නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බෞද්ධ සියලු දෙනා ගේ උතුම් ම ප්‍රාර්ථනය, අධිෂ්ඨානය විය යුත්තේ සසරින් එතෙර වී උතුම් නිවන සාක්ෂාත් කිරීම යි. බෞද්ධ පමණක් නො ව අන්‍යාගමිකයන් ගේ අපේක්ෂාව වන්නේ ද, දුක නැති ස්ථානයකට පැමිණීම යි. එ සේ දුක නැති ස්ථානයකට පැමිණීම සඳහා විවිධ ආගම්වල විවිධ ක්‍රමවේද උගන්වති. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීම, යාඥා කිරීම, යාග කිරීම, බිලිපූජා ආදිය සිදුකිරීම ඒ අතර ප්‍රධාන වේ. මේ කිසිවක් බුදුදහම සමග සම්බන්ධ නැත. දෙවියන් වැඳීම, දෙවියන්ට පලතුරුවලින් සංග්‍රහ කිරීම ආදී කරුණු කිසිවක් බුදුරදුන් අනුදැනවදාළා නැත. ඒ බව නුවණ ඇත්තෝ නුවණින් සලකා බලත් වා!
සමතිස් පාරමිතා ධර්ම කල්ප අසංඛෙයිය ගණනින් සම්පුර්ණ කර බුදුවරයෙක් ලොව පහල වන්නේ සියලු සතුන් කෙරෙහි මහා කරුණාවෙන් නිර්වාණ මාර්ගය පෙන්වා දීම සඳහා ය.
ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාද ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය ආදිය විවරණය කිරීම සඳහා ය. මෙ සේ ධර්මය දේශනා කිරීමේ එක ම පරමාර්ථය සත්වයා සසර දුකින් මිදවීම ය. නිවන වෙත යොමුකරවීම පිණිස ය. බුදුවරයකු ගේ ගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ශාසනයේ ආයුෂය රඳන්නේ පැවිදි ව බවුන් වඩන, නිවන පිණිස වීර්යය වඩන පැවිදි සහ ගිහි පාර්ශවය මත ය.
ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාද ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය ආදිය විවරණය කිරීම සඳහා ය. මෙ සේ ධර්මය දේශනා කිරීමේ එක ම පරමාර්ථය සත්වයා සසර දුකින් මිදවීම ය. නිවන වෙත යොමුකරවීම පිණිස ය. බුදුවරයකු ගේ ගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ශාසනයේ ආයුෂය රඳන්නේ පැවිදි ව බවුන් වඩන, නිවන පිණිස වීර්යය වඩන පැවිදි සහ ගිහි පාර්ශවය මත ය.
විමුක්තිය හෙවත් නිවන ට පත්වීම සඳහා උපකාර වන දොරටු පහක් පිළිබඳ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුත්තායතන සුත්‍රයේ සඳහන් වේ.
(01) ධර්ම දේශනය.
(02) ධර්මශ්‍රවණය.
(03) ධර්ම සම්මර්ෂණය.
(04) ධර්ම සජ්ඣායනාව
(05) භාවනාව
මේ කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ වශයෙන් විස්තර කර තිබේ. මෙයින් පළමු කරුණු සතර ම ඍජු ව ධර්ම දේශනාව හා ධර්මශ්‍රවණය සමග බැඳී පවත්නා බව පැහැදිලි ය.
ධම්සක් පැවතුම් සුත්‍ර දේශනාවසානයේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇතුළු අසංඛෙයියක් පිරිස සෝවාන් ඵලයට ත්, දහඅට කෝටියක් බ්‍රහ්මයින් අරහත් ඵලය ට ත්, පත් විය. මහාමංගල සුත්‍රය, පරාභව සුත්‍රය, චුලව්‍යුහ සුත්‍රය, මහාව්‍යුහ සුත්‍රය, චූලරාහුලෝවාද සුත්‍රය ආදී සුත්‍රදේශනා අවසානයේ කෝටි ලක්ෂයක් බැගින් පිරිස අරහත් ඵලය ට ත්, අසංඛෙයිය බැගින් සෝවාන් ආදී මාර්ග ඵලවල ට ත් පත් වු බව සඳහන් වේ. ඒ සියලු දෙනා නිවන ට පත්වුයේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ ආනිශංස වශයෙන් බව අප තේරුම් ගත යුතු ය.
