Tuesday, January 10, 2012

මට ආදරෙයි නම්.....(04 කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මට ආදරෙයි නම්.... ලිපි පෙළෙ හි අවසාන කොටස මේ ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ තවදුර ට ත්, මට ආදරය කරන එක් අයෙක් හෝ ඇති ය යන බලාපොරොත්තුවෙනි. මෙතෙක් මා ලියූ ලිපි ත්‍රිත්වය ඔබ කියවූයේ නම් නියත ව ම මා පිළිබඳ අදහස වෙනස් කරගනු නො අනුමාන ය.
 

පළමු ව ඉතිරි කුණප කොටස් අට පිළිබඳ ව ත්, අනතුරු ව පිළිකුල් භාවනාවේ ආනිශංස හා එයින් නිවන් අවබෝධ කරගන්නා අයුරු පිළිබඳ ව ත්, මේ ලිපියෙන් කරුණු දැක්වේ.

ඊට පෙර මෙය නරඹා සිටින්න. මෙය පිළිකුල් සහගත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. කයෙ හි ඇති පිළිකුල් බව, නිසරු බව සිහිපත් කරමින් මෙය නරඹන්න.
 

දැන් ඉතිරි කුණපයන් පිළිබඳ අවධානය යොමු කරමු.
දහඩිය.
සමේ ඇති ස්වේද ග්‍රන්ථි නැමති අන්වීක්ෂීය කුඩා ග්‍රන්ථිවලින් දහඩිය නිපදවීම සිදු කරයි. අවර්ණ ය. වැඩිපුර ම ජලය සහ අතිරේක වශයෙන් ලවණ ආදියෙන් සමන්විත ය. පරිසරයේ උෂ්ණත්වය වැඩිවීමේ දී, විවිධ ආහාර ද්‍රව්‍ය නිසා දහඩිය දැමීම වැඩි වේ. සමේ ඇති දුහුවිලි අංශු, මියගිය සෛල හා වෙනත් ශ්‍රාවයන් සමග එක් වූ විට ඉතා දුර්ගන්ධවත් වේ. "මගේ දහඩිය" ද, මෙ සේ ම පිළිකුල් සහගත ය යි සිතිය යුතු ය.

මේදය
ලා කහ වර්ණයෙන් යුතු ශරීරයේ බොහෝ කොටස්වල ඇති මේදය මාංශ පේශි අසල වැඩිවශයෙන් ඇත. ශරීරයේ මාංශමය කොටස්වල ට යටින් හා උඩින් පටලයක් ලෙස සකස් ව ඇත. "මගේ ශරීරය පුරා ම ඇති මේදය" ද, මේ පරිදි ය.

කඳුළු
තරලමය වේ. ජලය සහ ජලයේ දිය වී ඇති ලවණ වර්ග ආදියෙන් සෑදී ඇත. දහඩිය සේ ම අවර්ණ ය. ඇස්වල පිහිටන ග්‍රන්ථි මගින් අවශ්‍යතාවයක් දැනුනු විට කඳුළු ස්‍රාවය කරයි. "මගේ කඳුළු"  පිළිකුල් සහගත වේ.

වසා
මෙය ද, තරලමය වේ. සිරුර පුරා ම රුධිරය සේ ම පවතී. රුධිරය සේ ම නාලවල ගමන් කරයි. පොල්තෙල් බඳු පැහැයෙන් හා ස්වභාවයෙන් පවතී. මෙය තුළ ද, බහුල ව ම ජලය හා රුධිර සෛල, ප්ලාස්ම ප්‍රෝටීන ආදී ශරීරයෙන් ම නිපදවෙන ද්‍රව්‍ය රාශියක් අඩංගු වේ. ශරීරයේ යම් තුවාලයක් සිදු වී එය පැසවූ විට ගලන සැරව ඇති වන්නේ ද, මේ වසා තරලයෙන් ය. "මගේ සිරුර පුරා ගලන වසා තරලය" ද, මේ පරිද්දෙන් ම පිළිකුල් ය.


