Friday, January 27, 2012

පිරිතක අනුසස්

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මේ ලිපිය ලියන්න ට මුලික ව ම හේතු  වූ කරුණු වන්නේ පෙර මා විසින් පල කරන ලද "නිවැරදි පිරිතක ආනිශංස" ලිපිය වෙත ඉදිරිපත් වූ පාඨක අදහස් ය. එ හි දී අප විසින් සකස් කළ පිරිත් ග්‍රන්ථය පලකරනු විනා පිරිත් දේශනා පිළිබඳ ව ගැඹුරින් ලියන්න ට උත්සාහ නො දැරුවේ තවදුර ට ත් ලිපිය දීර්ඝ වන බැවිනි. නමුත් මේ ලිපිය තුළින් ඉදිරිපත් වූ සියලු කරුණු පිළිබඳ සවිස්තර ව උදාහරණ සහිත ව සාකච්ඡා කිරීම ට මම බලාපොරොත්තු වෙමි.

දෙවන කරුණ ලෙස පිරිත් දේශනා කළ යුතු භාෂා මාධ්‍යය හෙළ බස බව ත්, පාලිය නො වන බව ත්, ඇතැම් අය ප්‍රකාශ කර සිටියා. මේ කරුණ පිළිබඳ ව ද, මේ ලිපියෙන් පිළිතුරක් සපයන්න ට බලාපොරොත්තු වෙමි. තෙවනුව පිරිත් දේශනය පිළිබඳ ජනතාව තුළ ඇති කිරීමට උත්සහ ගන්නා වැරදි මතය යි.  ඊට ප්‍රථමයෙන් පෙර ලිපියේ සඳහන් කරන්න ට යෙදුනු පිරිත පිළිබඳ කෙටි විස්තරය තුළින් ම මේ ලිපිය ඇරඹීම ට මා සිත් විය.

"පරිත්ත" යන පාලි පදය සිංහලය ට "පිරිත්" ලෙස නගා ඇත. පිරිතක පදනම වන්නේ තෙරුවන් කෙරෙහි සත්‍යක්‍රියා ක්‍රියා කිරීම යි. පරි + අත්ථ = පිරිත් කිසියම් පර්යායක ට අනුව අර්ථවත් දෙයක් නගා ඇත්නම් එය මෙ සේ හඳුන්වයි. අක්ෂර ගණ, මාත්‍ර හා ස්වර පිහිටුවමින් මනා ව අර්ථය දැන අපරිමිත ආශිර්වාද ලැබෙණ සේ පිරිත් සජ්ඣායනා කරයි. බුද්ධ භාෂාව පාලි බස ය. එ බැවින් පිරිත් දේශනා සිදුකෙරෙන්නේ ද, පාලි භාෂාවෙනි.

මේ ඉතා කෙටියෙන් විස්තර කර ඇත්තේ ඉතා පුළුල් කරුණු කිහිපයකි. දැන් ඉහත කරුණු ද, සිත් හි දරාගෙන මාතෘකාව ට ප්‍රවේශ වෙමු.

ඇයි මිනිසුන් ට පිරිතක් අවශ්‍ය.

