Saturday, October 15, 2011

ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනි

"වුද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පිතු පාදං නමා මහං"

නැති බැරි කම ත් මට නො දැනෙන නියායෙනි 
දුක් කරදර මැදින් මා හැදු දයාවෙනි
හොඳ දරුවකු වෙන්න මට දුන් ඔවාමිණි 
ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනි


මව ට වඳින වාරයක් පාසා ම පියා ට වැඳීම ට බෞද්ධයන් වශයෙන් අපි පුරුදු ව සිටිමු. ඒ මාතෘත්වය ට සම කළ හැකි එක ම පදවිය පීතෘත්වය වන බැවිනි.

පියා ගේ සිත තුළ දරුවන් කෙරෙහි ඇති අසීමිත ආදරය ඍජු ව ම නො පෙන්වුව ද, එ ම ආදරය නිසා ම අප්‍රමාණ ශක්තියක් හා අධිෂ්ඨානයක් ඇති කරගනිමින් ස්වකීය දරුවන්

පෝෂණය කරයි. මව ජීවිතය ආලෝකමත් කරන පහන් ටැඹක් වන විට පියා ඇය කරා පැමිණෙන සියලු ම දුක් කම්කටොළුවල ට ඉන්ද්‍රකීලයක් වන්නේ ය.


දස මසක් කුසෙ හි නො දැරුව ද, ලේ කිර ට නො හැරුන ද, පිය සෙනෙහස මව් සෙනෙහසින් අංශුමාත්‍රයකින්වත් වෙනස් වන්නේ නැත. තම කුස ට අහරක් නැති ව සිටිමින් දරුවන් වෙනුවෙන් එය ඉවසමින් දරුවන් පෝෂණය කිරීම ට වෙහෙසෙන්නේ ඒ නිසා ම ය.
 
තාරුණ්‍යයේ සියලු ම ශක්තීන් යොදවා උස් මහත් කර, පෝෂණය කර, රුකබලාගන්නා දරුවා තමා ට වඩා උගත්කමින්  හා බුද්ධියෙන් අඩියක් හෝ ඉදිරිය ට තැබීම සියලු පියවරුන් ගේ ඒකායන අධිෂ්ඨානය යි.

මෙ සේ තම දරුවන් ගේ හා භාර්යාව ගේ ජීවිත සුරක්ෂණය කරමින් කටයුතු කළ ඇතැම් පියවරුන් ගේ ජීවිතවල අවසාන පරිච්ඡේදයන් නිම වන්නේ ඛේදවාචකයකිනි. සිතේ, ගතේ වාරුව නොමැති විට තම පියා මහළු මඩමක ට දමා යාම ට තරම් ඇතැම් දරුවන් අන්ත තිරිසනුන් බව ට කෲර වෙති. ඉන් ඇතිවන චිත්ත සන්තාපය හා වැටෙන සෑම කඳුළක් ම බෙදා ගැනීම ට අවසානයේ ඉතිරි වන්නේ පිතෘත්වය සමගින් මාතෘත්වය යි.
දෙමාපියන් ගේ ගුණයන් හඳුනාගත්, දෙමාපියන් ට සළකන, ආදරයෙන් රැකබලාගන්නා දරුවන් ද, මෙ ලොව නැත්තේ නො වේ. එ ම අවස්ථාවේ දී සිතේ ඇතිවන සතුට හා දෙනෙතෙ හි ඇති වන සෑම සතුටු කඳුළක් ම බෙදා ගැනීම ට අවසානයේ ඉතිරි වන්නේ පිතෘත්වය සමගින් මාතෘත්වය ම ය.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...