කෙළ
ඉහත පරිදි ම තරලයක් ආකාරයෙන් ඇත. අවර්ණ ය. බොහෝ සෙයින් ජලය ද, අතිරේක වශයෙන් අයන වර්ග, එන්සයිම ආදි ද්‍රව්‍ය අඩංගු වේ. පෙණ  හා ශ්ලේෂ්මල ස්වභාවයක් ගනී. මුඛය තුළ ඇති ඛේට ග්‍රන්ථිවලින් නිපදවේ. ආහාර පිළිබඳ අරමුණක් ඇති වූ අවස්ථාවල දී බොහෝසෙයින් ශ්‍රාවය වේ. දුර්ගන්ධයෙන් යුක්ත "මගේ කෙළ" ද, මෙ සේ ම පිළිකුල් සහගත බව සිහිපත් කළ යුතු ය.


 

සොටු
සුද ට හුරු ලා වර්ණයෙන් යුතු වේ. ඉහත පරිදි ම ස්වභාවයක් ඇත. ශරීරයේ ඉහළ ප්‍රදේශයේ ඇති කොටස්වලින් නිපදවේ. නාසය තුළ මේවා රැස් ව තිබෙණ අතර නාස් කුහරවලින් ඉවත ට වැගිරේ. "මගේ සොටු" ද, මෙ සේ පිළිකුල් වන බව සිහිපත් කළ යුතු ය.


සඳමිදුළු
අස්ථි ආශ්‍රිත ව අස්ථි සබැඳෙන ස්ථානවල පිහිටයි. මෙය ද, තරලමය ආකාර ගනී. සුදු පැහැති ය. අස්ථි අතර ඝර්ෂණය ඇති වීම වැළැක්වීම සිදු කරයි. "මගේ සඳමිදුලු" ද, මෙ සේ පිළිකුල් වන බව සිහිපත් කළ යුතු ය.






මුත්‍ර
ලා කහ පැහැයෙන් යුක්ත වේ. සාන්ද්‍රණ මත වර්ණ වෙනස් වේ. වකුගඩුවලින් පෙරෙන රුධිරයේ ඇති සිරුර ට අනවශ්‍ය කොටස් මෙ සේ මුත්‍ර ලෙස එක්රැස් වේ. මුත්‍රාශය තුළ රැස් ව පවතී. මුත්‍ර මාර්ග ඔස්සේ ශරීරයෙන් පිට වේ. "මගේ මුත්‍රා" ද, මෙ වැනි ම වේ. අසුභ භාවනාව වඩන යෝගාවචරයා

මෙ ලෙස වර්ණය - සටහන - දිශාව - පිහිටි තැන - පරිච්ඡේද වශයෙන් කුණප කොටස් පිළිබඳ ව පැහැදිලි ලෙස වෙන් වෙන් ව වටහා ගෙන පූර්වයෙන් සඳහන් කළ "අනුපුබ්බතෝ" (අනුපිළිවෙළින් මෙනෙහි කිරීම), "නාතිසීඝතෝ" (ඉක්මන් නො වී මෙනෙහි කිරීම) ආදි උපදෙස් සලකමින් වර්ණය - සටහන - ගන්ධය - ආශ්‍රිත කුණප - පිහිටි තැන යන ආකාර පස අනුව කුණප කොටස් සියල්ල පිළිකුල් වශයෙන් මෙනෙහි කළ යුතු ය.
දැන් පිළිකුල් භාවනාවෙන් ලැබෙන ආනිශංස පිළිබඳ විමසා බලමු. 

