Friday, June 1, 2012

දානයේ අනුසස් දැන දාන පාරමිතාව සපුරමු (01 කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මතු ඵල ලබා ගැනීම සඳහා කරන සෑම දෙයකින් ම උසස් ඵල ලැබිය හැකි වන්නේ ඒ දෙය පිළිබඳ මනා දැනුම ඇති ව කරන තැනැත්තා ට ය. කරන දෙය ගැන නිවැරදි අවබෝධයක් නැති ව කරන්නහු ගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිෂ්ඵල වේ. එයින් යම් ඵලයක් ලැබුන ද, එය මහන්සිය ට හෝ වියදම ට නො සරිලන අල්ප ඵලයකි. වරදවා සිදුකරන ප්‍රතිකාරයෙන් සමහර විට රෝගියා මියයන්නාක් මෙන් නො දැන කරන වැඩවලින් සමහර විට විපතක් ද, සිදු විය හැකි ය.

මෙ කල සිටින බෞද්ධ පිරිසෙන් බොහොමයක් ම සෑහෙන පමණ ට ආගම ධර්මය නො දනිති. එ බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයන් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන් ද, නොයෙක් පව් සිදු කර ගනිති. ඉතා පහසුවෙන් කළ හැකි ව තිබෙන ඇතැම් පින්කම් සුළුවෙන් සිතා නො කර හරිති. සමහර විට පින ය යන හැඟීමෙන් පව් කරගනිති. පව ය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නො කර හරිති. ඇතැම් බරපතල පව්කම් ද, සරල ව සිතා සිදු කරති. බොහෝ වෙහෙස වී, බොහෝ වියදම් කොට දුබල වූ පිනක් ලැබෙන ලෙස දන් දෙති. නො මනා කොට සිල් රකිති. නිෂ්ඵල ලෙස භාවනාවන් හි යෙදෙති. මෙ ම ලිපියෙන් අප දක්වන්නේ බෞද්ධයකු ලෙස දානය පිරිනැමිය යුතු ආකාරය ය.

දස පාරමිතා, දස පුණ්‍යක්‍රියා, සතර සංග්‍රහ වස්තු ආදියේ ප්‍රමුඛ කොට ම ඇත්තේ දානය යි. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සන්තක වස්තුවක් වෙනත් අයකු ට පරිත්‍යාග කිරීම දානය යි. පරිත්‍යාග කරන වස්තුව හා පරිත්‍යාගය/දීම යන වචන දෙක ට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලබයි. බෞද්ධ සියල්ලෝ ම හොඳින් දන්නා චේතනාව කර්මය ට මුල්වන බව අමුතුවෙන් කිව යුතු නැත. දානය ට ද, මුල් වන්නේ එ නම් දානමය කුසලය සඳහා හේතු වන්නේ දෙන වස්තුව නො ව චේතනාව ය.

දීම සාමාන්‍ය කරුණක් වුව ත් දානය හා පූජාව යන වචන දෙවදෑරුම් වේ.  ගුණයෙන් තමාහා සම වූ ද, තමා ට හීන වූ ද, තැනැත්තන් හට අනුග්‍රහ වශයෙන් දීම දානය නම් වේ. ගුණයෙන් තමා ට වඩා උසස් වූ බුද්ධාදී උතුමන් වහන්සේලා ට දීම පූජා නම් වේ. දාන සහ පූජා යන දෙක ට ම අයත් නො වන දීම් එ නම් අඹුදරුවන් ට දීම, භාණ්ඩ හෝ සේවා පරිහරණය කර අදාළ කුලිය දීම වැනි දේ පුණ්‍ය සංඛ්‍යාව ට නො ගනු ලැබේ. 

