නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
මාස 06 ක පමණ කාලයකින් පසු නැවත ලිපියක් සකස් කරන්නට යෙදුනෙමි. ගත වූ මාස හයක පමණ කාලය තුළ අප කිහිප දෙනෙක් විසින් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පරිගණකය ඔස්සේ ඉතා පහසුවෙන් පරිශීලනය කළ හැකි මෘදුකාංග පද්ධතියක් සකස් කරන්නට යෙදුනි. ඒ කාර්යය සඳහා ප්‍රධානත්වය දුන් බැවින් අප ගේ අනෙක් සියලු කාර්යයන් මුළුමනින් ම නතර කරන ලදී. ඒ අනුව බ්ලොග් අඩවිය ට ලිපි එක් කිරීම ද, තාවකාලික ව නතර කරන ලදී.
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවසහිත පද්ධතිය එළඹෙන වෙසක් පුරපසලොස්වක පොහෝදින අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව ත් දන්වමි. ඒ පිළිබඳ ඉදිරියේ දී දැනුවත් කරමි.
දැන් මාතෘකාව වෙත පිවිසෙමු. ඉහත ගීතය ඔබ කවුරුත් අසා ඇතුවාට සැකයක් නැත. එයින් කියවෙන්නේ වර්තමාන සමාජයට සිදු වී ඇති බලවත් විපතක් පිළිබඳ ව ය. මෙ ම ලිපියෙන් දක්වන්නේ ගීතයෙන් දැක්වෙන විපතටත් වඩා විපතක් පිළිබඳ ව ය. එ නම් බුදුදහම සමග එක් කරන්නට වෙර දරන මිසදිටු විශ්වාස පිළිබඳ ව යි.
ලිපියෙන් දැක්වෙන ප්‍රධාන කරුණු කිහිපය මෙ සේ දක්වමු.
- ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?
- ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?
- කර්මය යනු කුමක් ද?
- අතීත කර්මවලින් විපාකඇති වන්නේ කෙ සේ ද?
- බෞද්ධ කර්ම සංකල්පයේ විශිෂ්ටත්වය.
- මිසදිටු බව අතහරින්න.
ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක්
කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ
තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ
ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.
බුදුදහමේ කර්ම
සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ.
(චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි
ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත.
නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක්
බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.
ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?
බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.
අර්ථය
නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන
ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම
ය.
මෙ
හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව
සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන්
ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර
ඇත.
එ සේ බුද්ධ දේශනාව තිබියදී ත්, අප හා තර්ක කරමින් ජ්‍යෝතිෂ්‍ය නිවැරදි ය, බුදුදහම සමග ගැලපේය ආදී ලෙසින් කියන පිරිසක් ද සිටින බව කිව යුතු ය.මෙය තවදුරටත්පැහැදිලි වීමට උදාහරණයක් ඉදිරිපත් කරමි.
අපි
මේ විදියට හිතමු. ලග්න 12ක් තියෙනවා. පත්තරවල දවස ගානේ ලග්න ඵලාඵල දමනවා.
ලෝකයේ ඉන්න හැම මනුස්සයම ඔය ලග්න 1/12 ට අයිති වෙනවා. එක ලග්නයක් ගනිමු.
දැන් ලෝකයේ මිනිස්සු බිලියන 7න් අඩුම ගානේ මිලියන 500ක් වත් ඔය ලග්නයේ ඇති.
කියන දේවල් ඔය මිලියන 500ට ම සාධාරණ වෙනවා ද? කියලා හිතලා බලන්න. ඔය දවස
බොහොම සුබයි කියලා තියෙනවා කියලා හිතමු. ඔය දවසට මිලියන 500 ලක්ෂ කීයක්
මැරෙනවා ද? ලක්ෂ කීයක් ලෙඩවෙනවාද? එහෙම වෙන්නේ දවස සුබ නිසා ද? නැත්නම්
තමන් ගේ කර්මය අනුව ද? හිතලා බලන්න.
බොහෝ
විට ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් "ඔබ වෙනදට වඩා මහන්සි
වුනොත් අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු
සාර්ථක වෙනවා" කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා
කියන්නත් දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා
සාර්ථක වෙන බව කියන්නත් දෙයක් ද? හිතලා බලන්න.
සත්වයා
කර්මය ම ඇසුරුකොට කර්මය ම ආහාරකොට ඇති බව ත් බුද්ධ දේශනාවේ සඳහන්. ඊට අමතර
ව උතු, බීජ ආදී නියාමයන් බලපාන බවත් දේශනා කර ඇත. ඊට ත් අමතර ව ඔය කියන
ජෝතිෂ්‍යය, අත්ලේ රේකා, තාරකා මිනිස්සුන් ගේ කර්මයට බලපාන බව සඳහන් වෙන්නේ
කොතන ද?
කර්මය යනු කුමක් ද?
බුදුදහමේ කර්මය පිළිබඳ ඉගැන්වීම ඉතා ගැඹුරු කරුණකි. සාමාන්‍ය ලෝකයා විසින් "කරනු ලබන ක්‍රියාවන්" ට කර්මය යි හඳුන්වයි. නමුත් බුදුදහමේ දැක්වෙන්නේ සියලු ක්‍රියා කර්ම ගණයට අයත් නො වන බව යි. චේතනාව සම්ප්‍රයුක්ත වන ක්‍රියා පමණක් කාර්ම ගණයට අයත් වන බව යි. අප මගතොට ගමන් කරන විට, රථවාහනවලින් ගමන් කරන විට කොතෙකුත් කුඩා සතුන් මිය යනවා ද? නමුත් එ සේ මියයන බවක් වත් අප දන්නේ නැත. එය හුදු ක්‍රියාවක් පමණකි.
එ සේ නම් චේතනාවසහිත අවස්ථාවක කර්මය සිදුවන්නේ කෙ සේ දැ යි මෙලඟට සලකා බලමු. මිනිසෙකු විසින් අතින් ගසා කුඩා සතෙකු මරතහොත් ඒ මිනිසා ගේ සන්තානයේ සතා මැරීමේ උත්සාහය වූ අකුසල චේතනාව පහල වේ. ඒ සමග ම චේතනාවට අනුකූල ව සතාඅරමුණු කරන සිතක් ද වෙයි. තවත් අකුසල චෛතසික ධර්ම කිහිපයක් ම ඒ සමග පහල වෙයි. ඒ සියල්ල චේතනාව සමග බන්දී පවතී. පහනක් දල්වනවාත් සමග ආලෝකය පහල වන්නා සේ අත ඔසවාගෙන ගොස් සත්වයා ගේ ශරීරය කරා පමුණුවන වේගයෙන් යුක්ත වන වායුවක් ඇති වේ. එ සේ අත චලය වී සත්වයා ගේ ඇඟේ වේගයෙන් ගැටීම ප්‍රතිඵල කොටගෙන සත්වයා මිය යන්නේ ය.
අත සත්වයා වෙත යොමු වූයේ හටගත් වායුධාරාවේ බලපෑම නිසා ය. වායුධාරාව ඇති වූයේ සන්තානයේ පහල වූ චේතනා නිසා ය. චේතනාව මිනිසා ගේ සන්තානයේ ඇති වූ බැවින් අනිෂ්ට විපාකයක් අනාගතයේ හි ඇති කිරීම ට සමත් වේ.
අතීත කර්මවලින් විපාකඇති වන්නේ කෙ සේ ද?
සත්වයන් කරන කුසලාකුසල කර්ම යම් තැනක රැස් ව පවතින්නේ ද? එ සේ නො පවතින්නේ නම් අතීත කාර්මවලින් විපාක ලැබෙන්නේ කෙ සේ ද? යන්න පිළිබඳ ඔබේ අවධානයට යොමුවිය යුතු ය.