පිළිකුල් භාවනාවෙන් ලැබෙන ආනිශංස

යමෙක් පිළිකුල් භාවනාව මෙනෙහි කරයි නම්, හෙතෙම නිවන් දැකීම ට පෙරාතුව ම නිවන් රසය වළඳන්නෙක් බව බුද්ධදේශනය යි. බුදුසසුනක ශ්‍රේෂ්ඨත ම ඉගැන්වීම කෙලෙස් ප්‍රරහාණය යි. භාවනා නාමයෙන් කියැවෙනුයේ ඒ සදහා පුහුණු වන ආකාරය යි. බුද්ධශාසනයේ පැවිදි වන පිරිස ට කෙස්-රැවුල් ඕරෝපණ අවස්ථාවෙ හි ම මෙ ම භාවනා පුහුණුව උගන්වනු ලැබේ. එ දා පටන් අද දක්වා ම සිරිතක් වශයෙන් මෙ ම අවස්ථාවෙ හි දී උගන්වන භාවනා මාර්ගය වන්නේ පිළිකුල් භාවනාව හෙවත් පටික්කූලමනසිකාරය යි.  පැවිදි වන දරුවෙකු මුලින් ම ඉගෙන ගන්නා මෙ ම භාවනා මාර්ගය කෙතරම් ආනුභාව සම්පන්න ද යත්, එ දා මෙ දා තුර පැවිදි වූ කුලදරුවන් අතුරින් බොහෝදෙනා කෙස්-රැවුල් ඕරෝපණය ට පෙර තම ඇදුරුපාණන් වෙතින් උගත් පිළිකුල් භාවනා මාර්ගය මෙනෙහි කොට කෙස්-රැවුල් ඕරෝපණය අවසන් වන විට මහරහත්භාවයට පත් වූ අවස්ථා එමට ය. මෙය ට දිය හැකි හොඳ ම නිදසුන නම් සිවලී මහරහතන් වහන්සේ ය.    

පිළිකුල් භාවනාව වඩා සමාධිය තහවුරු කර ගත් යෝගාවචරයා ට ලැබෙන ආනිසංස රැසකි. පිළිකුල් භාවනාව මැනවින් වැඩූ යෝගාවචර භික‍ෂුව ට "අරති" සඞ්ඛ්‍යාත කුසල ධර්මයන් පිළිබඳ නො ඇල්ම ත් "රති" සඞ්ඛ්‍යාත පස්කම්සුවයෙ හි සිත ඇලීමත් පහසුවෙන් මැඩපැවැත්විය හැකි ය. එ ම යෝගාවචර භික‍ෂුව අරති-රති මැඩපවත්වමින් වාසය කරයි. තව ද එම යෝගාවචර භික‍ෂුව තැතිගැනීම් හා බියජනක අරමුණුවල ට යට නො වී වාසය කරන අතර ම උපන් තැතිගැනීම් සහ බියජනක අරමුණු මැඩපවත්වමින් වාසය කරයි. එ සේ ම ශීත - උෂ්ණ - සාපිපාසා - මැසිමදුරු පීඩා - අප්‍රිය අමනාපකර වචන - ජීවිතය නැති වන තරමේ සියලූ වේදනා ඉවසනසුලූ අයෙකු වෙයි. කෙස් ආදියෙහි වර්ණය සලකමින් (කසිණ වශයෙන්) රූපාවචර ධ්‍යාන සතර ද ලැබිය හැකි වෙයි.

පිළිකුල් භාවනාව සිදු කළ යුතු අයුරු.
බුදුරජාණන් වහන්සේ දඹදිව කුරු රටවාසීන් ට මහාසතිපට්ඨාන සූත්‍රය දේශනා කරමින් එ හි සඳහන් කායානුපස්සනා සතිපට්ඨානය යටතේ සිවුවැනි භාවනා කර්මස්ථානය වශයෙන් වදාළේ පිළිකුල් භාවනාව පිළිබඳ ව යි. 

"මහණෙනි, අන්‍ය වූ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවක් දේශනා කරමි". 
"මහණෙනි, මෙ ම බුදුසසුනෙ හි යෝගාවචර භික‍ෂුව පාදාන්තයෙන් උඩ කේශාන්තයෙන් යට සමෙන් වැසී තිබෙන මේ කයෙහි පිරී ඇති නානාප්‍රකාර අසූචි හෙවත් අපිරිසිදු කුණප කොටස් පිළිකුල් වශයෙන් නුවණින් සලකා බලයි.
"මේ කයෙ හි කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිඳුලූ, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව (ඇලදිව), පෙණහැලි, බඩවැල්, බඩවැල් බැඳුම්, නො දිරවූ ආහාර, දිරවූ ආහාර (මළ), පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුලූ (සන්ධිලාටු), මූත්‍ර යන කුණප කොටස් ඇත" යනුවෙනි.


