Wednesday, April 11, 2012

ඇස නො දුටු ලොවක තතු බොදු ඇසින් (03 - කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

ප්‍රේතයින් සඳහා හන්දියක් හන්දියක් ගානේ පෙරේත තටු පිදීම කිසිඳු ඵලක් නැති ක්‍රියාවක් බව මේ ලිපිපෙළ  කියවූවා නම් ඔබ ට අනිවාර්යයෙන් අවබෝධ විය යුතු ය. ප්‍රේතයන් සඳහා පින් පමණක් පැමිණවිය හැකි වන්නේ ය. නමුත් සියලු ම ප්‍රේත කොටස්වල ට පින් අනුමෝදන් විය නො හැකි බව ත්, පින් අනුමෝදන් විය හැක්කේ පරදත්තුපමජීවී නම් ප්‍රේත කොටස ට පමණක් බවත් දේශනාකොට ඇත. නමුත් පමුණුවන පින් අපතේයාමක් හෝ පින් පමුණුවන තැනැත්තන් ට එය නිෂ්ඵල වීමක් සිදු වන්නේ නැත.  

පෙර ලිපි දෙකෙන් ඉදිරිපත් කළේ ප්‍රේතවස්තුව ට අයත් උරගවග්ගය සහ උබ්බරීවග්ගය ට ඇතුළත් කර ඇති ප්‍රේතයින් පිළිබඳ ව ය. මෙ ම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ  ප්‍රේතවස්තුවේ චුල්ලවග්ගයේ ප්‍රේතයින් පිළිබඳ ව ය.



අභිජ්ජමාන ප්‍රේත වස්තුව.
ප්‍රේතය, ගංගා නදියේ පා තැබීමෙන් නො ගැටෙන දිය මතුයෙ හි නිර්වස්ත්‍ර වු පූර්වාර්ධයෙන් දෙවියකු වැනි වු මල්මාලා පැළැන්දා වු සරසන ලද හිස ඇති ව මෙ හි යන්නෙ හි ය. කොතැන් හි යන්නෙ හි ද? විසීම කොහි වන්නේ ද?

වාසභ ගම ට ත් බරණැස ට ත් මැද බරණැස ට සමීප වු චුන‍දත‍ථික නම් ගම ට යන්නෙමි යි ඒ ප්‍රේතතෙම කියයි.

කොලිය යි කියා ප්‍රකට වු මහා ඇමතිතෙම ඒ ප්‍රේතයා දැක ප්‍රේතයා සඳහා අක්සුනු ද බත් ද ස්වර්ණවර්ණ වු වස්ත්‍ර යුග්මයක් ද දුනි.

නැව නැවැත්වු කල් හි කරනවෑමි උපාසකයෙකු ට වස්ත්‍ර දෙකක් දෙවුයේ ය. ඔහු ට වස්ත්‍ර දුන් කල් හි ස්ථාන වශයෙන් එකෙනෙහි ම ප්‍රේතයා ගේ ශරීරයෙ හි දිවසළු දක්කා ලදී.

ඉන්පසු යහපත් දිව්‍යවස්ත්‍ර හැන්දේ මල් පැළැන්දේ සැරසුනේ විය. දන් දීම ට සුදුසු තැන පිහිටියා වු දක්ෂිණා තොමෝ  මේ ප්‍රේතයා ට පින් පැමිණවූයේ ද එ හෙයින් ප්‍රේතයන් ට අනුකම්පාවෙන් නැවත නැවත දන් දෙන්නෙ හි ය.

8සමහර ප්‍රේතයෝ සුන්බුන් රෙදිකඩ හැන්දෝ ද තවත් සමහරු කේශයෙන් විළි වසාගත්තෝ ද ආහාර පිණිසයත් දිගින් දිගට යති.

ඇතැම් ප්‍රේතයෝ ආහාර සඳහා දුවගොස් කිසිවක් නො ලබාම නවතිත්. සාගිනි ඇත්තෝ හටගත් මුලා ඇති ව කරකැවෙමින් බිම වැටුනාහුවෙත්. සමහරු ඒ ගිය තැන් හි වැටී බිම වැටුනාහුවෙත්. පෙර ජාතියෙ හි කුසල් නො කළාහු ද අව්වෙ හි ගින්නෙ හි දැවුනවුන් මෙන් වෙත්.

අපි පෙර ආත්මභාවයෙ හි දි ලාමක ස්වභාව ඇති ගෘහණියන් ව කුලමව්වරු වීමු. දිය යුතු දෙය ඇතිකල් හි තම හට පිහිටක් නො කළෙමු.

එ සේ නමුත් බොහො වූ ආහාර පාන ද නසා දැමීමු. සම්‍යක් ප්‍රතිපන්න වු පැවිද්දන් ට කිසිවක් නොම දුනිමු.

නාකටයුතු අකුශලය ට කැමැත්තෝ වීමු කුශල කාරණයෙ හි අලසයෝ වීමු. මිහිරි වස්තුව ට ප්‍රිය වීමු. බොහෝ කෑවෝ වෙමු. බත් පිඩක් පමණවත් දෙන්නාහු ප්‍රතිග්‍රහකයන් ට පරිභව කළෙමු.

ඒ ගෘහයෝ ද ඒ දාසයෝ ද ඒ ආභරණයෝ ද අප ට නැත්තා හ. අනික් අය ඒ ගෘහාදිය පරිබෝග කරත්. අපි දුකට හිමිවීමු.

