Friday, May 25, 2012

සුජාත බුද්ධ වංශය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

එ ම මණ්ඩ කල්පයෙ හි සිංහයෙකු ගේ හනුවකට බඳු හනුවක් ඇති දෙටු ගවයකු ගේ කඳ ට බඳු සම වට  කඳට ඇති  අපමණ තෙද ඇති සතුරන් විසින් ළංවිය නො හැකි සුජාත නම් බුදුවරයෙක් වී ය.

සඳ මෙන් නිමල් වූ හිරු මෙන් ප්‍රතාප ඇති බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මෙසේ බබළන සේක.

සම්බුදුරජතෙම පිරිසිදි උතුම් සම්බෝධිය ට පැමිණ සුමංගල නුවර දී දම්සක් පැවැත් වී ය.


සුජාත නම් ලෝනා හිමි පළමු දම් දෙසුමෙ හි දී උතුම් දහම් දෙසු කල් හි අසූ කෝටියක් දෙනා ධර්මාවබෝධය කළ හ. යම් කලෙක අපමණ යසස් ඇති සුජාත බුදුරජතෙම දෙව්ලොව වස් එළඹි සේක් ද, එ කල තිස්හත් දහසකට දෙවන ධර්මාවබෝධය වී ය. යම් කලෙක අසමසම වූ සුජාත බුදුරජතෙම පියාණන් වෙත ට එළඹි සේක් ද,  සැට ලක‍ෂයක් දෙනා ට තුන්වන ධර්මාවබෝධය වී ය.

මහර්ෂි වූ සුජාත බුදුරදුන් ට තාදී ගුණ ඇති  සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති රහතන් වහන්සේලා ගේ රැස්වීම් තුනක් වූ හ.

අභිඤ්ඤාවෙන් බලය ට පැමිණි භවයක් පාසා නො පැමිණි සැට ලක‍ෂයක් රහත් භික‍ෂූහු පළමුවර රැස් වූ හ. නැවත ද,  ජිනරාජයන් දෙව්ලොවින් බස්නා කල් හි පණස් ලක‍ෂයක් දෙනා ගේ දෙවනවර රැස්වීම වී ය. ඒ බුදුරදුන් ගේ සුදස්සන නම් අග්‍රශ්‍රාවකයෙක් නරදෙටු සම්බුදුන් කරා එළඹෙන්නේ  සාර ලක‍ෂයක් භික‍ෂූන් සමග එළඹී ද, එ දින තුන්වන රැස්වීම වී ය.

මම ඒ කාලයෙ හි සතර මහ දිවයිනෙ හි ඉසුරු වූ සත්රුවන පෙරටුකොට අහසෙ හි හැසිරෙන මහ බලැති සක්විති රජෙක් වීමි.

ඒ මම ලෝකයෙ හි පුදුමය ද,  අද්භූතය ද,  ලොමු දැහැගැනුමද දැක,  සුජාත නම් ලෝනාහිමිඳුන් කරා එළඹ වැන්දෙමි. සතර මහ දිවයිනෙ හි මහ රජය ද,  උතුම් සත්රුවන් ද බුදුරදුන් ට පූජාකොට,  ඒ සුජාත බුදුරදුන් ගේ සමීපයෙ හි පැවිදිවිමි.

අරම් වැස්සෝ ජනපදයෙන් උපදනා අය රැස්කර ගෙන සිවුරු ආදී පස ද,  සෙනසුන් ද, බික්සඟන ට එළවත්. දසදහසක් සක්වළෙ හි ඉසුරු වූ,  ඒ සුජාත බුදුරජතෙම, මේ රජතෙම කප් තිස් දහසකින් මත්තෙ හි බුදු වන්නේ ය යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.

ප්‍රධාන වීර්යය හා දුෂ්කරක්‍රියාව ද කොට මහත් යසස් ඇති ගෞතම සම්බුදු රජ නමින් ඇසතු ගසක් මුල දී බුදුවන්නේ ය.

මොහු ගේ වදන මව් තොමෝ "මායා" නම් වන්නී ය. පියතෙම "සුදොවුන්" නම් රජතෙම වන්නේ ය.  මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේ ය.

"කෝලිත" ද, "උපතිස්ස" ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නා හ.   "ආනන‍ද" නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන් ට උවටැන් කරන්නේ ය. ඛෙමා" ද,  "උප්පලවණ්ණා" ද, යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නා හ. ඒ භාග්‍යවත්හු ගේ බෝගස ඇසතු රුකය යි කියනු ලැබේ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහු ගේ ආයුෂය අවුරුදි සියයකි. අසම වූ,  මහඍෂී වූ ඒ බුදුරදින් ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ යි බුදුවන බෝසතෙකු යැ යි දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්.  අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. ඇඳිලි එක් කර නමස්කාර කරත්.

ඉදින් මේ ලෝහිමියාණන් ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙ හි හෙවත් මතු කාලයෙ හි මුන්වහන්සේ හමුවන්නෙමු. යම් සේ ගඟක් එතර කරන්නා වූ හෙවත් පීනන්නා වූ මිනිස්සු ඉදිරිතොට වැරදී ගියහොත් යට තොට ගෙන මහ ගඟ එතර කරත් ද, එ පරිද්දෙන් ම අපි හැමදෙන මේ සුජාත බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙ හි මේ බෝසතුන් හමුවන්නෙමු.