අපිත් විහාරස්ථානවල, ආරාමවල, රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන්, අන්තර්ජාලය ඔස්සේ ආදී මෙකී නො කී ක්‍රමවේදවලින් ධර්මය ශ්‍රවනය කළ ත්, නිවන තබා මාර්ගඵලයකටවත් පත් වන්නේ නැත්තේ ඇයි? කියන කාරණාව බොහෝ දෙනෙකු ට ගැටළු සහගත වී තිබේ. පාරමිතා සම්පුර්ණ නො වී තිබීම එය ට එක් හේතුවක් විය හැකි ය. රහත් බෝධියෙන් නිවන ප්‍රාර්ථනා නො කර පච්චේක සම්බෝධිය හෝ ලොව්තුරා සම්මා සම්බෝධියෙන් නිවන පතනා බෝධිසත්වයකු ට වුව ද, නිවන් දැකීමේ හැකියාව ඒ අත්බවයෙ හි දී අහිමි වී යන්නේ ය. මේ දෙවන කරුණ යි. තුන්වන කරුණ වන්නේ ධර්ම දේශනාවට සවන් දීම කළයුතු ආකාරය නො දැනීම යි. ධර්ම දේශනාව ට සවන් දිය යුත්තේ භාවනාවක් වැඩෙන ආකාරයට යි. එ සේ භාවනාවක් වැඩෙන සේ ධර්මය ශ්‍රවනය කරන්නේ කෙ සේ ද? යන කාරණය බුදුරදුන් දේශනා කර ඇත. කල්ප කොටි ගණනකට වරක් අසන්නට ලැබෙන අතිඋත්තරීතර බුද්ධ වචනය ඇසීමෙන් සිතේ කෙලෙස් ධර්ම සංසිඳෙන්නේ ය, සෝබන චෛතසික ධර්ම පහල වන්නේ ය, දුක්ඛ දෝමනස්සයන් දුරු වන්නේ ය, සතිපට්ඨානය සතර, සම්‍යක්ප්‍රධාන සතර, ඍද්ධිපාද සතර, බල ධර්ම පහ, ඉන්ද්‍රිය ධර්ම පහ, බෝජ්ජංග සත, මාර්ගාංග අට, වැඩෙන බව ත්, එ සේ වැඩීම තුළින් සසර කෙටිවන බව, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අති මාර්ගය මෙය බව තේරුම් ගෙන මේ සියලු දෙයට වඩා බණපදයක් ඇසීම ඉතා උතුම් බව සිහි තබාගන ධර්මය ට ගෞරව සත්කාර කරමින් ධර්මශ්‍රවණය කරන්නේ නම්, කියවෙන දහම් පදයක් පදයක් පාසා සිහියෙන් යුතු ව අසන්නේ නම්, එකට අමුණන ලද මල්වැලක් මුතුවැලක් මෙන් දහම් පදයක් පදයක් පාසා එකක්වත් අපතේ යා නො දී සියල්ල මනසේ රඳවා ගනිමින් ධර්මශ්‍රවණය කරන්නේ නම්, වටපිට නො බලා, උඩබිම නො බලා, අතපය චලනයන් සියල්ල නතර කර, සාවදාන ව දෙසවන් ධර්මය වෙත යොමු කර ගනිමින් ධර්මය ශ්‍රවනය කරන්නේ නම්, ධර්මශ්‍රවනයේ ආනිශංස වශයෙන් නිවන ට පත් වීමේ හැකියාවක් අති බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. යම්හෙයකින් ඒ අවස්ථාවේ මගඵල නිවන් ලැබීමේ හැකියාව නො ලැබුන ද, මතු භවයක නිවන් ලැබීම පිණිස ප්‍රඥාපාරමිතා වශයෙන් සම්පුර්ණ වන්නේ පෙර කියු ආකාරයෙන් ධර්මය ශ්‍රවනය කිරීමෙන් පමණකි.