නින්දනීය වූ නළකරු ව හෝ සොම්මර ව හෝ උපදිත්. මිත්‍රද්‍රෝහී හෝ වෙත්. චන්දාල කුල ඇති ව හෝ ඉතා දිළිඳු ව උපදිත්. නැහැවී ව හෝ යළි යළි ත් උපදිත්. ඉතා දිළිඳු යම් යම් පහත් කුලයෝ වෙත් ද, ඒ ඒ කුලයන් හි ම උපදිත්, මෙය මසුරුකම ඇත්තා ගේ ස්වභාවය යි.

පෙර පහකළ මසුරු මළ ඇති ව කළ කුසල් ඇති වූ ම දායකයෝ වෙත් ද, ඔවුහු තුමූ ස්වර්ග ලෝකය පුරවත්. නන්දන වනය බබුළුවත්. වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී කාම සම්පත් පරිභෝග කළාහු එයින් චුත ව මහත් සම්පත් ඇති උසස් කුලයන් හි උපදිත්.කුලයෙ හි උප්නනෝ කුළුගෙයි ද, පහයෙ හි ද, දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද පර්යකයෙ හි දිනු සිරුර ඇති මොණර පිලින් සැරසුන විජිනිපත් ගත් අතින් යුක්ත ව පිරිවර ජනයා ඇත්තෝ ව ඇලෙත්.
මල් මලා දරමින් අලංකාර වුවාහු ඇකයෙන් ඇකය ට යත්. සැප කැමති වු කිරි මව්වරු සවස් කාලයෙ හි ද උදය කාලයෙ හි ද උපස්ථාන කරත්.

ශොක රහිත වු රම්‍ය වු දෙවියන් ගේ මහා වනය වු මේ නදුනුයන පින් නො කළවුන් ට නො ලැබෙත්. පින් කළ වුන් ට ම ලැබෙත්.

පින් නො කළවුන් ට මෙ ලොව ද පරලොව ද සැපක් නැත. පින් කලවුන් ට මේ ආත්ම භාවයෙ හි දී පරලොව දී ද සැප ම ලැබේ.

ඒ යථොක්ත දෙවියන් හා සහභාවය කැමැත්තන් විසින් බොහෝ කුසල කර්ම කටයුතු යි. පින් ඇතියාහු දිව්‍ය පඤ්ච කාම සැපතින් යුක්තවුවාහු ස්වර්ගයෙ හි සතුටුවෙත්.

සානුවාසී ප්‍රේතයා ගේ කථාව

කුණ්ඩි නම් නුවර උපන් සම්බන‍ධ කම් ඇති සානු පර්වතයෙ හි වසන්නා වු නමින් පොට්ඨපාද නම් වු සමිත පාපී වු වඩනා ලද ශ්‍රධාදී ඉන‍ද්‍රියයන් ඇති ස්ථවිරනමක් විය.

ඒ තෙරුන් ගේ මවු ද පියා ද සහෝදරයා දුක්ඛිත වු ද ප්‍රේත ලොකයෙ හි උපන්නාහු ය. පව්කම් කොට මෙයින් ප්‍රේතලොකය ට ගියාහු ය.

දුක ට පත් වු ඉඳිකටු බඳු රළු වස්ත්‍රාදියෙන් පීඩිත වු ක්ලාන්ත වු කාය චිත්ත ඇති නග්න වු කෘශ වු බියෙන් තැති ගන්නා වු හටගත් මහත් බිය ඇති දරුණු කර්ම කළා වු ඒ ප්‍රේතයෝ තමන් නො දක්වත්.

ඒ තෙරුන් ගේ සොහොයුරුතෙම බියෙන් දුරු ව නිර්වස්ත්‍ර ව තනි ව මාර්ගයෙ හි යන්නේ සතර ට වකුටු වී තෙරනුවන් ට තමා දැක්විය.

ස්ථවිර තෙමේ ද මෙනෙහි නො කොට නිශ්ශබ්ද වුයේ වැඩි සේක. ඒ ප්‍රේත තෙමෙ ද මම සහෝදරයෙමි ප්‍රේතාත්මය ට පැමිණියෙමි යි තෙරුන් ට දැන්වීය.

ස්වාමිනි, නුඹ ගේ මවු ද පියා ද ප්‍රේත ලෝකයෙ හි උපන්නෝ දුක ට පත් වූවො ය. පවිටු කර්මයක් කොට මෙයින් ප්‍රේත ලෝකය ට ගියෝ ය.

දුගතිය ට ගිය ඉඳිකටු වැනි වස්ත්‍රාදියෙන් පීඩිත වු ක්ලාන්ත වු කාය චිත්ත ඇති නග්න වු කෘශ වු බියෙන් තැති ගන්නා වු හටගත් මහත් බිය ඇති දරුණු කර්ම කළා වු ඒ ප්‍රේතයෝ තමන් නො දක්වත්.

කරුනාවන්ත වු ඔබවහන්සේ අප ට අනුකම්පාකරනු මැනව. දන් දී පින් පමුනුවනු මැනව. නුඹ වහන්සේ විසින් දෙන ලද දාන හේතුවෙන් කෘර කර්ම ඇත්තෝ යැපෙන්නා හ.

ස්ථවිරතෙම තව ත් භික‍ෂුන් දොළොස් නමක් ද පිඬු පිණිස හැසිර බත් වැළදීම නිමිත්ත කොට එකට රැස්වුවාහු ය.

