Tuesday, June 26, 2012

බෝසතුන් ගෙවූ සවසරක දුෂ්කරක්‍රියාවේ නො දුටු පැතිකඩ.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පෙර බෝසත් අවධියේ දී පුරා වසර හයක් දුෂ්කරක්‍රියා කළ බව නො දන්නා බෞද්ධයකු නැතිතරම් ය. නමුත් ඒ දුෂ්කරක්‍රියාව සිදුකළ ආකාරය හෝ ඊට හේතුව කුමක් දැ යි දන්නේ අතලොස්සක් බොදුනුවන් පිරිසකි. එ බැවින් මෙවන් ලිපියක් ලිවීම උචිත බව හැඟුනි. මින් පෙර ලිපියක ද, මේ පිළිබඳ සඳහන් කරන්නට යෙදුනු නමුත් දීර්ඝ විස්තරයක් ගෙන ඒම ට හැකියාවක් නො ලැබුණි. බොහෝ සාහිත්‍ය ග්‍රන්ථවල මේ පිළිබඳ විවිධාකාරයෙන් විස්තර ඉදිරිපත් කර තිබුන ද, මේ පිළිබඳ අප විස්තර ඉදිරිපත් කරන්නේ ත්‍රිපිටකයේ ඇති සුත්‍ර දේශනාවලින් පමණකි. 



කරුණු ඉදිරිපත් කරන්නට මත්තෙන් පෙර වැඩවිසූ බුදුවරුන් පිළිබඳ විමසීමක් කළ යුතු ය යි සිතේ. බුද්ධත්වය ලබාගැනීම සඳහා වීර්යය වඩන සියලු බෝසත්වරු අවම වශයෙන් දින හතක කාලයක් හෝ ප්‍රධන් වීර්යය වැඩිය යුතු ය. මෙය සියලු බුදුවරුන් ට සමාන ධර්මතා තිහෙන් එකකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ට පෙර මේ මහාභාද්‍රකල්පයේ ලොව පහල වූ කකුසඳ බුදුන් ප්‍රධන් වීර්යය වැඩු කාලය මාස 08කි. කෝණාගමන බුදුන් ප්‍රධන් වීර්යය වැඩු කාලය මාස 06කි. කාශ්‍යප බුදුන් ප්‍රධන් වීර්යය වැඩු කාලය දින 07කි.

මේ කාලයන් සමග සසඳන විට වසර 06ක් යනු ඉතා දීර්ඝ කාලයකි. එ බැවින් ම මෙය ට යම් හේතුවක් බලපෑ යුතු බව පහසුවෙන් අවබෝධ කරගත හැකි ය.


දුෂ්කරක්‍රියාව විඳීම ට සිදු වූ අතීත කර්මය.


අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කොසොල් රාජ්‍යයේ සැරිසරන කල් හි එක්තරා ගමක් අසල දී සිනහවක් පහල කළ සේක. ආනන්ද තෙරුන් මේ පිළිබඳ විමසීය. "භාග්‍යවතුන් වහන්සේ සිනා පහල කිරීම ට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ ද? බුදුහු නො කරුණෙහි සිනා පහල නො කරති."

"ආනන්දය, යටගිය දවස මේ පෙදෙසෙහි 'වේහලිඞග' නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවසීගත් නිම්නයක් විය. ආනන්දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞග නිම්නය නිසා වැඩවිසූ හ. ආනන්දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙ තැන් හි වැඩහිඳ බික්සන්ගන ට ඔවා දෙන සේක."

එ කල් හි ආයුෂ්මත් අනන්ද තෙරුන් සඟල සිවුර සිව්ගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේ ට ආසනයක් පැනවූ සේක. "වහන්ස, එ සේ වී නම් භාග්‍යවතු වහන්සේ වැඩහින්දුනා සේක් වා, මෙසෙයින් මේ බිම්පෙදෙස අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනෙකුන් විසින් පරිභෝග කරන ලද වන්නේ ය." බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක.

"ආනන්දය, වේහලිඞග නම් නිගම ග්‍රාමයේ ඝටීකාර නම් කුම්භකාර, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භවත්හට උපස්ථායක විය. අග්‍රෝපස්තායක විය. ආනන්දය, ඝටීකාර කුම්භකාරහට ජෝතිපාල නම් වූ යහළුවකු විය. එය ද, ප්‍රියසහාය විය."