ධර්ම දේශනාව නිවන් දොරටුවක් වන අයුරු මීළඟ ට විමසා බලමු. ඊට පෙර කිවයුතු විශේෂ වැදගත් යමක් ඇත. ඉහත මා ප්‍රකාශ කළ අයුරින් ධර්මශ්‍රවන ආනිශංස ලැබෙන්නේ වර්තමානයේ දේශනා කෙරෙන ධර්ම දේශනා කියා හඳුන්වා ගන්නා කවිබණ, සුමධුර දේශනා, කාලීන දේශනා, බණකෑලි අඩංගු ඇතැම් දේශනාවන් පිළිබඳ නො ව බුද්ධ දේශනාව අනුව ත්‍රිපිටකය අනුව දහම් කරුණු විස්තර විවරණය කරදෙන දේශනා පිළිබඳ ව ය. එය පෙරාතුව ම සඳහන් කළේ අද බොහෝ පිරිස් කැමැත්තෙන් බලා සිටින්නේ විහිළු කරමින්, විනෝද වෙමින්, විවිධ පිරිස් වෙත ඇඟිල්ල දිගුකරමින් තමන් පමණක් ඉතා සිල්වත්, නැණවත්, ගුණවත් බව හඟවමින් දේශනා කරන දේශනා ඇසීමට බව මම අත්දැකීමෙන් දනිමි. නමුත් නිවන එයින් අරමුණු වන්නේ ද? නිවන එයින් අරමුණු කළ හැකි ද? තවදුරට ත් ලෞකික අරමුණුවලින් මත්වෙමින් ගමන් කරන මගක් නො වේ දැ යි තේරුම් කර ගැනීම ඔවුන් ට ම භාර කරමු. භාවනා කරමස්ථානයකින් තොර ව ධර්ම දේශනයක් නැති බව සඳහන් බුද්ධ දේශනය මෙ හි ලා අවධාරණය කළ යුතු ය.
දෙවැනි කරුණ වශයෙන් ධර්ම දේශනය දේශකයන් වහන්සේ ට නිවන් දොරටුවක් වන ආකාරය පිළිබඳ සලකා බලමු. දේශකයාණන් වහන්සේ ධර්ම දේශනය සඳහා බුදුරදුන් අනුදැන වදාළා වූ සේඛියා සිකපද දහසය මෙනෙහි කරමින්, පංච මහා අධිෂ්ඨානයක් සිතේ දරා ගනිමින්, හස්තපාදවිකාර, මුඛ විකාර නො දක්වා, දේශනා කරන දහම් පදයක් පාසා සිහිය පිහිටුවාගෙන, කර්මස්ථාන ශීර්ෂයෙන් ධර්මය දේශනා කළ යුතු ය. එ සේ ධර්මය දේශනා කිරීමෙන් ධර්ම දේශකයාණන් වහන්සේ ට ද, මගඵල නිවන සඳහා දොරටුවක් විවෘත වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ශ්‍රී ලංකාවේ වැඩවිසු මලියදේව මහරහතන් වහන්සේ රහත් වුයේ ද, මෙ සේ තමන් වහන්සේ ම ධර්ම දේශනයක් සිදුකරමින් සිටින අවස්ථාවක බව ශාසන ඉතිහාසයේ ප්‍රකට කරුණකි. නාගසේන මහරහතන් වහන්සේ ද, මගඵල නිවන් ලැබුවේ තමන් වහන්සේ ම ධර්මය දේශනා කරමින් සිටින අවස්ථාවක දී ය. බුද්ධකාලයේ වැඩවිසූ ඛේමක නම් රහතන් වහන්සේ ද, රහත් වුයේ තම පිරිස ට ධර්මානුශාසනාවක් සිදුකරන අවස්ථාවක දී ම බව සඳහන් වේ. එ බැවින් ධර්ම දේශනය, දේශකයාණන් වහන්සේ ට නිවන් දොරටුවක් වන්නේ ය.