 
ඇයි මිනිසුන් ට ආගමක් අවශ්‍ය කියා ඔබෙන් විමසුවහොත් ඊට එක එල්ලේ ම දෙන පිළිතුර වන්නේ මිනිසුන් ගේ දෛනික දිවිපැවැත්ම සාර්ථක කර ගැනීම ට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම හා මරණයෙන් මතු සැපතක් (සදාකාලික සැපතක්) ලබා දීම යන කරුණු දෙක තෘප්ත කරගැනීම ට ආගමක් අවශ්‍ය බව යි. එය ට එක් වචනයකින් පිළිතුරු දෙන්නේ නම් මිනිසා ට ආගමක් අවශ්‍ය වන්නේ "බිය" නිසා ය. වසර 2600 මුළුල්ලේ පවත්නා බුදුදහම ද, උක්ත දෙඅංශය සඳහා ම මගපෙන්වීම සිදුකර ඇත. බිහිසුණු වසංගත රෝග, දරුණු නියඟ, සාගත, වර්ෂාව, සතුරු උවදුරු ආදී දේ දුරු කරගැනීම සඳහා අතීතයේ සිට ම මිනිසුන් ඒ පිළිබඳ ව උනන්දු විය. එ දා මිනිසුන් මේ තත්ව පිළිබඳ යථාර්ථය නො දැන මේ සෑම සිදුවීමක ට ම අදෘශ්‍යමාන බලවේගයක්, ඇති බව සිතී ය. එ ම අදෘශ්‍යමාන ශක්තිය දෙවියන් බව ට කාලයක දී පත් විය. දෙවියන් ගේ අනුකම්පාව ලබා ගැනීම ට දේව ස්තොත්‍ර ගායනය කළේ ය. ආදිතම ඍග් ගීත ප්‍රභව වන්නේ මේ නිසා ය. ගීත ගායනයෙන් නො සෑහුනු ඔවුහු අනතුරු ව යාග සිදු කරන්න ට පෙළඹුණි. ස්වභාව ධර්මය ට ආරෝපණය කළ දේව සංකල්පය පසුකාලීන ව තිස්තුන්කෝටියක් දක්වා වර්ධනය වූ අයුරින් ම යාගය ද, වර්ධනය වී බුදුසමය වන විට මහා සත්ව ඝාතනයක් බව ට පත් ව පරිවර්තනය වී තිබුනි. අශ්වමේධ, පුරිසමේධ, වාජපේය, නීරග්ගල ආදී තත්වවල ට පත් ව තිබුනි. මෙය ට අමතර ව දෙවියන් ට ඇසෙන සේ මහත් හඬින් තම විලාපයන් ඉදිරිපත් කිරීම ගොඩනැගුනි. පසුකාලීන ව එය යාඥා,මන්ත්‍ර බව ට පත් විය.

නමුත් බුදු දහම තුළ මෙය ට හාත්පසින් වෙනස් දර්ශනයක් මතුකර ඇත. 



"බියෙන් තැතිගත් මිනිස්සු පර්වත ද, වන ආරාම ද, වෘක්ෂ ද, චෛත්‍යය ද, බොහෝ සේ සරණ යති. එහෙත් මේ කිසිවක් නිරුපද්‍රිත පිහිටක් නො වේ. මේ කිසිවක් උතුම් පිහිටක් නො වේ. මේ කිසිවක් නිසා සියලු දුකින් මිදීම සිදු නො වේ."

"යමෙක් වනාහි බුදුන්, දහම්, සඟුන් සරණ ගියේ නම් දුක ත්, දුක ඉපදීමේ හේතුව ත්, දුක නැති කිරීම ත්, දුක නැති කිරීමේ මාර්ගය ත්, යන සතර ආර්යයන් දන්නේ ය."

"ඒකාන්තයෙන් මෙය ක්ෂේම වූ පිහිට වෙයි. තෙරුවන් සරණ යෑම හා චතුර්සත්‍ය අවබෝධය නිසා හෙතෙම දුකින් මිදේ."

භීතියෙන් ත්‍රස්ථ වන සත්වයා ගස්, ගල් සරණ යෑම අධිගෘහිත දෙවියන් සරණ යෑම සිදු කළ ද, එය නියම උතුම් සරණ යෑමක් නො වන බව ඉහත ගාථාවන් හි අර්ථයෙන් විද්‍යමාන වේ.

මෙය ධජග්ග පිරිතෙ හි මෙ සේ දේශනා කර ඇත. (කොටසක් පමණි)
"තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං, වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේථා පි නෝ පි පහීයේථ, තං කිස්ස හේතු?සක්කෝ භික්ඛවේ දේවාන මින්දෝ අවීතරාගෝ අවීතදෝසෝ අවීතමෝහෝ භීරුච්ඡම්භි උත්‍රාසි පලායී ති."

මහණෙනි, සක්දෙව් රජු ගේ ධ්වජාග්‍රය බලනවුන් ට හෝ ප්‍රජාපතී දෙව් රජු ගේ ධ්වජාග්‍රය බලනවුන් ට හෝ වරුණ දෙව් රජු ගේ ධ් ධ්වජාග්‍රය බලනවුන් ට හෝ ඊසාන දෙව් රජු ගේ ධ්වජාග්‍රය බලනවුන් ට හෝ යම් බියක්, තැතිගැන්මක් හෝ ලොමුඩැහැගැන්මක් උපන්නේ වී නම් එය පහ නො වන්නේ වෙයි. ඒ කවර හෙයින් ද? මහණෙනි, සක්දෙව් රජු පහ නො වූ රාග ඇත්තේ ය. පහ නො වූ ද්වේශ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුළු ය. තැතිගන්නා සුළු ය. පලා යන සුළු ය.

