නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ධර්ම දේශනය, ධර්මශ්‍රවණය, ධර්ම සම්මර්ෂණය, ධර්ම සජ්ඣායනාව සහ භාවනාව යන කරුණු පහ නිවන ට පිවිසීමේ දොරටු හෙවත් විමුත්තායතන ශීර්ෂ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ විමුත්තායතන සුත්‍රයේ ඒ පිළිබඳ අන්තර්ගත ය. එයින් අද සාකච්ඡා කරන්නේ ධර්මශ්‍රවණය ට අදාළ කරුණු සම්බන්ධයෙනි. පෙර ලිපියකින් අප ඉහත කරුණු පහ පිළිබඳ ව ම හැඳින්වීමක් කළ නමුත් ධර්ම ශ්‍රවණය පිළිබඳ තවදුර ට ත් කිව යුතු ම කරුණු කිහිපයක් ඇති හෙයින් මෙ ම ලිපිය පලකරන්නට අදහස් විය.
ධර්මශ්‍රවණය සියලු දෙනා ට සිදු කළ නො හැකි, පහසුවෙන් කළ නො හැකි අතිශය දුර්ලභ කරුණක් බව බුදුරජාණන් වහන්සේ පාතුභාව සුත්‍රයේ දේශනා කොට ඇත. ඒ අතරින් ධර්ම ශ්‍රවණය තුළින් නිවන් මග ට යම් ආකාරයක උපකාරයක් සිදුකරගැනීමට තරම් බුද්ධියකින් ධර්මය ශ්‍රවණය කරන පිරිස ද, දුර්ලබ බව කිව යුතු ය.
ධර්මය ශ්‍රවණය සඳහා අවශ්‍යතා වශයෙන් බුද්ධෝත්පාද කාලයක, මනුසත්බවක් ලබා, අංගවිකල, මන්දබුද්ධික වැනි තත්වයන් ට පත් නො වී සිටීම අනිවාර්ය කරුණකි. එ සේ කරුණු සම්පුර්ණ කළ ඔබ ඒ දුර්ලබ වූ ධර්ම ශ්‍රවනයෙන් නියමාකාර ප්‍රතිඵල ලැබීමට අසමර්ථ වන්නේ නම් එය කොයිතරම් අභාග්‍යයක් ද?
එ බැවින් නියමාකාරයෙන් ධර්මශ්‍රවනය සිදුකළ යුතු ආකාරය බුදුරදුන් දේශනා කළ අයුරු මේ ලිපියෙන් විමසා බලමු. මේ පිළිබඳ කරුණු අන්තර්ගත වන්නේ සුත්‍රපිටකයේ, අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ, සද්ධම්මවග්ගයේ ඇතුළත් සුත්‍රධර්ම පෙළෙහි ය.
පළමු ව ධර්මය ශ්‍රවණය කරන විට නො කළ යුතු අවැඩදායක, නිෂ්ඵල කටයුතු පිළිබඳ විමසා බලමු.
"මහණෙනි, ධර්ම පසකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ ද, කුසල ධර්මයෙ හි සම්‍යකෘත ව සංඛ්‍යාත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි."
"කථාවට පරිභව කෙරෙයි, ධර්ම කථිකයාට පරිභව කෙරෙයි, තමා ට පරිභව කෙරෙයි, එකඟ නො වූ සිත් ඇති ව වික්ෂිප්ත ව ධර්මය අසයි, නුනුවණින් මෙනෙහි කරයි යන මේ ධර්ම පසින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ නමුදු කුසල ධර්මයෙ හි සම්‍යකෘත ව සංඛ්‍යාත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි."
(පළමු සම්මත්තනියාම සුත්‍රය)
"මහණෙනි, ධර්ම පසකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ ද, කුසල ධර්මයෙ හි සම්‍යකෘත ව සංඛ්‍යාත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි."
"කථාවට පරිභව කෙරෙයි, ධර්ම කථිකයාට පරිභව කෙරෙයි, තමා ට පරිභව කෙරෙයි, ජඩ වූයේ කෙළතොළු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නො දත් දැයෙ හි 'දත්මි' යි යාම මානය ඇතියේ වෙයි, යන මේ ධර්ම පසින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ නමුදු කුසල ධර්මයෙ හි සම්‍යකෘත ව සංඛ්‍යාත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි."
(දෙවන සම්මත්තනියාම සුත්‍රය)
"මහණෙනි, ධර්ම පසකින් සමන්වාගත වූයේ සද්ධර්මය අසනුයේ ද, කුසල ධර්මයෙ හි සම්‍යකෘත ව සංඛ්‍යාත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි."
ගුණමකු වූයේ ගුණමකු සිතින් මඩනා ලදුයේ ධර්මය අසයි, උපාරම්හ චිය්ත්ත (වාද නගන සිත් ඇති ව) සිදුරු සොයන සුලුයේ ධර්මය අසයි. තදබව ඇතියේ ධර්ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් ගැටුනු සිත් ඇත්තේ වෙයි. ජඩ වූයේ කෙළතොළු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නො දත් දැයෙ හි 'දත්මි' යි යාම මානය ඇතියේ වෙයි, යන මේ ධර්ම පසින් සමන්වාගත වූයේ සද්ධර්මය අසන්නේ නමුදු කුසල ධර්මයෙ හි සම්‍යකෘත ව සංඛ්‍යාත නියාමයට බැසගැනීමට අභව්‍ය වෙයි."
(තෙවන සම්මත්තනියාම සුත්‍රය)

නිවන් මග ට ඵලදායී වන අන්දමින් ධර්මය ශ්‍රවණය කලයුතු ආකාරය පිළිබඳ ව ද, ඉහත සුත්‍ර තුනෙහි අන්තර්ගත ව ඇත. ඒ ඉහත සඳහන් කළ කරුණුවලට විරුද්ධ දෑ ය.
ලිපි ද්විත්වයකින් ම ධර්ම ශ්‍රවණය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නට යෙදුනේ අදවන විට ධර්මශ්‍රවණය ද, එක්තරා කලාවක් කරගත් පිරිසක් වසන බැවිනි. ධර්මශ්‍රවණය පමණක් නො ව, ධර්ම දේශනය, ධර්ම සම්මර්ශනය, ධර්ම සජ්ඣායනාව ආදී කරුණු පවා නියමාකාරයෙන් සිදුකරන්නේ නම් එය ගිහි පැවිදි දෙපාර්ශවයට ම නිවන පිණිස පවතිනු ඒකාන්ත ය. මේ උතුම් බුද්ධෝත්පාද කාලයෙ, මනුසත්බව ලබා යහපත් ජීවිත ගතකරන ඔබ අප සියලු දෙනා ගේ එක ම අරමුණ විය යුත්තේ නිවන සඳහා වීර්යය වැඩීම යි. ඒ සඳහා ධර්මශ්‍රවණය පාරමිතාවක් වේ වා!
තෙරුවන් සරණ යි!
No comments:
Post a Comment