ධර්ම සජ්ඣායානය යනු සමුහයක් එක් වී බුද්ධ භාෂිතය සජ්ඣායානය කිරීම යි එය ද, නිවන් දොරටුවක් වන්නේ පෙර කියු පරිද්දෙන් සිතේ සමාධිය ඇතිවන පරිදි, බෝධිපාක්ෂික ධර්ම වැඩෙන පරිදි ධර්මය සජ්ඣායානය කිරීමෙන් ය.
ධර්ම සම්මර්ෂණය යනු ඇසු දහම් පදයක් පදයක් පාසා නැවත නැවතත් සිහිනුවණින් මෙනෙහි කිරීම යි. එය ද, නිවන් දොරටුවක්, නිවන ට පිවිසෙන මාර්ගයක් වන්නේ සිතේ සමාධිය ඇතිවන පරිදි, බෝධිපාක්ෂික ධර්ම වැඩෙන පරිදි, සෝබන චෛතසික පහල වන පරිදි, ධර්මය සම්මර්ෂණය කිරීමෙන් ය.
අවසාන කරුණ වන්නේ භාවනාව යි. මෙ හි දී භාවනා පිළිබඳ කරුණු ඉදිඉපත් නො කරමි. ලිපියේ අරමුණ වුයේ ධර්ම දේශනය සහ ධර්ම ශ්‍රවණය තුළින් නිවන ට පිවිසෙන ආකාරය පිළිබඳ කෙටි විතරයක් ඉදිරිපත් කිරීම ය. ඉහත විස්තර කළ ධර්ම දේශනය ආදී කරුණු සතර ම විමුත්තායතන ශීර්ෂයක් බව ට පත් වන්නේ භාවනාවක් වැඩෙන සේ, සිත සමාධිගත වන සේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් බව පැහැදිලි විය. ඒ කරුණු සතර ම භාවනාව ට අයත් කොටසක් බව පැහැදිලි වනු ඇත.
මේ ලිපිය ලියන්න ට මුල් වු කරුණ වන්නේ රැල්ලට යන සමාජ ක්‍රමයේ අද වනවිට ධර්මශ්‍රවණය ද, රැල්ලට හසුවී තිබෙන නිසා ය. ධර්මය ශ්‍රවන කළ යුත්තේ ඇයි? ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කුමක් දැ යි නො දත් පිරිස් මේ අයුරින් රැල්ලට එක් වන බව පැහැදිලි ය. බොහෝ පිරිස් ඇලුම් කරන්නේ ද, එ වැනි දේශනා ඇසීම ට ය. පසුගිය කාලයේ ලංකාව පුරක් ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූ "කොටුවේ හාමුදුරුවෝ" වැනි අමන පිරිස වෙත ඇදෙන උදවිය අවසානයේ නතර වන්නේ කොතනින් දැ යි ඔවුන්වත් නො දනී. අද ඇතැම් දේශකයන් වහන්සේලා අභිධර්මය සහ විනය පිටකයේ කොටස් පවා ප්‍රතික්ෂේප කරමින් ධර්මය විකෘති කරන තැනට පත් ව තිබීම බුද්ධ භාෂිතයේ අන්තර්ධාන වීම පිළිබඳ පෙර ලකුණක් ය යි සිතේ. සරු නිසරු දෙය හඳුනා ගෙන උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ට සියල්ලෝ ම භාග්‍යවත් වේ වා!
තෙරුවන් සරණ යි!
අතිපුජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවක් මෙ ම ලිපිය සඳහා මුලාශ්‍ර වශයෙන් යොදා ගන්නා ලදී.
Bohoma Pin Obata, Mewage Athyawashya Lipi neweth newethath palakaranna.
ReplyDelete