නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මේ ලිපි පෙළ ඔස්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ල පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි. මේ ලිපිය තුළින් ධාතූන් වහන්සේලා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරේ.
සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම.
බුද්ධත්වයට පත්වන උතුමන් වහන්සේ නමක ගේ පරිනිර්වාණයන් තුනක් පවතී. පළමුවැන්න නම් ක්ලේශ පරිනිර්වාණය යි. එය බුද්ධත්වය ට පත්වන අවස්ථාවේ දී සිදු වේ. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. දෙවැන්න නම් ස්කන්ධ පරිනිර්වාණය යි. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. තෙවැන්න නම් ධාතු පරිනිර්වාණය යි. එය අප ගෞතම බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තිය අනුව අනාගතයේ සිදු වේ.