මේ සූත්‍රය පුරාවට ම කියවෙන කරුණුවල සාරාංශය වන්නේ දෙව්බඹුන් සරණ යෑම පලක් නැති බව යි. 


මේ අනුව තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගනිමින් තෙරුවන් සරණ යාමෙන් බිය පහ වන බව ද, දේශනා කර ඇත. ඒ අනුව පිරිත නිර්මාණය වේ. ඒ අනුව පිරිතේ මුලික අරමුණු ලෙස ලෞකික ජීවිතය වඩාත් යහපත් කරගෙන ලෝකෝත්තර සැප පිණිස වැඩෙන පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීම බොදුනුවන් සිදු කළේ ය.

ගුණ ලැබෙණ ලෙස පිරිත් දේශනා කළ යුතු අන්දම.
පළමුවෙන් ම මේ කරුණ දැන සිටිය යුතු ය.
අකුරු 8      =    පාද 1
පාද 4          =    ගාථා 1  (ගාථාවකට අකුරු 32)
ගාථා 1       =     ග්‍රන්ථ 1
ග්‍රන්ථ 250  =    බණ වර 1 (බණ වරයක අකුරු 8000)
ඒ අනුව සතර බණවරයෙ හි අකුරු 32000 ඇත.

පිරිත් පොත තුළ බණවර සතරක් ඇත. පළමු බණවරයා සඳහා පිරිත් සුත්‍ර 11ක් ඇතුළත් ය. දස ධම්ම සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, ඛන්ධ පිරිත,මෙත්තානිසංස සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය,මෝර පිරිත, චන්ද පිරිත, සූරිය පිරිත සහ ධජග්ග සූත්‍රය යනුවෙනි.

දෙවන බණවරය තුළ පිරිත් 5ක් අන්තර්ගත ය. මහාකස්සප බොජ්ඣංගය, මහාමොග්ගල්ලාන බොජ්ඣංගය, මහාචුන්ද බොජ්ඣංගය, ගිරිමානන්ද සූත්‍රය, ඉසිඟිලි සූත්‍රය වශයෙනි.

තුන්වන බණවරයෙ හි හා හතරවන බණ වරයෙ හි ආටානාටිය සූත්‍ර ඇතුළත් වේ. ඊට අමතර ව අතිරේක සූත්‍ර 7ක් ද, පිරිත් පොතේ ඇතුළත් වේ.

මුලින් සඳහන් කළ පරිදි ම පරිත්ත වචනය පරි හා අත්ථ දෙක එක්වීමෙන් ගොඩනැගී ඇත. පරි යනු පර්යාය යි. අත්ථ යනු අර්ථය යි. මේ අනුව පිරිතක් යනු යම් පර්යායක ට අනුව අර්ථය දැන සිදුකරන කටයුත්තකි. අක්ෂර, ඝන, මාත්‍ර මනා ව හසුරුවමින් පිරිත් දේශනා කළ යුතු ය.

කෙ සේ පිරිත් දේශනා කළ යුතු ද?
 

පිරිත් දේශනා කිරීම ට පෙර එය කටපාඩම් කරගත යුතු ය. අරුත දැනගත යුතු ය. ශබ්ධය මේ සේ හැසිරවිය යුතු ය.

"මහණෙනි, ආයත (වෘත්තයන් බිඳීම නිසා ඇතිවන ස්වර විශේෂයකි) ගීතස්වරයෙන් දහම් නො දෙසිය යුතු ය."

"මහණෙනි, සරභඤ්ඤ නම් කර්ණරසායන මධුර මනෝහර ගීතස්වර විලාසයෙන් ධර්මය නො දෙසිය යුතු ය."

"මහණෙනි, සරභඤ්ඤය අනුදනිමි. සරභඤ්ඤයෙන් ධර්මය කීම වටී.
(සරභඤ්ඤය - තරංග වෘත්තය, දෝධක වෘත්තය, ගණක වෘත්තය, ආදී වෘත්ත 32 ඇත.)

"මහණෙනි, සසුනේ ගායනය අඬාවැටීමකි." (චුල්ල වග්ග පාලි)

මේ අනුව හෙළි වන්නේ නියම අයුරින් ශබ්ධය පිහිටුවා ධර්මය දේශනා කළ යුතු බව ත්, එ සේ නො කළහොත් ශබ්ධමාත්‍රීය හා අර්ථ මාත්‍රීය යන ගුණ දෙක ම නො ලැබී යන බවත්, ය. තව ද, බුදුරදුන් උක්ත කරුණු දේශනා කිරීම තුළින් ශබ්ධ මාත්‍රීය ගුණය පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමුකර ඇති බව පෙනෙයි. 

පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන් ගේ "පොහොය දිනය" ග්‍රන්ථයේ මෙ සේ සඳහන් ය.
"පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්න ට නම් නො වරදවා ම හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථය (අදහස්) ද, දැන ගෙන කිව යුතු ය. දැනට පිරිත් කියන අය අතරේ ඒවායේ තේරුම දැනගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද, ඉතා හිඟ ය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් ලැබෙන්නේ ද, නො වේ. පිරිත නො වරදවා ම පාඩම් කරගෙන හරියට කියතොත් එයින් ද, යම් තරමක ට ගුණ ලැබේ. එ සේ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්ධවල යම්කිසි බලයක් ඇති නිසා ය." මෙයින් ද, උක්ත කරුණු මනා ව තහවුරු කරයි.  

අක්ෂර, ගණ, මාත්‍රා කියන්නේ මොනවද?
 

අක්ෂර
අක්ෂර ලෙසින් සඳහන් කළේ නිවැරදි අක්ෂර උච්චාරණය පිළිබඳ ව යි. නිවැරදි ව උච්චාරණය තුළ පිරිතේ නියම ගාම්භීරත්වය, ශබ්ධ මාත්‍රීය ගුණය ආරක්ෂා වේ. උදාහරණයක් සලකා බැලුවහොත් රතන සූත්‍රය ආරම්භ වන්නේ යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව.... ආදී වශයෙනි. එය මෙ සේ දේශනා නො කර යානීද බූතානි සමාගතානි බුම්මානි වා යානිව.... ආදී ලෙස දේශනා කළහොත් එ හි ශබ්ධය ට සිදුවන දේ සහ අර්ථය ට සිදුවන හානිය කොතෙක් දැ යි සිතා ගත හැකි ය. එ බැවින් නිවැරදි ලෙස අක්ෂර සංයෝජනය කොට පිරිත් දේශනා කළ යුතු බව නම් අමුතුවෙන් කිව යුතු නො වේ.

ගණ
පිරිතක් ලෙසින් ගැනෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රවලින් කිහිපයක් පමණකි. එය ට ප්‍රබල ම හේතුවක් වන්නේ එ ම සූත්‍රවල ඇති ශබ්ධමාත්‍රීය ගුණය යි. එ ම ශබ්ධමාත්‍රීය ගුණ රඳන සාධකයක් ලෙස ගණ හැඳින්විය හැක. මෙය බ්‍රාහ්මණයන් එ කල සිදු කළ ගණ රටාව නො වන බව අවබෝධ කරගත යුතු ය. බ්‍රාහ්මණ ගණ පිහිටුවීම ට අනුව "න" අක්ෂරය අශුභ ලෙසින් දක්වයි. "ම" අක්ෂරය සුභ ගණයක් ලෙස දක්වයි. පිරිතක ස්වරයන් ඇතිවන රිද්මයානුකූල රටාවන් පිරිත් ගණ ලෙසින් හඳුන්වයි. එය අක්ෂරයන් හි නිවැරදි සංයෝජනය වීම තුළින් ශබ්ධමාත්‍රීය ගුණ ලබාගැනීම සඳහා වැදගත් වේ. එ නම් වචනයක අග අකුරක් අනෙක් වචනය ට එක නො කර හා එක් වචනයක මුල් අකුර ඊට පෙර වචනයේ අග ට එකතු නො කර නිවැරදි අකුරු සංයෝජනයෙන් පිරිත් දෙසීම සිදු කල යුතු ය. එ සේ නොමැතිනම් පිරිත් වෙනත් ඕනෑ ම බසක ට නගා වුව ද, කිව හැකි විය යුතු ය. නමුත් එ සේ කළ නො හැකි ය. එය ට හේතුව නිවැරදි අක්ෂර සංයෝජනය යි.
 


