Monday, May 20, 2013

තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වෙසක් දිනය නිමිත්තෙන් මෙ ම ලිපිය පල කළයුතු ය යි සිත් විය. මේ ලිපිය මුල්වරට ප්‍රකාශයට පත් ව ඇත්තේ ශ්‍රි බුද්ධ වර්ෂ 2493 වෙසක් පොහෝ දින (1949 මැයි 1) සිළුමිණ පත්‍රයේ ප්‍රධාන පිටුවේ ය. "තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල" බුදුරජාණන් වහන්සේ මනා ව හඳුනාගත් පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මහා ස්වාමින්ද්‍රෝත්තමයාණන් වහන්සේ  ගේ බෝධි චින්තනයෙන් සැපයුණු ඓතිහාසික ලිපියකි. 

2500 සම්බුද්ධ ජයන්ති සමය උදාවත් ම, ශාසන ප්‍රතිපත්ති හා මඟ ඵල නිවන් වසා පැවති විමති අඳුර නසා, අද ත්, මඟ ඵල නිවන් රස විඳිය හැක්කේ මෙ සේ ය යි, සම්බුද්ධ ශාසනය නගා සිටුවීමේ ප්‍රණීතාධ්‍යාශයෙන් සමාරබ්ධ "ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව" මෙ ම ඓතිහාසික ලිපියේ ප්‍රතිඵලයකි. 

  • අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලි කාරයන්ට කෙබඳු බණක් වදාරත් ද?
සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. ජාතික සාමායික දෙපසින් ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක් දිනයෙ හි උත්සව පැවැත්විය යුතු ම ය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසය දැක්වීමට හෝ උත්සව කරුවන්ගේ උනන්දුව පණපෙවීමට නොවෙයි.

දැන් පවත්වාගෙන යන වෙසක් උත්සවයේ අංගෝපාංග වශයෙන් තහවුරු වී පවත්නා විවිධ ක්‍රියා, උත්සව පරමාර්ථයට හොබින්නේ ද යනු සිහි ගැන්වීමට වෙසක් බෞද්ධයන් නවතා ගැනීම අපේ අදහසයි. වෙසක් කාලයට පමණක් බොදු පුබුදුව දක්වන පිරිසක් මට පෙනෙනා හෙයිනි, වෙසක් බෞද්ධයන් යයි සඳහන් කෙළේ. බලවත් පරිශ්‍රමයකින් මහත් වියදමකින් ඔබ කරන භක්ති පූජාව අර්ථවාහී නොවේ නම් එය ප්‍රඥාගෝචර වන්නේ කෙසේ ද? මෙහි හිත යොදවනු මැනවි.

ඇඳුම් කොතරම් අලංකාර වුව ත් ශරීරයට නො ගැළපේ නම් වැඩක් නැත. සිතුවම් කොතෙක් විසිතුරු වුව ත් වස්තුවට නො සෑහේ නම් අස්ථානගත ය. රචනය කොතරම් සිලිටි වුවත් උපන්‍යයිතය නො විසාද් නම් නිරර්ථක ය. වෙසක් උත්සවයේ පරමාර්ථය බුදුරජාණන් වහන්සේට භක්ති පුජා පැවැත්වීම යි. ඒ භක්ති පූජා උන්වහන්සේ ගේ චරිතයට උන්වහන්සේ ගේ අනුශාසනයට උචිත සේ පැවැත්වුවහොත් පමණි, ගෞරව සහගත වනුයේ. බුද්ධ චරිතයට බුද්ධානුශාසනයට නො ගැළපෙන බහුවැඩවලින් බුදුන් පුදන්නට යාම විචාරශුන්‍ය මෝඝ ප්‍රයත්නයක් කොට සැළකිය යුතු ය. අද අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් මේ උත්සවාකාරයන්ට හොඳ ම බණක් දෙසනවා ඇත.
 
  • "මේ නැටුම් නටන්නෝ මා පුදන්නෝ නො වෙති"
දෙව් මිනිසුන් ගේ පුද පෙරහැර ලබන්නට, දෙවියන් මිනිසුන් නටවන්නට උන්වහන්සේ බුදු නො වූ වග අන්තිම පැයේ දී පහදා වදාළ සේක. පිරිනිවන් ඇඳෙහි වැදහොත් බුදුරජාණන් වහන්සේට පූජා පිණිස දිව්‍යමය නැටුමක් පවත්වන්නට දෙව් නළු පිරිසක් පැමිණිය හ. එයට අවකාශ දුන මැනවැ යි ආනන්ද ස්වාමින් වහන්සේ කළ යැදුම පිළිකෙව් කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. "ආනන්දය! මෙ හි නැටුම් නටන්නෝ මා පුදන්නෝ නො වෙති. ඉදින් යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ආත්ම සංයමය කෙරේ නම් හෙතෙමේ ම මා පුදන්නේ වෙයි". බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් කවර පිදුමක් අපේක්ෂිත වූ සේක් ද? යනු සක්සුදක් සේ මෙයින් පැහැදිළි වන්නේ ය.

ලුණු නැති කුඩු කැවුම් සන්තෝෂයෙන් වළඳන්නට තරම් අල්පේච්ඡ වූ ද, ඉෂ්ටානිෂ්ට ආලම්බණයෙහි මැදහත් පැවතුමෙන් අත්‍යන්ත ශාන්ත වූ ද, බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන්ට ආදර්ශයෙන් ද අනුශාසනයෙන් ද, පහදා වදාළේ බාහිර ආටෝපයට නො රැවටී අධ්‍යාත්මික පාරිශුද්ධිය උපදවා ගන්නා ලෙස ය. උන්වහන්සේ විසින් ප්‍රඥප්ත සියලු ශික්ෂාවෝ ඉන්ද්‍රිය සංයමයෙන් ආත්ම විජය සලසන්නාහු වෙති. ක්ලේශ ශමථය පිණිස එක එල්ලේ හේතු භූත ප්‍රතිපත්ති සංදර්ශක බුද්ධ ධර්මය, සම්‍යක් දර්ශනය පදනම කොට ඇත්තේ ය. තදානුගත වූවාහු බුද්ධ ප්‍රශස්ත වූ හ. තදර්ථඝාතකයෝ බෞද්ධ සමාජයේ සාමාජිකත්වයට නුසුදුස්සෝ ය. එබන්දෝ බුදුරජාණන් වහන්සේගේ අන්ත නිග්‍රහයට ලක්වූවාහු වෙති.

බුද්ධ කාලයෙහි ප්‍රත්‍යන්තවාසී එක් භික්ෂු නමක් අමාර්ග ප්‍රතිපත්ති හේතුවෙන් බුද්ධ නිග්‍රහයට ලක් වූ දහසක් දෙනාගෙන් කෙනෙකු වශයෙන් දැක්විය හැකි ය. නිරතුරු මටසිළුටු වූ සිවුරු පිරිකරෙන් සැරසීගත් ඒ භික්ෂූන් මහත් පරිශ්‍රමයෙන් කෙළේ ස්වකීය ආරාමය දියුණු කිරීම ය. මේ සැරසුම් ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගෙන් තුති පැසසුම් ලැබේ යයි ඒ භික්ෂුව කල්පනා කෙළේ ය. එහෙත් පැසසුම් වෙනුවට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කෙළේ මහත් සේ නින්දා කිරීමය. කටයුත්ත පසෙක ලා අකටයුත්තෙන් ක්ෂණ සම්පත්ති කාලය මකා දමන තුච්ඡ පුරුෂයෙකැ යි අතිශයින් නිග්‍රහ කළ සේක. තමන් ගේ අගුණ ශිලය භික්ෂුවට හොඳින් වැටහිණ. අද බුදුරජාණන් වහන්සේ වැඩසිටින සේක් නම් අපේ වෙසක් සැරසිලි කාරයන්ට හොඳ බණක් දෙසනු ඇතැයි මා සඳහන් කළේ මෙවැනි පුවත් සිහියට නැගීමෙනි.
 
  • "ප්‍රතිපත්ති පූජාව පස්සට දැමීම"
බුදුරජාණනන් වහන්සේ වෙනුවෙන් විසිතුරු තොරණ බැඳගෙන, මාලාකර්ම ලතාකර්ම ආදියෙන් ගේදොර මගදෙපස මොනවට සරසාගෙන, නා නා විසිතුරු පහන් පන්දම් දල්වා ගෙන වෙසක් පුජාව පවත්වන මේ භක්තිමතුන්ගේ සිත ඇතුළත ප්‍රතිපත්ති පූජාවෙන් ඇති වන සැරසිලි ප්‍රභාවත් ද? වෙසක් සැරසිලි බලමින් වෙසක් දින විනෝද චාරිකාවේ හැසිරෙන පින්වතුන් පුරන්නේ කවර ශීලයක් සමාධියක් දැ යි නො දනිමි. අවුරුදු පතා මේ සැරසිලි පින්කම් වගා කරන්ට තෑගි බෝග දෙමින් ගුණ වනමින් පොහොර හෙළන්නෝ ද, දක්නා ලැබෙත්.