ස්ථවිරතෙමේ ලද යම් යම් දානය මට දෙව. නෑයන් ට අනුකම්පා පිණිස සඟ බත් කරන්නෙමි යි ඒ සියල්ලන් ට ම කීයේ ය. තෙරුන්ට භාර කළාහු ය. ස්ථවිරතෙම සංයා ආරාධනා කෙළේය. ස්ථවිරතෙම දන්දී මවටද පියාටද සහෝදරයාටද, පින් පැමිණවීය. මාගේ නැයන් ට මේ පින වේ වා. නෑයෝ සුවපත් වෙත් වා යි පින් පැමිණවිය. පින් පැමිණවීම ට අනතුරු ව ම පවිත්‍ර වු ප්‍රණීත වු මිහිරි වු නොයෙක් රසමසවුලෙන් යුක්ත වු දිව බොජුන් පහළ විය. ඉන් පසු සහෝදරයා වර්ණවත් වූයේ ශක්තිමත් වූයේ සුවපත් වූයේ තමා දැක්වීය.

ස්වාමීනි බලනු මැනවි. බොහෝ වූ දිව්‍ය භොජන ලබන ලදී. අපි නග්නයෝ වෙමු. ස්වාමීනි යම් සේ වස්ත්‍ර ලබමු ද, එ සේ වෑයම් කරනු මැනව.

ස්ථවීර තෙමෙ දමන ලද රෙදි කැබලි කසල ගොඩින් අහුලාගෙන රෙදි කැබලි එක්කොට සිවුරක් කොට සිව්දිගින් වැඩි සංඝයා ට දුනි. මව ට ද පියා ට ද සහෝදරයා ට ද මා ගේ නෑයන් ට මේ පින වේ වා නෑයෝ සුවපත් වෙත් වා යි පින් පැමිණ විය.

පින් පැමිණවිම ට අනතුරු ව පවිත්‍රවු ප්‍රණීත වු මිහිරි වු නොයෙක් රසමසවුලෙන් යුක්ත වු දිව්‍ය වස්ත්‍ර පහළ විය. ඉක්බිති යහපත් වස්ත්‍ර හැන්දේ තමා තෙරුනට පෙනී සිටියේ ය.

වහන්ස, නන්ද රජු ගේ රටෙ හි යම්තාක් වස්ත්‍ර වෙත් ද, අප හඳනා පිළි එය ට ත් වඩා බොහෝ වෙයි. කෝසෙය්‍යවස්ත්‍ර හා කම්බිලි ද, කොමුපිලි හා කපුපිළි ද, යන මහත් වූ මාහැඟි වූ ද, ඒ වස්ත්‍රයෝ අහසෙහි ම එළඹෙත්. යම් යම් වතක් අප ගේ සිත ට ප්‍රිය වී නම් අපි ඒ වස්ත්‍ර ම හඳිම් හ. ස්වාමීනි යම් සේ ගෙයක් ලබම් ද එ සේ වෑයම් කරනු මැනව.

තෙරුන් වහන්සේ කොළ ගෙයක් කොට සතර දිගින් වැඩි සංඝයා ට දුන්නේ ය.

මව ට ද පියා ට ද සහෝදරයා ට ද මා ගේ නෑයන් ට මේ පින වේ වා නෑයෝ සුවපත් වෙත් වා යි පින් පැමිණ විය.පින් පැමිණවිම ට අනතුරු ව ගෙවල් පහළවූවාහු ය. බෙදන ලද්දා වු කොටස් වශයෙන් පිරිසිදින ලද්දා වු කුළුගෙවල් හා නිවෙස් වූ ගෘහයෝ පහළවූ හ. මේ ප්‍රේත ලොකයෙ හි අප ගේ ගෘහයෝ යම්බඳු වෙත් ද එබදු ගෘහයෝ මිනිසුන් අතර නො වෙත්.දෙව්ලොව යම් බඳු පහයෝ වෙත් ද මෙ හි එබඳු වු අප ගේ ගෘහයෝ ඉතාමත් දිලිසෙමින් හාත්පස සිවුදිගින් බබුළුවත්.

ස්වාමීනි, දැන් අප ට පැන් ලැඛෙන පරිද්දෙන් වෑයම් කරනු මැනව. එ විට ස්ථවීර තෙම පැන් පිරවූ ඩබරාව පුරවා සතර දිගින් වැඩි සංඝයා ට දුන්නේ ය.

එ සේ දී තෙරුන් වහන්සේ මවුපියන් ට හා සහෝදරයා ට ද මා ගේ නෑයන් ට ද, මේ පින වේ වා නෑයෝ සුවපත් වෙත් වා යි කියා පින් දුන්නේ ය.

එකෙනෙහි ම දිව පැන් පහළ විය. ගැඹුරු සතරැස් පොකුණු මැවුනා හ. ඒ පොකුණු සුදු වැලිතලාවෙන් හා ජලයෙන් යුක්තවු හ. යහපත් තොටුපල් ඇත්තා හ. සිහිල් ජලය ඇත්තා හ. මනා සුවඳීන් යුක්ත වු හ. ඒ ඒ තැන ජල මත්තෙහි රතු පියුම් සුදු පියුම් ආදී මල් රේණු බරින් වැසී පිරුණා හ.

එ හි නා බී තෙරුන් ට දැක්වු හ. ස්වාමීනි, බොහෝ වු දිව පැන් පහළ විය. අප ගේ පාදයෝ දුකින් පැලෙත්. කැටගල් ඇත්තා වු ද කුසකටු ඇති භූමි ප්‍රදේශයෙ හි ඇවිදින්නාහු කොර ගසමින් යම් හ. ස්වාමීනි යම් සේ යානාවක් ලබමු ද එ සේ උත්සාහ කරනු මැනව.