මාත්‍රා
අටුවාවල මේ ගැන
සඳහන්. පිරිත් කියනකොට අක්ෂර ශබ්ධ විය යුතු මාත්‍රා ගණනක තියෙනවා. එය ශබ්ධය ත්, එක්ක ගත වන කාලසීමාවක්. මනින ඒකකය තත්පර නො වේ මාත්‍රා ය. දීර්ඝ අක්ෂරයක් සඳහා මාත්‍රා 2 යි. කෙටි අක්ෂරයක් සඳහා මාත්‍රා 1 යි. හල් අක්ෂරයක් සඳහා මාත්‍රා භාගය යි. දිගු, කෙටි, හල් අකුරු ගැන ඔබ දන්නවා ඇතැ යි සිතමි. මාත්‍රාවක්‌ කාලය කොතරම් ද, කියන්න අද, හෙළ අටුවා පොතක් වත් සොයාගන්න ට බැහැ. නමුත් මාත්‍රා ගනින ක්‍රමයක් තියෙනවා. උදා:- "බහූදේවා" "බ" මාත්‍රා 01යි. "හූ" මාත්‍රා 02 යි. "දේ" මාත්‍රා 02යි. "වා" මාත්‍රා 02යි වශයෙනි. මේ වචනය ට මාත්‍රා 07යි. මේ විදිය ට පිරිතක් කියනවා නම් පළමු ව පිරිතේ මාත්‍රා ගණන ගැණ ගන්න ඕනේ. පිරිත කියන්න ගිය කාලය පැය, මිනිත්තු, තත්පර ආදී ක්‍රමවලින් මැන මාත්‍රා ගණනින් බෙදූ විට එක් මාත්‍රාවක කාලය ලැබේ. එයින් භාගයක කාලය මාත්‍රා භාගය යි. [ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් - පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි]


පිරිත් සිංහල බසින් කිව හැකි ද?
මේ කොටස කියවීම ට පෙර මෙ ම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අක්ෂර, ගණ, මාත්‍රා පිළිබඳ ඇති වූ ගැටළු සහ පිරිත් සිංහල බසින් දේශනා කිරීම තුළින් සිදුවන විපත පිළිබඳ මැනවින් දේශනා කර ඇත. (පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමි)
 
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීම ට යොදාගත් මාධ්‍යය වන්නේ එ කල ප්‍රාදේශීය භාෂාවක් වූ මාගධී භාෂාව යි. සංස්කෘත බස බොහෝ විට භාවිත කළේ බ්‍රාහ්මණ වංශිකයින් විසිනි. නමුත් මාගධී බස එ කල බොහෝ සාමාන්‍ය ජනයා අතර ද, ප්‍රසිද්ධිය ට පත් ව තිබුණි. තව ද, එය ඉතා ප්‍රබල ලෙස අදහස් ප්‍රකාශ කළහැකි භාෂාවක් නිසා ද, මාගධී බස ම ධර්ම දේශනය සඳහා යොදාගන්න ට ඇත. මේ අනුව බුද්ධ දේශනාව මාගධී බසින් යුක්ත වන බව හඳුනාගත හැකි ය. පසුකාලීන ව මාගධී බස ට පාලි බස ලෙස හඳුන්වන්නේ ද, බුදුරජාණන් වහන්සේ ගේ මුඛ්‍ය දේශනා යන අදහසිනි. එ බැවින් පාලි භාෂාව ථේරවාදී බුදු දහම තුළ පිළිගැනෙන්නේ බුද්ධ භාෂිතය ලෙස ට ය. මේ නිසා ම පිරිත් දේශනා සිදුකිරීමේ දී නිවැරදි ගුණ ලැබීම ට නම් බුද්ධ වචනයෙන් නිවැරදි ව දේශනා කළ යුතු වේ. එ හි අදහස තමන් ගේ ස්වකීය භාෂාවෙන් අවබෝධ කරගත්තද, දේශනා කළ යුත්තේ බුද්ධ වචනයෙන් ම බව  අවධාරණය කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනවල ට සමාන අරුතක් ඇති වචන වෙනත් භාෂාවකින් ගොඩනැගුව ද, එ ම භාවය, එ ම හැඟීම ඇති කිරීම ට සමත් වචනයක් එ හි දී ඇති නො වන බව මා ගේ අදහස යි. සිතන්න "නිබ්බාණ" යන පාලි වචනය ට පාලි බසින් වෙනත් සමාන වචන ඇති දැ යි කියා. නමුත් සිංහල බසින් නම් එය ට බොහෝ සමාන වචන ඇත. නිවන, නිවීම, නැතිවීම, නැවතීම, නැවැත්වීම ආදී වශයෙන් වචන රැසක් යෙදිය හැක. නමුත් ධර්මය ගැන නිසි අවබෝධයක් නැති අය නිවීම ලෙස ඇවිලෙන ගින්නක් නිවීම කියා සිතිය හැක. නැවතීම ලෙස රථයක නැවතීම පිළිබඳ සිතීම ට පුළුවන. නමුත් නිබ්බාණ යන පදයෙන් අදහස් කරන්නේ නිබ්බාණය ම පමණකි. එ හි භාවයේ හෝ අර්ථයේ වෙනසක් කිසිවිටක ඇති නො වේ. මේ එක් සරල උදාහරණයක් පමණි. නමුත් සම්පූර්ණ සූත්‍රයක් ම මේ අයුරින් සැලකුවහොත් එ හි අර්ථය සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වීම පවා සිදුවිය හැක.