"ඉක්බිති ආනන්දය ඝටීකාර කුම්භකාරතෙමේ ජෝතිපාල තෙම ඇමතීය. 'යහළු ජෝතිපාලයිනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙම් හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භග්‍යවත්හු ගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ." 

"ආනන්දයිනි, මෙ සේ කී කල ජෝතිපාල මානවක මෙ සේ කී ය. 'යහළු ඝටීකාරය, කම් නැත. දුටු ඒ මුඩුමහණුන් විසින් කිනම් වැඩෙක් වේ ද?' ආනන්දයිනි, දෙවනවට ද, තෙවනවට ද, ඝටීකාර කුම්භකාර තෙම ජෝතිපාල මානවකයා හට තෙල බස් කී ය. යහළු ඝටීකාරය, කම් නැත. 'දුටු ඒ මුඩුමහණුන් විසින් කිනම් වැඩෙක් වේ ද?' යි ජෝතිපාල මානවක තෙමේ කී ය. 'යහළු ජෝතිපාලයිනි, ඉඳින් එ සේ වී නම් නහනුවස් කළ කුරුඳුවැල ගෙන නහනු සඳහා හොයා ට යම් හ. ආනන්දයිනි, ජෝතිපාල මානවක 'යහළුව, එ සේ මැනව' යි පිළිවදන් දුනි. ඉක්බිති ආනන්දයිනි, ඝටීකාර කුම්භකාර ද, ජෝතිපාල මානවක ද, නහන කුරුඳු වැල ගෙන නහනු පිණිස ගියෝ ය."

අනතුරුව ස්නානය කරන ඔය අසල ම කාශ්‍යප බුදුරදුන් ගේ ආරාමය පිහිටා ඇති බව ඝටීකාර කුම්භකාර තෙම ජෝතිපාල මානවකහට ප්‍රකාශ කරන ලදී.

"ආනන්දයිනි, මෙ සේ කී කල් හි ජෝතිපාල මානවක තෙමේ විසින් මෙ සේ කියා සිටියේ ය. 'යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දුටු ඒ මුඩුමහණුන් විසින් කිනම් වැඩෙක් වේ ද?' ආනන්දයිනි, දෙවනවට ද, තෙවනවට ද, ඝටීකාර කුම්භකාර තෙමේ දොපල් මණෙවු හට තෙල බස් කී ය. ජෝතිපාල තෙමේ 'යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණුන් විසින් කිනම් වැඩෙක් වේ ද?' යි කියා සිටියේ ය."

නැවත නැවතත් මේ ආකාරයෙන් දෙදෙනා අතර කතාබහ ඇති විය. අනතුරුව මේ සිදුවීම සිදුවිය.

"ඝටීකාර කුම්භකාර තෙමේ ඉස් සෝදා නහා සිටි ජෝතිපාල මානවක කෙසඟෙ හි ගෙන මෙ සේ කී ය. 'යහළු ජෝතිපාලයිනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම නුදුරෙ හි ඇත. යම් හ යහළු ජෝතිපාලයිනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙම් හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ දැක්ම මා විසින් සාධු සම්මත ය' යි."

"එ කල් හි ආනන්දයිනි, ජෝතිපාල මානවක හට මෙබඳු සිතක් පහල විය. 'භවත්නි, ආශ්චර්යයකි. භවත්නි, අද්භූත ය. යම්හෙයකින් මේ ඝටීකාර කුම්භකාර තෙමේ ළාමක ජාති ඇත්තේ මැ ඉස් සෝදා නහා සිටි අප ගේ කෙස්වැටිය ගතයුතු කොට සිතා ද, ඒකාන්තයෙන් මේ අප ගේ ගමන ළාමක නො වන සේ ය' යි ඝටීකාර කුම්භකාර හට තෙල බස් කී ය. 'යහළු ඝටීකාරයිනි, මෙතෙක් දෑ කළේ ගමන සඳහා ම නො වේ ද?' 'යහළු ජෝතිපාලයිනි, තෙල ගමන් සඳහා මැ යි'. අර්හත් සම්‍යක් සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ දැක්ම මා විසින් සාධු සම්මත ය' යි කී හ. 'යහළු ඝටීකාරයිනි, එ සේ වී නම් කෙහෙ ගැනුම් පියව, යම් හ' යි කී ය."

