නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මේ ලිපි පෙළ ඔස්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ල පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි. මේ ලිපිය තුළින් ධාතූන් වහන්සේලා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරේ.
සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම.
බුද්ධත්වයට පත්වන උතුමන් වහන්සේ නමක ගේ පරිනිර්වාණයන් තුනක් පවතී. පළමුවැන්න නම් ක්ලේශ පරිනිර්වාණය යි. එය බුද්ධත්වය ට පත්වන අවස්ථාවේ දී සිදු වේ. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. දෙවැන්න නම් ස්කන්ධ පරිනිර්වාණය යි. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. තෙවැන්න නම් ධාතු පරිනිර්වාණය යි. එය අප ගෞතම බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තිය අනුව අනාගතයේ සිදු වේ.
මෙ හි දී කිව යුතු තව ත් කරුණක් ඇත. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා ආදාහනයෙන් පසු විසිරිය යුතු ආකාරය උන්වහන්සේලා ගේ ම අධිෂ්ඨානය අනුව සිදු වේ. අප ගෞතම බුදුරදුන් ගේ ශාසනය දඹදිවෙන් බැහැර රටවලට එ තරම් ව්‍යාප්ත නො වී පැවතුනු බැවින් උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරීම සඳහා අධිෂ්ඨාන කරන ලදී. ඒ අනුව ධාතුන් වහන්සේලා ලෝකයේ විවිධ ප්‍රදේශයන් හි අද ට ද, පුද සත්කාර ලබමින් පවතී.
ප්‍රධාන වශයෙන් ලලාට ධාතුව, දෙඅකු ධාතු, ග්‍රීවා ධාතුව, කේශ ධාතූන් වහන්සේලා, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ හා සතර දන්ත ධාතූන් වහන්සේලා ද, කඩ සහල් ඇට හා මුං පියලි ප්‍රමාණයෙන් ධාතු කොටස් ද ඉතිරිව තිබුණි. ලලාට ධාතුව, දෙඅකු ධාතු, ග්‍රීවා ධාතුව හා සතර දන්ත ධාතූන් වහන්සේලා කුඩා කොටස්වලට නො බෙදී පැවතුනු අතර අනෙක් සියලු ම කොටස් ඉහත සඳහන් කල පරිදි කුඩා ප්‍රමාණයෙන් විසිරී පැවතුනි. විසිරුණු ධාතුන් ගේ ප්‍රමාණ හා වර්ණ ගැන මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කතාවේද සඳහන් ව ඇත. බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු රන්වන් පැහැයට හුරු ය. කඩසහල් තරමේ ධාතු මුතු පැහැති ය. අබ ඇට තරමේ ධාතු සමන් කැකුළු පැහැති ය.
සර්වඥ ධාතූන් වහන්සේලා රජවරු අතර බෙදී ගිය ආකාරය.
සර්වඥ ධාතුන් ලබාගැනීම සඳහා රජවරුන් අතර ආරවුලක් ඇතිවුණි. අවිහිංසාවාදී බුදුරදුන්ගේ ධාතුන් වෙනුවෙන් යුද්ධ කිරීම නොගැළපෙන බව පවසමින් ද්‍රෝණ බමුණා ධාතු බෙදා දෙන්නට ඉදිරිපත් විය. තරමින් විශාල ප්‍රමාණයේ ධාතු නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ද ධාතු ද නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ධාතු නැළි සයකි. මුළු ධාතු ප්‍රමාණය මගධ නැළියෙන් නැළි දහසයකි. ද්‍රෝණ වශයෙන් ගත් කල්හි ද්‍රෝණ අටකි.
ද්‍රෝණ බමුණා විවිධ ජනපදවලින් පැමිණි රජවරුන් අතර ධාතු නැලි අටක් බෙදුවේය. දළදා වහන්සේලා සිව්නම ද්‍රෝණ බමුණා සඟවා ගත්ත ද, බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තියෙන් ඒවා නිසි ස්ථානයන් කරා වැඩවීම සිදු විය. රජවරු ප්‍රදේශවල දාගැබ් තැනූහ. රාම ග්‍රාමයේ කෝලිය රජුන් තැනූ දාගැබ සේදී යාම නිසා එහි තිබූ සර්වඥ ධාතු නාගයන්ට ලැබුණි. අනුරපුර රුවන්වැලි සෑයෙහි තැන්පත් කිරීමට සෝණුත්තර තෙරණුවන් රැගෙන ආවේ නා රජුන් භාරයේ තිබුණ එම සර්වඥ ධාතු ද්‍රෝණය යි. සුමන සාමණේරයන් ථූපාරාමයේ තැන්පත් කිරීමට සක් දෙවිඳුගෙන් අකු ධාතුව ලබාගත් බව මහාවංසයේ දැක්වේ. ලලාට ධාතුව පැවැතියේ මලල රජදරුවන් සතුව යි. සේරුවාවිල හෝ තිස්සමහාරාම චෛත්‍යයෙහි ලලාට ධාතුව තිබෙන බව විශ්වාස කෙරේ. සෝමාවතී චෛත්‍යයෙහි දකුණු දළදාව තැන්පත් කර තිබේ.
පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනාගතයේ දී අන්‍ය තීර්ථකයින් අතින් ධාතුන් වහන්සේලාට අනතුරු සිදු විය හැකි බව දැක අජාසත්ත මහ රජු වෙත එළැඹ” මහ රජතුමනි, මේ වන විට ශාස්තෲන් වහන්සේ ගේ ධාතු බොහොමයක් ස්ථාන කිහිපයක ම නිදන් ගත ව පවතී. එය ඒ තරම් සුදුසු නැත. අනාගතයේ දී තීර්ථකයින් ගෙන් ධාතු ස්තුපයන්ට හානි සිදුවිය හැකි යි. මහ රජතුමනි, ඒ නිසා සියලු ධාතු එක්තැන් කර එක් ධාතු නිධානයක් කළයුතු ය” යි කී හ.
මෙය ඇසූ අජාසත්ත මහ රජු සතුටු වී “ස්වාමීනි,, මම ධාතු නිදන් කර මහා ස්තූපයක් කරවන්නෙමි. ඒත් ස්වාමීනි, බෙදා දුන් ධාතු නැවත ලබා ගන්නේ කෙසේ දැ?”යි ඇසීය.”මහ රජතුමනි, ඔබ ඒ ගැන වෙහෙස නොවන්න. ධාතු ගෙන ඒම අපට භාර යි. ඔබතුමා සෑය බඳින්නැ” යි මහා කාශ්‍යප මහ තෙරණුවෝ කීහ. මෙසේ කී මහා කාශ්‍යප මහ තෙරණුවෝ” මේ රාම ග්‍රාමයේ ධාතු ස්තූපයේ ඇති ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අනතුරක් නොවෙයි. නාගයින් ආරක්ෂා කරන මේ ධාතු ද්‍රෝණය අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන මහා ස්තූපයේ පිහිටන්නේ ය.
එබැවින් අනෙක් ස්තූපයන්ගෙන් ධාතු ගත යුතු ය” යි සිතූ හ. එ සේ සිතා රාම ග්‍රාමයේ ධාතු ස්තූපය හැර රජගහ නුවර ය, විශාලා මහනුවර ය, කිඹුල්වත් නුවර ය, අල්ලකප්පරට ය, වේඨදීපක නුවර ය, පාවා නුවර ය, කුසිනාරා නුවර ය යන මේ මහා නුවරවල් සතෙහි වූ ධාතු ස්තූප විවෘත කරවා වන්දනා කිරීමට ධාතු ස්වල්පයක් තබා ඉතිරි සියලු ධාතු ගෙන්වා ගත්හ.
මෙසේ ධාතු ලබා ගත් මහා කාශ්‍යප මහ තෙරණුවෝ අජාසත්ත මහ රජු සමඟින් රජගහ නුවර එක්තරා ස්ථානයක් වෙත එළැඹ “ මහ රජතුමනි, මෙතැන ධාතු නිධානය කළයුතු ය”යි කියා ඒ ස්ථානයෙහි මහ රජු ලවා ඉතා රහසිගත ව ස්තූපයක් කොට ධාතු එහි නිදන් කළහ. ධාතු නිදන් කර මල්, පහන්, සුවඳ දුම් පුදා “ මේ ස්තූපය තුළ ඇති මල් පර නොවේවා ! පහන් නොනිවේවා ! සුවඳ නොවැනසේවා !” යි කියා අදිටන් කළ සේක.