 

"මහණෙනි, යම් සේ හැල්, වී, මුං, මෑ, තල, සහල්, ආදි ධාන්‍යයන්ගෙන් පුරවන ලද දෙපස ම කට ඇති මල්ලක් වේ ද, හොඳින් ඇස් පෙනෙන පුරුෂයෙක් එ ම මල්ලේ කටවල් ලිහා දමා ඇතුළත පිරී ඇති දේ මෙ සේ හොඳින් විමසා බලයි. එ නම්, මේ හැල් ය, මේ වී ය, මේ මුං ය, මේ මෑ ය, මේ තල ය, මේ සහල් ය, යනුවෙනි. එ පරිද්දෙන් ම යෝගාවචර භික‍ෂුව ද, පාදාන්තයෙන් උඩ කේශාන්තයෙන් යට සමෙන් වැසී තිබෙන මේ කයෙහි පිරී ඇති නානාප්‍රකාර අසූචි හෙවත් අපිරිසිදු කුණප කොටස් පිළිකුල් වශයෙන් නුවණින් සලකා බලයි.  එනම්, "මේ කයෙ හි කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිඳුලූ, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව (ඇලදිව), පෙණහැලි, බඩවැල් බැඳුම්, නො දිරවූ ආහාර, දිරවූ ආහාර (මළ), පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුලූ (සන්ධිලාටු), මූත්‍ර යන කුණප කොටස් ඇත, යනුවෙනි".

පිළිකුල් භාවනාව පිළිබඳ වැරදි මත බැහැර කරමු.
ඕනෑ ම භාවනාවක් ඉගෙනීම ට පෙර සිතේ සමාධියක් ඇති කර ගත යුතු ය. ඉන්පසු අසුභ භාවනාව වැඩිය හැකි ය. නමුත් මේ භාවනාව වැඩිම ගිහියන් විසින් කිරීම අයහපත් බව ඇතැම් දෙනා කියති. 

"අසුභ භාවනා වඩන්න එපා! ගිහි ජීවිත අවුල් වෙයි" කියල අනුශාසනා කරනව නම් එයා බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය ශ්‍රාවකයෙක් වෙන්න බැහැ. පිළිකුල් භාවනාව වැඩුවා කියල කෙනෙකුට ගිහි ජීවිතය එපා වීමක් සිද්ධ වෙන්නෙ නැහැ. අසුභ භාවනාව කියන්නෙ සමථ භාවනාවක්. මේ ශරීරයේ තිබෙන දෙතිස් කුණප කොටස් අසුභ වශයෙන්, පිළිකුල් වශයෙන් නුවණින් විමසමින් ඒවායේ යථා ස්වභාවය සිහි කරන විට ආර්ය ශ්‍රාවකයා ගේ සිත අසුභය කෙරෙහි ඇලෙන්නෙත් නැති ව, ඒ කෙරෙහි ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාව ට පත්වෙනවා.

ඒ නිසා කවුරුහරි අසුභ භාවනාව කියන වචනය දිහා බලා "ගිහි අය අසුභය වඩන්න එපා! ගිහි ජීවිත එපා වෙයි" කියල කියන්න පුළුවන්. එයා භාවනාව ගැන දන්න කෙනෙක් නො වෙයි. අසුභය කියන එක ඔච්චර පිළිකුල් නම්, ජීවිතය විනාශ වෙලා යන භයානක දෙයක් නම් රෝහල්වල හෙදියන් නො සිටිය යුතුයි. වෛද්‍යවරු වෛද්‍ය වෘත්තියේ නො යෙදිය යුතු යි. කිසිවෙක් මළමිනී කපමින්, මළමුත්‍රා අතගාමින් ලෙඩුන් හට උපස්ථාන නො කළ යුතු යි. ඇස් දෙක පියාගෙන විනාඩි දහයක් පහළොවක් අසුභය සිහි කළ විට ගිහි ජීවිත එපා වෙලා, පවුල් කඩාකප්පල් වෙනවා නම් හැම දා ම මලමූත්‍රා අතගාන මළමිනී කපන අය සියලූ දෙනා ගේ ම පවුල් ජීවිත අසාර්ථක වෙන්න ඕන.