සත්වයන් කරන කුසලාකුසල කාර්ම චේතනාදී ධර්ම සමග උපදී, ක්‍රියාත්මක වී එකට ම නිරුද්ධ වන්නේ ය. අභිධර්මයේ දී එය එකුප්පාද, එකවත්ථුක, එකාලම්භන, එකනිරෝධ වශයෙන් චෛතසිකයන් ගේ ලක්ෂණ සතරින් මෙය පැහැදිලි ව ම තේරුම් ගත හැකි ය. කාර්ම කිසිඳු තැනක රැස්වීමක් සිදු වන්නේ නැත.
එ සේ නම් පුර්ව කර්මයන් ගේ බලපෑමෙන් විපාක ඇතිවන්නේ කෙ සේ ද? අඹ ඇටයක් රෝපණය කළ කල් හි අඹ ඇටය සම්පූර්ණයෙන් ම දිරාගොස් විනාශ වී කලක් ගත වූ පසු විශාල අඹ ගසක් විද්‍යමාන වන්නේ ය. කාර්ම විපාක ඇති වීම ද එ සේ ය. විද්‍යමාන කර්මයකින් කිසිවිටක විපාකයක් ඇති නො වේ. කර්මය නිරුද්ධ වූ පසු විපාකය හිමි වේ.
බෞද්ධ කර්ම සංකල්පයේ විශිෂ්ටත්වය.
ලොව පවත්නා කිසිඳු ආගමක , කිසිඳු ධර්මයක බුදුදහමේ කර්ම සංකල්පය නො ඉගැන්වේ. එ බැවින් බුදුදහමේ කර්ම සංකල්පය විශිෂ්ට වේ. කර්මය තරම් සත්වයා කෙරෙහි බලපාන අනිකක් නොමැති බව බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සුත්‍රයේ වදාරා ඇත. සත්වයන් භවයෙන් භාවයට යෑම, උසස් පහත වීම, මන්දායුෂ්ක වීම, දීර්ඝායුෂ්ක වීම, ආදී භෝ කරුණු සඳහා කර්මය සෘජු ලෙස ම බලපාන බව දේශනා කර තිබේ. නමුත් කර්මයට අමතර ව නියාම ධර්මයන් ද, විපාක සඳහා බලපාන බව දේශනා කර ඇත.
කර්මය විපාක දෙන ආකාරය අනුව මෙ සේ දක්වයි. මෙය කුසල කර්ම හා අකුසල කර්ම විපාක දෙන විට ක්‍රියාත්මක වන ආකාරය යි.
- ජනක කර්මය - යම් භවයක උපත සඳහා ඉදිරිපත් වන කර්ම ශක්තිය
- උපත්ථම්භක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය ට උපකාර කිරීම.
- උපපීළක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය ට බාධා පමුණුවයි.
- උපඝාතක කර්මය - ජනක කර්මයෙන් උපන් කර්ම ශක්තිය සම්පූර්ණයෙන් ම නැති කර දමයි.
කර්මය විපාක දෙන කාලය අනුව ද, සතර වැදෑරුම් වේ. මෙය ද, කුසල් අකුසල් ලෙස ද්විවිධ බව දත යුතු ය.
- දිට්ඨ ධම්මවේදනීය කර්ම - මෙ ලොව දී ම විපාක දෙන කර්ම.
- උපපජ්ජවේදනීය කර්ම - දෙවන භවයේ දී විපාක දෙන කර්ම.
- අපරාපරියවේදනීය කර්ම - තුන්වන අත්භවයේ සිට නිවන් අවබෝධකර පරිණිර්වානය සිදුවීම දක්වා.
- අහෝසි කර්ම - විපාක දීම ට අවකාශ නො ලැබෙණ කර්ම.
කර්මය විපාක දීම ට ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව ද, සතර වැදෑරුම් වේ. මෙය ද, කුසල් අකුසල් ලෙස ය.
- ගරුක කර්ම - ප්‍රබල ම කර්මය යි. ජනක කර්මය සඳහා මෙය බලපානු ලැබේ.
- ආසන්න කර්ම - මරණාසන්න මොහොතේ සිහිපත් වන කර්ම යි.
- ආචිණ්ණ කර්ම - ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන ලද කර්ම වේ.
- කටත්තා කර්ම - බලවත් නො වන චේතනා ශක්තියකින් යුතු ව සිදුකළ කර්ම වේ.