එ සේ කොට “අනාගතයේ දී “පියදස්සී” නම් රජ කුමාරයෙක් මේ මුළු ජම්බුද්වීපය ම එක්සේසත් කොට “ධර්මාශෝක” නමින් රජ බවට පත් වන්නේය. ඒ රජු මේ ස්තූපයේ ඇති සර්වඥයන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන දඹදිව පුරා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදුසසුන බබුළුවන්නේය. “යන දැන්වීම රන්පතක ලියවා එහි තැන්පත් කළ සේක. මේ අතර සක්දෙවි රජු ගේ නියෝගයෙන් දෙව්ලොව නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ධාතු ස්තූපයේ ආරක්ෂාවට “වාළසංඝාටි “ නම් වූ යන්ත්‍රය මැව්වේ ය.
පසු කලෙක ජම්බුද්වීප චක්‍රවර්තී ධර්මාශෝක මහ රජතුමා එක් මහ තෙරුන් වහන්සේ නමක ගේ මඟ පෙන්වීමෙන් මේ මහා සෑය හඳුනා ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා වාළසංඝාටි යන්ත්‍රය බිඳුවා ස්තූපය විවෘත කර රන්පතේ සඳහන් කර තිබූ පාඨය දැක “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මා දැක ඇතැ” යි කියා සතුටු වී ධාතු ගෙන දඹදිව හා ඒ අවට ප්‍රදේශවල ධාතු නිදන් කරමින් අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේ ය.
ලක්දිව ධාතු පෙළහර
ලක්දිව ථූපාරාමය තැනීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ සුමන සාමණේරයන් ලවා ධර්මාශෝක රජු වෙතින් බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයත් එම පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා ත් ගෙන්වා ගත් බව මහාවංශයේ දැක්වේ. ඒ ධාතු අශෝක රජු තමන්ට වන්දනා කිරීමට තබා ගත් ධාතුවලින් කොටසකි. දේවානම්පියතිස්ස රජු ධර්මාශෝක රජු ලබාදුන් ඒ ධාතුන් වහන්සේලා නිදන් කර ලක්දිව යොදුනෙන් යොදුන ස්තූප තැනුවේ ය.
රාම ග්‍රාම ස්තූපයේ සර්වඥ ධාතු ද්‍රෝණයක් තැන්පත් කර තිබුණි. මේ ස්තූපය තනා තිබුණේ ගං ඉවුරට ඉතා සමීපව ය. මේ නිසා වැඩි කල් යෑමට පෙර ගඟේ සැඩ පහරට හසු වූ ධාතු ස්තූපය ගං ඉවුරත් සමඟින්ම කඩා ගෙන ගඟට වැටුණි. ධාතු සහිත කරඬුව ගඟ දිගේ මහ මුහුදට ගසා ගෙන ගියේය. මාඤ්ජෙරික නාලොවේ නාගයෝ රැස් විහිදෙමින් තිබූ ධාතු කරඬුව දැක මාඤ්ඡෙරික නාග භවනට ගොස් මහා කෙළ නම් වූ නාරජුට මේ බව දැන්වූහ. මෙය ඇසූ නාරජු බොහෝ නාගයින් පිරිවරා ගෙන එතැනට ගොස් ධාතුන් වහන්සේලාට පුද සත්කාර කොට ධාතු කරඬුව හිස මත තබා ගෙන නාග භවනට ගොස් වටිනා රන් රිදී මුතු මැණික්වලින් ධාතු ගෙයක් තනවා ධාතු කරඬුව එහි තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා සැම කල්හි පුද සත්කාර කළේය.
දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය නිම කර වූ කල්හි මහ රහතන් වහන්සේලා ගේ උපදෙස් පරිදි සෝණුත්තර නම් වූ ෂඩ් අභිඥාලාභී සොළොස් හැවිරිදි සාමණේරයන් වහන්සේ නාලොවට වැඩම කර මහා කෙළ නාරජු සතුව පැවති සර්වඥයන් වහන්සේ ගේ ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙන නාගයින් ගේ දැඩි විරෝධය තිබිය දී ම පෙරළා වැඩම කළහ. දුටුගැමුණු මහ රජතුමා සෝණූත්තර සාමණේරයන් වහන්සේ නාලොවින් ගෙනා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට සූදානම් විය.
එ කල් හි බුදුරදුන් ගේ අදිටනකට අනුව කරඬුව විවෘත වී සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී බුදුරුව මවා යමා මහා පෙළහර දැක්වූහ. දුටුගැමුණු මහ රජතුමා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ තැන්පත් කළේය. එකල්හි මහත් වූ භූමිකම්පාවක් ඇති විය. තව බොහෝ අසිරිමත් දේවල් ද සිදුවිය.