අනතුරුව යහළුවන් දෙදෙනා ම කාශ්‍යප බුදුරදුන් වත එළඹ වැඳ, එකත්පස හිඳ ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුනි. ඝටීකාර කුම්භකාරහට අන්ධ වු මහලු වු මාපියන් රැකබලා ගැනීම ට ඇතිහෙයින් පැවිදි වීම ට නො හැකි විය. ජෝතිපාල මානවක තෙමේ ගිහිගෙයින් නික්ම පැවිදි විය. උපසපන් බව ද, ලබා ගන්නා ලදී.   

මෙතෙක් කියන ලද්දේ අතීත කතාවකි. මෙය මජ්ජිම නිකායේ, රාජවග්ගයේ, පළමු සුත්‍රයේ කොටසක් පමණි. මෙ හි ඝටීකාර කුම්භකාර තෙමේ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක විය. ජෝතිපාල මානවක තෙමේ අප බෝසතාණන් වහන්සේ බව බුදුමුවින් ම දේශනා කොට වදාළ සේක.

ඝටීකාර කුම්භකාර තෙමේ කිහිපවිටක් ම කාශ්‍යප බුදුන් දැකීම ට යමු, කාශ්‍යප බුදුන් දැකීම මා විසින් සාධු සම්මත ය, ආදී වශයෙන් කියා සිටිය ද, ජෝතිපාල මානවක තෙමේ වූ අප බෝසතාණන් වහන්සේ ඒ අවස්ථාවල දී කාශ්‍යප බුදුන්හට 'ඒ මුදුමහණුන් දැකීමෙන් ඵලක් නැත' ආදී වශයෙන් අක්‍රෝෂ පරිභව කරන්නට යෙදුනි. එ ම අකුසල කර්මයේ විපාක වශයෙන් සිද්ධාර්ථ බෝසත් අවධියේ සයවසරක් ම දුෂ්කරක්‍රියා විඳින්න ට සිදු විය. සවසක දුෂ්කරක්රියාව විඳින්න ට සිදුවූයේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට අක්‍රෝෂ පරිභව කිරීමෙන් ය.


කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ


මේ අකුසල කර්මය වෙනුවෙන් විඳීම ට සිදු වූ විපාකය කුමන ආකාර වේ දැ යි විමසා බලන්නටයි දැන් සූදානම. මේ පිළිබඳ සඳහන් වන්නේ මජ්ජිම නිකායේ, සීහනාද වග්ගයේ, මහාසීහනාද සුත්‍රයේ ය.


  • උග්‍ර තපස්දම් රැකීම
"ශාරිපුත්‍රය, මේ මතු පැවසෙන්නේ මා ගේ තපස් බව යි. නග්න (නිර්වස්ත්‍ර) වූයෙමි. හළ ශිෂ්ටකුලාචාර ඇත්තෙමි. අත ලොවින්නෙමි නොහොත් මළපහ කොට අතින් පිසදමන්නෙමි වෙමි. ආහාර ගැනීම සඳහා එන්න වහන්ස යි සිටින්න වහන්ස යි කියන ලද්දෙම් නො පිළිගන්නෙමි. පළමුකොට ගෙනෙන ලද්ද උදෙසා කරන ලද්ද නිමැතු භික්ෂාව ද, නො ඉවසමි. ඒ මම කළමුවින් නගා දෙන දෙය, නො පිළිගනිමි. සැළිමුවින් නගා දෙන දෙය, එළිපත අතර කොට සිට දෙන දෙය, දණ්ඩක් අතරකොට සිට දෙන දෙය, මොහොලක් අතරකොට සිට දෙන දෙය, අනුභව කරනවුන් දෙදෙනකුගෙන් එක් අයකු අවුත් දෙන දෙය, ගැබිණිය විසින් දෙන දෙය, කිරිපොවන්නිය විසින් දෙන දෙය, යම් තැනක බල්ලෙක් පැමිණ සිටියේ නම් ඌ ට නො දී දෙන දෙය, යම් තැනක මැස්සෝ කැටිකැටි ව හැසිරෙත් නම් එ හි දී දදෙන දෙය නො පිළිගනිමි. දියමස් නො වළඳමි. සුරා නො බොමි. පුෂ්පාසවය නො බොමි."