  • පූජා ප්‍රභේද
ආමිෂ පූජා හා ප්‍රතිපත්ති පූජා ලෙස පූජා ප්‍රභේද දෙකකි. එයින් ද ආමිෂ පූජා වස්තු පූජා හා ස්තුති පූජා ලෙස දෙවදෑරුම් ය. නිරන්තරයෙන්පාහේ සිදුකරන වස්ත්‍ර පූජා, ගන්ධ, පුෂ්පාදී පූජා වස්තු පූජා ගනය ට අයත් ය. භක්තිමත් ව බුද්ධාදී උතුමන් වෙත ගී ගැයුම් ආදියෙන් පූජා පැවැත්වීම ස්තුති පූජා වේ. බොහෝ ආගම්වල එය දක්නට ඇත. පැරැන්නන් විසින් වන්දනා ගාථා සකස් කර ගත්තේ ද, මේ ස්තුති පූජා සඳහා ය. ඒවා කියා රත්නත්‍රය ට ස්තුති පිරිනැමීම බොහෝ අනුසස් ඇති පින්කමකි.  වචන කිහිපයකින් කරන ස්තුති පූජාව ට වඩා බොහෝ ගුණ කියා ස්තුති පිරිනැමීමෙන් මහත් පිනක් අත් වේ. පෙර බුදුවරුන් ගේ සසුන්වල ද, මේ පූජා පැවති බව ආපදාන පාළියේ සඳහන් වේ. මෙයින් ලැබෙන අනුසස් දෙව්ලොව සැප සම්පත් විඳීම, චක්‍රවර්ති සම්පත් විඳීම ආදිය පිණිස පමණක් හේතු වන බව බොහෝ දෙනා ගේ මතය වී තිබේ. නමුත් සුමේධ බුදුරදුන් ගේ සමයේ සෝභිත නම් ස්ථවිරතෙම බමුණකු ව සිට ගාථා සයකින් ස්තුති පූජා කළ හ. එ හි අනුසස් වශයෙන් දෙව්මිනිස් සැප වළඳා මෙයින් කල්ප තිස්දහසකින් මතු පහලවන ගෞතම නම් ශාස්තෘ ශාසනයේ පැවිදි ව සත්අවුරුදු වියේ දී ම අරහත්වය ට පැමිණෙන බව අනුශාසනා කළ සේක. එයින් ඉහත කී කරුණ තහවුරු වෙයි.

  • තුන්සිත පහදා දන් දීම
"පුබ්බෙව දානා සුමනො - දදං චිත්තං පසාදයෙ
දත්වා වත්තමනො හොති - එසා යඥ්ඥස්ස සම්පදා"

තුන්සිත යනුවෙන් මෙ හි අදහස් කළේ චේතනාවන් ය. දානමය කුසලය උසස් පරිද්දෙන් සිදුවීම ට නම් දනය දීම ට පෙර චේතනාව අලෝභ අද්වේශ අමෝහ ලෙස පැවතිය යුතු ය. දානය දෙන අවස්ථාවේ ද, එ සේ පැවතිය යුතු ය. දානය දුන් පසු ව ද, එ සේ ම සිත පැවතීම තුළින් දානයේ නිසි ඵලය නැතහොත් අනුසස් ලැබෙන බව දේශනා කරා ඇත.

  • දානය මහත්ඵල වීම සහ නො වීම
දානය මහත්ඵල වීම සහ නො වීම දැක්වෙන ක්‍රම සතරකි.
(01) දායකයා ගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත්තේ ය.
(02) ප්‍රතිග්‍රාහකයා ගේ යහපත් බව නිසා මහත්ඵල වන දානයක් ඇත්තේ ය.
(03) දායකයා ගේ හා ප්‍රතිග්‍රාහකයා ගේ නිර්ගුණත්වය නිසා මහත්ඵල නො වන දානයක් ඇත්තේ ය.
(04) දායකයා ගේ හා ප්‍රතිග්‍රාහකයා ගේ ගුණවත් වීම නිසා ඉතා මහත්ඵල වන දානයක් ඇත්තේ ය.

මේ එක් එක් කරුණ පිළිබඳ සැකෙවින් විමසා බලමු.

සිල්වත් දායකයකු විසින් දුසිල්වත් ප්‍රතිග්‍රාහකයකු ට දෙන දානය දායකයා ගේ යහපත් බව නිසා මහත්ඵල වේ. වෙස්සන්තර රජු නිර්ගුණ වූ ජුජක බමුණා ට දන් දී පොළව පවා කම්පා කරවමින් දාන පාරමිතාව පුරා ලොව්තුරු සම්‍යක් සම්බුද්ධත්ව ට පත් වීම ට හැකි වුයේ දායකයා ගේ ගුණය නිසා ම ය.