මේ තරම් විශාල සර්වඥ ධාතු ප්‍රමාණයක් වැඩ සිටින ලෝකයේ එක ම ස්ථානය දුටුගැමුණු මහ රජතුමා ඉදිකළ ලක්දිවට අලංකාරයක් වූ රුවන්වැලි මහා සෑරදුන් ය. එබැවින් මේ ස්තූපයට “මහා ස්තූපය” යනුවෙන් කියනු ලැබේ. රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීමේ මහා පුණ්‍යෙීත්සවය සඳහා ඉන්දියාවෙන් පමණක් නොව පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, ඇලෙක්සැන්ඩ්‍රියාව යන බොහෝ දුර ඈත පිහිටි රටවල්වලින් ද ලක්ෂ ගණන් මහ රහතුන් වැඩම කර ඇත. රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීමට නාලොවින් ධාතු ගෙනා අයුරු ත් මහා සෑය තැනූ අයුරුත් මහාවංශයේ මෙන් ම ථූපවංශයේ ද විස්තර වශයෙන් දැක්වේ.
අනුරාධපුර මිරිසවැටි මහා සෑය තුළ සර්වඥ ධාතු තැන්පත් කර ඇති දුටුගැමුණු මහ රජතුමාගේ ජයකොන්තය (කුන්තායුධය) නිදන් කර ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මිරිසවැටි මහා සෑය පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර පන්සියයක් මහ රහතුන් සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
වළගම්බා මහ රජු කර වූ අභයගිරි මහා ස්තූපය තුළ ද සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. ජනප්‍රවාදයකට අනුව රනින් කරන ලද වෘෂභයෙකු ගේ උදරය තුළට සර්වඥ ධාතු පුරවා ධාතු සහිත ඒ වෘෂභ රූපය ස්තූපය තුළ නිදන් කර ඇත. අභයගිරි මහා ස්තූපය වන්දනා කිරීමට යොදා ගන්නා පාලි ගාථාවේ මේ බව දැක්වෙයි.
අනුරාධපුරයේ ජේතවනාරාමය, ලංකාරාමය, ඉසුරුමුනිය ආදී ස්තූප තුළ ද දකුණු පළාතේ කසාගල, මැණික් වෙහෙර, යටාල වෙහෙර, තිස්සමහාරාමය, සඳගිරිය, කතරගම කිරිවෙහෙර ආදී තවත් බොහෝ පුරාණ ස්තූපයන්හි බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්ස්ලා නිදන් කර ඇත.
ධාතු පරිනිර්වාණය
බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇති බව ආරම්භයේ දී ම සඳහන් කරන්නට යෙදුනි. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. එයින් දෙකක් ම මේ වන විට සිදු වී අවසාන ය. තුන්වැන්න එ නම් ධාතු පරිනිර්වාණය මතු අනාගතයේ දී සිදු වීම ට නියමිත ය.
මිනිසුන් ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුරජානන්වහන්සේ ජිවමාන කල කලාවු අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින් ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් වෙයි. එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති. එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති. එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.
ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.
ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.
එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි. මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.
එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.
මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි මෙ සේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.
මේ අයුරින් අනාගතයේ ධාතු පරිනිර්වාණය සිදු වීම ත්, සමග ගෞතම බුද්ධ ශාසනය ලොවින් අන්තර්ධාන වූ බව කියැවේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේ ගේ අධිෂ්ඨානයෙන් පිහිටුවා ඇති ශ්‍රී පාද ලාංඡනයන් ද, ඒ අවස්ථාවේ දී නො පෙනී යන බව කියැවේ.
මෙ ම ලිපියෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ගේ ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කරන්නට යෙදුනි. මීළඟ ලිපි තුළින් සියලු ධාතුන් වහන්සේලා පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමට නියමිත ය.
තෙරුවන් සරණ යි!
පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අසිරිමත් ධාතු පෙළහර නම් වූ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම සඳහා පිවිසෙන්න...
පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අසිරිමත් ධාතු පෙළහර නම් වූ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම සඳහා පිවිසෙන්න...
මූලාශ්‍ර :-
සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය, මහාවංශය, අනාගත වංශය.
Sadu Sadu Sadu!
ReplyDeleteතුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා!