"දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්ස සතං
මාතු පාදං නමා මහං"
පෝසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්ස සතං
මාතු පාදං නමා මහං"
දසමාසයක් දුක් විඳ මා හැදු අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
නිවසේ බුදුන් ය යි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පා යුග වඳිමි මම ආදර අම්මේ
ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
නිවසේ බුදුන් ය යි බුදු හිමි දෙසු අම්මේ
ඔබෙ පා යුග වඳිමි මම ආදර අම්මේ
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ මහත් ගෞරවය ට පාත්‍ර වූ උතුම් මව් පදවිය බුදු පදවිය ට පමණක් දෙවැනි වේ. එ ම උතුම් පදවිය ලබාගත හැක්කේ ගැහැණියක ට ම පමණි.
අප බෝසතුන් බුදුවන බව ට පළමු ව විවරණය ලබා දුන්නේ ද, ස්වකීය දයාබර මෑණියන් ම ය. ඒ තම ජීවිතය පරදුවට තබා මෑණියන් ගේ ජීවිතය රක්ෂා කිරීම ට ධෛර්යයෙන් හා උත්සාහයෙන් යුතු ව කටයුතු කළ නිසා ය. බෝසතුන් ගේ සිත ට, හදවත ට මුලින් ම බුදු වේ වා! යන ප්‍රාර්ථනය සිදුකළේ ආදරණීය අම්මා ය.
තම දරුවන් වෙනුවෙන් අන් කවර සිතකවත් ඇති නො වන්නා වූ ආදරණීය හැඟීම් ජනනය වනුයේ මවක ගේ හදගැබ තුළ පමණි. ඒ අනුව මව් සිත තුළ දරුවන් වෙනුවෙන් කැකෑරෙන්නා වූ චිත්ත සන්තතිය කිව හැක්කේ තව ත් මවක ට පමණි.
සියලු ම මිනිසුන් ගේ ජීවිතවල පවතින අන්ධකාරය දුරුකර ජීවිතය ආලෝකමත් කරමින් පහන් ටැඹක් වන්නේ උතුම් වූ මව් පදවිය යි. ජීවිතයේ සියලු දුක් කම්කටොලු ඉවසා දරාගෙන ඉන්ද්‍රකීලයක් මෙන් නො සැලී හිඳ දාරක ප්‍රේමය පෙරටු කොට හිඳින මව්වරු සමස්ත ලෝකයා ට ම ආශිර්වාදයකි.
සෑම මනුෂ්‍යයකු ගේ ම ශක්තියේ පදනම මව්කිරි ය. දස මසක් කුස තුළ හොවා අප ඇති දැඩි කළ මව ගේ රුධිරය, රසමුසු කිරි බව ට පත් වූයේ ද, එ බැවිනි. මේ ජීවන ගමනේ මිනිසා ගේ මුල් ම ආහාරය වන්නේ ද, මව ගේ කිරි බිඳ යි.
එ මෙන් ම තම ආදරණීය දරුවන් තමන් ට වඩා ඉහළ ස්ථානයක යෙහෙන් වැජඹෙනවා දැක්ම අන් කවරකු ට ත් වඩා සිත තුළ අපේක්ෂා මල් පොදි බැඳගෙන දෑස අයාගෙන බලාසිටින්නී මවක් ම පමණි.
දරුවකු මෙ ලොව ට බිහි වූ දා පටන් ම මවක් ලෙස අප්‍රමාණ දුක් කම්කටොලුවල ට මුහුණ දීම ට ඇය ට සිදු වේ. මව ගේ දෑසින් වැටෙන සෑම කඳුළක් ම වැටෙන්නේ අප වෙනුවෙනි. ඇය මහත් වූ දුක් ගිනි කන්දක් මධ්‍යයේ වෙසෙන්නී ය.
නමුත් මෙ සේ අප්‍රමාණ දුක් ගිනි කන්දක් ඉසිලූ ඇතැම් මව්වරුන් ගේ ජීවිත කතාවේ අවසන්භාගය ද, අතිශය ඛේදජනක ය.
තාරුණ්‍යයේ සියලු ශක්තීන් ස්වකීය දරුවන් වෙනුවෙන් කැප කළ කෙතරම් මව්වරුන් මහළු මඩම්වල ට වී හිඳ තම පුතා, දුව, අද එතැ යි, හෙට එතැ යි, යනුවෙන් සිතමින් කල්පනා කරනු ඇත් ද?
මේ සියල්ල වීම ට හෝ නො වීම හේතු වන්නේ අප ම ය.
එ බැවින් තම දයාබර මෑණියන් මහත් ගෞරවයෙන් හා සෙනෙහසින් යුතු ව රැක බලාගෙන මව විසින් පෙවූ කිරිවල හා මව ගේ දෑසින් වැටුණු කදුළු බිඳුවල ණයෙන් අඩක්වත් ගෙවීම ට අපි ඉටා ගනිමු.
නුඹ
සීතල පිණි වැටෙන
සීතල රාත්‍රියක
වැහි අඳුර මා තුරුළු කරගන්නා විට
නුඹ කොහේ දැ යි
මම අසමි ම ගේ සිතින්
එ විට නුඹ මා ළඟ
කර්කෂ වූ දහවලක
දහසක් සෙනග අතර
මා තනි බව දැනෙන විට
මා සිත ට දිරි දෙන්නේ
නුඹ යි.
පුංචි තරුවක් වන්න ට
වෙර දරන මා සිත ට
ළං ළං ව සෙනෙහසින්
ජීවිතය කියා දෙන්නේ
නුඹ යි.
මා සිත ට දිරි දෙමින්
මග හසර කියා දෙන
නුඹ....
ම ගේ දයාබර මෑණියන් මිස
වෙන කවුරු ද?
සඳමාලි පෙරේරා විසින් පන්නිපිටිය ශ්‍රී ධම්මාරාම දහම් පාසලේ "සිසු නැණ" බිත්ති පුවත් පත ට ලියන ලද ලිපියක් පාදක කරගනිමින් නැවත සකස් කරන ලදී.
No comments:
Post a Comment