  • ආහාරය
"මම පිඬු පිණිස එක් ම ගෙයක් පමණක් කොට ගත්තෙම් වෙමි. එක ම පිඬකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් දෙකක් පමණක් ගත්තෙම් වෙමි. පිඬු දෙකකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් සතක් පමණක් ගත්තෙම් වෙමි. පිඬු සතකින් යැපෙන්නෙම් වෙමි. එක් කුඩා බත් තැටියකින්, බත් තැටි දෙකකින්, බත් තැටි සතකින් ද, යැපෙන්නෙමි. දවසකට වරක්, දෙදවසකට වරක්, සත් දවසකට වරක් ආහාර ගනිමි. මෙ සේ මෙ ලෙසින් සත් දවසකට වරක් ආහාර ගනිමි. මෙ සේ මෙ ලෙසින් අඩමසකට වරක් ද, වාර වශයෙන් බත් බුදීමෙ හි යෙදුනෙම් වාසය කරමි."

"ඒ මම අමුපලා බුදින්නෙම් හෝ වෙමි. බඩහමු බුදින්නෙම් හෝ වෙමි. ඌරුහැල් බුදින්නෙම් හෝ කපා හළ සම් කසට බුදින්නෙම් හෝ වෙමි. මැලියම් බුදින්නෙම් හෝ වෙමි. සහල් කුඩු හෝ බුදින්නෙම් වෙමි.දඹු බත් බුදින්නෙම් හෝ වෙමි. මුරුවට බුදින්නෙම් හෝ වෙමි. තණකොළ බුදින්නෙම් හෝ වෙමි. ගොම බුදින්නෙම් හෝ වෙමි. වනමුල් ඵල ආහාර කොට ඇත්තෙම් සවයංපතිත ඵල බුදින්නෙම් හෝ යැපෙමි."

  •  වස්ත්‍ර
"ඒ මම හණ වැහරිත් දරමි. නන්වැදෑරුම් හූ මුසුකොට වියූ පිළි ත් මිණී එතූ පිළි ත් දරමි. රුක්පතුරෙන් කළ පිළි ත් දරමි. අඳුන්දිවි සම් ද, දරමි. මැදින් පැලූ කුර සහිත අඳුන්මුව සම් ද, දරමි. කුසතණවැහැරි ද, දරමි. නියදවැහැරි දරමි. පුවරුවැහැරි ද, දරමි. කෙස්වලින් කළ කම්බිලි ද, දරමි. අස්ලෝමින් කළ කම්බිලි ද, දරමි. බකමුණු පියාපතින් කළ වැහැරි ද, දරමි."

  • තපස් බව
"ඒ මම කෙස් රැවුල් ඉදිරීම නමැති අනුයෝගයෙ හි යෙදුනෙම් වෙමි. අසුන් පිළිකෙව් කළෙමි. උඩුකුරු වැ සිටින්නෙම් ද, වෙමි. උත්කුටික වීර්යයෙන් යුක්ත වුයෙම් උත්කුටිකයෙන් සිටින්නෙම් ද, වෙමි. කටු ඇතිරියෙ හි සක්මන් ආදිය කරන්නෙම් කටු සවිකළ වැතිරෙන පුවරුවෙ හි ශයනය කරමි. සවස තුන්වැනිකොට දිය ට බැසීම් නමැති අනුයෝගයෙ හි යෙදුනෙම් වාසය කරමි."

"මෙ සේ මෙ බඳු නන්වැදෑරුම් සිරුර තැවීමෙ හි පෙලීමෙ හි හාත්පසින් තැවීමෙ හි එක්වන් යෙදුනෙම් වෙසෙමි. ශාරිපුත්‍රය, මේ මා ගේ තපස්බව වෙයි."

