Saturday, May 5, 2012

රේවත බුද්ධ වංශය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සුමන බුදුරදුන් ට පසු කාලයෙ හි උපමා රහිත,  සමාන කෙනෙක් නැති,  අසම වූ, උතුම් වූ, පස් මරුන් දිනූ රේවත නම් බුදුවරතෙම වීය.

ඒ රේවත බුදුරජහු ද, බඹහු විසින් අයදනා ලද්දේ,  පඤ්චස්කන්ධයන්ගේ හා අටළොස් ධාතුන් ගේ විභාග කිරීම ඇති, භවාභවයන් ගේ මනා පැවැත්ම කරන ධර්මය ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ ගේ දහම් දෙසුමෙ හි දී අභිසමය (ධර්මාවබෝධය) තුනක් වූ හ.   පළමු ධර්මාවබෝධය ගණනින් නො කිය හැකි ය. යම් කලෙක රේවත මුනිඳු තෙම "අරින්දව"  නම් රජු හික්මවී ද,  එ කල් හි කෝටි දහසක් දෙනා ට දෙවන ධර්මාභිසමය විය.



බුදුරජ තෙම සත් දවසක් සිත එකඟ කිරීමෙන් විවේකයෙන් හිඳ නැගීසිට, කෝටි සියයක් දෙවි මිනිසුන් උතුම් රහත් ඵලයෙ හි හික්ම වීය. රේවත බුදදුරදුන් ට තාදී ගුණ ඇති,  යහපත් ව මිදිණු, රාගාදී කෙලෙස් කිලුටු නැති රහතුන් ගේ රැස්වීම් තුනක් වූ හ. යම් කෙනෙක් පළමු රැස්වීම ට පැමිණියාහු ද, ඔවුහු ගණන් මගින් ඉක්ම ගියාහු,  කෝටි ලක්ෂයක් දෙනෙකුන් ගේ දෙවන රැස්වීම වීය.

යම් බුදු කෙනෙකු නුවණින් අසම ද, ඒ නුවණ ට අනුව දම්සක් පවත්වයි ද, ඒ රේවත බුදුරජතෙම ඒ කාලයෙ හි ලෙඩින් පෙලුණේ,  ජීවත් වේද, නො වේ ද, යන සැකය ට පැමිණියේ වීය. ඒ කාලයෙ හි උන්වහන්සේ ගේ ලෙඩ විචාරීම පිණිස යම් ස්ථිර සිත් ඇති කෝටි ලක‍ෂයක් රහත්හු එළඹියාහු ද, තුන්වන රැස්වීම විය.

Pictureමම ඒ කාලයෙ හි "අතිදේව" නම් බමුණෙක් වීමි. රේවත බුදුරදුන් කරා එළඹ උන්වහන්සේ ගේ සරණ ගියෙමි. මම රේවත බුදුරජුන් ගේ සීලය ට ද, සමාධිය ට ද, අතිශයින් උතුම් ප්‍රඥා ගුණය ට ද, පැසසිය යුතු පරිද්දෙන් පසසා පොරොවන රෙද්දක් පුද කළෙමි. ලෝනාහිමි වූ ඒ රේවත බුදුරජහු ද, මේ කපින් අසංඛ්‍ය කල්පයෙ හි මේ තෙම බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද,කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය. මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය.   පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය. "කෝලිත" ද,  "උපතිස්ස" ද, යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   "ආනන‍ද"නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. "ඛෙමා" ද,  "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ රේවත බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු. එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ සුමන බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

සූත්‍ර පෙළ ද, විනය පෙළ ද, නවාංග (කොටස් නවයක් ඇති) ශාස්තෘශාසනය ද, යන සියල්ල ඉගෙනගෙන බුදුසසුන හෙබවීමි. මා විසින් යම් බුදුබවක් මනාකොට පතන ලද ද,  ඒ මේ බුදුබව ඇති කරන්නෙමි. ඒ කාලයෙ හි ත් බුද්ධකාරක ධර්මයන් සිහිකොට වැඩූයෙමි.

මහ තවුස් වූ රේවත බුදුරජුන් ගේ නුවර "සුධර්මවතී" නම් විය. පියතෙම "විපුල" නම් රජ ය. වැදූ මව "විපුලා දේවි" ය. උන් වහන්සේ බෝසත් කල  අවුරුදූ හයදාහක් ගිහිගෙයි විසී ය.   අලංකාර කරන ලද "සුදස්සන" ය,  "රතනග්ඝි" ය,  "අචෙල" ය යන පින්කමින් උපන් උතුම් තුන් පහයක් වූ හ. හොඳින් සරසන ලද පිරිවර අඟනෝ තිස් තුන් දහසකි. දේවී තොමෝ "සුදස්සනා" නම් විය. පුත් තෙම "වරුණ" නම් වීය. රේවත ජිනවර තෙම,  සතර පෙර නිමිති දැක, රථ යානයෙන් මහබිණික්මන් කළේ ය. නො අඩු සත් වසක් මුඵල්ලෙ හි බුදුබව ට පැමිණීම පිණිස ප්‍රධාන වීර්යය කළේ ය.

මහාවීර වූ රේවත නම් ලෝනාහිමි තෙම බඹුහු විසින් අයදනා ලද්දේ,  ශ්‍රියාවෙන් ඝන වූ, වරුණ නම් ආරාමයේ දී දම්සක් පැවැත්වීය. රේවත බුදුරජුන් ට "වරුණ" ය,  බ්‍රහ්මදේව" ය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. "භද්දා" ද,  "සුභද්දා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. අසමසම වූ ඒ රේවත බුදුරදහු ද නා ගසක් මුල දී සිව්සස් අවබෝධ කළ හ. "පදුම" ද,  "කුඤ්ජර" ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූ හ. "සිරිමා" ද,  "යසවතී" ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වූ හ.


ඒ රේවත බුදුරජහු උසින් අසූ රියනක් උස්වි ය. උස් ව සිටි ඉන්ද්‍රියා ගේ ධ්වජය මෙන් සියලු දිසාවන් හොබවයි. උන්වහන්සේ ගේ ශරීරයෙ හි හටගත් උතුම් වූ රශ්මි මාලාව දහවල් ද, ඉදින් රැයෙ හි ද, හාත්පස යොදිනක් තැන් පැතිරී ය. ඒ කාලයෙ හි අවුරුදු සැටදහසක් ආයුෂය පවතී. ඒ රේවත බුදුරජ තෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කළ සේක.

බුද්ධ බලය දක්වා ලෝකයෙ හි අමෘතය (නිවන) ප්‍රකාශ කරමින් උපාදාන අවසන් වීමෙන් ගිණි යම් සේ (නිවීම ට යේ) ද, එ සේ පඤ්ච උපාදානයන් ගේ අභාවයෙන් පිරිනිවි සේක. රත්නයක් වැනි වූ ඒ රූපකාය (ශරීරය),  අසම වූ ඒ ධර්මය ද, යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද?

කීර්තිය දරන ඒ රේවත මහා මුනිඳු තෙම පිරිනිවි සේක. ඒ ඒ ප්‍රදේශයන් හි ධාතු පැතිරවීම විය.


[ඛුද්දක නිකාය , බුද්ධවංශ පාළි, රේවත බුද්ධවංශය] 

4 comments:

  1. පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
  2. අතිශය වටිනා ලිපි පෙළකි.අපි සියල්ල කියවුයෙමු. එහිදි ගැටළු සහගත තැන් කීපයක් හමු විය.
    1. සියළු බුදුවරු දම්සක් පවත්වන ස්ථාන සම යයි කිව ද , කොණ්ඩඤ්ඤ හිමියන් දෙව් ලොවදි එය සිදුකල බව දක්වා තිබීම.

    2. උපස්ථායකයින් හා අග්‍ර උපස්ථායකයින් පිළිබද අපහැදිලිතාවය - "සම්භව" නම් වූ උපස්ථායකයෙක් විය. "පදුම" ද, "කුඤ්ජර" ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වූ හ.

    ඔබට හැකි විටෙක මේ ගැටළු නිරාකරණය කර දෙන ලෙස ඉල්ලා සිටිමු.එසේම හැකිනම් අනාගත බුදුවරු පිලිබද තොරතුරුද ඉදිරියේ සම්පාදනය කර දෙන ලෙස ඉල්ලා සිටිමු.

    ඔබට පිං සිදු වේවා!

    ReplyDelete
    Replies
    1. මිතුර,
      පළමු කරුණ නම් මේ ලිපිපෙළ සකස් කරන විට මට ද, ඇති වූ ගැටලුවකි. බුදුවරු මිගදායේ ම දම්සක් දේශනාව සිදුකරන බව ත්‍රිපිටකයෙන් සොයාගත නො හැකි විය. නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සංඥාපනයේ එය සඳහන් කරා තිබූ බැවින් මට ද, එය ගැටලුවක් විය. මේ කරුණ තවදුරටත් සොයාබලන්නෙමි.

      දෙවන කරුණ නම් මා අතින් සිදු වූ වරදකි. //"සම්භව" නම් වූ උපස්ථායකයෙක් විය.// කියා බුද්ධ වංශයේ සඳහන් නැත. එය නැවත සකස් කළෙමි.

      අනාගත බුදුවරු පිළිබඳ ව ඉඩ ඇති විටක ලිපියක් සකස් කරන්නම්.
      තෙරුවන් සරණ යි!

      Delete
    2. ස්තුතියි!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...