ස්ථවීර තෙම සම්පටක් ඇති වහන් සඟලක් ලැබ සතර දිගින් වැඩි මහ සංඝයාට දුනි. මව්පියාදීන් ට පින් දුන්නේ ය. එකෙනෙහි ම දිව්‍ය රථ පහළ වී ප්‍රේතයෝ දිව්‍ය රථයෙන් පැමිණියාහු ය.

ස්විමීනි, ඔබ වහන්සේ ට යහපතක් ම වේ වා. ආහාර දානයෙන් ද ගෘහ දානයෙන් ද පැන් දීමෙන් ද යාන දානයෙන් ද උභය දානයෙන් අනුකම්පා කරන ලද්දේ වම් හ. ස්වාමිනි, ලෝකයෙ හි කරුණා සම්පන්න වු ඔබ වහන්සේ වැඳීම ට පැමිණියෝ වෙමු.
 

 රථකාර ප්‍රේතයා ගේ කථාව

මහත් දිව්‍ය අනුභාව ඇති දෙවඟන, වෛධුර්යමය කණු ඇති මනොඥ වු පැහැ විහිදෙන්නා වු, නොයෙක් සිතියමින් සැරසුනු විමන ට නැගී අහස්තලයෙ හි පසලොස්වක දින චන්ද්‍රයා මෙන් ඒ විමනෙ හි හිඳීනෙ හි ය.
 

ති ගේ ශරීර වර්ණය ද ඔප් නැගි ස්වභාව ඇත්තේ රන් හා සමානවුයේ අතිශයින් දර්ශනය වෙයි. බොහෝ වටිනා ශ්‍රේෂ්ඨ ආසනයෙ හි තී හුදෙකලාව හිඳීන්නී වෙයි. තිට හිමියෙක් ද නැත්තේ ය.

ති ගේ මේ පොකුණු හාත් පස බොහෝ මල් ඇත්තා හ. බොහෝ සුදු පියුම් ඇත්තා හ. රුවන් වැල්ලෙන් හාත්පස ගැවසි ගත්තා ය. එ හි මැද දිය සෙවෙල් ද නැත්තේ ය.

දර්ශනීය වූ මනෝරම්‍ය වු මේ හංසයෝ ද, ජලයෙ හි සෑම කල් හි ඔබ මොබ සැරිසරත්. සියල්ලෝ ම එක් ව පිඩු කල නාද ඇතිවිට මිහිඟු බෙර හඬක් මෙන් මිහිරි කොට නාද කරත්.

ඉසුරුමතිය, තී දිව්‍යමය සෘධියෙන් ඉතාමත් දිලිසෙමින් රුවන් නැවෙ හි එල්බී හිඳීනෙ හි වෙළුන නිල් දික් ඇස් ඇත්තී ලොව ඇති සිනහ මුව ඇති ප්‍රිය වචන කියන්නාවු ශොභන අංගප්‍රත්‍යංග ඇත්ති ය. අතිශයින් බැබළෙයි.

මේ විමන රජස් රහිත වු, සම භූමියෙ හි පිහිටියා වු නන්දන වනයෙන් යුක්ත වු සැප ප්‍රීති වර්ධනය කරන්නකි. අලාමක දැකුම් ඇති ස්ත්‍රිය මම තී හා සමග විමනෙ හි හෝ මේ නන්දන වනයෙ හි අභිරමණය කරන්න ට කැමැත්තෙමි.

මෙහි විපාක ද වින්ද යුතු වු, කුශල කර්මයක් කරව. නුඹ ගේ සිත ද මෙ හි පිහිටවා මෙ සේ මතැන විපාක වින්ද යුතු වු කුශල කර්මය කොට කැමතිවිය යුතු කාමයෙන් යුක්ත වු මා ලබන්නෙ හි ය.

හෙතෙම මැනවැ යි ඇ ගේ වචන පිළිගෙන එ හි විපාක විඳීමට සුදුසු වු කුශල කර්මය කළේ ය. මානවකතෙම එ තැන් හි වින්ද යුතු වු කුශල කර්මය කොට ඇගේ සභාවය ට පැමිණියේ ය.


භුස ප්‍රේතයා ගේ කථාව
 

එකෙකේ ගිනිගත් හැල්වී බොල් හිස විසුරුවා ගනී. නැවත තව ත් එකෙක් හිස සිඳීම ට පැමිණෙයි. මේ ස්ත්‍රිය ද තම පිට මස් හා ලේ අනුභවකරයි. තී ද අපවිත්‍ර වු පිළිකුල් කටයුතුවු අශුචි අනුභව කරහි. කවර අකුශල කර්මයක්හු ගේ මේ විපාකය වේ ද?

මේ තෙම පෙර මව ට හිංසා පීඩා කළේ ය. මෙ තෙම (දෙවැන්නා) වූ කලී වෙළෙන්දෙකි. මො තොමෝ මස් කා බොරු කීමෙන් වංචා කළේ ය. මම මිනිස් ලොව මනුෂ්‍යයෙක් ව සියලු කුශලය ට ඊශ්වර වු ගෘහපතියෙක් වීමි. ධනය ඇති කල් හි ම නැතැ යි අඟවා මෙයින් කිසිවක් නුදුනිමි. මෙය මා ගේ ගෙයි නැතැ යි බොරු කියමින් වසාලීමි. ඉදින් මා ගේ ගෙයි ඇති ව සඟවන්නෙම් නම් මා ගේ ආහාරය අශුචි වේ වා යි සපථ කළෙමි.

