Thursday, October 20, 2011

කඨින චීවර පූජාව - (03)කොටස.

කඨින චීවර පූජාව (01)කොටස හා කඨින චීවර පූජාව (02)කොටස තුළින් පිළිවෙළින් කඨින  චීවර පූජාවේ ආරම්භය හා කඨින චීවර පූජාවේ අනුසස්  පිළිබඳ ව කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙ ම (03) කොටස මගින් වස් කාල සීමාව තුළ දී භික්ෂූන් වහන්සේලා ට වෙන් වූ විනය නීති මාලාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි.

වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවන්. 

වස් කාලයේ දී භික්ෂූන් ට වෙන් වූ විනය නීති මාලාවක් බුදුරදුන් අනුදැන වදාරා ඇත. "අනුජානාම් භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං" යනුවෙන් ‘මහණෙනි, වස්සාන කාළයෙහි වස් එළඹීම ට අවසර දෙමියි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක සංඝයා ට වස්සූපනායික ශික්‍ෂාපදය පැනවු හ. 

පෙරවස් විසීම හා පසුවස් විසීම.

පෙරවස් විසීම හා පසු වස් විසීම යනුවෙන් වස් එළඹීම් දෙකකි. ඇසළ මස පුර පසළොස්වක ට පසු අව පෑළවිය දා පෙරවස් විසීම ත්, නිකිණි මස පුරපසළොස්වක ට පසු අව පෑළවිය දා පසුවස් විසීම ත්, සිදු වෙන අතර පෙරවස් සමාදම් වීම ට නො හැකි වූ උපසපන් භික්‍ෂූන් පසුවස් සමාදම් වීම කළ යුතු ය.
නමුත් කඨින චීවරය ලැබීම ට පසුවස් සමාදන් වූ භික්ෂුව ට අවසර නැත.
වස් සමාදන් වීම.

දායක පින්වතුන් ගේ ආරාධනාව ඇති ව දැහැත් ගොටු හා වැසි සළු ලබා වස් විසීම ට ආරාධනා ලැබීම සම්ප්‍රදාය වේ. ආරාධනා ඇති ව හෝ නැති ව වස් විසීම උපසම්පදා භික්ෂුව ගේ වගකීමකි. වස් සමාදන් වීම ට සුදුසු ආරාමයක -මෙ ම තුන් මාසය ම කාලය ගත කරන්නෙමි- යන හැඟීම ඇති ව "ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපෙමි ඉධ වස්සං උපෙමි." යන පාඨය කියා වස් සමාදන් විය යුතු වේ.

වස් විසිය යුතු ස්ථාන හා නො විසිය යුතු ස්ථාන.

උළු, ගඩොල්, ගල්, තෘණ, පිදුරු, කොළ ආදියෙන් වහල සෙවිළි කළ දොර, වහල,  ආදියෙන් සුරක්ෂිත ස්ථානවල ත්, නැව, ගැල ආදියෙ හි ත්, වස් විසීම ට අවසර දී ඇත.ගස් බෙනවල, විශාල ගස් අතු අතර සොහොන් බිම්වල, විශාල කුඩ, විශාල හැලි ආදියේ, එළිමහන් ස්ථානවල ත්, දොරවල් වහලවල් නොමැති තැන්වල ත්, වස් විසීම නො කළ යුතු වේ. එ වැනි නුසුදුසු ස්ථානවල වස් වසන්නේ නම් "දුකුලා ඇවැත්" සිදු වේ.
  
වස් විසූ ස්ථානය වෙනස් කිරීමෙන් ඇවැත් නො වන අවස්ථා.

වස් විසූ ස්ථානවල යම් යම් කරදර විපත්තීන් ගෙන් යුක්ත තැන්වල සිටීම අවදානම් නම් ඒ ස්ථානවලින් ඉවත් ව යාම ඇවැත් සිදු නො වේ. සර්පයන්ගෙන් රුදුරු සිව්පාවන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, විපත් වේ නම් එ වැනි ස්ථාන හා නිසි ප්‍රත්‍ය පහසුකම් නැති සංඝ භේදය ට හෝ සීලය ට අන්තරායකර හේතු ඇති විට සත්තාහකරණයෙන් තොර ව ආරාමයෙන් ඉවත් ව යාම ඇවැත් සිදු නො වන බව දැක් වේ.