මෙයටත්අමතර ව තවත් කරුණු කිහිපයක් කර්ම විපාක සඳහා බලපාන බව කිව යුතු ය.
ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය, යන කරුණු සතර කුසල කර්මයන් ගේ විපාකයන් ඇතිකිරීම සඳහා උපකාරක හේතු ලෙස සැලකේ. අකුසල කර්මයන් ගේ විපාක සඳහා බාධක හේතුහු වෙති.
ගති විපත්තිය, උපධි විපත්තිය,කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය, යන මේ කරුණු සතර අකුසල කර්මයන් ගේ විපාකයන් ඇතිකිරීම සඳහා උපකාරක හේතු ලෙස සැලකේ. කුසල කර්මයන් ගේ විපාක සඳහා බාධක හේතුහු වෙති.
- ගති සම්පත්තිය
ගති සම්පත්තිය යනු කුසල කර්ම බලයෙන් යහපත් ස්ථානයක උපත ලැබීම යි.මිනිසකු,දෙවියකු වීම ගති සම්පත්තිය යි. මේ හේතුව නිසා අතීතයේ කළ සුළු අකුසල කර්මයන් විපාක දීම සඳහා අවථාව නො ලැබී අහෝසි වී යයි.
- උපධි සම්පත්තිය
උපධි සම්පත්තිය නම් නිසි ලෙසින් අඟ සම්පුර්ණ වූ ශරීරයක් ලැබීම යි. උපාධි සම්පත්තිය ඇති කල් හි විපාක වශයෙන් ගිය ගිය තැන සැලකිලි ලැබෙන්නේ ය. ඒ හේතුවෙන් සුළු අකුසල කර්මයන් විපාක දීම සඳහා අවථාව නො ලැබී අහෝසි වී යයි.
- කාල සම්පත්තිය
කාල සම්පත්තිය යනු සශ්‍රීක සමයක උපත ලැබීම යි. නියඟය, ජලගැලීම් ආදී ස්වභාවික විපත්වලින් තොර, යුද්ධාදියෙන් තොර සෞභාග්‍යමත් සමයක උපත ලද විට ඒ කාල සම්පත්තිය නිසා සුළු අකුසල කර්මයන් විපාක දීම සඳහා අවථාව නො ලැබී අහෝසි වී යයි.
- ප්‍රයෝග සම්පත්තිය
පව්කම් කිරීම සඳහා ඉඩක් නො ලැබීම ත්, කුසල කර්ම කිරීම සඳහා ඉඩකඩ ලැබීමත් ප්‍රයෝග සම්පත්තිය යි. පැවිදි පක්ෂය වෙත දානාදියෙන් සංග්‍රහ කළ හැකි, ගරුබුහුමන් කළ හැකි කාලපරිඡේද වේ. මේ නිසා ද, සුළු අකුසල කර්මයන් විපාක දීම සඳහා අවථාව නො ලැබී අහෝසි වී යයි.
- ගති විපත්තිය
අපාය, තිරිසන් භවය ආදී ස්ථානයන් හි උපත ලැබීම ගති විපත්තිය ලෙසින් දැක්වෙයි. මෙ විට දුබල වූ අකුසල කර්ම පවා විපාක දෙයි. ඔහුට බොහෝ කුසල විපාක ලැබිය යුතු ව තිබුන ද, එ හි විපාක නො ලැබෙන්නේ ය. ඉතා බලවත් කුසල කර්මයක් පමණක් විපාක දීම සිදු වේ.
- උපධි විපත්තිය
ශරීරාංග යහපත් ලෙස නො පැවතීම උපධි විපත්තිය යි. විරූපී බව, මන්දබුද්ධික බව, අත් පා කොර වීම ආදී කරුණු නිසා ලැබිය යුතු කුසල විපාක නො ලැබී යන අතර සුළු අකුසල විපාක පවා ඔහුට ලැබෙන්නේ ය.