ඒ අකුශල කර්මයා ගේ ද මුසාවාද අකුශලයා ගේ ද, කර්ම දෙදෙනා ගේ විපාක හේතුවෙන් සුවඳල් සහල් බත මා හට අශුචි බව ට පෙරළෙයි.

කුශලා කුශල කර්මයෝ වඳනො වෙත්. එය කර්මය නො වැනසේ ම ය. දුගඳ වු හටගත් පණුවන් ඇති අශුචි අනුභව කරමි. පානය ද කරමි.



කුමාර ප්‍රේතයා ගේ කථාව

ශස්තෘන් වහන්සේ යම් සේ පුද්ගලයා ප්‍රකාශ කළ සේක් ද, සර්වඥයන් වහන්සේ ගේ සර්වඥතා ඥනය ආශ්චර්ය ස්වභාව ඇත්තේ ය. අධික කුශල ධර්ම ඇත්තා වු ද සමහර පුද්ගලයෝ වෙත් ම ය. ඉතා සුලු පින් ඇත්තා වු ද සමහරු වෙත් ම ය.

සොහොනෙ හි බහාලන ලද මේ කුමාර තෙම ඇඟිල්ලෙන් වැගිරුනු කිරෙන් රාත්‍රියේ යැපෙයි. කරන ලද පින් ඇති කුමරු යක්ෂ හෝ සර්පයෝ නො පෙලුවාහු ය.

සුනඛයෝ ද මේ කුමරු ගේ පාදයන් පිරිමැද්දාහුය. කවුඩෝ ද සිවල්ලු ද ඔබ මොබ පෙරලත්. පක්ෂි සමුහයා ගැබ්මළ ඉවත් කරත්. කවුඩෝ වනාහි ඇස් මල ඉවත් කරත්.

කිසි මනුෂ්‍ය කෙනෙක් මේ කුමරු ගේ රැකීම නො කළාහු ය. ඖෂධ හෝ අබදුම් දීම හෝ නො කළහු ය. නැකත් යෝග ද නො ගත්තාහු ය. ඇල් ආදී සර්වධාන්‍යයන් ද නො විසුරුවාහු ය.

රාත්‍රියෙ හි ගෙනෙන ලදුව සොහොනෙ හි දමන ලද්දා වු ඉතා ම දුප්පත් වු වෙඬරුපිඬක් බඳු වු වෙවුලන්නා වු ජීවත් වේ දෝ නො වේ දෝ යි සැක සහිත වු ජීවිත මාත්‍රය ම ඉතිරි වු මෙ බඳුවු ඒ කුමරු දෙව් මිනිසුන් විසින් පුදන ලද්දා වු මහා ප්‍රාඥ වු තථාගතයෝ දුටු සේක. ඔහු දැකුම මේ කුමරතෙම මේ නුවර භෝගසම්පත්තියෙන් ද කුලයෙන් ද උසස් කෙනෙක් වන්නේ ය යි ප්‍රකාශ කළ සේක.

මේ කුමරු ගේ වෘතසමාදානය කුමක් ද? ශ්‍රේෂ්ඨ හැසිරීම කුමක් ද? මොනවට පුරුදු කරන ලද්දා වු කෙබඳු වුවක්හු ගේ මේ විපාකය වේ ද? මෙ බඳුවු විපත ට පැමිණ එ බඳුවු කී පරිදි සම්පත් ද, දිව්‍ය සම්පත් ද, නැවත වළඳන්නේ ද?

ජන සමුහයා බුද්ධප්‍රමුඛ වු භික්ෂු සංඝයාහට මහත් පූජාවක් කළේ ය. එ හි දී මොහු ගේ සිත ට අගෞරවයක් ඇති විය. යහපත් සභාවෙ හි නො කිවයුතු වු රළු වචනයක් කීයේ ය. හෙතෙම නැවත ඒ ලාමක විතර්කය පහකොට ප්‍රීතිය ද ප්‍රසාදය ද ලැබ ජේතවනයෙ හි වැඩවසන්නා වු තථාගතයන් වහන්සේ ට සත් දිනක් කැඳ දානයෙන් උපස්ථාන කළේ ය.

මොහු ගේ ඒ වෘතසමාදානය ද ඒ ශ්‍රේෂ්ඨ චර්යාව ද වේ. මනා සේ පුරුදු කරන ලද්දා වු ඒ කර්මයා ගේ මේ විපාකය වේ. මෙ බඳු විපත ට පැමිණ එ බඳුවු ඒ උක්තප්‍රකාර සම්පත් ද දිව්‍ය සෘධිය ද නැවත වළඳන්නේ ය.

ඒ කුමාර තෙම මේ මිනිස් ලොව ම අවුරුදු සියයක් මුළුල්ලෙ හි සියලු කාම සැපතින් යුක්ත ව සාට ශරීරයා ගේ බිඳීමෙන් ශක්‍රයා ගේ සහභාවය ට යන්නේ ය.

සෙරිණි ප්‍රේතියගේ කථාව
 

තෝ නග්න ය. දුර්වර්ණ රූප ඇතියහු කෘශ වෙහි. ඉල්පුනු නහර ඇතියහු උස් ව මතු වූ ඉළ ඇති කෘශ වූ මෙ හි සිටින තෝ කවරහු ද?

ස්වාමීනි, මම යමලොව උපන් දුක ට පත් ප්‍රේතියක්මි.  පව්කම් කොට මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියා වෙමි.