වස් සමයේ ආරාමයෙන් බැහැර ව යා යුතු පිළිවෙළ.

වස් සමාදන් වූ භික්ෂුව වස් සීමාවෙන් බැහැර ව යන විට මෙ සේ සිහිකළ යුතු වේ. -මම මේ ස්ථානයෙ හි වස් සමාදන් ව සිටිමි- යි යන බව සිතෙ හි තබා එ දින ම ආරාමය ට පැමිණෙමි යන හැඟීමෙන් වස් විසූ ආරාමයෙන් බැහැර වීම "සතිකරණය" යනුවෙන් සඳහන් වෙයි. 

එ දින ම වස් විසූ ආරාමය ට නො පැමිණේ නම් සත්තාහකරණයෙන් ම යා යුතු වේ. සත්තාහකරණය යනු තමා වස් විසූ අරමින් පිට වූ දින සිට දින හතක් ඉක්මෙන්න ට පෙර නැවත ත් වස් විසූ ආරාමය ට පැමිණිමේ අපේක්ෂාවෙන් ම යා ය. එ සේ යාමේ දී මේ පාඨය කියා සත්තාහකරණය යුතු වේ. 
"සචේ මේ අන්තරායෝ න භවෙය්‍ය සත්තාහබ්භන්තරේ පුනනිවත්තිස්සාමි" 
එ හි අර්ථය වන්නේ ඉදින් මට අනතුරක් නො වූයේ නම් දින හතක් අරුණ නැගෙන්න ට පෙර වස් විසූ ආරාමය ට පැමිණෙමි” යන්න වේ.

එ සේ සත්තාහකරණයෙන් වස් විසූ ආරාමයෙන් පිට වී යාම ට අවසර ඇත්තේ සත් දෙනෙකු වෙත ය. එ නම් භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂාමාණවක, සාමණේර, සාමණේරී, මව, පියා යන මොවුන් සත් දෙනා උදෙසා ආරාධනාවක් ඇති ව හෝ නැති ව සත්තාහකරණයෙන් යා හැකි ය.

අනෙක් කාලවල දී මෙන් නො ව වස් කාලයේ දී උපසම්පදා භික්ෂුවක් කොතරම් අත්‍යවශ්‍ය කටයුතු තිබුණ ත්, තමා වස් වැසි පන්සල තුළ රැඳී සිටිය යුතු ය. දින හයකට වඩා වැඩි කාලයක් පිට රැඳී සිටින්න ට ඒ අනුව උපසම්පදා වූ වස් වසන භික්ෂූන් වහන්සේ නමක ට නො හැකි ය. දින හයකට වඩා තමා වස් වාසය කරන විහාරස්ථානයෙන්  පිට ව සිටියහොත්, කඨින චීවරය ට ඇති හිමිකම අහිමි වේ.

කඨින චීවරය පිළිගැනීම.

පෙර වස් සමාදන් වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් තෙමස ඒ ශික්ෂාපද කඩ නො කොට ආරක්ෂා කර වප් පුර පසළොස්වක් පොහෝ දින මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුව ම කඨින චීවරය ලැබීම ට සුදුසුකම් ලබනු ඇත. පසුවස් සමාදන් වූ භික්ෂූන් ට හෝ වස් ශික්ෂාපදය ආරක්ෂා කර නො ගත් වස් බිඳගත්  භික්ෂුව ට කඨින චීවරය ලබා ගැනීම ට අවස්ථාවක් උදා නො වේ. නමුත් වස් සිවුරු පිළිගැනීම ට අවසර ඇත.

කඨින චීවරය පූජා කළ හැකි පුද්ගලයන්.

