබෙන වග තේරී යා යුතුය,
      අපට වී ඇත්තේ පොඩි කාලේ සිට සියල්ල ඇසුනමුත් එය ක්‍රියාත්මක නොකිරීමය.
      ඒ නිසා මිනිසුන්ට තිසරණය ගැන ශ්‍රද්ධාවක්, වටිනා බවක් නොදැනේ.
      ඒ නිසයි ඔවුන් තිසරණය හැරදමා වටේ යන්නේ.
      ඒ නිසා මිනිසුන්ට ගැඹුරු සූත්‍ර දේශනා, සතිපට්ඨානය, පටිච්ච සමුප්පාදය ආදී දෑ කියාදී ඔවුන්ට ඒවා පුරුදු කරන ආකාරයද කියා දිය යුතුය.
      එවිටය ඔවුන්ට පෙර නොවිඳි සැනසීමක්, සංසිඳීමක් දැනී දහම ගැන පැහැදීම ඇති වන්නේ.
      එහෙම වූ කෙනෙක් කිසිදා තිසරණය හැර යන්නේවත්,
      සසුන විනාශ වෙන දේට දායක වන්නේවත් නැත.
      මේ කරුණු දැකිවීම කළේ වාදයටැයි නොසිතන්න,
      මට අවශ්‍යය වූයේ ඔබ වන් අගනා මෙහෙයක් කරන කෙනෙකුට මාගේ අදහසද දැක්වීම පමණි.
      මෙලෙස පැහැදිලිව ඔබ මෙන් දහම් කරුණු කියන විට මිනිසුන් ඒවා පිළිපදිනවා නම් කොතරම් අගනේද?
      ඔබට තවත් මේ පුණ්‍යක්‍රියාව කරගෙන යෑමට අවස්ථාව උදා වේවා!

      Delete
    3. තවත් එක් දෙයක් එකතු කරමි,
      ජීවිතයේ වැඩ අධික ගිහියන් වූ බොහෝ දෙනා ගැඹුරු සිංහල පරිවර්තන අත්හැර,
      පාලි හෝ අසීරු සිංහල ඉගෙන ගන්නට යන්නේ නම්,
      (පුරුදු කිරීමට ඊට අඩු කාලයක් යවා)
      සමහර විට ඔහු අන්තිමේට පාලි ඉගෙනීම පමණක් කර තිබිය හැක,
      එක්කෝ ඔහුට අතරමග එපා වී යා හැක,
      ඒ නිසා මනාව ධර්මය පුරුදු කරගෙන හෙමිහිට පාලි පාඨය දෙක බැගින් ඉගනගැනීම ප්‍රමෝදයටද උපකාර වේ,
      මම කරමින් සිටින්නේ එයයි,
      එහෙත් මේ සියල්ල පරිස්සමින් කළ යුතුය,
      මේ බියකරු සසර පුරා අපව ගෙන ආවේ මේ දුෂ්ට වූ හිතයි,
      ඒ නිසා මේ ඉගනගැනීම් කරන විට "මම දැන් පාලි දන්න කෙනෙක්" "මම අහවල් ත්‍රිපිටක කොටස කියවල ඉවරයි" "මට දැන් කාගේවත් උපදෙස් ඕන නෑ, පරිවර්තන ඕන නෑ, මං තනියම කරනව, මට එහෙම පුළුවන්" කියන හැඟීම ගැන සෙවිල්ලෙන් හිට එය දුර්වල කල යුතුය,
      නැත්නම් අන්තිමට වෙන්නේ උසස් දෙයක් කිරීමට ගිහින් හිටියාටත් වඩා පහත් වීමය.

      Delete
    4. කවදාවත් එහෙම වෙන්නෑ ඕවා ඔක්කම ඔයලගේ හිසේ පුරවගත්තු හෝ පුරවපු මනස්ගාත මුලින් හරි ධර්මය කියවන්න අහන්න ඒක පාර්ශවික නොවි පලි ඉගන ගන්න එක සසරටයි එක පුරුදු කරන එක මේ සසර නිවන් දකිනා ජාති දක්වා අපිට තියෙනවා

      Delete
  3. යාළුවා blog එකනම් බොහොම හොඳයි.