- කාල විපත්තිය
කාල විපත්තිය යනු යුද්ධ පවත්නා, නියඟ, සාගත ආදිය පවත්නා බොහෝ දුෂ්කරතා ඇති කාල පරිච්ඡේදයන් ය. මේ නිසා කුසල කර්මවල විපාක ලෙස වස්ත්‍ර, ආහාර, ආදිය ලැබීමට ඇත්නම් ඒවා නො ලැබී යන්නේ ය. සුළු අකුසල කර්ම පවා විපාක දෙන්නේ ය.
- ප්‍රයෝග විපත්තිය
සුරාව, සූදුව ආදී පව්කම්වල යෙදීම, කුසල පක්ෂය සඳහා කටයුතු කිරීමට නො හැකි පරිදි කටයුතු සම්පාදනා වීම ප්‍රයෝග විපත්තිය යි. මේ නිසා දුර්වල වූ අතීත අකුසල කර්මවලින් දිළිඳු බවට ත් රෝගී බවට ත් පමුණුවනු ලබයි.
කර්මය පිළිබඳ දැක්වෙන අතිදීර්ඝ විස්තර මහාකම්ම විභංග සුත්‍රය, චුල්ලකම්ම විභංග සුත්‍රය ආදී සුත්‍ර දේශනා පරිශීලනයෙන් දැනගත හැකි ය.
බුදුදහමේ අමුලිකා ශ්‍රද්ධාව සහ අකාරවතී ශ්‍රද්ධාව ලෙසින් ශ්‍රද්ධාව කොටස් දෙකකි. කරුණු තේරුම් නො ගෙන කිසිඳු විමසා බැලීමකින් තොර ව ගතානුගතික ව සරණ යාම අමුලිකා ශ්‍රද්ධාව යි. කරුණු තේරුම් ගෙන, විමසා බලා කටයුතු කිරීම අකාරවතී ශ්‍රද්ධාව යි. පන්සලක් දුටු පමණින්, බෝධියක්, බුදුරුවක් දුටු පමණින් හුනස්නෙන් නැගිටීමෙන් වැඳීමෙන් ම බෞද්ධයෙක් වීම නියම ප්‍රතිඵලය ලද හැකි ද? බුදුදහම පිළිගන්නා අතර ම බුදුදහමේ ප්‍රතික්ෂේපිත ජ්‍යෝතිෂ්‍ය, නැකත් ආදී දේ අනුව කටයුතු කිරීම, ඒවා පිළිගැනීම ත්‍රිවිධ රත්නය ට කරන ගැරහීමක්, සමච්චලයක් නො වේ ද? මෙ හි දී අප බෞද්ධ කර්ම සංකල්පය කුමක් ද, එ හි විශේෂතා මොනවා ද? ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් ප්‍රතික්ෂේප වන්නේ ඇයි? යන කරුණු ක්‍රමානුකුල ව පෙළගස්වා විවරණය කරන්නට යෙදුනි. මෙ ම කරුණු විමසා බලා තවදුරටත් ඔබ ජ්‍යෝතිෂ්‍ය නම් වූ මහා මිථ්‍යාව සරණ යන්නේ ද, නැතහොත් නිර්මල බුදුදහම සරණ යන්නේ ද, යන්න තීරණය කරන්න. එය අපට කළ හැක්කක් නො වේ. තමන් ම තේරුම් ගත යුතු දෙයකි.
තෙරුවන් සරණ යි!
මුලාශ්‍ර :
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව
ධර්ම විනිශ්චය (රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ)
මේ ගැන තොරතුරු සොයමිනුයි සිටියේ.. නැකත්, කේන්දර ගැන බුදු දහමට අනුව කරන ලද පැහැදිලි කිරීම ගැන බොහොම පින්..