තව ද, වෙනත් බසකින් පිරිත් දේශනා කළහොත් එ හි අක්ෂර, ගණ, මාත්‍රා ආදිය සම්පූර්ණයෙන් ම විනාශ වී ශබ්ධයෙන් ඇතිවන ගුණ කිසිවක් ලබා ගැනීම ට නො හැකි වේ. අර්ථය ද, වෙනස්වන බැවින් අර්ථමය වශයෙන් ඇතිවන ගුණයන් ද, ලබාගත නො හැකි වේ.
 

මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගේ කතාව, දීඝායු කුමරු ගේ කතාව, කිරි වවුලන් පන්සියයක ගේ කතාව, ආදිය තුළින් ද, හෙළි වන්නේ පිරිත තුළ ඇති  ශබ්ධමාත්‍රීය ගුණ පිළිබඳ ව ම ය. මේ පිළිබඳ ව විස්තර වන පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ගේ මෙ ම ධර්ම දේශනය තුළින් මෙය තවදුර ට ත්, අවබෝධ වනු ඇත.

 මෙ හි දී අප වටහාගත යුතු අනෙක් කරුණ නම් පිරිත හුදු ශබ්ධය මත ම පිහිටා ඇති දෙයක් නො වන බව යි. බොහෝ දෙනා පිරිත ට කැමැති වන්නේ එ හි ශබ්දය නිසා ය. එහෙත් එය පිරිතෙ හි අංශයක් පමණකි. පිරිත් සජ්ඣයනයකදී එ හි රිද්මය ශබ්ද තරංග හරහා ගමන් කරනු ලබන අතර එ හි දී භාවිත ස්වර රටාව පුද්ගල සන්තානය තුළ ඇති කලබලකාරී නො සන්සුන් මානසිකත්වය ක්‍රමයෙන් සංසිඳුවාලයි. පාලි ශබ්ධ රටාව හරහා මානසික සහන ඇතිකරලීමේ සමත්කම් පිරිත සතුව පවතින බව කිව යුතු ය. එහෙයින් පිරිත සතු පාලි ශබ්ද රටාව බැහැර කිරීම කෙ සේ වත් කළ නො හැකි දෙයකි. එහෙත් ශබ්ද මාධූර්යය පමණක් ම පිරිතකින් බලාපොරොත්තු නො විය යුතු ය.

