Saturday, October 12, 2013

අසිරිමත් ධාතු පෙළහර. (02-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබීය. මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයකි.

දන්ත ධාතූන් වහන්සේලා 

සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද උතුම් දන්ත ධාතුන් වහන්සේලා අද දිනයේ පවා ජීවමාන බුදුරදුන් ට කෙරෙන සියලු පුද සත්කාරයන් ලබමින් අපාරිමිත දෙව් මිනිසුන් ගේ පුජා මධ්‍යයේ වැඩවසති. අප සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී මුඛයේ දන්තයෝ සතළිසක් විය. ඒ දන්තයන් අතර සිදුරු, හිඩැස් නො වී ය. එ සේ ම දත් උස නො වී ය, කෙටි නො වී ය, ඇල නො වී ය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සම ව පිහිටා තිබුණි. මේ පිලිබඳ දීඝ නිකායේ ලක්ඛණ සුත්‍රයේ සඳහන් වේ. 

එයින් දන්ත ධාතුන් වහන්සේලා සතර නමක් මනුලොව වැඩසිටියි. අනෙකුත දන්ත ධාතුන් වහන්සේලා නොයෙක් සක්වළ වැඩවාසය කරති. ශ්‍රී මුඛයේ පිහිටි රදනක දත් සතර, සතර දළදා වහන්සේ ලෙසින් මෙ ලොව වැඩවසති. එයින් දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් ම ශ්‍රී ලංකාද්වීපයේ වැඩවසති. වම් යටි දළදා වහන්සේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය තුළ ද, දකුණු දළදා වහන්සේ නමක් සෝමාවතී සෑ රදුන් තුළ ද, වැඩවාසය කරති.

දකුණු දළදා වහන්සේලා දෙනම 

සෝමාවතී සෑ රදුන් තුළ වැඩවසන්නේ උඩු දළදා වහන්සේ නමක් ද, යටි දළදා වහන්සේ නමක් ද, යනවග නිශ්චිත ව ම කිව නො හැකි ය. කෙ සේ වෙතත් මෙ ම දළදා වහන්සේ ධාතු බෙදන අවස්ථාවේ ජයසේන නම් වූ නා රජෙක් විසින් නාග ලොවට ගෙන යන ලද බව ඉතිහාසයේ දැක්වේ. කාවන්තිස්ස රජ සමයෙ හි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කරන ලද අතර අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් ඉදි කළේ ය. එය "සෝමාවතී සෑය" නම් වෙයි. මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීම ට ත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බව යි. 



අනෙක් දකුණු දළදා වහන්සේ පිලිබඳ විස්තර මෙ සේ දැක්වෙයි. දෙව්ලෝවට අධිපති සක්දෙව් රජු ධාතූන් අතර බුදු රජාණන් වහන්සේ ගේ දකුණු දළදාව නො දැක්කේ ය. දළදා වහන්සේ කවරෙකු විසින් ගනු ලැබුවේ දැ යි දිවැසියන් බලන්නේ ද්‍රෝණ බමුණා ජටාව තුළ සඟවාගෙන සිටිනු දුටුවේ ය. මෙ ම දළදා වහන්සේට පුදසත්කාර කිරීමට ද්‍රෝණ බමුණාට හැකි දැ යි දිවැසින් බලන්නේ නො හැකි බව දුටුවේ ය.

එ හෙයින් ධාතූන් වහන්සේ මොහුගෙන් ගනිමි යි සිතා සියුම් අතක් මවා ජටාවෙන් දකුණු දළදා වහන්සේ ගෙන රන් කරඬුව තැන්පත් කළේ ය. තැන්පත්කොට හිසමුදුනේ තබාගෙන දෙව්ලොවට ගෙනගොස් සිළුමිණි මහා සෑයේ තැන්පත් කොට පුද සත්කාර කළේ ය. මෙ සේ බුදු රජාණන් වහන්සේගේ එක් දකුණු දළදා වහන්සේ නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය තුළ වැඩ සිටිති.

වම් යටි දළදාව


ධර්ම සේනාධිපති සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයකු වු ඛේම නම් මහ රහතන් වහන්සේ චිතකයේ ගිණි නිවිමටත් මත්තෙන් බුදු රජාණන් වහන්සේ ගේ වම් යටි දළදා වහන්සේ ගෙන ගොස් කාලිංග දේශයෙ හි රජතුමාට භාර දුන්නේ ය. මුලින් මිසදිටුවෙකු වු රජතුමා මහ තෙරුන් නිසා දහමෙ හි පැහැදී බුදු දහම වැළඳ ගත්තේ ය. මෙ තුමා ඉතා අලංකාර මන්දිරයක් තනවා ධාතූන් වහන්සේ එ හි තැන්පත් කොට ධාතු පූජා පැවැත්වි ය. මෙ සේ වසර 800 ක කාලයක් දළදා වහන්සේ කාලිංග දේශයේ රජ දරුවන්ගේ සත්කාර ලබමින් දඹදිව වැඩ සිටිය හ. පසු කාලීන ව එරට පාලනය කළ ගුහසිව රජතුමා පරසතුරු උදුරුවලින් ධාතූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීමට හේමමාලා කුමරියට හා දන්ත කුමරුට බාර දි ලක්දිවට යාමට උපදෙස් දුන්නේ ය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුළ සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද, සමගින් නැව් නැගී ලක්දිවට පැමිණි අතර කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළ හ. එවක දන්ත ධාතුන් වහන්සේ ගේ භාරකාරීත්වය හිමි වූයේ අභයගිරි විහාරය ට ය. සියවස් ගණනාවකින් පසු අදදින මහනුවර ශ්‍රී දළදා මැදුරේ වම් යටි දළදාව වැඩවාසය කරනු ලබයි.



වම් උඩු දළදාව

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අවස්ථාවේ බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේ ය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතු ව එ ම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රට ට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය. ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ත ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ යි නිශ්චිත ව කිව නො හැක්කේ ඒ පිළිබඳ ව වැඩි විස්තරයක් සදහන් නො වන නිසා වෙනි.

අද දිනයට (2013.10.12) මෙ ම බ්ලොග් අඩවිය ආරම්භ කර වසර දෙකක් සම්පූර්ණ වී ඇත. ගත වූ වසර දෙකක කාලය තුළ ලිපි අසූවකට අධික ප්‍රමාණයක් සම්පාදනය කරන්නට යෙදුනෙමු. බ්ලොග් අඩවිය කියවීම සඳහා ලොවපුරා සිටින සැදැහැති පිරිස් පැමිණි වාරයන් ප්‍රමාණය තිස්දහසකට ආසන්න ය. 

මීළඟ ලිපිය තුළින් ගෞතම බුදුරදුන් ගේ අනෙකුත් සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. 

තෙරුවන් සරණ යි!

6 comments:

  1. සාදු සාදු දිගටම ලියන්න

    ReplyDelete
  2. GODAAAK PIN DIGATAMA LIYANNA

    ReplyDelete
  3. කාලයක් හොයපු දෙයක් හරියටම දැනගත්තා .බොහෝ පිං මලයෝ.

    ReplyDelete
  4. oyata godak pin .mewage lipi balala godak dewal dena gattha.e pin obatai

    ReplyDelete
  5. සාදූ..සාදූ..සාදූ.
    දිගටම.ලියන්න. තෙරුවන් සරණයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...