එම්බල ප්‍රේතිය, කය, වචන, සිත යන තිදොරින් තී විසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් මෙ ලොවින් ප්‍රේත ලෝකය ට ගියාහු ද?

නො වලක්වන ලද්දා වු තීර්ථයන් කෙරෙහි අඩමස්සක් හැසුරුනෙමි. දාන වස්තු විද්‍යාමාන කල් හි ද තමහට පිහිටක් නො කළෙමි. පිපාස ඇති ව නදිය කරා පැමිණියෙම් නම් දිය හිස් ව පවතියි. උෂ්ණකාලයෙ හි සෙවනකට පැමිණියෙම් නම් අව්ව පැමිණෙයි. වාතය ද ගිනිසමාන ව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස, මේ දුක ද ඊට වඩා දරුණු වු අනික් දුක ට ත් සුදුසු වෙයි.

හස්තිනී පුරය ට ගොස් මා ගේ මව ට කියව, පව්කම් කොට මෙයින් ප්‍රේත ලෝකය ට පැමිණියා වු දුප්පත් වු ප්‍රේත ලෝකවාසි වු තී ගේ දියණිය ද මා විසන් දක්නා ලදී. මෙ හි මා විසින් තබන ලද වස්තුව ඇත්තේ ය එය මා විසින් කිසිවෙකු ට නො කියන ලද්දේ ය.

ආසනය යටින් සාර ලක‍ෂයක් තබන ලද හ. ඒ වස්තුවෙන් මා උදෙසා දන් දේවා. ඒ මව ගේ ජීවිකාව වේ වා. මාගේ මව් තොමෝ දන් දී මට පින පමුනුවා එකල් හී මම සියලු කාමයෙන් සමෘධිවුවා සුවපත් වන්නෙමි යි කීයේ ය.

ඒ උපාසක තෙම යහපතැ යි පිළිවදන් දී හස්තිනි පුරය ට ගොස් ඇගේ මව ට කීයේ ය.

තී ගේ දියණිය පව්කම් කොට මෙයින් මැරීගොස් ප්‍රේත ලෝකයෙ හි ඉපදී දුක් විඳීන්නි මා විසින් දක්නා ලදී.

එ හි දී ඒ ප්‍රේතිතොමෝ මට තිගේ දියණිය අකුසල් කොට මෙයින් සැවගොස් ප්‍රේතලෝකයෙ හි ඉපදී දුක් විඳීන්නී මා විසින් දක්නා ලද්දේ ය යි කියා මවු ට කියනු මැනවැ යි මට මෙ සේ ද, කී ය. පව්කම් කොට ප්‍රේතලොකය ට ගියා වු මා ගේ එ හි තබන ලද මා විසින් කිසිවෙකුට නො කියන ලද. ආසනය යට සාර ලක‍ෂයක් ධනය ඇත. ඉන් මට දානයක් දුන මැනව. සෙස්ස ඇගේ ජීවිකාව ට ද ගනී වා.

මාගේ මවු තොමෝ දන් දී මට පින් පමුනුවා එ කල් හි මම සියලු සැපතින් සම්පූර්ණ ව සුව ඇත්තියක වන්නෙමි.

එ හෙයින් වනාහී ඕ තොමෝ දන් දුනි. දී ඒ ප්‍රේතිය ට පින් පැමිනවී ය. ප්‍රේතිය ද සුවපත් විය. ශරීරය මනා දැකුම් ඇති විය.



මිගලුද්දක ප්‍රේතයා ගේ කථාව

තරුණ දෙවතාවන් හා දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලද්දා වු සිත්කළු වු කාමකොට්ඨාසයන්ගෙන් යුක්ත ව රාත්‍රී කාලයෙ හි හොබනෙහි ය. දවල් කාලයෙ හි දුක් අනුභව කරන්නෙ හි ය. පූර්වජාතියෙ හි කිනම් කර්මයක් කළෙහි ද?
 

මම රම්‍ය වු සිත්කළු වු ගිරිව්‍රජ නම් වු රජගහ නුවර පූර්වජන්මයෙ හි ලේ වැකුණු අත් ඇති දරුණු වු මුව වැද්දෙක් වීමි. එ කල් හී ඉතා දරුණු වු පරපීඩාවෙ හි ඇලුනු නො හික්මුනාවු කිසිවෙකු සමග විරුද්ධයක් නො කරන්නා වු බොහෝ සත්වයන් කෙරෙහි දූෂිත වු සිත් ඇති ව හැසුරුනෙමි.

ඒ මට යහපත් සිත් ඇති ශ්‍රධාවත් වු උපාසක මිත්‍රයෙක් විය. හෙතෙම ද අනුකම්පා කරමින් නැවත නැවත මා වැලැක්වී ය.

සහෝදරය ලාමක අකුශල කර්මය නො කරව. දුගතිය ට නො යව පරලොව දී සැපය ඉදින් කැමති නම් අසංවර වු ප්‍රාණාඝාත අකුශලයෙන් වෙන් වෙව.

සැප කැමති වු හිත අනුකම්පා ඇති ඔහු ගේ වචනය අසා බොහෝ කල් පවෙ හි ඇලුනා වු නුවණ නැත්තා වු මම සියලු අනුශාසනාව නො කළෙමි.

යහපත් වු බොහෝ නුවණැති ඒ උපාසකතෙම නැවත දයාවෙන් මා සුචරිතයෙ හි පිහිටවිය. ඉදින් දවල් කාලයෙ හි සත‍වයන් නසන්නෙ හි නම් යළි ත් රාත්‍රියෙ හි තා ගේ සංවරය ඇතිවේ වා.