  • රළු පිළිවෙත්
"ශාරිපුත්‍රය, මේ මා ගේ රළුබව වෙයි. නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලෙ හි හටගත් රජස්දැලි සිරුරෙ හි රැස් වුයේ හටගත් පැළිවළ ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, නොයෙක් අවුරුදු ගණන් වයසැති හටගත් පතුරු ඇති මහත් වූ තිඹිරි කණුවක් යම් සේ වේ ද, ඒ පරිද්දෙන් ම මා ගේ සිරුරෙ හි නොයෙක් අවුරුදු ගණන් වයසැති රජස්දැලි රැස් වූයේ හටගත් පැළිවළ ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, මට මෙ වන අදහසක් නො වෙයි. 'මම මෙ රජස්දැලි තීන පිරිමදින්න්නෙම් හෝ අන්‍යයෝ හෝ මා ගේ රජස් දැලි අතින් පිරිමදින්නාහු නම් යෙහෙකැ යි' මෙ සේ ත් මට අදහස් නො වෙයි. ශාරිපුත්‍රය මේ මා ගේ රළු පිළිවෙතයි."

  • පාපය පිළිකුල් කිරීම
"ශාරිපුත්‍රය, එ හි මේ මා ගේ පව ට පිළිකුල් බව වෙයි. ශාරිපුත්‍රය, 'කුඩාපණුවන් නො මරම් වා' යි සිහි ඇති ව ඉදිරියට යමි. සිහිඇති ව ම පෙරළා එමි. 'මම විෂමස්ථාන ගත වූ කුඩා දියබිඳු ය යි කියන ප්‍රාණීන් විනාශය ට නො පමුණුවම් වා' යි දියබින්දුවෙ හි පවා දයාව එළඹ සිටියා වෙයි. ශාරිපුත්‍රය, මේ මා ගේ පව ට පිළිකුල් කරන බව වෙයි."

  • ප්‍රකෘෂ්ටවිවේකය
"ශාරිපුත්‍රය, මේ මා ගේ ප්‍රකෘෂ්ටවිවේකය වෙයි. ශාරිපුත්‍රය, මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම් කලක ගොපාලයකු හෝ පසුපාලයකු හෝ තණගෙන යන්නකු හෝ දරගෙන යන්නෙකු හෝ වනකැමියෙකු හෝ දකිමි ද, එ කළ මම සිටි වනයෙන් අන් වනයකට සිටි ළැහැබින් අන් ළැහැබකට මිටිබිමින් මිටිබිම ට උස් බිමින් උස්බිමට යමි. කවර හෙයන් යත් ඔහු මා නො දකිත් වා, මම ද, ඔවුන් නො දකිම් වා, යි යන අදහසිනි. ශාරිපුත්‍රය, වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ළැහැබින් ළැහැබ ට මිටි බිමින් මිටි බිම ට උස් බිමින් උස් බිම ට යම් සේ ද, ශාරිපුත්‍රය මම ත් එ පරිද්දෙන් ම ගොපාලයකු හෝ පසුපාලයකු හෝ තණගෙන යන්නකු හෝ දරගෙන යන්නෙකු හෝ වනකැමියෙකු හෝ දකිමි ද එ කල මම වනයෙන් වනයට ළැහැබින් ළැහැබ ට මිටි බිමින් මිටි බිම ට උස් බිමින් උස් බිම ට යමි. ශාරිපුත්‍රය, මේ මා ගේ ප්‍රකෘෂ්ටවිවේකය වෙයි."


  • මහාවිකට භෝජනය
"ශාරිපුත්‍රය, මේ මා ගේ මහාවිකට භෝජනය වෙයි. ශාරිපුත්‍රය, ඒ මම පිටත් ව ගිය ගෙදරින් ඇති පහ ව ගිය ගොපල්ලන් ඇති යම් ඒ ගොවුදු වේ ද, එ හි දෙදණ දෙවැලමිට බිමතැබුවෙක් ව එළඹ දෙනුන් වෙත ට කිරි බීම ට පැමිණෙන වසුපැටවුන් ගේ යම් ඒ ගොම වේ ද, ඒ ගොම අනුභව කරමි. ශාරිපුත්‍රය, යම්තාක් මා ගේ ස්වකීය මළමුත්‍ර හීන නො වූයේ ද, ඒ තාක් ස්වකීය මළමුත්‍ර අනුභව කරමි. ශාරිපුත්‍රය, මේ මා ගේ මහාවිකට භෝජනය වෙයි."