ගම්බද මිනිසුන් වෙසක් බැලීමට නගරයට ඇදී යාම නිසා වෙසක් දින විහාර පන්සල් අඳුරෙ හි ය. කරන්නට වැඩක් නැති නිසා පිළිම ගෙහි දොර වසා දමා පන්සලේ හාමුදුරුවෝ ද, වෙසක් බලන්නට නො ව දායකයන් බලන්නට නගරයට වඩිති. එක් වෙසක් දිනක පිටිසරබද ප්‍රසිද්ධ ආරාමයක් හි ධර්මදේශනාවක් සඳහා ගිය මට එහි දක්නට ලැබුණේ බාගෙට පණ ගිය උපාසක උපාසිකාවන් හත් අට දෙනෙක් පමණකි. සෙස්සෝ වෙසක් බලන්නට බැහැර ගොස් ය. මේ සැරසිලි ප්‍රදර්ශනය කරන්නන් ගේ ද, සැරසිලි බලන්නන් ගේ ද, ඇතුළත වැඩෙන ගුණ දහම් මොනවා ද? ඊර්ෂ්‍යා - ක්‍රෝධ - මාන - මාත්සර්යාදී පාප චේතනා වඩවන නිස්සාර වැඩවලින් කරන භක්ති පූජාව බුදුරජාණන් වහන්සේට කිසිසේත් නො ගැළපේ ම ය.

  • නැති එදිරිවාදිකම් ඇතිකර ගන්නෝ...!
කපටිකම් බෙදාගෙන වෙසක් සැරසිලි කරන්නට ගොස් කැති පොලු හටන් කරගත් ගම්මානයක් ගැනත්, දෙපිල බෙදී වෙසක් සැරසිලි කිරීමෙන් ජන්මාන්තර එදිරිවාදිකම් හදාගත් කඩවීදියක් ගැනත් මම දනිමි. පිවිතුරු හැඟුමෙන් නියම තේරුමෙන් නිසි පරිදි වෙසක් පූජාවට බසින්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ නොමිහිරි වේදනා විඳින්නට නොලැබෙනවා ඇත. මායා සහගත බොරු පෙන්වීම් වලින් බෞද්ධ පරමාර්ථය වැළලී යන්නේ ය. අපේ ධර්මානුශාසකයන් - සමාජ ශෝධකයන් මේ ඇන්නෑ වැඩට ආවඩනු දැක්ම වඩාත් සංවේගජනක ය. බුද්ධානුශාසනයට ගැළපෙන සේ වෙසක් උත්සව සැළැස්ම ඉදිකර ගත යුතුය. ඇතුළත ඇවිලගත් ගෙයක් පිටතින් සුණු පිරියම් කරන්නාක් මෙන්, සන්නිපාත රෝගියෙකු ආයිත්තමින් සරසන්නාක් මෙන් කරන බාහිර සැරසිල්ලෙන් වැඩක් නැත. කෙලෙස් ගිනි නිවන - කෙලෙස් ලෙඩ සංසිඳුවන වැඩවලින් ම වෙසක් උත්සවය අර්ථානුගත කළ යුතු ය.

ගි‍ලානෝපස්ථානය - අනාථ සංග්‍රහය ආදී කරුණා සිත වැඩෙන වැඩවලින් හා පෙහෙවස් සමාදානයෙන්, බුද්ධානුස්සති ආදී භාවනාවක යෙදී විවේක ව සිටීම වැනි නුවණ මෝරන පිළිවෙතින් වෙසක් රසය විඳගන්න ට කල්පනා කරන්නේ නම් මැනවි. දහස් ගණන් වියදම් කිරීමෙන් මහත් වෑයමෙන් කරන බාහිර සැරසිල්ලට වඩා, කිසි වියදමක් වැඩි මහන්සියක් නැති ව ගුණදම් වගාවෙන් කෙරෙන ආධ්‍යාත්මික සැරසිල්ල උතුම් වන්නේ ය.

තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල නම් ආත්ම විමුක්තිය ආත්ම විජය සලසාලන ආධ්‍යාත්මික සැරසිල්ල බැව් එක්වන් සිහිකට යුත්තේ ය.

නැණ පහනින් වෙසක් සිත පහන් වේ වා!

(2600 සම්බුද්ධත්ව ජයන්තිය සහ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වසර 60ක් සපිරිම නිමිත්තෙන් නිකුත් කරන ලද "ආත්ම ප්‍රත්‍යවේක්ෂණය" නම් ග්‍රන්ථයෙන් මෙ ම ලිපි උපුටා ගන්නා ලදී.)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...