නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
බොදුනුවන් මල් පූජාවෙන් නිවන් දුටු අයුරු මා පෙර ලිපියෙන් ඉදිරිපත් කරන්න ට යෙදුනි. එ ම ලිපියෙන් පොරොන්දු වූ පරිදි මෙ ම ලිපියෙන් ඉදිරිපත් කරන්න ට බලාපොරොත්තු වන්නේ පහන් පූජාවේ නියම අරුත පිළිබඳ ව ය. අද වන විට පහන් පූජාවේ නියම අර්ථය නො දැන අසූහාරදහසේ පහන් පූජා, දොළොස්මහේ පහන් පූජා, ආදිය සිදුකර බුදුන් වැඳ නිවන් පතා ගෙදර එයි. නමුත් නිවන එ සේ ප්‍රාර්ථනය කිරීමෙන්, යැදීමෙන් ලබාගත හැක්කක් නො වන බව ඔවුන් ට අවබෝධ වී නැති සෙයකි. පහන් පූජාව හුදෙක් ආමිස පූජාවක් නො වන බව ත්, මෙ හි ඉතා වටිනා ගැඹුරු අර්ථයක් ඇති බව ත්,
මෙ ම ලිපිය කියවීමෙන් පසු අවබෝධ වනු ඇත.
අතීතයේ මේ සියලු ම පූජාවන් සිදුකළේ නිවන අරමුණු කරගෙන නිවන සඳහා උපනිශ්‍රය වන අයුරින් ය. "පහන" යන වචනය සිංහල භාෂාවේ අත්තනෝමතික ව යෙදූ පදයක් නො වේ. සසර ගමන ට හේතු වන න්‍යායන් ප්‍රහීණ කිරීම "පහන" නම් වේ.
ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මිං අසති ඉදං නහොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති
ඔබ කොතෙකුත් හේතුඵල වාදය පිළිබඳ අසා ඇතුවා ට සැකයක් නැත. නමුත් ඔබ එය මේ අයුරින් දුටුවා දැ යි කල්පනා කර බලන්න.
හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. එ සේ ම හේතුව නැතිවිට ඵලය රඳන්නේ ද, නැත. පහන ද, එ සේ ම ය. නැති දෙයක් ඇති සේ පෙන්වන අපේ ඇස් රවටන මායාවකි. දැන් දැල්වෙමින් පවතින පහනක් පිළිබඳ ව සිතන්න. එය දැල්වීම සඳහා තෙල්, තිර, තාපය හා වාතය අවශ්‍ය වේ. එ ම හේතු සියල්ල එක්තැන් වූ විට නියත වශයෙන් ම පහන දැල්වීම අරඹනු ඇත. තිරයේ අග රත්වන තෙල්බිඳු සැනින් වාෂ්ප වේ. අවට ඇති වාතය සමග ගැටීම අරඹයි. එය රක්තතප්ත වී ඉතා කෙටි මොහොතක් ගිනි ගනී. එ ම තෙල් බිඳුවේ ඇති ශක්තිය තාපය හා ආලෝකය බව ට පත් වේ. මෙ සේ එකදිග ට තෙල් බිඳු තිරය අග ට ඇවිත් වාෂ්ප වී රක්තතප්ත වී දැවී විනාශ වෙමින් යයි. රක්තතප්ත වන තෙල්බිඳුව ක්ෂණයකින් දැවී ආලෝකය හා තාපය ඵල ලෙස පිටකරයි. ඒ සමගින් තෙල් බිඳුව විනාශ වී යයි. එ නම් ඵලය ඇති කරන්න ට සමත් වූ හේතු ප්‍රත්‍යයන් වැනසී යයි. මේ නිසා ක්ෂණික ව ඵලය ලෙස ඇති වූ ආලෝකය නැති වන්නේ ය. නමුත් දිගින් දිග ට ම තෙල්බිඳු වාෂ්ප වී ඉහත තත්වයන් ට පත් වීම සිදුවන නිසා මෙය සන්තතික ක්‍රියාවලියක් ලෙස අප ට පෙනෙන්නේ ය. තෙල් බිඳු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් හේතු බිඳු ලෙස ක්‍රියා කර ගිනිබිඳු ලෙස ඵලයන් ඇති කරමින් හේතුඵලයන් ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාවලියක් බව වැටහෙනු ඇත. එක් මොහොතක දී කොපමණ තෙල්බිඳු ප්‍රමාණයක් දැවී වැනසී ගිය ද, තෙල්, තිරය, තාපය හා වාතය එක් ව පවතින තාක් කල් මෙ ම ක්‍රියාවලිය අඛණ්ඩ ව සිදුවන්නේ ය. තෙල් අවසන් වීමෙන් හෝ තිරය දැවී අළු බව ට පත් වීමෙන් හෝ උෂ්ණත්වය වෙනස් වීමකින් හෝ වාතය ප්‍රමාණවත් ව නො ලැබීමෙන් හෝ පහනේ දැල්වෙන ස්වභාවය නතර වන්නේ ය. එ නම් පහන්සිළු ඇති වීම ට හේතු වූ කරුණු නැති වී යාමෙන් පහන්සිළු නිවී යන බව වැටහෙනු ඇත.