  • උපේක්ෂා විහරණය
"ශාරිපුත්‍රය, ඒ මම එක්තරා බිහිසුණු වනළැහැබකට වැද වාසය කරමි. ඒ බිහිසුණු වනළැහැබෙ හි මේ මතු පැවසෙන භීෂණ භාවය වෙයි. යම්කිසි අවීතරාගයක් ඒ වනළැහැබ ට පිවිසියේ නම්, බොහෝසෙයින් ලොමුදැහැ ගනී. ශාරිපුත්‍රය, ඒ මම නවම්, මැදින් දෙමස අතර අටදවසෙ හි වූ හිම වැටෙන කාලයෙ හි හේමන්ත ඍතුව ට අයත් සීත වූ යම් ඒ රාත්‍රීහු වෙත් ද, එ බඳු රාත්‍රී මුළුල්ලෙහි එළිමහනෙහි වෙසෙමි. දවල් වනළැහැබෙ හි වෙසෙමි. ග්‍රීශ්මයෙ හි පැසුළු මාසයෙ හි දවල් එළිමහනෙ හි වෙසෙමි. රාත්‍රියෙ හි වනළැහැබෙ හි වෙසෙමි."

"ශාරිපුත්‍රය, තව ද, මට පෙර නො ඇසුවිරූ මතු මතු ආශ්චර්‍යය උපදවන මේ ගාථාව වැටහින. ශුද්ධිය සෙවීමෙහි මුණි වූ මම ග්‍රීෂ්මයෙන් අතිස්හෙයින් තැවුනෙමි. ඉතා තෙත් වූයෙමි. බිහිසුණු වූ වනයෙ හි එකලා වුයෙම් නග්න වුයෙම් ද, ගින්න වෙත නො එළඹීමි."

ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිණී ඇට කන්වයින් කොට ගෙන ශයනය කරමි. ශාරිපුත්‍රය එ කල මා වෙත ට ගොපලු දරුවෝ පැමිණ මා වෙත කෙල ද, ඔවිත්. ශාරිපුත්‍රය, මා ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවුයෙමි යි නො දනිමි. ශාරිපුත්‍රය, මෙය වනාහි මා ගේ උපේක්ෂා විහරණය යි."


  • අල්පාහාරභාවය
"ශාරිපුත්‍රය, 'ආහාරයෙන් ශුද්ධිය වෙති' යි කියන්නා වූ මෙ සේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. ඔවුහු ඩෙබරවලින් යැපෙන්නෙමු යි මෙ සේ කියත්. ඔහු ඩෙබරඵල ද, කත්. ඩෙබරසුණු ද, කත්. ඩෙබරමැඩගත් දිය ද, බොත්. නන්වැදෑරුම් දෙබරින් කළ ආහාර ද, අනුභව කරත්. තව ද, ශාරිපුත්‍රය, මම එක ම ඩෙබරඵලයක් ආහාර වශයෙන් ගැත්තෙක්මි යි දනිම් ම ය. ශාරිපුත්‍රය, ඒකාන්තයෙන් ඒ සමයෙ හි ඩෙබරඵල මහත් වුයේ දෝ යි ඔබ ට මෙබඳු අදහසක් ඇති විය හැකි ය. ශාරිපුත්‍රය, මෙය එ සේ නො දත යුතු ය. එ කල් හි ද, ඩෙබරඵල මෙ කල යම් පමණ මහත් නම් එ පමණ ම වුයේ ය."
 