දුසිල්වතෙක් විසින් සිල්වතෙකු ට දානය ලබා දීමෙන් ප්‍රතිග්‍රාහකයා ගේ ගුණ නිසා මහත් ඵල වේ. කැලණි ගං මෝය අසල එක්තරා කෙවුලෙක් දීඝසෝම නම් සිල්වත් භික්ෂුවකට  තෙවරක් දානය දුන්නේ ය. මරණාසන්නයේ දී දීඝසෝම තෙරුන් ට දුන් දානය මා ගලවා ගන්නේ ය යි කියා කාලක්‍රියා කොට දෙව්ලොව උපන්නේ ය.

දුස්ශීලයකු විසින් දුස්ශීලයකු ට ම දෙන දානය මහත්ඵල නො වන දානය යි. වඩ්ඪමාන නම් ගමේ විසූ වැද්දෙක් ඥාති ප්‍රේතයකු උදෙසා දුසිල් මහණකු ට තෙවරක් ම දන් දුනි. ප්‍රේතයා ට පින් නො ලැබිණ. තුන්වන වර දී මගේ දානය දුස්ශීලයෙක් පහර ගන්නේ ය යි ප්‍රේතයා කෑ ගැසී ය. පසු ව සිල්වතෙකු සොයා දන් දුන් කල ප්‍රේතයා ට පින් ලැබුණි.

සිල්වතෙකු විසින් සිල්වතෙකු ට ම දෙන දානය උත්තම වේ. දෙපක්ෂය ම ශුද්ධ නිසා ගුණවත් නිසා ඒ දානය විශේෂයෙන් මහත්ඵල වේ. මේ පිළිබඳ ව ඉදිරියේ දී තවදුර ට ත් විමසා බලමු.

  • දානයේ අනුසස් දැන දන් දීම.
දන් දීම කුඹුරක් වැපිරීම වැනි ය. කුඹුරක් වැපිරීමෙන් වපුරන ලද්ද අස්වැන්න ලෙස ලැබේ. පැතුව ද, නො පැතුව ද, ලැබෙන්නේ වපුරන ලද දෙය ට අනුරූප ව ය. එ මෙන් ම අස්වැන්න යහපත් වීම ට කුඹුර, වපුරන බීජය සහ ගොවියා යන තුන ම බලපායි. දන් දීමේ දී ප්‍රතිග්‍රාහකයා කුඹුර වැනි ය. දෙන්නාවූ වස්තුව වපුරන ලද බීජය වැනි ය. දායකයා ගොවියා වැනි ය. මේ තුන ම යහපත් මට්ටමේ ඇති විට මහත් වූ අස්වැන්නක් ලැබේ. යහපත් කෙතක් වැනි වූ ගුණවත් ප්‍රතිග්‍රාහකයකු ට  යහපත් බීජය වැනි වූ ධර්මයෙන් උපයා ගත් වස්තුවක් කුඹුරු වැඩ හොඳින් දත් අනලස වූ ගොවියෙකු වැනි වූ කර්ම ඵල හා ප්‍රතිග්‍රාහකයන් ගේ ගුණ දැන ගැනීම ට සමත් වූ ද, චේතනාත්‍රය පිරිසිඳු කරගැනීම ට සමර්ථ වූ ද දායකයකු විසින් දෙන ලද්දේ නම් එයින් බොහෝ අනුසස් ඇති මහත් වූ කුශලයක් ලැබෙන්නේ ය.

ඉහත කී කරුණු තුනෙන් එකක් හෝ හීන වුවහොත් පුණ්‍ය ඵලය ද, හීන වේ. හීන වීම ය යි කියනු ලැබුවේ කිසි ම ඵලයක් නො ලැබී යාම නො ව ඵලය අඩුවෙන් ලැබීම ය. එ බැවින් බෞද්ධයා දන් දිය යුත්තේ ඒ කරුණු තුන පිළිබඳ අවධානය යොමුකරගෙන ය.

"විචෙයිය දානං දාතබ්බං - යත්ථ දින්නං මහප්ඵලං
විචෙයිය දානං දත්වාන - සග්ගං ගච්චනති දායකො"

මෙ හි තේරුම නම් "යම් තැනක ට දෙන දානය මහත්ඵල වේ ද, එ තැන සොයා දන් දිය යුතු ය. විමසා දන් දීම හේතුවෙන් දායකයෝ ස්වර්ගය ට යන්නා හ" යනු යි.