දැන් මෙය අප ගේ ශරීරය හා ජීවිතය සමග සසඳා බලමු. ජීවිතය ත්, පහන් දැල්ලක ට සමාන ය. කර්ම ශක්තිය නැමති තෙල් බිඳු, ශරීරය නැමති තිරය ට නිරන්තරයෙන් ගලා එයි. අප කන, බොන, ආහාරපාන වායු ධාරාවක් ලෙස එය ට ම සම්බන්ධ වේ. අප ගේ ඇස ට නො පෙනෙන සෛල තුළ ඇති ඉන්ද්‍රයිකා තුළ මෙ ම ආහාර දැවීම නිසා ශරීරය ට අවශ්‍ය ශක්තිය හා උණුසුම ආදිය නිපදවයි. මෙය නො කඩවා අප මිය යන තෙක් ම සිදුවන්නේ ය.
මේ අනුව "මම" කියන්නේ කවු ද? "මගේ" කියන්නේ මොනවා ද? මම, මගේ කියා අල්ලා ගන්න ට කිසිවක් මේ ලෝකයේ ඉතිරි ව තිබෙණවා ද? එ සේ නො සිතා මෙ ම භෞතික දෑ මම ය, මාගේ ය, කියා අල්ලා ගන්නා කෙනෙක් ට යම් සීමාවකින් නතර විය හැකි ද? අප කොතෙකුත් මහමග පොදු වාහන පෞද්ගලික වාහනවලින් ගමන් කරන්න ට ඇත් ද? කොතෙක් වාහන අප පසු කරන්න ට ඇත් ද? කොතෙක් වාහන අප ව පසු කරන්න ට ඇත් ද? නමුත් කිසි දාක මහමග ගමන් කරන සෑම වාහනයක් ම අභිබවා පළමු තැන ට පත් වීම ට හැකි ද? තණ්හාව ද, මෙ සේ ම ය. මේ නිසා අවසානයේ දුක ඇති වේ.
පහන් පූජාවේ නියම අරුත වන්නේ මේ අයුරින් අප ගේ සිරුර දෙස බලා යථාවබෝධය ලබා ගැනීම ය.
ඝන සාරප්ප දිත්ථෙන දීපෙන තම දං සිනා තිලොක දීපං සම්බුද්ධං පූජයාමී තමෝ නුදං
මේ අයුරින් "ප්‍රඥා පහන අප තුළ දල්වා ගෙන කපුරු මිශ්‍ර තෙල් ආලෝකයෙන් ඝනඳුර දුරු කරන්නා සේ අවිද්‍යාන්දකාරය දුරු කළ තිලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට තම අඳුර දුරු කෙරෙන ප්‍රඥාලෝකයෙන් පූජා කරමි" යනුවෙන් සිත් හි දරාගෙන සිදු කෙරෙන පහන් පූජාවෙන් නිවන සඳහා පියවරක් හෝ ඉදිරිය ට තැබිය හැකි වන්නේ ය.
තෙරුවන් සරණ යි!
metaram kal mal pujaa kalata pahan pujaa kalata metaram gamburu terumak tiyana bava dana sitiye naa. obata mee pinen nivanama wewaa!
ReplyDelete