අසුභ භාවනාව නිරන්තරයෙන් ප්‍රගුණ කරන කෙනෙකු ට පුළුවන් ඒ තුළින් සමාධියක් ඇති කරගන්න. සමාධිය කියන්නෙ මේ පංචකාමයන් ගෙන් කිසි දිනෙක ලබන්න බැරි තරම් ප්‍රීතියක් ඇති වීම යි.


පිළිකුල් භාවනාව චතුරාර්යසත්‍යය ට නැංවීම
මෙ ලෙස පිළිකුල් භාවනාව අරමුණු කරන සිහිය (සති) පරමාර්ථ ධර්ම විභාගයේ දී අයත් වන්නේ දුක්ඛ ආර්ය සත්‍යය ට යි. එම සිහිය (සති චෛතසිකය) හටගැනීම ට හේතු වූ පූර්ව භවතෘෂ්ණාව දුක්ඛසමුදය ආර්යසත්‍යය යි. එ ම දුක්ඛසමුදය දෙකෙ හි අභාවය දුක්ඛනිරෝධ ආර්යසත්‍යය යි. එ ම දුක්ඛනිරෝධය සාක‍ෂාත් කිරීම සඳහා හේතු වන ආර්ය මාර්ගය, දුක්ඛනිරෝධගාමිනීපටිපදා ආර්යසත්‍යය යි. මෙ ලෙස පිළිකුල් භාවනාව පාදක කර ගෙන විදර්ශනා වඩන යෝගාවචරයා චතුරාර්යසත්‍යය අවබෝධ කරමින් නිවන ට පත් වේ. 


පිළිකුල් භාවනාව වැඩීම ට පෙර සිත සමාධියක් කරා මෙහෙයවිය යුතු ය. අනතුරු ව පිළිකුල් භාවනාව වැඩීම ට පෙර  සප්තවිධ උග්ගහකෝසල්ලය හා දශවිධ මනසිකාරකෝසල්ලය පිළිබඳ දැන සිටිය යුතු ය.
සප්තවිධ උග්ගහකෝසල්ලය නම්,
1. වචසා - වචනයෙන් කීම.
2. මනසා - සිතින් මෙනෙහි කිරීම.
3. වණ්ණතෝ - කුණප කොටසෙ හි වර්ණය දැනගැනීම.
4. සණ්ඨානතෝ - කුණප කොටසෙ හි සටහන-හැඩය දැනගැනීම.
5. දිසතෝ - කුණප කොටස පිහිටි දිශාව දැනගැනීම.
6. ඕකාසතො - කුණප කොටස පිහිටි තැන සලකා ගැනීම.
7. පරිච්ඡේදතෝ - කුණප කොටසෙ හි පිරිසිඳීම දැනගැනීම.


මෙ ම ලිපි පෙළ කියවීම මගින් සහ අදාළ රූප දැකීම තුළින් ඉහත සප්තවිධ උග්ගහකෝසල්ලය ඇති කර ගත හැකි ය.