    ReplyDelete
  4. මාගධී භාශාව කියන්නේ සියලු බුදුවරුන්ගේ බසයි තුන්කල් දක්නා නුවනින් අර්ථ ශබ්ධ හා ගන ගලපමින් නිවරදි උච්චාරණ සහිතව පිරිත් දේශනා කිරිමෙන් හ ශ්‍රරවණයෙන් පමනයි එහි ප්‍රතිපල ලබෙන්නේ අරුත් දැන සිටීම හොදයි නමුත් සජ්ජායනයට ගලපෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය ගාම්භීර පාලි භාශාවෙන් භාවිත කිරීමමයි

    ReplyDelete
  5. Ninda karannata pera mema video eka balanna
    http://www.youtube.com/watch?v=OjDM-icCq5Y

    ReplyDelete
  6. සාදු සාදු සාදු

    ReplyDelete
  7. බොහොම හොඳ ලිපියක්. දැන්වත් බොහෝ දෙනාගේ ඇස් ඇරීම පිළිබඳව සතුටු වෙනවා.

    ReplyDelete
  8. පාළි ඉගෙනගන්න හොඳ වෙබ් ලින්ක් එකක් හෝ පොතක් ගැන දන්නවද ?

    ReplyDelete
  9. http://pali.buddhistculture.net/
    http://palidictionary.org/PaliDictionary.aspx

    ReplyDelete
  10. මෙම ධර්මය බුදුන් දෙසනා කලේ මනුස්සයන්න්ට සහ දෙවියන්ට මේක මනුස්සයන්ට නොතේරුනොත් තව අවුරුදු 1000 මනුසලෝකේ තිබුනත් වැඩක් වේද? එනිසා අපිට හම්බවෙච්ච වෙලාවේ ප්‍රෝජනයක් ගත්තොත් නරකද ? අපි පොඩ්ඩක් හරී පුරුදු කරමු. එවිට අපෙන් පස්සේ පරන් පරව චුට්ටක් හරි රක ගනී. අනිත්තිය දෙය අනිත්තියි ලෝක ධර්මතාවයක්. නොතේරෙන දේයක් අවූරුදු ජිවිත කාලයම කිවත් වැඩක්‌ නැහැ. අන්තිමට මන්තර කාරයෝ ටිකක්ක් සාසනය තුල ඉදිවී.මෙම මහා ධර්මස්කන්දය තියෙන්නේ නුවනාත්තන්ට අවබෝද කරගන්න. නැතුව ගන පීහිටවපු මන්ත්‍ර නෙමේ. කිසිවෙකු වත් පිරිසිදු කරන්නවත් කිසිවෙකුගේ ඇදයක් නොසොයා අපි පිරිසිදු වෙමු.

    ReplyDelete
  11. මෙම ධර්මය බුදුන් දෙසනා කලේ මනුස්සයන්න්ට සහ දෙවියන්ට මේක මනුස්සයන්ට නොතේරුනොත් තව අවුරුදු 1000 මනුසලෝකේ තිබුනත් වැඩක් වේද? එනිසා අපිට හම්බවෙච්ච වෙලාවේ ප්‍රෝජනයක් ගත්තොත් නරකද ? අපි පොඩ්ඩක් හරී පුරුදු කරමු. එවිට අපෙන් පස්සේ පරන් පරව චුට්ටක් හරි රක ගනී. අනිත්තිය දෙය අනිත්තියි ලෝක ධර්මතාවයක්. නොතේරෙන දේයක් අවූරුදු ජිවිත කාලයම කිවත් වැඩක්‌ නැහැ. අන්තිමට මන්තර කාරයෝ ටිකක්ක් සාසනය තුල ඉදිවී.මෙම මහා ධර්මස්කන්දය තියෙන්නේ නුවනාත්තන්ට අවබෝද කරගන්න. නැතුව ගන පීහිටවපු මන්ත්‍ර නෙමේ. කිසිවෙකු වත් පිරිසිදු කරන්නවත් කිසිවෙකුගේ ඇදයක් නොසොයා අපි පිරිසිදු වෙමු.