"අකුරු නිසි ලෙස යෙදීමෙන් ඇතිතිවන වචන ශක්තිය ද ඉතා බලවත් ය. හෝඩියේ අකුරු එක් අකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතු වන තරම් දරුණු විය හැකි ය. අප්‍රිය විය හැකි ය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වගුරුවන්නට පිළිවන. මෙකළ ඇතමුන් විශ්වාස නො කරතත් සෙත්කවි, වස්කවි ආදියෙහි තිබෙන්නේ ද අකුරු පිහිටුවීමේ බලය හා ගණ පිහිටවීමේ බලය යි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනූ සෙත් කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමග ම ප්‍රකට වෙයි."
[අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි]

මෙ තෙක් ඉදිරිපත් කළේ පිරිත තුළ ඇති ශබ්ධමාත්‍රීය ගුණය පිළිබඳ ව ය.  එ හි අර්ථමාත්‍රීය ගුණය ගැන සලකන විට දේශකයා අනිවාර්යයෙන් ම පිරිතේ හි අරුත දැන ගත යුතු ය. අසන්නා තුළ ද, ඒ පිළිබඳ විශ්වාසයක් ඇති වීම ට අරුත දැන සිටීම වැදගත් වේ. පිරිතක නියම ගුණ ලැබිය හැකි වන්නේ එ විට ය.  තව ද, දේශකයා ගේ චිත්ත තරංග තුළින් විශාල ශක්තියක් ගොඩනැගීම සිදුවන නිසා දේශකයා ගේ ඇති වන චෛතසිකයන් (සිතිවිලි) ද, මේ සඳහා වැදගත් වේ.

වර්තමානයේ පිරිත් දේශනාවන් හි පරිහානිය පිළිබඳ සැලකීමේ දී සිංහලෙන් පිරිත් කීම, පිරිත ට සංගීතය මුසු කිරීම, ගීතවත් බවින් කීම, ආදී අංශ කිහිපයක් ඔස්සේ දැක්විය හැකි ය. මෙ තරම් පිරිත් දේශනා සිදුකළ ද, ගුණයක් නො ලැබී යන්නේ මේ නිසා ය.

අවසාන වශයෙන් පිරිතක නියම ශක්තිය ලබා ගන්න ට නම් ශබ්ධය හා අර්ථය මැනවින් අවබෝධකර ගෙන දේශනා කළ යුතු බව කිව හැකි ය. පිරිත් දේශනා කරන්නා පමණක් නො ව පිරිත් අසන්නා තුළ ද, එ හි අවබෝධයක්, විශ්වාසයක් ගොඩනැගී තිබීම තුළින් පිරිතේ ශක්තිය තව තව ත්, ග්‍රහණය කරගැනීම ට හැකි වේ.  ඒ තුළින් ලෞකික පමණක් නො ව ලෝකෝත්තර වශයෙන් ද, සෙත සලසා ගැනීම ට හැකිවනු නො අනුමාන ය.
තෙරුවන් සරණ යි!

  • මූලාශ්‍ර:
ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් (පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි)
පොහොය දිනය (
පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි)
සූවිසි මහා ගුණ (
පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි) 
  • මැදගොඩ අභයතිස්ස හිමියන් ගේ ධර්ම දේශනය:  www.buddhistculture.net 
මෙ ම ධර්ම දේශනා ශ්‍රවනය කිරීම තුළින් පිරිත් දේශනා පිළිබඳ තවදුර ට ත්, නිවැරදි අවබෝධයක් ලැබෙනු ඇත.

                            

4 comments:

  1. මේ බ්ලොග් අඩවියෙ පසුබිම වෙනස් කරන්ඩ බැරිද කලු පාට මැද්දෙ සු දු අකුරු කියවන්ඩ ටිකක් අමාරුයි ...... ඔලුව කැරකෙනවා වගේ

    ReplyDelete
  2. අදමයි මේ පැත්තට ආවේ ..වටින ලිපියක්.....

    ReplyDelete
  3. අප විසින් සකස් කළ පිරිත් ග්‍රන්ථය මෙ ම වෙබ් අඩවිය තුළින් පහසුවෙන් පරිහරණය කළ හැකි ය.
    http://buddharashmi.buddhistculture.net/350835383515353835013530-3523354035013530zwj3515.html
    අවශ්‍ය නම් මුද්‍රණය කිරීම ට ද, අවස්ථාව පවතී.
    තෙරුවන් සරණ යි!

    ReplyDelete
  4. ඉතා හොද ලිපියකි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...