නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
පියුමතුරා බුදුරදුන් ට පසු කාලයෙ හි සතුරෙකු ට නො ළං විය හැකි, උසස් තෙද ඇති, සියලු ලෝකයා ට උතුම් වූ සුමේධ
පහන් නුවන් ඇති පිරිපුන් මුව ඇති ගුණයෙන් මහත් වූ, අවංක වූ, බබළන සිරුරක් ඇති සියලු සතුන් ට වැඩ සිදුකරන බොහෝ දෙනා සසර බැඳුමෙන් මුදවාලූ සේක.
යම් කලක බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධියට පැමිණ, සුදස්සන නුවරෙ හි දී දම්සක් පැවැත්වී ද උන්වහන්සේ ගේ ඒ දම්දෙසුමෙ හි දී ධර්මාවබෝධවීම් තුනක් වූ හ.
එයින් කෝටි ලක්ෂයක් දෙනා ට පළමුවන ධර්මාවබෝධය විය. නැවත ද ඒ ජිනරාජතෙම කුම්භකර්ණ නම් යක්ෂයා දමනය කළ සේක් ද, කෝටි අනූ දහසක් දෙනා ට දෙවැනි ධර්මාවබෝධය වී ය. නැවතද, අපමණ පිරිවර ඇති බුදුරජතෙම සිවුසස් දෙසූ සේක් ද, අසූ කෝටියක් දෙනා ට තුන්වන ධර්මාවබෝධය වී ය.
යළි අපමණ යසස් ඇති සුමේධ බුදුරජ පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ.
යම් කලෙක ජිනරාජයන් වහන්සේ "සුදස්සන" නම් උතුම් නුවරට වැඩි සේක් ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්ෂය කළ රහත් වූ භික්ෂූහු සියක් කෝටියක් රැස් වූ හ. ඒ කාලයෙ හි නැවත ද, "දේව" නම් පර්වතයෙ හි භික්ෂූන් ට කඨින සිවුර ඇතිරීමේ දී අනූ කෝටියක් රහත් භිකෂූන් ගේ දෙවන රැස්වීම විය. නැවත ද, දසබලධාරී බුදුරජතෙම යම් කලෙක චාරිකාවෙ හි වැඩි සේක් ද, ඒ කාලයෙ හි අනූ කෝටියක ගේ තුන්වන රැස්වීම වී ය.
මම ඒ කාලයෙ හි "උත්තර" නම් මානවකයෙක් වීමි. මා ගේ ගෙයි අසූ කෝටියක් ධනය රැස්කොට තබන ලදී.
ඒ සියල්ල සංඝයා සහිත ලෝනාහිමි බුදුරදුන් ට පුදා ඒ බුදුරදුන් ගේ සරණ ගියෙමි. පැවිද්ද කැමති වීමි.
ඒ බුදුරජතෙම අනුමෝදනාවක් කරමින්, මේ තෙම කල්ප තිස් දහසක් ගිය කල බුදුවන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක. ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදු වන්නේ ය.
මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය. පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය.
"කෝලිත" ද, "උපතිස්ස" ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ. "ආනනද" නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. ඛෙමා" ද, "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ, මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.
ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ පදුමුත්තර බුදුරදුන් ඉඳින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.
ඒ සුමේධ බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් දම් පිරීම පිණිස මත්තෙහි පසු ව වතක් ඉටුවෙමි.
සූත්‍රපෙළද, විනයපෙළද, නවාංග ශාස්තෘශාසනය ද යන සියල්ල ඉගෙනගෙන බුදුසසුන හෙබවීමි. මම ඒ කාලයෙ හි නො පමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන් ගේ පරතෙර ට ගොස් බඹලොව පැමිණියෙමි.
ඒ සුමේධ බුදුරදුන් ගේ උපන් නුවර "සුදස්සන" නමි. පියතෙම "සුදත්ත" නම් රජය. වැදූ මව "සුදත්තා" නම් වූවා ය. අවුරුදු නව දහසක් ඒ සුමේධ බුදුරජතෙම බුදුවන්න ට පෙර ගිහිගෙයි විසි ය. "සුචනද"ය, "කොඤ්ච" ය, "සිරිවඩ්ඪ" ය යන උතුම් ප්‍රාසාද රත්න තුනක් වූ හ.
මනා ව සරසන ලද පිරිවර අඟනෝ සතළිස් අට දහසෙකි. ඒ ප්‍රසිද්ධ වූ බිරිඳ "සුමනා" නම් වූවා ය. පුත් තෙම "සුමිත්ත" නම් වී ය.
සුමේධ ජිනරාජ තෙම සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කළේ ය. නො අඩු අට මසක් ප්‍රධාන වීර්යය කළේ ය.
මහාවීර වූ සුමේධ නම් ලෝනාහිමි තෙම බඹහු විසින් අයදනා ලද්දේ, "සුදස්සන" නම් උයනෙ හි දී දම්සක් පැවැත් වී ය. සුමේධ බුදුරදුන් ට "සරණ" ද, "සබ්බකාමී" ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම "සාගර" නම් වී ය.
"රාමා" ද, "සුරාමා" ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක මිදෙල්ල හෙවත් කොළොම් ගස ය යි කියනු ලැබේ. "උරුවෙල" ද, "යසව" ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. "යසොධරා" ද, "සිරිමා" ද යන අග්‍රඋපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ.
සුමේධ මහමුනිඳු තෙම අසූ අට රියනක් උස් වී ය. තරු අතරෙහි සඳ මෙන් සියලු දිශාවන් හෙබවී ය. සක්විති රජු ගේ මැණික යම් සේ යොදුනක් තැන් බබළන්නේ ද, එ සේ ම ඒ සුමේධ බුදුරදුන් ගේ ශරීර රත්නයේ කාන්තිය හාත්පස යොදුනක් තැන් පැතිරෙයි.
ඒ කාලයෙ හි අවුරුදි අනූ දහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතර කළ සේක.
ත්‍රිවිද්‍යාවෙන් හා ෂඩ් අභිඥාවන්ගෙන් බලය ට පැමිණි, තාදී ගුණයෙන් යුත් යහපත් රහතුන්ගෙන් මේ ශාසනය ගැවසී ගත්තේ වී ය. ඒ සියල්ලෝ ද අපමණ පිරිවර ඇත්තෝ ය. කෙලෙසුන්ගෙන් මිදුනෝ ය. උපධි රහිතයෝ ය. මහා යසස් ඇති උන්වහන්සේලා ඤාණාලෝකය දක්වා පිරිනිවිය හ.
සිව්සස් අවබෝධ කළ සුමේධ ජිනවර තෙම "මේධ" නම් ආරාමයේ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී ය.
[ඛුද්දක නිකාය, බුද්ධවංශපාළි, සුමේධ බුද්ධ වංශය]
No comments:
Post a Comment