මම ඒ  බුදුරදුන් ගේ ද වචනය අසා බොහෝ සෙයින් ප්‍රීතිය ඉපදවීමි.  දස පෙරුම් දම් පිරීම පිණිස උසස් වූ වතක් ඉටුවෙමි. සූත්‍රපෙළ ද, විනයපෙළ ද, නවාංග ශාස්තෘශාසනය ද යන සිල්ල ඉගෙනගෙන බුදුසසුන හෙබවීමි. මම ඒ කාලයෙ හි නො පමාවූයේ, වෙසෙසින් සතර බ්‍රහ්ම විහාර භාවනා වඩා පඤ්චාභිඥාවන් ගේ පරතෙර ට ගොස් බඹලොව පැමිණියෙමි.

මහර්ෂී වූ සුජාත බුදුරදුන් ගේ උපන් නුවර "සුමංගල" නම් වී ය. පියතෙම "උග්ගහ" නම් රජ ය. මව් තොමෝ ප්‍රභාවතී නම් වූවා ය. ඒ සුජාත බුදුරජතෙම බුදුවන්න ට පෙර අවුරුදු නව දහසක් ගිහිගෙයි විසි ය.   "සිරී"ය,  "උපසිරී" ය,  "නන්දා" ය යන උතුම් ප්‍රාසාද තුනක් වූ හ. මනා ව සරසන ලද පිරිවර අඟනෝ විසිතුන් දහසකි.  බිරිඳ "සිරිනන්දා" නම් වූවා ය. පුත් තෙම "උපසේන" නම් වී ය.

සුජාත ජිනවර තෙම සතර පෙර නිමිති දැක අස් යානයෙන් මහබිනික්මන් කළේ ය. නො අඩු නව මසක් මුළුල්ලේ බුදු බව පිණිස උත්සාහ කළේ ය. මහාවීර වූ සුජාත නම් ලෝනාහිමිඳු බඹහු විසින් අයදනා ලද්දේ,  "සුමංගල" නම් උතුම් උයනෙ හි දී දම්සක් පැවැත් වී ය.

මහර්ෂී වූ සුජාත බුදුරදුන් ට "සුදස්සන" ද,  "සුදෙව" ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූ හ. උපස්ථායක තෙම "නාරද" නම් වී ය. "නාගා" ද,  "නාගසමාලා" ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූ හ. ඒ භාග්‍යවත්හු ගේ බෝරුක මහ හුණගස ය යි කියනු ලැබේ.

ඒ හුණගස හටගත් ශොභා ඇත්තේ ද, මද සිදුරු ඇත්තේ ද, බොහෝ පත්‍ර ඇත්තේ ද වෙයි.  කෙලින් වැඩුනු හුණගස,  අවට පැතිරුණේ ද,  දැකුම්කලු වූයේ ද,  සිත් ඇලවූයේ ද වෙයි. එක කඳක් ව වැඩී  එ තැනින් අතු පසකට බෙදී ගියේ ය.   හොඳීන් බඳනා ලද මොණර පිල් කළඹක් යම්සේ ද,  එ සේ ඒ හුණ ගස බබළයි.

ඒ හුණගසේ කටු නො වූ හ.  සිදුර ද ලොකු නො වී ය.   පැතිරුණු අතු ඇති,  ඝන අතු ඇති,  ඝන සෙවන ඇති ඒ ගස සිත් අලවයි. "සුදත්ත" ද,  "චිත්ත" ද යන අග්‍රඋපස්ථායකයෝ දෙදෙනෙක් වු හ. "සුභද්දා" ද,  "පදුමා" ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වු හ. සියලු ආකාරයෙන් ම උතුම් බව ට පැමිණි,  ඒ සුජාත ජිනවරතෙම උසින් පණස් රියනක් ඇත්තේ වී ය.

ඒ බුදුරදුන් ගේ අසම සම වූ ශරීර කාන්තිය හාත්පස නිතර දිවයි.  පමණ නො කළ හැකි ය. සමාන නො කළ හැකි ය. උපමාවන්ගෙන් උපමා කිරීම ඉක්ම පැවැත්තේ ය.

ඒ කාලයෙ හි අනූ දහසක් අවුරුදු ආයුෂ පවතී.  ඒ සුජාත බුදුරජතෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතර කළ සේක. මුහුදෙ හි රළ යම් සේ අලංකාර වෙත් ද,  අහසෙ හි තරු යම් සේ බබළත් ද,  එ සේ ඒ කාලයෙ හි බුදුසස්න රහතුන්ගෙන් විසිතුරු කරන ලදී.

ඒ සුජාත බුදුරජතෙම අසමසම ය. ඒ බුදු ගුණයෝ පමණ කළ නො හැක්කා හ.   සියල්ල අතුරුදන් වී, සියලු සංස්කාරයෝ හිස්වූවාහු නො වෙත් ද,

සිව්සස් අවබෝධ කළ ඒ සුජාත ජිනවර තෙම "සීල" නම් ආරාමයේ දී  පිරිනිවි සේක.  එ හි ම ඒ බුදුරජුන් ගේ සෑය දාගැබ තුන් ගව්වක් උස් වී ය.

[ඛුද්දක නිකාය, බුද්ධවංශ පාළි, සුජාත බුද්ධ වංශය]

 

2 comments:

  1. බොහොම පින් ඔබ තුමාට..තෙරුවන් සරණයි!

    ReplyDelete
  2. වැදගත් ලිපි හුගාක තියනවා.. මේ බ්ලොග් එක ෆලො කරන්න පුලුවන් වෙන්න හදැවොත් නරකද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...