කඨින චීවරයක් පූජා කිරීම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, සික්ඛමානා, යන කොනෙකු ට හෝ දෙවියෙකු ට හෝ කළ හැකි ය.

දායකයා විසින් භික්ෂු සංඝයා ට පුජා කරන වාක්‍යය, සංඝයා විසින් කඨිනාස්තාරක භික්ෂුව ට දෙන කර්ම වාක්‍යය, ආදී වාක්‍යය කීපයක් කඨිනය පිළිබඳ ව ඇත්තේ ය. මෙ ම වාක්‍යයකින් පූජා කිරීම ට යෙදෙන වස්ත්‍රය සංඝාඨිය, (දෙපට සිවුර) උත්තරා සංඝය (තනිපට සිවුර) අන්තරවාසකය (අඳනය) යන තුන්සිවුරෙන් එකක ට පොහෝනා එකක් විය යුතු ය.

චීවරයක් වශයෙන් සකස් නො කරන ලද වස්ත්‍රය වුව ද, කඨින සිවුර සඳහා පූජා කරන බැවින් "කඨින චීවරං සංඝස්ස දෙම" -කඨින සිවුර සඝන ට දෙමු- යනුවෙන් කියා පූජා කිරීම විනය සම්ප්‍රදාය වෙයි.

කඨින චීවරය  ට නුසුදුසු වන වස්ත්‍රය.

පූජා කිරීම ට කලින් මසා සකස් කරන ලද සිවුර ද, සමහර විට දායකයන් විසින් කඨින සිවුරක් ලෙස පූජා කරනු ලැබේ. කලින් මසා සකසා ගත් සිවුර කඨිනය ට සුදුසු නො වෙයි. නියම කඨින චීවරය යනු දායකයන් විසින් සංඝයා ට දෙන ලද කඨින චීවර යැ යි කියන වස්ත්‍රය නො වේ. 

භික්ෂු සංඝයා විසින් කඨිනත්තාරක භික්ෂුව ට දෙන නිමවන ලද චීවරය යි. කඨින චීවරය පවරනු ලැබූ භික්ෂුව පැරණි සිවුරු "පරීක්ඛාර චෝල" නාමයෙන් පච්චුද්ධරණය කොට හෙවත් අධිෂ්ඨානයෙන් ඉවත් කොට කඨිනාස්ථරණය කළ යුතු ය. මෙය වාග් භේදයෙන් ම කළ යුතු යි. කඨින චීවරයක් සුවිසි මහා විපත්වලින් ම තොර විය යුතු යි. ඒවා විනය ග්‍රන්ථවල සඳහන් ව ඇත්තේ ය. 

කඨින චීවර පූජාවක් කළ හැක්කේ වසරක ට එක් වරක් පමණක් ය. එය ත් එක් මාසයක් ඇතුළත පමණක් ය. එය ත් පෙරවස් සමාදන් ව පවාරණය කළ භික්ෂුවක ට පමණක් ය. එ සේ ම එය පළමු ව දායකයන් විසින් සංඝයා ට ද, සංඝයා විසින් සුදුසු භික්ෂුවක ට ද, දිය යුතු ය. එ දින ම කපා මසා පඬුපොවා සකස් කර ගත්තක් ද, විය යුතු ය. 

මෙ වැනි කඨින චීවරයක් පස් නමක ට නො අඩු භික්ෂූන් හට සඟසතු කොට පුද කළ යුතු ය. එ විට එ ම භික්ෂූන් වහන්සේ විසින් එ ම  සිවුරු අනිත් දුර්වල භික්ෂු නමක ට පැවරිය හැකි ය.  එක භික්ෂු නමක ට එක වාරයක ට කඨින සිවුරු එකක් පමණක් ලබා ගත හැකි ය.

මේ ආදී බොහෝ නීති ඇති බැවින් මෙය අතිශය දුර්ලභ ගණයේ ඉතා උසස් මහා පුණ්‍ය කර්මයක් ලෙස සලකනු ලැබෙයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...