ඒ මම දවල් කාලයෙ හි සත‍වයන් නසා රෑ කාලයෙ හි වෙන්වුයේ සංවර ඇත්තෙක් වීමි. මම රාත්‍රියෙ හි ඉඳුරන් හසුරුවමි නොහොත් දෙව් සැප විඳීමි. දවල් කාලයෙ හි දුක ට පත්වුයේ දුක් විඳීමි.

ඒ කුශල කර්මයා ගේ විපාකයෙන් රාත්‍රියෙ හි දිව සැප වළඳමි. දවල් කාලයෙ හි බද්ධ වෛර ඇත්තවුන් සේ සුනඛයෝ හාත්පසින් කෑම ට දිව එත්.

යම් ඒ පුරුෂයෝ වනාහි තථාගත ශාසනයෙ හි ස්ථිර වශයෙන් දැඩි සේ යෙදුනාහු නිතර අනුයොගවත්වුවෝ වෙත් ද, ඒ පින්වත්හු හුදෙක් රැස්කිරීමෙන් තොර නිර්වණය ට ම පැමිණෙත් ය යි සිතමි.



දෙවන මිගලුද්දක ප්‍රේත කථාව

දිව්‍යමය කූටාගාරයෙ හි හා පහයෙ හි ද දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද්දා වු පර්යංකයෙ හි පඤචාංගික තූර්ය නාදයන් විසින් මනා ව වාදනය කරන කල් හි සිත් අලවන්නෙ හි ය.

ඉන්පසු රාත්‍රිය අවසන් වු කල් හි සූර්ය උදා වු කල් හි සොහොනෙ හි බහාලන ලදුව බොහෝ දුක ට පැමිණෙන්නෙ හි ය.

තා විසින් කිනම් පවක් කරන ලද ද?

මම පෙර රම්‍ය වු රජගහ නුවර නො හික්මී රෞද්‍රකම් ඇති සතුන් මරණ මුව වැද්දෙක් වීමි.

ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උපාසක යහළුවෙක් විය. ඒ උපාසකයා ගේ ගෙදර ට පැමිණෙන ගෞතම ශ්‍රාවකවු රහත් භික්ෂු නමක් විය.

ඒ රහතන් වහන්සේ ද දරුව ලාමක වු ප්‍රාණඝාත අකූශල කර්මය නො කරව. දුගතිය ට නො යව යි කියා අනුකම්පා කරමින් නැවත නැවතත් මා පවින් වැලැක්වී ය.

ඉදින් පරලොව දී සැප කැමැත්තේ නම් ප්‍රාණඝාතයෙන් වලකිනු. සැප කැමති වු හිතානුකම්පී වු උන්වහන්සේ ගේ වචනය අසා බොහෝ කල් පවෙ හි ඇලුනා වු අඥන වු මම සියලු කල් හි සතුන් මැරීමෙන් වැලකීම ට කළ අවවාදය නො කළෙමි.

මහත් වු ප්‍රඥවත් ඒ රහතන් වහන්සේ දයාවෙන් ඉඳීන් දවල් කාලයෙ හි සතුන් මැරීමෙන් වැළකිය නො හැකි නම් රාත්‍රියෙ හි වත් සත්ව ඝාතනයෙන් වලකව යි කි හ. ඒ මම දවල් සතුන් මරා රාත්‍රියේ සතුන් මැරීමෙන් වැළකූනෙමි.

මම රාත්‍රියෙ හි දිව්‍ය ස්ත්‍රී පුරුෂයන් විසින් පිරිවරන ලදුව දැන් දිව සැප විඳීමි. දවල් කාලයෙ හි බල්ලන් විසින් කන ලදිමි. රාත්‍රී ප්‍රාණාතයෙන් වැලකූණු කූශල විපාකයෙන් රෑ දිවසැප විඳීමි. දවල් බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් මා කන්න ට දුවත්.

යම් පුරුෂ කෙනෙක් වනාහි තථාගත ශාසනයෙ හි අධි ශීලාදියෙ හි නිතර දැඩි සේ යෙදුනාහු ද ඒ පින්වත් ජනයෝ හුදෙක් ලෞකික සැප හා මිශ්‍ර නො වු නිවන ට පැමිණෙත් ය යි සිතමි.



කූටවිනිච්ඡයික ප්‍රේතයා ගේ කථාව
දිවමල් දරන්නාවු හස් වෙළුම් ඇති බාහු වලලු ඇත්තෙ හි ය. තා ගේ ශරීරය සඳුන් රස ගල්වන ලද්දා හ. මුහුණේ පාට ප්‍රසන්න ය. තරුණ සූර්යයා වැනි පැහැය ඇති ව බබළයි.

තොප ගේ අත් පා මෙහෙ කරන්නා වු දෙවි වු යම් මේ පිරිසෙ හි වුවෝ වෙත් ද, නුඹ ගේ යම් යම් පරිවාරිකා වු දස දහසක් දෙවඟනෝ වෙත් ද ඔවුහු, සක් වළලු හා අඟු පළඳනා දරන්නා හ. රුවන් මුදුන් මල් කඩින් සැරසුනා හ. නුඹ ලොමු දැහැගැනුම් ස්වභාව ඇති මහත් අනුභාව ඇත්තෙ හි ය. තමා ගේ පිට මස් තෙමේ ම කන්නෙ හි ය.