පළමුවෙන් සප්තවිධ උග්ගහකෝසල්ලය දැන ගෙන අනතුරු ව දශවිධ මනසිකාරකෝසල්ලය (මෙනෙහි කිරීමේ කුසලතාව) පිළිබඳ ව මනා ව කරුණු වටහා ගත යුතු ය. දශවිධ මනසිකාරකෝසල්ලය නම්,
1. අනුපුබ්බතෝ - අනුපිළිවෙළින් මෙනෙහි කිරීම.
2. නාතිසීඝතෝ - ඉක්මන් නො වී මෙනෙහි කිරීම.
3. නාතිසනිකතෝ - පමා නො වී මෙනෙහි කිරීම.
4. වික්ඛේපපටිබාහනතෝ - සිත වික‍ෂිප්ත වීම දුරු කරමින් මෙනෙහි කිරීම.
5. පණ්ණත්තිසමතික්කමනතෝ - නාම ප්‍රඥප්තිය ඉක්මවා යමින් පිළිකුල් බව මෙනෙහි කිරීම.
6. අනුපුබ්බමුඤ්චනතෝ - සිතට ප්‍රකට ව නො වැටහෙන කොටස් අත්හරිමින් මෙනෙහි කිරීම.
7. අප්පනාතෝ - අර්පණා (ප්‍රථමධ්‍යාන) සමාධිය ලැබීම.
8.9.10. තයෝ සුත්තන්තා - සූත්‍රාන්ත තුන අනුව
මෙනෙහි කිරීම.
මෙ හි මුල් කරුණු හය වටහා ගැනීම පහසු ය. එ ම කරුණු හය සපුරමින් භාවනා කරන යෝගාවචරයා අසුභ භාවනාව පාදක කර ගෙන අර්පණා සමාධිය ලබා අනතුරු ව විදර්ශනා භාවනාව ද, සම්පූර්ණ කර ගැනීමෙන් මාර්ග ඵල නිවන් සුව සාක‍ෂාත් කර ගත හැකි වේ. පරිකර්ම භාවනා, උපචාර භාවනා සාර්ථක වීමෙන් අර්පණා සමාධිය (එනම් ප්‍රථමධ්‍යානය) ලැබීම මෙයින් අදහස් කෙරේ. එක් එක් කුණප කොටසකින් වෙන් වෙන් වූ අර්පණා සමාධීන් ලැබිය හැකි ය. 


පිළිකුල් භාවනාව වඩනු කැමති යෝගාවචරයා අධිචිත්ත සූත්‍රය, සීතිභාව සූත්‍රය, බොජ්ඣඞ්ගකෝසල්ල සූත්‍රය යන සූත්‍රාන්ත තුන අසා කියවා කරුණු දැන ගෙන ඒ අනුව වීර්යය හා සමාධිය සමබර ලෙසින් පවත්වා ගැනීම පිළිබඳ ව පුහුණු විය යුතු ය. දශවිධ මනසිකාරකෝසල්ලය සම්පූර්ණ වන්නේ එ විට ය.


අටවන කරුණ වන්නේ අධිචිත්ත සුත්‍රය යි. "මහණෙනි, අධිචිත්ත හෙවත් සමථ-විපස්සනා චිත්තසමාධිය වැඩීමෙහි යෙදුණු භික‍ෂුව විසින් කලින් කල ට නිමිති තුනක් හෙවත් කරුණු තුනක් මෙනෙහි කළ යුතු ය. එ නම්, කලින් කල ට සමාධි (ඒකාග්‍රතා) - නිමිත්ත මෙනෙහි කළ යුතු ය. කලින් කල ට පග්ගහ (වීර්ය) - නිමිත්ත මෙනෙහි කළ යුතු ය. කලින් කල ට උපේක‍ෂා (සති-මධ්‍යස්ථ) - නිමිත්ත මෙනෙහි කළ යුතු ය. වැඩිදුර කරුණු සඳහා අධිචිත්ත සුත්‍රය කියවන්න.


නව වන කරුණ වන්නේ සිතිභාව සුත්‍රයේ එන කරුණු පෙළ ය.
1. මහණෙනි, මෙහි (බුදුසසුනෙ හි) යෝගාවචර භික‍ෂුව යම් අවස්ථාවක සිත ට නිග්‍රහ (සමාධියෙන් දමනය කිරීම) කළ යුතු නම්, එ ම අවස්ථාවෙහි සිත ට නිග්‍රහ කරයි.
2. මහණෙනි, මෙහි යෝගාවචර භික‍ෂුව යම් අවස්ථාවක සිත වීර්යයෙන් නගා සිටුවිය යුතු නම්, එම අවස්ථාවෙ හි සිත වීර්යයෙන් නගා සිටුවයි.
3. සිත සමාධියෙන් පහන් කළ යුතු, සතුටු කළ යුතු අවස්ථාවන් හි එ සේ සිත සතුටු කරවයි.
4. යම් අවස්ථාවක සිත උපේක‍ෂාවෙන් තැබිය යුතු නම්, එ ම අවස්ථාවෙ හි සිත උපේක‍ෂාවෙන් තබයි.
5. පධෑතාධිමුත්තික හෙවත් මාර්ග-ඵල සාක‍ෂාත් කිරීමේ අදහසින් යුතු වෙයි.
6. නිවනෙ හි ඇලුණු සිතැත්තෙක් වෙයි.