ReplyDeleteජෝතිෂ්‍යය, අත්ලේ රේකා ගැන මම දරන අදහස නම් ඔබ ඒවා බොරුයි කීමට පෙර ඒවා අධ්‍යනය කලයුතුයි ගැබුරින්ම එතකොට ඔබටම එහි සත්‍ය අසත්‍ය තාවය දැක ගත හැකි.මගේ අත්දැකීම් අනුව මේවා ඉතා සංකීර්ණ සහ පුළුල් විෂය කේෂත්‍රයන්.සමහර දැනුම වර්තමානය වන විට නැතිව ගිහින්.ජෝතිෂවේදීන්ට සම්පුර්ණ දැනුම අඩු වීම මේවා බොරු කීමට හේතු වී තිබෙනවා.මේ ශාස්ත්‍ර යොදා ගන්නේ කෙටියෙන් කිවොත් පවු පලදෙන කාලයන් සහ පින් පල දෙන කාලයන් කියා දීමට සහ තවත් බොහෝ දෑ කීමට .
ReplyDeleteප්‍රශ්නය- මේ විදියට හිතමු. ලග්න 12ක් තියෙනවා. පත්තරවල දවස ගානේ ලග්න ඵලාඵල දමනවා. ලෝකයේ ඉන්න හැම මනුස්සයම ඔය ලග්න 1/12 ට අයිති වෙනවා. එක ලග්නයක් ගනිමු. දැන් ලෝකයේ මිනිස්සු බිලියන 7න් අඩුම ගානේ මිලියන 500ක් වත් ඔය ලග්නයේ ඇති. කියන දේවල් ඔය මිලියන 500ට ම සාධාරණ වෙනවා ද? කියලා හිතලා බලන්න. ඔය දවස බොහොම සුබයි කියලා තියෙනවා කියලා හිතමු. ඔය දවසට මිලියන 500 ලක්ෂ කීයක් මැරෙනවා ද? ලක්ෂ කීයක් ලෙඩවෙනවාද? එහෙම වෙන්නේ දවස සුබ නිසා ද? නැත්නම් තමන් ගේ කර්මය අනුව ද? හිතලා බලන්න.
පිළිතුර-මෙතැනදී දැන් කාලේ වෙන්නේ වාණිජ පරමාර්ථයෙන් ජෝතිෂය විකුණාගෙන ගෙන කෑමක්.මෙසේ ලග්න දාන්නේ හුදු වාණිජ පරමාර්ථයෙන් සහ පොඩි බොරු සතුටක් දී පාඨකයා සතුටු කිරීමේ අරමුණින් සහ තමා ජනප්‍රිය වීමටයි.මෙසේ ලංකාවේ සිටින කොටි 3 ටම පොදුවේ සතියේ ලග්න පලා පල කියන්න බැහැ.මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා හරියට කේන්දරය අනුව ලග්නය බලන්න ගියොත්.කර්මයෙන් හැම දෙයක් ම වෙනවා කියලා නැහැ බුදු රජාණන් වහන්සේ.කර්මය එක කරුණක් විතරයි.මේ ගැන තව ගැබුරින් ඔයා හොයලා බලන්න.
ප්‍රශ්නය-අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
ReplyDeleteපිළිතුර -මෙයින් මට වැටහෙන දේ නම් නිවන් දැකීමට නැකත් බල බල ඉන්න එපා කියන එකයි.මට මතක් වෙනවා එක ජාතක කතාවක් එකේදී අප මහා බෝසතාණන් වහන්සේ නැකත් බල බල ඉදලා කසාද බදින්න බැරි වුන තරුණයෙක් ට හරි මාර්ගය පෙන්නා දෙනවා.මොකද ලංකාවේ ජෝතිශයට ඇබ්බැහි වීමක් නේ පෙන්න තියෙන්නේ.අපි මද්‍යස්ථ වුනොත් නේද හොද ?.ජෝතිශය හරියට යොදා ගත්තොත් තම තමන් ගේ ඉදිරියේදී ඇතිවන අභියෝග වලට ඉතා හොදින් මුහුණ දෙන්න පුළුවන්.මේ සදහා හොද නිවැරදි ජෝතිෂය දැනුමක් අවශ්‍යයි.තම තමා ම සාමාන්‍ය හෝ ජෝතිෂ දැනුමක් තිබීම වැදගත් යන්න මගේ මතයයි.එතකොට බොරු ජෝතිෂ වේදීන් ට රැවටෙන්න ඕන නැහැ.
හොඳ බ්ලොග් එකකි.
ReplyDelete