Saturday, February 25, 2012

නිවන කරා....(03 - කොටස)

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 
පෙර ලිපි ද්විත්වය තුළින් ඉදිරිපත් කළ නිවන පිළිබඳ ව වූ කරුණු සමග මෙ ම අවසාන ලිපිය සමග සබැඳේ. එ හි දී සාකච්ඡා කළ කරුණුවල සංක්‍ෂිප්තය යළි ත්, සිහිපත් කරමින් මේ ලිපිය අරඹන්නෙමි. පළමු ලිපිය තුළින් නිවනක් අවශ්‍ය ඇයි, නිවන ලැබීම ට සපුරා තිබිය යුතු අවශ්‍යතා සහ බුද්ධත්වය පච්චේකබුද්ධත්වය රහත් බව පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න ට යෙදුනි. දෙවන ලිපිය තුළින් ආර්යසත්‍යයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න ට යෙදුනි.
එ ම කොටස් නො කියවුයේ නම් පළමුව එය කියවා පසු ව මේ ලිපිය කියවන්න.


නිවන කරා (01 - කොටස)
නිවන කරා (02 - කොටස)

නිවන සඳහා යන ගමන් මග වන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගය යි. එ හි පළමු අංගය වන්නේ සම්මාදිට්ඨිය යි. මේ සම්මාදිට්ඨිය නැති සත්වයා සංසාර දෝෂයන් නිසා අපායවල, ප්‍රේතයන් ලෙස, තිරිසනුන් ලෙස දුක් ලබන බව සහ දිව්‍ය, බ්‍රහ්මාදී උප්පත්තීන් නිසා තාවකාලික සැප ලබන බව ත්, බුදුදහමේ විස්තර කර ඇත.

සම්මාදිට්ඨිය සහ මිච්ඡාදිට්ඨිය හඳුනා ගනිමු.
අවිද්‍යාවෙන් තොර වූ නිවැරදි දැකීම සම්මාදිට්ඨිය යි. අවබෝධයෙන් යුතු ව තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙකු ගේ ජීවිතයේ ඉලක්කය බවට පත් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කර ගැනීම යි. ලෝකෝත්තර සම්මාදිටිඨිය යනු චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කර ගැනීම යි.

1. අත්ථී දින්නං - දන් දීම තුළින් ප්‍රයෝජනයක් ඇත.
2. අත්ථී යිට්ඨං - පූජා කිරීමෙන් ප්‍රයෝජනයක් ඇත.
3. අත්ථී හුතං - පුද පඞුරු යැවීමෙන් ප්‍රයෝජනයක් ඇත.
4. අත්ථී සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ - පින් පව් කර්මයන් ට අනුව විපාකයක් ඇත.
5. අත්ථී අයං ලොකො - පරලොව සිට මෙලොව ඉපදීමක් ඇත.
6. අත්ථී පරෝ ලොකො - මෙලොව සිට පරලොව යළි ඉපදීමක් ඇත.
7. අත්ථී මාතා - මව ට සැලකීමෙන් ප්‍රයෝජනයක් ඇත.
8. අත්ථී පිතා - පියා ට සැලකීමෙන් ප්‍රයෝජනයක් ඇත.
9. අත්ථී සත්තා ඕපපාතිකා - ඕපපාතික ව උපදින සත්වයන් ඇත.
10. අත්ථී ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්නවා පවේදෙන්ති - තමන් ගේ ම නුවණින් ලෝකය අවබෝධ කොට ලොව යථා ස්වභාවය ඒ අයුරින් ම පෙන්වා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් හෙවත් බුදුවරයන් ලොව ඇත. 

අශ්‍රැතවත් පෘතග්ජනයා තුළ තිබෙන නියත මිත්‍යාදෘෂ්ඨිය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.

1.  නත්ථී දින්නං - දන් දීම තුළින් ප්‍රයෝජනයක් නැත.
2. නත්ථී යිට්ඨං - පූජා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත.
3. නත්ථී හුතං - පුද පඞුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
4. නත්ථී සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ - පින් පව් කර්මයන් ට අනුව විපාකයක් නැත.
5. නත්ථී අයං ලොකො - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
6. නත්ථී පරෝ ලොකො - මෙ ලොව සිට පරලොව යළි ඉපදීමක් නැත.
7. නත්ථී මාතා - මව ට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
8. නත්ථී පිතා - පියා ට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
9. නත්ථී සත්තා ඕපපාතිකා - ඕපපාතික ව උපදින සත්වයන් නැත.
10. නත්ථී ලෝකේ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්නවා පවේදෙන්ති - තමන් ගේ ම නුවණින් ලෝකය අවබෝධ කොට ලොව යථා ස්වභාවය ඒ අයුරින් ම පෙන්වා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් හෙවත් බුදුවරයන් ලොව නැත.

බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළේ නියත මිත්‍යාදෘෂ්ටිය තරම් මේ සත්වයා ට අහිත පිණිස දුක් පිණිස හේතු වන වෙනත් දෙයක් තථාගතයන් වහන්සේ ගේ බුදු නෙත ට වත් පෙනෙන්නේ නැති බව යි.

ඒ වගේ ම නියත මිත්‍යාදෘෂ්ටිය කියන්නේ ආනන්තරීය පාප කර්මයකටත් වඩා බලගතු අකුසලයක්. ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙකුට මරණින් මත්තේ කල්පයක් නිරයේ විපාක විඳින්න කර්මයක් සකස් වුණ ත්, නියත මිත්‍යාදෘෂ්ටික කෙනා ට නිරයේ විඳවන්න වෙන කාලය කොපමණ දැ යි සිමා කරන්න ට බැරි බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. හේතුව මිත්‍යාදෘෂ්ටියේ තිබෙන ප්‍රබලතාවය අනුව නිරයේ ආයුෂ කල්ප දෙක තුන දක්වා වැඩි වෙන්න පුළුවන්. නමුත් යමෙක් මිත්‍යාදෘෂ්ටික ව සිට එය අත්හැර සම්මා දිට්ඨිය ට පැමිණියහොත් මිත්‍යාදෘෂ්ඨිය නිසා සකස් වන නිරයගාමී අකුසලය ප්‍රහාණය වී යන්නේ ය.

මග ඵල ලබන මග.
පාරමීධර්මයන් සපුරාලමින් අර්යෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන පුද්ගලයා පළමුවෙන් ම සක්කායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බතපරාමාස යන සංයෝජනයන් හෙවත් සසර ගමන ට හේතු වන කරුණු මුළුමනින් ම ප්‍රහාණය කර සෝවාන් ඵලය ට පත් වන්නේ ය. සක්කායදිට්ඨි නම් නිවන සඳහා වෙනත් මාර්ගයන් ඇතිබව ට වැරදි ලෙස අවබෝධකර සිටීම යි. විච්කිච්චා නම් බුද්ධාදී අටතැන් පිළිබඳ සිතේ ඇතිවන සැකය යි.

සද්ධානුසාරී ධම්මානුසාරී ආර්ය ශ්‍රාවකයන් විසින් සෝතාපන්න ඵලය ට පත්වීම පිණිස තව දුර ට ත් කළ යුත්තේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලමින් විදර්ශනා වැඩීම ම යි. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය ටිකෙන් ටික ප්‍රඥාවෙන් වටහාගත් ධම්මානුසාරී ආර්ය ශ්‍රාවකයා රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන මේ පංච උපාදානස්කන්ධය තව දුර ට ත් හේතූන් නිසා හටගෙන හේතූන් නැතිවීමෙන් නැති වී යන අනිත්‍ය දෙයක් වශයෙන්, දුක ට අයිති දෙයක් වශයෙන්, තමා ගේ වසඟයේ පැවැත්විය නො හැකි අනාත්ම දෙයක් වශයෙන් නුවණින් සලකමින් භාවනා වඩද්දී රූපය කෙරෙහි ඔහු තුළ තිබුණු සතර ආකාරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. වේදනාව අනිත්‍ය වශයෙන් බලද්දී වේදනාව කෙරෙහි ඔහු තුළ තිබුණු සතර ආකාරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. සඤ්ඤාව අනිත්‍ය වශයෙන් බලද්දී සඤ්ඤාව කෙරෙහි ඔහු තුළ තිබුණු සතර ආකාරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. සංස්කාර අනිත්‍ය වශයෙන් බලද්දී සංස්කාර කෙරෙහි ඔහු තුළ තිබුණු සතර ආකාරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා. විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් බලද්දී විඤ්ඤාණය කෙරෙහි ඔහු තුළ තිබුණු සතර ආකාරයේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යනවා.