"විචෙයිය දානං සුගතප්පසත්තං - යෙ දක්ඛිනෙය්යා ඉධ ජීවලෝකේ
එතෙසු දින්නානි මහප්ඵලානි - බීජානි වුත්ථානි යථා සුඛෙත්තේ"

මේ ලෝකයේ යමෙක් දක්ෂිණේයයෝ වෙත් ද, ඔවුන් සොයා තෝරාගෙන දන් දීම බුදුන් වහන්සේ විසින් පසස්නා ලද්දේ ය. යම් සේ යහපත් කුඹුරක වපුල වී බොහෝ ඵල ගෙන දෙන්නේ ද, එ මෙන් ම තෝරා ගත් ගුණවතුන් ට දෙන දානය බොහෝ ඵල ගෙන දෙන්නේ ය යනු එ හි තේරුම යි.

"උජ්ජංගලෙ යථා ඛෙත්තෙ - බීජං බහුකම්පි රොපිතං
න විපුලා ඵලං හොති - න පි තොසෙති කස්සකං
තථෙව දානං බහුකං - දුස්සීලේසු පතිට්ඨිතං
න විපුලා ඵලං හොති - න පි තොසෙති දායකං"

තද බිම් ඇත්තාවූ කුඹුරේ බීජයන් රෝපණය කළේ ද, බොහෝ ඵල ඇති නො වේ. ඒ ගොවිතැන ගොවියා සතුටු කරන්නේ ද, නො වේ. එ මෙන් ම බොහෝ දාන වස්තුව දුස්ශීලයන් ට දෙන ලද්දේ ද, මහත් ඵල ඇති කරන්නක් නො වේ. දායකයා ගේ සිත සතුටු කරන්නේ ද, නො වේ.

"යථා පි භද්දකෙ ඛෙත්තෙ - බීජං අප්පම්හි රොපිතන්
සම්මා ධාරං පවෙච්ජන්තෙ - ඵලං තොසෙති කස්සකං
තථෙව සීලවන්තෙසු - ගුණවන්තෙසු තාදිසු
අප්පකම්පි කතං කාරං - පුණ්නං හොති මහප්ඵලං"

යම් සේ යහපත් කුඹුරක රෝපණය කරන ලද මද වූ බීජ සමූහය මනා ව වැසි වැටෙන කල එයින් හටගන්නා ඵලය ගොවියා සතුටු කරවන්නේ ය. එ මෙන් ම සිල් රක්නා වූ ගුණයෙන් යුතු ලාභාලාභාදියේ දී සමාන පැවතුම් ඇත්තා වූ පුද්ගලයින් කෙරෙහි කරන ලද්දා වූ මද වූ ද, සත්කාරය වූ පින මහත් ඵල වේ.

මෙ හි සංක්ෂිප්තය නම් විමසා බලා ගුණවත් පුද්ගලයින් ට දන්දීම තුළින් එ හි ආනිශංස මහත් ඵල කරගත හැකි බව යි.

මේ නිදසුන තුළින් තවදුර ට ත් ඒ කරුණ අවබෝධ වනු ඇත. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා සත්වන වස තව්තිසා දෙව්ලොව ට වැඩම කරවූ සේක. ඒ අභිධර්ම දේශනාව සිදුකිරීම සඳහා ය. ධර්මය ශ්‍රවණය සඳහා කල්වේලා ඇති ව ම මාතෘ දිව්‍යරාජයා ත්, අංකුර දිව්‍යරාජයා ත්, ඉන්දක දිව්‍යරාජයා ත් පැමිණ සිටි අතර මාතෘ දිව්‍යරාජයා සහ ඉන්දක දිව්‍යරාජයා දකුණු පසින් ද, අංකුර දිව්‍යරාජයා වම් පසින් ද, බුදුරදුන් සමීපයේ අසුන් ගන්නා ලදී. දසසහශ්‍රී ලෝකධාතුවෙන් මහත් ආනුභාව ඇති දෙවිවරු පැමිණි විට අංකුර දිව්‍යරාජයා පිටුපස ට ගමන් කරන්නට යෙදුනි. දොළොස් යොදුනක් පමණ ඈතට ගමන් කළේ ය. අභිධර්ම දේශනය ට පෙර අංකුර සහ ඉන්දක යන දිව්‍යරාජයන් අරමුණු කරගෙන දේශනාවක් පැවත්වී ය.