"ශාරිපුත්‍රය, එක ම ඩෙබරඵලයක් ආහාරය ට ගන්නා වූ මා ගේ කය අතිශය කෘශභාවය ට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළුවැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්ප ආහාරයෙන් මා ගේ අංගප්‍රත්‍යයෝ ද, එ බඳු ම වෙයි.  ඔටුපිය යම් සේ වේ ද, මා ගේ නිසීදනමාංසය ද, ඒ අල්පාහාර භාවයෙන් එ බඳු ම වෙයි.  කුරුඳු වැල යම් සේ වේ ද, මා ගේ කොඳුඇටය ඒ අල්පාහාර භාවයෙන් උස්පහත් වූයේ වෙයි. දිරූ ශාලාවක ගොනැස්හු යම් සේ වේ ද, උඩුයටි ව නැමුනාහු වෙත් ද, එ පරිද්දෙන් මා ගේ ඉලඇට ඒ නිරාහාර භාවයෙන් ම උඩුයටි ව නැමීගියාහු වෙයි. ගැඹුරු ළිඳක උදාක තාරකාවෝ ගැඹුර ට ගියාහු ඇතුළට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එ පරිද්දෙන් ම මා ගේ අක්ෂිකුපයන් හි ඇස්තරු ඒ අල්පාහාර භාවයෙන් ම ගැඹුර ට ගියාහු ඇතුල ට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලැබුවක් අමු කල සිඳිනා ලද්දේ අවු සුළඟින් පැලී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එ පරිද්දෙන් ම මා ගේ හිසෙ හි සිවිය ඒ අල්පාහාර භාවයෙන් ම පැලී ගියේ මැලවී ගියේ වෙයි."

"ශාරිපුත්‍රය, ඒ මම උදර සිවිය පිරිමදින්නෙමි යි පිටකටුව ම අල්ලා ගනිමි. පිටකටුව පිරිමදින්නෙමි යි උදර සිවිය ම අල්ලා ගනිමි. ශාරිපුත්‍රය, ඒ අල්පාහාරභාවයෙන් ම උදර සිවිය පිටකටුව හා ඇලුනේ වෙයි. ශාරිපුත්‍රය, මම මළ හෝ මූ පහ කරන්නෙමි යි එ හි ම යටිහුරු ව වැටෙමි. ඒ අල්පාහාරභාවයෙනි."   

"ශාරිපුත්‍රය, 'ආහාරයෙන් ශුද්ධිය වෙති' යි කියන්නා වූ මෙ සේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. ඔවුහු මුඟුවෙන් යැපෙන්නෙමු යි, තලයෙන් යැපෙන්නෙමු යි, සහලින් යැපෙන්නෙමු යි, මෙ සේ කියත්. ඔහු සහල් ද, කත්. සහල්සුණු ද, කත්. හාල්පානු ද, බොත්. නන්වැදෑරුම් සහලින් කළ ආහාර ද, අනුභව කරත්. තව ද, ශාරිපුත්‍රය, මම එක ම සහල් ඇටයක් ආහාර වශයෙන් ගත්තෙක්මි යි දනිම් ම ය. ශාරිපුත්‍රය, ඒකාන්තයෙන් ඒ සමයෙ හි සහල් ඇටය මහත් වුයේ දෝ යි ඔබ ට මෙබඳු අදහසක් ඇති විය හැකි ය. ශාරිපුත්‍රය, මෙය එ සේ නො දත යුතු ය. එ කල් හි ද, සහල් ඇටය මෙ කල යම් පමණ මහත් නම් එ පමණ ම වුයේ ය."

"ශාරිපුත්‍රය, එක ම සහල් ඇටයක් ආහාරය ට ගන්නා වූ මා ගේ කය අතිශය කෘශභාවය ට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළුවැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්ප ආහාරයෙන් මා ගේ අංගප්‍රත්‍යයෝ ද, එ බඳු ම වෙයි.  ඔටුපිය යම් සේ වේ ද, මා ගේ නිසීදනමාංසය ද, ඒ අල්පාහාර භාවයෙන් එ බඳු ම වෙයි.  කුරුඳු වැල යම් සේ වේ ද, මා ගේ කොඳුඇටය ඒ අල්පාහාර භාවයෙන් උස්පහත් වූයේ වෙයි. දිරූ ශාලාවක ගොනැස්හු යම් සේ වේ ද, උඩුයටි ව නැමුනාහු වෙත් ද, එ පරිද්දෙන් මා ගේ ඉලඇට ඒ නිරාහාර භාවයෙන් ම උඩුයටි ව නැමීගියාහු වෙයි. ගැඹුරු ළිඳක උදාක තාරකාවෝ ගැඹුර ට ගියාහු ඇතුළට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එ පරිද්දෙන් ම මා ගේ අක්ෂිකුපයන් හි ඇස්තරු ඒ අල්පාහාර භාවයෙන් ම ගැඹුර ට ගියාහු ඇතුල ට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලැබුවක් අමු කල සිඳිනා ලද්දේ අවු සුළඟින් පැලී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එ පරිද්දෙන් ම මා ගේ හිසෙ හි සිවිය ඒ අල්පාහාර භාවයෙන් ම පැලී ගියේ මැලවී ගියේ වෙයි."

