නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මේ මාසය සඳහා සකස් කෙරෙන අවසාන ලිපිය මෙය යි. මේ මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් සකස් කරන ලෙස ඉල්ලා සිටි නිසා ම මෙය සකස් කරන්නට යෙදුනි.
තෙරුවන් සරණ ගිය පමණින් ම යමෙක් බෞද්ධයකු වන්නේ ද? නමට තෙරුවන් සරණ නො යා සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ යන්නේ නම් පමණක් ඔහු බෞද්ධයකු ලෙස හැඳින්වීම උචිත බව මා ගේ අදහසයි. බුද්ධාදී රතනත්‍රය සත්වයා ට මහත් පිහිටක් වන බව අවිවාදාත්මක ය. නමුත් මිත්‍යාදෘෂ්ටියෙන් වැසුනු සිත් ඇති බොහෝ දෙනා රතනත්‍රය සුළුකොට සලකා දෙවියන් ගේ පිහිට සොයති. තුණුරුවන් සරණ ගිය බෞද්ධයා උපාසක නමින් හැඳින් වේ.
බෞද්ධ ගිහි සමාජයේ පුරුෂ පක්ෂය උපාසක නමින්ද ස්ත්‍රී පක්ෂය උපාසිකා නමින් ද හැඳින්වෙන බව අපි දනිමු. බෞද්ධ ගිහි සමාජය විසින් පිළිපැදිය යුතු මූලික ආචාර ධර්ම පද්ධතියක් වේ. එය පන්සිල් නමින් හැඳින්වෙන ශික්ෂා පද පහ යි.