කයින් වචසින් මනසින් කිනම් දුශ්චරිතයක් කරන ලද ද, කිනම් අකූශල කර්මයක්හු ගේ විපාක හෙතුවකින් තමා ගේ පිට මස් තෙමේ ම කඩාගෙන කන්නෙ හි ද?

මම මිනිස් ලොව දී කේලාම් බොරු කීමෙන් ද කෛරාටික කමින් හා වංචාවෙන් ද තමහට අවැඩ පිණිස හැසුරුනෙමි. එ හි දී මම පිරිස් මැද ට ගොස් හැබෑ කියන්නට යුතු කාලය පැමිණ සිටි කල් හි වැඩ ඇති කාරනය හැර දමා අධර්මය අනුව පැවතුනෙමි.

යම් සේ මම අද තමා ගේ පිට මස් කම් ද යමෙක් තෙම අනුන් පිට මස් කන්නේ නැති තැන නින්දා කරන්නේ වේ ද එතෙම මෙ සේ ම කයි.

නාරද හිමියනි, ඔබ වහන්සේ විසින් මා ගේ රූපය තමන් ම දක්නා ලදී. කුලුනති පරවැඩෙහි සමත් බුදු පසේබුදු ආදී උතුමෝ යම් අවවාදයක් වදාලහු නම් එය ම මම තොප ට කියමි. පිසුනුබස් හෝ මුසාවා නො කියන්න. එ සේ කොට මා මෙන් පිටුමස් කන්නකු නො වන්න.



ධාතු විවර්ණක ප්‍රේතයා ගේ කථාව

දුගඳ වු තෝ අහසෙ හි සිටින්නේ කුණු ගඳ හමන්නෙ හි ය. තා ගේ කුණු ගඳ ඇති කට ද පණුවෝ කත්. පූර්ව ජාතියෙ හි කිනම් අකුශල කර්මයක් කළෙහි ද? ඉක්බිති ආයුධයක් ගෙන නැවත නැවත කපත්. ක්ෂාර ජලයෙන් තවරා නැවත නැවතත් කපත්.

කයින්, වචනයෙන්, මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පවක විපාකයෙන් මේ දුක ට පැමිණියේ ද?

නිදුකාණෙනි, මම රම්‍ය වු සිත් කළු වු ගිරිව්‍රජ නම් වු රජගහ නුවර ඉතා බොහෝ වු ධන ධාන්‍යය ට හිමියෙක් වීමි.

මෝතොමෝ ඒ මාගේ පෙර ආත්මයෙ හි බිරිඳ විය. මෝතොමෝ දියණි විය. මෑ යෙහෙළි විය. ඔවුන් මල් ද, උපුල්ද අලුත් වු විලවුන් ද චෛත්‍ය පූජාව ට හැරගෙන යනවුන් මම වැලැක්වීමි. මා විසින් ඒ පාපය කරන ලදී.

සයානු දහසක් පමණ වු අපි චෛත්‍ය පූජාව ට නූගුණ කියා වෙන් වෙන් වශයෙන් ප්‍රේත ලෝකයෙ හි පැසෙමු.

අර්හත් වු බුදුන් ගේ චෛත්‍ය පූජාව පිළිබඳ උත්සවය පවත්නා කල් හි යමෙක් දොස් කියත් ද, ඔවුන් ඒ පිනින් බැහැර යයි. දිවමල් දරන්නා වු සැරසුනා වු පුෂ්ප පූජා ඵලය වළඳන්නා වු සම්පතකින් පිරි පිරිවර ඇති ව එන්නා වු ඒ මේ දිව්‍ය ස්ත්‍රීන් බලව. ආශ්චය්‍ය වු අද්භූත වු ලොමු දැහැගන්නා වු ඒ විපාක දැක නුවණැත්තෝ ඒ මහා මුනි වු තථාගතයන් නමස්කාර කරත්. එ සේ මැ යි ඒ මම මෙයින් ගොස් මිනිසත් බව ලබා ගෙන ප්‍රමාද නො වී නැවත නැවත චෛත්‍ය පූජාව කරන්නෙමි.



මෙ ම කතා පෙළ පිළිබඳ අවධානයෙන් කියවූ විට පෙනෙන්නට ඇත්තේ සුගතියේ සිට ප්‍රේත ලෝකය ට ගොස් ඇත්තේ තමා විසින් ම කළ අතීත කර්ම නිසා බව යි. එ සේ හෙයින් ම සර්වඥයන් වහන්සේ සත්වයා ට සසර ගමනේ දී කර්මය තරම් බලපාන අනෙක් කරුණක් නො දකිමි යි දේශනා කර ඇත. කර්මය ම ආහාර කොට පවත්නා බව වදාළා ඇත. එ බැවින් සියලු බුදුවරු දේශනා කළ අයුරින් පැවැත්ම අන් කිසිවකු ට නො ව තමන් ට ම හිතසුව පිණිස පවතිනු ඇත. එ මෙන් ම කොතෙක් දිව්‍යමානුෂික ආදී සැපත් වැළඳුව ද ඒ සියල්ල ඉතා තාවකාලික බව අමතක කළ නො හැකි ය. එ බැවින් සියලු දෙනා උතුම් නිවන පිණිස ම වීර්යය කරත් වා! තමාහට වැඩකමත්තෝ තිසරණයෙ හි පිහිටත් වා!

තෙරුවන් සරණ යි!


1 comment:

  1. වැදගත් ලිපියක්. ඔබට බොහෝ පින්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...