"ශාරිපුත්‍රය, ඒ මම උදර සිවිය පිරිමදින්නෙමි යි පිටකටුව ම අල්ලා ගනිමි. පිටකටුව පිරිමදින්නෙමි යි උදර සිවිය ම අල්ලා ගනිමි. ශාරිපුත්‍රය, ඒ අල්පාහාරභාවයෙන් ම උදර සිවිය පිටකටුව හා ඇලුනේ වෙයි. ශාරිපුත්‍රය, මම මළ හෝ මූ පහ කරන්නෙමි යි එ හි ම යටිහුරු ව වැටෙමි. ඒ අල්පාහාරභාවයෙනි. ශාරිපුත්‍රය, මම ඒ ශරීරය අස්වසන්නෙමි අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, ඒ අතින් ශරීරාවයව පිරිමදින මා ගේ සිරුරින් ඒ අල්පාහාරභාවයෙන් ම දිරූ මුල් ඇති ලෝමයෝ ගිලිහී වැටෙත්."   

"ශාරිපුත්‍රය, මම ඒ ඉරියව්වෙන් ද, ඒ පිළිවෙතින් ද, ඒ දුෂ්කරක්‍රියාවෙන් ද, මනුෂ්‍ය ධර්මය ඉක්මවූ ආර්ය භාවය ට නො පැමිණියෙමි. කවර හෙයින් ද යත් දැන් මා විසින් ආර්ය වූ නිවන ට පමුණුවන්නා වූ, ඊට අනුව පිළිපදින්නහු ගේ දුක් කෙළවර කරන්නා වූ යම් ප්‍රඥාවක් අවබොධ කරන ලද්දේ වේ ද, ඒ ප්‍රඥාව එයින් අවබොධ නො කළ බැවිනි."

කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාල මානවක ව ඉපද බුදුන් ට ගැරහීමේ විපාක වශයෙන් මෙවන් අතිශය දුෂ්කර වූ ක්‍රියාවක් සිදුකරන්න ට විය.  කෙ සේ නමුත් ඒ සයවස තුළ සිදුකළ කිසිවකින් විශුද්ධිය ට එළඹිය නො හැකි බව අවබෝධ කොටගෙන එයින් වැළකී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර වෙසක් පුරපසළොස්වක් පොහෝදින සව්කෙලෙසුන් නසා ලොව්තුරා සම්මා සම්බුදු බව ට පත්විය. 

නියත විවරණ ලද බෝසත්වරයකු අතින් පවා මෙවන් අකුසල කාර්ම සිදුවන්නේ නම් අනෙක් පිරිස පිළිබඳ කියනුම කවරේ ද? සංසාරයේ බියකරු බව මෙය යි, ඒ සංසාරයෙන් එතෙර වන මග මෙය යි ද, වදාළ බුදුරදුන් සරණ යන්නෙක් නම්, ඒ ධර්ම රත්නයේ සරණ යන්නෙක් නම්, ඒ සංඝ රත්නයේ සරණ යන්නෙක් නම් ඔබ ත් අප ත් කළ යුතු එක ම දෙය වන්නේ මේ සසරින් එතෙර වීම පිණිස වීර්යය වැඩීම ය. 

ඒ ධර්මාවබෝධය පිණිස ඔබ ට ත්, අප ට ත්, මේ ධර්ම දානය පාරමිතාවක් වේ වා!
තෙරුවන් සරණ යි!

1 comment:

  1. බෝසත්අවධියේ කරපු මේ වගේ අකුසලයකින් මේ තරම් විපාකයක් ලැබුණා කියලා හිතාගන්නවත් බැහැ. අපි මේ සංසාරයේ කොයිතරම් නම් අකුසල් කරගෙන ඇතිද? ඒ බියකරු සසරින් එතෙර වෙන්න ඔබටත් මටත් සැමටත් ඉක්මනින් ම හැකිවේවා!
    බුදුසරණයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...