වැඩිදුර කරුණු සඳහා  සිතිභාව සුත්‍රය කියවන්න.

දසවන කරුණ වන්නේ බොජ්ඣඞ්ගකෝසල්ල සූත්‍රය යි. 
"මහණෙනි, යම් අවස්ථාවක සිත ථීනමිද්ධය නිසා හැකිළී ගියේ ද එම අවස්ථාව පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීම ට සුදුසු අවස්ථාවක් නො වේ", යනුවෙන් එ ම සූත්‍රයෙ හි දැක් වේ.
වැඩිදුර කරුණු සඳහා  බොජ්ඣඞ්ගකෝසල්ල සුත්‍රය කියවන්න.

මේ අයුරින් පිළිකුල් භාවනාව වැඩීම තුළින් නිවන සාක්ෂාත් කරගත හැකි ය. මෙ ම ලිපිපෙළ තුළින් මා උත්සාහ කළේ "මම", "මගේ" කියා මෙතෙක් කල් අල්ලාගෙන සිටි දෙතිස් කුණපයන්ගෙන් යුතු මේ නිස්සාරවත් ශරීරය පිළිබඳ ව යථාරථය . මෙ හි දැක්වෙන රුපසටහන් සහ වීඩියෝ දර්ශන නැරඹීම තුළින් පිළිකුල් භාවනාව සඳහා ප්‍රවේශයක්‌ ලබා ගත හැකි ය. භාවනා සිදුකිරීමේ දී ඒ සඳහා ඇති ස්ථානවල ට ගොස් භාවනා කිරීම යෝග්‍ය වේ. සැම ට මේ තුළින් නිවන ම වේ වා! 

මේ ලිපි පෙළ සකස් කිරීමේ දී මුලාශ්‍ර රැසක් උපයෝගී කරගන්න ට සිදු විය.  එ ම සියලු ධර්ම දානයන් සිදු කළ හිමිවරු ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන ම ලබත් වා!
  • පටික්කූලමනසිකාර භාවනාව - නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ
  • සතිපට්ඨාන භාවනා - අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන‍ද්‍රයන් වහන්සේ
  • කායානුපස්සනා භාවනා - පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි
  • අතිරේක කියවීම් : මජඣීම නිකාය මහා හත්ථිපදෝපම සූත්‍රය
තෙරුවන්  සරණ යි!

5 comments:

  1. ඔබට පින්. බොහොම මහන්සි වෙලා ලිපි පෙළ ලියලා තියෙනවා. දෙතිස් කුණප ගැන නම් විදියට අහලා තිබුනට සමහර ඒවා දැකලා තිබුනේ නැහැ. විස්තරයත් එක්ක දකිනකොට මේ සිරුරේ නිසරු බව හොඳට තේරෙනවා. ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න. අපි දිගටම කියවනවා.

    ReplyDelete
  2. සොයුර,
    ඔබ විසින් සඳහන් කර ඇති අධිචිත්ත සූත්‍රය සහ බොජ්ඣඞ්ගකෝසල්ල සූත්‍රය ත්‍රිපිටකයේ ඇති තැන් පිළිබඳව සඳහනක් කරන්නේ නම් මහා පිනකි.
    තෙරුවන් සරණයි!

    ReplyDelete
  3. සොයුර,
    ඔබ විසින් සඳහන් කර ඇති අධිචිත්ත සූත්‍රය සහ බොජ්ඣඞ්ගකෝසල්ල සූත්‍රය ත්‍රිපිටකයේ ඇති තැන් පිළිබඳව සඳහනක් කරන්නේ නම් මහා පිනකි.
    තෙරුවන් සරණයි!

    ReplyDelete
  4. ගොඩක් පින්

    ReplyDelete
  5. ගොඩක් පිං

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...