"දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්ස සතං
මාතු පාදං නමා මහං"
දසමාසයක් දුක් විඳ මා හැදු අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
නිවසේ බුදුන් ය යි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පා යුග වඳිමි මම ආදර අම්මේ
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහත් ගෞරවය ට පාත්‍ර වූ උතුම් මව් පදවිය බුදු පදවිය ට පමණක් දෙවැනි වේ. එ ම උතුම් පදවිය ලබාගත හැක්කේ ගැහැණියක ට ම පමණි.
අප බෝසතුන් බුදුවන බව ට පළමු ව විවරණය ලබා දුන්නේ ද, ස්වකීය දයාබර මෑණියන් ම ය. ඒ තම ජීවිතය පරදුවට තබා මෑණියන් ගේ ජීවිතය රක්ෂා කිරීම ට ධෛර්යයෙන් හා උත්සාහයෙන් යුතු ව කටයුතු කළ නිසා ය. බෝසතුන් ගේ සිත ට, හදවත ට මුලින් ම බුදු වේ වා! යන ප්‍රාර්ථනය සිදුකළේ ආදරණීය අම්මා ය.
එ මෙන් ම බුද්ධත්වයෙන් සත්වැනි වසරේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරු ම කොටස වන අභිධර්මය දේශනා කිරීම ට බුදුරදුන් තව්තිසා දෙව්ලොව ට වැඩම කළේ ද, තම මව ට කරන ගෞරවයක් ලෙසිනි.
තම දරුවන් වෙනුවෙන් අන් කවර සිතකවත් ඇති නො වන්නා වූ ආදරණීය හැඟීම් ජනනය වනුයේ මවක ගේ හදගැබ තුළ පමණි. ඒ අනුව මව් සිත තුළ දරුවන් වෙනුවෙන් කැකෑරෙන්නා වූ චිත්ත සන්තතිය කිව හැක්කේ තව ත් මවක ට පමණි.
සියලු ම මිනිසුන් ගේ ජීවිතවල පවතින අන්ධකාරය දුරුකර ජීවිතය ආලෝකමත් කරමින් පහන් ටැඹක් වන්නේ උතුම් වූ මව් පදවිය යි. ජීවිතයේ සියලු දුක් කම්කටොලු ඉවසා දරාගෙන ඉන්ද්‍රකීලයක් මෙන් නො සැලී හිඳ දාරක ප්‍රේමය පෙරටු කොට හිඳින මව්වරු සමස්ත ලෝකයා ට ම ආශිර්වාදයකි.