    ReplyDelete
  12. අවුරුදු 2600ක කාලයක් මේ ධර්මය ආවෙ පාලි භාශාවෙන්. අතීතයේ හිටිය එතරම් ශ්‍රස්ත්‍ර ඥාණය නැති මිනිසුන්ටවත් මේක සිංහලෙන් තියෙන්න ඔන කියන ආවශ්‍යතාවයක් තිබුනෙ නෑ. ඒ අය උත්සහවත් වෙලා පාලියෙන්ම කරුනු තේරුම් අරගෙන ධර්මාවබෝධය කලා. මේ විකෘති ආශාව ඇති වෙලා තියෙන්නෙ මහමෙවුනා අසපු කාරයින්ට විතරයි. අනික මේක භාශා දෙකකින් තියෙන්න ඕන කියල හිතන්නෙත් නෑ. එහෙම උනාම කවුරුත් පාලි බසින් තියන එක බලන එකක්වත් නෑ. ටිකක් හිතල බලන්න අපි ලඟ එකම පොත භාශා දෙකකින් තිබුනම අපි පරිහරනයට ගන්නෙ තෙරෙන බසින් තියන එක නේද? ඒක නිස මේ අනවශ්‍ය අවශ්‍යතා ඇති කරගන්න අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  13. මේක තියෙන්නෙ ආණි සූත්‍රයේ. ඒකෙ කියවෙන විධියට බෙරය පැලුනම තමයි අනයක් ගහලා පාවිච්චි කරන්නෙ. පැලුනට පස්සෙ බෙරේ පාවිච්චියට ගන්න බැරි නිසා ප්‍රයෝජනයක් ගන්නෙ නැතිව දිරලා විනාස වෙලා යනවටත් වඩා ඇණ ගගහ හරි තව කාලයක් පවිච්චි කරන එක හොදයි කියල තමයි මට නම් හිතෙන්නෙ.
    වැරැද්ද ඇණ ගහන එක නෙවෙයි බෙරේ පලාගන්න එක
    සහ ඒකට soltion එකක් විදියට දේශනාවෙ තියෙන්නෙ ඒ දේශනාවන් ඒ විදියටම පවත්වගෙන යන්න මහන්සි ගන්න කියලා. අපි අතින් ගිලිහුන පාලි භාෂාව ඉගෙන ගන්නවනම් ඉගෙනගන්න තියෙන්නෙත් සිංහලෙන්ම තමයි.
    මම දන්න තරමින් සරල සිංහලයට පරිවර්තනය කරපු ස්වාමින්වහන්සේලා ඒ දෙය කරනවා. පාලි භාෂාව ප්‍රගුණ කරන අතරම පාලි භාෂාව දන්න අනාගත පරපුරකුත් බිහි කනවා. ඒ අතරතුර බෙරය පැලුනොත් ගහන්න ඇණ ටිකකුත් ලෑස්ති කරල තියෙන්නෙ අපේ වාසනාවට.
    අනික් වැදගත් කාරනාව තමයි මෙතන Comment කරපු අපි ගොඩක් අයත් දැනටමත් පැලිච්ච බෙරයක හිමිකාරයො. (පාලි දන්නෙ නැති අය )
    දැන් අපේ වගකීම ගහපු ඇණ වලින් ප්‍රයොජනයක් අරන් තව තවත් ඇණ ගහන්න සිද්ද නොවන විදියට මේ ගානින් වත් බෙරේ පරෙස්සම් කරගන්න එක. (භාෂව නිවැරදිව හැසිරවීම )

    ReplyDelete
  14. ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරේ කොහේදීද

    ReplyDelete
  15. 6 වන ධර්ම සංගායනාවේදී තමයි ත්‍රිපිටකය භාෂා ගණනාවකට පරිවර්තනය කිරීමට තීරණය වුණේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...