එ නම් ධම්මානුසාරී ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බැලීම තුළ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඔහු තුළ තිබුණු සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා බුදු රජාණන් වහන්සේ ගැන හෝ උන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන හෝ මේ නිවන් මාර්ගයේ ගමන් කරල ප්‍රථීඵල ලබපු ශ්‍රාවක සංඝරත්නය ගැන හෝ යම් සැකයක් ඔහු තුළ තිබුණා නම් ඒ සැකය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස
ජීවිතය හැඩගස්සවා ගැනීම සදහා සීලය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ශික්ෂා පදයන් කෙරෙහි තිබුණා වූ යම් සැකයක් ඇත්නම් ඒ සැකය ත් ප්‍රහාණය වෙලා බුද්ධ ශාසනයෙන් පරිබාහිර ව සීලයක් ගැන යම් විශ්වාසයක් තිබුණා නම් එ වැනි මිත්‍යා විශ්වාසයන් සියල්ල ම ප්‍රහාණය වෙලා සීලය තුළ ස්ථාවරත්වයක් ඔහු තුළ අවබෝධයෙන් ඇති වෙනවා. චතුරාර්ය සත්‍යය පිළිබඳ ව සත්‍ය ඥානය ට පැමිණි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන ධර්මයන් මුළුමණින් ම ප්‍රහාණය වී ගිය, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන යන උපාදානයන් මුළුමණින් ම ප්‍රහාණය වී ගිය ඔහු ට කියනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියා.

සෝතාපන්න ඵලය ට පත් වූ ආර්ය ශ්‍රාවකයෙකු හට සෝතාපත්ති අංග සතරක් පිහිටන්නේ ය.

1.  බුදු රජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය
2.  සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදය
3.  මගඵල ලාභී ආර්ය මහා සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදය
4. ආර්යකාන්ත ශීලයකින් යුක්ත බව

සෝතාපන්න ඵලය ට පත් වූ ආර්ය ශ්‍රාවකයා නිරයෙන් සදහට ම නිදහස් වූ නැවත නිරය කරා නො පැමිණෙන අයෙකි. තිරිසන් ලෝකයෙනුත් සදහට ම නිදහස් වූ කෙනෙක්. ප්‍රේත ලෝකයෙනුත් සදහට ම නිදහස් වූ කෙනෙක්. සතර අපායේ ගෙන යන සියලු ම කර්මයන් ප්‍රහාණය කළ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ආත්ම හතක් ඇතුළත අනිවාර්යයෙන් ම සියලු දුකෙන් නිදහස් ව නිවන් අවබෝධය පිණිස ස්ථීරත්වය ට පත් වන්නේ ය. (න තේ භවං අට්ඨමං ආදියන්ත)අටවන භාවයක් කරා නො යන්නේ ය.


සෝතාපන්න ඵලය ට පත් වුණ ආර්ය ශ්‍රාවකයන් හට සකදාගාමී, අනාගාමී, අරහත් යන ඉතිරි මාර්ගඵලයන් අවබෝධ කිරීම පිණිස කළ යුත්තේ පංච උපාදානස්කන්ධය ම තව දුර ට ත් අනිත්‍ය වශයෙන් බලමින්, දුක් වශයෙන් බලමින්, අනාත්ම වශයෙන් බලමින් පංච උපානස්කන්ධය කෙරෙහි හටගෙන ඇති තණ්හාව මුළුමණින් ම ප්‍රහාණය වී යන තෙක් ම විදර්ශනා වැඩීම ම යි.

ඉතින් ඔබ ත් මේ ලැබුනු දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගෙවී අවසන් වෙන්න කලින් ගිහි ජීවිතය තුළ දී ම අවබෝධයෙන් යුතු ව ම තිසරණය ට පැමිණිලා මේ ජීවිතය තුළ දී ම මාර්ග ඵල ලබා ගැනීම පිණිස මහන්සි ගන්න. මන්ද බුද්ධික ව ඉපදිලා නැති බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය තේරුම් ගැනීමේ හැකියාව ඇති සිහි නුවණ තියෙන බුදුන් ගේ ධර්මය ලොව බබළන මේ බුද්ධෝත්පාද කාලයේ පිළිවෙතින් පෙළගැසෙන්න ට සැමදෙනා අධිෂ්ඨාන කරගත යුතු ය.
තෙරුවන් සරණ යි!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...