"අංකුරය, ඔබ අව්රුදු දසදහසක් තරම් දීර්ඝ කාලයක් මහා දානයක් දුන්නා නේ දමා සමීපයේ සිට ඈතට ගමන් කළේ ඇයි? මා සමීපය ට පැමිණෙන්න."

"එ විට අංකුර දිව්‍යරාජයා මෙ සේ පිළිවදන් දුනි. මම මහත් වූ කාලයක් පුරා දුගී මගී යාචකාදීන් ට දන් දුනිමි. නමුත් එ දා මගේ දානය මහත්ඵල කරන්න ට කිසිඳු සිල්වතෙකු සිටියේ නැත. තිසරණ සරණ ගිය අයෙක් සිටියේ නැත. එය නිසරු කුඹුරක වැපිරූ වීවලින් නිසරු අස්වැන්නක් ලැබුනා වැනි ය."

"ස්වාමීනි, ඔය සමීපයේ සිටින ඉන්දක දිව්‍යරාජයා බුද්ධ ශාසනයේ රහත් තෙරනමකට එක දන් හැන්දක් පමණක් දෙන ලදී. නමුත් සරුසාර කෙතක වැපිරූ බැවින් ඔහු මට වඩා මහේශාක්‍ය ය" යි කියා සිටියේ ය.

අබුද්ධෝත්පාද කාලයේ අංකුර විසින් වසර දසදහසක් මුළුල්ලේ දුන් මහා දානය ට වඩා බුද්ධෝත්පාද කාලයේ ඉන්දක විසින් රහත් තෙරනමකට දුන් එක දන් හැන්ද මහත් ඵල විය. එක ම හේතුව වූයේ ප්‍රතිග්‍රාහකයා ගේ ගුණවත් බව ය.

අංකුර සහ ඉන්ද්‍රක දිව්‍යරාජයන් පිළිබඳ සවිස්තර අතීත කතාව දැනගැනීම සඳහා මෙ ම ධර්ම දේශනය ශ්‍රවණය කරන්න.

බෞද්ධයන් මෙන් ම ලෝකයේ බොහෝ දෙනා දන් දෙන්නේ දිව්‍යලෝක මනුශ්‍ය ලෝකවල සැපසම්පත් විඳීමේ අභිලාෂයෙනි. භවභෝග පතා කරන ඒ දානය තුළ තෘෂ්ණාව මිශ්‍ර ව ඇති බව සියුම් ව සිතා බැලුවහොත් ඕනෑ ම අයකුට තේරුම් ගත හැකි ය. ඒ අනුව එ ම දානයේ අනුසස් භවභෝග සම්පත් ලබාදීම ට මිස සත්වයා සම්බෝධිය ට හා නිවන ට පැමිණවීම ට අසමත් වෙති. එ වැනි කුසලයෝ පාරමී නො වෙති. මීළඟ ලිපියෙන් ප්‍රධාන වශයෙන් මේ කරුණ විස්තර කිරීම සිදු වේ. අප කොතෙක් දන් දුන්නත් එය අප ගේ දාන පාරමිතාව සපුරා ගැනීම සඳහා උපනිශ්‍රය කරගන්නේ නැති නම් එයින් සිදුවන්නේ සසර තව තව ත් දිගු වීමකි. එ බැවින් ම කෙත ත්, බීජය ත්, ගොවිකම ත්, හොඳින් දැන වපුරන්නා සේ ම සසරින් එතෙර වීම පිණිස අවශ්‍ය වන පෙරුම් දම් පිරීම පිණිස සියලු දෙනා දානය පාරමිතාවක් කරගනිත් වා! 

මීළඟ ලිපියෙන් දානය පිළිබඳ තව ත් කරුණු රාශියක් ඉදිරිපත් කෙරේ.
තෙරුවන් සරණ යි!

1 comment:

  1. මෙම ලිපිය මා විසින් නොමිලේ කලුතර බොධියේදී බෙදා හරින ලදී. එම ධර්ම දානයට හේතු වූ මෙම ලිපිය ලියූ ඔබටද එම දානමය කුසල ධර්මය අනුමොදන් වේවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...